පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 31, 2017

ඕමානයේ ප්‍රථම පොලිස් ස්ථානාධිපතිවරිය - First ever to head a police station in Oman


අපි පොලිස් නිලධරයන් මෙන්ම පොලිස් කාන්තාවන් ද දැක ඇත්තෙමු. කෙසේ නමුත් අප රටේ කාන්තා පොලිස් ස්ථානාධිපතිවරියන් දැක ඇත් දැයි හෝ අසා ඇත් දැයි යමකුගෙන් විමසුව හොත් ඔහු හෝ ඇය මදක් කල්පනා කරන්නට පටන් ගනු ඇත. සැබැවින්ම අප රටේ පොලිස් ස්ථානාධිපතිවරියන් පිළිබඳ තොරතුරු ලැබෙන්නේ නැත. නමුත් කාන්තාවන්ට එතරම් අවස්ථාවක් නො දෙන මැද පෙරදිග රටක පොලිස් ස්ථානාධිපතිවරියක් පත් කළ බව දැනගන්නට ලැබෙන්නේ නම් එය සැබවින්ම විශේෂ පුවතක් වන්නේය. එවැනි කතාවක් ඇසෙන්නේ ඕමානයෙනි.

මැදපෙරදිග කලාපයේ කාන්තාවන් සිය අයිතිවාසිකම් දිනා ගනිමින් සිටින බවට හොඳම නිදසුන ගැන අසන්නට ලැබෙන්නේ ඕමානයේ පොලිස් කාන්තාවක් පොලිස් ස්ථානාධිපතිවරියක් බවට පත්වීමත් සමගය. ඇය නමින් ෂායිකා බින්ට් අෂෝර් අල් හම්බාසියා ය. ඕමාන පොලිස් සේවයේ ලුතිනන් කරනල්වරියක වන ඇය එරට අගනුවර වන මස්කට් හි වටායා පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපතිවරිය ලෙස සේවය ආරම්භ කොට තිබේ. ඇය මෙම තනතුර භාර ගනිමින් පවසා සිටියේ මෙය තමාට මෙන්ම අනෙක් සියලු ඕමාන පොලිස් කාන්තාවන්ට ඉමහත් ධෛර්ය සම්පන්න පුවතක් බවය. එමෙන්ම ධෛර්යය හා අධිෂ්ඨානය ඇත්නම් ඕමානය තුළ කිසිදු කාන්තාවකට සිය වෘත්තීන්වල ඉහළට ගමන් කිරීමේ බාධාවක් නොමැති බවට මෙය හොඳම නිදසුනක් යැයි ද ඇය පවසන්නීය.

හම්බාෂියා ඕමාන රාජකීය පොලිස් සේවය හා එක්වූයේ වර්ෂ 1990 දීය. ඇය පොලිස් ස්ථානාධිපතිවරියක් ලෙස පැමිණි වෘත්තීය ගමන් මග තුළ පොලිස් සේවයේ විවිධ තනතුරු ගණනාවක් ම දරා තිබේ. මුලින්ම මහජන ආරක්ෂාව සහ විමර්ශන විශේෂ බලකායේ සේවය කළ ඇය මස්කට් හි පොලිස් ළමා කටයුතු අංශයේ ද ප්‍රධානියා ලෙස සේවය කළාය. ඉන් වසර සයකට පසු ඇය ඕමාන පොලිස් සේවය කාන්තා නිලධාරීන් අතර ප්‍රධානී තනතුරට පත් කෙරිණි. ඉන් පසු ඇය පොලිස් පරිපාලන නිලධාරිණියක බවට උසස් කරනු ලැබිණි.

2011 වසරේදී ඇය ඕමාන රජ මැඳුරේ යුද හමුදා කාන්තා පොලිස් ඒකකයේ ප්‍රධානියා ලෙස සේවය කළාය. හම්බාෂියා එය සිහිපත් කරමින් පවසන්නේ එම අවස්ථාව සිය ජීවිතයේ වඩාත් වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යයක් බවය. එමෙන්ම ඕමාන් සුල්තාන්වරයා වූ කාබූස් යටතේ හමුදා පොලිස් පෙළපාලිය මෙහෙයවන්නට අවස්ථාවක් ලද ප්‍රථම පොලිස් නිලධාරිණිය වන්නී ද ඇයයි. ඇය පවසන්නේ තමා එය නිරතුරුවම අභිමානයකින් සිහිපත් කරන බවය. ඇගේ මේ පොලිස් වැඩකටයුතු සඳහා ඇගේ පවුලෙන්ද සෑම විටම ඉමහත් සහයෝගයක් ලැබෙන්නේය.

මාව සහ මගේ රාජකාරි හොඳින් තේරුම් ගත් සැමියෙක් වගේම හොඳ පවුල් සාමාජිකයන් පිරිසකුත් මට ඉන්නවා. සාර්ථකත්වය කියන්නේ වෙහෙස වී වැඩ කිරීමයි. කෙසේ නමුත් මම පවුලේ සහ රාජකාරියේ වගකීම් සමබරව නොපිරිහෙළා ඉටු කරනවා. මේක ලේසු පාසු දෙයක් නොවුනත් මම මේ සියල්ල මම ඉමහත් සිහි කල්පනාවකින් කටයුතු කරනවා. දශක ගණනාවක් තිස්සේ ඕමාන පොලිසිය තුළ කාන්තාවන්ට කිසිදු ඉඩක් ලැබුණේ නැහැ. ඔවුන් කළ යුතු එකම දෙය වූයේ පුහුණු වීම සහ සෙසු පොලිස් නිලධාරීන් සමග වැඩ කටයුතු කිරීම පමණයි.  හම්බාෂියා පවසන්නීය. තමා මුහුණ දුන් බොහෝ දුෂ්තර තත්වයන්ගෙන් අත් මිදෙන්නට ඔවුන්ගේ සහයෝගය ඉමහත් උපකාරයක් වූ බව ද ඇය පවසන්නීය.


ඇගේ නව තනතුර ඕමාන සුල්තාන්වරයා යටතේ වූ පොලිස් සේවය තුළ කැපී පෙනෙන සංධිස්ථානයක් වනු ඇත. 

6 comments:

  1. හ්ම්ම්. ලංකාවෙ නං නෑ තමයි. ඕමාන් වගේ රටක මේ වගේ වෙන්න පුලුවන් වුණා කියන්නෙත් ඉතිං ජයග්‍රහණයක් තමයා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මම හිතන්නේ ඕමාන් වගේ රටවල අන්තවාදී අදහස් නැතිව ඇති.

      Delete
  2. ලංකාවේ ප්‍රථමවරට නෝට්න්බ්‍රිජ් පොල්ස් ස්ථානය සදහා වැඩබලන පොලිස්ස්ථානාධිපති වරියක් පත් කලා. ඒ අනූව දශකයේ මුල . හරියටම දන්නෙ නෑ.
    ලංකාවේ ප්‍රථම පොලිස්ස්ථානාධිපතිවරිය පද්මිණී ප්‍රේමලතා මහත්මියයි. ඇය මුලින්ම යක්කලමුල්ල පොලීසියට ත් පසුව ඌරගස්මන්හන්දිය පොලීසියටත් පත්වුනා. මේ 1996 වගෙ කාලෙක. ඉන් පසුව ඇය ගැන තොරතුරක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමටත් දැනුම්වත්කිරීමට බොහෝ ස්තූතියි. ඇත්තටම මේ විස්තරය ලියන්න කලින් අපේ රටේ එවැනි තනතුරකට පත් කාන්තාවක් සිටිනවාදැයි සොයා බලන්න උත්සාහ කළා. නමුත් හමුවුණේ නැහැ. කොහොම වුනත් දැන් දැනගත්තා. ඔබට බොහෝ ස්තූතියි.

      Delete
  3. මධ්‍යස්ත මතධාරිය කිව්ව එක මමත් අහලා තියෙනවා... ඕමාන් ඩුබායි වගේ රටවල්වල කාන්තාවන්ට දැඩි නීති නෑ... අර වාහන එලවන්න බෑ කියලා කියනවනේ සවුදියේ... ඒත් ඩුබායි වලනන් ෂෝක් එකට ගෑනු අය වාහන එළවනවා... හැබැයි ඒ රටවල්වල ලයිසන් එක ගන්න අමාරුයි... පිටරටක කෙනෙක් ගියාම කොහොමහරි ෆේල් කරන්නයි බලන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර මුස්ලිම් රටවල් කාන්තාවන්ට සෑහෙන නිදහසක් තියෙනවා. සමහර රටවල නෑ. ඇෆ්ගනිස්ථානය තලේබාන්වරුන්ට යට වෙන්න කලින් සෑහෙන කාන්තා නිදහසක් තිබුණා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න