පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, February 4, 2017

මුල්ම නිදහස් දා - First Independence Day of Sri Lanka


දෙවියන් වහන්සේ යුෂ්මතුන් හට ආශීර්වාද කර යුෂ්මතුන්ගේ රටට මග පෙන්වන සේක්වා යනුවෙන් ලංකාව නිදහස් වීම සම්බන්ධයෙන් අදින් වසර 69 කට පෙර බ්‍රිතාන්‍ය මහ රජු විසින් ප්‍රකාශයක් එවා තිබිණි.

ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළත නිදහස් රටක් බවට පත්කිරීමට බ්‍රිතාන්‍ය මහ රජුගේ ආණ්ඩුව තීරණය කළ බව ප්‍රකාශ කිරීමට මෙරට සිටි ආණ්ඩුකාරයා 1947 ජුනි මස 18 වැනිදා රාජ්‍ය සභාව රැස් කර ඇත. ලංකාවේ එවකට පැවැති රාජ්‍ය සභාවේ අවසාන රැස්වීම පවත්වන ලද්දේ 1947 ජූලි 1 වැනිදාය. ඒ වන විට රාජ්‍ය සභාවේ වයස අවුරුදු 13 ක් විය.

ප්‍රථම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් පත්වීම ඒ වසරේ අගෝස්තු මස 15 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 20 වැනිදා නිම විය. ඡන්ද ප්‍රතිඵලය අනුව ඩී. එස්. සේනානායක මහතා ලංකාවේ ප්‍රථම අගමැතිවිය. පාර්ලිමේන්තුව නොවැම්බර් 25 වැනිදා රැස්විණි.

නිදහස් ලත් ලංකාවේ නව ආණුඩක්‍රමය වලංගු වූ දිනය 1948 පෙබරවාරි 4 වැනිදාය. එහෙත් ජාතික උත්සව මැද පාර්ලිමේන්තුව විවෘත කරන ලද්දේ ඊට දින 6 කට පු, එනම් පෙබරවාරි 10 වැනිදාය. මෙහි ආරම්භයේ සඳහන් කරන ලද බ්‍රිතාන්‍ය මහ රජුගේ පණිවිඩය කියවන ලද්දේ ද එදිනය. මෙම විවෘත කිරීම සිදු කරන ලද්දේ බ්‍රිතාන්‍ය මහ රජු වෙනුවෙන් මෙහි පැමිණි ඔහුගේ සොයුරු ග්ලොස්ටර් හි ආදිපාදවරයා විසිනි.

ලංකා නිදහස් පණත වලංගු වීම පෙරදැරි කොට ගෙන ලංකා පාර්ලිමේන්තුවේ පළමු පළමු වන සැසි වාරය මා වෙනුවෙන් විවෘත කරන ලෙස මම මාගේ සොහොයුරා වූ ග්ලොස්ටර් හි ආදිපාදවරයාට පැවරුවෙමි. මේ අනුස්මරණීය අවස්ථාවේදී මාගේ අවධානය යුෂ්මතුන් කෙරෙහි යොමුවී තිබේ. බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට ජාතිකත්වයෙන් පිරිපුන් අලුත් සාමාජිකයකු මා විසින් පිළිගනු ලබන්නේ ඉතා සතුටිනි.


මෙදින මාගේ සුභ ප්‍රාර්ථනා යුෂ්මතුන් වෙත පිරිනමමි. ලංකාව සදහටම පරිපූර්ණභාවය ද, අභිවෘද්ධිභාවය ද භුක්ති විඳිනු ලබතැයි මම ඉත සිතින් පතමි. දෙවියන් වහන්සේ යුෂ්මතුන් හට ආශීර්වාද කර යුෂ්මතුන්ගේ රටට මග පෙන්වන සේක්වා යන පාඨය බ්‍රිතාන්‍ය මහ රජු විසින් එවා තිබූ ප්‍රකාශයේ සඳහන්ව තිබිණි. එම ප්‍රකාශය කියවන ලද්දේ ග්ලොස්ටර් හි ආදිපාදවරයා විසිනි.

- පැරණි ලියවිල්ලකින් උපුටා ගැනුණකි - 

2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න