පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, April 15, 2014

රාහුල් ගාන්ධි සමග දේශපාලන පොරයට ආ මහගෙදර තුල්සි - Mahagedara Tulsi Compete against Rahul Gandhi



පිරිමියා හා සහ ගැහැනිය අතරින් ශාරීරික වශයෙන් ශක්තිවන්තයා යැයි සැළකෙන්නේ පිරිමියාය. නමුත් යම් යම් වැඩකටයුතු කරගැනීමේදී පිරිමියාට වඩා ගැහැනිය ඉදිරියෙන් සිටින බැව් පෙනෙන්නට තිබේ. රෝම අධිරාජ්‍යය දමනය කරගැනීමට හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට ක්ලියෝපැට්‍රා බිසව තමාම සළුවක එතී ජුලියස් සීසර්ට තිළිණයක් ලෙස ගිය කතාව අපට අතීතයෙන් ඇසෙන්නේ ඒ නිසාය. යුද කටයුතුවලදී රහස් ඔත්තුකරුවන්ට වඩා ඔත්තුකාරියන් සිය අරමුණු ඉටුකරගැනීමට වඩාත් දක්ෂ වූ බැව් තහවුරු කරන්නට ඕනෑ තරම් සාධක ඉතිහාසයෙන් හමු වේ. මේ පුරුද්ද දේශපාලනය සඳහා ද වෙනසක් නැත. විශේෂයෙන් අප ජීවත්වන ආසියානු කලාපයේ මෙය වඩාත් ජනප්‍රිය මට්ටමින් පවතී. සැමියා හෝ පියා දේශපාලන නායකයකුව සිට කුමක් හෝ හේතුවකින් මිය ගිය අවස්ථාවක ඔහුගේ බිරිඳ, දියණිය හෝ සොයුරිය ඔහු වෙනුවෙන් ඉදිරිපත්කිරීම තුළින් මහා පෙරළියක් කළහැකි බැව් කාලයක සිට දක්නට ලැබුණකි. එපමණක් නොව ජනප්‍රිය නිළියන් ඡන්දය සදහා ඉදිරිපත්කිරීම තුළින් ද මෙයට සමාන ප්‍රතිඵලයක්ම අත්කරගතහැකි බව අපේ කලාපයේ දේශපාලඥයින් හොඳින් දන්නා කරුණකි.  කලක් සුරූපී නිළියකව සිටි ජයලලිතා අද ඉන්දීය පාලන පක්ෂය අල්ලේ නටවන්නට තරම් ප්‍රබලවී සිටින්නේ සිය රූපයට කෝටි ගණනක ඡන්දදායකන් වසඟයට ගැනීමට හැකි වූ බැවිනි. අප රටේ ද එය එසේමය. පසුගිය පළාත් සභා මැතිවරණයේදී අප රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් නිළියන් කොපමණ සංඛ්‍යාවක් ඉදිරිපත් කළේ දැයි විශේෂයෙන් පැහැදිලි කළයුතු දෙයක් නොවේ. දේශපාලන පක්ෂ මෙවැනි උපක්‍රම යොදන්නේ බොහෝ විට ඔවුන් ජයග්‍රහණය කරනවාට වඩා ඔවුන් ලවා ප්‍රතිපක්ෂවලට ඇදී යන ඡන්ද කඩාදැමීම සඳහාය. මෙවැනි තත්වයක් අපට යළි අසන්නට ලැබෙන්නේ ඉන්දියාවෙනි. 

 
රාහුල් ගාන්ධි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි අමෙති ඡන්ද කොට්ඨාශය සඳහා මහ මැතිවරණයේදී තරගවැදීමට භාරතීය ජනතා පක්ෂය මෙවර තෝරාගෙන ඇත්තේ එරට අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක වන ස්ම්‍රිති සුබින් ඉරානිය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ඡන්ද කොට්ඨාශය සඳහා ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයෙන් තරගවදින්නේ රාහුල් ගාන්ධිවීමය. පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා මෙම ඡන්ද විමසීම අප්‍රේල් 7 වැනිදා සිට මැයි 12 වැනිදා දක්වා පැවැත්වෙන් අතර ඡන්ද ගණනය කරනු ලබන්නේ මැයි 16 වැනිදාය. මිලියන 814ක් ඡන්දදායකයෝ මේ ඡන්දයදීම සඳහා පෙළගැසී සිටිති. 


සැබැවින්ම ඉරානි යනු කවුද? 1976 මාර්තු 23 වැනිදා පන්ජාබ් - බෙංගාලි සම්භවයක් සහිතව දිල්ලියේදී උපත ලැබුවාය. 2001 වසරේදී ඇය සිය ළමා කාලයේ සිට මිතුරකු වූ සුබින් ඉරානි සමඟ විවාහ වූවාය. ඔහු ඇයට වඩා වසර 10කින් වැඩිමහලු අයෙකි. ඔහු ඒ වනවිට එක් විවාහයකින් පසුව නීතියෙන් වෙන් වූ අයෙක් වූ අතර, ඔහුගේ දරුවාගේ භාරකාරත්වය දරන්නට වූයේ ද ඉරානිටමය. ඇයට මෙම විවාහයෙන් පුතකු හා දියණියක සිටී. ඇය දේශපාලනයට පිවිසීමට පෙර මෝස්තර නිරූපණ ශිල්පිනියක, රූපවාහිනි නිළියක සේම නිෂ්පාදිකාවක ද වූවාය. ඇය භාරතීය ජනතා පක්ෂයේ අතිශය ජනප්‍රිය නායිකාවක බවට ද පත්ව හමාරය. ඉන්දියාවේ ජනප්‍රිය සඟරාවක් වන ෆෙමිනාමගින් 1997 වසරේදී පවත්වන ලද රූ රුජින තරගයකදී ජයග්‍රහණය කළේ ඇයයි. ඇය බොහෝ ටෙලි නාට්‍ය සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති අතර වඩාත් ජනප්‍රිය වූයේ ක්‍යුන්කි සාස් භි කභී බාහු ති’ (නැන්දම්මා කෙනෙක් කියන්නේ එක් අවස්ථාවක ලේලියකව සිටි තැනැත්තියක් බැවිනි) හි ඇය කළ තුල්සි විරානි ගේ චරිතයෙනි. ඇය ලේලියක ලෙසින් එහි ප්‍රධාන චරිතය සඳහා දායක වූ අතර  2000 - 2008 වසර අතර කාලයේ මෙහි කොටස් 1,800කට වඩා විකාශනය විය. මහ ගෙදරනමින් අප රටේ ජනප්‍රිය වූ ටෙලි නාට්‍යය වන්නේ ද මෙයයි. ටෙලි නාට්‍යවලට අමතරව ඇය හින්දි සිනමාපට දෙකකට ද, එක් තෙළිගු සිනමාපටයකට ද, එක් බෙංගාලි සිනමාපටයකට ද රංගනයෙන් දායක වී තිබේ. 


ඉරානි භාරතීය ජනතා පක්ෂයට ඇය සම්බන්ධ වූයේ 2003 වසරේදීය. 2004 වසරේ ලෝක් සභා මැතිවරණයේදී ඇයට සාර්ථකවන්නට නොහැකි විය. 2004 වසරේදී ඇය මහරාෂ්ට්‍ර යොවුන් සේනාංකයේ උප සභාපතිනිය වූවාය. ඇය භාරතීය ජනතා පක්ෂයේ මධ්‍යම කමිටුවේ විධායක සාමාජිකාවක බවට ද පත්වූවාය. ඇය ඉන්දීය කාන්තාවට මුහුණපාන්නට සිදුව ඇති බොහෝ අකටයුතුකම්වලට එරෙහිව හඬක් නැගූ දේශපාලන නායිකාවක ලෙස ද ප්‍රකටය. ඇය 2011 වසරේදී ගුජ්රාත් ප්‍රාන්තයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූ ඇය ඉන්දියාවේ දිළිඳු පළාත්වලට ජලය සපයන වෙනස සඳහා ජනතාව’ ( ඡැදචකැ දෙර ක්‍ය්බටැ ) යන සංවිධානයක් ද පවත්වාගෙන යන්නීය. ඇය රාහුල් ගාන්ධිට එරෙහිවතරග වදින්නේ මෙවැනි වටපිටාවක් සහිතවය. 


ඉරානි රාහුල් ගාන්ධිට එරෙහිව සටන් වදින අමෙති ඡන්ද කොට්ඨාශය පිහිටි උත්තර් ප්‍රදේශ් යනු ඉන්දියාවේ සංග්‍රාම භූමියලෙස ප්‍රකට ප්‍රාන්තයකි. බලයට පත්වන්නට අපේක්ෂාකරන ඕනෑම පක්ෂයක් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් 80 දෙනෙකුට වඩා තෝරාපත්කරගන්නේ මෙම ප්‍රාන්තයෙනි. අනෙක අමෙති යනු ගාන්ධි පවුල දීර්ඝ කාලයක් තිස්සේ බලය රැකගෙන සිටිනා කොට්ඨාශයක්වීම ද විශේෂ කරුණකි. රාහුල් ගාන්ධිගේ පියාවන රාජීව් ගාන්ධි 1991 මියයන විට ද මෙහි බලය රැකගෙන සිටියේය. 2009 වසරේ පවත්වනු ලැබූ මහමැතිවරණයේදී ගාන්ධි පවුල 70%කටත් වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මෙම කොට්ඨාශය ජයග්‍රහණය කළේය. භාරතීය ජනතා පක්ෂයට ලැබුණේ ඡන්ද 10%කටත් අඩු ප්‍රතිශතයකි. 


ඉරානිට මෙහිදී ජයග්‍රහණයක් අපේක්ෂා කළ නොහැකි වුව ද ඇය සෑහෙන තරගයක් ලබාදෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.
අමෙති ඡන්ද කොට්ඨාශයේ ජනතාව පවුල් වාදයට යටවෙලා. ඔවුනට සෑහෙන කාලයක සිට සංවර්ධනයේ නියම ප්‍රතිඵල නෙලාගන්නට නෙැහැකි වී තිබෙනවා. මම හිතන්නේ මේක ලජ්ජාවට කාරණයක්
ඉරානි එසේ පවසන්නීය. 


පවුල්වාදයට යටවූ සෑම රටකටම මෙය අදාළදැයි මෙහිදී අපට අපෙන්ම ප්‍රශ්න කරන්නට සිතේ.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න