දිය නෑම අපට නුපුරුදු දෙයක් නොවේ. ඒ
පිළිබඳ මාධ්‍යවලින් කතා කරන්නේ ද නැත. නමුත් මෑතක සිට දිය නෑම සඳහා පෙර නොවු විරූ
පරිදි ප්‍රසිද්ධියක් ලැබෙන්නට පටන් ගෙන තිබේ. ඒ නිසා අප්‍රසිද්ධියේ සිටි අය ද දැන්
දැන් නාන්නට පටන්ගෙන ඇත්තේ ප්‍රසිද්ධවන්නට විය හැකිය. මේ අලුත්ම නෑම හඳුන්වනු
ලැබන්නේ ‛අයිස් බකට් නෑම’ වශයෙනි. අපේ රටේ නව පරපුරේ ගායකයකු වන ඉරාජ්
වීරරත්න අයිස් බකට් නාගත් බව මාධ්‍යය ඔස්සේ අසන්නට ලැබුණු අතර, ඔහු එයින් නොනැවතී බස්නාහිර පළාත් සභා
මන්ත්‍රීවරියක වන මල්ෂා කුමාරතුංගට “පුළුවන්
නම් අයිස් බකට් නාන්න” යැයි අභියෝග කළේය. ඇය ද සීතලයි කියා
පස්සට නොයා අයිස් බකට් නාන අයුරු සමාජ වෙබ් අඩවි ඔස්සේ දැකගන්නට හැකිවිය. ඉන්පසුව
මල්ෂා අපේ රටේ ඉහළම පුරවැසියාට අයිස් බකට්
එකෙන් නාගන්න යැයි අභියෝග කළාය. ඉන්පසුව මල්ෂා අපේ රටේ ඉහළම පුරවැසියාට සහ අමාත්‍ය මර්වින් සිල්වා හට අයිස් බකට් එකෙන්
නාගන්න යැයි අභියෝග කළාය. මෙම අභියෝගය අමාත්‍යවරයාට ඉදිරිපත් කරමින් මලෂා පවසා
සිටියේ “ඇමතිතුමා නම් අන්වාර්යෙනන්ම අයිස් බකට්
අභියෝගය භාර ගනීවී” කියාය. නමුත් අමාත්‍යවරයා පවසා සිටියේ
අපේ රටේ බොහෝ දෙනෙක් නියඟයෙන් පීඩා විඳිද්දී තමාට මෙය භාරගැනීමට නොහැකි බවය.
මේ ආකාරයට භාතිය , මහේල ජයවර්ධන ආදී සුප්‍රකට චරිත ද සුපුරුදු නෑම
පසෙක ලා අයිස් නාන්නට ඉදිරිපත් වූහ.
නියඟයෙන් දහස් ගණනක් පීඩා විඳිද්දී
මෙසේ අයිස් වතුර නෑම ගැන මේ අතරේ විවේචන එල්ල වන්නට පටන් ගැනුණි. ඒ අතරේ භාතිය -
සංතුෂ් දෙදෙනා අයිස් වතුර නෑමෙන් පමණක් නොනැවතී නියඟයෙන් පීඩා විඳින්නවුන්ට ජලයෙන්
ආධාර කරන්නට ඉදිරිපත් වූයේය. මල්ෂා කුමාරතුංග පැවසූයේ අයිස් බකට් එකක් නෑම ජලයේ
අපතේ යන්නක් නොවන බවය. කෙසේ හෝ අවසානයේ මේ අයිස් බකට් නෑම දේශපාලන වේදිකාවට ද
පැතිර ගොස් අවසන්ය. දැන් සියලු දෙනා ඉදිරියේ වේදිකාව මත දේශපාලුවන් ද අයිස් වතුර
නාන බව පෙනෙන්නට තිබේ. ගමේ කොල්ලන් කුරුට්ටන් ද අයිස්වලින් නාවන්නදැයි අසනු ඇසේ.
ඔවුන් වැඩිපුර මෙසේ අයිස් වතුරෙන් නාවන්නට සැරසෙන්නේ ගැහැනු ළමයින්වය. මේ අතරේ
වාරියපොල පැත්තේ ගැහැනු ළමයකු සිටියහොත් ‛හොඳ නෑමක්’ ලැබෙන බව නියතය.
මේ ආකාරයට අයිස් වතුර නෑම පිළිබඳ කතා
ඇසෙද්දී මෙයට සැබවින්ම මුල්වූ කාරණා සොයා බලන්නට සිතේ. අයිස් බකට් අභියෝගය පිළිබඳ
මුල්ම මාධ්‍ය අවධානය යොමු වූයේ 2014
ජූනි 30 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ‛මෝර්නිංග් ඩ්‍රයිව්’ නම් රූපවාහිනි වැඩසටහනක ශිල්පීන් සජීවීව අයිස් බකට් අභියෝගය
භාරගැනීමත් සමගිනි. ඒ සමගම මෙම වෛරසයක් මෙන් රට පුරා පැතිර යන්නට පටන් ගත්තේය.
මෙසේ මෙම අභියෝගය පැතිර යද්දී කෙනඩි පවුලේ සාමාජිකයකු වන ක්‍රිස් කෙනඩි එය භාර ගත්
අතර, ඉන් නතුරුව ඔහු එම අභියෝගය භාර දුන්නේ
ඔහුගේ ඥාති සොයුරියක වූ ජේනට් සෙනර්ෂියාටය. ඇයගේ සැමියා ද මෙම ස්නායු රෝගයෙන් පීඩා
විඳින තැනත්තෙකි.
මේ ආකාරයට අයිස් බකට් අභියෝගය පැතිර
යද්දී එතල් කෙනඩි විසින් ඇමරිකානු ජනපති බැරක් ඔබාමාට අභියෝග කළ අතර ඔහු එය ප්‍රතික්ෂේප
කරමින් පැවසූයේ තමා එසේ කළත් අරමුදලට ඩොලර් 100 කින් දායක වන බවය. ජස්ටින් බයිබර් මෙම අභියෝගය භාර ගැනීම හරිහැටි
සිදු නොකළ බැවින් ඔහුට විවේචනයට ලක්වන්නට ද සිදුවිය. ලෙබ්‍රොන් ජේම්ස් ද බැරක් ඔබාමා ජනපතිවරයාට අයිස් බකට් අභියෝගය
එල්ල කළේය.
හිටපු ඇමරිකානු ජනපතිවරයකු වූ ජෝර්ජ්
ඩබ්ලිව්. බුෂ් ද මෙම අභියෝගය භාරගෙන අයිස් ස්නානය කළ අතර, ඔහු බිල් ක්ලින්ටන් හට අභියෝග කළේය.
එක්සත් රාජධානියේ ඇලක්ස් සැල්මන්ඩ් සහ
රසල් බ්‍රෑන්ඩ් යන දෙදෙනා විසින් එරට අගමැති ඩේවිඩ් කැමරන් හට අභියෝග කළහ. නමුත්
ඔහුද ඔබාමා න්‍යාය අනුගමනය කරමින් එය ප්‍රතික්ෂේප කළ අතර, පසුව පැවසූයේ තමා එම අරමුදල සඳහා ඩොලර් 100 කින් දායකවන බවය.
බොලිවුඩ් සුපුරි නළුවකු වන අක්ෂය කුමාර
ද අයිස් බකට් ස්නානය කොට මෙම අරමුදලට දායක වූ අතර ඔහු එම අභියෝගය තවත් සුපිරි
නළුවකුවන සල්මාන් ඛාන්ට සහ ට්වින්කල් ඛන්නාට ඉදිරිපත් කළේය. ඔවුන් එය තමව භාරගත්
බවට ආරංචියක් නැත.
‛අයිස් බකට් අභියෝගය’ (Ice
Bucket Challenge) යනු සැබැවින්ම අපට මතුපිටින් පෙනෙන
හාස්‍යයමය අරමුණක් හෝ කවටකමක් වෙනුවෙන් ආරම්භ කරන ලද්දක් නොවේ. මෙය ‛ඒ.එල්.එස්. අයිස් බකට් අභියෝගය’ (ALS
Ice Bucket Challenge) නමින් ද හඳුන්වනු ලබන අතර එහි නියම
නම ද එයම වේ. amyotrophic
lateral sclerosis යන යන වදන් කෙටි කිරීමෙන් ‛ඒ.එල්.එස්’(ALS ) යන්න තැනී තිබේ. එම නමින් හඳුන්වනු ලබන්නේ රෝගයකි. කාටත් වැටහෙන
ලෙස කිවහොත් මෙය දරුණු ස්නායු රෝගයකි. ලෝකයේ ප්‍රධාන ගණයට වැටෙන චාලක ස්නායු රෝග
පහ අතරින් මෙය ද එකකි. මාංශ පේශී ඉතා වේගයෙන් ක්ෂය ව යාම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය
වේ. එවිට කතාව, ගිලීම සහ හුස්ම ගැනීමේ දුෂ්කරතා ඇති
වේ. මෙම රෝගය වැළඳීමෙන් වසර 3 - 4 ක්
ඇතුළත රෝගියා මිය යයි. වසර 10කට වැඩි කාලයක් ජීවත්ව සිටින්නේ
රෝගීන්ගේ 4%කටත් අඩු ප්‍රතිශතයකි. නමුත් වසර 50කට වැඩි කලයක් ජීවත් වූ පුද්ලගයන් ගැන ද අසන්නට
ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයෙන් වසරකට මෙවැනි රෝගීන් 5,600 ක් පමණ වාර්තාවන අතර දැනට එහි මෙම රෝගයෙන් මියගොස් ඇති සංඛ්‍යාව ද 30,000ක් පමණ වේ. ලෝකයේ සෑම මිනිසුන් ලක්ෂයකටම දෙදෙනෙකු මෙම රෝගය නිසා මිය යයි.
මෙම රෝගයට ගොදුරු වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර
සංවිධානයක් පිහිටුවා ඇති අතර එය ‛ඒ.එල්.එස්’
ඇසෝෂියේෂන්’ (The ALS Association) නම් වේ. මෙම රෝගය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම,
මෙවැනි රෝගීන් සඳහා යම් යම් සහන කටයුතු
සිදුකිරීම ආදිය මෙම සංගමය මගින් සිදු කෙරේ. ඔවුන් සිය සංගමයේ අරමුදල් තර කරගන්නට
විවිධ වැඩසටහන්වලට නැඹුරු වුව ද ඒවායෙන් සැළකිය යුතු තරම් මුදලක් එකතු කරගන්නට
හැකි වූයේ නැත. ඔවුන් අයිස් බකට් අභියෝගයට නැඹුරු වූයේ ඉන් පසුවය.
මෙහිදී එක් පුද්ගලයකු තවත් පුද්ගලයකුට
අයිස් බකට් එකක් නෑම සඳහා අභියෝග කරන අතර ඒ තැනැත්තා පැය 24ක තුළ අයිස් නා, එම අවස්ථාව යූටියුබ් වීඩියෝ අඩවියට එක් කළ යුතු ය. මෙම වීඩියෝවේ
අන්තර්ගත විය යුතු අවස්ථා ද නම්කොට තිබේ. තමා අභියෝගය භාරගත් බව පෙන්වීම සඳහා බකට්
එකකට අයිස් පිරවීම පෙන්විය යුතුය. පසුව බකට් එකෙන් නාගත යුතුය. එය තනිව කළ නොහැකි
නම් වෙනත් කිහිප දෙනෙකුගේ උදව් ලබාගන්නට ද පුලුවන. ඉන් පසුව ඔහුට හෝ ඇයට තවත්
පුද්ගලයකු වෙත මෙම අභියෝගය එල්ල කළ හැකි වේ.
මෙහි අරමුදල් එකතුකිරීම සම්බන්ධව විවිධ
නීති රීති පැවතිය ද පොදුවේ ලොව පුරා පැතිර යන්නේ මෙවැන්නකි. එනම්, අභියෝගය භාරගෙන අයිස් වතුර නාගත් තැනැත්තා
අරමුදල වෙනුවෙන් ඇමරිකන් ඩොලර් 10ක්
පරිත්‍යාග කළ යුතුය. අභියෝගය භාර නොගෙන නෑම ප්‍රතික්ෂේප කළ තැනැත්තා ඩොලර් 100 ක් පරිත්‍යාග කළ යුතුය.
අරමුදල් එකතු කිරීම සඳහා අයිස් වතුර
නෑමේ සිරිත ආරම්භ වූ දිනය පිළිබඳ හරිහැටි සොයාගන්නට නැතත් 2013 වසරේ මැද භාගයේ සිට 2014 මුල් භාගය දක්වා ‛සීත වතුර අභියෝගය’ පිළිබඳ කතා කනින් කොනින් ඇසී තිබේ.
ඇමරිකා එක්සත් ජනදයේ උතුරු පැත්තට වන්නට සමාජ වෙබ් අඩවිවල මෙය ඉමහත් ජනප්‍රිය
මාතෘකාවක්ව පැවතිණි. එහිදී සිදුවී ඇත්තේ පිළිකා පර්යේෂණ සඳහා වූ අරමුදලට දායකවීම
හෝ ඒ වෙනුවට සීත ජලය පිරි තටකයකට පැනීමය. නවසීලන්තයේ එක් දරුවකුගේ මොලයේ පිළිකාවක්
ඉවත්කිරීම පිණිස වූ අරමුදලක් සඳහා මේ වසරේ දී අයිස් ජලය අභියෝගයක් සිදුවිය. මෙවැනි
අයිස් ජලය අභියෝගයක් භාරගත් එක් තරුණියක් මිය ගිය අවස්ථාවක් ද වාර්තා විය.
කෙසේ වෙතත් අයිස් බකට් අභියෝගය අප රටට
පැතිරී ආවේ ඒ.එල්.එස්. නම් ස්නායු රෝගයට අරමුදල් රැස්කිරීම පිණිස ක්‍රියාත්මක
වන්නක් ලෙසිනි. ලෝකයේ සුප්‍රකට පුද්ගලයන් බොහෝ දෙනෙක් අයිස් වතුර ස්නානය කොට මෙම
අරමුදලට දායක වුවද මේ පිළිබඳ විවේචනය කරන්නෝද සිටිති. ඔවුන් පවසන්නේ ඒ.එල්.එස්.
සංගමය වෛද්‍ය පර්යේෂණ සඳහා අසරණ සතුන් යොදාගන්නා බවය. එමෙන්ම මෙසේ අයිස් වතුර නෑම
සෞඛ්‍යයට අහිතකරවිය හැකි බවද ඔවුහු පවසති.
අපේ රටේ සුප්‍රකට පුද්ගලයන් අයිස් වතුර
නෑමේ සිදුවීම් පිළිබඳ මාධ්‍යවලින් ප්‍රචාරය ලබාදුන්න ද ඔවුන් පෙරකී අරමුදලට
දායකවනවාද, ඒ කුමන අයුරින් ද යන්න පිළිබඳ තොරතුරු
දැනගන්නට නැත. ඇතැමුන් පවසන්නේ පෞද්ගලික ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා ඇතැම් අය අයිස්
වතුර නෑ බවය. නියඟයෙන් දහස් ගණනක් පීඩා විඳිනවිට කොළඹට වී අයිස් වතුර නෑමේ
සදාචාරාත්මක බව පිළිබඳවද ඇතැමෙක් ප්‍රශ්න නගති. කෙසේ වුවත්, විවේචන පැවතිය ද මෙහි අවසන් අරමුණ වූ පෙරකී
ස්නායූ රෝගය සඳහා වූ අරමුදල මෙයින් තරවන්නේ වන්නේ නම් අයිස් වතුර නෑවාට ද කමක්
නැත. නමුත් දනට පිනට හුරු අපේ රටේ මිනිසුන්ට අරමුදලකට දායක වන්නට අයිස් වතුර නෑමට
අවශ්‍යමද යන්න පිළිබඳවත් සිතිය යුතුව තිබේ.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න