පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, September 22, 2014

කොල්ලෙක් නම් නිල් - කෙල්ලෙක් නම් රෝස. එහෙම වුණේ කොහොමද? The History Of Pink For Girls, Blue For Boys



හුඟක් දෙනෙක් දරුවෙක් උපදින්න කල් තියාම ඕන කරන ඇඳුම් ආයිත්තම්, බඩුමුට්ටු ගෙදර ගිහින් තියාගන්නවා. ඒත් අපේ දෝණි උපන් දවසේ නම් සමහර දේවල් ගත්තේ එදා දවසෙම තමයි. පොඩි දරුවන්ගේ දේවල් තෝරන්න මට තියෙන දැනුම ගැන දන්න හින්දම රෝහලේ ඇඳේ ඉඳන්ම බිරිඳ මට කිව්වේ “රෝස පාටින්ම හැම එකම අරන් එන්න” කියලයි. ඒත් හැම තැනම වගේ තිබුණේ නිල් පාට. මම රෝස පාටම හොයන කොට කඩවල මුදලාලිලා ඇහුවේ “දුවෙක් නේද ඉපදිලා තියෙන්නේ” කියලයි. මම ටිකක් පුදුමෙන් වුණත් ඔව් කිව්වා. නිල් පාට ගන්නේ පුතෙක් ඉපදුනාම කියලත් මේ සාප්පු සවාරිය අතරේ මට දැනගන්න ලැබුණා. කොහොම හරි හතර වටේම ඇවිදලා රෝස පාටින්ම හැම දෙයක්ම හොයාගන්න පුළුවන් වුණා. මම ඊට පස්සේ දන්න කියන අයගෙන් ඇහුවේ මොකද දුවලට රෝස පාටයි පුතාලාට නිල් පාටයි ගන්නේ කියලා. ඒත් කවුරුවත් ඒකට උත්තරේ නම් දැනගෙන හිටියේ නැහැ. අනෙක කඩවල මුදලාලිලාට ඒවා හොයන්න වෙලාවකුත් නැහැ. ඒවා හොයලා වැඩකුත් නැහැ. දුව ඉපදිලා අවුරුදු කීපයකට පස්සේ පුතා උපන්න වෙලාවේ කාගෙන්වත් අහන්නේ නැතිව නිල් පාටින්ම හැම දේම හොයාගන්න තරම් මට දැනුමක් තිබුණේ එදා දුව උපන් දවසේ ලබාගත්තු දැනුම් සම්භාරය හින්දයි. පුතා ඉපදිලාත් අවුරුදු කීපයක් ගියාට පස්සේ මට හදිසියේම මේ ගැහැනු පිරිමි පාට ප්‍රශ්නය ඔලුවට ආවා. ඉතිං මට හිතුණා මම වගේම වැඩක් ඇතැව හෝ නැතිව මේ ප්‍රශ්නය ගැන කල්පනා කරන අය තවත් ඇති නේද කියලා. අන්න ඒ වාගේ අයට වැදගත් වෙයි කියලා හිතලයි මේ ලිපිය ලියන්නේ.

මේ ගැන විස්තර හොයන කොට මට පොඩි සතුටකුත් දැනුණා. මොකද ලෝකේ හතර කොනේම මේකට උත්තර හොයන එය එමට ඉන්න බව දැකපු හින්දයි. සමහරු කියන්නේ මේක සංස්කෘතියෙන් අපට උරුම වු දෙයක් කියලා. ඇතැම් අය හිතනවා මේකේ ජීව විද්‍යාත්මක සම්බන්ධයකුත් ඇති කියලා. මේ ගැන බොහෝ දෙනෙක් විවිධ පර්යේෂණ පවත්වලත් තියෙනවා. මේ අය අතුරින් එක් කෙනෙක් තමයි ජෝ පවොලෙට්ටි. ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් සරසවියේ ඉතිහාසඥයකු වන ජෝ දශක ගණනාවක් තිස්සේ කළ පර්යේෂණවලට අනුව පවසන්නේ 1950 දශකය වන තුරු ගැහැනු පිරිමි විදියට වර්ණ බෙදාගැනීමක් දකින්නට නොලැබුණු බවයි. ඔහු පවසන්නේ පිරිමි දරුවන් සඳහා නිල් පාටත් ගැහැනු දරුවන් සඳහා රෝස පාටත් වෙන්කරගැනීම මිනිසුන් අතර ප්‍රචලිත වුනේ විසිවැනි සියවසේ දී බවයි. නමුත් ගැහැනු පිරිමි විදියට පාට බෙදාගත්තු කතාව නම් ඈත අතීතයේ ඉඳන්ම මිනිසුන් අතර පැවතුණා. 1918 වර්ෂයේ පළ වූ සඟරාවක බිළිඳු ඇඳුම් නිෂ්පාදකයෙක් මේ ගැන අදහස් දක්වා තිබුණා. ඔහුට අනුව මුල්ම කාලේ මේ වර්ණ දෙක ගැහැනු පිරිමි වශයෙන් යොදාගෙන තියෙන්නේ එකිනෙක් මාරු කරලා. ඒ කියන්නේ බිළිඳුන් වෙනුවෙන් රෝස පාටත්, බිළිඳියන් වෙනුවෙන් නිල් පාටත් විදිහටයි. මෙයට හේතුව තමයි රෝස කියන්නේ ශක්තිය හඟවන වර්ණයක් වීමත්, නිල් කියන්නේ සුකොමල ගණයට වැටෙන වර්ණයක්වීමත් නිසයි. මේ නිසා බිළිඳුන් වෙනුවෙන් රෝසපාටත්, බිළිඳියන් වෙනුවෙන් නිල්පාටත් යොදා ගැනුණා.

මේ වර්ණ දෙක සමාජයේ ස්ථාපිත කරන්න නොයෙක් විදියේ උත්සාහයන් ගැනුණා. 1927 දී ටයිම් සඟරාවේ මේ ගැන කරපු මත විමසුමක ප්‍රතිඵල පළකරලා තිබුණා. ලෝකයේ ප්‍රධාන පෙළේ නගගරවල ජනතාවගෙන් මේ වර්ණ දෙක බිළිඳුන් හා බිළිඳියන් වෙනුවෙන් යොදාගන්නේ කෙසේදැයි අසා තිබුණා. බහුතරයක් දුන් පිළිතුරුවලට අනුව අපට දැනගන්න ලැබෙන්නේ බිළිඳුන් වෙනුවෙන් රෝස පාටත් බිළිඳියන් වෙනුවෙන් නිල් පාටත් භාවිත කෙරුණු බවයි. අඩුම තරමේ දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන සමය වන විටදීවත් වර්තමානයේ අප මේ වර්ණ භාවිත කරන විදිය පැවතුනේ නැහැ.

ලිංග විපර්යාසය අනුව වර්ණ භාවිතය සමාජයේ ස්ථාපිත කරන්න වැඩිපුරම මහන්සි වුණේ බිළිඳු භාණ්ඩ නිෂ්පාදකයින්. තමන්ගේ ලාභය වැඩිකරගැනීමේ අරමුණින් ඔවුන් මෙවැනි රැල්ලක් ඇතිකරන්නට උත්සාහයක් ගත්තා.

අද අප බිළිඳ්න් හා බිළිඳියන් වෙනුවෙන් භාවිත කරන වර්ණ සඳහා ප්‍රබල බලපෑමක් ඇතිවූයේ ප්‍රංශ මෝස්තර සංස්කෘතිය බව පවොලෙට්ටි පවසනවා. ඔවුන් තමන්ගේ මෝස්තර ප්‍රදර්ශනවලදී බිළිඳුන් වෙනුවෙන් නිල් පැහැයත් බිළිඳියන් වෙනුනේ රෝස පැහැයත් භාවිත කළා. විසිවැනි සියවසේ මෝස්තර ශිල්පියා ලෙස ලෝකයේ වැජඹුණේ ප්‍රංශයයි. මේ වැජඹීම කොතෙක්ද කීවොත් එතෙක් බිළිඳුන් හා බිළිඳියන් වෙනුවෙන් භාවිත වූ වර්ණ ද ලොව පුරා එකවර වෙනසකට බඳුන් වුණා.

ඉතාලියේ ටියුරින් සරසවියේ සමාජ විද්‍යාඥයකු වන මාර්කෝ ඩිල් ගයිඩිස්ට අනුව නම් 1880 තරම් ඈත කාලයේ සිටම බිළිඳුන් වෙනුවෙන් නිල් පැහැයත් බිළිඳියන් වෙනුවෙන් රෝස පැහැයත් භාවිත වී තිබෙනවා. ඔහු පවසන්නේ අඩුම තරමින් 19 වැනි සියවසේ සිටම රෝස කියන්නේ ස්ත්‍රී වර්ණයක් බව ලෝකයේ පිළිගැනුණු දෙයක් බවයි. නමුත් ජීව විද්‍යාත්මකව ගතහොත් වයසින් වැඩුණු පසු සියලු පිරිමින් නිල් පැහැයටත්, සියලු ගැහැනුන් රෝස පැහැයටත් කැමති බව පෙනෙන්නේ නැහැ. මෙම වර්ණ දෙක හැර  වර්ණාවලියේ විවිධ වර්ණවලට ඔවුන් තුළ කැමැත්ත ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. පවොලෙට්ටි නම් මේ අදහස සමග එකඟවන්නේ නැහැ.

කෙසේ වෙතත් බිළිඳුන් වෙනුවෙන් නිල් පැහැයත් බිළිඳියන් වෙනුවෙන් රෝස පැහැයත් භාවිත කරන්නේ ඇයි ද යන්න දැන් ඔබත් මමත් දන්නවා. මට මෙන්ම ඔබටත් බිළිඳු දියණියක් හෝ බිළිඳු පුතකු වෙනුවෙන් ඇඳුම් ආයිත්තම්, බඩු භාණ්ඩ තෝරන්නට සිදුවුවහොත් දැන් ඒ සඳහා මේ වර්ණම තෝරාගන්නට පුළුවන්. ඒ වර්ණම තෝරන්නට ඕනෑ වන්නේ ඇයිදැයි කිසිවකුගෙන් අසන්නට වුවමනා වන්නේද නැහැ.

10 comments:

  1. වැඩේ හරියටම පැහැදිලි උනේ නැහැ...

    ReplyDelete
    Replies
    1. මේක ඒ තරම් සංකීර්ණ නැහැ

      Delete
  2. අපේ එක්කෙනත් තුන්පාරක්ම රෝස පාට ඇඳුම් මැහුව ඒ උනාට තුන් පාරම අන්දන්න උනේ නිල් පාට.

    ReplyDelete
  3. කොල්ලට තුවක්කු, පිස්තෝල, කාර්, බස්, බැට්, බෝල්, කෙල්ලට බෝනික්කයි, හැලි වලනුයි, ඇයි කොල්ලට බෝනික්කෙක් දුන්නොත් ඌට එක හෝදන්න බැරිවෙයිද? වලං දෙකක් ගෙනත් දුන්නොත් ඒකෙ වැලි බත් උයන්නැතිවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද අදහසක් තමයි. කරලාම බලන්න ඕන

      Delete
  4. ඒ කියන්නේ රෝස පාට ස්ත්‍රීත්වයත් නිල් පාට පුරුෂත්වයත් නිරූපණය කරනවා කියන එක ද? නැතිනම් රෝස පැහැය ලාමක ලපටි බවත් නිල් පැහැය ශක්තිය තේජවත් බව නිරූපණය කරනවා ද කියන එකද?
    මම දැක්කෙ පර්යේෂණයත් විස්තරත් විතරයි ඒත් නිගමනය එළඹීමක් දැක්කෙ නැ සහෝ

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදි වගේද? මටත් නිකං එහෙම හිතුණා. මමත් ඉක්මණට ලියලා දැම්මේ. බලමු මේක තව ටිකක් විස්තර කරලා අප්ඩේට් එකක් දාන්න.

      Delete
  5. නිරංජන් අය්යෙ මං හිතුවෙ ඔයි වගේ පස්න තියෙන්නෙ මට විතරයි කියල බැලින්නං ඒ ගැන පර්යේෂනත් කරල තියේනෙ...
    ස්තූතියි විස්තරයට ඈ

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් ආවොත් ඒ ගැන හොයන එක හොදයි නේ. අනෙක් අයටත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙනවනේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න