පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, October 1, 2015

පොත් ප්‍රදර්ශනවල ආනන්දයෙන් ප්‍රඥාව ලැබේද?


‛කියවීම මිනිසා සම්පූර්ණ කරයි’, ‛ආනන්දයෙන් ප්‍රඥාව ලැබේ’ වැනි කියමන් අපි කොතෙකුත් අසා ඇති මුත් මේවා ඇත්තටම ඇත්තදැයි ඇතැම් විටක සිතේ. තැනින් තැන අසන්නට ලැබෙන බොහෝ දේවල් නිසා මෙසේ සිතන්නට පෙළඹේ. එසේ සිතන්නට පෙළඹුණු මෑතකදීම දක්නට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් වූයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. 

මට මෙසේ සිතෙන්නේ ඇයි? 

පොත් ප්‍රදර්ශනයේදී අපට විවිධ පොත් කියවන්නට ලැබේ. පොත් ප්‍රදර්ශනයට පැමිණෙන්නේ සැබැවින්ම පොත් පෙම්බරයන් නම්, කියවන්නට පෙම් බඳිනවුන් නම්, කියවීමට ඇබ්බැහි වූවන් නම් මේ පැමිණෙන්නන් මනා විචාර බුද්ධියකින් හෙබි, අයහපතෙන් යහපත තෝරාගත හැකි බුද්ධිමත් පිරිසක් විය යුතුය. නමුත් අවාසානාවට ඇත්ත කතාව එය නොවේ. 

පොත් ප්‍රදර්ශනය නරඹන්නට පැමිණෙන සියලු දෙනා පොත් පෙම්බරයන් නොවේ. පොත් පෙම්බරයන් හැරුණු විට කාලය මරමින් සිය පෙම්වතිය හෝ පෙම්වතා සමඟ ඇවිදිනන්නට කැමති පෙම්බරයෝ ද මෙයට පැමිණෙති. අධ්‍යාපන තරගය සඳහා සිය දරුවන් සූදානම් කරවනු වස් වැඩපොත්, පසුගිය හා ආදර්ශ විභාග ප්‍රශ්න පත්තර වැනි දෑ සොයා ගැනීමට කැප වූ දෙමාපියෝද මෙයට පැමිණෙති. තමන් පොත් කියවන බව ලෝකයාට ප්‍රදර්ශනය කරමින් පොත් පත් ගත්ත ද ජීවිතයට එහි අකුරක් හෝ නොකියවන අය ද පැමිණෙති. ගැට කපන්නන් සහ සෙනඟ අතරේ තෙරපෙමින් කායික වින්දනයක්  ලබන්නවුන් ද මේ අතර දක්නට ලැබේ. 

මේ හේතුව නිසා මෙහි පැමිණෙන සියලු දෙනා කියවීමෙන් සම්පූර්ණ වන්නවුන් නොවන අතර ආනන්දයෙන් ප්‍රඥාව ලබන්නෝ ද නොවෙති. ඔවුන් බහුතරය ප්‍රඥාවන්තයෝ නම්, සම්පූර්ණ මිනිසුන් නම්, වැරදි දෙය මග හැර නිවැරදි දෙය ද, අයහපත් අතහැර යහපත් දෙය ද තෝරාගනු ඇත. නමුත් එසේ වූයේ හෝ අනාගතයේදී වන්නේ හෝ නැත. මොවුන් බහුතරය ප්‍රඥාවන්තයන් නම් කැලණි ගඟට විෂ එක් කළ බීම සමාගමේ බීම තරගයට අළෙවි වන්නට ඉඩක් නැත. මිනිත්තු 20ක් ගත වුව ද ආමාශය තුළ නොදිරවන නූඩ්ල්ස් පෝලිම්වල සිට තරගයට ගිළ දමන්නේ නැත. ප්‍රදර්ශන පරිශ්‍රයේ තැන තැන කුණු දමන්නේ නැත. රාත්‍රි කාලයේදී අහුමුළුවල සිට සුරාපානය කරන්නේ නැත. 

සුරාපාන නටබුන්

පොත් ප්‍රදර්ශනය සංවිධානය කරන්නෝ ද ප්‍රඥාවන්තයන් නොවෙති. ඔවුන් ප්‍රඥාවන්තයන් නම් තම පොත් මිලට ගන්නට පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය පිළිබඳ මෙයට වඩා සැළකිලිමත් වනු ඇත. ඔවුන් සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාර ගැනීම සඳහා නිසි විධි විධාන යොදනු ඇත. 

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වූ කලී පොත් ප්‍රකාශකයන් සිය පොත් අළෙවි කරගන්නට එක්ව කළ සාමූහික ප්‍රයත්නයක් මිස අන් කිසිවක් නොවේ. එය ආනන්දනීය ලෙස විඳ ප්‍රඥාව ළගාකොට ගැනීම අපගේ වගකීම වන්නේය. 


විජය පුවත්පතේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී, ළමා කතා කරු පියල් උදය සමරවීර මහතා සිය ළමා පාඨකයන්ගේ වින්දනය උදෙසා ඔවුන් වෙනුවෙන් මිලදී ගන්නා පොත්වල චිත්‍ර ඇඳීමක් මෙවර පොත් ප්‍රදර්ශනයේදී දක්නට හැකි විය. මේ එහි අවස්ථා කිහිපයකි.

6 comments:

  1. 'කියවීම මිනිසා සම්පූර්ණ කරයි'

    පොඩි කාලේ ඉඳලා අහපු කතාවක් වුනාට 100%ක් ඇත්ත කතාවක් නොවේ. (පොඩි කාලේ ඉඳලා අපිට කියල දීපු ගොඩක් දේවල් වගේම). කියවීම මිනිසා සම්පූර්ණ කරන්නේ නැත. ඒත් නොකියවනවාට වඩා කියවීම හොඳය.

    කියවන්නේ මොකක්ද? මොකක් ගැනද? කියවන දේ විචාරය කරන්නේ, භාර ගන්නේ, කියවන දේ ගැන සිතන්නේ කෙසේද කියන වැදගත් කාරණා අමතක කොට කියවීමෙන්ම මිනිසා සම්පූර්ණ කරයිය කියා උදේ හවහ දෙසා බෑම විකාරයකි.

    පොත් කියවීමට ඇබ්බැහි වූවන් හෝ පොත් සියගණනක් ලියූවන් වුවද බුද්ධිමතුන් සේ හැඳින්විය නොහැක.

    මෙවන් අවස්ථාවන් වලට පැමිණෙන්නන්ගේ අරමුණු විවිධාකාරය. ඒ සරල සත්‍ය ගැන පුදුම විය යුතු නැත. පන්සල් යන හැමෝම යන්නේ නිවන් දකින්නම නොවේ. මෙයත් ඒවගේමය.

    මිනිසුන් රැසක් ඒක රාශිවන තැනක දකින්නට හැකි පොදු හැසිරීම් මේවගේ තැනකද දකින්නට ලැබේ. එය සාමාන්‍යය දෙයකි.

    ඒ වගේම, පොත් ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම සහ ඒ වටා ගොඬනැඟී ඇති දේ තේරුම්ගතහොත් මැගී විකිණීමට තිබුනේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු සිතා ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. ඔබ පවසන දේ ඇත්තය. සියල්ල මුදල් හා ලාභය මත තීරණය වන සමාජයක මෙයට වඩා දෙයක් බලාපොරොත්තුවීම පලක් නැත.

      Delete
  2. මමත් පොත් ප්‍රදර්ශණයට ගියා පසුගිය සෙනසුරාදා.එදා පිරිස වැඩි.සියල්‍ර ප්‍රකාශකයන්ගේ පොත් එකම තැනකින් ගන්න පුලුවන් නිසා මම ගියේ.මට අත්‍යවශ්‍ය පොත් කිහිපයක්ම ගන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසා ටිකක් කලින්ම ගියා.නමුත් මම හොයපු පොත් වලින් පොත් දෙකයි එතන තිබුනේ.ඒ තමයි බුදුසමයේ උදාව,භාරතීය දර්ශණ කියන පොත් දෙක.ඒ දෙක වෙනුවෙන් පැය දෙකක වගේ කාලයක් සෙනග අතරේ හිරවෙන්න වුනා.අනිත් පොත් තිබුනේ නැ.මම එතනදි දැක්ක දෙයක් තමයි වැඩිපුරම විකිනෙන පොත් වලට පමනක් ප්‍රමුඛත්වය දීලා තිබුනා බවක්.මම හොයපු පොත් ඒ ගැනම අධ්‍යයනය කරන කෙනෙක් මිලට ගන්නවා හැරැනම වැඩිපුර විකිනෙන පොත් නොවන නිසා ඒ පොත් එතැන තිබුනේ නැ වෙන්නත් පුලුවන්.තවදුරටත් එතන කාලය ගෙවන එක තෙරැමක් නැති නිසා මම නැවත මරදානට ඇවිත් තමයි මට අවශ්‍ය කරන පොත් මිලට ගත්තේ.ඒ සදහා උපරිම පැය භාගයක පමන කාලයක් පමනයි මට ගතවුනේ.

    ඒ වගේම තමයි පාසල් උපකරන මිල අඩු නිසා සමහර දරැවො දෙමාපියෝ තව අවුරැදු 10 කට පස්සේ ඔන වෙන දේවලුත් අරගෙන යනවා මම දැක්කා.ඇත්තෙන්ම 50%ක් වගේ මිල අඩු දේවල් තිබුනා.නමුත් මට අවශ්‍ය නැත්නමි මිල කොපමන අඩුවුනත් මිලට ගැනිමෙ තෙරැමක් නැ.මොන තරමි මිල අඩුවුනත් පිරිමි මට කාන්තාවන්ට අවශ්‍ය කරන බ්‍රෙසියර් වැඩක් නැනේ..නමුත් එහෙම මලදි ගැනීම් පවා සිදුවුනා එතැන.

    හොද පැතිත් කතා කරන්න පුලුවන් මෙ ප්‍රදර්ශනයේ.නමුත් ඉරිදා පොලට යන මිනිස්සුයි එදා ප්‍රදර්ශනයට ඇවිත් හිටිපු සමහර අයයි අතර ලොකු වෙනසක් නමි ඇත්තේම නැති තරමි.

    ReplyDelete
    Replies
    1. පොත් ප්‍රකාශකයන් මෙය සංවිධානය කරන්නේ ලාබ ලැබීමේ අදහසින් මිසක අවංකවම පාඨකයන් ගැන සිතා නොවේ. සම්මාන ලැබූ හා ඒවාට නිර්දේශ වූ පොත් අළෙවි කරගැනීමට සියලු දෙනා අනවරත තරගයක යෙදෙති. බොහෝ ප්‍රකාශකයන් ලාබ ගන්නේ අධ්‍යාපන පත පොත අළෙවියෙනි. ඒවායෙන් ආනන්දයක් හෝ ප්‍රඥාවක් ඇති වේ යැයි කිව නොහැකිය. එමෙන්ම වැඩිපුරම අළෙවි වන පොත් ප්‍රදර්ශනය කිරීමෙන් ප්‍රකාශකයන්ට වැඩි ලාභයක් ලබාගත හැකිය. මේ නිසා කියවීමෙන් පූර්ණත්වයක් බලාපොරොත්තු වන මිනිසුන් හෝ කියවා ලබාගන්නා ආනන්දයෙන් ප්‍රඥාවක් කරා ගමන් කරන්නට රිසි මිනිසුන් හෝ මෙම ප්‍රදර්ශනයට පැමිණෙන්නේ නම් ඒ අතලොස්සකි. සෙස්සන් ඔබ පැවසූ පරිදිම ඉරිදා පොළට බඩු මිලට ගන්නට යන පිරිසට වඩා වෙනසක් නැත.

      Delete
  3. මෙය අනර්ඝයි

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න