පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, October 8, 2018

ප්‍රකට ඡායාරූප පසුපස සැඟවුණු කතා - Story Behind the Famous Photographs

ඡායාරූපයක් කියන්නේ වචන දහසක් කියල කියනවා. ඒ කියන්නේ වචන දහසකින් කිව යුතු දෙයක් එක් ඡායාරූපයකින් කියවෙන බවයි. ඒක ඇත්ත කියන එක සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට වැටහෙන දෙයක්. ඡායාරූපයක් දිහා බැලුවාම අපට දහසක් දේ කියන්න පුළුවන් බව හැබෑව. ඒත් සමහර විට ඇතැම් ඡායාරූපවලට පිටුපසින් තියෙන සැබෑ කතා අප නොදන්නවා වෙන්නට පුළුවන්. විශේෂයෙන් ලෝක ඉතිහාසයෙන් හමුවන සුප්‍රකට ඡායාරූප පසුපස ඇති සැබෑ කතා ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. නමුත් අප ඒවා නිතර දෙවේලේ අන්තර්ජාලය, ජනමාධ්‍ය ආදියෙන් දකිනවා. ඒ වගේ දේවල් ගැන විස්තර දැන ගත්තොත් ඡායාරූපයක් පසුපස වචන දහසක් තියෙනවා කියන කතාව ඔබටම පසක් කරගන්නට පුළුවන් වේවි.

ඇෆ්ගන් දැරිය





මෙය මුලින්ම පළ කෙරුණේ 1985 වසරේ දී නැෂනල් ජෝග්‍රැෆික්  කියන සඟරාවේ කවරයේ ඡායාරූපය ලෙසයි. මේ ඇෆ්ගනිස්ථානයේ යුද්ධයෙන් අනාථ වුණු දැරියක්. එකිනෙකට මිශ්‍ර වුණු හැඟීම් සමුදායක් මුහුණෙන් කියවෙන මෙය අදටත් යුද්ධයේ අමිහිරි බව කියාපාන්නට තිබෙන හොඳම ඡායාරූප අතරින් එකක් බවට පත්ව තිබෙනවා. මේ ඡායාරූපය ගැන අදහස් දැක්වූ ඇතැමුන් පැවසූයේ මෙය නූතන මොනා ලිසා බවයි. මෙහි ඡායාරූප ශිල්පියා වන ස්ටීව් මැක්රිට වසර හතකට පසුව නැවත මේ දැරිය මුණගැහෙනවා. එහිදී ඇගේ වතගොත ඔහු සොයා ගන්නවා. ඇය නමින් ෂර්බාත් ගුලා. අන්තර්ජාලය තුළ ප්‍රකට එකම ෂර්බාත් ගුලා ඇයයි. ස්ටීව්ගේ කැමරාව තුළ ඇගේ රුව සටහන් වෙද්දී ඇයට අවුරුදු 12 යි. වසර 30ක් සරණාගතයකු ලෙස අනාථ කඳවුරුවල ගත කළ ඇය අද ඇෆ්ගනිස්ථානයේ අගනුවර නිවසක හිමිකාරියක්. 46 වැනි පසුවන ඇයට මේ නිවස ප්‍රදානය කරන ලද්දේ ඇෆ්ගන් රජය විසින්. ඇගේ රටේ ඇයව හඳුන්වනු ලබන්නේ ඇෆ්ගන් මොනා ලිසානමින්. ඇගේ ජීවිතය යලි ඇයට හිමි වුණේ ස්ටීව්ගේ මේ ඓතිහාසික ඡායාරූපය නිසයි.

ඇද වැටෙන සෙබලා


ඇද වැටෙන සෙබලාලෙස නම් කොට ඇති මේ ඡායාරූපය සිය කැමරාවට හසුකරගත් ඡායාරූප ශිල්පියා රොබට් කාපා. 1936 වසරේ දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ දී සෙබළකු වෙඩි පහරකට ලක් ව බිම ඇද වැටෙන මොහොත ඔහු මෙසේ සිය කැමරාවේ සටහන් කොට ගෙන තිබුණා. වූනම් ප්‍රංශ සඟරාවේ මුලින්ම පළ කරන ලද මෙය ක්ෂණිකව ලෝකයේ අවධානය දිනාගන්නට සමත් වුණා. මෙයින් පසුව නැවත් නැවත පිටපත් ලක්ෂ ගණනින් මුද්‍රණය කෙරුණු මේ ඡායාරූපය යුද්ධය නිරූපණය කරන සංකේතයක් බවට ලෝක ඉතිහාසය තුළ සනිටුහන් වුණා. මේ ඡායාරූපය පළ කිරීමෙන් වසර දෙකකට පසු බ්‍රිතාන්‍ය සඟරාවක් වූ පික්චර් පෝස්ට්ප්‍රකාශයට පත් කළේ එවකට 25 හැවිරිදි රොබට් කාපා ලෝකයේ විශිෂ්ටතම ඡායාරූප ශිල්පියා බවයි. මේ ඡායාරූපය සැබෑ එකක් නොවන බවට ද එකල සෑහෙන වාද විවාදවලට ලක් වුණා.


ඇඟ හිරිවට්ට්න විවේකය



මේ ඡායාරූපය බැලූ බැල්මට ව්‍යාජ එකක් යැයි ඔබට සිතේවි. මෙය ප්‍රසිද්ධියට පත් කෙරුණු සමයේ පවා බොහෝ දෙනෙක් සිතුවේ එවැන්නක්. වර්තමානයේ ඇතැම් චිත්‍රපටවල ඇති මෙවැනි දර්ශන ගනු ලබන්නේ කිසිදු අවදානමක් නොමැතිව චිත්‍රගාරවල නිසා එවැන්නක් සිතීම ගැන දොසක් ද කිව නොහැකියි. නමුත් මේ ඡායාරූපය ගැන යමක් කීවොත් මේක ඇත්තක්. ඇමරිකා එක්සත් ජනපදයේ මැන්හැටන්වල රොක්ෆෙලර් ප්ලාසා නම් මීටර් 260 ක් උසැති ගොඩනැගිල්ල ඉදි කරන සමයේ ඡායාරූපයට හසු කරගත් එහි කම්කරුවන් පිරිසක් තමයි මේ ඉන්නේ. අඩි ගණනක් පහළින් කිසිවක් නැතත් ඔවුන් ඉතාමත් විවේකයෙන් මේ යකඩ කඳ මත ඉන්නවා.  ආහාර පාන පවා ගෙන ඇත්තේ මේ මත සිට කීවොත් පුදුමයක් සිතෙනවා පමණක් නෙවෙයි ඇඟත් හිරිවැටිළා යන තරම්. 1932 වසරේ දී චාල්ස් සී. බෙට්ස් විසින් මෙය ගනු ලැබුවේ හි 69 වැනි මහලේ සිටයි. වෙහෙස වී වැඩකරන කම්කරුවන් පිළිබඳ කදිම නිරූපණයක් ලෙස මේ ඡායාරූපය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

සෙබළා සහ හෙදිය



දෙවැනි ලෝක යුද්ධය අවසන් වීම සම්බන්ධව ගන්නා ලද ඡායාරූප අතර ලොව ප්‍රකටම වී ඇත්තේ මෙය කීවොත් එහි වරදක් නැහැ. මේ දෙදෙනා එකිනෙකා හඳුනන්නේ නැති දෙදෙනක බව වඩාත් පැහැදිලි වන්නේ මේ හෙදිය පසුව කියූ කතාවක් නිසයි. ඇය නමින් ඊඩිත් ෂේන්. හෙදියක් ලෙස සේවය කළ ඇය දෙවැනි ලෝක යුද්ධය අවසන් කළ පුවත් ආරංචි වී එය සමරන්නට ටයිම්ස් චතුරශ්‍රය වෙත පැමිණෙමින් සිටියා. එසේ පැමිණෙන අතරේ එක්වරම ඇය අසලින් ගිය සෙබළෙක් ඇයව අල්ලා මෙසේ දැඩිව සිපගත් බව ඇය පවසනවා. සෙබළා පසුව පැවසූයේ යුද්ධය අවසන් වූ සතුට සමරන්නට විදියක් ගැන කල්පනා කරමින් සිටිය දී මේ හෙදිය දුටු නිසා ඇයව එසේ සිප ගත් බවයි. මේ අවස්ථාවේ දී එතැන සිටි යුදෙව් ජාතික ඡායාරූප ශිල්පියකු වූ ඇල්ෆ්‍රඩ් අයිසන්ටඩ් විසින් මෙසේ සිය කැමරාවට හසු කරනු ලැබුවා. මේ අවට සිටි වෙනත් ඡායාරූප ශිල්පීන් ද පසුව මෙය සිය කැමරාවල සටහන් කරගත්තත්, මේ මොහොත සහ මේ ඡායාරූප කෝණය ඔවුන්ගේ ඡායාරූපවල නොමැති නිසා ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූයේ මෙයයි. යුද්ධය වෙනුවෙන් වෙහෙස වූ සෙබළුන් සහ හෙදියන්ට උපහාරයක් ලෙස මේ ඡායාරූපය නම් කොට තිබෙනවා.




මේ ඡායාරූපයේ සිටින හෙදිය වූ ඊඩිත් ෂේන් 2010 වසරේ දී අවුරුදු 90 ක ආයු කාලයක් විඳ මිය ගියා. යුද විජයග්‍රහණය සමරන එක් අවස්ථාවක දී ඇය මේ ප්‍රකට ඡායාරූපය ද ගෙන මෙසේ එයට සහභාගී වුණා. 



යුද විජයග්‍රහණයේ 65 වැනි සංවත්සරයේ දී මෙම සුප්‍රකට හාදුව තවත් බොහෝ කල් මතකයේ රැඳෙනු වස් මේ යුවලගේ ප්‍රතිමාවක් ද ටයිම් චතුරශ්‍රයේ දී නිරාවරණය කෙරුණා. 

අයින්ස්ටයින්ගේ දිව





අයින්ස්ටයින්ගේ දිවයනුවෙන් ලොව ප්‍රකටව ඇති මෙය බැලූ බැල්මටම අයින්ස්ටයින්ව සරදමකට ලක් කරන්නට පසුව සකස් කරන ලද්දක් ලෙස ඇතැමුන් සිතුවත් මෙය ඇත්තම ඡායාරූපයක්. විශේෂයෙන් අයින්ස්ටයින් වැනි බුද්ධිමතකු මෙසේ විකාර ඡායාරූපයකට පෙනී සිටී ද කියා සැකයක් ද පහළ වෙනවා. අයින්ස්ටයින් සිය 72 වැනි උපන් දින සාදයට සහභාගී ආපසු යන්නට මෝටර් රථයට ගොඩවෙද්දී ඡායාරූප ශිල්පියකු වූ ආතර් සැසේ මොටර් රථය අසලට ගොස් ඡායාරූපයකට පෙනී ඉන්නැයි අයින්ස්ටයින්ගෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේ දී එම ඉල්ලීම සරදමට ලක් කරන්නට මෙන් ඔහු සිය දිව දිගු කළා. මේ අවස්ථාවේ දී ඉක්මන් වුණු ඡායාරූප ශිල්පියා අයින්ස්ටයින් මෙසේ දිව දිගු කරගෙන සිටින අවස්ථාව සිය කැමරාවේ සටහන් කර ගත්තා. මෙය සමීප ඡායාරූපයක් නොවන අතර පසු කාලයේ දී මෙය විශාල කොට තිබෙනවා. අයින්ස්ටයින් මෝටර් රථයේ සිටින්නේ තවත් දෙදෙනෙකු සමගයි.  අයින්ටයින් ද මේ ඡායාරූපයට කැමැත්තක් දැක්වූවා පමණක් නොව ඔහු සිය සුබපැතුම්පත්වලට ද මෙය එක් කරන්නට ද අමතක කළේ නැහැ.

විරෝධතාවක බලය



ටෑන්ක් මෑන්ලෙසින් ලොව ප්‍රකට වූ මේ ඡායාරූපය ගෙන තිබෙන්නේ චීනයේ ටියනාන්මෙන් චතුරශ්‍රයේ පැවැති විරෝධතාවක් අතරතුරයි. ඇමරිකානු ඡායාරූප ශිල්පියකු වූ ජෙෆ් වයිඩ්නර් විසින් ඉතාමත් දුරින් පිහිටි හෝටල් කාමරයක සිට ගනු ලැබූ මෙය විරෝධතාවක දී විරෝධතාකරුවකු තුළ ඇති වන ආත්ම ශක්තිය, ධෛර්යය වැනි ගුණාංග හොඳින් ප්‍රකට වන්නක් ලෙස ලොව පුරා පිළිගැනීමකට ලක් ව තිබෙනවා. 1989 වසරේ දී එවකට පැවැති චීන පාලනයට එරෙහිව ටියනාන්මෙන් චතුරශ්‍රයේ දැඩි විරෝධතාවක් එල්ල කෙරුණා. එහිදී චීන හමුදාවේ යුද ටැංකි චතුරශ්‍රය කරා ළඟා වෙමින් පැවතුණා. මේ අවස්ථාවේ දී තනිවම ඉදිරියට ගිය මේ විරෝධතාකරුවා යුද ටැංකිය ඉදිරියේ සිට ගත්තා. මෙවැනිම සිද්ධියක් මෙයට පෙර තුර්කියේ දී ද සිදු වුණා. නමුත් ඒ අවස්ථාවේ දී යුද ටැංකිය පැද වූ සෙබළා කිසිදු අනුකම්පාවක් නොමැතිව එසේ ඉදිරියට පැමිණි පුද්ගලයාව යට කරගෙන ඉදිරියට ගියත්, චීන සෙබළා එසේ අමානුෂික වූයේ නැහැ. ජෙෆ් වයිඩ්නර් මේ ඡායාරූපය නිසා පුලිට්සර් සම්මාන ලැයිස්තුවේ අවසන් වටයට ද තේරීමට තරම් වාසනාවන්ත වුණා.

චේ ගුවේරා






ආර්ජන්ටිනා ජාතිකයකු ලෙස කියුබානු විප්ලවයට එක්ව ෆිදෙල් කැස්ත්‍රෝ සමග එය ජයග්‍රහණයක් දක්වා මෙහෙය වූ චේ ගුවේරා ගැන නොදන්නා කිසිවකුත් නැති තරම්. ඔහුගේ ඡායාරූප අතර මෙයට ලැබෙන්නේ විශේෂ ස්ථානයක්. ඒ චේ ගුවේරාගේ ලොව ප්‍රකටතම ඡායාරූපය මෙය නිසයි. ටී ෂර්ට්, පෝස්ටර්, ස්ටිකර් වැනි සෑම දෙයක් සඳහාම යොදා ගෙන ඇත්තේ චේ මේ ඉරියව්වෙන් සිටිනා ඡායාරූපයයි. මෙය ගෙන ඇත්තේ වසර 9 ක් තිස්සේ ෆිදෙල් කැස්ත්‍රෝගේ නිල ඡායාරූප ශිල්පියා වශයෙන් සේවය කළ ඇල්බර්ටෝ කෝර්ඩා විසින් 1960 වර්ෂයේ දී. මේ ඡායාරූපය පසුපස ඇත්තේ මෙවැනි කතාවක්. 1960 වසරේ මාර්තු 4 වැනිදා ප්‍රංශ නෞකාවක් වූ ලා කුබ්රේමගින් බෙල්ජියමේ සිට කියුබාව දක්වා යුද අවි ප්‍රවාහනය කෙරෙමින් සිටිය දී එය පුපුරා විනාශ වුණා. කැස්ත්‍රෝ මෙහිදී දොස් නැගුවේ ඇමරිකා එක්සත් ජනපදයටයි. මෙයින් 75 දෙනෙකුට අධික පිරිසක් මිය ගියා. පසුදා ලා හබානාවලදී මිය ගිය පුද්ගලයන් සැමරීමක් සිදුවුණා. මේ අවස්ථාවේ දී ඇල්බර්ටෝ විසින් චේ ගුවේරාගේ ඡායාරූප දෙකක් ගනු ලැබුවා. නමුත් මේවා ගන්නා බවක් චේ ගුවේරා දැන සිටියේ නැහැ. මේ වන විට මේවා ලෝකයේ සංකේත බවට පත්ව තිබෙනවා. චේ ගේ රුව ලොව පුරා මුදලට විකිණෙන දෙයක් බවට පත්වීම ගැන ඇල්බර්ටෝ කෝඩා ජීවිත කාලයටම දුක් වුණා. හේතුව එවැනි කටයුතු චේ ගේ ප්‍රතිපත්තිවලට හාත්පසින්ම විරුද්ධ දෙයක් වූ නිසයි. 

5 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න