පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, August 30, 2014

කිසිදා මල නොබැඳෙන දිල්ලියේ යකඩ කුලුණ - Mysteriuos Iron Pillar in India



අරුම  පුදුම ලෝකයේ කතාකරන්නට බොහෝ දේවල් තිබේ. එයින් එකක් වන්නේ ඉන්දියාවේ නවදිල්ලියේ කුටුබ් චතුරශ්‍රයේ පිහිටි අභිරහස් යකඩ කුලුණයි. මෙය මීටර් 7ක් හෙවත් අඩි 23ක් උසින් යුක්තය. පොලොව යටට මෙය තවත් මීටර් 1.07 ක් හෙවත් අඩි 3 අඟල් 8ක් ගිලාබැස තිබේ.  විෂ්කම්භය සෙන්ටිමීටර් 41ක් හෙවත් අඟල් 16.9 කි. මෙය ටොන් හයකටත් වඩා බරින් යුක්ත යැයි ගණන් බලා තිබේ. මෙතරම් පවසන මෙහි විශේෂත්වය කුමක්දැයි ඔබට දැන ගැටලුවක් ඇතිවනු ඇත මෙහි ඇති අරුමය, පුදුමය, විශේෂත්වය හා අභිරහස වන්නේ මෙම යකඩ කුළුනේ කිසිදා මළ නොබැඳීමය. 
 

කුලුණේ කොට ඇති පැරණි අක්ෂර

  
පසුගිය වසර 1600 මුළුල්ලේ කිසිඳු මළබැඳීමකට ලක්වෙමින් නොපැවතුණු මෙය පිළිබඳව විද්‍යාඥයෝ විවිධ අදහස් පළකරන්නට වූහ. මෙය කෙසේ නිෂ්පාදනය කරන්නට ඇතිද යන්න පිළිබඳව කිසිවකුට හෝ සොයාගන්නට නොහැකි විය. වර්ෂ 1020 දී දිල්ලි නගරය ගොඩනැංවූ ආංග්පාල් නම් රජු විසින් මෙය මෙහි ගෙන ආ බැව් විශ්වාස කෙරේ. 


19වැනි සියවසේ දෙවැනි කාර්තුව තෙක් මෙය විද්‍යාඥයින්ගේ අවධානයට ලක්වූයේ නැත. මෙම කුලුණ පිළිබඳ මුළින්ම වාර්තාගත  කරන්නේ ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍ය සොලුදාදුවන්ය. කැප්ටන් ආර්චර් මේ අතුරින් එක අයෙකි. ඔහු මෙහි කොට ඇති අක්ෂර කිසිවක් කියවාගත නොහැකි බව වාර්තා කොට තිබිණි. පසුව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයකු වූ ජේම්ස් ප්‍රින්සෙප් මෙහි ඇති ඉපැරණි අක්ෂර කියවා ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. එහි චන්ද්‍රා නමැති පාලකයකු පිළිබඳ සඳහන්ව තිබිණි. 
 

1905 දී ගත් ඡායාරූපයක්


ඉපැරණි කුලුණක් වූ මෙහි මළ නොබැඳීමේ රහස සොයාගන්නට බොහෝ දෙනෙකු උත්සාහ කළහ. පසුව මෙය මෙතැනින් ගළවා රසායනික පරීක්ෂණයකට ලක් කෙරිණි. එහිදී අනාවරණය වූයේ මෙම කුළුනේ යකඩ සංයුතිය වර්තමාන යකඩ සමඟ සසඳාබැලීමේදී එහි කාබන්වලින් තොර හෝ කාබන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් පවතින බවය. එනම් පිරිසිදු යකඩ නොවන බවයි. පිරිසිදු යකඩ නොවේ නම් මෙය මළබැඳිය යුතු නමුත් එහි මළ බැඳුණු සළකුණක් හෝ නැත. 


වර්ෂ 1963 දී ඉන්දියාවේ පුරාවිද්‍යා පර්යේෂණ ආයතනයේ රසායන විද්‍යාඥයකු වන එම්.කේ. ඝෝෂ් පැවසූයේ මෙය යකඩ උණුකොට අච්චුවකට දැමීමෙන් තැනූවක් නොව මේ හැඩය ඇතිවනතුරු මෙය යකඩ කුට්ටියකට මිටියෙන් පහරදීමෙන් තනන ලදදක් බවය. මේ සඳහා කම්කරුවන් 120 දෙනෙකු සතිදෙකක් තිස්සේ වෙහෙස වන්නට ඇති බව  ද ඔහු පවසයි. 


වර්ෂ 2002දී කාන්පූර් හි ලෝහ විද්‍යාඥයකු වන ආචාර්ය බාලසුබ්‍රමනියම් පැවසූයේ මෙම කුලුණ වටා ඔක්සිජන්, යකඩ හා හයිඩ්‍රජන් තට්ටුවක් තවරා ඇති  බවය. මෙම තට්ටුව නිසා මෙය මළබැඳීමෙන් වැළකෙන බව ඔහු පැවසූයේය. අනෙක මෙම තට්ටුවේ ඇති විශේෂත්වය වන්නේ එය කාලයත් සමඟ සෙමින් වර්ධණය වීමය. 


මෙම කුලුණට පිටුපා හේත්තුවී පිටුපසට දෑත් දිගුකොට එසේම හේත්තු වූ තවත් පුද්ගලයකුගේ දෑත් ස්පර්ශකිරීමෙන් වාසනාව පෑදෙන බැව් මිනිසුන් තුළ විශ්වාසයක් තිබිණි. නමුත් මෙම විශ්වාසය කුළුනේ පැවැත්මට තර්ජනයක් වනු ඇතැයි විශ්වාස කෙරුණු බැවින් 1997 දී මෙය වටා ලෝහ වැටක් ඉදිකරනු ලැබිණි. 


මෙම කුළුනේ යම්කිසි අභිරහසක් තිබුණ ද නොතිබුණ ද මෙය ලෝහ විද්‍යාඥයින්ට සහ එය හදාරන්නන්ට කදිම ආදර්ශයක් බවට පත්ව ඇතිබව නම් පැහැදිලි කරුණකි. 


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න