පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, August 23, 2014

වෛද්‍යවරුන්ගේ මාධ්‍ය දඩයම් කලාවට බිලිවන අසරණ රෝගීන් - Doctors who becaome media hunters



පසුගිය දිනවල සමාජය කැළඹීමට පත්කළ සිදුවීමක් වූයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයට සම්බන්ධව කටයුතු කළ ඊ.ඒ. ප්‍රියංගා නම් වෛද්‍යවරිය බම්බලපිටියේ පිහිටි රූපලාවන්‍යාගාරයකදී සැත්කමක් සිදුකර ගැනීමට සූදානම්වන අවස්ථාවේ හදිසියේ මරණයට පත්වීමය. මේ සැත්කම සිදුකොට ඇත්තේ ද නිමල් ගමගේ නම්, රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකි.  වෛද්‍යවරිය මිය යාමට හේතුව වශයෙන් දැනට අනාවරණයකොටගෙන ඇත්තේ එම සැත්කමට සූදානම්වීමේදී ලබාදෙන ලද එන්නතක් විෂවීමය. මේ මරණයත් සමග වෛද්‍ය, සෞඛ්‍ය, ඖෂධ වැනි විවිධ ක්ෂේත්‍රයන්ට අයත් පුද්ගලයන්ගෙන් විවිධ අදහස් පළවන්නට පටන් ගැනුණි. මේවා පිළිබඳ කතාකිරීමට පෙර මෙම අවස්ථාවේදී සිදුකරන්නට සූදානම් වූ සැත්කම පිළිබඳ අවබෝධයක් තිබීම වඩා වැදගත් යැයි සිතේ. 


මෙම සැත්කම හඳුන්වනු ලබන්නේ ෆැට් ට්‍රාන්සර්’ (Fat Transfer ) නමිනි. මෙය අපට සිංහල බසින් මේද සම්ප්‍රේෂණයවැනි නමකින් හැඳින්විය හැකිය. මෙයම මයික්‍රෝ ලිපෝ ඉන්ජෙක්ෂන්’ (Micro Lipo Injection) නමින් ද හඳුන්වනු ලබයි. ක්ෂුද්‍ර මේද නික්ෂේපණයවැනි නමකින් අපට මෙය සිංහලෙන් හැඳින්විය හැකිය. මෙම සැත්කම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ තවත් බොහෝ රටවල කෙරෙන්නකි.  මේද සම්ප්‍රේෂණයයනු සියවසකට වැඩි අතීතයක් සහිත ප්‍රතිකාර ක්‍රමයක් යැයි කියනු ලැබේ. මේ පිළිබඳ කරුණු සඳහන් වෙබ් අඩවිවල සඳහන් වන්නේ රූපලාවන්‍ය කටයුතු උදෙසා මෙම සැත්කම සිදුකෙරෙන බවය. එසේ හෙයින් මෙය ශල්‍යකර්මීය මූර්ති ශිල්පය(surgical sculpting) නමින්   ද හැඳින්වේ. සමට යටින් ඇති මේදය ඉවත්කිරීම මෙහිදී සිදුකෙරේ. මේ සඳහා අවශ්‍යතාවයට අනුව එන්නත් ලබාදීම සිදුකරනු ලබයි. 


ජාත්‍යන්තරව පිළිගන්නා ආකාරය අනුව ද මෙය ශල්‍යකර්මයක් බව පැහැදිලිය. ඕනෑම කෙනෙක් දන්නා සාමාන්‍ය කරුණක් වන්නේ ශල්‍යකර්මයක් සිදුවිය යුත්තේ ශල්‍යාගාරයක් තුළය යන්නය. නමුත් මෙම සිදුවීමේදී සැත්කම සිදුකෙරී ඇත්තේ ශල්‍යකර්ම සඳහා කිසිදු පහසුකමක් දක්නට නොමැති රූපලාවන්‍යාගාරයක් තුළදීය. විදෙස් රටවල මෙම ශළ්‍යකර්මය බොහෝ විට රූපලාවන්‍යාගාරයක් තුළ සිදුකෙරෙන මුත් ඒවා සියල්ලක්ම නිසි පරිදි පවත්වාගෙන යන ශළ්‍යකර්ම පහසුකම්වලින් යුක්ත ඒවාය. නමුත් අප මෙම සිදුවීම ගෙන බැලුවහොත් පෙනෙන්නේ මෙම ස්ථානය සාමාන්‍ය නිවසක් පමණක්ය යන්නය. නමුත් නිවසක් වැනි ස්ථානයක ශල්‍යකර්මයක් සිදුකළ නොහැක. එමෙන්ම ශල්‍යකර්මයක් සිදුකෙරෙද්දී එයට පහසුකම් ද නිසි පරිදි පැවතිය යුතුය. එමෙන්ම එවැනි ස්ථානයක සුදුසුකම් ලත් නිර්වින්දන වෛද්‍යවරයකු සිටිය යුතුය. සැත්කමක් සිදුකිරීමේදී යම් හදිසි තත්වයක් ඇති වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට ඒ පිළිබඳ විශේෂඥයකු අදාළ ස්ථානයේ සිටිය යුතුය. 


මෙම මියගිය වෛද්‍යවරියට එන්නත් කොට ඇත්තේ පෙන්සිලින් පවුලට අයත් Sefuroxime නම් ඖෂධයයි. එය එසේ වුව ද වෙබ් අඩවිවල සහ මුද්‍රිත මාධ්‍යවල මෙම ඖෂධය සඳහන් කොට තිබුණේ  Sefureime ලෙසය. අන්තර්ජාලය ඔස්සේ සෙවීමේදී පෙනී ගියේ එවැනි ඖෂධයක් දැනට නිපදවා නොමැති බවය. පාඨකයාට තොරතුරු ලබාදෙන ඇතැම් මාධ්‍යවේදීන් තමන්ට ලැබෙන තොරතුරු තහවුරු කරගැනීමකින් තොරව මේ ආකාරයෙන් පාඨකයා අතට පත්කරන අවස්ථා නිතරම සිදුවන බැව් පසුගිය කාලය පුරාම පෙනෙන්නට තිබිණි. 


මෙම මියගිය වෛද්‍යවරියට එන්නත් කළ Sefuroxime ඖෂධය ද කල් ඉකුත් වූවක් බැව් දැනගන්නට ලැබී තිබේ. මෙම එන්නත අදාළ වෛද්‍යවරියගේ ගෙලෙහි ශිරාවලට ලබා දී තිබේ. එය මිලිලීටර් දෙකක් පමණ ශරීර ගත වී ඇති බව පැවසෙන අතර ඒ අවස්ථාවෙදී ඇයගේ තත්වය ක්ෂණිකවම වෙනස් වී හදිසි මරණයකට පත්වී ඇත. සියලු ගැටලු ඇරඹෙන්නේ මෙතැනි සිටය. මෙවැනි අවස්ථාවක මරණයකට හේතුවන්නේ Anaphylaxis Shock නම් තත්වය පැන නැගීම නිසාය. මෙය සිංහලෙන් අසංරක්ෂත්ව කම්පනයනමින් හැඳින්විය හැකිය. මෙහිදී සිදුවන්නේ අසාත්මික තත්වයක් වන අතර එය එන්නතක් මගින් පමණක් නොව වෙනත් ඕනෑම දෙයක් නිසා සිදුවන්නට හැකියාව තිබේ. ඇතැම් විට යම් ආලේපනයක් නිසා වුව ද එවැන්නක් ඇතිවිය හැකිය. මෙවැනි සිදුවීමක් දැනට කලකට පෙර මීගමුව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකදී සිදු විය. මෙහිදී මිය ගියේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකි. ඇය රූපලාවන්‍ය කටයුත්තක් සඳහා අදාළ රූපලාවන්‍යාගාරයට ගිය අවස්ථාවේදී ඇගේ මුහුණෙහි යම් ආලේපනයක් ගල්වා ඇති අතර, එහිදී ඇතිවූ අසංරක්ෂත්ව කම්පනයෙන් ඇය මරණයට පත්විය.  මෙහිදී කලබලයට පත් රූපලාවන්‍යාගාරයේ අයිතිකරුවෝ ඇගේ මළසිරුර වත්තල ප්‍රදේශයට ගෙනගොස් දැමූහ. මෙය එකල ඉතා ආන්දෝනාත්මක සිදුවීමක් වූ බව බොහෝ දෙනෙකුගේ මතකයේ තිබෙන්නට පුලුවන. 


රෝගියකුට ලබදෙන යම් එන්නතක් නිසා ශල්‍යාගාරයකදී වුව ද මෙවැනි අසංරක්ෂත්ව කම්පනයක් ඇතිවිය හැකි නමුත්, එහි අදාළ විශේෂඥයින් හා අවශ්‍ය සියලු පහසුකම් පවතින බැවින් එවැනි අවස්ථාවකදී අවශ්‍ය පියවර නිසි පරිදි ගැනීමෙන් රෝගියොගේ ජීවිතය ගළවාගත හැකිය. මෙවැනි අවස්ථාවකචදී රෝගියාට කෘත්‍රිම ස්වසනය ලබාදීම, ශිරාවන්ට යම් එන්නත් ලබාදීම සිදු කළ යුතු අතර රෝගියා පිහිටුවිය යුතු ඉරියව්වක් ද තිබේ. එවිට රෝගියා ප්‍රකෘති තත්වයට පැමිණේ. මෙවැනි පහසුකම් නොමැති අවස්ථාවක අසංරක්ෂතා කම්පනයක් ඇතිවුවහොත් රෝගියා ක්ෂණික මරණයකට පත්වෙයි. මෙම රූපලාවන්‍යාගාරයේදී අදාළ වෛද්‍යවරයා මෙම සැත්කම සිදුකොට ඇත්තේ මෙවැනි අවස්ථාවකට මුහුණ දීම සඳහා කිසිදු සූදානමකින් නොවේ. එහි එවැනි දෙයකට කිසිදු පහසුකම් ද තිබී නැත. 


සැබැවින්ම මෙවැනි සැත්කම් අප රටේ සිදුවන්නේ නැති ද යන කාරණය ද මෙහිදී සළකා බැලිය යුතු තවත් දෙයකි. සැබැවින්ම මේවා අප රටේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලද බහුල ලෙස සිදුවේ. මේවා හඳුන්වනු ලබන්නේ අංගරාග සැත්කම්’ (Cosmetic Surgery) නමිනි. මේවා අයත්වන්නේ ද ප්ලාස්ටික් සැත්කම් ගණයටමය. අප රටේ පෞද්ගලික රෝහල්වල මෙම සැත්කම සිදු කෙරේ. මේවා සිදුකරනු ලබන්නේ සුදුසුකම් ලත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් විසිනි. මේ සඳහා සාමාන්‍යයෙන් වැයවන මුදල් ඇමෙරිකානු ඩොලර් 2500ක් පමණ වේ. රුපියල්වලින් නම් එය 325,000කටත් තරමක් අධික මුදලකි. අප රටේ බොහෝ දෙනෙකුට ලක්ෂ 3ක් යනු සෑහෙන මුදලක් වුව ද ලෝකයේ සෙසු බොහෝ රටවල පුද්ලලයන්ට එය විශාල මුදලක් නොවේ. එම රටවල මෙවැනි ශල්‍යකර්මයක්  සිදුකරගැනීමට මෙයට වඩා බොහෝ ගුණයකින් මුදල් වැය වෙන බැවින් විදේශිකයන් මෙවැනි ශල්‍යකර්ම සඳහා අප රට තෝරාගෙන තිබෙන බව ද පෙනෙන්නට තිබේ. මෙය වෛද්‍ය සංචරණය’ (Medical Tourism) නමින් හැඳින්වේ. මෙම සිදුවීමේදී වෙවද්‍යවරයා අය කළේ යැයි පැවසනේනේ මෙම ලක්ෂ තුනෙන් ද, තුනෙන් පංගුවක් පමණක් බව දැනගන්නට ලැබී තිබේ. එනම් රුපියල් ලක්ෂයක් පමණි. ශල්‍යකර්මය කිරීම සඳහා රුපියල් 10,000ක අත්තිකරමක් ගෙන ඇති අතර ඉතිරි 90,000 සියල්ල නිමවීමෙන් අනතුරුව ගෙවීමට එකඟ වී තිබේ. ඔහු මෙතරම් අඩු මුදලකට මෙය සිදුකරන්නේ එම ස්ථානයේ කිසිදු ශල්‍යගාර පහසුකමක් නොමැති නිසා එම පහසුකම සඳහා වූ මුදල මෙතැනට අදාළ නොවන බැවිනි. මොහු සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු නම් ශල්‍යාගාරයකින් තොරව සැත්කමක් කිරීමේ ඇති බැරෑරුම්බව පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. නමුත් ඔහු එවැන්නක් සැළකිල්ලකට ගෙන ඇති බව නොපෙනේ. 


මෙම සිදුවීමේ ඇති තවත් පුදුම සහගත දෙයක් වන්නේ මෙම වෛද්‍යවරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශය සමඟ සම්බන්ධව සිටියේ යැයි සඳහන්ව කිබීමය. එය එසේ නම් මෙවැනි සැත්කමක් මෙවැනි තැනක සිදු නොකළ යුතුබව ඇයට මනා අවබෝධයක් තිබිය යුතුය. සමස්ත ලංකා ශල්‍ය වෛද්‍යයවරුන්ගේ සංගමය මෙම සිදුවීමෙන් පසුව විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදී සඳහන් කොට තිබුණේ මේ පිළිබඳව මනා අවබෝධයක් ඇති වෛද්‍යවරියක් මෙවැනි දෙයක් සඳහා ඉදිරිපත් වූයේ ඇයි ද යන්න පිළිබඳවය. ඇය මේ පිළිබඳ දැන සිටිය ද මෙවැන්නක් සඳහා ලක්ෂ තුනක් වියදම් කරනවා වෙනුවට එය රුපියල් ලක්ෂයකින් සිදුකරගත හැකිවීමේ ලාභය පිළිබඳ පමණක් ඇය සිතන්නට ඇතිබව මෙහිදී අනුමාන කළ හැකි එකම කාරණයයි. නමුත් අසංරක්ෂතා කම්පනයක් වැනි තත්වයක් ඇති වේ යැයි ඇය නිකමට හෝ නොසිතන්නට ඇත. සියලු දේ පිළිබඳ අවබෝධයක් ඇති එවැන්නියක් මෙවැනි ඉරණමකට ලක් වූයේ නම් අන් කාන්තාවන් පිළිබඳ කවර කතාද


මෙහිදී සඳහන් කළයුතු තවත් කාරණයක් වන්නේ මෙම එන්නත ශිරාවන්ට සෘජුවම ලබාදිය යුත්තක් වුව ද වෛද්‍යවරයා වැරදීමකින් එය මාංශ පේශීන්වලට එන්නත් කිරීමෙන් හෝ එවැන්නක් වැරදීමකින් සිදුවීමෙන්ම මෙවැනි අසංරක්ෂතාවයක් ඇති වූයේද යන්නය. 


මෙම වෛද්‍යවරයාගේ සුදුසුකම් පිළිබඳව යමක් විමසා බැලීම ද වටී. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසා සිටියේ මොහුට සැත්කම් කිරීමට කිසිදු සුදුසුකමක් නොමැති බවය. නමුත් අප රටේ ඇති නීතියට අනුව, කිසියම් පුද්ගයෙක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවශ්‍ය මූලික සුදුසුකම වන එම්.බී.බී.එස් (Bachelor of Medicine, Bachelor of Surgery - MBBS) උපාධිය ඇත්නම් ඔහුට සැත්කම් කිරීමට සුදුසුකම මෙන්ම මූලික අයිතිය ද තිබේ. මන්ද වෛද්‍ය උපාධිය යනු සැබවින්ම උපාධි දෙකකින් සමන්විත වූවක් වන අතර එහි Bachelor of Surgery යන්නෙන් අදහස්වන්නේ ශල්‍යකර්ම කිරීම පිළිබඳ සුදුසුකම් තිබේය යන්නය. මේ නිසා ඔහුට  කිසියම් සැත්කම් කාර්යයකට සම්බන්ධ වීමේ හැකියාව නීත්‍යානුකූලවම පවතී. නමුත් එවැනි අය සිදුකළ යුත්තේ කුමන සැත්කම්දැයි නීතියේ කොතැනක හෝ සඳහන් වන්නේ නැත. එබැවින් බැරෑරුම් නොවන්නේ යැයි සිතෙන සැත්කම් සිදුකීරීමට ඔවුන් ඉදිරිපත්වීම සාමාන්‍ය දෙයකි. සාමාන්‍ය වෛද්‍යවරයකු හමුවට යන රෝගියකුට යම් සැත්කම්ක් කිරීමට අවශ්‍ය නම් වෛද්‍යවරයා විසින් අදාළ රෝගියාව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරවනවා මිස ඒ සඳහා ඔහු ඉදිරිපත් වන්නේ නැත. සාමාන්‍යයෙන් සිදුවන්නේ එයයි. නමුත් එසේ කිරීමෙන් ඔහුට සැත්කමක් කිරීමට සුදුසුකම් නැති බව සඳහන් කිරීම වරදක් යැයි පෙනේ. මෙහිදී වෛද්‍ය උපාධියට අනුව ඇත්තේ සැත්කම කිරීමට අවශ්‍ය දැනුම මද වීම පමණි. අප රටේ නීතියට අනුව එවැනි අභියෝගයක් එල්ල කළ නොහැක. 


මෙම වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ අවධානය යොමුකිරීමේදී පෙනී යන්නේ ඔහු වෛද්‍ය ආචාර ධර්ම පසෙකට දමමින් ව්‍යාපාරික තත්වයට වැටී සිටි අයකු බවය. මාධ්‍ය ඔස්සේ අධික ජනප්‍රියතාවයක් ලබාගනිමින්, මාධ්‍ය ආයතනවල මෙවැනි වැඩසටහන් හසුරුවන්නන් හට විවිධ වරදාන ලබාදෙමින් ඔහු පසුගිය කාලය පුරාම සිදුකොට ඇත්තේ සිය ව්‍යාපාරය පිළිබඳ පණිවිඩය මිනිසුන් අතරට ගෙනයාමය. ඔහුගේ වරදානවලට යටත් වූ වැඩසටහන් නිෂ්පාදකයන් හා මෙහෙයවන්නන් ද මේවාට දෙස බලා සිටිය මිස එවැනි දෙයක ඇති සදාචාරය පිළිබඳ සිතා නැති බව පෙනේ. ඔහු අන්තර්ජාලය ඔස්සේ ද තමා පිළිබඳ අධික ප්‍රචාරණ ක්‍රියාවලියක යෙදී ඇති බව ද පෙනෙන්ට තිබේ. ඔහු ඇතැම් මාධ්‍යවේදිනියන්ට යම් යම් රූපලාවන්‍ය සැත්කම් නොමිලයේ සිදුකොට තිබෙන බවද දැනගන්නට ලැබී තිබේ. මෙවැනි පුද්ගලයන් හඳුන්වනු ලබන්නේ මාධ්‍ය දඩයක්කරවන්’ (media hunters) නමිනි. ඔහු සැබවින්ම වෛද්‍යවරයකුට වඩා හොඳ අළෙවිකරුවකු බව පෙනේ. නමුත් මේවා වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි ක්‍රියාවන්ය. ඕනෑ වෛද්‍යවරයකුට ප්‍රසිද්ධ මාධ්‍යකදී සිදුකළ  හැක්කේ කිසියම් රෝගයක් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම පමණි. ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීම සඳහා වෛදවරයකු හමුවිය යුතුය යන්න පවසනු විනා  ඒ සඳහා තමා වෙත එන්නැයි ප්‍රසිද්ධ මාධ්‍යතකින් කිසිවිටෙක හෝ පැවසිය නොහැකිය. මන්ද වෛද්‍ය ශාස්ත්‍රය යනු කිසිවකුගේ තනි උරුමයක් නොවන බැවිනි. 


වෛද්‍යවරයකු ලෙසට මොහුගේ සැබෑ සුදුසුකම් පිළිබඳ දැනට නිශ්චිත තොරතුරු ලැබී නොමැති මුත් දැනගන්නට ලැබී ඇත්තේ ඔහුට කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැති බවය. මෙහි ඇති අවාසනාවන්තම සිදුවීම වන්නේ මොහු පමණක් නොව බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ යම් යම් රෝග තත්වයන් පිළිබඳ ප්‍රකාශ කොට ඒවා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා තම පෞද්ලික දුරකතන අංකය පවා ලබාදීමය. මෙහිදී අදහස් කෙරෙන්නේ ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීම පිණිස රෝගීන් තමා වෙත ගෙන්වා ගැනීම බව පැහැදිලය. එය වෛද්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. කවුරුන්  කළ ද වරද වරදමය.

අතිරේක කියැවීම්

හොර දොස්තරද ? හොඳ දොස්තරද ?

5 comments:

  1. මේ සිදුවීම පිළිබඳව දුටු හොඳ වාර්තාවක් ලෙස මෙය කියවන්නට පුළුවන්. ලබා දී තිබූ ඖෂධය Cephalosporin කාණ්ඩයේ එකක් වන Cefuroxime ලෙස සඳන් වන අතර , මෙය බහුලවම අන්ත:ශිරාමය IV වශයෙන් ලබා දෙන්නකි . නමුත් යම් අවස්ථාවක අන්ත:පේෂීයවද IM ලබා දිය හැකි වුවත් ගැටළුව ඇත්තෙ එතැනට වඩා ,
    1)මෙවන් ඖෂධයක් ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථෘවක අසාත්මිකවිය හැකි බව දැන දැනත් , ඒ අසාත්මික , හදිසි අවස්ථාවකදි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය “හදිසි ඖෂධ සහ උපකරණ“ සූදානම්ව තිබුණාද යන බවත් මෙන්ම
    2)සහායක කාර්ය මණ්ඩලය එමම තත්ත්ව පිළිබඳව සහ එවන් අවස්ථාවක ගත යුතු පියවර පිළිබඳව නිසි ලෙස දැනුවත්ව තිබුණාද යන බවත්ය.

    එමෙන්ම ඔබ කීවාක් මෙන් මෙම Cosmetic surgery කළ යුත්තේ , ඒ සඳහා විශේෂඥ පුහුණුවක් ඇති වෛද්‍යවරයෙකි.

    ඔබ මේ කතා කර ඇති කරුණ පිළිබඳව මාද පසුගිය දිනෙක සටහනක් තබා ඇති අතර එම සබැඳිය මෙතැනට අමුනන්නෙ http://www.nursinglk.com/2014/08/blog-post_20.html ඔබේ ලිපියට තවත් සුළු කරුණක් එක් කිරීමට පමණි .
    ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට හා දැනුවත් කිරීමට ස්තූතියි.

      Delete
  2. මාතෘකාව දැක්කම මකත් වුන කාරණා නිරංජන් ඔක්කොම ලියල... (මැජික් ද මන්ද) එම ස්ථානයේ හෙදියන්ගේ සුදුසුකම් ප්‍රශ්නයක් වෙලා තිබුනා. ඒක විතරක් මගහැරිල කියල මට හිතෙනවා.

    වෛද්‍ය වෘතීය කියන්නෙ ගරු වෘතීයක්. ඒත් අද ඒක සමහරුන්ට තත්වය, ධනය, බලය "නම" හදාගන්න තියන ‍ලොතරැයියක් විතරක් වෙලා.

    මට හිතෙන්නෙ මෙයත් ඒ ගොඩෙන් කෙනෙක් වගේ. පෞද්ගලික රූපවානිහි නාලිකා, ජාතික නාලිකා වලින් ගුවන් කාලයන් මිලට අ‍රගෙන යන්න ආපු ගමනක එක්කතරා බියකරු සංදිස්ථානයක්....

    ReplyDelete
    Replies
    1. මේ වගේ අයට විචාරයක් නැති මාධ්‍යවලින් අනුග්‍රහය සැපයීමත් විශාල ගැටලුවක්. අද බොහෝ මාධ්‍ය කසාය බීපු ගොලුවන් වගේ ඉන්නවා. නැත්නම් මේ වෛද්‍යවරයා නිදොස් කරන්න උත්සාහ ගන්නවා. මාධ්‍යක මෙහෙවර ගැන මාධ්‍යෙව්දීන්ටම අවබෝධයක් නැහැ. ඔවුන් සිටිය යුත්තේ ජනතාවගේ පැත්තේ කියන එක අමතක කරලා. ඒක ලොකු ඛේදවාචකයක්

      Delete
  3. මෙතනින් පස්සෙවත් අපි හිතනවා නම් රූපලාවන්‍යාගාර ප්‍රමිතිකරණයට ලක් කරලා ඔවුන්ට කල හැකි සහ නොකල හැකි දේවල් වලට ප්‍රායෝගික සහ නෛතික රාමුවක් ඇතිකරන්න ඒක වැදගත් දෙයක් කියලා මට හිතෙනවා.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න