බුද්ධගයාව යන වදන
ඇසීම පවා ඕනෑම බොදු සිතකට සැනසුම දනවන්නකි. ඒ සකල ලෝක
වාසී බෞද්ධ ප්‍රජාවගේ පරම පූජනීය පුණ්‍ය භූමිය ඉන්දියාවේ බුද්ධගයාව
බැවිනි. ඒ අනුව මුළු දිවි පවෛතම මෙම පුද බිම ඇසුරෙහි ගත කිරීමට ලැබේ නම්
එය කවර නම් වාසනාවක් දැයි ඔබට වුව සිතුනහොත් එයද පුදුමයක් නොවේ.
ඔබට එසේ සිතුන ද
අදටත් බුද්ධගයාව අවට කාන්තාවෝ විශාල පිරිසක් ජීවත් වෙති. නමුත් ඔවුන්ගේ සැබෑ
තත්ත්වය අප සිතනවාට වඩා ඉඳුරාම වෙනස්ය.
මේ ඒ පිළිබඳ කතාව ය.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට අයත් ගයා නගරය දෙවන වන්නේ එම ප්‍රාන්තයේ අගනුවර වන ‘පැට්නා’වට පමණි. පැට්නා සිට කිලෝ මීටර් සීයක් දකුණින් පිහිටි ‘ගයා’ නගරය ඒ නම ලබා ඇත්තේ ද බුද්ධගයාව මුල් කර ගනිමිනි. අප බුද්ධගයා නමින් හඳුන්වන මෙම පුද බිම ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ බෝද්ගයා (Bodhgaya) යනුවෙනි. ගයා නගරයේ සිට බෝද්ගයාවට ඇති දුර කිලෝ මීටර් දොළහක් පමණ වෙයි.
බෞද්ධයන් ගේ පරම පූජනීය පුද බිම වන බුද්ධගයාව අවට වැඩිපුරම ජීවත් වනුයේ සැදැහැති බෞද්ධයන් යැයි ඔබ සිතනු ඇත. නමුදු එම ප්‍රදේශයේ ජනගහණයෙන් සියයට හැත්තෑ හතක් හින්දු භක්තිකයෝය. සියයට විසි එකක ඉස්ලාම් ජනගහණයක් ද එහි වෙසෙති. නිගන්ඨනාථ පුත්තයන්ගේ ෙජෙන ආගම අදහන්නවුන් සියයට එකයි දශම හතරක් වෙසෙන ‘ගයා’ ප්‍රදේශයේ බෞද්ධ ජනගහණය ඇත්තේ සියයට 0.02ක් තරම් වන ඉතා අල්ප ප්‍රතිශතයකි. නොඑසේ නම් බුද්ධගයාව අවට වත්මන් බෞද්ධ ජනගහණය සිටිනුයේ පුද්ගලයන් පන්දහසකට එක බෞද්ධයකු වශයෙනි.
“බුදුන් ගැන අපි දන්නවා. ඒත් ඒ කවුද කියන්න තරම් දැනුමක් නෑ. මෙහේ හුඟක් කාන්තාවන් පාසල් ගිහින් නෑ. ඒ හින්දා පොත - පත කියවන්න බෑ. හින්දා ගෙදර දොරේ වගකීම්වලින් වැඩි කොටසක් කරට අරගෙන පිරිමින්ට දරුවෝ හදලා දෙන එකයි විතරයි මෙහේ ගෑනු අයට උරුම වෙලා තියෙන්නේ”
එසේ පවසන්නී බෝද්ගයා
හි පදිංචිකාරියක වන හතළිස් දෙහැවිරිදි චපලා ජොහාර්ය. ඇය ප්‍රදේශයේ
පාරම්පරික කුලවත් ගොවි පවුලක සාමාජිකාවකි.
ගයා නගරය ප්‍රමාණයෙන් විශාලය. එහෙත් එය කිසිම පිළිවෙළක් නැති නගරයකි. කලකින් නවීකරණය නොවූ එහි තවමත් වැඩිපුර හිස ඔසවා හිඳිනුයේ මීට දශක කිහිපයකට පෙර ඉදි වී ඇති පැරණි ගොඩනැගිලිය. ගයා නගරයේ රථවාහන සංස්කෘතියද “බලු නොවටී”. ඔබ එහි වාහනයකින් ගමන් කරන විට කුලප්පු වූ මීහරකකු මෙන් ඉදිරියට ඇදී එන වාහන දකින ඔබගේ සියොළඟ කිළිපොලා යනු නියතය. එහෙත්, ඔබ ගේ රථයේ ගැටීමට ඔන්න මෙන්න තිබියදී එම රථය කිනම් හෝ වෙට්ටුවක් දමා පාරෙන් ඉවතට ගැනීමට ඒ රියදුරාට පුළුවන. එය ද ඔවුන්ගේ නොදියුණු බවේ ලක්ෂණයකි.
‘ගයා’ ප්‍රධාන වශයෙන් කෘෂි ආර්ථිකයකින් යුතු දිස්ත්‍රික්කයකි. එහෙත් ‘බෝද්ගයා’ අවට තත්ත්වය ඊට තරමක් වෙනස්ය. ඊට හේතුව එහි වැසියන්ගේ දිවි පවෛත බුද්ධගයා පුදබිම මත පදනම් වීමයි. යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කොට ඇති බුද්ධගයා පුදබිම වෙත පැමිණෙන්නවුන් සඳහා මොන මොනවා හෝ අලෙවි කර ගැනීම ඇතුළු සේවා සැපයීම සේම තනිව එහි යන්නවුන් හට වංචා කිරීම සහ සිඟමන් යැදීම ද ඔවුන්ගේ ජීවිකාව වී තිබේ.
බුද්ධගයා පුදබිම අවට කතුන් අතින් නිපදවෙන රසකැවිලි සහ ආහාර වර්ග සිය ගණනකි. මහාබෝධි විහාරය ඇතුළු යුනෙස්කෝ ලෝක උරුම පුදබිම අවට වෙළෙඳාම සහ සිඟමන් යැදීම සපුරා තහනම් ය. නමුදු ඒ අවට ප්‍රදේශවල ඒවා අලෙවි කිරීම් ඇතුළු මෙකී නොකී සියලු කටයුතු ජයටම සිදුවෙයි.
මෙම බුද්ධගයා ප්‍රදේශයේ කතුන් සිතුම් පැතුම් කතාබහ ආචාර විචාර සහ ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් සෙසු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල කතුන් මෙන් නවීකරණය වී නැත. එනිසාම අදටත් ඔවුන්ගෙන් වැඩි දෙනකු හැඳ පැළඳ සිටිනුයේද මුළු සිරුරම වැසී ගත් සාරි බඳු ඇඳුම්ය. එමෙන්ම ඔවුහු තම තමන්ගේ පිරිස් සමග මෙන් බාහිර පුද්ගලයන් හා සබඳතා පැවැත්විමට ද මැලිවෙති.
බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂ තැනක් ගන්නා නේරංජනා නදිය ගලා බසිනුයේද මෙම බුද්ධගයාව අසලිනි. අද එය හැඳින්වෙනුයේ ‘ෆල්ගු’ යනුවෙනි. එම ප්‍රදේශයේ වෙසෙන කාන්තාවෝ ෆල්ගු ශුද්ධ නදියක් සේ සලකති. නමුදු ඒ අප මෙන් එහි බෝසතුන් බුද්ධත්වය පෙර පාත්‍රය උඩුගං බලා පා කළ නිසා නොවේ. ෆල්ගු යනු ‘සීතා දේවි’ ය සම්බන්ධ පුරාවෘත්තයක් සහිත නදිය බැවිනි. එනිසා එහි ඇතැම් කතුන් සාරි පිටින්ම එහි බැස ශුද්ධ ස්නානයේ යෙදෙනු අදටත් අපට දැකිය හැක.
බෝද්ගයා ගුවන්තොටුපළ සහ ගයා මංසන්ධි (gaya junction) දුම්රියපළ ඇත්තේ බුද්ධගයාවට කිලෝ මීටර් දහතුනක් දුරිනි. කල්කටා නවදිල්ලි අතර දිවෙන ශීඝ්‍රගාමී දුම්රියන් ද නතර කෙරෙන ‘ගයා’ දුම්රියපළ ඉතා දිගු වේදිකා සහිත තරමක් විශාල එකකි. දිනකට දස දහස් ගණනක මගී ජනතාවක් පර්යටනය වන මෙම දුම්රිය පළ ආශ්‍රිතව සිඟමනින් හා කුලීවැඩ කිරීමෙන් ජීවත් වන වීදි දරුවන් දහස් ගණනකි. ඔවුන්ගෙන් කොටසක් දෙමාපියන් විසින් අතහැර දමා ඇත ; ඉතිරි දරුවෝ තම දෙමාපියන් කවුරුන් ද කියාවත් නොදනිති. හින්දු සහ මුස්ලිම් නම් සහිත මෙම දරුවන් උපන්තේකට පාසලකට පය තබා නැත. එමෙන්ම සමහරකු තම ජාතිය කුමක්ද ? යන්නවත් දන්නේ නැත. ඒ අනුව ඔවුන්ගෙන් සමහරකු දෙමාපියන් යනු කවුරුන් දැයි නොදන්නා බවක් පෙනේ.
හින්දු කුලවාදය
තදින්ම ක්‍රියාත්මක වන මෙම ප්‍රදේශයේ දෑවැද්ද ද මෙහි යුවතියන් දැඩිව
මුහුණ දෙන ජීවිතාභියෝගයකි. එහෙත් ලොකු දෑවැද්දක් යටතේ දීග යන යුවතියන්ටද
පසුව මෙවන් වීදි දරුවන් සමාජගත කිරීමට සිදුවීමේ ඛිෙදවාචකය වෙනම සොයා
බැලිය යුතුය.
බුද්ධගයාව ඇතුළත් බිහාරය යනු ඉන්දියාවේ දිළිඳුතම දිස්ත්‍රික්කයයි. ඊට හේතුව නම් වසර ගණනාවක් තිස්සේ පැවැති දූෂිත පාලනයයි. එහි මිලියන 40ක් පමණ ජනතාව දිළිඳු බවින් දුක් විඳිති. මෙම ප්‍රමාණය ආසන්න වශයෙන් ශ්‍රී ලාංකීය ජනගහණයෙන් පහෙන් එකකි. ඔවුන්ගේ සාමාන්‍ය සාක්ෂරතාවය 59.5කි.
ඒ අතුරින් පිරිමි
සාක්ෂරතාවය 63ක්
වන අතර කාන්තාවන්ගේ තත්ත්වය 18කි.
(ශ්‍රී ලාංකීය කතුන්ගේ සාක්ෂරතාව 90 ඉක්මවා සිටියි).
බුද්ධගයා ප්‍රදේශයේ
ජීවත් වන කාන්තාවෝ පවුල් ජීවිතයේ වැඩි බරක් උසුලති. දුප්පත්කමින් පීඩා
විඳිමින් පවුලේ දරුවන්ගේ සියලු බර දරා ගන්නට ද සිදුව ඇත්තේ ඔවුන්ටය.ඒ එම
ප්‍රදේශය රජයන උග්‍ර පුරුෂාධිපත්‍යය නිසාය.
මෙසේ මාතෘත්වය දුබලවීම නිසා පොදුවේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද පවතින්නේ ඉතා පහළ මට්ටමකය. බොහෝ දරුවන් පාසලේදී කුසගින්න නිසාම හාමතින් ඇද වැටෙන අවස්ථාවන් දක්නට ලැබේ. සාක්ෂරතාවයෙන් අඩු පිරිසක් මෙහි ජීවත් වුව ද මෙම ප්‍රදේශයේ සුප්‍රකට සරසවියෙක් පැවැතීම සුවිශේෂී කරුණකි. ඒ ‘මාගධි සරසවියයි’. බිහාර් ප්‍රාන්තයේ ඇති විශාලතම සරසවිය වන්නේ ද එයයි. එමෙන්ම එම සරසවිය හා අනුබද්ධිත ගෞතම් බුද්ධ මහිලා කොලීජිය ආරක්ෂක සේවාවන් ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක් සඳහා නිලධාරිනියන් පුහුණු කරන ආයතනයක් ලෙස ප්‍රසිද්ධය. මේ අතර ගයා දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ ජීවිත අසරණකමින් මුදවා ගන්නට ඉදිරිපත් වූ සංවිධාන ද තිබේ. ඉන් එක් සංවිධානයක් සඳහා නායකත්වය දී ඇත්තේ බෞද්ධ කාන්තාවකි. වර්ෂ 1985 දී ඇය මෙහි කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය තරුණ වියෙහිදීම ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත.
‘සංඝමිත්තා ආයතනය’ නම් වූ එහි අරමුණ විශේෂයෙන් ආර්ථික, අධ්‍යාපනික හා සාමාජයීය වශයෙන් අසරණව සිටින කාන්තාවන්ගේ හා දරුවන්ගේ ජීවිත සැපවත් කිරීම ය. මෙම සංවිධානයෙන් මුලින්ම සිදු කොට ඇත්තේ මෙහෙණින් වහන්සේලා හතළිස් දෙනෙකුට බෞද්ධ දර්ශනය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීම ය. ඉන් අනතුරුව මේ මෙහෙණින් වහන්සේලා මේ ප්‍රදේශයේ වෙසෙන අසරණ කාන්තාවන්ට හා දරුවන්ට අධ්‍යාපනය ලබාදීම පිණිස සේවයේ යොදවා තිබේ. මේ සඳහා කැලිෆෝර්නියාවේ සිට ස්වේච්ඡාවෙන්ම පැමිණි උපාධිධාරිනියක් වූ මාරා කැන්සිසාරෝද ටිබෙටයෙන් පැමිණි සෝනම් ඔන්ගු යන අය ද එක්ව සිටිති.
මීට අමතරව මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවාලීමට ඉදිරිපත්ව සිටින තවත් සංවිධානයක් වන්නේ ‘බෝද්ගයා සංවර්ධන සංගමයයි’. ඔවුන් මෙහි වඩාත් අසරණව සිටින කාන්තාවන් වෙනුවෙන් එහි උප සංවිධානයක් ද පිහිටුවා තිබේ. එය ‘මහිෂිග්‍යානෝදය අභියන්’ නම් වේ. එහි අරුත වන්නේ “කාන්තාවන් නගා සිටුවාලීමේ ව්‍යාපාරය” යන්නය. එමගින් පහත් යැයි සම්මත කුලවල අය හා සාක්ෂරතාවයෙන් තොර කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලබයි. මේ සඳහා මූල්‍යමය ආධාර සපයනු ලබන්නේ ඕස්ට්‍රේලියාවයි. මීට අමතරව ලෝකයේ විවිධ රටවලින් පැමිණෙන ස්වේච්ඡා සංවිධාන ගයා දිස්ත්‍රික්කයේ කාන්තාවන් මුල් කොට විශේෂ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති දියත් කොට තිබේ. ඔවුන් අතරේ කිතුනු මූලධර්මවාදී සංවිධානවල ක්‍රියාකාරීන් ද සිටින බව ඔවුන් දියත් කරන ඇතැම් වැඩසටහන් පිළිබඳව නිරීක්ෂණය කිරීමේ දී අපට පෙනී යයි. එහෙත් එම අයථා අන්‍යාගම්කරණ වැඩසටහන්වලට එරෙහිව සෘජුව ක්‍රියාත්මක වන බෞද්ධ සංවිධානයක් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට අපට නොහැකි විය.
දැනට වාර්තා වී ඇති අන්දමට බුද්ධගයාව අවට පමණක් නිසි අධ්‍යාපනයක් ලබා ගන්නට නොහැකි දරුවෝ 10,000ක් පමණ සිටිති. බුද්ධගයාව වන්දනා කිරීමට පැමිණ එහිදී බෞද්ධ දර්ශනය පිළිබඳ පැහැදුණු එක් විදේශිකයකුට තමාගේ ජීවිතයට ආලෝකයක් සැපයූ මේ පෙදෙස වෙනුවෙන් යමක් කරන්නට සිත පහළ විය.
එවිට එකවර
ඔහුගේ මතකයට ආවේ කුඩා දරුවන්ය. ඒ නිසා අධ්‍යාපනයක් ලබා ගන්නට නොහැකි කමින්
දුක් විඳින මේ අන්ත අසරණ දුගී දුප්පත් දරුවන් වෙනුවෙන් යමක් කරන්නට ඔහු
තීරණය කළේය. එබැවින් ඔහු විදෙස් රටවල ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කළේය. ඒ
බුද්ධගයාවට පාසලක් හා ගුරුවරුන් අවශ්‍ය බවය. බුදුන් වහන්සේ දෙසූ දහම පදනම්
කර ගෙන ආගම හෝ ජාතිය මුල් නොකරගනිමින් දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලබා ගන්නට
ඇරඹුණු පාසලක මුල්ම පියවර එසේ තැබිණි. ඒ 1990 වසරේදීය. මෙසේ ඇරඹුණු පාසල
වන්නේ ‘ප්‍රග්‍යා
විහාර් පාසල’ ය.
අද මෙහි ළදරු පාසලේ සිට 10 ශ්‍රේණිය
දක්වා ඉගෙනුම ලබන දරුවන්ගේ සංඛ්‍යාව 500කට අධිකය. රෂිඩා වහිද් යනු මෙහි ඉගන්විමේ නිරතව
සිටින මුස්ලිම් ජාතික තරුණ ගුරුවරියකි. ඇය උගන්වන්නේ තෙවැනි ශ්‍රේණියටය.
මේ වන විට වසර හයක් තිස්සේ ඉගැන්වීමේ කටයුත්තේ යෙදී සිටින ඇය කුඩා දරුවන්
සමග කාලය ගතකිරීම තම එකම සතුට බැව් පවසන්නීය. තම ජීවිතයම මේ පාසල හා
දරුවන් බැව් කතා බහ කරන අතරතුරදී ඇය නිතර පවසයි. ඇයගේ ඉංගිරිසි දැනුම එතරම්
ඉහළ තත්ත්වයක නැති වුවද එය දරුවන්ට ඇති ආදරය සෙස්සන් හා පවසන්නට ඇය එය
බාධාවක් කරගත්තේ නැත.
සප්නා සෙන් යනු දරුවන්ගේ ඉංග්‍රීසි ගුරුවරියයි. ඇය හින්දු ජාතික තරුණියකි. මෙය දුප්පත් දරුවන් වෙනුවෙන් පිහිට වූ පාසලක් බැවින් ඇය මෙහි ඉගැන්වීමට කැමති බැව් පැවැසුවාය.
ගරු යොගිතා කන්‍යා සොයුරිය මෙහි විදුහල්පති මට්ටමේ වැඩකටයුතු භාරව සිටින්නීය. ඇය පවසන්නේ මෙහි දැරියන් ඉගෙන ගැනීමට ඉතා දුර්වල බවය. එයට හේතුව නිවසේදී පවා පිරිමි දරුවන්ට වඩා දැරියන් පසුගාමී වන සේ ඇති දැඩි කොට තිබිම බවද ඇය පවසයි. ඉදිරියේදී වත් සිය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නට මේ දැරියන්ට මගපෙන්වීම තමාගේ අරමුණ බව ඇය පවසයි.
වැදගත් සටහනක් නොදන්න ාෙදවල් බොහොමයක් දැනගත්තා..
ReplyDeleteහුඟක් වැදගත් ලිපියක්...
ReplyDeleteහොද ලිපියක්..
ReplyDeleteහැකිනම් මෙහි සබැදියක් හෝ බුකියේ ෂෙයා කරන්න
අදහස්වලට ස්තූතිය පළ කරමි. බුකි ගිණුමක් පවත්වාගෙන නොයන නිසා මෙහි සබැදි ෂෙයා කිරීමේ නොහැකි තත්වයක් පවතී.
ReplyDeleteවටිනා සටහනකි ස්තුතියි හිතවත
ReplyDeleteස්තූතියි බොහොමත්ම
Deletebest post
ReplyDeleteස්තූතියි බොහොමත්ම
Delete