මරණය ගැන විවිධ ආගම්වල විවිධ ආකාරයෙන්
විස්තර කොට තිබෙනවා. බුදු දහම පවසන්නේ පංච උපාදාන ස්කන්ධ නිරුද්ධ වීම නිසා මරණය
සිදුවන බවයි. අපගේ ජීවිතයේ පැවැත්ම සඳහා කර්මය බලපාන බවත්, මරණයේදී ඇතිවන සිතුවිලි මාළාවත් සමග මෙම කර්මය
ශක්තියක් ලෙසින් තවත් භවයකට ගමන් කරන බවත් සඳහන් වෙනවා. ආගමික ශාස්තෘවරයාගේ අණට
කීකරුව ජීවත් වූ තැනැත්තා සියලු සැපයෙන් ආඪ්‍යව දෙවියන් සමග ජීවිතය ආරම්භ කරන බවත්,
එසේ නොවන තැනැත්තාට සදාකාලික නිරය අත්වන බවත්
දෙවියන් කේන්ද්‍රකොට ගත් ආගම්වලින් කියවෙනවා. මේ අතරේ අනාගමික, එහෙමත් නැත්නම් කිසිම ආගමක් ගැන විශ්වාස නොකරන
අය මරණයෙන් පසු ජීවිතයක් ගැන විශ්වාස කරන්නේ ද නැහැ. කෙසේ නමුත් මරණයෙන් පසුව සිදුවන මේ කුමනාකාර
තත්වයක් ගැන හෝ අත්දැකීම් ඇති කිසිවෙක් ද නැහැ. පුනරුත්පත්ති සිදුවීම් ලෝකයේ නිතර
දකින්නට ලැබුණත්, එයින් මරණින් මතු ජීවිතය ගැන විද්‍යාත්මක
තහවුරුවීමක් සිදුවන්නේ නැහැ. කෙසේ නමුත් දැන් ඒ අදහස වෙනස් කරගන්නට කාලය එළැඹිලා
තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ.
මරණයෙන් පසු ජීවිතය විද්‍යාත්මකව
පැහැදිලි කරන්න පුලුවන් කියා ඇමරිකානු මහාචාර්යවරයෙක් පවසනවා. ඔහු නමින් රොබ්ට් ලන්සා. සේවය කරන්නේ උතුරු කැරොලිනාවේ පිළිබඳ වේක් ෆොරෙස්ට් වෛද්‍ය විද්‍යා
සරසවියේ. ඔහු 2007 වසරේදී ‛ජෛවකේන්ද්‍රීය විශ්වය’ (biocentric universe) නමින් අලුත් අදහසක් ඉදිරිපත් කළා. මේ පිළිබඳ බොහෝ ඇමරිකානු විද්‍යාඥයින්
කතා කළා. ඔහු මේ අදහස ඔස්සේ ලෝකයේ අනෙකුත් විද්‍යාවන් සියල්ලටම වඩා ජීව විද්‍යාව
ඉහළින් තිබෙනව බව ප්‍රකාශ කළා. මරණයෙන් පසු ජීවිතය ගැන විද්‍යාත්මකව පැහැදිලි
කරන්න ඔහු උත්සාහ කරන්නේත් මේ ‛ජෛවකේන්ද්‍රීය’ අදහස ඔස්සේයි.
මහාචාර්ය රොබ්ට් ලන්සා |
අපි මුළින්ම බලමු මේ ‛ජෛවකේන්ද්‍රීය’ කියන්නේ මොකක්ද කියලා.
මේක නියම විදියට හඳුන්වන්නේ ‛ජෛවකේනද්‍රීය විශ්වය’ කියන නමින් වුණත්, සාමාන්‍යයෙන් ‛ජෛව කේනද්‍රීයතාවය’ (Biocentrism) වගේ නමකින් ද හඳුන්වනවා. මෙයින් කියවෙන්නේ
ලෝකයේ සියලුම විද්‍යාවන්ට ප්‍රධානියා වන්නේ ජීව විද්‍යාව කියන එකයි. අනෙක් විද්‍යාවන්
ගැන තියෙන දැනුම, ජීව විද්‍යාව ගැඹුරින් හදාරන්න
උපයෝගීවෙන බව මෙයින් කියවෙනවා. ඒ වගේම අපි ඉගෙනගෙන තිබුණේ විශ්වය නිර්මාණයවීමෙන්
පසු ජීවය ඇතිවුණ බවයි.නමුත් මෙයින් කියවෙන්නේ ජීවය විසින් විශ්වය නිර්මාණය වන
බවයි. ජීව විද්‍යාව, ජීවය, විඥානය හෙවත් මනස ගැන දැනුමක් නොමැතිව වර්තමානයේ පවතින භෞතික ලෝකයේ
න්‍යයායන්ගේ ප්‍රයෝජනයක් නැති බවත් මේ අනුව කියැවෙනවා. භෞතික විද්‍යාවෙන් විශ්වයේ
මූලධර්ම ගැනත්, රසායන විද්‍යාවෙන් ජීවයේ මූලධර්ම ගැනත්
පමණක් කතා කෙරෙන බවත්, ජීව විද්‍යාවෙන් මේ සියල්ලම වඩා
ගැඹුරින් කතා කෙරෙන බවත් පැවසෙන නිසා එය සියල්ලටම වඩා ප්‍රබල බවත් මේ න්‍යායෙන්
වැඩි දුරටත් පැවසෙනවා. මෙම න්‍යාය සාධනය කිරීම සඳහා රොබට් ලාන්සා ක්වන්ටම් භෞතික
විද්‍යාවේ සහය ද ලබාගන්නවා.
මේ න්‍යායට අනුව ඔහු මහාචාර්ය ලන්සා
පවසන්නේ මේ ලෝකයේ ඇති සියලු දෙයම අප මනසේ ඇතිවන සංකල්ප මිස සැබවින්ම පවතින ඒවා
නොවන බවයි. මරණයට පත්වීම යන්න ද මනස විසින් කාලයක් තිස්සේ අපට පුරුදු කරන ලද
සංකල්පයක් මිස, සැබවින්ම පවතින්නක් නොවන බව මේ අනුව
ඔහු පවසනවා. මහාචාර්ය ලන්සා පවසන්නේ ජීවය කියන්නේ මොලය තුළ පවතින වොට් 20ක ශක්තියක් පමණක් බවයි. ශක්තියක් යනු විනාශ කළ
හැක්කක් හෝ මැවිය හැක්කක්ද නොවේ. මේ නිසා අප මරණය යැයි හඳුන්වන සිදුවීමේදී මෙම
ශක්තිය විනාශ වන්නේ නැහැ.
මහාචාර්ය ලන්සාගේ ජෛවකේනද්‍රීය විශ්ව
යන න්‍යාය මගින් කියවෙන තවත් දෙයක් වන්නේ අප වටා අනන්ත වූ විශ්වයන් පවතින බවයි.
මරණය යනුවෙන් අප හඳුන්වන සිදුවීමේදී මොලයේ පවතින මෙම ශක්තිය මේ විශ්වයේ සිට තවත්
විශ්වයකට ගමන් කරන බව ඔහු පවසනවා. මෙය බුදු දහමේ එන සංකල්පයන්ට සමීප බවක් ද මෙහිදී
පෙනෙන්නට තිබෙනවා. බුදු දහම අනුව පුද්ගලයකුගේ මරණයේදී චුති සිතත්, යම්තැනක නැවත ජීවයක් ලැබීමේදී පඨිසන්ධි සිතත්
පහළවන බව කියවෙනවා. මේ සඳහා බලපාන්නේ කර්ම ශක්තියයි. බම්බලපිටිය වජිරාරමවාසී
පියදස්සි හිමියන්ගේ The Spectrum of Buddhism කෘතියෙහි කර්මය හඳුන්වා දී ඇත්තේ
යම්කිසි ශක්ති වර්ගයක් ලෙසටයි. උන්වහන්සේ ශක්ති න්‍යාය ගැන ද එම කෘතියේ සඳහන්
කරනවා. එනම් කර්මය ද ශක්තියක් වන බැවින් එය තැනකින් තැනකට සම්ප්‍රේෂණය වනවා මිස
විනාශ නොවන බවයි. මේ අනුව මරණියෙන් පසු යම්කිසි ආකාරයක ජීවයක් හටගැනීම සඳහා
පියදස්සි හිමියන් සහ මහාචාර්ය ලන්සා පවසන අදහස් අතර සමාන කමක් දක්නට ලැබෙනවා.
මහාචාර්ය ලන්සා පවසන දේ වඩාත් සරලකොට
දක්වන විට කිව හැක්කේ මොලයේ ඇති වොට් 20කින්
යුක්ත මෙම ක්‍රියාකාරී ශක්තිය අප අවට ඇති කුමක් හෝ විශ්වයකට ගමන්කොට යම්කිසි
ආකාරයක ජීවයක් ඇතිවීමට බලපාන බවයි. ඇතැම් විට මෙම න්‍යාය ඔස්සේ අනාගතයේ තව තවත්
පර්යේෂණ සිදුවුවහොත් මෙය වඩාත් සාධනීය අන්දමින් ලෝකයා හමුවේ ඉදිරිපත් කරන්නට
හැකියාව ලැබෙන්නට පුලුවන්. එවිට මහාචාර්ය ලන්සාගේ න්‍යාය පමණක් නොව බුදුදහමේ බොහෝ
කාරණා ද විද්‍යාත්මකව තහවුරු වන්නටත් පුලුවන්.
❤️
ReplyDelete