පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, March 19, 2015

අම්මෝ ඒ ගෑනිගේ රෙස්පට් එක - Women Personality Problems



කහ ඉර නැති තැනකින් පාර පනින්න හදන තරුණයෝ කීප දෙනෙක් එක පාරටම නැවතිලා මෙහෙම කියනවා ඇහුණා. 

“අම්මෝ මෙතැනින් නම් පනින්න එපා. දැක්කද එහා පැත්තේ ඉන්නේ පොලිස්කාරියක්. පොලිස්කාරයෙක් එක්ක නම් මොනව හරි ෂේප්මන්ට් එකක් දාගන්න පුලුවන්. මේගොල්ලෝ එක්ක ෂේප් කතා බෑ. කෙලින්ම දඩගහනවා නේ.” 

පොලිස් කාන්තාවන් ගැන විතරක් නෙවෙයි විවිධ රැකියා ක්ෂේත්‍රවල සිටින බොහෝ කාන්තාවන් ගැන මෙසේ කියනවා අසන්නට පුලුවන්. ඒ වගේම ඇතැම් අය ගැන මෙන්න මෙහෙමත් කියනවා අසන්න ලැබෙනවා. 

“අනේ මේ ඒ ගෑනු කෙනාගෙන් නම් වැඩක් කරගන්න බෑ. පේනවනේ එයාගේ තියෙන රෙස්පට් එක.” 

සමහර විට ඔබ ගැනත් මේ වගේ කතා කියනවා ඇති. හැම කාන්තාවක්ම මේ වගේ කියල මෙයින් කියැවෙන්නේ නැහැ. නමුත් මේ කතාවල ඇත්තක් නැත්තෙමත් නැහැ. යම් කාන්තාවක් මේ ආකාරයේ ගති පැවතුම්වලින් යුක්ත නම් එයට හේතුව වන්නේ ඇය හැදුණු වැඩුණු පරිසරයයි. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය හා සමාජය අතර ඇතිවන ගැටීම තුළින් තමයි මෙවැනි පෞරුෂ ලක්ෂණ ඇතිවන්නේ. තවත් විදිහකින් කීවොත් මෙයට හේතුවන්නේ පුද්ගල බද්ධ හා සමාජ බද්ධ කරුණු. මෙවැනි බොහෝ කාන්තාවන් ප්‍රධාන වශයෙන්ම අත්දකින්නේ  ස්ත්‍රීත්වය යනු එතරම් වටිනාකමක් නොමැති දෙයක්ය කියන කාරණයයි. ගැහැනියක් වීමේ කිසිදු වටිනාකමක් නැති බවට අදහස් කුඩා කල සිටම ඔවුන්ගේ සමාජ වටපිටාවෙන් ඔවුන්ට ලැබෙනවා. පසුකාලයේදී මොවුන් හොඳින් අධ්‍යාපනය හදාරා ඉහළ රැකියාවල පවා නිරත වුවත්, ඇතැමුන්ගේ සිතේ මේ ස්ත්‍රීත්වය පහත්කොට සිතීමේ ආකල්ප තුරන්ව යන්නේ නැහැ. තමන් කෙතරම් ඉහළ තැනක සිටියත් සමාජයෙන් තමන්ට ලැබෙන්නේ අඩු සැළකිල්ලක් බව ඔවුන් සිතන්නට පටන් ගන්නවා. මේ සිතිවිලි දිගින් දිගටම ඇතිවීමේ ප්‍රතිඵලය වන්නේ තමා තුළින්ම එයට ප්‍රතිවිරෝධයක් හටගැනීමයි. එයට ඇතැම් විට තමන්ගේ අධ්‍යාපන මට්ටම, රැකියාවේ මට්ටම ආදියත් බලපාන්නට පුලුවන්. ස්ත්‍රීත්වය දෙවැනි තැනක ලා සළකන්නට කුඩා කල සිට සමාජය ඔවුන්ට පුරුදු කළත්, එය එසේ නොවිය යුතු බව ඔවුන් පසුකාලයේදී සිතන්නට පටන් ගන්නවා. එහි ප්‍රතිඵලය වන්නේ තමා ඍජු පුද්ගලයෙක්, අතිශය නිවැරදි, අවංක පුද්ගලයෙක් බවත් සිතන්නට පෙළඹීමයි. මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය පරිදි හැදුණු වැඩුණු අයකුගේ දක්නට ඇති නම්‍යශීලි ස්වභාවය මොවුන් තුළින් පෙන්නුම් නොකිරීමයි. ඔවුන් දැඩි හා ඍජු අදහස් දරන්නට පෙළඹෙනවා. එවැනි තත්වයකට පත් වූ අයගෙන් යම් සේවයක් කරගන්නට පැමිණෙන පුද්ගලයා විවිධ අපහසුතාවයන්ට මුහුණ දිය හැකියි. ඇතැම් විට යම් ඉල්ලුම් පත්‍රයක සුළු හෝ වරදක් ඇත්නම්, එය පහසුවෙන් නිවැරදි කරගත හැකි වුවත්, මෙවැනි ගති ස්වභාවයක් ඇති කාන්තාවක් එතැන සිටියහොත්, එය පහසුවෙන් කරගන්නට ලැබෙන්නේ නැහැ.   මෙය සියලු කාන්තාවන්ගෙන් දක්නට නොලැබෙන මුත් යම් පිරිසකගෙන් පෙන්නුම් කෙරෙනවා. 

පුද්ගල හා සමාජ බද්ධ පෞරුෂීය ගැටලු පිළිබඳ කතා කිරීමෙදී සඳහන් කළ යුතු තවත් ගැටලු අවස්ථාවක් වන්නේ ‛ආත්මරාගී පෞරුෂීය ආබාධය’ (Narcissistic Personality Disorder - NPD) නමින් හඳුන්වන තත්වයයි. මෙවැනි පෞරුෂීය ගැටළු ඇති අය පහසුවෙන්ම හඳුනාගන්න පුළුවන්. එවැනි පුද්ගලයන් තමාගේ ඇති වැදගත්කම අතිශය ඉහළ මට්ටමකින් හුවා දක්වනු දකින්නට පුළුවන්. 

“මම හිටපු හින්දා ප්‍රශ්නයක් වුණේ නෑ. නැත්නම් ඔයගොල්ලෝ මේක කොහේ කරගන්නද?” 

ආත්මරාගී පෞරුෂීය ආබාධය ඇති පුද්ගලයන් මේ ආකාරයට තමාගේ වැදගත්කම, තම හැකියාවන්, තමා කළ ක්‍රියාවන් පිළිබඳ ඉහළ මට්ටමකින් පුරසාරම් දොඩනු දැකිය හැකියි. ඔවුන් අනෙක් අයගෙන් තමාට ලැබෙන අවධානය බලවත් ලෙස බලාපොරොත්තු වෙයි. තමා යම්කිසි අදහසක් ප්‍රකාශ කරන විට එයට එයට බාධාකරනවාට ඔවුන් කැමති වන්නේ නැහැ. බාහිරින් පෙනෙන ගැටළුව මෙසේ වුවත්, ඔවුන්ගේ අභ්‍යන්තර මානසික තත්වය මෙයට හාත්පසින්ම වෙනස්. ඔවුන් වීරයන් සේ හැසිරුනත්, ඔවුන් තුළ ආත්ම විශ්වාසයක් ඇත්තේම නැති තරම්. සුළු විවේචනයකින් පවා ඔවුන්ගේ අභිමානය දෙදරවා හැරිය හැකියි. 

මෙවැනි පෞරුෂීය ගැටලු තිබෙන අය ජීවිතයේ බොහෝ ගැටළුවලට මුහුණපානවා. අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්, සේවා ස්ථානය, පාසල හෝ මූල්‍යමය කාරණාවලදී ඔවුන් බොහෝ ගැටළුවලට මුහුණ දෙන බව දකින්නට පුලුවන්. මෙවැනි අය අන්‍යයන්ගෙන් විශේෂ සැළකිලි බලපොරොත්තු වන නිසා එවැනි සැළකිල්ලක් නොලැබුණේ නම් ඔවුන් ඉතා අසතුටට පත්වනවා. කොතැන ගියත් ප්‍රධාන ස්ථානය ඔවුන් බලාපොරොත්තු වනවා. ඔවුන් සිතන්නේ එවැනි විශේෂ සැළකිල්ලක් තමාට ලැබිය යුතුය කියායි. එයට තමා හැර වෙන සුදුස්සෙක් නැති බව ඔවුන් සිතනවා. 

මෙවැනි පුද්ගලයන් තුළ පහත ලක්ෂණ දැකිය හැකියි. 

1. තමාගේ වැදගත්කම අධික ලෙස හුවා දැක්වීම 
2. තමා කිසිදු විශේෂ යමක් නොකළත් සමාජයෙන් ඉහළ පිළිගැනීමක් බලපොරොත්තු වීම 
3. තමාගේ හැකියාවන් හා ජයග්‍රහණයන් ඉහළ මට්ටමින් හුවාදැක්වීම 
4. තමා ඉතා උසස් පුද්ගලයෙක් බවත් තමා ඇසුරු කළ යුත්තේ එවැනි උසස් පුද්ගලයන් බවත් සිතීම 
5. නිතරන්තර ගෞරවය බලපොරොත්තු වීම 

මේ දැක්වූ කරුණු ඔස්සේ මෙවැනි ගැටලු ඔබ තුළ හො ඔබේ සමීපතයකුගේ ඇතිදැයි වටහාගත හැකියි. සමාජයට මෙවැනි පුද්ගලයන්ගෙන් දැඩි හානියක් නැතත්, එවැනි ගැටලු තුරන් කරගත හැකි නම් එවැන්නන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස සමාජයට එක්කරගත හැකියි. 

2 comments:

  1. හත්තිලව්වයි.............. ඒහෙනම් ලංකාවේ පාර්ලිමේන්තුවට ම පිස්සු

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න