පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, June 22, 2015

කජු කන එක ලේසි වැඩක්ද?


කොහොමද අද ගණන් ප්‍රශ්න පත්තරේ?” 

ඉස්සර අපේ අම්මලා තාත්තලා එහෙම ඇහුවාම කියන්නේ, 

අයියෝ කජු කනවා වගේ. ගණන් ඔක්කොම හැදුවා” 

එහෙම කිව්වත් රිපෝට් කාඩ් එක දෙන දවසේ තමයි කජු කෑම කොහොමද කියලා ඇත්තටම පෙනෙන්නේ. 

කොහොම වුණත් මේ කජු කන කතාව ගැන මට සෑහෙන කාලෙක ඉඳන් ලොකු අවුලක් නම් තිබුණා. මොකද අපි හරිම ලේසි වැඩකට තමයි ‛කජු කනවා’ කියලා කියන්නේ. ඒත් මට නම් පොඩි කාලේ ඉඳින්ම කජු කනව කියන එක ලේසි වැඩක් වුණේ නෑ. 

මුළින්ම කජු කඩන එක ගැන හිතමු. 

අපේ වත්තේ කජු නැති නිසා කඩන්න වෙන්නේ වෙන කොහෙන් හරි. නැත්නම් අහුලගෙන එන්න ඕන. අනුන්ගේ වතුවලින් කජු කඩන එක හරි අහුලන එක හරි හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. කොහොම හරි කජු ගෙදර ගෙනාවා කියමුකෝ. 

ඊට පස්සේ කජු ලෙලි අරින්න ගියාම ඔක්කෝටම වඩා එපා වෙනවා. කොටයක් උඩින් තියලා, කජු ගෙඩිය පලලා මදේ එළියට ගන්න ඕන. කජු කිරි ගෑවුනාම සමහර වෙලාවට වන වෙනවා. ඒ විතරක්ද? කජු කිරි ගඳ එනවා. 

කජු මද ටික වෙන් කරගත්තා කියලා හිතමුකෝ. 

ඊට පස්සේ වතුරේ දාලා පොතු ටික අයින් කර ගන්න ඕන. මොකද කජු කිරි කටේ ගෑවුනොත් කටත් වන වෙනවා. 

ඔන්න දැන් කජු මද ටික ලෑස්තියි. 

දැන් කාට හරි මේ මද ටික දුන්නොත් කටට දෙකට ගිල දාන්න පුළුවන්. 
අන්න ඒ පියවරේ ඉඳන් බලන කෙනෙක් නම් කියයි, 

අයියෝ කජු කනවා වගේ ලේසියිනේ” කියලා. 

ඒත් ඇත්තටම මට නම් මේ වැඩේ හරි අමාරුයි. 

ඉතිං මම එක් දෙයක් පුරුදු වුණා. 

අමාරු වැඩක් කරන්න ආවාහම, 

අම්මෝ මේක කජු කනවා වගේ අමාරු දෙයක් නේ” 
කියලා කියන්න. 


12 comments:

  1. "කිරි කජු කනවා වගේ" කියලයි හරි විදියට කියන්නේ. කිරි කජු කියන්නේ ලපටි කජු ගෙඩි.නැත්නම් මෝරපු නැති කජු. ඒ ලපටි කජු ගෙඩිය නැම්ම ලඟින් දෙකට කඩලා මදේ ලේසියෙන් අරගෙන කන්න පුළුවන්.පිහියෙන් කපන්න ඕනි නැහැ.අතේ කිරි ගැවීමේ අවදානම තියෙනෙව.එත් ගැටව් කාලේ ඕවගණන් ගන්නේ නැහැනේ. අත් දෙකේ පොල්තෙල් ටිකක් ගාගෙන ගහට නැගල ඇතිවෙනකම් කිරි කජු කාල බහිනවා මිසක්.

    ReplyDelete
  2. ඔය කිව්ව විදිහට කෑවොත්නම් පුතෝ කට වන වෙනව ශුවර්... කට වන නොවී කන්න නම් හොදම විදිහ තමයි උයනකොට ගන්න ග්ලව්ස් දෙකක් හරි ශොපින් බෑග් දෙකක් හරි අත් දෙකට දාගෙන කිරි කජු ටික කපලා තේ හැන්දක මිටක් වගේ දේකින් මද වෙන් කරගෙන කහ ටිකක් ගාලා වතුරෙන් තම්බලා අරන් හොඳට සෝදලා පොතු අයින් කරලා ගත්තනම් ඔන්න කජු කනවා වගේ කන්නත් පුලුවන් කිරි දාලා උයන්නත් පුලුවන්.... කිරි කජු කාලෙට ගමේ කන්තාවන්ගේ අත් දෙක බැලුවනම් කජු කාපු තරම කියන්න පුලුවන්...

    ReplyDelete
  3. දැන්නම් ඔච්චර දඟලන්න ඕනිත් නැහැ.සුපර්මාර්කට් එකට ගිහින් ටෝස්ට් කරපු කජු පැකට් එකක් ගෙනාව කෑවා .නමුත් මම කිව්වේ පුතේ "කිරිකජු කනවා වගේ" කියන ගැමි වහර හැදෙන්න හේතුව.මමත් දැනගත්තේ දැනට අවුරුදු 40 කට විතර උඩදී දවසක ගමේ කොලු රංචුව එක්ක පිහි මානාගෙන කජු කිරි නාගෙන කජු ගහක් උඩ හරඹ කරද්දී ,ලඟින් ගිය වයසක මනුස්සයෙක් අපිව දැකල ලඟට ඇවිත්, "පුතේ කිරිකජු කනවා වගේ කියන්නේ මෙහෙම කනවටයි" කියල අපට වැඩේ කරලම පෙන්නුවට පස්සෙයි.ටිකක් හුරුවෙනකම් කිරි ගාගත්තත් ,හුරු උනහම වැඩේ ගොඩ. ඕව දන්නා ගැමියෝ ඇත්තෙත් දැන්නම් අතලොස්සයි. කජු වාරෙට කජු කිරි,කොස් වාරෙට කොහොල්ල ,හාමුදුරුවන්ගේ සිවුරෙත් තියෙනවා කියන්නේ නිකම්ය.

    ReplyDelete
    Replies
    1. සිසිර කියන කතාව නම් හරි තමයි. මටත් මතකය් අපි පොඩි කාලේ අපේ යාලුවොත් මේ විදිහට කජු කෑවා. ඒත් කට වන වෙයි කියන බයට මම කෑවේ නෑ. හැබැයි අපේ කට්ටියගේ නම් අඩු වැඩි වශයෙන් කටවල් වන වෙලා නම් නොතිබුණාම නොවෙයි. කොහාම වුණත් දැන් නම් මේ විදිහයට කජු කන ළමයි ඇත්තේ ඈත ගම්වල. මොකද දැන් අපේ ගම්වලත් කජු ගස් හොයාගන්න නැති තරම්. ‘කැමරාවෙන් එහා ලෝකයේ‘ යාළුවා කියන කතාව ඇත්ත. අත් බැලුවාම කජු සම්බන්ධව ‘සංඛ්‍යාලේඛන‘ ලබා ගන්න පුළුවන් තමයි.

      Delete
  4. කජු කෑම වගේ අමාරු පේපර් තමයි හැමදාම අපට හම්බ වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ඒක ඇත්ත.

      Delete
  5. කිරි කජු අපි කැ‍ෙවෙේ බ්‍ෙලෙේඩ් එකකින් කපල මදටික කැන්ද ‍ෙකෙොලයකට හඑිරාරි ‍ෙමෙ‍ෙෛමෛ‍ෙකෙටමරාා‍ෙහෙොකට හඑිරි දාල ‍ෙහෙ‍ෙේාි්දල ැ අරගන.‍ෙතෙල් ගැවිලි ‍ෙසෙොපිං බැග් දැමිලි ඇතුවත් නැතුවත් ඕක කලා. හැබැයි නියම කජු කැම තමයි ටාිකක් ‍ෙකෙොට්ට ‍ෙවෙච්ච කජු ගිනි ‍ෙගෙො‍ෙඩෙේ පුච්චල අරන් තලල කැම.එ‍ෙහෙම තමා රසම කජු කන්ඩ පුලඅවංලුවං. ඔය ‍ෙමෙොන ‍ෙරෙදිදක්වත්්දක්වත් නැතුව කජු පිහි‍ෙයෙනි් පලල මදගලවනැලවන ගැනු මං දැකල තියනව. ‍ෙලෙේසිම කජු කැම තමා පැල කජු කැම .හැබැයි රස නං නැ බං

    ReplyDelete
    Replies
    1. ඒ විදිහට කජු කන එකත් ඒ තරම්ම ලේසි නැහැ වගේ තමයි මට නම් පේන්නේ.

      Delete
  6. කජු කන්න ලේසි නැහැ පුතේ ගිණි ගණන්.

    ReplyDelete
    Replies
    1. මට ඒක නම් ඔලුවට ආවෙම නැහැ නේ. හැබෑ නේන්නම්. අපේ පැත්තේ කජු කැටයක් රුපියල් 120ක් වෙනවා. කජු කැටයක් කියන්නේ හාල් හුණ්ඩුවක් තරම්වත් නැති ප්‍රමාණයක්. ඇත්ත තමයි. කජු කන එක ලේසි නැහැ.

      Delete
  7. සුද්ද කරපු හොඳ වියලි කජු කිලෝ එකක් රුපියල් 1800/- ක් වෙනවා ගිරිඋල්ල,නාරම්මල,කුලියපිටිය ප්‍රදේශවල. කජු නැති ප්‍රදේශ වල කොහොමට ඇද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මේ ලැබෙමින් පවතින කොමෙන්ටුවලින් නිගමනය කළ හැකිකේ කජු කෑම කිසිසේත්ම ලේසි වැඩක් නොවන බවයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න