පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 11, 2015

ගල්ගසා මරාදැමීම හා දෙබිඩි සුද්දන්ගේ ඊනියා මානව හිමිකම්


අනාචාරයේ හැසිරුණු වරදට ශ්‍රී ලාංකික කාන්තාවකට ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවමක් සහ ඇය සමග එම ක්‍රියාව සිදු කළ අනෙක් ශ්‍රී ලාංකික පුරුෂයාට කස පහර 100ක දඬුවමක් ලබාදීමේ පුවතත් මේ වන විට නොදන්නා අයකු නොමැති තරම්ය. මෙම කාන්තාව මරණ දඬුවමින් නිදහස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට සවුදි රජය සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර අවසානයේ දෙසැම්බර් මස 3 වැනිදා ඇය වෙනුවෙන් වන්දියක් ගෙවීමේ අවස්ථාවක් ඇති ද යන්න පිළිබඳවත් සාකච්ඡා කළ බව වාර්තා වේ. ඇයව ගල්ගසා මරාදැමීමට එරෙහි වන්නැයි බලකරමින් අන්තර්ජාලය හරහා පෙත්සමක් ද සංසරණය වෙමින් පවතී. ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම් නිසා ඇගේ මරණ දඬුවම ලබාදෙන දිනය තවමත් නිශ්චිතව තීරණයක් නොමැතිව කල් දමා ඇති නමුත් කුමන අවස්ථාවක එය ක්‍රියාත්මක කරනු ඇතිදැයි කිව නොහැකිය. ඒ අතර ඇයගේ දඬුවම පිළිබඳ නැවත සළකා බැලීම සඳහා අභියාචනයක් ඉදිරිපත්කිරීමට දැන් සවුදි අධිකරණය අවස්ථාවක් සළසා තිබේ. ඒ සඳහා වැය කළ යුතු නීතිඥ ගාස්තුව පමණක් සවුදි රියාල් 10,000ක් (රු. 380,000ක් පමණ) වැය වන අතර එය ඇතුළු මේ සඳහා වැයවන සියලු වියදම් ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට මේවන විට තීරණය කොට තිබේ. ජාත්‍යන්තර පුවත් වාර්තා කරන පරිදි ශ්‍රී ලංකා රජය තවමත් මේ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සැළකිය යුතු තරමේ මැදිහත්වීමක් සිදු නොකර ඇති බැව් කියැවේ. කෙසේ නමුත් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුව හෝ  මෙම දඬුවම ළිහිල් කරගත හැකි වේද යන්න තවමත් උගහටය. සවුදි රජය හෝ අධිකරණ හෝ කිසිවකු මෙතෙක් ඒ පිළිබඳව පැහැදිලි අදහසක් මාධ්‍යයට අනාවරණය කොට නැත. 

මෙම ශ්‍රී ලාංකික කාන්තාවගේ අනන්‍යතාවය හෙළිවී නැති අතර ඇය 2014 වසරේ සිට රියාද්හි සේවය කරන විවාහක කාන්තාවකි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. මෙම වරදේ ඇගේ හවුල්කරු වන අනෙක් ශ්‍රී ලාංකිකයා අවිවාහකයෙකි. ඔවුන් අනාචාරයේ හැසිරීමේ වරදට නීතියේ රැහැනට හසුවූයේ පසුගිය අගෝස්තු මාසයේදීය. 

එකම වරද සිදු කළ ද දෙදෙනාට හිමිව ඇති දඬුවමේ ස්වභාවය අතිශයින් වෙනස්ය. 

සිය සැමියා රැවටීමේ වරදට මෙම කාන්තාව මරණයට පත්වන තුරු ගල්ගසා මරා දමන ලෙසත් ඇගේ පෙම්වතාට කස පහර සියයක් පමණක් ලබාදෙන ලෙසත් ෂාරියා අධිකරණයක් මගින් නියම කොට ඇත. එයට හේතුව කාන්තාව විවාහක වීමත්, අනෙක් වරදකරු අවිවාහක තැනැත්තකු වීමත්ය. 

සවුදි අරාබියේ සේවයට ගිය කාන්තාවක ලෙස ඇයට එහි මූලික නීති රීති පිළිබඳව දැනුවත් බවත් තිබෙන්නට ඇති බවත්, එසේ තිබියදී ඇය මෙවැනි වරදකට යොමු වූයේ නම් එරට නීතියට අනුව ඇයට දඬුවම් හිමිවිය යුතු බවට ඇතැමෙක් පවසති. කෙසේ නමුත් මැදපෙරදිග රටවලදී අරාබි ජාතිකයන් අතින් අතවර වන, මරණයට පත්වන  ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් එරට පවතින මෙම ෂාරියා නීතිය යුක්තිය ඉටු නොකරන්නේ මන්දැයි තවත් පිරිසක් ප්‍රශ්න කරති. ෂාරියා නීතියට අනුව ස්වාමියාට සිය වහලුන්ව ලිංගික සේවයේ යොදවා ගත හැකි බව ඇතැමෙක් පවසති. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සිය වහළියන් ලෙස සළකා ඔවුන්ව සිය ලිංගික වුවමනාවන් සඳහා යොදා ගත්ත ද එය ෂාරියා නීතියට පටහැනි නැති බව මේ අනුව පෙනෙන්නට තිබේ. වර්තමානයේ ලෝකයේ පවතින ශිෂ්ට සම්පන්න සමාජය තුළ සිය සේවකයන් වහලුන් සේ සැළකීමට තරම් මෙම නීති පද්ධතිය අමානුෂික හා පහත් බව මෙයින් පැහැදිලිය. කෙසේ නමුත් එරට පවතින් කුමන නීිතියක් වුව ද අපට එය විවේචනය කිරීමේ අයිතියක් ද නැත. වෙනත් රටක නීති පද්ධතියකට අපට කිසිසේත් බලපෑම් කළ නොහැකිය. විවාහක කාන්තාවක් අනාචාරයේ හැසිරීමේ වරදට මෙවැනි දඬුවමක් අත්වන බව මෙම කාන්තාව බොහෝ විට නොදැන සිටියා වන්නට ඉඩක් ද නැත. 

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෙසු රටවල පවත්නා නීතියට අනුව අනාචාරයේ හැසිරීම යනු පොලීසියෙන්  අත්අඩංගුවට ගත හැකි ආකාරයේ හෝ නඩුපැවරිය හැකි හෝ වරදක් නොවේ. සාදාචාරත්මකව එය වරදක් වුවද, නීතිය ඔස්සේ එයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත. මෙසේ අනාචාරයේ හැසිරුණු පුද්ගලයන් විවාහක නම් ඔවුනට එරෙහිව දික්කසාද නඩුවක් ගොනුකිරීමට  මෙම ක්‍රියාව නිසා අගතියට පත් පාර්ශ්වයන්ට මෙය නිමිත්තක් කරගත හැකිය. ඒ හැර මෙයට දඬුවමක් නීති පොතෙහි නැත. කෙසේ වෙතත් එය අපේ රටේ නීතියය. එය ෂාරියා නීතිය සමග සැසඳිය නොහැකිය. 

ෂාරියා හෙවත් ඉස්ලාමික නීතිය අනුගමනය කරන තෙල් නිෂ්පාදනය කරන රටක් වන සවුදි අරාබියේ පවතින මෙවැනි විවිධාකාරයේ අමානුෂික මරණ දඬුවම් පිළිබඳව ලෝකයේ බොහෝ මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්ව තිබේ. ශ්‍රී ලාංකික කාන්තාවට ලැබී ඇති දඬුවමේදී සිදුවන්නේ ඇය ඉණ හෝ පපුව දක්වා පොලොවේ වළලා අවට සිටින්නවුන් විසින් ඇයගේ හිසට ගල්වලින් ගසා මරණයට පත්කිරීමය. එහි ඇති භයංකරත්වය සහ වේදනාකාරී ස්වභාවය පිළිබඳව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මෙම නීතිය ක්‍රියාත්මක වන සියලු මුස්ලිම් රටවල් මෙම දඬුවම ක්‍රියාත්මක වේ. 

2013 වසරේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වූ රිසානා නමැත්තිය, සිය ස්වාමියාගේ බිළිඳු දරුවා මරණයට පත්කිරීමේ වරදට හිස ගසාදැමීමේ මරණ දඬුවමට ලක් වූවාය. එවර ද ශ්‍රී ලංකා රජය මෙයට එරෙහිව බොහෝ ක්‍රියාමාර්ග ගත්ත ද සවුදි රජය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් මරණ දඬුවම ක්‍රියාත්මක කළේය. ශ්‍රී ලංකාවේ සිය දහස් ගණන පිරිමින් සහ ගැහැනු රියැදුරන් හා ගෘහ සේවිකාවන් ලෙස මැදපරෙදිග රටවලට යන්නේ ෂාරියා නීතියේ මෙම මූලික කරුණු පිළිබඳව අවබෝධයෙන් නොවේ යැයි කිව නොහැකිය. මහ බැංකු වාර්තාවට අනුව 2014 වසර වන විට 279,952 දෙනෙක් මැදපෙරදිග රටවල සේවය සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔවුන්ගේ ශ්‍රී ලංකා රජය වාර්ෂිකව ලබන විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7ක ද ඉක්මවයි. එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 9%ක පමණ ප්‍රමාණයකි. මැදපෙරදිග වහල් සේවයේ යෙදෙමින් අප රටට එවන් මුදලක් උපයා දෙන පිරිස මෙවැනි කරදරවලට පැටලීම හැකිතාක් වැළැක්වීම සඳහා ඔවුන්ව මනා සේ දැනුවත් කරන වැඩසටහන් රජය මැදිහත්වීමෙන් ඉදිරියේදී තවත් වැඩි කළ යුතුය. 

දැනට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන එක් රටක් වන්නේ සවුදි අරාබියය. ඔවුනට මෙහි සාමාජිකත්වය ලබා නොදෙන්නැයි ලොව පුරා විවිධ උද්ඝෝෂණ පැන නැගුණ ද ඒවා තඹයකට හෝ මායිම් නොකොට එයට සාමාජිකත්වය ලබාදෙන්නට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තීරණය කළේය. මෙම තීරණය පිටුපස මහා බ්‍රිතාන්‍යය සිටින බවට විකිලීක්ස් වෙබ් අඩවිය විසින් අනාවරණය කොට තිබේ. වරදකරුවන්ගේ මානව හිමිකමක් හෝ තඹයකට සළකා නොබලන රටකට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ලබාදෙන්නට මහා බ්‍රිතාන්‍යය කුමන්ත්‍රණය කරද්දී ශ්‍රී ලංකාව වැනි දුළිඳු රටවල මානව හිමිකම් පිළිබඳ මහා ඉහළින් කතා කරන්නට මොවුන් ඉදිරිපත්වීම ‛සුද්දන්ද’ ලජ්ජා විය යුතුය. 

දිළිඳු රටවලින් මැදපෙරදිග සේවයට පැමිණෙන බොහෝ සේවකයන් අතින් යම් වරදක් සිදුවූ විට ඔවුන් වෙනුවෙන් අරාබි බස දන්නා පරිවර්තකයන් යොදවන්නට එරට නීතිය කිසිවිටෙක ක්‍රියාකරන්නේ නැති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වාර්තා කරයි. බොහෝ විදේශිකයන් අරාබි බස යහමින් නොදන්නා බැවින් සිය නිර්දෝෂීභාවය අධිකරණයකදී පැහැදිලි කරදීමට මේ අනුව බොහෝ දෙනෙකු අපහොසත් වෙති. මේ නිසා බොහෝ දෙනෙකුට නිර්දෝෂ වන්නට ඇති අවස්ථාව ගිළිහී යයි. 

ලෝකයේ අතිශය අමානුෂික දඬුවම් ක්‍රම පළිපදින්නේ මෙම ෂාරියා නීතිය ක්‍රියාත්මකවන රටවල පමණි. අනෙක  ෂාරියා නීතිය ක්‍රියාත්මක වන්නේ මුස්ලිම් බහුතරයක් සිටින රටවල් 49ක් අතුරින් 6ක පමණි. ඉස්ලාම් ආගම සමඟ මෙම ෂාරියා නීති පද්ධතිය බැඳී තිබුණත් එහි දඬුවම්වල පවතින අශිෂ්ට සහ අමානුෂික බව මෙම සෙසු මුස්ලිම් රටවල් 43ම අවබෝධකොටගෙන සිටිනවා විය හැකිය. සිය නීති පද්ධති තුළට මෙවැනි අමානුෂික දඬුවම් ක්‍රම ඇතුළත්කොට තිබීමෙන් පැහැදිලි වන්නේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙක් වුව ද තවමත් ගෝත්‍රීකරණයෙන් මිදෙන්නට අවශ්‍යතාවයක් නොමැති බවය. 




12 comments:

  1. මේ කාන්තාවගේ අනන්‍යතාව හෙළිදරව් නොකිරීම හොඳයි.අපි අමතක කරන්න හොඳ නැහැ මේ විදේශ ශ්‍රමිකයින් නැත්නම් මේ රටට සිද්ද වෙන්නේ කුමක්ද කියන එක.ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම අප හැමෝගෙම වගකීමක්.
    මේකේ තියෙන ලොකුම විහිළුව තමයි මානව හිමිකම් කවුන්සිල් සභාපතිත්වය "සවුදි අරාබියට"දීම.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ දේශපාලුවෝ ඒ රටවල වහල් සේවයට යන කාන්තාවන්ගේ ඉරණම ගැන කවදාවත් හොයා බලන්නේ නැහැ. බලය ගන්නකම් බොරු කයිවාරු ගසනවා පමණයි. ඇත්තටම සවුදි අරාබියට මානව හිිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය අරන් දෙන්න මහා බ්‍රිතාන්‍යය සෑහෙන දායකත්වයක් ලබා දුන්නා. එහෙව් රටවල්වලින් තමයි අපේ දේශපාලුවෝ මානව හිමිකම් ඉගෙන ගන්නේ. ඇත්තටම දෙපැත්තෙන්ම හිනා යන වැඩ මේවා.

      Delete
  2. ඔබ වැදගත් තර්කයක් මතු කරනවා.... ඒ තමා ගෘහසේවිකාවන් විදිහට තම රටට ගෙන්වා ගන්නා විදේශීය කාන්තාවන් (අතිබහුතරය කාන්තාවන්) ලිංගික වහල්සේවයේ යොදවා ගැනීම ගැන තඹ දොයිතුවක් ගානක් නැති මේ කාළකණ්ණි ගල් ගහන්නේ රෙදි අැදගෙනද කියන දේ.......

    ReplyDelete
    Replies
    1. මැදපෙරදිග මුස්ලිමුන් තමන්ගේ මේ පහත් තුච්ඡ නීති පද්ධතිය සම්පාදනය කරගෙන ඇත්තේ අපගේ වැනි දුප්පත් රටවලින් යන ගැහැනුන්ගෙන් වහළියන් මෙන් සේවය ගැනීමට සහ ඔවුන්ව සිය ලිංගික කටයුතු සදහා යොදාගැනීම සදහායි. ඔවුන් අතින් අප රටේ ගැහැනියක් දූෂණය වුවාට ක්‍රියාත්මක නොවන මෙම සුනඛ ෂාරියා අධිකරණ අප රටේ ගැහැනියක් ලිංගික අපචාරයකට හසුවූ පමණින් ලෝගුව කරට ඔසවා ගල් ගසන්නට සූදානම් වෙනවා. මොවුන්ගේ තෙල් බොමින් යැපෙන බටහිර රටවල් ද මේවා දැක්කත් නොදැක්කා සේ සිටිනවා. යම් විදිහකින් ඇමරිකානු හෝ බ්‍රිතාන්‍ය ගැහැනියක් මෙවැන්නකට හසු වූවා නම් තත්වය මෙයට වඩා බොහෝ වෙනස් වෙන්න පුළුවන් බව ඒකාන්තයි.

      (දුක කියන්නේ අපේ රටේ දේශපාලුවන්ද ටිකෙන් ටික මෙම සුනඛ නීතිය අපේ රටට ඇතුළුකරන්නට වලිකෑමයි)

      Delete
  3. මට තියන අවුල,
    ෂරියා නීතිය අනුව අගතියට පත් පාර්ශවයට පුළුවන් දඬුවම සම්බන්ධව තීරණයක් ගන්න. රිසානා සම්බන්ධ සිද්ධියෙදිත් මියගිය ළදරුවාගේ මාපියන්ගේ කැමැත්ත නැතිවීම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න හේතුවක් වුනා.
    මේ සිද්ධියෙන් "අගතියටපත්" පාර්ශවය තමයි ලංකාවෙ ඉන්න ඇයගේ සැමියා! එතකොට එයාගෙ තීරණය නොසලකන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධියෙන් අගතියට පත්වෙලා තියෙන්නේ මැදපෙරදිග සිටින මේ ගැහැනිය සමග නිදාගන්නට වලිකමින් සිට නොහැකි වූ මුස්ලිමෙක් විය යුතුයි. මෙහිදී සළකා ඇත්තේ ලිංගික වශයෙන් බලාපොරොත්තු කඩ වූ ඒ මුස්ලිමා නිසා ඇයට මෙසේ ගල්ගසා මරාදමනවා ඇති.
      (මේවාට කියන්නේ රෙද්ද පල්ලෙන් වැටෙන තුච්ඡ නීති කියායි. මේවා අපේ රටට ඇතුළු කරන්නට වළිකන උන්ටත් සාප වේවා!)

      Delete
    2. සෑම රටකම අැති නීතියට අනුව අගතියට පත් පාර්ශවයෙ ඉල්ලීමට අනුව නඩු තීන්දුව වෙනස් කළ හැක.
      ශරියා නීතියටත් එය පොදුව අැති සමහරවිට

      Delete
    3. අනෙක් නීති පද්ධතිවලට තිබුණත් ෂාරියා නීතියට එසේ නැතිව ඇති. අනෙක ෂාරියා නීතියෙන් කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට ඇත්තේ ඉතාමත් අඩු ඉඩක්.

      Delete
    4. මෙතැන අගතියට පත් පාර්ශවය වන්නේ මහා කාරුණික අල්ලඃ දෙවියන් වහන්සේ නම් ???

      Delete
    5. ඔව් අල්ලා දෙවියන් විසින් සම්පාදනය කළ නීති ඔහුට හෝ ඔහුගේ නියෝජිතයෙක්ට ක්‍රියාත්මක කරන්න බැරි අවස්ථාවක් ආවොත් අගතියට පත්වන්නේ අල්ලා දෙවියන් තමයි.

      Delete
  4. oba niwaradi Niranjan, ape rata me thathwayata path karla thiyenne awasthaawadee deshapalakayoo.

    ReplyDelete
    Replies
    1. මේ රට යම් දිනක විනාශයට ඇද දමන්නේත් මේ අමන දේශපාලුවන්ම තමයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න