පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, July 30, 2016

ෂර්ලොක් හොම්ස් අලුතින් ලියැවෙයි




ෂර්ලොක් හොම්ස් අලුතින් ලියැවෙයි’ යනුවෙන් සඳහන් කිරීමෙන්ම බොහෝ දෙනෙක් තුළ බොහෝ අදහස් පහළ වන්නට හේතුවක් වනවාට සැකයක නැත. එයට හේතුව එම කතා නැවත ලියා අප රටේ පාඨක සහෘදයාට පිළිගැන්වීමේ අර්ථයක් නැතැයි බොහෝ දෙනෙකුට සිතිය හැකි නිසාය. සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හොම්ස් නවකතා හතර මෙන්ම කෙටි කතා 56 ද මේ වන විට සිංහලයට පරිවර්තනය කෙරී හමාරය. එහි මුල් කතාවලට අමතරව අප රටේම නිර්මාණය වුණු ෂර්ලොක් හොම්ස් කතා පවා මේ වන විට ඔබ කියවා තිබෙන්නට පුළුවන. එවැනි තත්වයක් තුළ මේ කතා නැවත ලිවීමේ අරුත පිළිබඳ යමෙක් ප්‍රශ්න කරනු ඇත. 


සැබැවින්ම මේ සඳහා ආරාධනා කරමින් ගුණසේන සමාගම පවසන ලද්දේ සාක්කුවේ දමාගෙන යා හැකි තරමට කුඩා ප්‍රමාණයෙන්, සංක්ෂිප්ත කොට, අඩු මිලකට අළෙවි කළ හැකි පරිදි මෙම කතා නැවත ලියන ලෙසය. මෙහිදී එක් කෙටි කතාවක් වෙනුවෙන් එක් පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. විනාඩි කිහිපයක් ඇතුළත එක් රහස් පරීක්ෂණ කතාවක් කියා අවසන් කළ හැකි බැවින් ‛පොතක් කියවනවා’ යන්න පවසද්දී මුහුණ ඇඹුල් වන අයට මෙය හොඳ පණිවිඩයක් වනු ඇතැයි මට සිතේ. පොතෙහි පිටු ගණන උඵරිම වශයෙන් පිටු 30කට පමණ සීමා කෙරේ. සාමාන්‍ය කමිස සාක්කුවක දමාගෙන යා හැකි ප්‍රමාණයට පොතක් සකස්කොට තිබේ. 

මුල් නිර්මාණයෙහ් ඇති ගුප්ත රසය, පුද්ගලයන්, සුවිශේෂී සිදුවීම් ආදී සියලු දේ තබාගනිමින් අතේ ගෙන යා හැකි ප්‍රමාණයෙන්, සංක්ෂිප්තව පර්වර්තනයක් කිරීම අන් අයට කෙසේ වෙතත් මට නම් දුෂ්කර කටයුත්තකි. මේ දුෂ්කර බව නිසාම 2016 සැප්තැම්බරයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මෙම කෙටි කතා 56 ඉදිරිපත් කරන්නට මට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට ඉදිරිපත් කරන්නට හැකි වන්නේ පොත් 20ක් පමණි. මේ වසර අවසානයට ළඟාවද්දී ඉතිරි පොත් සියල්ල ඉදිරිපත් කිරීම අරමුණ වේ. 






ගුණසේන සමාගම මෙහි දැනට ප්‍රකාශයට පත්ව ඇති පොත් 5 ද ඇතුළුව තවත් පොත් රැසක් 2016 අගෝස්තු 5 වැනි සිකුරාදා දොරට වැඩීමට නියමිත්ය. කොළඹ අලුත්කඩේ උසාවියට සමීප පැරණි ‛දවස’ ගොඩනැගිල්ලේ පිහිටි ඇම්.ඩී. ගුණසේන ශ්‍රවණාගාරයේ දී එදින සවස 3.00 ට පැවැත්වෙන මෙම උත්සවයට මෙම බ්ලොගය කියවන්නට පැමිණෙන, පොතට පතට ලැදි සහෘදයන්ට මෙසේ විවෘතව ආරාධනා කරනු කැමැත්තමෙි. අලුතින්, කෙටියෙන් ලියැවුණු ෂර්ලොක් හොම්ස් කියවා බලා මෙම අවස්ථාවට පැමිණෙන ඔබගේ අදහස් දැනගැනීමට ද කැමැත්තෙමි. 

                    සියලු පාඨක සහෘදයෝ පැමිණෙත්වා! 

2 comments:

  1. අලුත් විදියේ වැඩක් වගේ සුබ පැතුම්..!

    නිරංජන් මෙයට පෙරත් පරිවර්තන කෘති එළිදක්වා තියෙනවාද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ළමා පොත් ටිකක් කළා. තව විද්‍යාඥයින් 10 දෙනෙක් ගැන කළා. මේ වතාවේ තමයි මෙහෙම පොත් ටිකක් කළේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න