පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, February 11, 2017

අහිතකර බව ඔබ නොදන්නා නිවසේ ඇති රසායනික ද්‍රව්‍ය


නිවසේ එදනෙදා වැඩකටයතුවලදී භාවිත වන නොයෙක් රසායනික වර්ග තිබේ. මේ කිසිවක් අපට හිතකර ද එසේත් නැත්නම් අහිතකරදැයි අප කිසිවිටෙක සිතන්නේ නැත. එසේ නොසිතා භාවිත කිරීමෙන් අවසානයේ අපගේ සෞඛ්‍යයට හානි සිදුවෙයි. ඇතැම් විට යම් අසනීප තත්වයක් ඇතිවෙද්දී එයට හේතුව මෙම රසායනික ද්‍රව්‍ය යැයි අප නිකමට හෝ සිතන්නේ නැත. ඇතැම් ඒවා කිසිවිටෙක අහිතකර වේ යැයි අපට සිතනේනේ ද නැත. මේ නිසා නිවෙස්වල අප දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිත වන විවිධ රසායනික ද්‍රව්‍ය සහ ඒවායෙන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳ ගැන දැන සිටීම ප්‍රයෝජනවත්ය.

නන්ස්ටික් භාජන

සෙරමික්වලින් සාදන ලද නන්ස්ටික්




නන්සිටික්හෙවත් නොඇලෙන භාජන භාවිත කරන්නට ගෘහනියෝ වැඩි උනන්දුවක් දක්වන්නේ එයින් විවිධ දෑ පිසගැනීම වඩාත් පහසු බැවිනි. කෙසේ නමුත් මේවා නොඇලෙන සේ සාදා ඇත්තේ කෙසේදැයි කිසිවකු කිසිවිටෙක සිතන්නේ නැත. මේවා නොඇලෙනසේ සාදා ඇත්තේ ඒවායෙහි ආලේප කොට ඇති පොලිටෙට්‍රාෆ්ලූරෝඑතිලින්’ (Polytetrafluoroethylene) නම් රසායනික ද්‍රව්‍යය නිසාය. නන්සිටික් භාජනය රත්වෙද්දී එයින් වායුවක් නිකුත් වෙයි. මෙම වායුවට කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් පිළිකා සහ වෙනත් සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකිය. කෙසේ නමුත් සෙරමික් මතුපිටක් සහිත නන්සිටික් භාජන අහිතකර නොවේ යැයි පැවසේ.

මැසි මදුරුවන් පළවා හරින ද්‍රව්‍ය



සෑම නිවසකම මැස්සන්, මදුරුවන්, මැක්කන් ආදී කෘමි සතුන් පළවා හැරීම සහ විනාශ කිරීම සඳහා භාවිත කරන විවිධ රසායනික ද්‍රව්‍ය දක්නට ලැබේ. ඒවා නැති නිවෙසක් නැති තරම්ය. කෙසේ නමුත් මේවාට කාලයක් තිස්සේ නිරාවරණය වීම නිසා අපගේ ස්නායු පද්ධතිය හානි වීමේ අවදානමක් තිබේ.

කපුරු බෝල



ඇඳුම් අල්මාරි, පොත් කබඩ් ආදියට අපි පුරුද්දක් ලෙස කපුරු බෝල දමන්නෙමු. එයින් සුවඳක් සේම කාවන් වැනි කෘමි සතුන්ගෙන් සිදුවිය හැකි හානි ද වළක්වාගත හැකිය. කෙසේ නමුත් මේවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය කුමක්දැයි අප කිසිවිටෙක හෝ සොයා බලා නැත. මේවායේ අඩංගු වන්නේ නැප්තලින් නම් රසායනික ද්‍රව්‍යයයි. මේවාට කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් අපගේ රතු රුධිරානු හානියට පත්විය හැකි බවත්, සතුන් තුළ පිළිකා ඇති විය හැති බවත් සොයාගෙන තිබේ. කෙසේ නමුත් මිනිසා තුළ මේවා නිසා පිළිකා ඇතිවිය හැකි යැයි මෙතෙක් සොයා ගෙන නැත.

එයාර් ෆ්‍රෙෂ්නර්



එයාර් ෆ්‍රෙෂ්නර් හෙවත් වායු නැවුම්කරණ ද්‍රව්‍ය බොහෝ නිවෙස්වල තිබේ. විශේෂයෙන් නාන කාමරවල මේවා වැඩි වශයෙන් භාවිත කෙරේ. මේවා නිතර භාවිත කිරීමෙන් ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය අප සිරුරේ ක්‍රමක්‍රමයෙන් තැන්පත් වේ. මෙම රසායනික ද්‍රව්‍ය අපගේ හෝමෝනවලට යම් බලපෑමක් එල්ළ කරන බවත් දරුවන් තුළ ප්‍රජනන හැකියාව පිළිබඳ ගැටලු ඇතිකිරීමට හේතුවන බවත් තහවුරු වී තිබේ.

අවන් පිරිසිදුකාරක ද්‍රව්‍ය


අවන් එක හෙවත් පෝරණු පිරිසිදුකිරීම සඳහා ද නිවෙස්වල විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කෙරේ. මේවායේ ඇති ක්ෂාරමය (alkalis) රසායනික ද්‍රව්‍යවලට කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් අපගේ බඩවැල්වල සහ ස්වසන පද්ධතියේ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිය.

ගෘහභාණ්ඩ පොලිෂ් සහ පැල්ලම් ඉවත්කිරීමේ ද්‍රව්‍ය



මේවා ඉතා ඉක්මණින් ගිනිගන්නා සුළු වාගේම මේවායේ අඩංගු ෆිනොල් සහ නයිට්‍රොබෙන්සීන් වැනි රසායනික වර්ග අපගේ සමට පහසුවෙන් අවශෝෂණය වන අතර එය පිළිකා තත්වයන් ඇතිකිරීමට හේතු වන බැව් සොයාගෙන තිබේ.

වැසිකිලි පෝච්චි පිරිසිදුකාරක ද්‍රව්‍ය



මේ සඳහා වෙළෙඳපලේ විවිධ වෙළෙඳ නම්වලින් ඇති ද්‍රව්‍ය අපි භාවිතයට ගන්නෙමු. කෙසේ නමුත් මේවා නිසා අපගේ සම සහ ඇස්වලට හානිවන බව අප කිසිදා නිකමට හෝ සිතන්නේ නැත. වෙනත් පිරිසිදුකාරක සමග මිශ්‍රවීමෙන් මේවායේ ඇති අහිතකරබව තවත් වැඩි වේ.

බැක්ටීරියා නාශක සබන් සහ බැක්ටීරියා නාශක සබන් දියර  



වර්තමානයේ විවිධ ලෙඩරෝගවලින් ආරක්ෂාව සඳහා නිෂ්පාදනය කරන ලද සබන් පිළිබඳ නිතර අසන්නට ලැබේ. මේවා පොදු වශයෙන් බැක්ටීරියා නාශක සබන් ලෙස හැඳින්විය හැකිය. කෙසේ නමුත් මේවායේ අඩංගු ට්‍රයික්ලොසාන් සහ ට්‍රයික්ලෝකාර්බන් සැබැවින්ම හානිදායකය. මේවා නිතර භාවිතකිරීමෙන් ප්‍රතිජීවකවලට එරෙහි බැක්ටීරියා වර්ග සිරුරේ ඇති විය හැකි අතර ඒවා ජෛවමය වශයෙන් ජීර්ණක ද්‍රව්‍ය නොවන බැවින් එයින් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය.

පොතු ගැළවෙන තීන්ත



කලකට පෙර නිවෙස්වල ආලේප කරන ලද රබර් තීන්ත ආලේපන කාලයක් යද්දී පොතු ගැළවී යන බැව් අපි දැක ඇත්තෙමු. මේවා පොතු ගැළවෙද්දී එම කොටස්වලින් නිකතු වන රසායනික කොටස්වල ඊයම් අඩංගුවන අතර ඒවා ආශ්වාස කිරීමෙන් ඊයම් විෂ වී විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය.

ගිනිගැනීම වළක්වන ද්‍රව්‍ය



මේවා බොහෝ විට දක්නට ලැබෙන්නේ පැරණි කවිච්චි, පුටු කට්ටල්, පැරණි සෝපා සහ පැරණි මෙට්ට ආදියෙහිය. මේවා ගිනිගැනීම වැළැක්වීම සඳහා රසායනික ද්‍රව්‍ය මේවාට එක්කොට කොට තිබේ. කෙසේ නමුත් මෙම රසායනික ද්‍රව්‍ය මේවාට එක්කිරීම නිසා ගිනිගැනීම වැළැක්වීමක් ඵලදායී ලෙස සිදු නොවන බව ද සොයාගෙන තිබේ. මේවාට නිතර නිරාවරණයවීමෙන් වදභාවය සහ මේවාට නිරාවරණයවන පුද්ගලයන්ගෙන් ඉපදෙන දරුවන්ගේ යම් යම් දෝෂ සහගත තත්වයන් ඇති විය හැකිය.

මේ අප නිවෙස්වල භාවිත කෙරෙන විවිධ රසායනික වර්ග කිහිපයකික් සිදුවන අහිතකර ප්‍රතිඵල වේ. මෙතැන සඳහන් නොකළ ද්‍රව්‍ය බොහෝ ගණනක් තිබිය හැකිය. මේ නිසා ඔබගේ පහසුවට විවිධ රසායනික වර්ග භාවිතකළත් ඉදිරියේදී ඒවා භාවිත කිරීමේදී පෙරට වඩා සැළකිලිමත් විය යුතු බැව් දැන් ඔබට අවබෝධවන්නට ඇත.




4 comments:

  1. නෙරංජන්. මේක ගොඩක් වටින ලිපියක්. ස්තූතියි දැනුවත් කිරීමට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  2. වටිනා ලිපියක් ස්තූතියි සහෝදරයා

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න