පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, April 16, 2017

ලෝකයේ ලොකුම කුණු කඳු - Biggest Garbage Dumps in the World

2017 වසරේ සිංහල අලුත් අවුරුදු දිනය සහ මහ සිකුරාදා දිනය වසර ගණනක් ගත වන තුරුත් මිනිසුන්ට අමතක නොවන්නට හේතුවක් වන්නේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිය නිසාය. දිනකට එකතු වන කුණු ගොඩගැසෙන්නට ඉඩ නොදී යම් ක්‍රියාවලියක් මගින් ඒවා යම් කළමනාකරණයකට ලක් කරන තුරු අප මෙවැනි අවදානම් තත්වයන්ගෙන් මිදෙන්නේ නැත. මෙවැනි කුණු කඳු ගැටලුවකට මුහුණ දෙන්නේ අප පමණක් නොවේ. ලෝකයේ තවත් රටවල මෙවැනි කුණු කඳු දක්නට ලැබෙන අතර දියුණු නොදියුණු බව කුමක් වුවත් ඔවුහු ද  මෙහි ඇති අවදානම් තත්වයට මුහුණ දෙමින් සිටිති. ලෝකයේ පවතින මෙවැනි යෝධ කුණු කඳු කිහිපයක් පිළිබඳ තොරතුරු දැන සිටිය යුත්තේ එබැවිනි.

නිව්ටන් කවුන්ටි කුණු කන්ද
 
Source - http://www.daily-journal.com/opinion/editorials/what-s-the-best-way-to-invest-in-county-economic/article_7f223b7f-1364-5038-8249-bd68c8ea8487.html


ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා ප්‍රාන්තයේ අක්කර 400ක වැඩි ප්‍රදේශයක මෙය පැතිරී පවතී. තවත් වසර 20 ක කාලයක් දක්වා මෙය කුණු කසල බැහැර කිරීමේ ස්ථානයක් ලෙස භාවිත කරන්නට අදහස් කොට සිටින බව දැනගන්නට ලැබී තිබේ. එබැවින් අනාගතයේ දී මෙය දැවැන්ත කුණු කන්දක් වනු නොඅනුමානය. මෙහි කුණු කසල බැහැර කිරීමේ ක්‍රමවේදය නවීන තාක්ෂණයට අනුව සිදුකිරීමට බොහෝ පියවර ගෙන ඇති නිසා මෙයින් දුර්ගන්ධයක් නොනැගෙන බව පැවසේ.

පුවෙන්ටෝ කුණු  කන්ද

Source - http://www.puentehillslandfillpark.org/gallery/


ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටා ඇති මෙය අක්කර 700 ක භූමි භාගයක පැතිර පවතී. අඩි 500ක් (මීටර් 152ක් පමණ) උසින් යුක්තය. මෙය දැවැන්ත කුණු කන්දක් ලෙස දැනටමත් පෙනෙන්නට තිබුණත් 2013 වසරේ මෙයට කුණු දැමීම නතර කරනු ලැබිණි. කෙසේ නමුත් මෙහි ගොඩ ගසා ඇති කුණුවලින් මීතෙන් වායුව නිකුත් වන අතර ඇමරිකානු රජය එයින් විදුලිය ජනනය කරගැනීමට සමත් වී තිබේ. ලොස් ඇන්ජලීස් සහ ඒ අවට ප්‍රදේශයට විදුලි බලය ලබාදෙන්නට වැඩි වශයෙන් භාවිත කරනුයේ මෙසේ ජනනය කරගනු ලබන විදුලිය ය.  මේ මහා කුණු කන්දෙන් මිනිත්තුවකට මීතේන් වායු ඝන අඩි 30,000 ක් පමණ නිකුත් වෙන බව ගණන් බලා තිබේ.

ඒපෙක්ස් කුණු කන්ද

Source - http://imgur.com/gallery/xKekZ

ලාස් වේගාස් ප්‍රාන්තයේ පිහිටා ඇති ඇමරිකා එක්සත් ජනපදයේ තවත් විශාලතම කූණු කන්දක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. අක්කර 2,200 කට වැඩි භූමි භාගයක පැතිර පවතින මෙය උතුරු ලාස් වේගාස් නගරයේ නගර සීමාව ආසන්නයටම සමීප වී පවතී.  දැනට මෙහි කුණු ටොන් මිලියන 50 ක් පමණ පවතින්නේ යැයි ගණන් බලා තිබෙන මෙයට දිනකට මෙයට කුණු ටොන් 9,000ක් පමණ බැහැර කෙරේ.

ෆ්‍රෙෂ් කිල්ස්

Source -  http://www.atlasobscura.com/places/fresh-kills-landfill


ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පිහිටා තිබෙන මෙම කුණු කන්දෙන් නැගෙන මීතේන් වායුව ද ශක්ති ජනනය සඳහා යොදා ගැනේ. දැනට මෙයට කුණු කසල බැහැර කීරීමක් සිදු නොවන අතර කුණු කසල බැහැර කරන සමයේ මෙය ලෝකයේ දැවැන්තම කුණු කන්ද ලෙස ප්‍රකටව තිබුණි. මෙහි ඇති මීතේන් වායුව සම්පූර්ණයෙන් භාවිතයට ගැනීමෙන් පසු මෙතැන විනෝද උයනක් ඇති කිරීමට රජය අපේක්ෂා කරයි. 2001 වසරේ දී ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙයට කුණු කසල බැහැර කිරීම නවතා දමනු ලැබිණි.

ඔලුසොසුන් කුණු කන්ද

Source - http://www.dailymail.co.uk/wires/ap/article-2579079/Lagos-aims-use-trash-make-electric-power.html


අප්‍රිකා මහාද්වීපයේ ඇති විශාලතම කුණු කන්ද වන මෙයට දිනකට කුණු ටොන් 10,000 ක් පමණ  බැහැර කෙරේ. මෙයින් වැඩි කොටසක් නැව්වලින් ඉවත් කෙරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වන අතර විෂ සහිත ගිනි දළු නිතරම මෙයින් පිට වේ.  විෂ රසායනික වර්ග පොලොව තුළට උරා ගැනෙන බව පැවසෙයි. මෙය වටා බොහෝ පිරිසක් පදිංචිව සිටින අතර ඔවුන් බොහොමයකගේ ජීවිකාව වී ඇත්තේ මෙයින් ඉවත් කරගන්නා යම් යම් ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය අළෙවි කිරීමය.

සුදොක්වොන් කුණු කන්ද

Source - http://www.takepart.com/photos/biggest-landfills/sudokwon-landfill-south-korea


දකුණු කොරියාවේ ඇති මෙය ලෝකයේ දැවැන්ත කුණු කඳුවලින් එකක් ලෙස සැලකේ. දිනකට කුණු ටොන් 20,000 ක් පමණ බැහැර කෙරෙන මෙයින් නිකුත් වන මීතේන් වායුව ද ශක්ති ජනනයට භාවිත කෙරේ.

ජාර්ඩිම් ගමාකෝ

Source -  https://en.wikipedia.org/wiki/Jardim_Gramacho


ජාර්ඩිම් ගමාකෝ යනු බ්‍රසීලයේ ඇති යෝධ කුණු කන්දකි. මෙය අළලා කළ වාර්තා වැඩසටහනක් ඔස්කාර් සම්මානයක් සඳහා ද නිර්දේශ විය. දෛනිකව මේ කුණු කන්ද ජීවිකාව කරගත් 3,000ක් පමණ සිටිති. ප්‍රතිචක්‍රීය කළ හැකි කුණු ටොන් සිය ගණනක් දිනකට මෙතැනට බැහැර කෙරෙන බව පැවසේ.

බෝර්ඩෝ පොනියන්ටේ
Source - http://enjoyzlife.blogspot.com/2011/12/mexico-city-closes-bordo-poniente.html


මෙක්සිකෝවේ ඇති මේ කුණු කන්ද කොරියාවේ ඇති සුදොක්වාන් කුණු කන්දටත් වඩා විශාල බව පැවසේ. දැනට මෙතැනට කුණු බැහැර කිරීමක් සිදු නොවන මුත්, කලකට පෙර මෙතැනට දිනකට කුණු කසල ටොන් 12,000ක් පමණ බැහැර කරනු ලැබිණි. කෙසේ නමුත් මෙතැන වසා දැමුවාට පසුව ද ඝන අපද්‍රව්‍ය ටොන් ගණනක් තවමත් බැහැර කෙරෙමින් පවතී. මෙයට විකල්පයක් ලබා දීමට මෙක්සිකානු රජයට තවමත් හැකියාවක් ලැබී නැත.

ගයියු කුණු කන්ද

Source -  http://www.greenpeace.org/eastasia/campaigns/toxics/problems/e-waste/guiyu/


චීනයේ පිහිටි මෙය ලෝකයේ විශාලතම කුණු කඳුවලින් එකක් මෙන්ම අනතුරුදායක කුණු කඳුවලින් ද එකක් ලෙස සඳහන් කළ හැකිය. මෙය ඉලෙක්ට්‍රොනික සොහොන් බිමවශයෙන් ද හඳුන්වනු ලබයි. චීනයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සියල්ලම බැහැර කරන්නේ මෙතැනටය. නැවත ප්‍රයෝජනයට ගත හැකි හෝ අළෙවි කළ හැකි ඉලෙක්ට්‍රොනික කොටස් ඉවත් කර ගනිමින් මෙම කුණු කන්ද ආශ්‍රිතව ජීවිකාව කරගත්  150,000ක් පමණ දෙනෙක් සිටිති. විෂ කොටස් සහිත ඉතිරි සියලු අපද්‍රව්‍ය ජලයට සහ පසට මිශ්‍ර වේ. මේ අවට සිටින දරුවන් බහුතරයකගේ රුධිරයේ අධික ඊයම් මට්ටමක් පවතින බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

මහා පැසිපික් කුණු කන්ද

Source -  https://infograph.venngage.com/p/116264/6-things-you-should-know-about-the-great-pacific-garbage-patch



ලෝකයේ විශාලතම කුණු කන්ද ලෙස සැලකෙන්නේ මෙයයි. පැසිපික් සාගර ජලය මත පාවෙමින් පවතින මෙහි වඩාත්ම අඩංගු වන්නේ ප්ලාස්ටික්ය. මේ කුණු කන්ද නිසා සාගර තරංග අවහිර වන බව පැවසේ. මෙම කුණු කන්ද ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය තරම් විශාල වන අතර අභ්‍යවකාශයට පවා මෙය දිස් වේ.

4 comments:

  1. ලෝකයේ තවත් කුණු කඳු තියෙනවා...!!! මේ දැනුවත් කිරීම වටිනවා... විදුලිය උත්පාදනයට කුණු කඳු යොදාගන්න එක කොයි තරම් වටිනවද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලොකේ තවත් කුණු කඳු තියෙනවා. ඒවා බොහොමයක් කුණු වී කඩා වැටෙන්නට නොදී ප්‍රයෝජනවත් දෙයකට යොදවනවා. අපේ රටෙත් එහෙම කරන්න කවුරු හරි දේශපාලුවෙක් අවංකව හිතුවා නම් මෙහෙම විනාශයක් වෙන්නේ නෑ.

      Delete
  2. Replies
    1. ඒක ඇත්ත. මේ ගැන මිනිස්සුනය ටික ටික අමතක වෙලා ගියා. ඒත් ඩෙංගු වසංගතය හිස ඔසවන්නට පටන් ගත්තාට පස්සේ මිනිස්සු ආයෙත් කුණු ගැන කතා කරන්න පටන් අරන්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න