පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, January 11, 2018

හොල්මන් කරපු කාර් - World Famous Ghost Cars

ඇතැම්හු හොල්මන් විශ්වාස කරති. ඇතැම්හු එසේ නොවෙති. අනාදිමත් කාලයක සිටම මේ දෙපිරිසම සිටියහ. කෙසේ වෙතත් හොල්මන් ද ඉතිහාසය පුරාම නිදහසේ හොල්මන් කරගෙන පැමිණි බව පැහැදිලිය. මේ විසි එක් වැනි සියවසේ ද හොල්මන් පිළිබඳ කතා එසේම පවතී. හොල්මන් නව කතා, හොල්මන් චිත්‍රපට නිතර නිර්මාණය වේ. එසේ හෙයින් හොල්මන් කාර් සහ හොල්මන් අනතුරු ගැන කතා කිරීමේ වරදක් පෙනෙන්නේ නැත. මේ එවැනි ලෝක ප්‍රකට කතා කිහිපයකි.

පළමු ලෝක යුද්ධයෙන් උපන් හොල්මන් රථය



පළමු ලෝක යුද්ධය ගැන මේ වන වැඩි දෙනෙක් කතා නොකරන නිසා එය අමතකව ගිය යුද්ධයක් ලෙස බොහෝ දෙනෙක් සලකති. මේ යුද්ධයේ දී ඇමරිකානු සිවිල් යුද්ධයෙන් අහිමි වූ ජීවිත ගණනටත් වඩා වැඩි ගණනක් ප්‍රංශයට අහිමි විය. ඉතිහාසය හාරා අවුස්සන ඕනෑම අයෙකුට පළමු ලෝක යුද්ධයට ප්‍රධාන හේතුව ලෙස බොස්නියානු කැරලිකරුවන් විසින් ප්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් නම් නායක ආදිපාදවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම බව හමු වේ. කෙසේ නමුත් බොහෝ දෙනෙකු නොදන්නා කාරණය වන්නේ මේ නියක ආදිපාදවරයා එදිනම එම අවස්ථාවට පෙර ද එවැනිම ඝාතන ප්‍රයත්නයකට ලක් වී එයින් ජීවිතය ගලවාගෙන සිටි අයකු බවය. එපමණක් ද නොව ඔහු වෙඩි තබා ගැනීම්වලට මැදිව තුවාල ලබා සිටි බොහෝ දෙනෙක් ප්‍රතිකාර පිණිස සිය මෝටර් රථයෙන් රෝහල කරා රැගෙන යමින් සිටිය දී මෙම ඝාතනයට ලක් ව තිබුණු බවත් බොහෝ තැන්වල ලියැවුණු ඉතිහාස කරුණුවලින් මග හැරී තිබේ. ඔවුන් දෙදෙනා ඝාතනය වී තිබුණේ සිය ලිමෝ මෝටර් රථය ඉදිරිපිට සිටිය දී ය. ඔවුන්ගේ හිස සහ උගුර හානි වන පරිදි වෙඩි තබා තිබිණි. මෙම සිදුවීම පළමු ලෝක යුද්ධයට පමණක් නොව මෙම මෝටර් රථයට ද නරක ලෙස බලපෑවේය. මෙම මරණයෙන් පසු පළමු ලෝක යුද්ධය ඔස්සේ 1920 දශකය දක්වාම මෙම ලිමෝ රථය එකිනෙකට වෙනස් අයිතිකරුවන් පහළොස් දෙනෙකු පමණ භාවිත කොට තිබිණි. මේ කාලයේ මෙම මෝටර් රථය හදිසි අනතුරු හයකට මුහුණ පෑවේය. එම අනතුරුවලින් සිදු වූ මරණ සංඛ්‍යාව 13 කි. මෙම මෝටර් රථයේ ගමන් ගත් නායක ආදිපාදවරයා ඝාතනය නිසා ආරම්භ වුණු පළමු ලෝක යුද්ධයෙන් අහිමි වූ මිලියන 13ක ජීවිත සංඛ්‍යාව මෙයට ඇතුළුත් නොවේ. නායක ආදිපාදවරයාගෙන් පසු මෙම මෝටර් රථයේ හිමිකරු වූයේ ඔස්ට්‍රියාන හමුදා ජෙනරාල්වරයකු වූ පොටියෝරෙක් ය. ඔහු වියානා නුවර වීදියක මෙම මෝටර් රථය පදවාගෙන යද්දි හදිසියේ උමතු රෝගයකට පත් විය. ඔහු එය භාවිත කරද්දී හදිසි අනතුරු හතරකට මුහුණ දුන් අතර ඔහුගේ අතක් ද අහිමි විය. මෙහි ඊළඟ හිමිකරුවා වූයේ යුගෝස්ලාවියාවේ ආණ්ඩුකාරවරයෙකි. කෙසේ නමුත් මේ මෝටර් රථය අවාසනාවන්ත එකක් යැයි දැන ගත් ඔහු එය වහාම සිය මිතුරු ශල්‍ය වෛද්‍යවරයකුට විකුණා දැමුවේය. එම ශල්‍ය වෛද්‍යවරයා එයින් මාස හයකට පසු මෙම මෝටර් රථය අනතුරකට පත්වීමෙන් මිය ගියේය. ඉන් පසු මෙහි හිමිකරුවා වූ ජර්මානු හමුදාවේ කපිතාන්වරයකු පාරේ ගමන් කළ පදිකයකු බේරා ගැනීමට මෙය වෙනතකට හරවද්දී අනතුරකට ලක් ව මරණයට පත් වූයේය. 1926 වසරේ දී මෙම මෝටර් රථයේ ගමන් කළ තවත් කිහිප දෙනෙකුම මරණයට පත් වූහ. අවසානයේ එය මිලදී ගැනීමට කිසිවකු කැමැති නැති වූ නිසා එය වියානා නුවර යුද කෞතුකාගාරයේ තැන්පත් කරන ලදී. අද ද එය එහිදී දැක ගත හැකිය.

මහා බ්‍රිතාන්‍යයේ හොල්මන් අනතුරු



මහා බ්‍රිතාන්‍යයේ ඒ 3 අධිවේගී මාර්ගය ප්‍රසිද්ධියට පත් වූයේ එක්තරා හොල්මන් මෝටර් රථයක් නිසාය. 2002 දෙසැම්බර් 11 වැනිදා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දුරකතන ඇමතුම් කිහිපයකින් දැනුම් දුන්නේ මෙම මාර්ගයේ මෝටර් රථයක් හදිසි අනතුරකට ලක්ව ඇති බවත් එහි ප්‍රධාන ලාම්පුවකින් විහිදෙන ආලෝකය දකින්නට ලැබෙන බවත්ය. වහා ක්‍රියාත්මක වූ පොලිසිය වහා එම ස්ථානයට පිටත්ව ගියහ. නමුත් ඔවුන් යද්දී එවැනි අනතුරක සේයාවක් හෝ දක්නට තිබුණේ නැත. කෙසේ නමුත් මෙයින් අධෛර්යයට පත් නොවුණු  පොලිසිය මෙම ප්‍රදේශය හොඳින් සෝදිසියට ලක් කළේය. එහි දී ඔවුන්ට හමු වූයේ මෙරුන් පැහැති වොක්සොල් ඇස්ට්‍රා රථයකි. එය ගලකට ඇද වැටී තිබුණු අතර නරක් වී ගිය මිනිස් සිරුරක් එහි තිබී හමු විය. මේ ඔස්සේ පරික්ෂණ පැවැත් වූ පොලිසිය සොයා ගත්තේ පුදුමාකාර පුවතකි. ඒ මෙම මෝටර් රථයේ ගමන් කළ තරුණයා මිය ගොස් තිබුණේ මෙයින් මාස පහකට පමණ පෙර දී බවය. ඒ හැරුණු විට මෙම ප්‍රදේශයේ සිදු වූ වෙනත් අනතුරක් පිළිබඳ සාධක ඔවුන්ට හමු වූයේ නැත.

පිටුපසට පනින හොල්මන් මෝටර් රථය

මේ හොල්මන් රථය ගැන ඇසෙන්නේ දකුණු අප්‍රිකාවෙනි. ඒ 2004 වසරය. එක් රාත්‍රියක දී හදිසියේ ස්වයංක්‍රීයව පණගැන්වුණු රෙනෝල්ට් මෙගාන් රථයක් කිසිදු රියැදුරකු හෝ නොමැතිව පසුපසට පනිමින් ගමන් කරන්නට පටන් ගත්තේය. මෙය හුදෙක් කටකතාවක් බවට පත් නොවූයේ මෙම සිදුවීම කිහිප දෙනෙකු විසින්ම දැක තිබුණු නිසාත්, එම සිදුවීම ප්‍රවෘත්තිවලින් ද ප්‍රචාරය වීමත්  නිසාය. මෙය දුටු පිරිස අතර පොලිස් නිලධරයන් දෙදෙනෙකු ද වූහ. නිව්ස් 24’ නම් ප්‍රවෘත්ති නාලිකාව මේ පිළිබද රෙනොල්ට් මෝටර් රථ සමාගමින් විමසීමක් කළ විට ඔවුන් පවසා තිබුණේ එහි රියැදුරු බීමත්ව සිටින්නට ඇති බවය.  කෙසේ නමුත් එහි රියැදුරකු තබා යතුරුවත් නොතිබුණු බැව් පසුව කරන ලද පරීක්ෂණවලින් සොයා ගැනුණි. පසුව රෙනෝල්ට් සමාගමට එල්ල වූ චෝදනාව වූයේ මෙම මේ මෝටර් රථය පණගන්වන්නට විදුලිය ලැබෙන වයරය මලකඩ කෑමක් නිසා සිදු වූ ලුහුවත් වීමකින් මෙම අසාමාන්‍ය තත්වය ඇති වූ බවය. කෙසේ නමුත් ඒ පිළිබඳව ද තාක්ෂණික වශයෙන් පැහැදිලි කරන්නට රෙනෝල්ට් සමාගමට හැකියාවත් තිබුණේ නැත.


ජෝන් එෆ්. කෙනඩිගේ හොල්මන් රථය


ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපතිවරයෙක් වූ ජෝන් එෆ්. කෙනඩි භාවිත කළ මෝටර් රථය වූයේ විවිධ නවීකරණයන්ට ලක් කරන ලද ලින්කන් වර්ගයේ මෝටර් රථයකි. නාවික හමුදා නිල් පැහැයෙන් යුක්ත මෙයට ලබා දී තිබූ රහස් නාමය වූයේ SS-100-X ය.  මෙය බොහෝ නවීකරණයන්ට ලක් කොට තිබුණ ද වෙඩි නොවදින රථයක් වූයේ නැත. එනම් මෙහි ආරක්ෂිත බව බොහෝ පහළ තත්වයක තිබිණි. 1963 නොවැම්බර් 22 වැනිදා කෙනඩි ජනපතිවරයා ඝාතනයට ලක් වූයේ අවශ්‍ය වූ විටෙක වහලය ගළවා ඉවත් කළ හැකි ලෙස සකසා තිබූ මෙම ලින්කන් රථයේ ගමන් කරමින් සිටිය දී ය. කෙසේ නමුත් කෙනඩිගේ ඝාතනයෙන් පසුව මෙම රථය තවත් වසර අටක කාලයක් භාවිතයේ පැවතියේය. හෙස් ඇන්ඩ් අයිසන්හාර්ට්නමැති සමාගම මෙම මෝටර් රථය මිලට ගෙන එහි ආරක්ෂිත බව සහ සවිමත් බව තවත් වැඩි දියුණු කළේ ය. මෙය බොහෝ වෙනස් කම්වලට ලක් කරන ලද්දේ මෙහි කෙනඩිගේ අවතාරය පවතින බවට පැතිර ගිය කටකතා නිසාවෙනි. වෙඩි නොවදින වීදුරු ද සවි කෙරිණි. හිටපු ඇමරිකානු ජනපතිවරයෙකු වූ ලින්කන් ජොන්සන් සිය භාවිතයට මෙම මෝටර් රථය ලබා ගත්තේය. කෙසේ නමුත් මෙහි පැවැති නාවික නිල් පැහැය නිසා කෙනඩි ඝාතන සිදුවීම සිහිපත් වේ යැයි සිතූ බැවින් ඔහු මෙහි පැහැය වෙනස් කොට කලු පැහැයට හැරවූයේ ය.  පසුව මෙම ජනපතිවරයාට වෙනත් රථයක් ලබා දීය මෙය සුළු රාජකාරි සඳහා භාවිතයට ගැනුණි. අවසානයේ 1978 වසරේ ඩියර්බොන් හි හෙන්රි ෆෝර්ඩ් කෞතුකාගාරයට මෙය යවනු ලැබිණි. කෙසේ නමුත් සෑම වසරකම නොවැම්බර් මාසයේ දී මේ මෝටර් රථය අසල කෙනඩි ජනපතිවරයා සිටින ආකාරය බොහෝ දෙනෙක් දුටු බවට කටකතා පැතිර ගොස් තිබේ.

නළුවකුට අයත් වූ හොල්මන් රථය



ජෙම්ස් ඩීන් යනු සුප්‍රකට ඇමරිකානු නළුවෙකි. ඔහු තරුණ පරපුර අතර ඉමහත් ජනප්‍රිය චරිතයක් විය. ඔහු මිය ගියේ ඔහුට අයත්ව තිබුණු Porsche 500 Spyder මෝටර් රථය අනතුරට පත්වීමෙනි. මෙම රථය The SS-100-X  නමින් ද හඳුන්වනු ලැබිණි. එයට පුංචි තක්කඩියාවැනි සරල අරුතක් දිය හැකිය. ලෝකයේ සුප්‍රකට හොල්මන් මෝටර් රථ අතර මෙයට හිමි වන්නේ සුවිශේෂී තැනකි. ඒ මෙය තරම් කතාබහට ලක් වූ වෙනත් හොල්මන් රථයක් නොමැති තරම් නිසා ය. මෝටර් රථ ධාවන තරගවලට දැඩි ඇල්මක් දැක්වූ ජෙම්ස් ඩීන් අනතුරට ලක් වූයේ ද මෙම රථයෙන් තරගයකට සහභාගී වන්නට යමින් සිටි අවස්ථාවක දී ය. රථය පාලනය කර ගන්නට නොහැකිව අගලකට විසි වී ගොස් සිදු වූ අනතුරේ දී ජෙම්ස් ඩීන් මිය ගිය අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූහ. අනතුර සිදුවීමෙන් පසු ඩීන්ස්ගේ මිතුරකු මෙන්ම මෝටර් රථ නවීකරණය කරන්නකු ද වූ ජෝර්ජ් බැරිස් මෙහි අවශේෂ කොටස් රැගෙන ගොස් එහි කොටස් වෙනත් රියැදුරන්ට අළෙවි කළේය. ඔහු එහි ඇංජිමත්, ඇංජිම සවි කරන චැසියත් වෛද්‍යවරුන් දෙදෙනෙකුට අළෙවි කළේය. මෙම කොටස් සිය මෝටර් රථවලට සවි කර ගැනීමෙන් පසු එම මෝටර් රථ දෙකම දරුණු අනතුරුවලට මුහුණ දුන් අතර, එයින් එක් වෛද්‍යවරයකු මරණයට පත් වූ අතර අනෙක් දරුණු ලෙස තුවාල ලැබුවේය.


මෙයට හේතුව ජෙම්ස් ඩීන්ගේ සාපය මෙම රථවලට වැදීම යැයි විශ්වාස කළ බැරිස් තමා ළඟ තිබූ මෝටර් රථ බොඩි කොටස නවීකරණය කොට එය පොලිස් මුර සංචාරක රථයක් ලෙස භාවිතයට ගැනීම සඳහා අළෙවි කළේය. කෙසේ මුත් මෙය නිදහසේ පදවාගෙන යන්නට ඒ කිසිවකුටත් අවස්ථාවක් ලැබුණේ නැත. මෙය දිගින් දිගටම අනතුරුවලට ලක්වෙමින් ජීවිත කිහිපයක් බිලි ගත්තේ ය. කිහිප දෙනෙකුට දරුණු තුවාල සිදු විය. අවසානයේ පොඩි පට්ටම් වී ගිය රථයේ ශේෂ කොටස් නැවත බැරිස් වෙතම ලබා දෙන ලදී.  මෙය ට්‍රක් රථයක පිටුපස ට්‍රේලර් කොටසේ කාලයක් තිබී අභිරහස් ලෙස අතුරුදහන් විය. අද වන තුරු ඒවාට සිදුවූයේ කුමක්දැයි කිසිවකු දන්නේ නැත. 

2 comments:

  1. එල ද බ්‍රා
    එල ද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
    Replies
    1. එලම එල බ්‍රා! අදහස් දැක්වූවාට තෑන්ක්ස්!

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න