බෞද්ධ සංස්කෘතිය පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට සත්ත්ව හිමිකම් පිළිබඳ නෛසර්ගික උරුමයක් තිබේ. නමුත් අවාසනාවට කාරණය නම් නූතන සත්ත්ව හිමිකම් තුළ අප රට ඉතා වේගයෙන් ආපස්සට ගමන් කොට තිබීම ය. සත්ත්ව හිමිකම් ඉතා ඉහළින් අගය කරන ලෝකයේ සෙසු රටවල් අසලවත් අප රට ඇත්තේ නැත. සත්ත්ව හිමිකම් ක්‍රියාත්මක රටවල් අතරින් අප සිටින්නේ පරාජිතයාගේ ස්ථානයේ කිවහොත් එහි කිසිදු වරදක් නැත. අප මේ පරාජය වටහා ගෙන එම පරාජය පිටුදැකීමට කටයුතු කළ යුතු ය. එසේ නොමැතිව මෙය ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතික උරුමයක් ඇති රටක් යැයි දිනපතා වංශය කබල් ගාන්නා සේ පුනපුනා පැවසීමේ අර්ථයක් නොමැත. ලෝකයේ සෙසු රටවල්වල ක්‍රියාත්මක වන ඇතැම් සත්ත්ව හිමිකම් අපට ඇතැම් විට සිතාගැනීමට පවා නොහැකි තරම් උසස් තලයක තිබේ. මේ ඒ පිළිබඳ කෙටි විමසුමකි.
මෙරටේ සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනතට අනුවය. මෙයින් සතුන්ගේ හිමිකම් නිසි පරිදි සුරක්ෂිත වන්නෙ නැති බැවින් 2022 ජනවාරි 11 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මේ පණත සංශෝධනය කොට මෙහි බලතල ඉහළ දමා තිබේ. නමුත් සතුන්ට සිදුවන හිංසා පීඩා ඉහළ යන තත්ත්වයක් තුළ මෙහි බලතල නිසි පරිදි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. සත්ත්ව හිමිකම් පිළිබඳ ලෝකයට ඉහළම ආදර්ශයක් ලබා දිය යුතු රටේ තත්ත්වය එසේ වුව ද ලෝකයේ සෙසු රටවල් එසේ නොවේ.
ලෝකයේ සතුන්ගේ හිමිකම් පිළිබඳ කතිකාවන් ඇතිකරගැනීමේ දී බුදු දහම ඇතුළුව පෙරදිග ආගම්වල ඇති අහිංසාවාදය පදනම් කරගන්නා බැව් පැහැදිලව පෙනෙන කාරණයකි. විශේෂයෙන් ධම්ම පදයේ ‘දණ්ඩ වර්ගයෙහි’ මිනිසුන්ට මෙන්ම සතුන්ට ද එක හා සමාන අයිතිවාසිකම් ඇති බව එහි මුල් ගාථා හතරෙහි පැහැදිලිව දේශනා කොට තිබේ. එවන් වටිනා පදනමක් තිබුණ ද ඒ කිසිවක් අප රටේ ක්‍රියාත්මක වන්නේ නැත. ලෝක සත්ත්ව හිමිකම් දිනයක් සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වෙන බව බොහෝ දෙනෙක් දන්නේ ද නැත.
ඇතැම් රටවල පාසල් විෂය නිර්දේශයේ සිටම සතුන්ගේ හිමිකම් උගන්වනු ලබයි. එයට හොඳම උදාහරණය සපයන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. මෑතක සිට උතුරු ඇමරිකාවේ පාසල්වල ‘සත්ත්ව නීතිය’ විෂය නිර්දේශයට ඇතුළත් කොට තිබේ. සතුන් කෙරෙහි සිදුවන අමානුෂික දණ්ඩනයන් නතර කිරීම පිළිබඳ 2019 නොවැම්බර් මාසයේ දී ලෝකයේ රටවල් 32 ක් ඒකාබද්ධව ඒකමතික තීරණයකට එලැඹ තිබේ. ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය මේ රටවල් අතරින් කිහිපයකි. සත්ත්ව සුබසාධනය පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් නුදුරේදී ම එළිදක්වන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් පසු වේ.
අප පිළිගන්නට අකමැති වුව ද, අප රටේ පවත්වන පෙරහරවල්වල දී අලි ඇතුන් හිංසනයට ලක්වීම නිරතුරුව සිදු වේ. නමුත් මේ පිළිබඳ නගන සියලු හඬ, ප්‍රබල ලෙස මැඩපැවැත්වීම සිදු වේ. එසේ සිදු වන්නේ ලෝකයට සතුන්ගේ හිමිකම් පිළිබඳ ලෝකයට මුල් වරට පණිවිඩයක් ලබා දුන් රට තුළ වීම ලජ්ජාවිය යුතු කාරණයකි. නමුත් සෙසු රටවල් එසේ නොවේ. බොස්නියාව සතුන් අපයෝජනය හා සර්කස්වල දී හානියට පත්වීමට විරුද්ධව නීති සම්පාදනය කළ ලොව මුල්ම රට ලෙස ඉතිහාස ගත වෙයි. ඇමරිකා එක්සත් ජනපදය තුළ මාංශ පරිභෝජනය උදෙසා අශ්වයින් මරා දැමීම තහනම් කොට ඇති ලොව එකම රට බවට පත් ව තිබේ.
ඉන්දියාව නිරාගමික රාජ්‍යයකි. එසේ වුවත් රාජ්‍ය අනුග්‍රහය ඇති ආගමක් ඇති අප රටට වඩා ඔවුහු සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ සිතා කටයුතු කරති. ජෛන ලබ්ධිකයන්ගේ වන්දනා නගරයක් වූ පයිල්තානා නගරය ලොව ප්‍රථම නීත්‍යානුකූලවම මස් මාංශ අනුභවයෙන් තොර නගරය බවට නම් කොට තිබේ. එහි සත්ත්ව මස් මාංශ අළෙවිය, සතුන් ඇති දැඩි කිරීම, මසුන් ඇල්ලීම වැනි සත්ත්ව හිංසාවට අදාළ කිසිදු ක්‍රියාවකට අවසරයක් නැත.
අප නොදන්නවා වූව ද, පක්ෂීන්ගේ හොට කපා දැමීම, කුකුළු පැටවුන්ගෙන් විවිධ ආහාර වර්ග පිළියෙල කිරීම, චාරිත්‍ර සඳහා සත්ත්ව ඝාතනය ආදිය ලෝකයේ බොහෝ රටවල තහනමකට ලක්ව තිබේ.
සත්ත්ව හිමිකම් සුරැකීම සඳහා කැප වූ සංවිධාන
ජාත්‍යන්තර
වශයෙන් පිළිගත් සත්ත්ව හිමිකම් සංවිධාන බොහෝ ඇති නමුත් අප රටෙන් බිහි වූ එවැන්නක්
මේ ලැයිස්තු අතර නැත. එය එක් අතකට දෛවයේ සරදමකි. PETA (People for the
Ethical Treatment of Animals) යනු මේ අතරින් ඉතා
සුප්‍රකට සංවිධානයකි. මෙයට ලොව පුරා සාමාජිකයන් මිලියන 9 ක දායකත්වය තිබේ. මිනිසා පමණක් උසස් ය යන
අදහසට මේ සංවිධානය එරෙහිව කටයුතු කරයි. එමෙන්ම ප්‍රධාන කාරණා 4 ක් ඔස්සේ, එනම්, රසායනාගාර පරීක්ෂණ,
ආහාර කර්මාන්තය,
රෙදිපිළි කර්මාන්තය සහ
වින්දනාත්මක කර්මාන්ත (සර්කස් වැනි) මේ සංවිධානය විසින් ක්‍රියාකාරකම් සිදු කරයි.
ඊට අමතරව ‘පලිබෝධකයන්’ සේ සලකා මීයන්, පක්ෂීන් ආදී සතුන් මරා දැමීම සහ ගෘහාශ්‍රිත ව සතුන්ට
සිදු වන හිංසනයන්ට එරෙහිව ක්‍රියාකිරීම ද මේ සංවිධානය විසින් සිදු කරයි.
ලෝකයත් සමග
සැසඳීමේ දී සතුන්ගේ හිමිකම් අතින් අප යා යුතු දුර තව බොහෝ බව මේ කාරණාවලින්
පැහැදිලි ය. අප රටේ බුදු දහම යොදා ගන්නේ ලෝකය, පරිසරය, සතුන් ආදීන් දෙස සානුකම්පිත ව බැලීම සඳහා
නොවේ. අද එය හුදෙක් දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා අතකොලුවක් බවට පත් වී හමාරය. ඒ
බුදු දහමේ ම හරය පදනම් කර ගනිමින් ලෝකයේ සෙසු රටවල් සතුන් වෙනුවෙන් සංවිධාන
ගොඩනගද්දී අප තවමත් සිටින්නේ වැදි යුගයේ ය. අප, අප ගැනම
නැවතත් සිතා බැලිය යුතු බව කිව යුත්තේ එබැවිනි.
අපේ පැවතුම් හරි පරස්පරයි. අලියට වට්ටක්කා ගෙඩියට දාලා කුරේටර් දෙනවා වගේම අලියෙකුට අකරතැබ්බයක් උනාම හැකි උපරිමයෙන් සාත්තු කරලා ඌව ගොඩදාන්නත් යනවා.
ReplyDeleteඔව්. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.
Deleteඅපේ රටේ තියෙන්නේ බුද්ධාගම හෝ බුදු දහම නෙවෙයි. ශතක ගණනාවක් තිස්සේ පහසුව සඳහා වෙනස් කර සාදන ලද පුජා විධි ක්‍රම වලින් වැසුණු බුදුන් විසින් පිළිකෙව් කරන ලද කල්ට් සමුහයක්. බෞද්ධ සං ස්කෘතිය කියල දේයකුත් නැහැ. තියෙන්නේ බුද්ධාගම මත ආරෝපණය කල ගෝත්‍රික රිචුවල් ගොඩක්. පෙරහැ රට අලි ඇ තුන් යොදාගෙන ඔවුන්ට වද දිදී සාදුකාර දීම තරම් විහිළුවක් තවත් ඇත්ද ? බුදු න් වහන්සේ ජීවමානව සිටියා නම් මේ වා අනුමත කරාවිද ?
ReplyDeleteඒ කතාව මාත් පිළිගන්නවා. ඒත් මේවා මිනිස්සුන්ට පහදලා දෙන්න විදියක් නෑ. මේවා මතින් යැපෙන සැහෙන ගණනක් ඉන්නවා. ඒ කවුරුවත් කැමති නෑ එයින් මිදෙන්න. දළදා මාලිගාවට සම්බන්ධ වෙලා ඉන්න කිසි කෙනෙක් කැමැති නෑ අලි ඇතුන් වදවිදිනවා කියලා පිළිගන්න.
Deleteඔබගේ වටිනා ලිපිය දෙවරක් කියවූවා. මෙම අවිහිංසාවාදී භාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ සැලකියයුතු මතවාදයක් නොමැති වීම කණගාටුවට කරුණකි. මා දැනට වසර 70 කට පමණ පෙර අපොස උසස් පෙළ (ඒකාලයේ H.S.C & U.E) විභාගයේ සත්ත්ව විද්‍යාව විෂයයට පෙනී සිට විශ්ව විද්‍යාලයයට ඇතුලත් වූවෙමි. උසස් පෙළ පන්තියේ සිටියදී සත්ත්ව විද්‍යාව ප්‍රායෝගික වැඩ සඳහා ගැඩවිල් පණුවන්, කැරපොත්තන්, ගෙම්බන් සහ මීයන් සිය ගනණින් විච්ඡේදනය කර ඇත්තෙමි. මෙහිදී වැදගත් වූයේ මෙම සතුන්ගේ විවිධ පද්ධති වල විකරණය වීම් සහ ඒ අනුසාරයෙන් එම සතුන් පරිණාමය වී ඇති අකාරය සහ රටාව ගැන අවබෝධයක් ලබාගැනීමයි. (වෛද්‍යවරු වීමට බලාපොරොත්තු වන අයට පසු කාලයේදී මිනිස් සිරුරේ ශල්‍ය කටයුතු සඳහා එමගින් පුහුණුවක් ලැබේය යන්න මිත්‍යාවකි.) මා වෛද්‍ය වරයෙකු නොවී ජීව විද්‍යාව පිලිබඳ උනන්දු වන අයෙකු වීම නිසා සත්ත්ව ලෝකය ගැන බොහෝ දේ ඉගෙනීමට සහ පොතපතින් සහ වෙනත් මාධ්‍ය වලින් තොරතුරු දැන ගැනීමට අවස්ථාවක් ලැබුණි. මේ නිසාම සත්ත්ව කරුණාව සහ සතුන්ගේ අයිතීන් පිළිබඳවද දැඩි උනන්දුවක් දක්වමි. 1960 ගණන් වලදී ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේදී සත්ත්ව විච්ඡේදන කටයුතු ඉවත් කිරීම සඳහා මහත් උනන්දුවක් දැක්වූ කෙනෙකි මහාචාර් ය වැලන්ටයින් බස්නායක. වෘත්තිය වශයෙන් වෛද්‍ය වරයෙකු වූ එතුමා පසුව ශ්‍රී ලංකා විද්‍යා ගණිත සංගමය (SLASME) ස්ථාපනය කිරීමටද මුලිකව කටයුතු කළේය. මම එම සංගමයේ සාමාජිකයෙක්ව සිටියෙමි. එතුමාගේද මග පෙන්වා දීම අනුව පසුකාලයේදී අපොස උසස් පෙළ සත්ත්ව විද්‍යා විෂයය සඳහා සත්ත්ව විච්ඡේදන ප්‍රායෝගික වැඩ ඉවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලදී.
ReplyDeleteපාසල් අධ්‍යාපනයේ දී සත්ත්ව විච්ඡේදන කටයුතු ඉවත් කිරීමේ කර්තව්‍යයට දායක වූ අයෙක් ලෙස ඔබ හඳුනාගැනීම සතුටට කරුණක්. ඇත්තටම සත්ත්ව අවිහිංසාව පිළිබඳ අපේ රටේ සැලකිය යුතු මතවාදයක් ඇති නොවන්නට හේතුව අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩුපාඩුවක් නිසා බවයි මට සිතෙන්නේ. මා ද අයත් බෞද්ධ ප්‍රජාව ගෙන බැලුවොත්, බහුතරයක් දෙනා කුඩා කාලයේ පටන්ම දහම් පාසල් අධ්‍යාපනය ලබනවා. නමුත් ඒ කිසිවෙකුටත් ආකල්පමය වශයෙන් සතුන්ට ආදාරය කරන්නට උගන්වන බවක් පෙනෙන්නේ නැහැ. අවිහිංසාව පාඩමක් ලෙස පමණක් උගන්වනවා මිස එය හදවතට ඉගැන්වීමක් සිදුවන්නේ නැහැ. ඒක හරියට ත්‍රිපිටකය කඩපාඩම් කරගත්තත් සත්‍යාවබෝධ නොවෙනවා වගේ වැඩක්. ඉතින් සකස්විය යුත්තේ අපේ ආකල්පයි. එය නිවැරදි වන තාක් ගැටලුව මේ තියෙන තැනම තමයි.
Delete