පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, April 17, 2014

කොන්දේ අමාරුව නොවැළ‍‍‍ඳන සේ පරිගණකය ඉදිරියේ වාඩිවෙන හැටි - Correct Sitting Postures with Computer

පරිගණක භාවිත කරන අය ඉඳගන්න ගියාම එක එක විදියට ඉඳගන්නවා. සමහරු පුටුවේ දිගඇදිලා ඉන්නවා. තවත් අය පුටුවෙන් ඉස්සරහට නැවිලා පරිගණකය ඇතුළට රිංගන්න වගේ ඉන්නවා. ලැප්ටොප් තියෙන අය ඇඳේ නිදියගෙන  වැඩ කරනවා. මෙහෙම බලනකොට පරිගණකය භාවිත කරන කොට කවුරුවත් එකම විදියේ ඉරියව්වක් අනුගමනය කරන්නේ නැහැ. දැන් පරිගණකය අපේ ජීවිතවල කොටසක් වෙලා අවුරුදු ගණනාවක් වෙනවා. මේ වගේ පිළිවෙළක් නැති ඉරියව් නිසා අපේ බොහෝ දෙනෙක්ට මේ අවුරුදු ගණන තරමටම ලෙඩරෝගත් වැළඳිලා තියෙනවා. කොන්ද අමාරුව කියන්නේ මේ අතරින් එකක්. නිවැරදි විදියට ආසනයක වාඩිවෙලා පරිගණකයක් භාවිත නොකරන කොට වගේ වගේ ලෙඩරෝග හඅදෙන එක වළක්වාගන්න බැහැ. මේ නිසි අපි අද කල්පනා කළා පරිගණකය භාවිතයේදී නිවැරදිව වාඩිවෙන විදියත්, ඒ සමඟ බැඳුණු අනෙක් ඉරියව් පවත්වාගන්නේත් කොහොමද කියන එක ගැන කතා කරන්න. අපි මේ ගැන පියවරෙන් පියවර කතා කරමු.

1. හිස කෙලින් තබා ඉඳගන්න




ආසනයේ හැකිතරම් පසුපසට වන්නට හිඳගන්න. මෙහිදී ඔබේ පතුල් සමබරව පොලෙවේ ස්පර්ශවන ආකාරයට,  දණහිස උකුලට සමාන්තරව හෝ උකුලට වඩා මදක් පහළින් සිටින සේ තබාගත හැකිවන සේ ආසනයේ උස සීරුමාරු කරගන්න. කොන්ද අංශක 100 -110ක් පමණ කෝණයකින් ආසනයේ ඇන්දෙහි හේත්තුවන සේ තබාගන්න. ඔබේ කොන්දේ ඉහළ  සහ පහළ කොටස් ඇන්දේ සහ ආසනයේ හේත්තු වී තිබිය යුතුයි. අවශ්‍ය නම් මේ ඉරියව්ව ඇතිකරගන්න එබෙන්නේ නැති කොට්ට යොදාගන්නත් පුලුවන්. ඇතැම් පරිගණක ආසනවල කොන්දේ ඉරියව් වෙනස්කරගත හැකි ආකාරයට සකස්කොට තිබෙනවා. එවැන්නක් ඇත්නම් ඔබේ කාර්යය තවත් පහසු වේවි. උරහිස් ඉහිල්වන අකාරයට ආසනයේ දෙපැත්තේ ඇඳි සකස් කරගන්න. ඔබට අවශ්‍ය ආකාරයට නැත්නම්,  එම ඇඳි ඉවත්කරන්න.

2. යතුරුපුවරුවට ආසන්න වන සේ හිඳගන්න




යතුරුපුවරුව ඔබේ සිරුර ඉදිරිපිට ආසන්නයෙන්ම සිටින සේ හිඳගන්න. මෙහිදී එහි යතුරු පුවරුව ඔබේ සිරුර සමඟ මධ්‍යගතවී තිබීම වැදගත්.

3. යතුරු පුවරුවේ උස සීරුමාරු කරගන්න




ඔබේ උරහිස් ඉහිල්ව තිබෙනා ආකාරයෙනුත්, වැලමිටි තරමක් විවීත පිහිටන ආකාරයෙනුත්, මැණික් කටු සහ අත් සෘජුව තිබෙන ආකාරයටත් සරිලන පරිදි යතුරු පුවරුවේ උස සකස් කරගන්න.




4. යතුරු පුවරුවේ ඇලය ඔබගේ හිඳගැනීමේ ඉරියව්වට ගැළපෙන පරිදි සකස්කරගන්න



නවීන යතුරු පුවරුවල ඇලය අපට කැමති පරිදි සකස්කරගන්නට හැකි ආකාරයෙන් පවතිනවා. ඔබ තරමක් ඉදිරියට බරවුණු හෝ සෘජු ඉරියව්වකින් හිඳගන්නේ නම් යතුරුපුවරුවේ ඇලය ඔබෙන් ඉවතට බරවන සේ සකස් කරගන්න. හෙත් ඔබ පසුපසට මඳක් හේත්තු වී සිටිනවා නම් යතුරුපුවරුව ඉදිරියට ඇලවන සේ තැබීමෙන් ඔබේ සිරුර සෘජු ස්වභාවයකින් පවත්වාගන්නට හැකියි. මවුසය යතුරු පවුරුව අසලින්ම තබාගන්න.

5. පරිගණක තිරය නිවැරදිව ස්ථානගත කරන්න


ඔබේ ගෙල විඩාවට පත්නොවන ආකාරයෙන් පරිගණක තිරය සහ අවශ්‍ය ලියකියවිලි නිවැරදිව ස්ථානගත කරන්න. පරිගණකය ඔබ ඉදිරියෙන් කේන්ද්‍රගතවන සේ ලබාගන්න. ඔබ හිඳගෙන සිටින මට්ටමේ ඇස් මට්ටමට වඩා අඟල් 2 - 3ක් පමණ ඉහළට වන්නට පරිගණක තිරය තබාගන්න. පරිගණක තිරය ඔබේ අතේ දුරින් තබාගන්න. තිරයෙන් අනවශ්‍ය දිලිසීමක් ඇස්වලට නොවැටෙන ආකාරයට එය සකස්කරගන්න.

6. ලියකියවිලි ඔබ ඉදිරියෙන්ම පෙනෙන ආධාරකයක් මත තබාගන්න


මේ සඳහා ඔබට ඉඩකඩක් නොමැති නම් එය පරිගණක තිරයට හැකි තරම් ආසන්නයෙන්ම තබාගන්න. දුරකතනයක් භාවිත කරන්නේ නම් එය අතේ දුරින් තබාගන්න.
  


7. මාංශ පේශීවල විඩාව සංසිඳුවීම පිණිස වැඩකරන අතරතුර විවේකයක් ගන්න.



නොකඩවා හිඳගෙන සිටීම සෞඛ්‍යයට හිතකරනැති බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. මිනිත්තු දෙකක් හෝ ඇවිදින්න, සිටගන්න, අතපයවල හිරිගතිය තුරන්තරගන්න හෝ වෙනත් කුමක් හෝ කටයුත්තක් සඳහා යොදාගැනීම සුදුසුයි.

සෑම මිනිත්තු 20කම වරක් මිනිත්තු 2 - 3ක් විවේකයක් ගන්න. සෑම පැයකටම වරක් මිනිත්තු පහක් පමණ වෙනත් වැඩක නිරතවන්න. හැකි අවස්ථාවලදී පරිගණකයෙන් ඈත්ව සිටිීමත් වැදගත්.
ඇස්වල විඩාව තුරන්කරගැනීම සඳහා විටින් විට වෙනත් දෙයක් වෙත දෑස් යොමුකරන්න. තත්පර 10 - 15ක් පමණ දෑත්වලින් ඇස් ආවරණයකරගනිමින් ඇස්වලට විවේකයක් දෙන්න. වැඩකිරීමේදී නිවැරදි ඉරියව් අනුගමනය කරන්න.

8. අත්වලට ව්‍යායාමක් ලබාදෙන්න



දිනකට සයවතාවක් පමණ දෑත්වලට ව්‍යායාමයක් ලබාදෙන්න. ඔගේ මැණික් කටුව පරිගණක භාවිතයේදී වෙහෙසට පත්වන නිසා ඒවා සඳහා විශේෂයෙන් ව්‍යයාම ලබාදිය යුතුයි. අනගාගතයේදී ඇඟිලිවල ඇතිවිය හැකි ආබාධ මේ නිසා වළක්වාගන්නට පුලුවන්.

Tuesday, April 15, 2014

රාහුල් ගාන්ධි සමග දේශපාලන පොරයට ආ මහගෙදර තුල්සි - Mahagedara Tulsi Compete against Rahul Gandhi



පිරිමියා හා සහ ගැහැනිය අතරින් ශාරීරික වශයෙන් ශක්තිවන්තයා යැයි සැළකෙන්නේ පිරිමියාය. නමුත් යම් යම් වැඩකටයුතු කරගැනීමේදී පිරිමියාට වඩා ගැහැනිය ඉදිරියෙන් සිටින බැව් පෙනෙන්නට තිබේ. රෝම අධිරාජ්‍යය දමනය කරගැනීමට හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට ක්ලියෝපැට්‍රා බිසව තමාම සළුවක එතී ජුලියස් සීසර්ට තිළිණයක් ලෙස ගිය කතාව අපට අතීතයෙන් ඇසෙන්නේ ඒ නිසාය. යුද කටයුතුවලදී රහස් ඔත්තුකරුවන්ට වඩා ඔත්තුකාරියන් සිය අරමුණු ඉටුකරගැනීමට වඩාත් දක්ෂ වූ බැව් තහවුරු කරන්නට ඕනෑ තරම් සාධක ඉතිහාසයෙන් හමු වේ. මේ පුරුද්ද දේශපාලනය සඳහා ද වෙනසක් නැත. විශේෂයෙන් අප ජීවත්වන ආසියානු කලාපයේ මෙය වඩාත් ජනප්‍රිය මට්ටමින් පවතී. සැමියා හෝ පියා දේශපාලන නායකයකුව සිට කුමක් හෝ හේතුවකින් මිය ගිය අවස්ථාවක ඔහුගේ බිරිඳ, දියණිය හෝ සොයුරිය ඔහු වෙනුවෙන් ඉදිරිපත්කිරීම තුළින් මහා පෙරළියක් කළහැකි බැව් කාලයක සිට දක්නට ලැබුණකි. එපමණක් නොව ජනප්‍රිය නිළියන් ඡන්දය සදහා ඉදිරිපත්කිරීම තුළින් ද මෙයට සමාන ප්‍රතිඵලයක්ම අත්කරගතහැකි බව අපේ කලාපයේ දේශපාලඥයින් හොඳින් දන්නා කරුණකි.  කලක් සුරූපී නිළියකව සිටි ජයලලිතා අද ඉන්දීය පාලන පක්ෂය අල්ලේ නටවන්නට තරම් ප්‍රබලවී සිටින්නේ සිය රූපයට කෝටි ගණනක ඡන්දදායකන් වසඟයට ගැනීමට හැකි වූ බැවිනි. අප රටේ ද එය එසේමය. පසුගිය පළාත් සභා මැතිවරණයේදී අප රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් නිළියන් කොපමණ සංඛ්‍යාවක් ඉදිරිපත් කළේ දැයි විශේෂයෙන් පැහැදිලි කළයුතු දෙයක් නොවේ. දේශපාලන පක්ෂ මෙවැනි උපක්‍රම යොදන්නේ බොහෝ විට ඔවුන් ජයග්‍රහණය කරනවාට වඩා ඔවුන් ලවා ප්‍රතිපක්ෂවලට ඇදී යන ඡන්ද කඩාදැමීම සඳහාය. මෙවැනි තත්වයක් අපට යළි අසන්නට ලැබෙන්නේ ඉන්දියාවෙනි. 

 
රාහුල් ගාන්ධි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි අමෙති ඡන්ද කොට්ඨාශය සඳහා මහ මැතිවරණයේදී තරගවැදීමට භාරතීය ජනතා පක්ෂය මෙවර තෝරාගෙන ඇත්තේ එරට අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක වන ‛ස්ම්‍රිති සුබින් ඉරානි’ ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ඡන්ද කොට්ඨාශය සඳහා ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයෙන් තරගවදින්නේ රාහුල් ගාන්ධිවීමය. පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා මෙම ඡන්ද විමසීම අප්‍රේල් 7 වැනිදා සිට මැයි 12 වැනිදා දක්වා පැවැත්වෙන් අතර ඡන්ද ගණනය කරනු ලබන්නේ මැයි 16 වැනිදාය. මිලියන 814ක් ඡන්දදායකයෝ මේ ඡන්දයදීම සඳහා පෙළගැසී සිටිති. 


සැබැවින්ම ඉරානි යනු කවුද? 1976 මාර්තු 23 වැනිදා පන්ජාබ් - බෙංගාලි සම්භවයක් සහිතව දිල්ලියේදී උපත ලැබුවාය. 2001 වසරේදී ඇය සිය ළමා කාලයේ සිට මිතුරකු වූ සුබින් ඉරානි සමඟ විවාහ වූවාය. ඔහු ඇයට වඩා වසර 10කින් වැඩිමහලු අයෙකි. ඔහු ඒ වනවිට එක් විවාහයකින් පසුව නීතියෙන් වෙන් වූ අයෙක් වූ අතර, ඔහුගේ දරුවාගේ භාරකාරත්වය දරන්නට වූයේ ද ඉරානිටමය. ඇයට මෙම විවාහයෙන් පුතකු හා දියණියක සිටී. ඇය දේශපාලනයට පිවිසීමට පෙර මෝස්තර නිරූපණ ශිල්පිනියක, රූපවාහිනි නිළියක සේම නිෂ්පාදිකාවක ද වූවාය. ඇය භාරතීය ජනතා පක්ෂයේ අතිශය ජනප්‍රිය නායිකාවක බවට ද පත්ව හමාරය. ඉන්දියාවේ ජනප්‍රිය සඟරාවක් වන ‛ෆෙමිනා’ මගින් 1997 වසරේදී පවත්වන ලද රූ රුජින තරගයකදී ජයග්‍රහණය කළේ ඇයයි. ඇය බොහෝ ටෙලි නාට්‍ය සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති අතර වඩාත් ජනප්‍රිය වූයේ ‛ක්‍යුන්කි සාස් භි කභී බාහු ති’ (නැන්දම්මා කෙනෙක් කියන්නේ එක් අවස්ථාවක ලේලියකව සිටි තැනැත්තියක් බැවිනි) හි ඇය කළ තුල්සි විරානි ගේ චරිතයෙනි. ඇය ලේලියක ලෙසින් එහි ප්‍රධාන චරිතය සඳහා දායක වූ අතර  2000 - 2008 වසර අතර කාලයේ මෙහි කොටස් 1,800කට වඩා විකාශනය විය. ‛මහ ගෙදර’ නමින් අප රටේ ජනප්‍රිය වූ ටෙලි නාට්‍යය වන්නේ ද මෙයයි. ටෙලි නාට්‍යවලට අමතරව ඇය හින්දි සිනමාපට දෙකකට ද, එක් තෙළිගු සිනමාපටයකට ද, එක් බෙංගාලි සිනමාපටයකට ද රංගනයෙන් දායක වී තිබේ. 


ඉරානි භාරතීය ජනතා පක්ෂයට ඇය සම්බන්ධ වූයේ 2003 වසරේදීය. 2004 වසරේ ලෝක් සභා මැතිවරණයේදී ඇයට සාර්ථකවන්නට නොහැකි විය. 2004 වසරේදී ඇය මහරාෂ්ට්‍ර යොවුන් සේනාංකයේ උප සභාපතිනිය වූවාය. ඇය භාරතීය ජනතා පක්ෂයේ මධ්‍යම කමිටුවේ විධායක සාමාජිකාවක බවට ද පත්වූවාය. ඇය ඉන්දීය කාන්තාවට මුහුණපාන්නට සිදුව ඇති බොහෝ අකටයුතුකම්වලට එරෙහිව හඬක් නැගූ දේශපාලන නායිකාවක ලෙස ද ප්‍රකටය. ඇය 2011 වසරේදී ගුජ්රාත් ප්‍රාන්තයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූ ඇය ඉන්දියාවේ දිළිඳු පළාත්වලට ජලය සපයන ‛වෙනස සඳහා ජනතාව’ ( ඡැදචකැ දෙර ක්‍ය්බටැ ) යන සංවිධානයක් ද පවත්වාගෙන යන්නීය. ඇය රාහුල් ගාන්ධිට එරෙහිවතරග වදින්නේ මෙවැනි වටපිටාවක් සහිතවය. 


ඉරානි රාහුල් ගාන්ධිට එරෙහිව සටන් වදින අමෙති ඡන්ද කොට්ඨාශය පිහිටි උත්තර් ප්‍රදේශ් යනු ඉන්දියාවේ ‛සංග්‍රාම භූමිය’ ලෙස ප්‍රකට ප්‍රාන්තයකි. බලයට පත්වන්නට අපේක්ෂාකරන ඕනෑම පක්ෂයක් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් 80 දෙනෙකුට වඩා තෝරාපත්කරගන්නේ මෙම ප්‍රාන්තයෙනි. අනෙක අමෙති යනු ගාන්ධි පවුල දීර්ඝ කාලයක් තිස්සේ බලය රැකගෙන සිටිනා කොට්ඨාශයක්වීම ද විශේෂ කරුණකි. රාහුල් ගාන්ධිගේ පියාවන රාජීව් ගාන්ධි 1991 මියයන විට ද මෙහි බලය රැකගෙන සිටියේය. 2009 වසරේ පවත්වනු ලැබූ මහමැතිවරණයේදී ගාන්ධි පවුල 70%කටත් වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මෙම කොට්ඨාශය ජයග්‍රහණය කළේය. භාරතීය ජනතා පක්ෂයට ලැබුණේ ඡන්ද 10%කටත් අඩු ප්‍රතිශතයකි. 


ඉරානිට මෙහිදී ජයග්‍රහණයක් අපේක්ෂා කළ නොහැකි වුව ද ඇය සෑහෙන තරගයක් ලබාදෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.
“අමෙති ඡන්ද කොට්ඨාශයේ ජනතාව පවුල් වාදයට යටවෙලා. ඔවුනට සෑහෙන කාලයක සිට සංවර්ධනයේ නියම ප්‍රතිඵල නෙලාගන්නට නෙැහැකි වී තිබෙනවා. මම හිතන්නේ මේක ලජ්ජාවට කාරණයක්’
ඉරානි එසේ පවසන්නීය. 


පවුල්වාදයට යටවූ සෑම රටකටම මෙය අදාළදැයි මෙහිදී අපට අපෙන්ම ප්‍රශ්න කරන්නට සිතේ.

Tuesday, April 8, 2014

ගෝබි වැලිකතරට අහසින් වැටුණු චන්ද්‍ර වංක විළ - Crescent Lake of the The Gobi Desert



ලෝකයේ බොහෝ සොඳුරු ස්ථාන තිබේ. නමුත් ඒවා හැබැහින් දැකබලාගන්නට තරම් අපගේ දෛවය සොඳුරු නැත. එබැවින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීම වුව එක්තරා සොඳුරු අත්දැකීමක් යැයි සිතේ. මෙයද ලෝකයේ ඇති අපූරු මෙන්ම සොඳුරු ස්ථානයකි. එය නමින් ‛චන්ද්‍රවංක විළ’ (Crescent Spring) නම් වේ. ගහක් කොලක් නොමැති, වැලි කඳුවලින් පමණක් පිරුණු මහා ගෝබි කාන්තාරයේ පිහිටි ක්ෂේම භූමියක් වීම මෙහි විශේෂත්වයකි.

චීනයේ ඩුන්හුවාන්ග් හි සිට කිලෝමීටර් 6ක් පමණ දකුණට වන්නට පිහිටි මෙම චන්ද්‍රවංකයක හැඩැති විළ එරට වැසියන් හඳුන්වනු ලබන්නේ ‛යෙවුයාකුවාන්’ නමිනි.  ‛කින්ග්’ රාජංශය පැවැති සමයේ මෙම නම එයට තැබිණි.


මෙය ලොව පුරා ප්‍රකටව ඇත්තේ ‛ගෝබි වැලි කතරේ මහා පුදුමය’ ලෙසිනි. ඇතැමෙක් මෙය කාන්තාවකගේ සුන්දර ඇසකට සමාන කරයි. ඇතැම් කවිවල ඇත්තේ ‛අහසින් වැලි කතරට ඇද වැටුණු චන්ද්‍රවංකයක්’ ලෙසිනි.

1960 වසරේ කළ මැණීම්වලට අනුව මෙම විළෙහි සාමාන්‍ය ගැඹුර මීටර් 4 - 5 ක් පමණ විය. උපරිම ගැඹුර වූයේ මීටර් 7.5 කි. ඉන් අනතුරව ගෙවී ගිය වසර 40 තුළදී මෙහි ගැඹුර ක්‍රමක්‍රයෙන් අඩුවන්නට විය. 1990 දශකයේ මුල් සමය වන විට විළට අයත් භුමි ප්‍රදේශය අක්කර 1.37ක් දක්වා අඩුව තිබිණි. ඒ වන විට ගැඹුර පැවතියේ මීටර් 0.9 ක් පමණි. 2006 වසරේදී මධ්‍යම රජයේ ආධාර ඇතිව මෙම පළාතේ පරිපාලන අධිකාරිය විසින් මෙම විළ සාරනු ලැබිණි. එතැන් පටන් ද වනවිට මෙම විළ කෙමෙන් කෙමෙන් විශාල වෙමින් පවතී.


මෙම විළ නිර්මාණය වන්නට ඇත්තේ කෙසේදැයි යමෙකු තුළ කුකුසක් ඇතිවන්නට පුළුවන. මෙය මුල් සමයේ පැවතී ඇත්තේ ‛ඩැනිග්හී’ නදියේ කොටසක් ලෙසිනි. නමුත් පසුකාලීනව එම නදිය සිය ගමන් මග වෙනස් කළ අතර එහිදී ඉතිරි වූ ජල කඳින් මෙම විළ නිර්මාණය විය.

මෙම විළ සම්බන්ධව ඇති තවත් සුවිශේෂී තත්වයක් නම් ඉතිහාසයේ සිට අද දක්වාම ගෝබි වැලිකතර හරහා හමන ලද ප්‍රබල වැලි කුණාටුවලින් මෙම විළ වැසී නොයාමයි. මෙය වැලි කුණාටු මගින් වැසී නොයන්නට හේතු වශයෙන් සැළකෙන්නේ මෙය වැලි කඳු අතර පැවතීමය. මෙහි එක් පසෙකින් ඇති දකුණු සහ උතුරු වැලි කඳු නැගෙනහිර සහ බටහිර ඒවාට වඩා උසින් යුක්තය. සුළඟ වැලි කඳුවල බෑවුම් ඔස්සේ හමා යයි. එය වැලිත් රැගෙන ගිනිකොනදිග ප්‍රවේශයේදී එක්වර ඉහළ නගියි. එසේ වැලිත් සමඟ ඉහළ නැගි සුළඟ වයඹදිග ප්‍රවේශයෙන් බැහැරට යයි. මේ නිසා විළ අවට දැකුම්කළු වැලි කඳු නිර්මාණය වනවා විනා වැලිවලින් විළ වැසී යන්නේ නැත.


විද්‍යාත්මක ගවේෂණයන් මගින් හෙළිවී ඇත්තේ ඩැනිග්හී නදියේ පොලොව අභ්‍යන්තරයේ ඇති උල්පත් මගින් චන්ද්‍රවංක විළට නිතර පෝෂණය ලැබෙන බවය. එබැවින් එහි ජලය සියලුවිට සමබර මට්ටමක පවතී.

විළට පසෙකින් සාම්ප්‍රදායික හැන් ගෘහනිර්මාණ ශිල්පයට අනුව ගොඩනගන ලද දාගැබක් දක්නට ලැබේ. විවිධ සිහිවටනයන්ගෙන් පිරුණු වීදියක් ඔස්සේ මෙම ගොඩනැගිලි සංකීර්ණයට ඇතුළුවන්නට පුළුවන.  ජේඩ් පාෂාණයෙන් තනන ලද වසර දෙදහසකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන දියපානය කරන බඳුනක් මෙහි දක්නට ඇත.



මෙය සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති ස්ථානයක්ව අතර ඔටුවන්ගේ පිට නැගී මෙය කරා පැමිණෙන්ට හැකි සේවාවක් ද ක්‍රියාත්මක වේ. 

Wednesday, April 2, 2014

කඩාවැටුණු මැලේසියා ගුවන්යානයේ සිට මියගිය කාන්තාවකගේ ආත්මය ගෙන්වූ රමචන්ද්‍ර ගුරුජී - An Indian claims he knows what happened to missing Malaysian flight



මෑත කාලයේ ලෝකයේ සියලු දෙනාගේම අවධානය යොමු වූ කාරණා අතර ප්‍රධාන ස්ථානයක් ගන්නේ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානය සේවක මණ්ඩලයේ 12 දෙනා සහ මගීන් 227 දෙනා සමග 2014 මාර්තු 8 වැනිදා අතුරුදහන්වීමේ සිදුවීමය. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරන්නට නියමිතව තිබූ මෙහි සිටි බහුතරය වූයේ  චීන ජාතිකයින්ය. මෙය දිනෙන් දින ජාත්‍යන්තර ප්‍රවෘත්ති අතර සෑම විටම ප්‍රථමයටම පැමිණෙන්නට හේතු වූයේ යානයට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වූ නිසාය. යොදා ගත හැකි සියලු තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ලෝකය පීරුවද සියලු ප්‍රයත්නයන් නිරර්ථක විය. එහි සිටි ඇතැම් මගීන්ගේ ජංගම දුරකතන නාදවන බැව් හිටි හැටියේ එක් ප්‍රවෘත්තියකින් පැවසුණු අතර එවිට බොහෝ දෙනා අනුමාන කරන ලද්දේ ගුවන් යානය පැහැරගැනීමට ලක්වන්නට ඇතැයි යන්නය. නමුත් ජංගම දුරකතන සිදුවීම කිහිප දිනකින් යටපත් විය.


තාක්ෂණය සහ විද්‍යාව පිළිබඳ නිරන්තරව විශ්වාසය තැබුව ද එයින් පිහිටක් නොලැබෙන්නා සේ හැඟෙන කල මිනිසා සිය ජානවල තැන්පත්ව පවතින ඇතැම් විශ්වාසයන් වෙත යොමුවීම පැහැදිලව දක්නට ලැබෙන දෙයකි. නූතන වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ නොහැකි රෝගයක් වැළඳුණු කල ඒ සඳහා ඉපැරණි වෛද්‍ය ක්‍රම හා ගුප්ත විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරනු ඕනෑ තරම් දක්නට ලැබෙන්නකි. අවසානයේ අවිද්‍යාත්ම වුව ද මෙම ගුවන් යානයේ ඇතැම් සෙවුම් කණ්ඩායම් එවැනි ක්‍රමවලින් හෝ සහනයක් ලබාගන්නට හැකිවේදැයි අත්හදා බලන්නට තීරණය කළහ. මේ බව දැනගත් නිසා ද නොඑසේ නම් වෙනයම් හේතුවකට ද යන්න කිව නොහැකි වුව ද අප රටේ එක් රූපවාහිනී නාළිකාවක ප්‍රකට ජ්‍යෝතීර්වේදීන් සහභාගී වූ වැඩසටහනකින් මෙම යානය අතුරුදහන්වීම ජ්‍යොතීර් විද්‍යාත්මකව පැහැදිලි කරනු  දක්නට හැකි විය. ඊට පසු පුවත්පත්වල ද මේ පිළිබඳව ජ්‍යෝතීර් විද්‍යාත්මක මත ඉදිරිපත් විය. එක් මතයකින් මෙම යානය ඒ වන විට පිහිටිය යුතු අක්ෂාංශ දේශාංශ පිළිබඳව පවා ප්‍රකාශයට පත් කෙරුණු අතර, යානයේ සෙවුම් කණ්ඩායම් ඒ හෝඩුවාව ඔස්සේ සිය මෙහෙයුම් කළේ දැයි අපි නොදනිමු. නමුත් මෙම අදහස පිළිබඳ අප රටේ අනෙක් සියලුම ජ්‍යෝතීර්වේදීන් දැක්වූයේ විරෝධය මුසු අදහසකි. ඔවුන් සියලු දෙනාගේම පොදු මතය වූයේ මෙවැනි අනාවැකි ජ්‍යෝතීර් විද්‍යාත්මකව ඉදිරිපත් කරන්නට නොහැකි බව හා එවැනි අදහස් ප්‍රකාශකිරීම තුළින් මෙවැනි වටිනා ශාස්ත්‍රයක් හෑල්ලූවට ලක්වන බවය. කෙසේ මුත් මෙම ජ්‍යොතීර් විද්‍යාත්මක අදහස් දැක්වීම උපහාසයට ලක්කරමින් පසුදා සිටම විවිධ වෙබ් අඩවිවල අදහස් උදහස් පළවන්නට පටන් ගැනුණි.


මේ අතර අප අසල්වැසි ඉන්දියාවෙන් තවත් අපූරු පුවතක් වාර්තා විය. ඒ එහි ප්‍රකට අධ්‍යාත්මික සුවකරන්නකු හා මෝහනවේදියකු වන රාමචන්ද්‍ර ගුරුජී මේ පිළිබඳ කළ ප්‍රකාශය නිසාය. ඔහු පැවසූයේ තමා මෝහන විද්‍යාව ඔස්සේ මෙම යානයට අත්වූ ඉරණම සොයාගත් බවය.


ඔහු මෙහිදී අනුගමනය කොට තිබුණේ අපූරු ක්‍රමවේදයකි. ඔහු තරුණියක හා තරුණයකු මෝහනයට ලක් කළ අතර ඔවුන් ඔස්සේ යමින් මෙම යානයේ සිටි මිය කාන්තාවකගේ ‛ආත්මයක්’ ගෙන්වාගන්නට කටයුතු කළේය. ඔහුට මෙම කටයුත්ත සඳහා ලෝක ප්‍රකට මෝහන චිකිත්සකයකු වන ආචාර්ය බෲස් ගෝල්ඩ්බර්ගේ සහය ද ලැබිණි. මෙවැනි ක්‍රියාවන් ඔහු ඉන්දීය රූපවාහිනි නාළිකා ඔස්සේ නිරන්තරයෙන්ම සිදුකරනා බැවින්, අවිද්‍යාත්මක කටයුත්තක් වුව ද ෆේස්බුක් හා ගූගල් ප්ලස් යන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ද මෙම සිදුවීම සජීවීව විකාශනය කරන්නට  කටයුතු යොදා තිබිණි. ඒ ඇතැම්විට අන් කිසිවක් නිසා නොව විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ යානය සොයාගැනීමේ කටයුතු අසාර්ථකවෙමින් පැවති නිසා වන්නට ඇත.


මෝහනයට ලක් වූවන් ඔස්සේ පැමිණි මෙම මියගිය ‛ආත්මය’ පවසා සිටියේ ගුවන් යානය පැහැරගැනීමකට ලක්වී පසුව එය කෙළින්ම මහ සයුරට කඩාවැටෙන්නට සළස්වා ඇති බවය. මෝහනයට ලක්වූ තරුණිය හා තරුණයා ඔස්සේ පැමිණි මෙම මියගිය කාන්තාවගේ ආත්මය පැවසූ කරුණු ඇසුරින් ගුවන් යානය අහසට නැංවූ අවස්ථාවේ සිට අනතුරට පත්වන තුරු සියලු සිදුවීම් පහත පරිදි ගළපාගන්නට හැකිය.


ගුවන් යානය සාමාන්‍ය ලෙස අහස් කුසට ඇතුලු විය. ඉන් පසුව මෙම කාන්තාව වැසිකිලියට ගොස් ඇත. ඇය වැසිකිලියට යාමෙන් පසු තවත් පිරිමි පුද්ගලයකු ද වැසිකිලියට ගොස් තිබේ. මේ අවස්ථාවේදී ගුවන් සේවිකාවන් කතා බහේ යෙදෙමින් සිට ඇති අතර මැලේ බසින් ‛ස්තූතියි’ යන්න පවසනු ද ඇයට ඇසී තිබේ. ගුවන්ගත වීමෙන් පැය හතරකට පමණ පසු යානයේ පැවතී ඇත්තේ කලබලකාරී ස්වභාවයකි. මෙම කාන්තාව අල්ලාගත් එක් පුද්ගලයකු ඇගේ අතපය හා මුඛය බැඳ දමා තිබේ. මෙය සිදුකොට ඇත්තේ ඇයට පසුව වැසිකිලියට ගිය පුද්ගලයාය. ඔහු අතේ යමක් තබාගෙන එය වනමින් සිටි බව ද ඇය පවසයි. යානයේ ඒ වන විට පැවතී ඇත්තේ ත්‍රාසයෙන් පිරුණු වටපිටාවකි.


මේ අවස්ථාවෙදී තවත් පුදගලයකු නියමු කුටියට ඇතුළු වී තිබේ. ගුවන්යානය වැරදි මාර්ගයක ගමන් කරන්නට වූ අතර ගැස්සෙන්නට ද පටන්ගෙන තිබේ. එය පොලොව දෙසට වේගයෙන් ගමන්ගත් අතර මහ සයුරට කඩා වැටිණි. මේ අවස්ථාවෙදී කහ පැහැති ආලෝකයන් තුනක් ඇය දැක ඇත. ගුවන් යානයේ දොර විවෘත වී ඇති අතර යානය තුළට ජල කඳක් පැමිණ තිබේ. කාන්තාව මිය ගොස් ඇත්තේ එම අවස්ථාවේදී ය.


ඇයගේ කතාවේ සියලු කොටස් ගෙන පෙළ ගැස්වූ විට ඇසන්නට ලැබෙන්නේ මෙවැනි කතාවකි. මෙම මෝහන වැඩසටහන පැවැත්වූ රාමචන්ද්‍ර ගුරුජී මෙන්ම ගෝල්ඩ්බර්ග් ද මෝහනය ඔස්සේ අනාගත ජීවිත මැයෙන් ග්‍රන්ථ කිහිපයක් ද රචනා කොට තිබේ. ඔවුන් මෙම මෝහන අත්දැකීමෙන් ලබාගත් තොරතුරු තහවුරු කරන්නට එක් සිදුවීමක් ද ගෙනහැර දක්වයි. ඒ මෙම ගුවන් යානය මාලදිවයිනට ඉහළින් අහසේ පියාසර කළ බව දුටු බවට පවසන සිදුවීමය. මෙම මෝහන සිදුවීම සම්බන්ධව තවත් අය පවසන දෙය නම් මෙහි පැවසූ ලෙස යානය ඉන්දියානු සාගරයට කඩාවැටුණු බව මැලේසියානු අගමැතිවරවා විසින් කරන ලද ප්‍රකාශයයි. බැලූ බැල්මට මේ සිදුවීමවලින් මෝහනයෙන් පැවසුණු කාරණා තහවුරුවන බැව් පෙනේ.


සැබැවින්ම මෝහනයෙන් මෙවැනි සිදුවීම් පිළිබඳව දැනගත හැකිද? මෙහිදී කෙටියෙන්ම ලබාදිය හැකි පිළිතුර නම් ‛නැත’ යන්නය. මෝහන විද්‍යාවෙන් මෙබඳු හපන්කම් කළ නොහැකිය. යම් පුද්ගලයකුගේ යටි සිතෙහි ඇති දෑ ඉස්මතු කරගැනීම විනා අප කිසිදා නොදුටු ස්ථානයකට යාමට, කිසිදා නොලද අත්දැකීමක් ලබන්නට මෝහන විද්‍යාව යොදාගත නොහැකිය. යම්කිසි ස්ථානයකට කිසිදා නොගිය පුද්ගලයින් කිහිප දෙනෙකු මෝහනය කොට එම ස්ථානය පිළිබඳ විමසූ එක් අවස්ථාවක මෝහන විද්‍යාඥයින්ට අසන්නට ලැබුණේ එකිනෙකට වෙනස් තොරතුරුය. යම්හෙයකින් මෝහනය ඔස්සේ එබඳු ස්ථානයකට යැවීමට හැකියාව තිබුණේ නම් එක හා සමාන තොරතුරු ලැබිය යුතුය.


මෙවැනි මෝහන සිදුවීමකදී ඉස්මතුවන්නේ අප යටිසිතෙහි තැන්පත්ව ඇති සිදුවීම්ය. මෝහනය කරන්නා අපගෙන් අසන යම් යම් දේට ගැළපෙන පරිදි අප ලත් අත්දැකීම් ඔස්සේ යම්කිසි විස්තරයක් පැවසීම මෙහිදී සිදුවේ. රාමචන්ද්‍ර ගුරුජී ගේ සිදුවීමේදී මෝහනයට ලක්වූ තරුණයා සහ තරුණිය සිය යටිසිතෙහි තැන්පත්ව තිබූ විවිධ සිදුවීම් අනුසාරයෙන් පැවසූ කරුණු මත මෙම අනතුර පිළිබඳ සිදුවීම ගළපන්නට ඇත. ඉන්දීය සාගරයේ ගුවන් යානයට අයත්යැයි සැළකෙන කොටස් කිහිපයක් හමුවීමත්, චීන රජය මෙම ගුවන් යානයට සිදුවූයේ කුමක්දැයි මැලේසියාවෙන් දැඩිව අසන්නට වීමත් නිසා එයින් ගැළවෙන්නට මෙන් මෙම යානය ඉන්දීය සාගරයට කඩාවැටුණු බවත්, කිසිදු මගියෙක් ජීවතුන් අතර නොමැති බවත් මැලේසියානු අගමැතිවරයා පැවසීමත් නිසා මෙම මෝහන සිදුවීම එක්වරම සත්‍යයක් යැයි බොහෝ දෙනෙක් පවසන්නට පටන් ගත්හ. නමුත් සැබැවින්ම මෙම යානය ඉන්දීය සාගරය කඩා වැටුණාද යන්න පිළිබඳ නැවතත් සැක සංකා පහළවන්නට පටන්ගෙන තිබේ. ඒ මෙය සෙවීම නැවත ආරම්භ කොට ඇති බැවිනි. අනෙක කිසිඳු මළ සිරුරක් මේ මොහොතවනවිට හෝ හමුවී නැත. ඇමරිකානු අපරාධ විද්‍යාඥයකු වන ජේසන් ක්‍රිස්නර් මෙම යානය පිළිබඳ මැලේසියාව ඉදිරිපත් කළ නිගමනය අභියයෝගයකට ලක් කරයි.



 කෙසේ හෝ මෙහිදී පැවසිය හැක්කේ ජ්‍යෝතිෂයෙන් හෝ මෝහනයෙන් හෝ මෙවැන් හපන්කම් පෑ නොහැකි බවය. ඉක්මන් ලාබ ප්‍රයෝජන හා ප්‍රසිද්ධිය පතා මෙවැනි ද් කිරීමෙන් සිදුවන්නේ මෙම විද්‍යාවන්ගෙන් ගතහැකි ප්‍රයෝජන පිළිබඳව පවා මිනිසුන් තුළ සැක සංකා මතුවීම පමණි. 

පිරිමි වෙස්ගත් සුරූපිනියක ගැන කියැවෙන කොරියානු ටෙලි නාට්‍යය - අසලියා මල - Asalaiya Mala, New Korean Tele Drama



කොරියාවේ එක් කාලයක ගැහැණුන්ට අධ්‍යාපනය හදාරන්නත් රැකියා කරන්නත්  තහනම් කරලා තිබුණා. ඒත් කිම්  යූන් - හී ට මේ තහනමේ හිරවෙලා ඉන්න හිතුනේ නැහැ. එහෙම ඉන්න පුලුවන් වුණෙත් නැහැ. මොකද ඇගේ පවුලේ ආර්ථික ප්‍රශ්න බොහොමයි. ඇයට ඕන කළේ කොහොම හරි ඉගෙන ගෙන රැකියාවක් කරන්න. ඒ හින්දා ඇය පිරිමියෙකු වගේ වෙස් වළාගන්න තීරණය කරනවා. ඇගේ සහෝදරයා, කිම් යූන් - ෂික් මේ වැඩේට උදව් කරනවා. ඇය නොයෙක් විදියේ රැකියාවන් කරන්න පටන් ගන්නවා. මුලින්ම පොත් සාප්පුවක රැකියාවක් ඇයට ලැබෙනවා. මේ අතරේ ඇයට කොරියාවේ ඒ කාලයේ තිබුණු හොඳම අධ්‍යපන ආයතනය වුණු ‛සුන්ග්ක්‍යුන්ක්වාන්’ වල රැකියාවක් කරන්න ලැබෙනවා. කලින් රැකියාවට වඩා මෙයින් ආදායමක් ලැබුණත් ඇයට කරන්න වුණේ නීති විරෝධී වැඩක්. ඒත් ඇයට මේක වැඩි කාලයක් කරන්න ලැබෙන්නේ නැහැ. මේ ආයතනයේ නිලධාරියකු වුණු ලී සුන් - ජූන්ට කිම් ගේ මේ නීති විරෝධි ක්‍රියාව හසුවෙනවා. ඒත් මේ නිලධාරියා යහපත් කෙනෙක්. ඔහුට ඉක්මණටම අවබෝධවෙනවා කිම් කියන්නේ හොඳ දක්ෂ කෙනෙක් කියලා. හැබැයි එයා දන්නේ නැහැ මේ ඉන්නේ තරුණියක් කියලා. ඇයට සරසවියට ඇතුළුවන්නට අවශ්‍ය සියලු පහසුකම් ඔහු ලබාදෙනවා. ඇය සරසවියට ඇතුළුවෙනවා. ඇයට පිරිමින් සමඟ නවාතැන් කුටිවලත් ඉන්න සිද්ධවෙනවා. ඒත් තමා තරුණියක් බව සඟවාගන්න ඇය කළ හැකි හැම දෙයක්ම කරනවා. මේ අතරේ ඇයගේ හදවතේ ලී සුන් - ජූන් ගැන ආදරයක් ඇතිවෙන්න පටන්ගන්නවා.

පාර්ක් මින් යංග් 

නම් ගම්වල පොඩි පොඩි වෙනස්කම් තිබුණත් ඔබ නිතර රූපවාහිනි නරඹන කෙනෙක් නම් මේ විස්තරය කියවගෙන යනකොට මොකක් ගැනද මේ කියන්නේ කියලා ඔබට අවබෝධ වේවි. ඒ තමයි මේ දවස්වල සිංහල දෙබස් සහිතව විකාශනයවන ජනප්‍රියතම කොරියානු ටෙලි නාට්‍යය. ඒ ‛දුක දැදුරු කරන සෙනෙහසේ සඳවතිය’ යන තේමාවත් සමඟ ඔබ හමුවේ දිගහැරෙන ‛අසලියා මල’ ටෙලි නාට්‍යයි. මෑත කාලයේ අපේ රටේ ජනප්‍රියතම කොරියානු ටෙලිනාට්‍ය විකාශනය කිරීම සම්බන්ධයෙන් නමක් දිනා සිටියේ ජාතික රූපවාහිනිය වුවත්, ‛අසලියා මල’ විකාශනය කරන්නේ ස්වාධීන රූපවාහිනියයි.

පාර්ක් යූ චුන් 

Sungkyunkwan Scandal නමින් ඉංග්‍රීසි බසින් කියැවෙන මෙම නාට්‍යය කොරියානු බසින් ‛හැන්ගුල්’ නමින් හඳුන්වනු ලබනවා.  මෙය 2007 වසරේ කොරියාවේ වාර්තා තබමින් අළෙවි වුණු ජුන්ග් ඉයුන් - ග්වොල් ගේ The Lives of Sungkyunkwan Confucian Scholars නම් නවකතාව ඇසුරින් කිම් වොන් - සියුක් ගේ අධ්‍යක්ෂණයෙන් හා කිම් ටේ - හීගේ පිටපත් රචනයෙන් මෙය නිර්මාණය කොට තිබෙනවා. 2010 අගෝස්තු 30 වැනිදා සිට 2010 නොවැම්බර් 2 වැනිදා දක්වා වූ කාලය තුළ කොටස් 20කින් යුක්තව මෙය කොරියාවේ මුළින්ම විකාශනය කෙරුණා.
මෙහි ප්‍රධාන චරිත වන කිම්  යූන් - හී (අනවර්ථ නම ඩේ - මුල්) ලෙස පාර්ක් මින් - යංග්  ද, ලී සුන් - ජූන් ලෙස (අනවර්ථ නම් - ජා - රැන්ග් සහ වැනැග් සෝ බෑන්ග්) පාර්ක් යූචුන්  ද, මූන් ජෝ - ෂින් ලෙස යූ  ආහ් -ඉන් ද, ගු යොන්ග් - හා ලෙස සෝන්ග් ජූන්ග් - කි රංගනයේ යෙදෙනවා.

යූ ආහ් - ඉන් 

ස්වාධීන රූපවාහිනි සේවය හඬකැවීමේ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව මේ වසරේ, එනම් 2014 ජනවාරි 25 වැනිදා මෙහි විකාශන කටයුතු පටන්ගත්තා. සෑම සතියකම සෙනසුරාදා හා ඉරිදා හවස 6 ට මෙය විකාශනය කෙරෙනවා. පැයක ධාවන කාලයක් සහිතව කොටස් 32කින් සමන්විත වන සේ මෙය අපේ රටේ විකාශනය කරන්නට කටයුතු යොදා ඇති බැව් අසලියා මල ටෙලිනාට්‍යයේ හඬකැවීම ඇතුළු සියලු කටයුතු භාර ප්‍රාන් වාකිෂ්ට මහතා පවසනවා. ලාල් සරත් කුමාර, ගීතානන්ද අබේසුන්දර, ප්‍රසන්න ෆොන්සේකා වැනි ප්‍රවීන ශිල්පීන් මෙහි හඬකැවම සඳහා දායක වන අතර ප්‍රධාන චරිත බොහොමයක් සඳහා නවක ශිල්පීන් යොදාගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන්කොට සිටියා.

සෝන්ග් ජුන්ග් කි

කොරියාව හා ශ්‍රී ලංකාව හැරුණු විට මෙම ටෙලි නාට්‍යය මේවන විට ජපානය, පිලිපීනය, මැලේසියාව හා ඉන්දුනීසියාව යන රටවලත් ඉතා සාර්ථක ලෙස විකාශනය කොට තිබෙනවා. කොරියාවේ තරුණ පරපුර අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ මෙම ටෙලිනාට්‍යයේ පසුබිම් සංගීත නාද සහිත සීඩී තැටි, මෙය විකාශනය වීමෙන් ගත වූ මුල් සති දෙක තුළ පමණක් 110,000ක් පමණ අළෙවි වී තිබෙනවා. විකාශන අයිතිය ලැබෙන්නට පෙර සිටම ජපාන රූපවාහිනි ප්‍රේක්ෂකයන්ගෙන් මෙම ටෙලි නාට්‍යයට තිබී ඇත්තේ දැඩි ඉල්ලුමක්. මේ පිළිබඳ අවබෝධයෙන් සිටි නිසාවෙන් මෙහි නිෂ්පාදකයින් මෙය ජපානයට ලබාදීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 2.4ක මුදලක් (රුපියල් මිලියන 314ක් පමණ) අයකර තිබෙනවා.


මෙම නාට්‍ය සිනමා පටයක් ලෙස සංස්කරණය කොට 2011 මැයි 6 වැනිදා සිට 19 වැනිදා දක්වා ජපානයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරුණා. එහි මෙම නාට්‍යය කෙතරම් ජනප්‍රියද යන්න මෙයින් පැහැදිලි වෙනවා. මෙම නාට්‍යයේ ප්‍රථම සංවත්සරය යෙදුණු දිනයේ කොරියාවේ මෙය පැය දෙකක කාලයකට සංස්කරණය කොට රූපවාහිනි චිත්‍රපටයක් ලෙස විකාශනය කෙරුණා.



2010 වසරේ සිට 2012 වස සඳහා මෙම ටෙලි නාට්‍යය විවිධ සම්මාන රැසක් දිනාගැනීමට ද සමත්වී තිබෙනවා.