පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, January 9, 2015

අවසානයේ සිංහලයන් පරාජයට පත්විය - At Last, Sinhalese Defeated



නව ජනපතිවරයෙක් අපට දැන් ලැබී තිබේ. පැවැති රජයේ අඩුපාඩු නිවැරදි කරමින් නව රජයක් යටතේ අප රටට නව යුගයක් උදාවනු ඇත. කෙසේ මුත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලෙස බැලීමේදී අපට පැහැදිලිව පෙනෙන කරුණු කිහිපයක් තිබේ. එනම් පැවති රජයේ වැරදි අඩුපාඩු බොහෝ තිබුණ ද සිංහල බහුතරය ඇති බොහෝ දිස්ත්‍රික්කවලින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප වී නොමැති බවය. නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට වැඩි වශයෙන්ම හේතු වූයේ උතුරේ දෙමළ ජනතාවගේ හා නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ලැබුණු බහුතර ඡන්ද ප්‍රතිශතයයි. පැවති රජයේ නාස්තිය, දූෂණය, පවුල් පෝෂණය, ප්‍රතිපත්තිමය දේශපාලනයක් නොව මිථ්‍යා විශ්වාස අනුව රට පාලනය කරන්නට උත්සාහ දැරීම, සාමාන්‍ය ජනතාව අනුමත නොකරන දේ සිදුකිරීම, සාමාන්‍ය ජනතාවට දැනෙන තරම් සහන නොලැබීම  ආදී බොහෝ හේතු නිසා මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට බලය අහිමි විය. කෙසේ මුත් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා තීරණයට හිස නවා, විරුද්ධ පාක්ෂිකයන් සිය සමාජ වෙබ් අඩවිවල සඳහන් කොට තිබූ අනාවැකි පුස්සක් කරමින් ඔහු සරල ලෙස සිය පරාජය පිළිගෙන නව රජයට කිසිදු බාධාවක් නොකරමින් අරලියගහ මැඳුරෙන් නික්ම ගියේය. 

මේ මැතිවරණයෙන් පොදු ජන මතය ජයග්‍රහණය කළ බව සැබෑය. නමුත් සිංහලයන් පැරදී ඇති බව පැහැදිලිව පෙනේ. මෙය කියවන යමෙක් මෙහිදී මට ජාතිවාදී ලේබලයක් අලවන්නට දෙවරක් නොසිතනු ඇත. ඒ පිළිබඳ ගැටලුවක් මට නැත. සිංහලයන් බහුතර රටක නායකයකු පත්කරගැනීමේ තීරණාත්මක සාධකය අද හිමිව ඇත්තේ දෙමළ සහ මුස්ලිම් ජනතාවටය. පසුගිය කාලය මුළුල්ලේම සිංහලයන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් මේ රටේම අසරණ වෙමින් පැවතුණි. ඉදිරියේදී එහි වෙනසක් වේද නොවේද යන්න පිළිබඳ කිසිවක් පැවසිය නොහැක. හකීම් ප්‍රමුඛ මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ සන්ධානය සිය අරමුණු හකුළා නොගනු ඇත. උතුරු නැගෙනහිර වෙසෙන්නේ ශ්‍රී ලාංකිකයන් බව සැබෑය. අපි ද මුළු ලංකාවේම සිටින්නේ ශ්‍රී ලාංකිකයන් යැයි පවසන්නට කැමැත්තෙමු. මුස්ලිමුන් තමන් ශ්‍රී ලාංකිකයන් යැයි සිතන්නට කැමැති නම් ශ්‍රී ලාංකාව හා පාක්සිථානය අතර ක්‍රිකට් තරග පැවැත්වෙද්දී පාකිස්ථානය වෙනුවෙන් අත්පොඩි නොගසනු ඇත. සාමාන්‍ය දෙමළ ජාතිකයන්ට හා මුස්ලිමුන්ට අවශ්‍යතාවයක් නැති බව පෙනුනත් එහ ජාතීන් නියෝජනය කරන දේශපාලන නායකයන්ට අවශ්‍යවන්නේ වෙනම කලාප බිහිකොටගෙන වෙන්වන්නටය. එවැන්නක් සිදුනොවේවා යැයි මම ප්‍රාර්ථනා කරමි. 

යම් හෙයකින් මේ ප්‍රාර්ථනා ඉටු නොවුනහොත් අවසනායේ සිංහලයන් සදහටම පරාජයට පත්වනු නොඅනුමානය.

Wednesday, January 7, 2015

මධුසමයක් වදසමයක් කළ ආදරණීය කොට්ටෝරුවා - වුඩි වුඩ්පෙකර් - Story of Woody Woodpecker



කොට්ටෝරුවකු අපූරු සිනහවක් ද සමගින්  තිරය පසාරු කරගෙන පැමිණෙන සුප්‍රකට කාටූන් චිත්‍රපටය කුමක්දැයි ඇසුවහොත් ඔබ සියලු දෙනා එයට නොපැකිළව  ‛වුඩි වුඩ්පෙකර්’ යනුවෙන් පිළිතුරු දෙනු නිසැකය. ලොව පුරා ලොකු කුඩා බාල මහළු සියලු දෙනා කිසිදු වෙනසක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ එකසේ රසවිඳි  කාටූන් චිත්‍රපට ඇත්නම් ඒ අතරට මෙය ද එක්වන්නේ නිතරගයෙනි. ලොව පුරා බොහෝ දෙනෙකුගේ ආදරණීය චරිතයක් වූ මේ අපූරු කොට්ටෝරුවාගේ අපූරු කතාව ඔබට කියන්නට සිත්වූයේ එබැවිනි.

විසිඑක්වැනි සියවසේ ඉපදුණු කුඩා දරුවා පවා ආයාසයකින් තොරව සිනහවෙමින් රසවිඳින මේ කොට්ටෝරුවා කාටූන් චරිතයක් ලෙස මුළින්ම අතිශය ජනප්‍රිය වන්නේ 1940 දශකයේදීය. වෝල්ටර් ලෑන්ට්ස් සජීවිකරණ චිත්‍රාගාරයේ හා යුනිවර්සල් පික්චර්ස් සමාගමේ ඒකාබද්ධ නිපැයුමක් ලෙස මෙය දොරට වැඩිණි.


වෝල්ටර් ලෑන්ට්ස්


වුඩි වුඩ් පෙකර්ගේ ‛පියා’ වූ වෝල්ටර් ලෑන්ට්ස් මෙයට පෙර තවත් අපූරු කාටූන් චරිත දෙකකට පියා බවට පත්වූයේය. ඒ අප කලක් ආසාවෙන් රස විඳි ‛හා හා හරි හාවා’ සිංහල කාටූනයේ මුල් චරිතය වූ ‛බග්ස් බනි’ (Bugs Bunny) හා ‛ඩැෆි ඩක්’ (Daffy Duck) ය. එබැවින් මේ කොට්ටෝරුවාට තවත් සහෝදරයින් ද සිටින බැව් විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ කොට්ටෝරුවා වෙනුවෙන් මුළින්ම හඬ කවන ලද්දේ එවකට සිටි කථන නළුවකු වූ මෙල් බ්ලෑන්ක් ය. පසුව බෙන් හාර්ඩවේ ද, පසුව ග්‍රේස් ස්ටැෆෝර්ඩ් ද මීට හඬ කවන්නට එක් වූහ. මේ අතුරින් ග්‍රේස් යනු අන් කිසිවකු නොව වෝල්ටර් ලෑන්ට්ස්ගේ බිරිඳය.


වෝල්ටර් ලෑන්ට්ස් සහ බිරිද


කොට්ටෝරුවාගේ උපත

මේ කොට්ටෝරුවාගේ චරිතය බිහිවීම පසුපස ඇත්තේ අපූරු කතාවකි. මිනිසුන්ගේ නිදහස නැති කරමින් මහා හඬක් නගමින් ගස්වල බෙන සාරන්නාවූ චරිතයක් බවට මේ කොට්ටෝරුවා පත්වන්නේ ද සේ නිසාම විය හැකිය.

වෝල්ටර් ලෑන්ට්ස් සහ ග්‍රේස් විවාහ වීමෙන් පසුව මධුසමය නිදහසේ ගත කරන්නට කැලිෆෝර්නියාවේ ෂර්වුඩ් ලේක් ප්‍රදේශය තෝරා ගත්හ. එහෙත් ඔවුන්ගේ මංගල මධුසම රාත්‍රිය නම් බලාපොරොත්තු වූ පරිදි ආදරණිය වූයේ නැත. කොහේදෝ සිට පැමිණි කොට්ටෝරුවකු ඔවුනගේ කැබින් කුටියේ වහළයට කොටන්නට පටන් ගත්තේය. කොට්ටෝරුවාගේ කෙටීම  කෙතරම් බරපතල වූයේ දැයි මේ නව යුවලට තේරුම් යන්නට වූයේ තරමක් රෑ බෝවී මහා වර්ෂාවක් ඇද හැලීමත් සමගිනි. කොට්ටෝරුවා කැබින් කුටියේ වහළය සිදුරු කොට තිබුණෙන් ඔවුනගේ මංගල රාත්‍රිය වැසි ජලයෙන් සේදී යන්නට පටන් ගත්තේය. කොට්ටෝරුවා සමඟ වෝල්ටර්ගේ කෝපය කෙතරම් වූයේ ද යත් ඌට වෙඩි තබන්නට ඔහුට තරම් කෝපයක් ඔහුගේ සිතට නැගුණි. නමුත් ඔහුගේ  බිරිඳ වූ ග්‍රේස් ඉදිරිපත් කළේ එයට වඩා ආදරණීය අදහසකි. ඇය පැවසූයේ, ‛අනේ අපි මේ කොට්ටෝරුවාගේ චරිතය දාලා කාටූන් එකක් හදමු’ කියාය. ‛වුඩි වුඩ් පෙකර්’ චරිතය බිහි වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ කොට්ටෝරුවා තිරයට පැමිණෙන විට නඟනා ‛හ - හ - හ - හා - හා’ සිනහවට සමාන හඬක් මෙයට පෙර මෙල් බ්ලෑන්ක් වෝර්නර් බ්‍රදර්ස් සමාගමේ කාටූනයකට ද භාවිත කොට තිබිණි. මෙම සිනහව මෙන්ම වුඩි වුඩ්පෙකර් ගේ පෙනුම ද මෙයට පෙර නිර්මාණය වූ කාටූනය කොට්ටෝරුවකුගේ පෙනුමට සමාන වූ බැවින් නීතිමය ගැටළුවලට  ද මුහුණ දෙන්නට සිදුවිය.




වුඩි වුඩ්පෙකර් චරිතයක් ලෙස මුළින්ම චිත්‍රපටයක දිස්වන්නේ 1945 නොවැම්බර් 25 වැනිදා ය. ඒ Knock Knock චිත්‍රපටයෙහිය. මෙම චිත්‍රපටයෙහි සජීවීකරණ ශිල්පියා වූයේ ඇලෙක්ස් ලොවී ය. වුඩි හට මුළින්ම හඬ කැවූ මෙල් බ්ලෑන්ක් චිත්‍රපට 4 කින් පසුව එය නවතා දැමුවේය. එම චිත්‍රපට 4 ම නිෂ්පාදනය කරන ලද්දේ පසුකලෙක වෝර්නර් බ්‍රදර්ස් ලෙස ප්‍රසිද්ධියට පත් වූ ලියොන් ෂ්ලේසින්ගර් සමාගම විසිනි. ඔහු වෝර්නර් බ්‍රදර්ස් සමාගම සමග ගිවිසුමකට අත්සන් කිරීමත් වුඩි වුඩ්පෙකර් නිෂ්පාදනය ඔවුන් විසින් නවතා දැමීමත් මෙයට හේතුව විය. ඉන් පසුව දසක ගණනාවක් ගතවනතුරුම වුඩිගේ හඬ සපයන ලද්දේ බෙන් හාර්ඩවේය.




වෝටර් ලෑන්ට්ස් මෙයට පෙර නිර්මාණය කරන ලද කාටුන් චරිතවලට වඩා වුඩි ට ප්‍රෙක්ෂකයන් වැඩි වශයෙන් ආදරය කරනා බැව් වටහාගන්නට වැඩිකලක් ගතවූයේ නැත. එහි ප්‍රතිපළයක් ලෙස වුඩි තවත් චිත්‍රපට ගණනාවකම පෙනී සිටින්නට වරම් ලබාගත්තේය. දෙවැනි ලෝක සංග්‍රාමට සමයේ වුඩි යනු ඉහළතම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත් චරිතයක් බවට පත්ව තිබිණි. ඇමරිකා එක්සත් ජනපද ගුවන් යානාවල ඉදිරිපස කොටසේ ඇඳි අලංකාර සිතුවම සමන්විත වූයේ වුඩි ගෙනි. එමෙන්ම හමුදා භටයින්ගේ කුටිවල වුඩිගේ රුව එල්ලී පැවතුණි. එම සමයේ පැවති ආහාර හිඟය ද අමතක කරමින් ප්‍රේක්ෂකයෝ වුඩි පෙනී සිටි චිත්‍රපට නරඹන්නට පොදි කෑහ. වර්ෂ 1943 ඇකඩමි සම්මාන උළෙලේ හොඳම කෙටි සජීවීකරණ චිත්‍රපට අතරට වුඩි වුඩ්පෙකර් තේරුණ ද එය ටොම් ඇන්ඩ් ජෙරී සහ යැන්කී ඩූඩ්ල් මවුස් යන කාටූන් චිත්‍රපටවලට පැරදිණි.

1944 දී නිෂ්පාදනය වූ The Barber of Seville චිත්‍රපටය සඳහා වුඩිගේ හැඩරුව තවත් ඔපවත් කරන්නට සජීවීකරණ ශිල්පි එමරි හෝකින්ස් සහ චිත්‍ර ශිල්පි හෙයින්මාන් පියවර ගත්හ. කෙසේ මුත් අනෙකුත් කාටූන් චරිත අතර වුඩි ට අවාසිදායක් තත්වයක් පැවතියේ එහි වූ උන්මත්තක ස්වභාවයය. මෙම ස්වභාවය වෙනස් කරන්නට සමත් වූයේ වෝල්ටර් ලෑන්ස්ට් විසින් සේවයෙහි යොදවා ලත් ඩික් ලුන්ඩි ය. ඩික් එයට පෙර ඩිස්නි ආයතනයේ සේවය කළ දක්ෂ සජීවීකරණ ශිල්පියකු විය. ඔහු වුඩි ගේ උන්මත්තක ස්වභාවය සෑහෙන දුරකට පහත දැමුවේය.




වුඩි වුඩ්පෙකර් ගීතය



වුඩි වුඩ්පෙකර් වෙනුවෙන් තේමා ගීතයක් නිර්මාණය කරන ලද්දේ ජෝර්ජ් ටිබ්ල්ස් සහ රැමී ඉඩ්‍රිස් ය. මෙම ගීතයට වුඩිගේ සුප්‍රකට සිනහව ද ඇතුළත් කෙරිණි. මෙම ගීතය කෙතරම් ජනප්‍රිය වූයේ ද කිවහොත් මෙය 1948 වසරේ හොඳම ඒකල ගීතය බවට පත්විය.   මෙය 1948 වසරේ හොඳම ගීතය වෙනුවෙන් ඇකඩමි සම්මාන සඳහා ද නම්කරනු ලැබිණි. වුඩි ගේ නමින් රසික සමාජ ඇතිවන්නට වූ අතර පිරිමි ළමෝ වුඩිගේ විලාශයෙන් සිය කොණ්ඩා ද සකස්කර ගත්හ.  මෙම ගීතය සඳහා වුඩි ගේ සිනහවට පණ දෙනු ලැබුවේ මෙල් බ්ලෑන්ක්ය. ඔහු සිව් ආකාරයකට සිනහව පටිගත කිරීමකට සහභාගී වුවද වෝල්ටර් ලෑන්ට්ස් එය වෙනස්කොට තවත් ආකාර කිහිපයක් නිර්මාණය කළේය. එහි ප්‍රතිපලය වූයේ වෝල්ටර් ලෑන්ට්ස්ට එරෙහිව මෙල් බ්ලෑන්ක් නඩු දැමීමය. නමුත් බ්ලෑන්ක්  නඩුවෙන් පැරදිණි. පසුව ලෑන්ට්ස්, මෙල් බ්ලෑන්ක්ගේ සිනහව මෙයට යොදා ගැනීම නවතා දැම්මේය. නමුත් "Guess who?"  යනුවෙන් අප අදටත් අසන හඬ සඳහා දිගටම යොදාගනු ලැබුයේ මෙල් බ්ලෑන්ක්ගේ හඬමය.

මූල්‍ය අර්බුද හේතුවෙන් 1948 දී සිය චිත්‍රාගාරය වසා දමන්නට වෝල්ටර් ලෑන්ට්ස් ට සිදුවිය. ඔහු එය නැවත විවෘත කළේ 1950 දීය. 1950 දී තිරගතවුණු Destination Moon සඳහා වුඩිගේ චරිතය කෙටි දර්ශනයක් සඳහා යොදා ගැනුණි.  මේ සඳහා යොදා ගැනුණේ වෝල්ටර් ලෑන්ට්ස්ගේ බිරිඳගේ හඬයි. වුඩි ට හඬ කැවීම සඳහා පටිගත කරන ලද ආධුනික හඬ පිරික්සා බැලීමේ දී වෝල්ටර් ලෑන්ට්ස් සිය බිරිඳගේ හඬ තෝරාගත්තේ ඒ සිය බිරිඳ බව නොදැන වීම විශේෂයෙන් සඳහන් කළ යුතුමය.  මින් අනතුරුව එළැඹි යුගයේ වුඩි වුඩ්පෙකර් කාටූන් ගණනාවක්ම විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ බිහිවිය.

වුඩි රූපවාහිනියට ඇතුළු වෙයි

වුඩි සිය ප්‍රෙක්ෂකයන්ට රූපවාහිනිය ඔස්සේ සමීපවන්නට පටන් ගත්තේ වර්ෂ 1957 සිටය. මේ සමයේදී ද වුඩිගේ චරිතය ඇතූලත් නව කාටූන් බිහි වුවද බොහෝ දෙනෙකු පවසන්නේ ඒවා 1940 දශකයේ බිහි වූ ඒවා තරම් රසවත් නොවන බවය.

කෙසේ වුවත් පරම්පරා කිහිපයක් ප්‍රේක්ෂකයන් රස විඳි වුඩි වුඩ්පෙකර් චරිතය අද බිහිවන පරම්පරාවන් අතර ද එකසේ ජනප්‍රිය තත්වයේ පවතී. නව තාක්ෂණයෙන් යුක්තව නවීන කතා තේමා යටතේ දහස් ගණනක් කාටූන් නිර්මාණය වුව ද වුඩි මවන රස ඒ කිසිවකන් හෝ ලබන්නට නොහැකිය. වුඩි යනු තව වසර ගණනාවක් ඉදිරියට ද ජීවමාන චරිතයක් වනුනේ ඒ නිසාය.



Monday, January 5, 2015

මුම්බායි නම් වූ මිහිපිට අපාය - Mumbai, the gehena on earth

ධරාවි මුඩුක්කු නිවාස


හින්දි සිනමාව යනු ඉන්දියාව හෝ දකුණු ආසියාව පමණක් නොව මුළු ලොවද දිග්විජය කළ දැවැන්ත කර්මාන්තයකි. සුරකුමරුන් කුමරියන් බඳු නළු නිළියන් අප දෑස් ඉදිරියේ පෙන්වවමින් ප්‍රේක්ෂකයා සිහින ලොවක ජීවත් කරවන්නට මෙම සිනමා නිර්මාණවලින් බොහොමයකට හැක්කේ අපූරු හැකියාවකි. හින්දි සිනමාවෙන් මවන සිහින ලෝකයට පෙම් බැඳි බොහෝ දෙනෙක් එවැනි ලොවක ජීවත්වන්නට නිරතුරු සිහින මවන බැව් නම් නොරහසකි. අතීතයේත් එය එසේමය. වර්තමානයේත් එසේමය. ඉන්දීය සිනමා කර්මාන්තයේ නිරතවූවන්ගෙන් බහුතරයක් සිය වාසස්ථානය බවට පත්කරගෙන ඇත්තේ මුම්බායි නගරයයි. ඔවුන් පිළිබඳ අප සතිඅන්ත පුවත්පත්වලින් කියවන්නා වූ විවිධ විස්තරවලින්  සිතේ අලංකාර වූ සිහින ලොවක් මවා ගන්නෙමු. හින්දි සිනමාවේත් ඔවුන්ගේ ජීවිතවලත් ඇත්තේ කෙතරම් මිහිරි ජීවිතයක්දැයි සිතේ. බොහෝ නළුනිළියන් සිනමා කර්මාන්තයට පිවිසුන ආකාරය පිළිබඳ කතා කිරීමේදී පවසන්නේ මුළින්ම පැමිණියේ තමා මුම්බායි කරා පැමිණි බවය. එවැනි විස්තර දැනගන්නා විට මුම්බායි නගරයේ ජීවත්වන්නට යමෙකුට කැමැත්තක් ඇතිවූයේ නම් එහි අරුමයක් ද නැත. සිනමාව තුළින් මෙවැනි සුන්දර ලොවක් මවන්නට හින්දි සිනමාවට ඇති අපූරු හැකියාව නිසා මෙම සිනමා නිර්මාණකරුවන් ‛සිහින වෙළෙන්දන්’ යනුවෙන් ද හඳුන්වන්නට පටන් ගැනුණි.

සැබැවින්ම අපට පෙන්වන මේ ලෝකය මෙතරම් සුන්දරද?


සැබැවින්ම එසේ නොවේ. යථාර්ථය එය නොවේ. එය යථාර්ථය නොවන්නක් බැව් ලෝකයා හමුවේ හෙළිදරව් වන්නට මුම්බායි සිනමාවෙන්ම තල්ලුවක් ලැබිණි. ඒ ඔස්කාර් සම්මාන ලද ‛ස්ලම් ඩෝග් මිලියනර්’ සිනමා නිර්මාණය ලොව පුරා ප්‍රදර්ශනයවීමත් සමඟිනි. මෙම සිනමා නිර්මාණය සඳහා පසුබිම්කොට ගෙන තිබුණේ මුම්බායි හි ඇති ‛ධරාවි’ නම් මුඩුක්කු ජනාවාශයන් ය. මෙය ප්‍රකටව ඇත්තේ ලෝකයේ විශාලතම මුඩුක්කු ජනාවාසය ලෙසිනි. එය පිහිටා ඇත්තේ හින්දි සිනමා සිහින අප ඉදිරියේ මවා පෙන්වන්නන් බොහොමයක් වෙසෙනා මුම්බායි නගර මධ්‍යයේමවීම සුවිශේෂී කරුණකි.  මෙහි මිලියනයකට අධික පිරිසක් ජීවත්වෙති.

ස්ලම් ඩෝග් මිලියනර් චිත්‍රපටයෙන් . . .


මෙම සිනමා පටයට අමතරව පුලිට්සර් සම්මානලාභිනියක වූ කැතරින් බූ විසින් ලියන ලද, ලොව පුරා ඉමහත් ආදායම් වාර්තා තබමින් අළෙවි වූ ‛බිහයින්ඩ් ද බියුටිෆුල් ෆෝර්එවර්ස්’ නම් කෘතිය ද ඉන්දියාවේ  මුඩුක්කුවාසීන්ගේ ජීවිතය ලොව හමුවේ හෙළිදරව්වන්නට හේතුවක් විය.

බිහයින්ඩ් ද බියුටිෆුල් ෆෝර්එවර්ස්


සෑම ඉන්දියානුවන් හය දෙනෙකුගෙන්ම එක් අයෙක් මුඩුක්කුවල ජීවත්වන බවට ගණන් බලා තිබේ. එයින් බොහොමයක් දැනට වසර ගණනාවකට පෙර මෙහි පැමිණි අයගෙන් පැවැතෙන දෙවැනි පරම්පරාව වේ. ධරාවි ජනාවාශය මුළින්ම ආරම්භ කෙරුණේ ධීවර ගම්මානයක් ලෙසිනි. නමුත් අද එය එසේ නොවේ. නගරයක් තුළ පවතින තවත්  නගරයක් වන මෙහි අද දක්නට ඇත්තේ කුණු කසල කඳු සහිත කෙළවරක් නැති කුඩා පාරවල්, සැමතැනම විසිරුණු මළ මුත්‍ර හා පැල්පත් ය. මෙහි ජීවත්වන්නන් හට මූලික සෞඛ්‍ය පහසුකම් කිසිවක් නැත. වර්ෂාව ඇද හැළෙන සමයකදී මෙම මුඩුක්කු ජනාවාශවලට එබී බැලුවහොත් දකිනිනට හැක්කේ ජලයෙන් යටවුණු නිවාස පමණක් නොව මිහිපිට නරකාදිය යැයි පැවසීමෙහි ද වරදක් නැත. ඔවුන් විසින්ම පරිසරයට එක්කළ කුණු කසල හා මළ මුත්‍ර වැසි ජලයත් සමඟ මුසුවී යළිත් ඔවුන් වෙතම පැමිණෙයි. ඔවුන්ට ඒවායෙන් ගැළවී යන්නට හැකියාවක් නැත. ගැළවී යන්නට තැනක් ද නැත.



ඒවායේ වෙසෙන්නන්ගේ බහුතරයක් මුදල් සොයන්නේ නීතිවිරෝධී උපක්‍රම මගිනි. මුම්බායි යනු ලෝකයේ ඉහළතම නිවාස කුළිය සහිත නගරයක් වුවද, කුමක් හෝ රැකියාවක් සොයා මුම්බායි කරා පැමිණෙන ඕනෑම අයෙකුට අඩුම මිල ගණන් යටතේ නවාතැනක් දීමට මෙම මුඩුක්කු ජනාවාශය සැදී පැහැදී සිටී. එහි ගෙවල් කුළිය ඇමරිකත් ඩොලර් 4ක් (අප රටේ මුදලින් රුපියල් 520ක්) පමණකි. (මේ ලිපිය ලියන මොහොතේ මෙම මුදල වුවත් ඇතැම් විට ඔබ මෙය කියවන අවස්ථාව වන විට ගාස්තු වෙනස් වී තිබිය හැකිය)


මුම්බායි නගරය යනු ලෝකයේ  ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති, ඉහළ ආදායම් ලබන විවිධ පරිගණක සමාගම් බොහොමයක් පවතින නගරයක් වුවද, මෙම මුඩුක්කුවාසීන්ගේ ජීවිත ඇත්තේ ඉමහත් ඛේදනීය තත්වයකි. විශේෂයෙන් කාන්තාවන්ගේ හා දරුවන්ගේ තත්වය අතිශය පහළ මට්ටමක් පවතී. එහි කාන්තාවන්ගේ ජීවිතවලට එබී බැලුවහොත් එය කුමනාකාරදැයි අවබෝධ කරගන්නට පුළුවන.

ලිංගික භාණ්ඩ ලෙස අළෙවි වන මුම්බායි තරුණියෝ


35 හැවිරිදි හසීනා යනු මෙම මුඩුක්කු නිවාසවල ජීවත්වන දසදහස් ගණනක් වූ අසරණ කාන්තාවන්ගෙන් එක තැනැත්තියකි. කිසිඳු අධ්‍යාපනයක් නොලබා ඇති ඇය, කුඩා කාලයේදීම ලිංගික සේවය සඳහා අළෙවිකරනු ලැබුණු කාන්තාවකි. ඇයගේ දරුවා පාසල් යන වියෙහි පසුවුවත් පාසල් යාම ප්‍රතික්ෂේප කරයි. ඔහුට පාසල් යන්නට පෙරැත්ත කළ එක් අවස්ථාවක ගිනිතබාගන්නට උත්සාහ කළ බැව් ඇය පවසයි. ඔහු හුරුපුරුදු වී ඇත්තේ මුඩුක්කු ජීවිතයෙන් මුදල් සොයාගැනීමේ හොර ජාවාරම්වල නිරත වන්නටය. සියලු දෙනා අතින්ම තමා රැවටුණු බැව් ඇය පවසන්නීය. වයස 14දී විවාහවන්නට සිදුවුණු ඇය ලිංගික අවශ්‍යතාවයන වෙනුවෙන් බොහෝ දෙනෙකුට අළෙවි වූවාය.


“අපට සිදුවන අසාධාරණකම් ගැන පොලීසියට පැමිණිලි කරන්නට ගියත් ඔවුන් අප පන්නාගන්නවා. එහෙමත් නැත්නම් අපට ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරන්න සිද්ධවෙනවා. ඒත් බොහෝ වෙලාවට සිදුවන්නේ අපට වැරදිකළ අයගෙන් පොලීසිය අල්ලස් ගෙන ඔවුන්ගේ පැත්ත ගන්න එකයි.”


හසීනා පවසන්නීය.


ඉන්දියානු මුඩුක්කු හා පැල්පත්වාසී කාන්තාවන් බොහොමයකගේ ජීවිත මෙවැනිය. උසස් ජීවිතයක් ගතකරන්නා වූ කිසිවකු සොයගන්නට නොහැක. ඇතැම් කාන්තාවන්ගේ තත්වය ඇතැම්විට මෙයට ද වඩා පහත් තත්වයක පවතී.


සනීපාරක්ෂාව ද පවතින්නේ ඉතාම පහත් අඩියකය. ඔවුනට පිරිසිදු වාතාශ්‍රය යනු සිහිනයක් පමණි. ලෙඩ රෝග වැළඳුන ද බොහෝ විට නිසි ප්‍රතිකාරයක් ලැබෙන්නේ කලාතුරකිනි.  ඇතැම් ලෙඩරෝග ඉන්දියානු මුඩුක්කුවලටම ආවේණික වූ ඒවාය. මේ නිසාම ලෝකයේ නරකතම සෞඛ්‍ය සම්පන්න රටවල් අතරින් දෙවැනි තැනට පත්වන්නට ඉන්දියාවට සිදුව තිබේ. දරුවන්ගේ මරණ අනුපාතය ද ඉතා ඉහළ අගයක පවතී. පරපෝෂිත ජීවීන් නිසා ඇතිවන ලොඩරෝග බෙහොමයක් මෙම මුඩුක්කු පැල්පත්වල ජීවත්වන දරුවන් අතර පවතින බැව් අධ්‍යයන මගින් තහවුරු වී තිබේ.



ඉන්දියාව මුළු ලොවටම සිහින අලෙවිකරන මුම්බායි නගරය තුළ තවමත් ලොව බොහෝ දෙනකු අතරත් සැඟව පවතින අවාසනාවන්ත ලෝකය මෙයයි. නමුත් හින්දි සිනමා පටයක් නරඹන විට අපට මේ කිසිවක් සිතට නැගෙන්නේ නැත. එසේ නගා ගැනීමෙන් ද වළකින්න. එසේ හැඟුණහොත් ඒවායේ රසය හීන වීමට වුව බැරි නැත.




Sunday, January 4, 2015

ගූගල් අර්ත් හෙවත් තාක්ෂණික රහස් පරීක්ෂකයා - Google Earth, the technological detective of the Modern World




මිනිසාට අවබෝධ කරගත නොහැකි, විද්‍යාත්මකව විග්‍රහ කළ නොහැකි සියලු දෙයම වැටෙන්නේ අභිරහස් ගණයටය. මෙවැනි බොහොමයක් මිනිස් ඉතිහාසය පුරාම දැකිය හැක. ඒවායින් බොහොමයකට තවමත් නිශ්චිත විග්‍රහයක් නොමැත. ඒවා තවත් බොහෝ කාලයක් හෝ සදාකාලිකවම හෝ අභිරහස් ලෙසම පවතිනු ඇත. කෙසේ නමුත් මෑත කාලයේදී මෙවැනි අභිරහස්වලින් ඇතැම් ඒවා යම් තරමකට විසඳාගන්නට විද්‍යාව උදව් කළ අවස්ථාවන් ද දක්නට ලැබේ. මෑතකදී මෙවැනි අභිරහස් විසඳාගැනීමට මගපෑදූ සුවිශේෂී විද්‍යාත්මක සොයාගැනීමක් වූයේ චන්ද්‍රිකා තාක්ෂණයේ පිහිටෙන් අන්තර්ජාල පහසුකම ඔස්සේ මුළු ලොවම ගවේෂණය කරන්නට ඕනෑම අයෙකුට ඉඩ සළසන්නා වූ ‛ගූගල් අර්ත්’ නම් පරිගණක මෘදුකාංගයයි. ගූගල් අර්ත් මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කොට නැත්නම් අන්තර්ජාලයේ ‛ගූගල් මැප්ස්’ භාවිතයෙන් ද මෙම පහසුකම අත්විඳින්නට  පුළුවන. පෘථිවිය වටා වූ චන්ද්‍රිකා මගින් ලබාගත් ඉහළ විභේදනයකින් යුක්ත ඡායාරූප මගින් සමස්ථ පෘථිවියේම සිතියමක් මවා පරිගණකය ඔස්සේ නරඹා ගවේෂණය කරන්නට මෙම මෘදුකාංගය ඉඩ සළසා දෙයි. මෙමගින් ලබාදෙන ඡායාරූප ඔස්සේ හෙළිකරගත් අභිරහස් රැසක් දැන් ලොව හමුවේ හෙළිදරව් වී ඇත. ඉදිරියේදී තවත් හෙළිදරව් වනු ඇත. එයින් කිහිපයක් ඔබ වෙත ඉදිරිපත්කිරීම මෙහි අරමුණයි.


දකුණු අප්‍රිකාවෙන් හමුවූ ඉපැරණි මුතුන්මිත්තා






මහාචාර්ය ලී බර්ගර් යනු මානව විද්‍යාඥයකි. ගූගල් අර්ත් ඔස්සේ දකුණු අප්‍රිකාවේ තිබූ ඉපැරණි මුතුන්මිත්තකුගේ අස්ථි හා හිස්කබල් සොයාගන්නට ඔහුට හැකිවිය. ගූගල් අර්ත් ඔස්සේ දකුණු අප්‍රිකාව ගවේෂණය කරමින් සිටි ඔහු එක් ස්ථානයක පිහිටි හුදෙකලා හැඩතලයක් හදිසියේ දුටුවේය. සිය අත්දැකීම් අනුව මෙතැන පැරණි මානව ශේෂ ඇතැයි ඔහු නිගමනය කළේය. ඔහු සිය සුරතල් සුනඛයා, පුතු හා එක් සිසුවකු සමඟ මෙම ස්ථානය සොයා ගියේය. ඔහුගේ නිගමනය නිවැරදි විය. මීට පෙර කිසිවකුට හෝ හමු නොවූ හඳුනානොගත් පොසිල ස්ථානයක් ඔහුට මෙහිදී හමුවිය. එතැන පොසිල සහිත ගල්ගුහා 50කි තිබිණි. එහි තිබූ හොඳින් ආරක්ෂිතව තිබූ මානව ශේෂ වසර මිලියන 2ක් පමණ පැරණි බැව් සොයා ගැනුණි. මෙම සොයාගැනීමේ සුවිශේෂීතම කරුණ වූයේ මෙම ශේෂයන් කිසිවක් පරිපුර්ණ මානවයන් නොවීමය. එය වානර - මිනිස් සත්වයින්ගේ අතරමැදියකු විය. මෙය මානව පරිණාමයේ සැඟවුණු කරුණක් හෙළිකරගන්නට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.



 



ඉපැරණි රෝම මන්දිරය





මෙය 2005 වසරේදී ගූගල් අර්ත් ඔස්සේ කළ සොයාගැනීමකි. ලුකා මෝරි නමැත්තා දිනක් ගූගල් අර්ත් ඔස්සේ තමන් ජීවත් වූ ප්‍රදේශය පිළිබඳ නිකමට මෙන් විස්තර සොයන්නට විය. ඔහු එවිට තම නිවස අසළ ප්‍රදේශයේ අඳුරු ඕවාලාකාර හැඩයේ යමක් ඔහු දුටුවේය. ඔහු සිතුවේ මෙය ගූගල් අර්ත් හි තාක්ෂණික දෝෂයක් බවය. කෙසේ නමුත් ඔහු මෙය එහි ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරයට දැනුම් දුන්නේය. ඔවුන් මෙම ස්ථානයේ කැණීම් සිදුකළ අතර එහිදී එතැන තිබී ඉපැරණි පිඟන් කැබලි සොයාගන්නට හැකි විය. මේවා කිතු උපතටත් පෙර පැවති ඉපැරණි රෝම මන්දිරයක් පැවති ස්ථානයක් බැව් සොයා ගැනුණි.



මොසැම්බික් අභයභූමිය







මොසැම්බික් යනු දිගු කලක් තිස්සේ යුද්ධයට මැදි වූ රටකි. එබැවින් එම රට ගවේෂකයන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට හැකි රටක් වූයේ නැත. නමුත් බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ ජුලියන් බේලිස් දිනක් ගූගල් අර්ත් ඔස්සේ මොසැම්බික් රාජ්‍යය පිළිබඳ විස්තර සොයමින් සිටියේය. ඔහු එහි මාබු නමැති කඳු ප්‍රදේශයේ ඇති දැකුම්කළු ප්‍රදේශයක් පිළිබඳ අවධානය යොමු කළේය. 2008 වසරේදී ඔහු තවත් විද්‍යාඥයින් පිරිසක් සමඟ එක්ව මෙම ප්‍රදේශය කරා ගියේය. එහිදී එම පිරිසකට එතෙක් ලොවට හෙළිනොවූ තිබූ ශාඛ, සත්ව, පක්ෂි, සමනල, වඳුරු හා සර්ප විශේෂ සිය ගණනකටත් වැඩි ප්‍රමාණයක් සති තුනක් වැනි කාලයකදී සොයාගැනීමට හැකිවිය.



සවුදි අරාබියේ පාෂාණ හැඩතල






සවුදි අරාබිය යනු පර්යේෂකයන්ට හා ගවේෂකයන්ට සිය කටයුතු කරගෙන යාමට එතරම් පහසුකම් ඇති රටක් නොවේ. ඒ එහි ඇති කටුක දේශගුණය හා භූමි ස්වභාවය නිසාය. මේ වසර මුළදී ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු වූ  ඩේවිඩ් කෙනඩි, ගූගල් අර්ත් ඔස්සේ සවුදි අරාබිය ගවේෂණය කළේය. එහිදී දකින්නට හැකි වූ කුහලය දනවන හැඩතල නිසා එම ස්ථාන සොයා යන්නට ඔහු තීරණය කළේය. ඔහු එහිදී එතෙක් සොයා නොගැනුණු පුරා විද්‍යා වටිනාකමකින් යුක්ත බිම් 2000කට අධික සංඛ්‍යාවක් අනාවරණය කරගත්තේය. පසුව සිරියාවේ සිට යේමනය දක්වා වූ කලාපයේ සිදුකරන ලද ගවේෂණ මගින් මිනිසා විසින් නිර්මාණය කරල ලද, ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් රෝද, ඉපැරණි සත්ව උගුල්, සරුංගල් හැඩයේ සොහොන් ද සොයාගන්නට ඔහුට හැකිවිය. මහාචාර්ය කෙනඩි විශ්වාස කරන්නේ මේවා වසර 9000ක් පමණ පැරණි බවය.



පීරු දේශයේ පිරමීඩ







2008 වසරේදී විද්‍යාඥයින් පිරිසක් විසින් ගූගල් අර්ත් හා විශේෂ ගණිත ක්‍රමයක් ඔස්සේ පීරු කාන්තාරයේ වැළලී ගොස් තිබුණු පිරමීඩ සොයා ගනු ලැබිණි. මේවා පිහිටා තිබුණේ වගා බිමකට යටිනි. පර්යේෂකයින් විසින් ගූගල් අර්ත් මගින් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප හා  අධෝරක්ත කිරණ තාක්ෂණය භාවිත කරමින් පොලොවේ මතුපිට ස්ථරය ඉවත්කොට පොලොව යටින් පිහිටි පිරමීඩ අනාවරණය කර ගනු ලැබිණි. මෙම පිරමීඩ වර්ග මීටර 9000 කට අධික භූමි ප්‍රමාණයක් පුරා පැතිර පැවතිණි.



ගුවන් යානා සොහොන්බිම







ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටස්කන් හි පිහිටි ඩේවිස් මොන්තාන් ගුවන් හමුදා කඳවුර ප්‍රසිද්ධව ඇත්තේ භාවිතයට ගත නොහැකිව අභාවයට පත්වූ යුද ගුවන් යානා එක්රැස් කොට ඇති ස්ථානයක් ලෙසිනි. නමුත් මෙහි ඇතුළත ස්වභාවය කුමන අයුරුද යන්න පිළිබඳව එක්දත් ජනපද ගුවන් හමුදාව කිසිදා හෙළි කළේ නැත. මෙයට ඉහළින් ගුවන් ගමන් ද තහනම් ය. මෙය ප්‍රකටව ඇත්තේ ද ‛බෝන්යාර්ඩ්’ හෙවත් සොහොන් පිටිය යන නමිනි. අක්කර 2600 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති මෙම වානේ සොහොන් පිටියේ ඉහළ විභේදනයක් සහිත ඡායාරූප ගූගල් අර්ත් හි දක්නට ලැබීමත් සමඟ එහි  අභ්‍යන්තර පිහිටීම පිළිබඳ සියලු දෙනා විවිධ අදහස් දක්වන්නට පටන් ගත්තේය. දෙවැනි ලෝක යුද සමයේ සතුරන් හඹා ගිය බී-52 ‛ස්ට්‍රුටෝ ෆෝට්රස්’ සිට එෆ්-14 ටොම්කැට් දක්වා වූ ගුවන් යානා දිරාපත්වෙමින් මෙහි දිරාපත්වෙමින් පවතී.

(ඛණ්ඩාංක උ. 32 08'59.96" , බ. 110 50'09.03")



ලේ විලක්



ඉරාකයේ සාඩර් නම් නගරයට පිටතින් විලක් පවතින අතර ගූගල් අර්ත් හි චන්ද්‍රිකා ඡායාරූපවල එය දැක්වෙන්නේ රතු පාටිනි. එබැවින් එය ගූගල් අර්ත් හි ප්‍රසිද්ධව ඇත්තේ ‛ලේ විල’ වශයෙනි. මෙහි ජලය මේ ආකාරයට රතු පැහැ ගැන්වීමට හේතුව වශයෙන් කිසිවක් තමවත් වාර්තා වී නොමැත.

(ඛණ්ඩාංක උ.  33.396157° ,නැ.  44.486926°)




ගෝබී වැලි කතරේ රහස් කඳවුර





මෙය ඉතාම මෑතකදී ගූගල් අර්ත් මගින් අනාවරණය කරන ලද්දකි. චීනයේ ගෝබී කාන්තාරයේ එකිනෙකට සම්බන්ධවන සේ නූලක් ඇමිණුවා වැනි ආකෘතියක් දක්නට ලැබේ. විශේෂඥයින් පවසන්නේ මෙය රහස් යුද කඳවුරක් විය හැකි බවය. මෙහි අවි ආයුධ අත්හදා බැලීම හෝ රහස් අභ්‍යවකාශ පර්යේෂණ හෝ සිදුවන බව ද විශේෂඥයෝ පවසති. මෙහි කිලෝමීටර් 33ක ප්‍රදේශයක් පුරා සෑම මීටර් සිය ගණනකට වරක්ම සෘජු රේඛා දක්නට ලැබේ. එමෙන්ම ගුවන් යානා ධාවන පථ ද දක්නට ඇත.


ඛණ්ඩාංක  40.452107, 93.742118