Wednesday, February 11, 2015
හිනා යයි කියලා හිතෙන කතාවක්
Friday, February 6, 2015
ප්‍රමිලාට පෙම් කළ දස්කොන් හෙවත් ගස්කොන් - Love Story of Daskon and Pramila
අමරදේවයන් සහ නීලා වික්‍රමසිංහ ‛දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් - නො එනා ගමනකි යන්නේ’ යන ගීතය කුඩා සමයේ ඇසෙද්දී මේ පවසන්නේ කුමක් ගැන දැයි වටහා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් තරමක් කල් ගත වෙද්දී, පොත පත කියවද්දී දස්කොන් - ප්‍රමිලා ප්‍රේම වෘතාන්තයක් ගැන ද දැනගන්නට ලැබුණා. එසේ වුවත් මේ කවුද? කිම්ද? මන්ද? කියා නිරවුල් තොරතුරක් හමුවුණේ නැහැ. කෙසේ හෝ පාසල් කාලයේදීම කියවන්නට ලැබුණු පැරණි පුවත්පතක මේ ගැන අපූරු සටහනක් තිබුණා. අද කාලේ ද බොහෝ දෙනෙක් මේ කතාව නොදන්නවා වන්නටත් පුලුවන්. ඒ නිසා ඒ පුවත්පතේ විස්තරය සරල බසින් මේ විදිහට ලියන්න හිතුණා.
දස්කොන් කියා අපේ ඉතිහාසයේ ප්‍රසිද්ධත්වයට පත්ව සිටින මොහුගේ සැබෑ නම ‛පේදුරු ගස්කොන්’. ඔහු කන්ද උඩරට සිංහල රාජ්‍යයේ උසස් පදවි දැරූ ප්‍රංශ ජාතිකයෙක්. ඔහුගේ කතාවේ ආරම්භය නම් ඉතා රසවත්. නමුත් අවසානය නම් ඛේදනීයයි.
වර්ෂ 1672 දී ‛අද්මිරාල් ද ලාහේ’ නම් නැව්පතියා ප්‍රමුඛ නැව් සමූහයක් ප්‍රංශයේ සිට අපේ රටේ ත්‍රිකුණාමලයට පැමිණියා. ඔවුන් මෙහි පැමිණෙන අතරවාරයේ මහ සයුරේදී ලන්දේසීන් සමග කිහිප වතාවක්ම සටන්වලට පැටලී තිබුණා පමණක් නොවෙයි ඒ සෑම සටනකින්ම පාහේ ජය ද ලබාගත්තා. මේ බව දැන ගත් එවකට කන්ද උඩරට රාජ්‍යය පාලනය කළ දෙවැනි රාජසිංහ රජු අපමණ සතුටට පත් වුණා. එයට හේතුව දෙවැනි රාජසිංහ රජු ද ලන්දේසීන් සමග කෝපයෙන් සිටි නිසයි. මේ නිසා මෙසේ පැමිණි ප්‍රංශ නැව්පතියන්ට කන්ද උඩරට රජුගෙන් විශේෂ සැළකිලි හිමි වුණා. ඔවුන්ව කන්ද උඩරට රාජ්‍යයට ගෙන්වා ගෙන ආගන්තුක සත්කාර කරන්නට රජතුමා පියවර ගත්තා.
මේ නාවික හමුදාවේ දෙවැනි නිලධාරියාගේ නම ‛ගස්කොන්’. ප්‍රංශ හමුදාවේ අනෙක් සියලු දෙනා ආපසු ගියත් ඔහු ගියේ නැහැ. ඔහු කන්ද උඩරට ප්‍රදේශයෙන් කාන්තාවක් ද විවාහ කරගෙන රජුගේ සැළකිලි ද ලබමින් සතුටින් ජීවත් වුණා. කලක් ගතවන විට මේ දෙපළට පුතෙක් ලැබුණා. ඔහුට නම තැබුණේ ‛පේදුරු ගස්කොන්’ කියායි. මේ දරුවා කුඩා කාලයේ පටන්ම පිරිවෙන් අධ්‍යාපනය සඳහා යොමු කෙරුණා. දෙවැනි රාජසිංහ රජුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමාරයා ද මේ සම වයසේම පසු වූ අතර ඔහු ද පිරිවෙන් අධ්‍යාපනය සඳහා යොමුකොට තිබුණා. මේ නිසා රජකුමරා සහ ගස්කොන් අතර දැඩි මිත්‍ර සබඳකමක් ඇතිවුණා. ඒ නිසාම දෙවැනි රාජසිංහ රජු ද ගස්කොන් ගැන විශේෂ ආදර සැළකිල්ලක් දක්වන්නට පටන් ගත්තා. ගස්කොන් කවි ලියන්නට ද අති දක්ෂයෙක්.
මෙසේ කාලය ගතවෙද්දී දෙවැනි රාජසිංහ රජු මිය ගියා. මරණයෙන් පසු නරේන්ද්‍රසිංහ කුමාරයාට රජකම හිමිවිය යුතු වුණත්, උඩරට සිටි රදළයන් කිහිප දෙනෙකු මෙයට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔවුන් කුමරාට විරුද්ධව කැරැල්ළක් සංවිධානය කළා.
නරේන්ද්‍රසිංහ කුමාරායා මේ අවස්ථාවේදී වනාන්තරයට පළාගොස් රජකම ලබාගැනීම සඳහා සේනා සංවිධානය කළා. මේ කාලයේ කුමරාගේ විශ්වාසවන්ත මිතුරකු ලෙසින් නිතරම පාහේ ළඟින් සිටියේ ගස්කොන් නම් මේ ප්‍රංශ ජාතිකයාගේ පුත්‍රයා යි.
වර්ෂ 1707 දී කුමාරයා සාර්ථක ලෙස කැරැල්ල මැඩ පවත්වා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජවුණා. විපතේදී පිහිට වූ තම ළඟම මිතුරා අමතක නොකළ රජු සිංහල ප්‍රධානීන්ගේ විරෝධය ද නොතකා පේදුරු ගස්කොන් තමාගේ මහ අධිකාරම ලෙස පත් කළා. අද වුණත් රාජ්‍ය නායකයා තමන්ගේ ඇමතිවරු කැමති වුණත් අකැමති වුණත් තමන් කැමති අයට උසස් තනතුරු දෙනවා. ඒ කාලෙත් එහි වෙනසක් නැහැ. උච්චාරණයේ පහසුව තකා පසුකාලයේදී ‛ගස්කොන්’ ගේ නම ‛දස්කොන්’ බවට පත් වුණා. රජුට කළගුණ සළකනු සඳහා දස්කොන් රජු වර්ණනා කොට ‛ශ්‍රී නාමය’ නම් සිංහල රාජ ප්‍රශස්ති කාව්‍යය රචනා කළා.
කාලය මෙසේ ගෙවී ගියා. විවිධ අයගේ පෞර්ෂයේ විවිධ දුර්වල කම් පවතිනවා. දස්කොන්ටත් එහි වෙනසක් වුණේ නැහැ. රජු තමාට මෙතරම් ඉහළ තනතුරක් ලබාදුන්නත්, රජුගේ බිසව වූ ප්‍රමිලා දේවියට ඔහු ආදරය කරන්න පටන්ගත්තා. දේවිය ද පෙරළා ඔහුට ආදරය කළා. මෙය මිත්‍රද්‍රෝහී කටයුත්තක් වුවත් ආලයෙන් අන්ධ වුණු ඔහු ඒ ගැන සිතන්නට මොහොතක්වත් කල්ගත්තේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දස්කොන් කෙරෙහි රජුගේ තිබූ විශ්වාස බිඳී ගියා. තමාගේ කුඩා කල සිට සිටි මිතුරා වුවත්, විපතේදී තමා ළඟින්ම සිටි විශ්වාසවන්තයා වුවත්, මෙම වරදට මරණ දඬුවම දෙනවා හැර වෙනත් දෙයක් ගැන සිතන්නට රජුට පුළුවන් වුණේ නැහැ.
වර්ෂ 1710 දී වධකයන් අතින් දස්කොන් අවසන් ගමන ගියා. ඔහු දංගෙඩියට හිස තබන්නට ගමන් කරද්දී සඳළුතලයේ සිටි ප්‍රමිලා දේවිය දස්කොන් අමතා මෙසේ පැවසූ බව සඳහන් වෙනවා.
සිත් සන්තොසින් දුන් මුව මී බීවා ද
ඉක්මන් ගමන් හිමියනි ඔබ යනවා ද
දස්කොන් මගේ නමට ජීවිතෙ දෙනවා ද
මේ අවස්ථාවේදී දස්කොන් මෙයට දුන් පිළිතුර ද කවියක් ලෙස ජන සාහිත්‍යයේ තිබෙනවා. ඒ මෙයයි.
විසැස් කමලාවි රස පහස නොවිඳ මා
දසිස් දුණි පොරණ ඇසු දුටු පමණට මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලද මෙමා
මසිස් එකක් ගියෙ නම් නුඹෙ නමට කිමා
කුමන්ත්‍රණ
දස්කොන්ගේ මරණයට පසුව, එම කුමන්ත්‍රණයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකුට ද දඬුවම් ලැබුණු බවට ඉතිහාසයේ සහ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඔවුන් නම්, ලෙව්කේ රාළ සහ සූරියගොඩ උන්නාන්සේ නැමැති හිමිනමක්.
දස්කොන්ගේ මරණයට හේතු වූ කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට චෝදනා ලැබූ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙක් සිටියා.
ලෙව්කේ රාළ
ලෙව්කේ රාළ යනු දස්කොන්ගේ සමකාලීන උඩරට ප්‍රධානියෙක් සහ රජුගේ නව මහ අදිකාරම්වරයා ලෙස පත්වූ පුද්ගලයෙක්. දස්කොන් සහ ප්‍රමිලා අතර පැවැති ප්‍රේම සම්බන්ධය පිළිබඳ තොරතුරු රජුට හෙළි කළ ප්‍රධාන කුමන්ත්‍රණකරුවා ලෙස සැලකෙන්නේ ඔහුයි.
දස්කොන්ට මරණ දඬුවම නියම වූ පසු, ඔහු සිය නිර්දෝෂිභාවය විස්තර කරමින් 'නොක්කාඩු මාලය' නම් කවි සංග්‍රහයක් රචනා කළා. ඔහු එම කවි සංග්‍රහය ලෙව්කේ රාළ අතේ රජුට යැවූ නමුත්, දස්කොන් කෙරෙහි තිබූ වෛරය නිසා ලෙව්කේ රාළ එය රජු වෙත භාර දීම හිතාමතාම ප්‍රමාද කළ බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
දස්කොන්ව හිස ගසා මරා දැමීමෙන් පසුව, රජුට මෙම කරුණු හෙළි වී ඇති අතර,
එහි ප්‍රතිඵලයක් ලෙස ලෙව්කේ රාළට ද දඬුවම් නියම වී තිබෙනවා. ඔහු සිරගත කළ බවත්, සමහර වාර්තා වලට අනුව උල තබා මරා දැමූ බවත් සඳහන්.
සූරියගොඩ උන්නාන්සේ
දස්කොන්ගේ කතාවට අනුව, මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූ තවත් ප්‍රධාන චරිතයක් වන්නේ සූරියගොඩ උන්නාන්සේ නමින් හැඳින්වූ භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ වැලිවිට සරණංකර හිමියන්ගේ ගුරුවරයා බවට මතයක්ද පවතිනවා. දස්කොන් සහ ප්‍රමිලා අතර තිබූ සම්බන්ධය හෙළි කිරීමට අවශ්‍ය සාක්ෂි, එනම් ඔවුන්ගේ කවි හුවමාරු කරගත් තල්පත්, රජුට හසුවන පරිදි සැලසුම් කළේ සූරියගොඩ උන්නාන්සේ බවට ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, දස්කොන්ගේ මරණයෙන් පසු, සත්‍ය තොරතුරු හෙළි වූ විට,
නරේන්ද්‍රසිංහ රජු විසින් සූරියගොඩ උන්නාන්සේට ද දඬුවම් නියම කළ බව සඳහන්. උන්වහන්සේව ද හිස ගසා මරා දැමූ බවට වාර්තා පළවනවා.
මෙම ඛේදවාචකය එකල රාජ්‍ය පාලනයේ සහ සමාජයේ පැවැති බල අරගල, වෛරය සහ කුමන්ත්‍රණ ඉතා හොඳින් පෙන්වනවා. දස්කොන්, ලෙව්කේ රාළ සහ සූරියගොඩ උන්නාන්සේ යන චරිතවලට අත්වූ ඉරණම, රාජ උදහසට ලක්වීම කෙතරම් දරුණු වූවාද යන්නට කදිම උදාහරණ ලෙස දැක්විය හැකියි.

