පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 16, 2018

ජෙෆ් බෙසොස් හෙවත් ලෝකයේ ලොකුම සල්ලිකාරයා - jeff bezos , the World's Richest Man


‛ජෙෆ් බෙසොස්’ කියන්නේ කවුදැයි ඔබෙන් ඇසුවොත් එයට පිළිතුරක් දෙන්නට නොහැකි වන්නට පුළුවන්. නමුත් මේ විස්තරය කියවුවාට පසු බොහෝ දෙනෙක් මේ නම මතක තබා ගන්නා බව නො අනුමානයි. ඒ අන් කිසිවක් නිසා නොව අලුත්ම ආර්ථික සහ මූල්‍ය වාර්තාවලට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ජෙෆ් බෙසොස් වීම නිසයි. ලෝක ප්‍රකට, විශාලතම අන්තර්ජාල වෙළෙඳ සමාගම වන ‛ඇමසන්’ හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධරයා වන්නේ  ඔහුයි. ඔහුගේ මුළු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 105ක් පමණ වනවා. මේ ප්‍රමාණය 153 න් වැඩි කිරීමෙන් මේ වත්කම අප රටේ මුදලින් කීයක් වනවා දැයි සොයා ගන්නට ඔබට අවශ්‍ය නම් හැකියාව තිබෙනවා. ඒ වගේම 2016 වසරේ අප රටේ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 81.32ක් යැයි කීමෙන් ඔහුගේ වත්කම්වල ප්‍රමාණය කෙතරම් දැයි යම් අවබෝධයක් ඔබට ලැබිය හැකියි. 


මෙතෙක් වසර ගණනාවක් තිස්සේම ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පළඳා සිටියේ මයික්‍රොසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස්. නමුත් පසුගිය දිනෙක ඇමසන් සමාගම කොටස් වෙළෙඳ පළේ වේගයෙන් ඉදිරියට පැමිණීම නිසා බිල් ගේට්ස්ව පරදා ජෙෆ් බෙසොස් ට ඉදිරියට එන්නට හැකියාව ලැබුණා. 



1964 ජනවාරි 12 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ දී ජෙෆ් බෙසොස් උපත ලබන විට ඔහුගේ මව වූ ජැක්ලින් ජෝර්ගෙන්සන් ට වසර විස්සක්වත් සම්පූර්ණ වී තිබුණේ නැහැ. ඔහුගේ පියා වූයේ ටෙඩ් ජෝර්ගෙන්සන්. කෙසේ නමුත්  ජෙෆ් බෙසොස් ට අවුරුදු හතරක්වත් සම්පූර්ණ වන්නට පෙර ඔහුගේ මව වෙනත් විවාහයක් කර ගත්තා. ඔහුගේ නව පියා වූයේ මෙක්සිකානු ජාතිකයකු වූ මයික් බෙසොස්. කුඩා කාලයේ සිටම අලුත් දේවල් ගැන සිහින මැවූ ජෙෆ් බෙසොස් ඇමසන් නම් වූ ලෝකයේ අති විශාල අන්තර්ජාල වෙළෙඳ සල දක්වා දිගු ගමනක් ගියේ මේ සිහිනය නිසාම බව බොහෝ ව්‍යාපාරික සඟරා පවසනවා. 


ඔහු පරිගණක විද්‍යාව සහ විදුලි කාර්මික ශිල්පය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවා. මේ නිසාම මේ ක්ෂේත්‍ර දෙකින් ඔහුට උපාධි ගැනීමටත් හැකියාව ලැබුණා. කුඩා කාලයේ දී ඔහු බොහෝ දේවල් නිර්මාණය කළේ සිය නිවසේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. තමන් සමග කාමරයේ එකට හැදුණු වැඩුණු සහෝදරයන් කාමරයෙන් පිටතට යනවා දැයි බලා ගන්නට ඔහු අපූරු අනතුරු හැඟවීමේ උපකරණයක් ද නිපදවූවේ කුඩා කාලයේදීමයි. 



ජෙෆ් බෙසොස් ලෝකයේ ලොකුම ධනවතා වුවත් යහපත් විවාහ ජීවිතයක් ගත කරන බව තමයි ව්‍යාපාරික වෙබ් අඩවි පවා සඳහන් කරන්නේ. එයට හේතුව ලෝකයේ බොහෝ ධනවතුන්ගේ විවාහ ජීවිතවල යම් යම් අසාර්ථකතාවන් තිබෙන නිසයි. ඔහු විවාහ වී සිටින්නේ මැකන්සි ටට්ල් සමගයි. ඔහුට ඇයව හමු වී ඇත්තේ ඔහු උපාධිය සඳහා ඉගෙනීම ලැබූ කාලයේ දී. 1993 වසරේ දී විවාහ වූ ඔවුන් ඇමසන් සමාගම ආරම්භ කිරීම සඳහා සියැටල් ප්‍රාන්තය කරා සංක්‍රමණය වුණා. මේ විවාහයෙන් ඔවුන්ට දරුවන් තිදෙනෙකු ලැබුණා. එයට අමතරව ඔවුන් චීන ජාතික දැරියකව සිය දරුකමකට ද හදා වඩා ගත්තා. 




ජෙෆ්,  ඇමසන් සමාගමේ මුල්ම කාර්යාලය බවට පත් කර ගත්තේ සිය නිවසේ ගරාජයයි. ඔහු තම සමාගමට ගැළපෙන විවිධ නම් ගැන සිතුවත් අවසානයේ දකුණු ඇමරිකානු ගංගාවක් වූ ‛ඇමසන්’ යන්න ඒ සඳහා යොදාගැනීමට තීරණය කළා. මේ නමින් නිර්මාණය කළ ඇමසන් වෙළෙඳ ලාංඡනයේ  ඉංග්‍රීසි ‛ඒ’ අකුරත් ‛ඉසඩ්’ අකුරත් යාකරමින් ඊතලයක් ඇඳ තිබෙනවා. එයින් ඔහු අදහස් කළේ ඇමසන් වෙබ් අඩවියෙන් ඕනෑම දෙයක් (ඒ සිට ඉසඩ් දක්වා - A to Z) මිලට ගත හැකි බවයි. 



ඔහු ගරාජ කාර්යාලයේ සිටියදී මේසයක් ලෙස භාවිත කළේ ලීවලින් සෑදූ දොරක්. ඔහු මේ බව කිසි දිනක අමතක කළේ නෑ. තමා දවසින් දවස දියුණුව කරා පා තැබුවත් මේ මේසය ඔහු සමග ඉදිරියට ගමන් කළා. අද ද ඇමසන් කාර්යාලයේ ඇති සියලු මේස සකසා ඇත්තේ ලීවලින් තැනූ දොරක ආකෘතියක් සිහිවන ආකාරයෙනුයි. 


2003 වසරේ දී ඔහු ගමන් කළ හෙලිකොප්ටරය අනතුරකට ලක් වුණා. එයින්ඔහුට සිදු වූයේ සුළු තුවාලයක් පමණක් වුවත් ඔහු එයින් පසුව හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් යාම සහමුලින්ම නතර කළා. 


ඔබ බොහෝ දෙනෙක් ලෝක ප්‍රසිද්ධ ‛වොෂිංටන් පෝස්ට්’ පුවත් පත පිළිබඳ දන්නවා විය හැකියි. 2013 වසරේ දී ජෙෆ් මෙය ඇමරිකානු ඩොලර් මිලියන 250 කට මිලට ගත්තා. 



ජෙෆ් කුඩා කාලයේ පටන්ම අභ්‍යවකාශ චාරිකා ගැන සිහින මැවූ පුද්ගලයෙක්. මේ සිහිනය ඉටු කරගන්නට ඔහු ‛ඇමසන් ප්‍රයිම් එයාර්’ නමින් සමාගමක් ආරම්භ කළා. ඔහු එයින් බලාපොරොත්තු වන්නේ අභ්‍යවකාශ චාරිකා සඳහා වැයවූ මුදල් බොහෝ අඩු කොට වැඩි දෙනෙකුට එම අත්දැකීම ලබා දීමටයි. කෙසේ නමුත් ඇමරිකාවේ ෆෙඩරල් ගගන පරිපාලනය තවමත් මෙයට අනුමැතිය ලබා දී නැහැ. 


ජෙෆ් ලෝකයේ ලොකුම සල්ලිකාරයා වුනත් ඇතැම් මූල්‍ය ආයතන එය එකවර පිළිගන්නට කැමැත්තක් නැති බව පෙනෙනවා. ඇතමෙක් පවසන්නේ අද පවතින උද්ධමන අනුපාතය ආදිය පිළිබඳ සලකා බැලීමේ දී මේ තරම් වත්කමක් මෙයට වසර කිහිපයකට පෙර මයික්‍රොසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස් ට ද තිබුණු බවයි. කෙසේ නමුත් අනෙක් අය පවසන්නේ සිය ව්‍යාපාර තුළින් ඉදිරියට පැමිණ ලෝකයේ ධනවතා බවට පත්ව සිටින ජෙෆ් බෙසොස් හට එම ගෞරවය ලබා දෙන්නට කිසිවකු මැලි නොවිය යුතු බවයි.

(මේ ලිපිය ලියන කාලයේ ලෝකයේ ලොකුම සල්ලිකාරයා ජෙෆ් බෙසොස් වුවත් 2021 ආරම්භයේ දී මේ තත්වය වෙනස් වුණා. 2021 වෙද්දී ලෝකයේ ලොකුම සල්ලිකාරයා වුනේ ටෙස්ලා ආදී සමාගම් ගණනාවකට නායකත්වය දුන් එලන් මස්ක්. ඔහු ගැන ලිපියක් පහත ලින්ක් එකෙන් කියවන්න පුළුවන්.)

Thursday, January 11, 2018

හොල්මන් කරපු කාර් - World Famous Ghost Cars

ඇතැම්හු හොල්මන් විශ්වාස කරති. ඇතැම්හු එසේ නොවෙති. අනාදිමත් කාලයක සිටම මේ දෙපිරිසම සිටියහ. කෙසේ වෙතත් හොල්මන් ද ඉතිහාසය පුරාම නිදහසේ හොල්මන් කරගෙන පැමිණි බව පැහැදිලිය. මේ විසි එක් වැනි සියවසේ ද හොල්මන් පිළිබඳ කතා එසේම පවතී. හොල්මන් නව කතා, හොල්මන් චිත්‍රපට නිතර නිර්මාණය වේ. එසේ හෙයින් හොල්මන් කාර් සහ හොල්මන් අනතුරු ගැන කතා කිරීමේ වරදක් පෙනෙන්නේ නැත. මේ එවැනි ලෝක ප්‍රකට කතා කිහිපයකි.

පළමු ලෝක යුද්ධයෙන් උපන් හොල්මන් රථය



පළමු ලෝක යුද්ධය ගැන මේ වන වැඩි දෙනෙක් කතා නොකරන නිසා එය අමතකව ගිය යුද්ධයක් ලෙස බොහෝ දෙනෙක් සලකති. මේ යුද්ධයේ දී ඇමරිකානු සිවිල් යුද්ධයෙන් අහිමි වූ ජීවිත ගණනටත් වඩා වැඩි ගණනක් ප්‍රංශයට අහිමි විය. ඉතිහාසය හාරා අවුස්සන ඕනෑම අයෙකුට පළමු ලෝක යුද්ධයට ප්‍රධාන හේතුව ලෙස බොස්නියානු කැරලිකරුවන් විසින් 1914 ජූනි 28 වැනිදා ප්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් නම් නායක ආදිපාදවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම බව හමු වේ. කෙසේ නමුත් බොහෝ දෙනෙකු නොදන්නා කාරණය වන්නේ මේ නියක ආදිපාදවරයා එදිනම එම අවස්ථාවට පෙර ද එවැනිම ඝාතන ප්‍රයත්නයකට ලක් වී එයින් ජීවිතය ගලවාගෙන සිටි අයකු බවය. එපමණක් ද නොව ඔහු වෙඩි තබා ගැනීම්වලට මැදිව තුවාල ලබා සිටි බොහෝ දෙනෙක් ප්‍රතිකාර පිණිස සිය මෝටර් රථයෙන් රෝහල කරා රැගෙන යමින් සිටිය දී මෙම ඝාතනයට ලක් ව තිබුණු බවත් බොහෝ තැන්වල ලියැවුණු ඉතිහාස කරුණුවලින් මග හැරී තිබේ. ඔවුන් දෙදෙනා ඝාතනය වී තිබුණේ සිය ලිමෝ මෝටර් රථය ඉදිරිපිට සිටිය දී ය. ඔවුන්ගේ හිස සහ උගුර හානි වන පරිදි වෙඩි තබා තිබිණි. මෙම සිදුවීම පළමු ලෝක යුද්ධයට පමණක් නොව මෙම මෝටර් රථයට ද නරක ලෙස බලපෑවේය. මෙම මරණයෙන් පසු පළමු ලෝක යුද්ධය ඔස්සේ 1920 දශකය දක්වාම මෙම ලිමෝ රථය එකිනෙකට වෙනස් අයිතිකරුවන් පහළොස් දෙනෙකු පමණ භාවිත කොට තිබිණි. මේ කාලයේ මෙම මෝටර් රථය හදිසි අනතුරු හයකට මුහුණ පෑවේය. එම අනතුරුවලින් සිදු වූ මරණ සංඛ්‍යාව 13 කි. මෙම මෝටර් රථයේ ගමන් ගත් නායක ආදිපාදවරයා ඝාතනය නිසා ආරම්භ වුණු පළමු ලෝක යුද්ධයෙන් අහිමි වූ මිලියන 13ක ජීවිත සංඛ්‍යාව මෙයට ඇතුළුත් නොවේ. නායක ආදිපාදවරයාගෙන් පසු මෙම මෝටර් රථයේ හිමිකරු වූයේ ඔස්ට්‍රියාන හමුදා ජෙනරාල්වරයකු වූ පොටියෝරෙක් ය. ඔහු වියානා නුවර වීදියක මෙම මෝටර් රථය පදවාගෙන යද්දි හදිසියේ උමතු රෝගයකට පත් විය. ඔහු එය භාවිත කරද්දී හදිසි අනතුරු හතරකට මුහුණ දුන් අතර ඔහුගේ අතක් ද අහිමි විය. මෙහි ඊළඟ හිමිකරුවා වූයේ යුගෝස්ලාවියාවේ ආණ්ඩුකාරවරයෙකි. කෙසේ නමුත් මේ මෝටර් රථය අවාසනාවන්ත එකක් යැයි දැන ගත් ඔහු එය වහාම සිය මිතුරු ශල්‍ය වෛද්‍යවරයකුට විකුණා දැමුවේය. එම ශල්‍ය වෛද්‍යවරයා එයින් මාස හයකට පසු මෙම මෝටර් රථය අනතුරකට පත්වීමෙන් මිය ගියේය. ඉන් පසු මෙහි හිමිකරුවා වූ ජර්මානු හමුදාවේ කපිතාන්වරයකු පාරේ ගමන් කළ පදිකයකු බේරා ගැනීමට මෙය වෙනතකට හරවද්දී අනතුරකට ලක් ව මරණයට පත් වූයේය. 1926 වසරේ දී මෙම මෝටර් රථයේ ගමන් කළ තවත් කිහිප දෙනෙකුම මරණයට පත් වූහ. අවසානයේ එය මිලදී ගැනීමට කිසිවකු කැමැති නැති වූ නිසා එය වියානා නුවර යුද කෞතුකාගාරයේ තැන්පත් කරන ලදී. අද ද එය එහිදී දැක ගත හැකිය.

මෙහි අංක තහඩුව ද පුදුමාකාර එකක් විදියට සැලකේ. එහි අංකය සඳහන් වන්නේ AIII 118 ලෙසය. එය අර්ථ දක්වා ඇත්තේ මේ ආකාරයටය. A අකුරින් කියවෙන්නේ Armistice (ආමිස්ටස්) යන ජර්මානු වචනයයි. එහි තේරුම වන්නේ ‘ගිනි අවි නතර වීම‘ වැන්නකි. තවත් විදියකින් පැවසුවත් යුද්ධය අවසන් වීම යන්නය. ඉතිරි අංක අර්ථයක් ලැබෙන සේ පෙළගැස්වූ විට එය 11-11-18 ලෙස ලිවිය හැකිය. එය අර්ථ දක්වා ඇත්තේ 1918 නොවැම්බර් 11 ලෙසය. පළමු ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වූයේ එදිනය. එයින් කියවෙන්නේ පළමු ලෝක යුද්ධය ආරම්භ කරන්නට සාපයක් ලෙස තිබුණු මෝටර් රථයේ එය අවසන් වන දිනය ද කළින්ම සඳහන් කර තිබුණු බවය. 


මහා බ්‍රිතාන්‍යයේ හොල්මන් අනතුරු



මහා බ්‍රිතාන්‍යයේ ඒ 3 අධිවේගී මාර්ගය ප්‍රසිද්ධියට පත් වූයේ එක්තරා හොල්මන් මෝටර් රථයක් නිසාය. 2002 දෙසැම්බර් 11 වැනිදා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දුරකතන ඇමතුම් කිහිපයකින් දැනුම් දුන්නේ මෙම මාර්ගයේ මෝටර් රථයක් හදිසි අනතුරකට ලක්ව ඇති බවත් එහි ප්‍රධාන ලාම්පුවකින් විහිදෙන ආලෝකය දකින්නට ලැබෙන බවත්ය. වහා ක්‍රියාත්මක වූ පොලිසිය වහා එම ස්ථානයට පිටත්ව ගියහ. නමුත් ඔවුන් යද්දී එවැනි අනතුරක සේයාවක් හෝ දක්නට තිබුණේ නැත. කෙසේ නමුත් මෙයින් අධෛර්යයට පත් නොවුණු  පොලිසිය මෙම ප්‍රදේශය හොඳින් සෝදිසියට ලක් කළේය. එහි දී ඔවුන්ට හමු වූයේ මෙරුන් පැහැති වොක්සොල් ඇස්ට්‍රා රථයකි. එය ගලකට ඇද වැටී තිබුණු අතර නරක් වී ගිය මිනිස් සිරුරක් එහි තිබී හමු විය. මේ ඔස්සේ පරික්ෂණ පැවැත් වූ පොලිසිය සොයා ගත්තේ පුදුමාකාර පුවතකි. ඒ මෙම මෝටර් රථයේ ගමන් කළ තරුණයා මිය ගොස් තිබුණේ මෙයින් මාස පහකට පමණ පෙර දී බවය. ඒ හැරුණු විට මෙම ප්‍රදේශයේ සිදු වූ වෙනත් අනතුරක් පිළිබඳ සාධක ඔවුන්ට හමු වූයේ නැත.

පිටුපසට පනින හොල්මන් මෝටර් රථය

මේ හොල්මන් රථය ගැන ඇසෙන්නේ දකුණු අප්‍රිකාවෙනි. ඒ 2004 වසරය. එක් රාත්‍රියක දී හදිසියේ ස්වයංක්‍රීයව පණගැන්වුණු රෙනෝල්ට් මෙගාන් රථයක් කිසිදු රියැදුරකු හෝ නොමැතිව පසුපසට පනිමින් ගමන් කරන්නට පටන් ගත්තේය. මෙය හුදෙක් කටකතාවක් බවට පත් නොවූයේ මෙම සිදුවීම කිහිප දෙනෙකු විසින්ම දැක තිබුණු නිසාත්, එම සිදුවීම ප්‍රවෘත්තිවලින් ද ප්‍රචාරය වීමත්  නිසාය. මෙය දුටු පිරිස අතර පොලිස් නිලධරයන් දෙදෙනෙකු ද වූහ. ‛නිව්ස් 24’ නම් ප්‍රවෘත්ති නාලිකාව මේ පිළිබද රෙනොල්ට් මෝටර් රථ සමාගමින් විමසීමක් කළ විට ඔවුන් පවසා තිබුණේ එහි රියැදුරු බීමත්ව සිටින්නට ඇති බවය.  කෙසේ නමුත් එහි රියැදුරකු තබා යතුරුවත් නොතිබුණු බැව් පසුව කරන ලද පරීක්ෂණවලින් සොයා ගැනුණි. පසුව රෙනෝල්ට් සමාගමට එල්ල වූ චෝදනාව වූයේ මෙම මේ මෝටර් රථය පණගන්වන්නට විදුලිය ලැබෙන වයරය මලකඩ කෑමක් නිසා සිදු වූ ලුහුවත් වීමකින් මෙම අසාමාන්‍ය තත්වය ඇති වූ බවය. කෙසේ නමුත් ඒ පිළිබඳව ද තාක්ෂණික වශයෙන් පැහැදිලි කරන්නට රෙනෝල්ට් සමාගමට හැකියාවත් තිබුණේ නැත.


ජෝන් එෆ්. කෙනඩිගේ හොල්මන් රථය


ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපතිවරයෙක් වූ ජෝන් එෆ්. කෙනඩි භාවිත කළ මෝටර් රථය වූයේ විවිධ නවීකරණයන්ට ලක් කරන ලද ලින්කන් වර්ගයේ මෝටර් රථයකි. නාවික හමුදා නිල් පැහැයෙන් යුක්ත මෙයට ලබා දී තිබූ රහස් නාමය වූයේ SS-100-X ය.  මෙය බොහෝ නවීකරණයන්ට ලක් කොට තිබුණ ද වෙඩි නොවදින රථයක් වූයේ නැත. එනම් මෙහි ආරක්ෂිත බව බොහෝ පහළ තත්වයක තිබිණි. 1963 නොවැම්බර් 22 වැනිදා කෙනඩි ජනපතිවරයා ඝාතනයට ලක් වූයේ අවශ්‍ය වූ විටෙක වහලය ගළවා ඉවත් කළ හැකි ලෙස සකසා තිබූ මෙම ලින්කන් රථයේ ගමන් කරමින් සිටිය දී ය. කෙසේ නමුත් කෙනඩිගේ ඝාතනයෙන් පසුව මෙම රථය තවත් වසර අටක කාලයක් භාවිතයේ පැවතියේය. ‛හෙස් ඇන්ඩ් අයිසන්හාර්ට්’ නමැති සමාගම මෙම මෝටර් රථය මිලට ගෙන එහි ආරක්ෂිත බව සහ සවිමත් බව තවත් වැඩි දියුණු කළේ ය. මෙය බොහෝ වෙනස් කම්වලට ලක් කරන ලද්දේ මෙහි කෙනඩිගේ අවතාරය පවතින බවට පැතිර ගිය කටකතා නිසාවෙනි. වෙඩි නොවදින වීදුරු ද සවි කෙරිණි. හිටපු ඇමරිකානු ජනපතිවරයෙකු වූ ලින්කන් ජොන්සන් සිය භාවිතයට මෙම මෝටර් රථය ලබා ගත්තේය. කෙසේ නමුත් මෙහි පැවැති නාවික නිල් පැහැය නිසා කෙනඩි ඝාතන සිදුවීම සිහිපත් වේ යැයි සිතූ බැවින් ඔහු මෙහි පැහැය වෙනස් කොට කලු පැහැයට හැරවූයේ ය.  පසුව මෙම ජනපතිවරයාට වෙනත් රථයක් ලබා දීය මෙය සුළු රාජකාරි සඳහා භාවිතයට ගැනුණි. අවසානයේ 1978 වසරේ ඩියර්බොන් හි හෙන්රි ෆෝර්ඩ් කෞතුකාගාරයට මෙය යවනු ලැබිණි. කෙසේ නමුත් සෑම වසරකම නොවැම්බර් මාසයේ දී මේ මෝටර් රථය අසල කෙනඩි ජනපතිවරයා සිටින ආකාරය බොහෝ දෙනෙක් දුටු බවට කටකතා පැතිර ගොස් තිබේ.

නළුවකුට අයත් වූ හොල්මන් රථය



ජෙම්ස් ඩීන් යනු සුප්‍රකට ඇමරිකානු නළුවෙකි. ඔහු තරුණ පරපුර අතර ඉමහත් ජනප්‍රිය චරිතයක් විය. ඔහු මිය ගියේ ඔහුට අයත්ව තිබුණු Porsche 500 Spyder මෝටර් රථය අනතුරට පත්වීමෙනි. මෙම රථය The SS-100-X  නමින් ද හඳුන්වනු ලැබිණි. එයට ‛පුංචි තක්කඩියා’ වැනි සරල අරුතක් දිය හැකිය. ලෝකයේ සුප්‍රකට හොල්මන් මෝටර් රථ අතර මෙයට හිමි වන්නේ සුවිශේෂී තැනකි. ඒ මෙය තරම් කතාබහට ලක් වූ වෙනත් හොල්මන් රථයක් නොමැති තරම් නිසා ය. මෝටර් රථ ධාවන තරගවලට දැඩි ඇල්මක් දැක්වූ ජෙම්ස් ඩීන් අනතුරට ලක් වූයේ ද මෙම රථයෙන් තරගයකට සහභාගී වන්නට යමින් සිටි අවස්ථාවක දී ය. රථය පාලනය කර ගන්නට නොහැකිව අගලකට විසි වී ගොස් සිදු වූ අනතුරේ දී ජෙම්ස් ඩීන් මිය ගිය අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූහ. අනතුර සිදුවීමෙන් පසු ඩීන්ස්ගේ මිතුරකු මෙන්ම මෝටර් රථ නවීකරණය කරන්නකු ද වූ ජෝර්ජ් බැරිස් මෙහි අවශේෂ කොටස් රැගෙන ගොස් එහි කොටස් වෙනත් රියැදුරන්ට අළෙවි කළේය. ඔහු එහි ඇංජිමත්, ඇංජිම සවි කරන චැසියත් වෛද්‍යවරුන් දෙදෙනෙකුට අළෙවි කළේය. මෙම කොටස් සිය මෝටර් රථවලට සවි කර ගැනීමෙන් පසු එම මෝටර් රථ දෙකම දරුණු අනතුරුවලට මුහුණ දුන් අතර, එයින් එක් වෛද්‍යවරයකු මරණයට පත් වූ අතර අනෙක් දරුණු ලෙස තුවාල ලැබුවේය.


මෙයට හේතුව ජෙම්ස් ඩීන්ගේ සාපය මෙම රථවලට වැදීම යැයි විශ්වාස කළ බැරිස් තමා ළඟ තිබූ මෝටර් රථ බොඩි කොටස නවීකරණය කොට එය පොලිස් මුර සංචාරක රථයක් ලෙස භාවිතයට ගැනීම සඳහා අළෙවි කළේය. කෙසේ මුත් මෙය නිදහසේ පදවාගෙන යන්නට ඒ කිසිවකුටත් අවස්ථාවක් ලැබුණේ නැත. මෙය දිගින් දිගටම අනතුරුවලට ලක්වෙමින් ජීවිත කිහිපයක් බිලි ගත්තේ ය. කිහිප දෙනෙකුට දරුණු තුවාල සිදු විය. අවසානයේ පොඩි පට්ටම් වී ගිය රථයේ ශේෂ කොටස් නැවත බැරිස් වෙතම ලබා දෙන ලදී.  මෙය ට්‍රක් රථයක පිටුපස ට්‍රේලර් කොටසේ කාලයක් තිබී අභිරහස් ලෙස අතුරුදහන් විය. අද වන තුරු ඒවාට සිදුවූයේ කුමක්දැයි කිසිවකු දන්නේ නැත. 

Wednesday, January 3, 2018

ඒකාධිපතියකුට පවා මරා දැමිය නොහැකි වූ යුරෝපයේ ඉපැරණිතම භාෂාව - යුස්කාරා - Euskara, Europe Oldest Language

බැස්කේ නාවික නගරය 

‛යුස්කාරා’ යන වදන ඇතැම් විට ඔබ අසා තිබෙන්නට පුළුවන. බොහෝ විට අසා නැති වන්නට ද පුළුවන. යුස්කාරා යනු යුරෝපයේ ඉපැරණිතම භාෂාව වේ. ලෝකයේ එක් එක් රටවලට, එක් එක් කලාපවලට ආවේණික වූ ඉපැරණිතම භාෂාවන් තිබෙන මුත් යුස්කාරා බස පසුපස ඇත්තේ අපූර්ව වූ කතා පුවතකි. දැනුම සොයා යන්නවුන්ට මේ කතාව අපූර්වත්වයක අත්දැකීමක් එක් කරනු නො අනුමාන ය.

ලොවෙන් වියැකී යන්නට ආසන්නයේ ම ඇතැයි බොහෝ දෙනෙකු පවසන යුස්කාරා බස උතුරු ස්පාඤ්ඤයේ  නැවරේ  සහ උතුරු ස්පාඤ්ඤයත් නිරිත දිග ප්‍රංශය අතරේ ජීවත්වන බැස්කේ ජනයා අතර පමණක් භාවිත වන බසකි. මෙහි මූලාරම්භය පසුපස ඇත්තේ අභිරහසකි. මෙහි ආරම්භය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති අතර මෙයට පාදක වූ වෙනත් බසක් ද මේ කලාපයේ නො පවතී. වසර ගණනාවක් තිස්සේ භාෂා විද්‍යාඥයන් දුෂ්කර ගැටළුවකට පත් කළ එකම බස ද මෙය ම වේ.

උතුරු ස්පාඤ්ඤයේ ඇති නාවික නගරයක් වූ බිල්බාඕ හි පිහිටි බැස්කේ සරසවියේ බැස්කේ භාෂා ආයතනයේ මහාචාර්ය පෙලෝ සලාබුරු පවසන්නේ මෙම බස උපත ලද්දේ කොහිදැයි කිසිවකු නො දන්නා බවය. මෙය සොයා ගන්නට විද්වතුන් වසර ගණනාවක් තිස්සේ පර්යේෂණ පැවැත්වුව ද මෙතෙක් පිළිතුරක් සොයා ගැනීමට අපොහොසත් වී තිබේ.

බැස්කේ වැසියන් අතර මේ බස පිළිබඳ ව ඇත්තේ මහත් අභිමානයකි. බැස්කේ ජනගහනයෙන් ලක්ෂ හතක් පමණ, එනම් 35%ක් පමණ දෙනෙක් මෙම බස වර්තමානයේ  කතා කරති. කෙසේ නමුත් 1939 වසරේ සිට 1975 දක්වා ස්පාඤ්ඤය පාලනය කළ හමුදා ඒකාධිපතියා වූ ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ තරම් මේ බසට වෛර කළ වෙනත් පුද්ගලයකු සිටියේ නැත. ඔහු මේ බසට කෙතරම් වෛර කළේ ද යත්, මෙය කතා කිරීම සහමුලින්ම තහනම් කළේ ය.

කෙසේ නමුත් බැස්කේ වැසියන් මෙම බස අමතක කරන්නට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔවුහු මෙය හොර රහසේ කතා කළා පමණක් නොව සිය දරු මුනුබුරන්ට මෙය හොර රහසේ උගන්වා ඉදිරි පරපුර වෙනුවෙන් මෙය රැක ගන්නට ද කටයුතු කළහ. හැට සහ හැත්තෑව දශකවල කුඩා දැරියක ලෙස මෙම බස හොර රහසේ ඉගෙන ගත්, දැනට ගුරුවරියක වන කර්මෙලේ එරෙකැට්ෂෝ පවසන්නේ බිල්බාඕ හි දේවස්ථානයක් යට මාලයේ පැවැත්වූ රහස් පාසලක දී මෙම බස හැදැරූ බවය. මෙම පළාතේ ඇති සුප්‍රකට ගුගෙන්හෙයිම් කෞතුකාගාරය ඇත්තේ ද මෙම දේවස්ථානයේමය.

“භාෂාව කියන්නේ යම් තැනක පවතින අනන්‍යතාවක්. යමෙක් යම් තැනකින් යම් බසක් ඉවත් කරන්නේ නම්, ඒ බස නිසැකවම මිය යනවා. එදා සිටි ඒකාධිපතියාට අවශ්‍ය වුණේ මේ බස මරා දැමීමටයි” ඇය පවසන්නීය.

යුස්කාරා බස රහසේ ඉගැන්වූ ඉකස්ටෝලා පාසල 


වර්ෂ 1944 දී දෙමාපියන් පිරිසක් රහස් සංගමයක් සංවිධානය කොට ‛ඉකස්ටෝලා’ නමින් රහස් පාසලක් පිහිටුවා ගත්හ. 1970 වසර වන විට මෙම පාසලේ උගත් පිරිස හත්දහසකට වඩා වැඩි බව මහාචාර්ය සලාබුරු පවසයි. ඔහු ද මේ පාසලේ සිසුවකි. ඒකාධිපතිත්වය පැවැති සමයේ යුස්කාරා බස කතා කළේ හුදෙකලා නගරවල ජනයා  සහ පිරනීස් කඳු ආශ්‍රිතව ජීවත් වූ කඳුකර ජනයා පමණි. නගරබද කිසිවකු මෙම බස ප්‍රසිද්ධියේ කතා කළේ නැත. මෙම බස කතා කරන අය සිටී දැයි සොයා බැලීමට ඔත්තුකරුවන් පත් කොට තිබුණු අතර, එවැන්නකු පිළිබඳ දැන ගත් විගස ඒ බව පොලිසියට දැනුම් දෙනු ලැබිණි. එරෙකැට්ෂෝගේ මිත්තණිය ද මෙම බස කතා කිරීම නිසා පොලිසියේ අත්අඩංගුවට පත් වූ තැනැත්තියකි. ඇයව අත්අඩංගුවට ගෙන මෙම බස කතා කිරීමේ වරදට දඬුවමක් ලෙස දඩයක් ගැසුවා පමණක් නොව ඇයට නින්දා කරනු පිණිස ඇගේ හිස ද මුඩු කරනු ලැබිණි. මෙයින් බියට පත් එරෙකැට්ෂෝගේ මිත්තණිය ඉන් මතු යුස්කාරා බස කතා නො කළා පමණක් නොව එරෙකැට්ෂෝගේ පියාට එය ඉගැන්වුයේ ද නැත.

කෙසේ නමුත් මර්දනයට එරෙහි වර්ධනයක් ද මෙම වැසියන් අතර දක්නට හැකි විය. ඒකාධිපතිත්වය මෙම බස කෙතරම් මර්දනය කළ ද මෙම බස අහිමි වේ යැයි යන බිය නිසා වැඩිහිටියෝ කෙසේ හෝ හොර රහසේ මෙම බස කතා කරමින් එය රැකගන්නට හැකි සෑම උත්සාහයක්ම දැරූහ. වසර දහස් ගණනාවක් තිස්සේ සජීවීව පැවැති බසක් විනාශ කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒකාධිපතිත්වය නිමා වීමත් සමග නැවත යුස්කාරා බස කතා කිරීම වර්ධනය වන්නට පටන් ගත්තේය. මේ වන විට යුස්කාරා බසින් පුවත් පත් පවා ප්‍රකාශයට පත් වෙයි.

යුස්කාරා බසින් මුද්‍රණය වන පුවත් පත්


ස්පාඤ්ඤයේ බැස්කේ පළාතට අයත් එරෙන්ටරියා නගරයේ පිහිටි ඉපැරණි ගල් ලෙනක්, ලෙන් විද්‍යාඥයන්ගේ අවධානයට යොමු විය. මෙහි වසර 14,000 කට පෙර අඳින ලද ලෙන් සිතුවම් රැසක් ඇති ස්ථානයකි. මෙම පළාතේ ඇති වෙනත් ප්‍රාග් ඓතිහාසික ලෙන්වල මිනිසුන් වාසය කිරීම පටන් ගෙන ඇත්තේ අදින් වසර 9,000 කට පමණ පෙර යැයි පැවසේ.

ඉපැරණි ලෙන් සිතුවම් 


“මේ ලෙන්වල මිනිසුන් කතා කළ බස කුමක්දැයි අප දන්නේ නැහැ. නමුත් අප දරන අදහසට පරිබාහිර වෙනත් මතයක් නොමැති නිසා යුස්කාරා බස සහ මොවුන් භාවිත කළ බස අතර යම් සබඳතාවක් ඇතැයි අනුමාන කරන්නට අපට සිදු වෙනවා.“ යැයි මහාචාර්ය සලාබුරු පවසයි.

“යුරෝපියානු භාෂාවන් ඇති වූයේ පෙරදිග සිට යුරෝපය කරා අදින් වසර 3,500කට පමණ පෙර ජන සංක්‍රමණ සිදුවෙද්දී ඔවුන් සමග පැමිණි විවිධ භාෂාවන්ගේ ආභාෂයෙන්. නමුත් යුස්කාරා බසට ඇත්තේ මෙයට වඩා වෙනස් උපතක්. එයට පෙරදිග සමග සම්බන්ධයක් පවතින බවට කිසිදු සලකුණක් නැහැ. වෙනත් කිසිම බසකට නෑකම් නොකියන දැනට සජීවීව පවතින එකම බස වන්නේ යුස්කාරා පමණයි” යනුවෙන් මහාචාර්ය සලාබුරු පවසයි.