පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 30, 2019

උපන් ලපය - Taliko, A Short Story by Nodar Dumbadze


මම උපන් ගම ඇහැලියගොඩ. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන්නට කලින් අපේ ගමේ ලීලාවතී විජේනායක අනුස්මරණ ගොඩනැගිල්ලේ වසරකට වරක් සෝවියට් පොත් ප්‍රදර්ශනයක් පැවැත්වුණා. පොතක් කීපයක් මිලට ගත් විට සෝවියට් දේශය ගැන ලියැවුණු පොත් පත් සඟරා කිහිපයකුත් නොමිලේම ලබා ගන්න පුළුවන්. මෙසේ ලැබුණු දේවල් අතර ‛ස්පුට්නික්’ සඟරා කිහිපයකුත් තිබුණා. මේ එක සඟරාවක ‛තාලිකෝ’ නමින් කෙටිකතාවක් තිබුණා. මෙය ලියා තිබුණේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් වුණු ජෝර්ජියාවේ ලේඛකයකු වූ නෝඩාර් ඩම්බඩ්සේ. 

නෝඩාර් ඩම්බඩ්සේ


විකිපීඩියාවේ සඳහන් වෙන අන්දමට ඔහු ඉපදිලා තියෙන්නේ 1928 ජූලි 14 වැනිදා ජෝර්ජියාවේ ට්බිලිසි කියන පළාතේ. 1984 සැප්තැම්බර් 4 වැනිදා ඔහු මිය ගිහින් තියෙනවා. ට්බිලිසි රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පුවත්පත් කලාවේදියෙක් සහ නව කතාකරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත් ව සිටියා. ඔහු නවකතා කෙටිකතා සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය කොට තිබෙනවා. කොහොම හරි මේ ‛තාලිකෝ’ කෙටි කතාව මම කාන්තා පුවත්පතක් වෙනුවෙන් පරිවර්තනය කළා. එය 1992 ජූලි 15 වැනිදා පළ වුණා. ඒ පුවත්පතේ පිටුවකට මෙය කැටි කරන්න එහි සංස්කාරවරයා මෙය කපා කොටා සංක්ෂිප්ත කොට තිබුණා. මේ කෙටිකතාව මට බ්ලොග් එකට නැවත ලියන්න හිතුනත්, සම්පූර්ණ මුල් කතාව සොයා ගන්න හැටියක් තිබුණේ නැහැ. උස්බෙකිස්තාන් බසින් මේ  කතාව සොයා ගත්තත්, (මේ තියෙන්නේ උස්බෙකිස්තාන් කතාව) ඒ බස ගැන නොදන්නා නිසා එයින් ප්‍රයෝජනයක් වුණේ නැහැ. එය ගූගල් පරිවර්තකයෙන් ඉංග්‍රීසි බසට පෙරළා ගත්තත් එය නිවැරදි පරිවර්තනයක් නොවෙන බව පෙනෙනවා. කොහොම වුනත්, අවසානයේ මා සිතුවා සංක්ෂිප්ත කළ කෙටිකතාව හෝ බ්ලොග් එකට ලියන්න. මේ තියෙන්න ඒ කතාවයි.



“තාලිකෝ, ඔයාගේ කලිසම ටිකක් පාත් කරන්නකෝ.”

මම පැවසූයෙමි.

“කලිසම!”

ඇය පුදුමයෙන් මෙන් ඇසුවාය. ඇය මෙන්ම ඇගේ යෙහෙළිය ට්සිලායා ද මගේ ඉල්ලීමෙන් වික්ෂිප්ත වූවාය.

“මම කලිසම පාත් කරන්නේ මොකටද මෝඩයෝ?”

තාලිකෝ සිනහවෙමින් ඇසුවාය.

“මට ඔයාගේ උපන් ලපය බලන්න ඕනෑ.”

මම පිළිතුරු දුනිමි.

“මොන උපන් ලපේද?”

“ඔයාගේ බුරියට පහළින් දකුණු අත පැත්තේ තියෙන්නේ.”

කුඩා රතු කැටයක පැහැය ගත් මෑ ඇටයක් වැනි සිය සිය සුන්දර උපන් ලපය තාලිකෝ පෙන්වූවාය.

“මේ උපන් ලපේ එතනට වඩා මෙතන තිබුණා නම් හරි ලස්සනයි.”

තාලිකෝ සිය කම්මුල පෙන්වමින් පවසා, දෑත් අතරින් හිස පහත් කොට කොලුවකු විලස දියට පැන පිහිනා ගියාය.

ඒ සිදුවීමෙන් වසර හතළිහක් ගෙවී ගියේය.

මම වසරක් චියාගවුරි පාසලේ කනිෂ්ඨ පංතියේ ඉගෙනුම ලබා පසුව මගේ මවගේ ඥාතීන් වෙසෙන සුඛුමි ගමට ගියෙමි.  ඉන් පසු මම කිහිප වරක්ම චියාගවුරි වෙත පැමිණිය ද මට තාලිකෝ හමු වූයේ නැත. ඇය ඉතා රූමත් බවත්, රූ සපුවෙන් ඇයට සම කළ හැකි කිසිවෙක් අවට කිසිදු ගමක නොමැති බවත් පමණක් මට දැනගන්නට ලැබිණි.

ලේඛකයකු ලෙස කිසිදු ප්‍රසිද්ධියක් නොමැතිව, වසර හතළිහකට පසු මා අද ගමට පැමිණියෙමි. ඒ මගේ මිත්තණියගේ මළගමට සහභාගී වනු පිණිසය.

කෙසේ නමුත් ගමේ උදවිය, මගේ මිත්තණියට අවසන් ගෞරව දක්වන්නට උත්සුක වනවාට වඩා උනන්දු වූයේ මාගේ ආ ගිය තොරතුරු දැන ගැනීමට බව මට පෙනුණි. ඔවුන් මග හැර නැවුම් හුස්මක් ගැනීමට මම නිවසින් මදක් පිටතට පැමිණියෙමි. අද ද කිසිදු වෙනසක් නොමැතිව ගළා යන චර්ට්චිකාලා ගඟ ඔස්සේ මම පහළට ඇවිද ගියෙමි.

සැඳෑවේදී මගේ ඥාතීන්, අසල්වැසියන් අවමංගල භෝජනයට එකතු වන්නට පෙර මම මුළුතැන්ගෙයට වැදුණෙමි.

මුළුතැන්ගෙයෙහි බොහෝ දෙනෙක් ආහාර පිළියෙල කිරීමෙහි යුහුසුළුව සිටියහ.

මෙසේ සිටින අතරතුරේ යමෙක් මා අමතනු ඇසුණි. ඒ ගැහැනු කටහඬකි.

“සුබ සැන්දෑවක් වේවා නෝඩාර්!”

මම ඒ හඬ ආ දෙසට හැරුණෙමි. මා ඉදිරියේ සිටියේ සුන්දර ගැහැනියකි. ඉතා කදිම දුඹුරු පැහැ දෙනෙත්, රන්වන් කෙහෙරැළි ඒ සුන්දරත්වය තීව්‍ර කළේය. ඇගේ මුහුණ උණුසුම් හසරැල්ලකින් ඔපවත්ව තිබිණි.

“සුබ සැන්දෑවක් වේවා!”

මම ද එසේ පිළිතුරු දුන්නත්, මට මහත් අපහසු ස්වභාවයක් දැනුණි. ඈ කවුදැයි නිශ්චිතව හඳුනා නොගත්ත ද, මා ඇය දන්නා බව නම් මට හැඟුණි.

“ඇයි ඔබට මෙයාව අඳුනගන්න බැරි වුණාද? මේ තමයි අපේ තාලිකෝ!”

මගේ මිතුරකු වූ ජියා උරහිසට බරවෙමින් පැවසූවේය.

“දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ! තාලිකෝ!”

මට කෑගැසිණි. සැබවින්ම ඒ ඇයම වූවාය. ඒ දෙනෙත්, ඇසිපිය, නිකට, ඍජු නැහැය, නළල් තලය, සුදු දත් දෙපෙළ වටකොට ගත් රතු දෙතොල් . . . . . .
උණුසුම් හැඟීමකින් මගේ හදවත දිය වී යනවා සේ මට දැනුණි.

“ඉතින් කොහොමද තාලිකෝ?”

ඇගේ අවසරයක් නොමැතිවම, මගේ ලෙයිනු සැදුණු, මගේම ඥාතියකු සේ හඟිමින් දෑත් විහිදුවා මම ඇයව තරයේ වැළැඳ ගතිමි. ඇය හා ගත කළ මගේ බාල කාලය තවත් වරක් මා අබියස මැවුණා මෙන් මට දැනුණි.

“තාලිකෝ! මගෙ තාලිකෝ!” 

මම නැවත නැවතත් පැවසීමි. මගේ දෙනෙතින් කඳුළු වැගිරෙනු මට දැනුණි. ඒවා නවත්වා ගත්තේ මහත් අසීරුවෙනි.

“ඉතින් කොහොමද?”
මගේ දෙනෙත් ඇගෙන් ඉවතට ගන්නට මට නොහැකි විය. ඇගේ දෙකොපුල් රත් පැහැ ගැන් වී තිබිණි. ඒ උදුනේ උණුසුමටද. නැතහොත් මගේ අනපේක්ෂිත වැළැඳගැනීම නිසාදැයි මම නොදත්තෙමි.

“ඔව් මම හොඳින් ඉන්නවා. ඉතින් නෝඩාර් ඔබ කොහොමද?”

“මම ඔබව අවුරුදු හතළිහකින් පස්සේ දැක්කේ.”

“ඔව් මම දන්නවා.”

ඇය දෙනෙත් පහළට නැඹුරු කොට පිළිතුරු දුන්නාය.

“ඔබ විවාහ වෙලාය කියන කතාව ඇත්තද?”

“ඔව් හුඟක් කල්.”

“දරුවෝ කී දෙනෙක් ඉන්නවද?”

“හත් දෙනයි!”

“කීයක්?”

“හත්දෙනයි. ඇයි ඔබ පුදුමෙන් වගේ අහන්නේ?. මට මුනුබුරෙකුත් ඉන්නවා. නම බාටා. අවුරුදු හතරයි.”

“ඒකත් එහෙමද? හොඳයි අද මම ඔබේ ප්‍රීතිමත් පවුල් ජීවිතේ කඩා දමන්නයි යන්නේ.” 

කවටකමක් වුවත්, මම ඇයට තර්ජනාත්මක ලෙස පැවසීමි.

“මොකක්?”

ඇය විස්මයෙන් ඇසුවාය.

“ඒක කරන්නේ මෙහෙමයි. ඔබේ පෙකණියට යටින් දකුණු අත පැත්තේ තියෙන උපන් ලපේ ගැන අද මම ඔබේ සැමියාට කියනවා. එතකොට ඔබේ පවුල් ජීවිතේ ඉවරෙටම ඉවරයි . . .!”

“අයියෝ, මට පිස්සු හැදෙයි. ඔබ කොහොමද මගෙ පෙකණියට යටින් තියෙන උපන් ලපේ ගැන දන්නේ?”

“ඔබට චර්ට්චිකාලා ගඟේ අපි නාපු කාලේ මතක නැද්ද?”

තාලිකෝ බොහෝ වේලාවක් නිහඬව සිටියාය. පසුව අමිහිරි බවක් මුසු වී හඬකින්,

“මගේ සැමියා, අවිඩිඩෝ කවදාවත්, එකම එක සැරයක්වත් මේ උපන් ලපේ දැකලා නැහැ.”

යි පැවසුවාය. මට මගේ දෙසවන් අදහා ගන්නට නොහැකි මෙන් මෙන් දැනුණි. මගේ උගුර කට වියළි ගියේය.

“මොකක්ද ඔබ කිව්වේ?”

“මගේ මහළු සැමියා කවදාවත් මගේ උපන් ලපේ දැකලා නැහැ!”

ඇය එවර එය පැවසූයේ සිනහවෙමිනි.

සිදුවීම එතැනින් අවසන් වුවත්, නව කතාකරුවකු ලෙස මම කතාවේ ඉතිරිය මෙසේ නිර්මාණය කළෙමි.

“එදා රාත්‍රියේ අවුල් වූ සිතකින් නිවසට පැමිණි තාලිකෝ දැවයෙන් තැනූ යහනෙහි වැතිර වහලය දෙස නිසොල්මන්ව බලා සිටියාය. මැදියම් රැය එළැඹෙත්ම වෙහෙසව නමුත් මහත් සතුටකින් යුතුව ඇගේ සැමියා කුටිය තුළට පැමිණියේය. ඔහු සිය බිරිඳගේ පසෙකින් සෙමින් වැතිරුණේය.

“ඔයා නිදිද? පොඩ්ඩක් මේ පැත්තට හැරෙන්නකෝ” 

ඔහු තාලිකෝගේ කණට කෙඳිරුවේය. තාලිකෝ සිය සැමියා දෙසට හැරුණාය.

“තාලිකෝ, ඔයාගේ බුරියට යටින් දකුණු අත පැත්තේ තියෙන ලස්සන උපන් ලපය මට පෙන්නන්නකෝ.”

තාලිකෝට හීන් දාඩිය දැම්මේය.

“අවිඩිඩෝ කවුද ඔයාට මේ උපන් ලපේ ගැන කිව්වේ?”

“අපේ මුණුබුරා නේ කිව්වේ. එයාගේ බුරියට යටිනුත් රතුපාට උපන් ලපයක් තියෙනවා. මම ඒක දැක්කා. එතකොට බාටා කියනවා ආච්චිගෙත් මේ වගේම උපන් ලපයක් තියෙනවා කියලා.”

තාලිකෝ ගැඹුරු හුස්මක් ගත්තාය. මොහොතක් නිසොල්මන්ව සිට සිය සැමියා වැළඳගෙන හඬන්නට පටන් ගත්තාය.

“මේ මොකද? මොකක් වෙලාද? ඇයි මේ අඬන්නේ?”

අවිඩිඩෝගේ සිත කාන්සාවකින් පිරී ගියේය. ඔහු සිය බිරිඳ සනසන්නට උත්සාහ කළේය. තමා වැළපෙනුයේ මන්දැයි විස්තර කරන්නට තාලිකෝට හැකියාවක් තිබුණේ නැත. ඇය වැළපෙනුයේ මන්දැයි අවිඩිඩෝට ද සිතා ගන්නට හැකියාවක් තිබුණේ නැත. ”





Tuesday, May 28, 2019

අපටත් මෙහෙම නායකයෙක් හිටියා නම් හෙවත් නායකයන් වූ සරල මිනිස්සු

නායකයෙක් කියන්නේ කවුද? නායකයෙක් කියන්නේ තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් තමන්ගේ අනුගාමිකයන්ට ද  නිවැරදි මාර්ගයේ, නිවැරදි විදියට ගමන් කරන්න පෙන්වා දෙන කෙනෙක්. අපේ රටේ නායකයන් සහ ලෝකයේ නායකයන් දෙස බලද්දි මේ ආදර්ශය ලබා දෙන කී දෙනෙක් ඉන්නවාද කියා මඳක් නැවතී සිතා බැලිය යුතු කාලය එළැඹ තියෙනවා. මෙසේ සිය අනුගාමිකයන්ට නිවැරදි ආදර්ශයක් ලබා නොදෙන නායකයන් අතරේ සිය ජීවිත ඉතා සරලව, නිවැරදිව ගෙවමින් ලෝකයට ආදර්ශයක් වූ නායකයන් අතලොස්සක් ද දකින්න පුළුවන්. සිටින්නේ අතලොස්සක් වුවත්, ඔවුන් ගැන දහසක් දේ කතා කරන්න පුළුවන්. ඒ දහසක් දේ අතරින් පිටුවකට කැටි කරගන්න පුළුවන් ස්වල්පයක් හෝ මෙසේ කතා කරන්න ලැබීමත් වාසනාවක්. 

උරුගුවේ හිටපු ජනපති ජෝසේ මුජිකා


උරුගුවේ හිටපු ජනපති ජෝසේ මුජිකා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලෝකයේ සිටි ‛දුප්පත්ම ජනපති’ හැටියටයි. එහෙම කියන්න හොඳ හේතුවක් තියෙනවා. ජෝසේ මුජිකා කියන්නේ උරුගුවේ රාජ්‍යයේ තිබූ වාමාංශික විමුක්ති සංවිධානයක් වුණු ‛ටුපුමාරොස්’ ගරිල්ලා සංවිධානයේ හිටි සටන්කරුවෙක්. ඒ 1960 සහ 1970 දශකවල. මේ සටන්වලදී කිහිප වතාවක්ම වෙඩි වැදීම්වලට ලක් වූ ඔහු දරුණු තත්වයන් යටතේ වසර 14 ක් සිරගතව සිටියා. කෙසේ වෙතත් 2009 වසරේ ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනපති ලෙස තේරී පත්වීමෙන් පසු සිය වැටුපෙන් 90%ක්ම පුණ්‍යායතනවලට පරිත්‍යාග කළා. සැප පහසු ජනපති මන්දිරය ප්‍රතික්ෂේප කළ ඔහු බිරිඳ සමග ජීවත් වන්නට තෝරා ගත්තේ සිය ගොවිපළේ ඇති කුඩා නිවසයි. මේ කාලය තුළ ඔහුට තිබූ එකම වත්කම වූයේ ෆොක්ස්වැගන් බීට්ල් රථයක් පමණයි. ඔහු ජනපතිව සිටි කාලයේ ලෝකයේ නායකයන් පොදු ජනතාවගේ මුදලින් සැප විඳින ආකාරය නිර්දය ලෙස විවේචනයට ලක් කළා.

මලාවි රාජ්‍යයේ හිටපු ජනපතිනි ජොයිස් බන්ඩා



ජොයිස් බන්ඩා කියන්නේ මලාවි කියන අප්‍රිකානු රාජ්‍යයේ පළමු ජනපතිවරියයි. ඇය ජනපති තනතුරේ වැඩකටයුතු ආරම්භ කිරීමත් සමග ඇයගේ පරිහරණය සඳහා වෙන්ව තිබූ ජෙට් යානය සහ පරිවාර මර්සිඩිස් රථ 60 විකුණා දැමුවා. ඒ සිය රටෙහි පරිහානියට පත්ව තිබූ ආර්ථිකය යළි ගොඩ ගැනීමට දායක වීමක් හැටියටයි. එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තු සඳහන් කළේ ඇය මේවා විකිණීමෙන් ලබා ගත් ආදායමෙන් මිලියනයකට අධික ජනගහනයක කුසගිනි නිවන්නට හැකි වූ බවයි.



නේපාල හිටපු අගමැති සුෂිල් කොයිරාල



1939 උපන් සුෂිල් කොයිරාල කියන්නේ නේපාලයේ 37 වැනි අගමැතිවරයායි. ඔහු 2014 පෙබරවාරි මාසයේ සිට 2015 ඔක්තෝබර් මාසය දක්වා එරට අගමැති තනතුරේ සිටියා. නේපාලය කියන්නේ දියුණු රටක් නොවුනත් අපේ රටේ වගේම එහේ දේශපාලනඥයින් බොහෝ දෙනෙක් මහ ධනවතුන්. නමුත් අගමැතිවරයා ලෙස සුෂිල් කොයිරාල සතුව තිබූ එකම වත්කම වූයේ ජංගම දුරකතන තුනක් පමණක් බව වාර්තා වෙනවා. ඒ හැරුණු කොට ඔහුගේ නමට ඇති කිසිදු දේපළක් නේපාලයේ නොමැති බවයි කියැවෙන්නේ. මෙයින් එකක් ඇපල් අයිෆෝනයක් වන අතර තවත් එකක් අක්‍රියාකාරී තත්වයේ පවතිනවා. ඔහු අග්‍රාමාත්‍ය නිල නිවසට යන්නට පෙර සිටියේ කුළී නිවසක බවත්, නගරයට අගනුවරට යන්නට සිදුවන සෑම විටකම හෝටල් සඳහා අධික මුදලක් වැය නොකොට, නගරබදව ජීවත් වූ සිය සොයුරාගේ කුඩා නිවසේ නතර වී සිටින්නට පියවර ගෙන තිබූ බව බී.බී.සී. පුවත් සේවය පවසනවා.

නෙදර්ලන්ත අගමැති මාර්ක් රුට්ටේ




මාර්ක් රුට්ටේ කියන්නේ වර්තමාන නෙදර්ලන්ත අගමැතිවරයා.  මුල් කාලයේ දේශපාලනයට පැමිණෙන්නන්ට අදහසක් නොතිබුණු ඔහු අගමැතිවරයා වන්නට පෙර වසර 10 ක්ම ගත කළේ කර්මාන්ත අංශයේ. කෙසේ වෙතත් මෑතකදී ඔහු ලෝකයේ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඒ ඔහු සිය රාජකාරිය තුළ දී පෙන්වා ඇති නිහතමානී ක්‍රියාවන් නිසයි. පසුගිය වසරේ ජූනි 4 වැනිදා නෙදර්ලන්ත පාර්ලිමේන්තු මැඳුරේ දී ඔහු පානය කරමින් සිටි කෝපි කෝප්පයෙන් ස්වල්පයක් බිමට වැටුණා. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී නායකයෙක් පමණක් නොව කාර්යාලයක සේවය කරන කෙනෙකු පවා එහි කම්කරු සේවකයකු අමතා එය පිරිසුදු කරන මෙන් ඉල්ලා සිටීමයි. නමුත් නෙදර්ලන්ත අගමැතිවරයා තමා අතින් සිදු වූ වරද පිළිගනිමින්, තමා පෞද්ගලිකවම එය පිරිසුදු කරන්නට ඉදිරිපත් වුණා. මෙය ලෝකයේ සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය වීමත් සමග සිය රටේ ජනතාවගෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන්ම ඔහුට පැසසුම් ගළා ආවා. ඔහුගේ සරල බව පෙන්වන තවත් ක්‍රියාවක් වන්නේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන ආකාරයයි. ඔහු බොහෝ විට පැමිණෙන්නේ සිය පාපැදියෙන්. ලෝකයේ ඇතැම් රටවල පාපැදියෙන් ගමන් කරන දේශපාලුවන් වටා ආරක්ෂකයන් සහ ආරක්ෂක රථ බොහොමයක් තිබුණත්, නෙදර්ලන්ත අගමැතිවරයා වටා මේ කිසිවක් දකින්නට නැහැ.




නවසීලන්ත කාන්තා කටයුතු ඇමතිනී ජූලි ඈන් ජෙන්ටර්



ජූලි ඈන් ජෙන්ටර් කියන්නේ ඇමරිකානු උපතක් ඇති නවසීලන්ත ජාතික දේශපාලඥවරියක්. පසුගිය වසරේ දී ඇය පිළිබඳ වාර්තා වුණු පුවතකින් කියැවුණේ දේශපාලඥවරියක ලෙස ඇය පෙන්වා ඇති සරලභාවයයි. සාමාන්‍යයෙන් අප රටේ වුවත් ඇතැම් අවස්ථාවලදී සිය ගමන් බිමන් සඳහා  දේශපාලඥයන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පවා රජයේ යාන වාහන භාවිත කරන අවස්ථාවන් දකින්නට ලැබෙනවා. නමුත් නවසීලන්ත කාන්තා ඇමතිනිය සිය ප්‍රථම දරු උපත සඳහා රෝහලට පිටත්ව ගොස් තිබුණේ සිය පාපැදියෙන්. මේ පුවත ලොව පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියා. ඇය සිය ප්‍රථම දරු උපත සඳහා තෝරා ගෙන තිබුණේ ද ඕක්ලන්ඩ් රජයේ රෝහල වූ අතර එහිදී ඇය දියණියක බිහි කළා.


වර්තමාන පාප් වහන්සේ




කතෝලික සභාවේ වර්තමාන නායකත්වය දරණ ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ද ලෝකයේ සරලතම නායකයෙක් ලෙස පිළිගැනෙනවා. අනෙකුත් නායකයන් පිළිබඳ සලකා බලන නිර්වචනයෙන් පාප් වහන්සේ දේශපාලන නායකයකු ලෙස නොසැලකෙන්නේ වුවත්, එතුමා ලෝකයේ සෙසු නායකයන් අතර අතිශය ප්‍රබල චරිතයක් බව අමුතවෙන් කිව යුතු නැහැ. ‛ෆ්‍රාන්සිස්’ යන පූජක නාමය දරන්නට පෙරාතුව හෝර්හේ මාරියෝ බෙර්ගොග්ලියෝ නම් වූ එතුමාගේ නමට වාර්ෂික ආදායමක් නැති බවයි පැවසෙන්නේ. මෙතෙක් වතිකානයේ නායකත්වයට පත් පාප්වරුන් අතරේ මෙතුමා විප්ලවීය චරිතයක් ලෙස මතුව තිබෙනවා. පාප් වහන්සේලාට හිමි මන්දිරයක් තිබිය දී එතුමා ජීවත්වන්නට ඉතා සරල නිවසක් තෝරා ගෙන තිබෙනවා. මිලෙන් අඩු, සැරසිලිවලින් තොර ඇඳුමක් තෝරාගෙන ඇති එතුමා කිතුනුවන්ට නිතරම ලබා දෙන ආදර්ශය නම් උදව් අවශ්‍ය දුප්පතුන්ට නිතරම පිහිට වන ලෙසයි.



Friday, May 24, 2019

හදවතක් නොමැතිව මාස හතරක් ජීවත් වූ ඩි’සානා සිමොන්ස් - D'Zhana Simmons, lived 4 months with no heart



ඇතැමුන්ගේ ජීවිත වාසනාවන්තය. ඇතැම්හු සුවසේ ඉපිද සැපසේ ජීවත් වෙති. නමුත් එසේ නොවන අය ද සිටිති. දැනට විසි පස් වැනි වියෙහි පසුවන ඩි’සානා සිමොන්ස් ද එවැන්නියකි. දැනට වසර 11 කට පමණ පෙර ඇය පිළිබඳ ලෝකයා කතා කරන්නට පටන් ගත්තේ අන් හේතුවක් නිසා නොව ඇය හදවතක් නොමැතිව මාස හතරක කාලයක් ජීවත් වූ නිසාය. මේ ඇගේ කතාවය.

ඩි’සානා ද සාමාන්‍ය දැරියක වූවාය. ඇය ද ගත කරන්නට පටන් ගත්තේ සාමාන්‍ය ජීවිතයකි. කෙසේ නමුත් වැඩි දවසක් ගත වන්නට මත්තෙන් ඇයට යම් යම් ශාරීරික අපහසුතාවන් දැනෙන්නට පටන් ගත්තේය. එවැනි තත්වයන් ඇය සිය මිතුරු මිතුරියන්ගෙන් දුටුවේ නැත. අවසානයේ දී වෛද්‍ය පරීක්ෂණ මගින් ඇය දැනගත්තේ තමන් කිසිදාක නොසිතූ ආකාරයේ ශාරීරික ආබාධයකට ලක්ව ඇති බවය.




එය විරල මෙන්ම ඉතා බරපතළ තත්වයක් විය. හදවත සම්බන්ධව පැන නැගුණු එම ගැටළු තත්වය හඳුන්වනු ලබන්නේ ‛කාඩියෝමයෝපති’ (cardiomyopathy) නමිනි. සිංහල බසින් එය හඳුන්වන්නට උත්සාහ කළහොත් ‛හෘත් පේශියේ කාලික රෝග තත්වය’ ලෙස සඳහන් කළ හැකිය. මෙහිදී සිදුවන්නේ හෘදය වස්තුව ප්‍රමාණයෙන් විශාල වීම වන අතර එහිදී එය හෘදය දුර්වල තත්වයට පත් වී රුධිර සංසරණය අඩාල වෙයි.

වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ ඇයට අනිවාර්යයෙන්ම නව හදවතක් බද්ධ කළ යුතු බවය. එසේ නැතහොත් ඇය නිසැක ලෙස මිය යන බැව් වෛද්‍යවරු පැවසූහ. ඇගේ වාසනාවට මේ රෝගී තත්වය මතු වී මාස තුනක් ඇතුළත ඇයට නව හදවතක් හිමි විය. නව හදවත් ඇයට බද්ධ කෙරිණි. නමුත් රෝගී තත්වයේ වෙනසක් සිදු වූයේ නැත. ඒ හදවත බද්ධ කිරීමත් සමග තත්වය තවත් දරුණු වූ අතර හදවත මගින් රුධිරය සංසරණය වීම ඇනහිටින තත්වයටම පත් විය. එම හදවත ඇගේ සිරුරේ තිබීම ඇයව ඉතා ඉක්මනින් මරණය කරා රැගෙන යන්නක් බැව් දැනගත් වෛද්‍යවරු එය වහා සිරුරෙන් ඉවත් කරන්නට තීරණය කළහ.




මෙහිදී පැන නැගුණු ගැටළුව වූයේ හදවත ඉවත් කළ සැනින් ඇයට ගැළපෙන තවත් නව හදවතක් බද්ධ කිරීම අවශ්‍ය වූ නමුත් නව හදවත් ප්‍රදානය කරන්නෙක් ඒ අවස්ථාවේදී සොයා ගන්නට හැකියාවක් නොතිබීමය. (හදිසි අනතුරක් වැනි හේතුවක් නිසා යම් පුද්ගලයකු ජීවත් කරවන්නට හැකියාවක් නොමැති නම් එවැනි පුද්ගලයන්ගෙන් ශරීර අවයව ජීවත්වන පුද්ගලයන් වෙත ලබා දීම සිදු වේ). තවත් ගැටළුවක් වූයේ හදවත අකර්මණ්‍ය වීමට අමතරව ඇය වකුගඩු අකර්මණ්‍ය වීමකින් සහ අන්ත්‍රවල රුධිරය වහනය වීමකින් ද පෙලීමය.

මේ අවස්ථාවේ දී වෛද්‍යවරුන් හමුවේ තිබුණේ එකම එක විසඳුමක් පමණි. ඒ ඇගේ හදවත වෙනුවට කෘත්‍රිම රුධිර සංසරණ උපකරණයක් යොදා ගැනීමය. මෙය තාවකාලික විසඳුමක් වුවත් අවසථාවේ හැටියට ඒ හැර වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයේ හෝ තිබුණේ නැත. කෙසේ නමුත් එහි ද ගැටළුවක් තිබිණි. මේ උපකරණය සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ වැඩිහිටියන් සඳහා පමණි. යම් හෙයකින් මෙය ඇගේ සිරුර සමග ක්‍රියාත්මක නොවුනහොත් ඇය මරණයට පත් වීම ස්ථිර විය. එමෙන්ම මේ උපකරණය සවි කරන්නේ නම් ඇයට දැනට බද්ධ කොට ඇති හදවත ද අනිවාර්යයෙන් ඉවත් කළ යුතුමය. වෛද්‍යවරු ඇගේ හදවත් ඉවත් කොට, එසැනින් හදවතේ කාර්යය යන්ත්‍රයට පවරා දුන්හ. දැන් ඇගේ දෙමාපියන්ට ඉතිරිව තිබුණේ ඩි’සානාගේ ජීවිතය දෙවියන්ගේ අතට භාර කිරීම පමණි.

ඇගේ වාසනාවට ඇගේ සිරුර විසින් එම යන්ත්‍රය ප්‍රතික්ෂේප කළේ නැත. දැන් ඇය මුහුණ දෙමින් සිටියේ දුෂ්කරම කාලය ය. ඒ ඇයට ගැළපෙන හදවතක් ලැබෙන තෙක් බලා සිටීමය. මෙවැනි යන්ත්‍රයකට හදවතේ කාර්යය පවරා දුන් බොහෝ දෙනෙකුට හදවතක් ලැබෙන තාක් දීර්ඝ කාලයක් ජීවිතය අල්ලාගෙන සිටින්නට තරම් වාසනාවක් තිබුණේ නැත. එබැවින් ඩි’සානා ද, ඇගේ දෙමාපියන්ගේ හැඬූ කඳුළින් නමුත්, මේ යථාර්ථයට මුහුණ දෙන්නට දිරිමත්ව, බලාපොරොත්තු සහගතව සිටියහ.
ඇය යන්ත්‍රයේ පිහිටෙන් ජීවිතය සමග පොර බදන්නට වූවාය. දින, සති ගෙවී ගියේය. ඇගේ පපුවෙහි හදවතක් දැන් නැත. තිබුණේ හිතක් පපුවක් නැති යන්ත්‍රයක් පමණි.

“මට දැනුණේ මම කියා කෙනෙක් තවදුරටත් නැහැ කියලා. හදවතක් නැති තැන ජීවිතයක්, ආත්මයක් තියෙනවද?”

ඇය වරෙක එසේ පැවසුවාය. අද හෝ හෙට ඇයට ගැළපෙන හදවතක් ලැබෙතැයි ඇයත්, ඇගේ දෙමාපියනුත්, වෛද්‍යවරුත් බලාපොරොත්තු දල්වාගෙන සිටියහ.

මේ ආකාරයට ඇය දින 118ක්, එනම් මාස හතරක පමණ කාලයක් හදවතක් නොමැතිව, හදවතක් ලැබෙන තුරු බලා සිටියාය. මාස හතරකින් පසු ඇගේ බලාපොරොත්තු ඉටු විය. ඇයට නව හදවතක් ලැබිණි. වෛද්‍යවරු ඇයට එම නව හදවත බද්ධ කළහ. ඒ සමගම වකුගඩු බද්ධයක් ද  සිදු කළහ.



කලින් වතාවේදී මෙන් යලිත් සිරුර විසින් මේ නව අවයව ප්‍රතික්ෂේප කරන්නේදැයි සියල්ලෝම බලා සිටියහ. කෙසේ නමුත් ඩි’සානාගේ වාසනාවට එවැන්නක් සිදු වූයේ නැත.

මිනිසෙක් හදවතක් නොමැතිව යන්ත්‍රයකින් පමණක් මේ තරම් කාලයක් ජීවත් වූ ප්‍රථම අවස්ථාව මෙය බව වෛද්‍යවරු පවසති. මේ ආකාරයට දෙවැනි වතාවටත් සිදු වූ අවයව බද්ධයෙන් පසු ඇගේ තත්වය කෙමෙන් සාමාන්‍ය අතට හැරෙන්නට පටන් ගත්තේය. කෙසේ නමුත් වෛද්‍යවරු පවසන්නේ තවත් අවුරුදු 12 - 13 ක් පමණ ගත් වෙද්දී ඇයට නැවතත් නව හදවතක් බද්ධ කිරීමේ අවශ්‍යතාව 50%ක් පමණ තිබිය හැකි බව ය. 

Monday, May 20, 2019

බුර්කාවට පෙම් බැඳි මුස්ලිම් නොවන ලෝකප්‍රකට ගැහැනු - Celebrates who loves Burqa



මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කාව පිළිබඳ රටම කතා කරන අතරේ ඒ හා සම්බන්ධ අපූරු කතාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් අසන්නට ලැබුණා. ඒ ඇමරිකාවේ සුප්‍රකට ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළෙන්. පසුගිය දිනෙක එහි මගී පර්යන්තයට බුර්කාවකින් සැරසුණු කාන්තාවක් පැමිණියා. බුර්කාව ඇමරිකාවේ ප්‍රසිද්ධියේ ඇඳීම තහනම් නිසාත්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසාත් ගුවන් තොටුපළේ බලධාරීන් වහා ක්‍රියාත්මක වී එකී කාන්තාවට සිය මුහුණු ආවරණ ඉවත් කරන ලෙස නියෝග කොට සිටියා. එම නියෝගයට අවනත වූ කාන්තාව මුහුණු ආවරණය ඉවත් කළා. ඒ දුටු දසුනෙන් ගුවන් තොටුපළේ බලධාරීන් පුදුමයටත්, වික්ෂිප්ත තත්වයටත් පත් වුණා. සැබවින්ම බුර්කාවට මුවා වී පැමිණ සිටියේ අන් කිසිවකු නොව ඇමරිකාවේ මෙන්ම මුළු ලෝකයේම අතිශය ජනප්‍රිය ගායිකාවක් වූ මැඩෝනා යි. මේ සිදුවීමේ ඊළඟ අදියර වූයේ මෙය ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වීමයි.  


මැඩෝනා බුර්කාවක් ඇඳ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලට පැමිණි පුවත පැය කිහිපයක් ගත වන්නටත් පෙර ජාත්‍යන්තර මාධ්‍යයේ පළවන්නට පටන් ගත්තා. බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබුණේ අන්‍යයන්ට නොපෙනෙන සේ ගුවන් තොටුපළෙන් පිටවීමේ අරමුණින් මැඩෝනා බුර්කාවක් ඇඳ පැමිණි බවයි. බලධාරීන්ගේ නියෝගයෙන් පසු ඇය පසුව අළු පැහැ ටී ෂර්ට් එකක් සහ කලිසමකින් සැරසී ගුවන් තොටුපළෙන් පිට වී ගියා.  

කෙසේ නමුත් පසුව දැනගන්නට ලැබුණු පුවත්වලින් හෙළි වුණේ වෙනත් කතාවක්. සැබවින්ම ඇයට අවශ්‍ය වී තිබුණේ කිසිවකුටත් නොපෙනී ගුවන් තොටුපළෙන් පිට වී යන්නට නොවෙයි. ඇයට අවශ්‍ය වී තිබුණේ ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයක් තමා වෙත ලබා ගැනීම පමණයි. තමා බුර්කාවක් ඇඳ සිටින බව ලෝකයාටම පෙන්වන්නට ඇයට අවශ්‍ය කොට තිබුණු බවයි දැනගන්නට ලැබෙන්නේ. ඇය ලෝකයේ අවධානය දිනා ගැනීමට පසුගිය වසර හතළිහ මුළුල්ලේම විවිධ දේ සිදු කොට තිබෙනවා. එක් අවස්ථාවක දී ඇය බොහෝ පිරිසක් ඉදිරියේ සිය ඇඳුම් පවා උනා දැමුවා. ඒ අවස්ථාවේ දී ද එය ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වුණා.  
ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඇඳුම් අතර ප්‍රමුඛස්ථානයකට වැටී ඇති බුර්කාව කෙරෙහි එරට ආරක්ෂක අංශවල අවධානය ඉහළ දමන්නට මෙන්ම, එම ඇඳුම යම් අවමානයකට ලක් කිරීමේ අදහස ද මේ ක්‍රියාව තුළින් පෙනුණු බව ඇතැම් පුවත්වලින් දැනගන්නට ලැබෙනවා. ඇය සිය මුහුණට යම් සැත්කමක් සිදුකරගෙන ඇති බවත්, එය ජනතාවගෙන් සැඟවීම සඳහා මෙසේ වෙනත් සංස්කෘතියකට අයත් ඇඳුමකින් සැරසී පැමිණෙන්නට ඇති බවත් තවත් පිරිසක් පවසනවා. කෙසේ නමුත් ගුවන් තොටුපළේ බලධාරීන්ගේ නියෝග යටතේ ඇය මේ බුර්කාව ඉවත් කළ පසු ඇයගේ මුහුණෙන් එවැන්නක් පෙනෙන්නට තිබුණේ නැහැ.  

තවත් එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ ආගම්වලට රිදවීමේ ආශාවක් ද මැඩෝනා තුළ පවතින බවයි. මෙයට පෙර එක් අවස්ථාවක දී ඇය කතෝලික දහමට අපහාස වන අන්දමේ ක්‍රියාවක් ද සිදු කළා. එහි දී වතිකානුව ද එක්ව ඇයව කතෝලික ප්‍රජාවෙන් නෙරපා දමන්නට පවා සූදානම් වුණා.

ලේඩි ගාගා  


කෙසේ නමුත් බුර්කාවෙන් සැරසුණු, මුස්ලිම් නොවන එකම කාන්තාව මැඩෝනා පමණක් නෙවෙයි. මෙයට පෙර විවිධ හේතු කාරණා නිසා බුර්කාවෙන් සැරසුණු ප්‍රකට කාන්තාවන් කිහිප දෙනෙක්ම දකින්නට ලැබුණා. එවන් එක් තැනැත්තියක් වන්නේ ඇමරිකානු ගායිකාවක වන ලේඩි ගාගා යි. ඒ ඇය විසින් එළිදැක්වූ ‛බුර්කා’ නම් ගීතය සඳහායි. ඇය එහිදී බුර්කාවකින් සැරසී වීඩියෝ දර්ශනයකට ද පෙනී සිටියා. කෙසේ නමුත් එයින් වැරදි පණිවිඩයක් ලෝකයාට ලබා දෙන බව පවසමින් මුස්ලිම් කාන්තාවන් එයට එරෙහිව අදහස් දක්වනු ද දක්නට ලැබුණා.  

බියොන්සේ  

ඇමරිකානු ගායිකාවක වන බියොන්සේ ද බුර්කාවකින් සැරසී සිටිනු මාධ්‍යවල පළවුණා. එය සහමුලින්ම බුර්කාවක් නොවුනත් සෑම අතින්ම බුර්කාවකට සමානත්වයක් දැක්වුණා. ඒ 2013 වසරේ දි. ඇය යම් පටිගත කිරීමක් සඳහා සහභාගී වී ලොස් ඇන්ජලිස් චිත්‍රගාරයෙන් සොරෙන් පිට වී යමේ අරමුණින් මෙසේ බුර්කාවකට සෑම අතින්ම සමාන ඇඳුමකින් සැරසී සිටි බවයි පසුව දැනගන්නට ලැබුණේ.


M.I.A.


ඉංග්‍රීසි ජාතික ගායිකාවක වූ M.I.A. හෙවත් මාතාන්ගි අරුල්ප්‍රසාගම් ද එක් අවස්ථාවක ප්‍රසිද්ධියේ බුර්කාවකින් සැරසී සිටියා. ද්‍රවිඩ ජාතික කාන්තාවක වූ ඇය වරක් එල්.ටී.ටී.ඊ, සංවිධානය වෙනුවෙන් යම් ගීතයත් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍යවල ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති කළා. ඇය මෙසේ බුර්කාවකින් සැරසී සිටියේ 2010 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් හි පවත්වන ලද ‛ස්ක්‍රීම්’ නම් සංගීත සම්මාන උළෙලට සහභාගී වීම සඳහායි.  

ගිසෙල්


ගිසෙල් බුන්ඩ්චෙන් කියන්නේ බ්‍රසීල ජාතික මෝස්තර නිරූපිකාවක් වගේම නිළියක්. ඇය 2015 වසරේ පැරිසියේ දී බුර්කාවකින් සැරසී සිටිනු මාධ්‍යවල පළ වී තිබුණා. ඇය පැරිසියට පැමිණ තිබුණේ ප්ලාස්ටික් සැත්කමක් සිදුකර ගැනීම සඳහායි. ඇමරිකානු ඩොලර් 11,000 ක් පමණ වැය වූ මේ ප්ලාස්ටික් සැත්කම් සඳහා පැමිණෙනු ලෝකයෙන් සැඟවීම සඳහා ඇය බුර්කාවකින් සැරසී පැමිණියත් මාධ්‍යවලින් එය සඟවාගන්නට හැකියාවක් තිබුණේ නැහැ.

මල්ලිකා ෂෙරාවත්

බොලිවුඩ් රංගන ශිල්පිනියක වූ මල්ලිකා ෂෙරාවත් ද බුර්කාවකින් සැරසී සිටිනු මාධ්‍යවල පළ වී තිබුණා. බුර්කාවකින් සැරසී සිටින්නට ඇය අදහස් කොට තිබුණේ මුම්බායි ගුවන් තොටුපළේ දී මාධ්‍යවේදීන්ට නොපෙනෙන සේ එයින් පිටව යාමටයි. නමුත් සියලු මාධ්‍ය ඇය කවුදැයි හඳුනාගෙන ඇයව ඡායාරූපයට හසුකරගෙන තිබුණා. ඇයගේ වෙනත් අරමුණක් තිබුණාදැයි තොරතුරක් දැනගන්නට ලැබුණේ නැහැ.

Friday, May 10, 2019

මුස්ලිම් සහෝදරවරුණි, අපි කෙසේ නම් ඔබ විශ්වාස කරන්නෙමු? - Dear Muslim Brothers, How can we trust in you?



මුස්ලිම් සහෝදරවරු අපෙන් ඉල්ලන්නේ ඔවුන් දෙස සැකයෙන් බලන්නට එපා ය කියාය. අපේ රටේ දේශපාලකයන් කියන්නේ අසල්වැසි මුස්ලිම් සහෝදරවරු දෙස සැකයෙන් බලන්නට එපාය කියාය. තවත් අය පවසන්නේ අප අසල්වැසි මුස්ලිම් සහෝදරයන් මනුෂ්‍යත්වයේ නාමයෙන් ආරක්ෂා කරගන්නට කියාය. නමුත් මුස්ලිම් සහෝදරවරුන් කියන කතා අප විශ්වාස කරන්නේ කෙසේද?

ඔවුන්ගේ පල්ලිවලින් සය නිවෙස්වලින් කඩු, කිනිසි හසු වේ.

මුස්ලිම් ආගමික ඇමතිවරයා පවසන්නේ ඒවා කැලෑ කපන්නට ගෙනා ඒවා බවය.

මරික්කාර් මන්ත්‍රීතුමා පවසන්නේ ඒවා සුන්නත් කරන්නට ගෙන ආ ඒවා බවය.

රාවුෆ් හකීම් ඇතුළු පිරිස මෑතකදී මාධ්‍යය හමුවේ පැවසුවේ ඒවා සිය කාන්තාවන්ගේ ආරක්ෂාවට ගෙන ආ ඒවා බවය.

මේ කතාවලින් කියවෙන්නේ මුස්ලිම් සහෝදරවරුන් කුමක් හෝ හොරයක් වසා ගන්නට වරින් වර විවිධ කෙප්ප ඇද බාන බවය.

ඔවුන් කියන මේවා අප විශ්වාස කරන්නේ නැති බව ඔවුහු ද දනිති.
නමුත් ඔවුහු කෙප්පම ඇද බාති.

නොබෝ දිනකින් අප රටේ දේශපාලකයන් ද කියනු ඇත්තේ මේ කඩු ගැන බිය වන්නට දෙයක් නැති බවය.

නමුත් ඒවා පසුපස පවතින බියකරු සත්‍යය මේ සියලු දෙනාම අනාගත ඡන්ද ගැන සිතමින් වසන් කරති.

බුර්කාව පිළිබඳ පනවන ලද නීතියට මුස්ලිම් සහෝදරියන් ගරු කරන්නේ නැත.

මේවා පිළිබඳ සත්‍යය පවසන එක් මුස්ලිම් සහෝදරයෙක් හෝ නැත.

මෙසේ හෙයින් මුස්ලිම් සහෝදරයිනි, අපි ඔබලා කෙසේ විශ්වාස කරම්ද?