පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, May 24, 2019

හදවතක් නොමැතිව මාස හතරක් ජීවත් වූ ඩි’සානා සිමොන්ස් - D'Zhana Simmons, lived 4 months with no heart



ඇතැමුන්ගේ ජීවිත වාසනාවන්තය. ඇතැම්හු සුවසේ ඉපිද සැපසේ ජීවත් වෙති. නමුත් එසේ නොවන අය ද සිටිති. දැනට විසි පස් වැනි වියෙහි පසුවන ඩිසානා සිමොන්ස් ද එවැන්නියකි. දැනට වසර 11 කට පමණ පෙර ඇය පිළිබඳ ලෝකයා කතා කරන්නට පටන් ගත්තේ අන් හේතුවක් නිසා නොව ඇය හදවතක් නොමැතිව මාස හතරක කාලයක් ජීවත් වූ නිසාය. මේ ඇගේ කතාවය.

ඩිසානා ද සාමාන්‍ය දැරියක වූවාය. ඇය ද ගත කරන්නට පටන් ගත්තේ සාමාන්‍ය ජීවිතයකි. කෙසේ නමුත් වැඩි දවසක් ගත වන්නට මත්තෙන් ඇයට යම් යම් ශාරීරික අපහසුතාවන් දැනෙන්නට පටන් ගත්තේය. එවැනි තත්වයන් ඇය සිය මිතුරු මිතුරියන්ගෙන් දුටුවේ නැත. අවසානයේ දී වෛද්‍ය පරීක්ෂණ මගින් ඇය දැනගත්තේ තමන් කිසිදාක නොසිතූ ආකාරයේ ශාරීරික ආබාධයකට ලක්ව ඇති බවය.




එය විරල මෙන්ම ඉතා බරපතළ තත්වයක් විය. හදවත සම්බන්ධව පැන නැගුණු එම ගැටළු තත්වය හඳුන්වනු ලබන්නේ කාඩියෝමයෝපති’ (cardiomyopathy) නමිනි. සිංහල බසින් එය හඳුන්වන්නට උත්සාහ කළහොත් හෘත් පේශියේ කාලික රෝග තත්වයලෙස සඳහන් කළ හැකිය. මෙහිදී සිදුවන්නේ හෘදය වස්තුව ප්‍රමාණයෙන් විශාල වීම වන අතර එහිදී එය හෘදය දුර්වල තත්වයට පත් වී රුධිර සංසරණය අඩාල වෙයි.

වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ ඇයට අනිවාර්යයෙන්ම නව හදවතක් බද්ධ කළ යුතු බවය. එසේ නැතහොත් ඇය නිසැක ලෙස මිය යන බැව් වෛද්‍යවරු පැවසූහ. ඇගේ වාසනාවට මේ රෝගී තත්වය මතු වී මාස තුනක් ඇතුළත ඇයට නව හදවතක් හිමි විය. නව හදවත් ඇයට බද්ධ කෙරිණි. නමුත් රෝගී තත්වයේ වෙනසක් සිදු වූයේ නැත. ඒ හදවත බද්ධ කිරීමත් සමග තත්වය තවත් දරුණු වූ අතර හදවත මගින් රුධිරය සංසරණය වීම ඇනහිටින තත්වයටම පත් විය. එම හදවත ඇගේ සිරුරේ තිබීම ඇයව ඉතා ඉක්මනින් මරණය කරා රැගෙන යන්නක් බැව් දැනගත් වෛද්‍යවරු එය වහා සිරුරෙන් ඉවත් කරන්නට තීරණය කළහ.




මෙහිදී පැන නැගුණු ගැටළුව වූයේ හදවත ඉවත් කළ සැනින් ඇයට ගැළපෙන තවත් නව හදවතක් බද්ධ කිරීම අවශ්‍ය වූ නමුත් නව හදවත් ප්‍රදානය කරන්නෙක් ඒ අවස්ථාවේදී සොයා ගන්නට හැකියාවක් නොතිබීමය. (හදිසි අනතුරක් වැනි හේතුවක් නිසා යම් පුද්ගලයකු ජීවත් කරවන්නට හැකියාවක් නොමැති නම් එවැනි පුද්ගලයන්ගෙන් ශරීර අවයව ජීවත්වන පුද්ගලයන් වෙත ලබා දීම සිදු වේ). තවත් ගැටළුවක් වූයේ හදවත අකර්මණ්‍ය වීමට අමතරව ඇය වකුගඩු අකර්මණ්‍ය වීමකින් සහ අන්ත්‍රවල රුධිරය වහනය වීමකින් ද පෙලීමය.

මේ අවස්ථාවේ දී වෛද්‍යවරුන් හමුවේ තිබුණේ එකම එක විසඳුමක් පමණි. ඒ ඇගේ හදවත වෙනුවට කෘත්‍රිම රුධිර සංසරණ උපකරණයක් යොදා ගැනීමය. මෙය තාවකාලික විසඳුමක් වුවත් අවසථාවේ හැටියට ඒ හැර වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයේ හෝ තිබුණේ නැත. කෙසේ නමුත් එහි ද ගැටළුවක් තිබිණි. මේ උපකරණය සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ වැඩිහිටියන් සඳහා පමණි. යම් හෙයකින් මෙය ඇගේ සිරුර සමග ක්‍රියාත්මක නොවුනහොත් ඇය මරණයට පත් වීම ස්ථිර විය. එමෙන්ම මේ උපකරණය සවි කරන්නේ නම් ඇයට දැනට බද්ධ කොට ඇති හදවත ද අනිවාර්යයෙන් ඉවත් කළ යුතුමය. වෛද්‍යවරු ඇගේ හදවත් ඉවත් කොට, එසැනින් හදවතේ කාර්යය යන්ත්‍රයට පවරා දුන්හ. දැන් ඇගේ දෙමාපියන්ට ඉතිරිව තිබුණේ ඩිසානාගේ ජීවිතය දෙවියන්ගේ අතට භාර කිරීම පමණි.

ඇගේ වාසනාවට ඇගේ සිරුර විසින් එම යන්ත්‍රය ප්‍රතික්ෂේප කළේ නැත. දැන් ඇය මුහුණ දෙමින් සිටියේ දුෂ්කරම කාලය ය. ඒ ඇයට ගැළපෙන හදවතක් ලැබෙන තෙක් බලා සිටීමය. මෙවැනි යන්ත්‍රයකට හදවතේ කාර්යය පවරා දුන් බොහෝ දෙනෙකුට හදවතක් ලැබෙන තාක් දීර්ඝ කාලයක් ජීවිතය අල්ලාගෙන සිටින්නට තරම් වාසනාවක් තිබුණේ නැත. එබැවින් ඩිසානා ද, ඇගේ දෙමාපියන්ගේ හැඬූ කඳුළින් නමුත්, මේ යථාර්ථයට මුහුණ දෙන්නට දිරිමත්ව, බලාපොරොත්තු සහගතව සිටියහ.
ඇය යන්ත්‍රයේ පිහිටෙන් ජීවිතය සමග පොර බදන්නට වූවාය. දින, සති ගෙවී ගියේය. ඇගේ පපුවෙහි හදවතක් දැන් නැත. තිබුණේ හිතක් පපුවක් නැති යන්ත්‍රයක් පමණි.

මට දැනුණේ මම කියා කෙනෙක් තවදුරටත් නැහැ කියලා. හදවතක් නැති තැන ජීවිතයක්, ආත්මයක් තියෙනවද?”

ඇය වරෙක එසේ පැවසුවාය. අද හෝ හෙට ඇයට ගැළපෙන හදවතක් ලැබෙතැයි ඇයත්, ඇගේ දෙමාපියනුත්, වෛද්‍යවරුත් බලාපොරොත්තු දල්වාගෙන සිටියහ.

මේ ආකාරයට ඇය දින 118ක්, එනම් මාස හතරක පමණ කාලයක් හදවතක් නොමැතිව, හදවතක් ලැබෙන තුරු බලා සිටියාය. මාස හතරකින් පසු ඇගේ බලාපොරොත්තු ඉටු විය. ඇයට නව හදවතක් ලැබිණි. වෛද්‍යවරු ඇයට එම නව හදවත බද්ධ කළහ. ඒ සමගම වකුගඩු බද්ධයක් ද  සිදු කළහ.



කලින් වතාවේදී මෙන් යලිත් සිරුර විසින් මේ නව අවයව ප්‍රතික්ෂේප කරන්නේදැයි සියල්ලෝම බලා සිටියහ. කෙසේ නමුත් ඩිසානාගේ වාසනාවට එවැන්නක් සිදු වූයේ නැත.

මිනිසෙක් හදවතක් නොමැතිව යන්ත්‍රයකින් පමණක් මේ තරම් කාලයක් ජීවත් වූ ප්‍රථම අවස්ථාව මෙය බව වෛද්‍යවරු පවසති. මේ ආකාරයට දෙවැනි වතාවටත් සිදු වූ අවයව බද්ධයෙන් පසු ඇගේ තත්වය කෙමෙන් සාමාන්‍ය අතට හැරෙන්නට පටන් ගත්තේය. කෙසේ නමුත් වෛද්‍යවරු පවසන්නේ තවත් අවුරුදු 12 - 13 ක් පමණ ගත් වෙද්දී ඇයට නැවතත් නව හදවතක් බද්ධ කිරීමේ අවශ්‍යතාව 50%ක් පමණ තිබිය හැකි බව ය. 

2 comments:

  1. වාසනාව කියන්නෙ අන්න ඒ වගෙ අවස්තා වලට :-)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒක හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. අවාසනාවන්ත සිදුවීම් පිටිපස්සේ එයින් ගැලවෙන්න වාසනාවකුත් එනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න