පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, March 19, 2014

රින්ග් ඉන්ග් ටෝන් හෙවත් කෝල් එකක් ගන්න කොට සිංදුවක් ඇසීමේ තාක්ෂණය - A Story of Callback Music


අපට ගීත අසන්නට විවිධ ක්‍රම තිබේ. එකක් නම් අප ගුවන් විදුලි යන්ත්‍රයක් අසළට වී සිටිය යුතුය. රූපවාහිනියෙන් අපට කැමති වේලාවට ගීත නොයන බැවින් මේ සඳහා එය එතරම් ප්‍රයෝජනයවන්නේ නැත. තවෙකක් නම් සීඩී ධවන යන්ත්‍රකයට අප කැමති තැටියක් දමා ගීතයක් ඇසීමය. එම්.පී. ත්‍රී ක්‍රියාකරන යන්ත්‍රයකින්ද අපට ගීත ඇසිය හැකිය. මීට අමතරව අප ඇතැම් හිතවතුන්ගේ දුරකතනයට ඇමතුමක් දුන්විට එම ඇමතුම සම්බන්ධ වන්නට පෙර ද ගීත ඇසිය හැකිය. එක් හිතවතකු දිනක් මගෙන් ඇසුවේ “අර අසවල් සිංදුව අසා තිබේද?” කියාය. මා නැතැයි පැවසූ විට ඔහු පැවසූයේ, “මගේ ෆෝන් එකට රිංග් එකක් දෙන්න” කියාය. මම එසේ කළ විට අදාළ ගීතය මට ඇසිණි. 

වර්තමානයවන විට බොහෝ දෙනෙකුගේ දුරකතනවලින් මෙවැනි විවිධ ගීත ඇසිය හැකිය. මෙම තාක්ෂණය ජාත්‍යන්තරව ‛රින්ග් බැක් මියුසික්’ (Ringback music) ලෙස හඳුන්වනු ලබයි. ‛රින්ග් බැක් මියුසික්’ ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ කාර්ල් සීලීග් නම් ඇමරිකානු ජාතිකයාටය. මෙයට පෙර කිහිප දෙනෙකු විසින් මෙය හඳුන්වා දී තිබුණත් එය ප්‍රයෝගික තත්වයට පත් කළේ ඔහුය.

අපේ රටේ එක් එක් ජංගම දුරකතන සමාගම් මෙම සේවාව ‛රින්ග් ඉන් ටෝන්’, එම් ටියුන්ස්’, ‛කෝලර් ටියුන්’ ආදී විවිධ නම්වලින් හඳුන්වා දෙයි. මේ කිසිදු සමාගමකට බලපෑමක් නොවනු වස් මෙම ලිපියේ මෙම සේවාව ‛රින්ග් බැක් මියුසික්’ යනුවෙන් සඳහන් කරන්නට තීරණය කළෙමු.

හිටිහැටියේ දුරකතනයට නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබෙන අතර එයට පිළිතුරු දෙන විට දැනගන්නට ලැබෙන්නේ එය අපගේ දුරකතන සේවා සමාගමෙන් ලැබෙන ඇමතුමක් බවය. එයින් කියැවෙන්නේ අසවල් අසවල් ගීත අපගේ මේ සඳහන් කළ ආකාරයේ ‛රින්ග් බැක් මියුසික්’ ලෙස යොදාගත හැකි බවයි. අප කළ යුතුවන්නේ සමාගමේ උපදෙස් පිළිපැද ගීතයට අදාළ අංකය තෝරාගැනීම පමණි. මේ සඳහා අප බදු ද ඇතුළුව යම්කිසි මුදලක් සමාගමට ගෙවිය යුතුය. අප ඒ ගාස්තුව ගෙවන්නේ මාසයක කාලයක් සඳහාය.

විවිධ පුද්ගලයෝ විවිධ ගීත සිය ‛රින්ග් බැක් මියුසික්’ ලෙස යොදා ගනිති. යුද්ධය පැවැති සමයේ බොහෝ ඇතැම් අයට ඇමතුමක් දෙනවිට ඇසුනේ දේශාභිමාන ගීතය. අප විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇමතුමක් දෙනවිට ඇසෙන්නේ කවිබණක්, බෝධි පුජා කවි වැනි දෑය. ඇතැම් අයට ඇමතුමක් දුන්විට නව පරපුරේ ගීතද, හිටිහැටියේ බයිලා ද, ඉංග්‍රීසි ගීතද ඇසේ. දෙමළ ගීත අසන්නට නම් දෙමළ හිතවතකුට ඇමතුමක් දිය යුතුය.

යම්කිසි පුද්ගලයකුට තමා පිළිබඳ පූර්ව නිගමනයක් ඇමතුම දෙන්නා තුළ ඇතිකීරීමට ද මෙම ‛රින්ග් බැක් මියුසික්’ යොදාගන්නට පුළුවන. යම්කිසි පුද්ගලයකුට ඇමතුමක් දුන් විට ‛යමන් බණඩෝ වෙසක් බලන්න‛ වැනි ගීතයක් ඇසුණහොත් ඔහු ‛බජාර් එකේ හොඳ කකුලක්’ යැයි අපට සිතිය හැකිය. ඔහු බජාර් එක පැත්ත පලාතේ නොගියත් අපට සිතෙන්නේ එසේය. විරහ ගීතයක් යමෙකුට ඇමතුමක් දුන් පසු ඇසේ නම් ‛මෙයා හොඳ බූට් එකක් කාලා ඉන්නවා වගේ පේනවා’ යැයි නිකමට හෝ පැවසිය හැකිය. ආගමික ගීතයක් ඇසෙන්නට සැළැස්වීම මගින් අදාළ පුද්ගලයාගේ ආගමික භක්තිය හොඳින් පිළිබිඹු වේ. ඔහු තුළ ආගමික් භක්තියක් නොමැති වුව ද අපට සිතෙන්නේ එසේය. වෙනත් ගීත ඔස්සේ භාවිත වන ‛රින්ග් බැක් මියුසික්’ පිළිබඳව පැවසිය හැක්කේද මෙයමය.

ඇතැම් පුද්ගලයින් ‛රින්ග් බැක් මියුසික්’ සිය දුරකතන සේවයට ලබාගන්නේ ඒ පිළිබඳ පූර්ව දැනුමකින්, අවබෝධයකින් නොවේ. ඇතැම් අයට මෙය සක්‍රියකරගන්නට අවශ්‍ය නැතත් එම සේවය ලබාගනී. දුරකතන සමාගම මගින් මේ පිළිබඳ දැනුවත් කරන්නට ලබාදෙන ඇමතුමට අනුව විවිධ අංක ඩයල් කරන්න යැයි පවසනු ලබයි. නිසි අවබෝධයකින් තොරව මේවා මෙසේ ඩයල් කිරීමට යාමෙන් ද ‛රින්ග් බැක් මියුසික්’ සේවාව සක්‍රිය වන අවස්ථා නැතිවම නොවේ. මේ පාරිභෝජන සමාජයේ ස්වභාවය එයය.

සිය මිතුරන් ‛බයිට්’ කිරීම සඳහා ඇතැම් අය ‛රින්ග් බැක් මියුසික්’ යොදාගන්නා අවස්ථා තිබේ. අපගේ එක් මිතුරෙක් මෙවැනි ‛බයිට්’ වීමකට ගොදුරු වූයේය. ඔහු සියලු දෙනා අතර ඉතා ගුණ යහපත්, ආගම දහමට බර පුද්ගලයකු ලෙස ප්‍රකටව සිටියේය. දිනක් ඔහුගේ ජංගම දුරකතනය බලන්නට කියා ඉල්ලාගත් මිතුරකු කළේ ඔහුගේ ප්‍රතිරූපයට කොහෙත්ම ගැළපීමක් නැති ගීතයක් ‛රින්ග් බැක් මියුසික්’ ලෙස තෝරා නිහඬව සිටීමය. මෙම සේවාව ලබාගත් පුද්ගලයාට කිසිවිටෙක සිය දුරකතනය වෙනුවෙන් සක්‍රිය කළ ‛රින්ග් බැක් මියුසික්’ඇසෙන්නේ නැති නිසා අපේ මිතුරාට ද මේ පිළිබඳව දැනගන්නට ද ඉඩක් ලැබුණේ නැත. ඔහුගේ වැඩිහිටියන්, විහාරස්ථානයේ ලොකු හාමුදුරුවෝ, ගමේ පාසලේ විදුහල්පතිතුමා සහ ගුරුවරුන් ඔහුට නිතර ඇමතුම් දෙන ලැයිස්තුවේ සිටි බැවින් මෙම ගීතය ඇසීමෙන් ඔවුහු කලබල වූහ. ඔහුට මෙය දැනගන්නට ලැබෙන විට ඔහුගේ ප්‍රතිරූපය සෑහෙන්න දෙදරා ගොස් තිබිණි.

මෙවැනි සිදුවීමක් භික්ෂූණ් වහන්සේ නමකට ද සිදුවිය. උන්වහනසේගේ දුරකතනයට ඇමතුමක් ලබාදුන් විට ඇසුණේ අපූරු ගීතයකි. ඒ ‛රම්බරි කියපන් උඹෙ නොම්බරේ’ කියා පටන් ගන්නා ගීතයකි. උපාසිකාවක් හෝ දායක මහත්මියක් කතා කළේ නම් ඇය නිසැකවම එම අවස්ථාව්දී ‛රම්බරි’ බවට පත්වෙයි. භික්ෂූණ් වහන්සේට ඇමතුම දුන් කිහිප දෙනෙකුටම මෙම ගීතය ඇසුණු පසු ඔවුන් උන් වහන්සේගෙන් අසා තිබුණේ එම බයිලා ගීතය නොදා “බෝධි පූජා කවි පංතියක්වක් දැමුවා නම් හොඳයි නේද” කියාය. උන්වහන්සේ මෙය අසා උඩබිම බැලූහ. “මහත්තයා මේ මොකක් ගැනද කියන්නේ” කියා ඇසූහ. ”හාමුදුරුවනේ, ඔබ වහන්සේම මගේ ෆෝන් එකෙන් ඔබ වහන්සේගේ අංකයට කෝල් එකක් අරන් බලන්න” යැයි පැවසූ පසු උන්වහන්සේ එසේ කළහ. උන්වහන්සේ සිහිවිකල් වූවේ එවිටය. “මම හිතුවා මේ ඇබිත්ත කොලුවා මගේ ෆෝන් එක අරන් ඉන්න කොට මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරන්න ඇති කියලා” යනුවෙන් උන්වහනසේ පැවසූහ.

ඇතැම් තරුණ තරුණියෝ සිය ‛රින්ග් බැක් මියුසික්’ ලෙස ප්‍රේම විලාප, ප්‍රේමාරාධනා යොදාගෙන සිටිති. ‛පාලු අඳුරේ තනිවෙන්න එන්න’, ‛ඔබ නැති යහන මට පාලුයි’, ‛ඔබ උණුසුම මට දෙන්න’ වැනි වචන නව පරපුරේ ‛රින්ග් බැක් මියුසික්’ වල ඕනෑ තරම් දැකිය හැකිය. යම් අවස්ථාවක ඔවුනගේ මව හෝ පියා ඇමතුමක් දුන්නේ නම් සිය පුතුගේ හෝ දුවගේ ප්‍රේම විලාපයන්, ප්‍රේමාරාධනා අසන්නට වන්නේ දෙමාපියන්ටය. අපගේ මෙවැනි පෞද්ගලික ‛හුටපට’ අම්මා හෝ තාත්තා හෝ දැනගත්තේ නම් අපට දැනුනේ පොලොව පළාගෙන යන්නට තරමේ ලජ්ජාවක් වුවත් වර්තමාන පරපුරට එවැන්නක් නොදැනෙන බැවින්දෝ ඔවුන් මෙවැනි ගී සිය ‛රින්ග් බැක් මියුසික්’ සඳහා සොයාබැලීමකින් තොරව නැතිව යොදා ගන්නවා වන්නට පුළුවන.

‛රින්ග් බැක් මියුසික්’ තම ජංගම දුරකතනයේ සක්‍රීය කරගත් පසු ඔහුට ඇමතුමක් දෙන්නාට මෙම ගීතය හොඳින් ඇසෙන්නට නම් දුරකතනයට පිළිතුරු දීම මඳක් පමාකළ යුතුය. ඇමතුම ලැබෙනවිටම පිළිතුරු දුනහොත් ගීතය අනෙක් පාර්ශවයට ඇසෙන්නේ නැත. මේ හේතුව නිසා ඇතැම්හු හිතාමතාම පිළිතුරුදීම පමා කරති. එවිට ඇමතුම දෙන්නා සූදානම් වූයේ හදිසි පණිවිඩයක් ලබාදෙන්නට නම් ඔහු මානසිකව පත්වන තත්වය පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නැත. සිය ආයතන ප්‍රධානියා ඇමතුමක් ලබා දී මෙසේ පිළිතුරු දීම පමාකළහොත් රැකියාවට පවා ගැටලු ඇතිවන්නට පුළුවන.

‛රින්ග් බැක් මියුසික්’ සම්බන්ධව කතා කිරීමේදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් වන්නේ මෙය අද අප රටේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද මුදල් උපයන උල්පතක් බවට පත්වී ඇති බවය. අප රටේ නම් මෙම ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන් අරමැදියන් ලෙස ක්‍රියාකරමින් ජංගම දුරකතන සමාගම්වලට ගීත සැපයීම සිදුකරයි. මෙහිදී ගායකයාට, ගී පද රචකයාට හා සංගීත රචකයාට යම් මුදලක් හිමි වේ. දුරකතන සමාගම හා අතරමැදියා ද වෙහෙසවීමකින් තොරවම සෑහෙන ලාභයක් උපයා ගනී. අප රටේ සාමාන්‍යයෙන් මෙම පහසුකම ලබාගැනීම සඳහා බදු රහිතව රුපියල් 30ක් පමණ වැය වේ. ඒ මාසයක කාලයක් සඳහාය. මෙය වර්තමානයේ ව්‍යාපරයක් බවට පත්ව ඇති නිසා නව පරපුරේ සංගීත ශිල්පීන් මුදල් උපයාගැනීමේ මාර්ගයක් ලෙස සිය ගීත ‛රින්ග් බැක් මියුසික්’ සඳහා දුරකතන සමාගම්වලට ලබාදෙයි. ඇතැම් ශිලපීන් ‛රින්ග් බැක් මියුසික්’ සඳහාම ගීත නිර්මාණ කරනු දක්නට ලැබේ. පැරණි ගායන ශිල්පීන්ගේ ගීත ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වෙනත් පුද්ගලයන් විසින් මෙම ව්‍යාපාරයට යොදාගෙන ඇති අතර ඔවුනගෙන් ඇතැමෙකුට මේ සඳහා කිසිදු ගෙවීමක්  හිමිවන්නේ ද නැති බව දනගන්නට ලැබේ. අප අසල්වැසි ඉන්දියාවේද මෙම ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර අපට ද ආභාෂය ලැබෙන්නට ඇත්තේ එරටින් වන්නට ඇත. නමුත් මෙය ලොවට හඳුන්වාදුන් ඇමරිකා එක්සත් ජනපදයේ මෙම ව්‍යාපාරය සිතූ තරම් සාර්ථක වී නැති බැව් පෙනෙන්නට තිබේ.

දුරකතන සමාගම් අප මත බලෙන් මෙන් පටවන මෙවැනි විශේෂාංග සක්‍රිය කරගැනීමේදී අප සිතා බැලිය යුතු දෙයක් තිබේ. මේවා සියල්ල වර්තමාන පර්භෝජන සමාජය විසින් අප මත බලයෙන් පැටවූ අවශ්‍යතා මිස අපට අත්‍යවශ්‍ය දේවල් නොවේ. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් තෝරාගැනීමේදී අප කරුණු කිහිපයක් සළකා බලයි. ඒ මෙසේය.

1. අත්‍යවශ්‍ය
2. එතරම් අවශ්‍ය නැති, එහෙත් අවශ්‍ය
3. අවශ්‍යම නැති, නැතත් කමක් නැති
4. අවශ්‍යම නැති

මෙම රීතිය ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකට අදාළ වේ. මෙයට අනුව බහුතරයක් සම්බන්ධයෙන් ගතහොත්  සිතා බැලීමේදී ‛රින්ග් බැක් මියුසික්’යන්න අයත්වන්නේ 3 ට හෝ 4 ටය. නමුත් ඔබ සියලු දෙනා ‛රින්ග් බැක් මියුසික්’සේවාවෙන් මිදිය යුතුය යන්න මෙයින් අදහස් කෙරෙන්නේ නැත. එය තීරණය වන්නේ ඔබගේ කැමැත්ත හෝ අකැමැත්ත මතය. නමුත් තාක්ෂණය අප භාවිත කළ යුත්තේ සමාජයේ යහපැවැත්ම සඳහාය. එසේ නොවුනු සෑම අවස්ථාවකම වන්නේ සමජයේ අසමබරතාවයන් ඇතිවී සමාජ පද්ධතිය බිඳීයාමය. වර්තමානවේ පවතින ‛රින්ග් බැක් මියුසික්’ සේවාව හෝ එයට අනුබද්ධ ව්‍යාපාර හේතුවී ඇත්තේ සමාජ යහපැවැත්මට ද සමාජ පරිහාණියට ද යන්න තීරණය කිරීම ඔබ ෂතු දෙයකි. ඒ අනුව ක්‍රියාකිරීම ඔබගේ සමාජ වගකීමකි.


Wednesday, March 12, 2014

ත්‍යාගී බිරිඳ ඉදිරියේ සුභාෂ්ට අතුල්පහරක් එල්ළ කළේ යටි අරමුණක් ඇතිවද?

ත්‍යාගි


බොලිවුඩ් නිළියක වන ගීතිකා ත්‍යාගි සහ ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයකු වන සුභාෂ් කපූර් අයථා ලිංගික ප්‍රයෝනයක් ගැනීම සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ වැඩි දෙනෙකු අතර ජනප්‍රියව පවතී. ඒ වීඩියෝවේ දැක්වෙන්නේ මීට වසර දෙකකට පෙර සුභාෂ් කපූර් කළ බව පැවසෙන ඒ නොමනා ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් ත්‍යාගි, සුභාෂ්ට ඔහුගේ බිරිඳ ඉදිරියේම කම්මුල් පහරක් ගැසීමේ දර්ශනයකි.  ඒ පිළිබඳ මීට පෙර අපි ඔබ හා කතා කළෙමු (එම ලිපිය මෙතැනින් කියවන්න) අපි  ඔබ හා කතා කළෙමු. එය තවමත් ඉන්දියාව පුරා ආන්දෝලනාත්මක කතා බහට ලක්වන බැවින් මේ සතියේ ද මෙම සිදුවීම පසුපස ඇති තවත් කරුණු ඔබ හමුවේ ඉදිරිපත් කරන්නට අපි සිතුවෙමු.

සුභාෂ් කපූර්

ත්‍යාගි විසින් අන්ත්ර්ජාලයට මුදා හැරි මෙම වීඩියෝවේ විවිධ සංස්කරණයක් බොහොමයක් මේ වන විට නොගැනිය හැකි තරම් වන වෙබ් අඩවි අතර දක්නට ඇති අතර, ඇය විසින් මුදාහරින ලද වීඩියෝව පමණක් මේ ලිපිය ලියන මොහොත වන විට තුන්ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් නරඹා තිබේ. සුභාෂ් කපූර් නිසා තමාට සිදුවී ඇති යැයි පැවසෙන අසාධාරණය ලොවට පැවසීමේ අටියෙන් තමා මේ වීඩියෝව මුදාහළ බව ඇය පවසන්නීය.

යූ ටියුබ් අඩවියට ඇය එක්කොට ඇති වීඩියෝවට පහතින් මෙවැනි විස්තරයක් දක්නට ඇත.

‛මේ වීඩියෝව මුදාහැරීමේ අරමුණු මේවායි.
1. සුභාෂ් කපූර් නම් වන මේ පුද්ගලයා සමඟ සම්බන්ධතා පවත්වන්නට පැමිණෙන, ඔහු දෙස පියකු හෝ සහෝදරයකු ලෙස බලන, ඔහුව විශ්වාස කරන තරුණියන් හට අනතුරු ඇඟවීම.

2. තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම දෙවියන් විසින් ද වළකා ඇත්නම්, කිසිවිටෙක සාධාරණයක් බලාපොරොත්තුවෙන් අතවරකරුගේ බිරිඳ, සොයුරිය, දියණිය හෝ කිසිදු වෙනත් ගැහැණියක් ඉදිරියේ බැගෑපත් වන්න එපා. සුභාෂ්ගේ බිරිඳ ඩිම්පල් කර්බන්ඩා මෙම සිදුවීම සිදුවූ සතියේම සිනමා උළෙලකටත් සහභාගී වූවා. මෙය පටිගත වූ බවක් ඇය දැන සිටියේ ද නැහැ.

මෙවැනි වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරීම පහසු කාර්යයක් නොවෙයි ලිංගික අතවරයක් සම්බන්ධ මෙම වීඩියෝව මගින් මගේ පෞද්ගලිකත්වයට හානි සිදුවුණත්,  සුභාෂ් කපූර් මට සිදුකළ දෙය හෙළිකරන්න කියා මාගේ හෘද සාක්ෂිය මට බල කළා. මෙවැනි සිදුවීමකින් පසු නිහඬව සිටියත්, මෙවැන්නක් හෙළි කළත් ඒ ක්‍රියාවන් දෙකෙන්ම බැට කන්නේ ගැහැනියයි.

මෙවැනි ඉරණමක් වෙනත් ගැහැනියකට අත්නොවේවා යන්න මගේ පැතුමයි’

අතුල් සභ්‍රවාල්

ඇය විසින් සුභාෂ් කපූර්ට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ද කොට ඇත. ත්‍යාගි ‛ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත සමඟ මේ සම්බන්ධව සම්මුඛ සාකච්ඡාවකට ද සහභාගී වී ඇති අතර එය පසුගිය පෙබරවාරි 22 වැනි දා එහි වෙබ් අඩවියේ ද පළ වී තිබේ. එහි සඳහන් අන්දමට මෙම වීඩියෝ පටිගත කිරීම ඇය විසින්ම සිදුකොට ඇති අතර තමා මේ සියල්ල පටිගත කරන බව සුභාෂ්ට ද පවසා ඇත. සුභාෂ්ගේ බිරිඳ වන ඩිම්පල්, ත්‍යාගිට පවසා ඇත්තේ මෙම සිදුවීම ඇයට මෙන්ම ඔවුන්ගේ පුතුගේ අනාගතයට පවා දැඩිව බලපෑම් කරන්නක් බැවින් මෙය අමතක කරන දමන ලෙසය. මේ හේතුව මත සිය විවාහය පවා දෙදරා යමින් පවතින බැව් ඩිම්පල් පවසා ඇත. නමුත් එවැන්නක් පවසා සතියක් යන්නටත් පෙර සුභාෂ් - ඩිම්පල් යුවල ඉතා සතුටින් සාදයකට සහභාගී වනු දුටු ත්‍යාගිගේ කෝපය ඉහවහා ගොස් ඇත.

තමා සහ ත්‍යාගි අතර යම් සබඳකමක් තිබූ බැව් සුභාෂ් පිළිගත්ත ද මෙම ලිංගික අතවර චෝදනාව ඔහු දැඩිව ප්‍රතික්ෂේප කරයි. ඉන් ඔහු හඟවා ඇත්තේ මෙම සබැඳියාවට ‛අතවරය’ යන නම ඈඳීමෙන් ත්‍යාගි සත්‍යය විකෘතිකොට ඇති බවය. මේ නිසා සිය චරිතය ඝාතනය කළේ යැයි පවසමින් ඔහු, ත්‍යාගිට එරෙහිව පොලිස් පැමිණිල්ලක් හා නඩුවක් ගොනු කිරීමට සැළසුම්කරමින් සිටින බැව් ද දැනගන්නට ලැබේ. සුභාෂ් පවසන තවත් දෙයක් වන්නේ යම් සිදුවීමක් වූවා නම් එය සිදුවූ වකවානුවේ ඒ පිළිබඳව ක්‍රියාකරනවා විනා වසර දෙකක තරම් කාලයක් ගතවුණු පසු මෙවැනි දේ කිරීම පෞද්ගලික කෝපයක් පිරිමසා ගැනීමක් පමණක් බවය. ට්විටර් වෙබ් අඩවිය හරහා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන තිග්මන්ෂු දුලියා සුභාෂ්ගේ පාර්ශවයටත්, අතුල් සභ්‍රවාල් ත්‍යාගිගේ පාර්ශ්වයටත් කරුණු දක්වමින් ‛කොමෙන්ටු යුද්ධයක්’ කරගෙන යයි.
දැනට බොහෝ දෙනෙක් පවසන පරිදි සුභාෂ් කපූර් සමඟ පැවැති සම්බන්ධතාවයෙන් ත්‍යාගි අපේක්ෂා කොට ඇත්තේ තමාට යම්කිසි රැකවරණයක් ඔහුගෙන් ලැබෙනු ඇතිය යන්නය. නමුත් ඇය කරන චෝදනා සත්‍ය හෝ අසත්‍ය වුව ද සුභාෂ් කපූර් සාර්ථක විවාහ ජීවිතයක් පවත්වාගෙන යන්නෙක් බැව් පෙනෙන්නට තිබේ. එමෙන්ම ඔහු ක්ෂේත්‍රයේ ද සෑහෙන සාර්ථකත්වයකින් ඉදිරි ගමනක් යන්නෙකි. අනෙක ඇය මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ ද සුභාෂ් කපූර් දැවැන්ත සිනමා සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කරන්නට සැරසෙන බවට පුවත්පත් නිවේදනයක් නිකුත්කිරීමේ අවස්ථාවට ද සමගාමීවය. මේ පිළිබඳව ‛ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත ඇගෙන් විමසූ අවස්ථාවේ එවැනි පළිගැනීමක් පිළිබඳ චෝදනාව ඇය ප්‍රතික්ෂේප කොට ඇත. නමුත් බොහෝ දෙනෙක් පවසන පරිදි ත්‍යාගි මෙවැන්නක් සිදුකොට ඇත්තේ තම පෞද්ගලික අරමුණු ඉටුකරගැනීමට ඔහුගෙන් කිසිදු සහයක් නොලැබීම නිසා එයින් ඇති වූ ද්වේශය නිසා බව පෙනේ.  ත්‍යාගි යනු අප පසුගිය සතියේ ද පැවසූ පරිදි තම හිතවතකුගේ වුව මුදල් සොරකම් කොට තම පෞද්ගලික අභිමථාර්ථයන් ඉටුකරගැනීමට සැරසී සිටින්නියක මිස ලිංගික අතවරයක් නිසා වසර දෙකක් නිහඬ සිටීමට සිදුවූ අහිංසකාවියක නොවේ. සුභාෂ්ගේ තරගකාරී, ඔහු සමඟ සිත් අමනාපයෙන් පසුවන වෙනත් සිනමා අධ්‍යක්ෂවරුන් ද මේ පසුපස සිටිය හැකි බැව් දැනගන්නට ලැබී තිබේ. හොඳම උදාහරණය අතුල් සභ්‍රවාල් ය. ඔහු කලෙක සුභාෂ්ගේ හිතවතෙකි. නමුත් මෙම සිද්ධියේදී ඔහු ත්‍යාගි වෙනුවෙන් පෙනී සිටිමින් සුභාෂ් ට පහර ගැසීමේ මඩ ව්‍යාපාරයක යෙදී සිටියි. සුභාෂ්ගෙන් පළිගැනීම සඳහා ත්‍යාගි බළල් අතක් ලෙස භාවිතකරන බවට ද සමහරෙක් චෝදනා කරති.

තිග්මන්ෂු දුලියා

තමාට ත්‍යාගි හමු වූ අවස්ථාවේදී පවා ඇය පැවසූයේ යම්කිසි සිදුවීමක් සිදුවූ බව මිසෙක ලිංගික අතවරයක් සිදු වූ බව නොවේ යැයි සිනමා පිටපත් රචිකාවක වන ඩැනිෂ් රාෂා පවසන්නීය. නමුත් ඊට දින දෙකකට පසු අතුල් සභ්‍රවාල් සමග සිටි ඇය සුභාෂ්ට ලිංගික අතවර චෝදනාවක් එල්ළ කළ බව ද රාසා පවසයි. මේ අනුව ඇයට එසේ චෝදනා කරන්නැයි යම්කිසි ‛බලපෑමක්’ එල්ලවූ බවක් පෙනෙන්නට තිබේ යැයි බොහෝ දෙනෙක් පවසති. ඩැනිෂ් රාසා පවසන තවත් දෙයක් නම් වසර හයක පමණ කාලයක සිට තමා, සුභාෂ් හා ත්‍යාගි පිළිබඳ දන්නා බවත්, එම කාලය අතරතුර එවැනි කිසිදු වැරදි ක්‍රියාවකට සුභාෂ් සැළසුම් කරන බවක්  දැක ත්‍යාගි තමන් හා පවසා නැති බවකි.

පසුගිය දා අප රටෙන් වාර්තා වූ එක් පුවතක් ද මෙහිදී සිහිපත් වේ. එහි සඳහන් වූයේ එක් පොලිස් කාන්තාවක් එක් විවාහක පුද්ගලයකු පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් කළ සිදුවීමකි. ඇය මෙවැන්නක් සිදුකොට ඇත්තේ ලිංගික ද්වේශය නිසාය. ත්‍යාගිගේ මෙම ක්‍රියාව පසුපස ඇත්තේ  ලිංගික ද්වේෂය වන්නට ද පුළුවන.


කෙසේ හෝ සුභාෂ් - ත්‍යාගි සිදුවීම අනුව පෙනෙන්නට තිබෙන්නේ වැඩි ප්‍රසිද්ධියක් නොමැති නිළියක සුප්‍රකට අධ්‍යක්ෂවරයකු හරහා ප්‍රසිද්ධවන්නටත් ජීවිතය ගොඩනගාගන්නටත් කළ උත්සාහය එම අධ්‍යක්ෂවරයාගේ පවුල් ජීවිතයේ සාර්ථකත්වය මත  ව්‍යර්ථවීමෙන් ඇතිවූ අපේක්ෂාභංගත්වය මත මෙවැනි විනාශකාරී පියවරක් ගැනීමට උත්සාහ කොට ඇති බවකි. මේ පිළිබඳ නීතිමය කටයුතු දැනට සිදුවෙමින් පවතින අතර සැබෑව කුමක්දැයි නොබෝ දිනකින් අපට දැනගන්නට ලැබෙනු ඇත.