පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, February 19, 2020

පරිගණක වෛරස් හමුවේ ඇපල් පද්ධතිය වින්ඩෝස්වලට පරදින ලකුණු!

Image credit: https://www.techradar.com/news/macos-catalina-vs-windows-10-may-2019-update-which-is-best


ඇපල් පරිගණකවලට අනිෂ්ට මෘදුකාංග හෙවත් මැල්වෙයාර්වලින් (malware) හානියක් සිදුනොවන බව කාලයක් තිස්සේ අප දැන සිටි කාරණයක්. මැල්වෙයාර්වලින් වන තරමක් හානි සිදු වුණේ වින්ඩෝස් පරිගණකවලටයි. කෙසේ නමුත් ඉතාමත් මෑතකදී සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වුණේ මැල්වෙයාර්වලට එරෙහිව ක්‍රියාත්මක වන්නට ඇපල් පරිගණකවලට තිබූ හැකියාව කෙමෙන් අඩු වී යන බවයි. තවත් ආකාරයකින් පැවසුවොත් වින්ඩෝස් පරිගණකවල මැල්වෙයාර් හඳුනාගැනීමේ හැකියාව සහ එයට එරෙහිව සටන් වැදීමට ඇති හැකියාව ඇපල් පරිගණකවලට වඩා කීප ගුණයකින් වර්ධනය වී ඇති බවයි. මේ නිසා ඇපල්වලට වඩා වින්ඩෝස් පරිගණක භාවිතය වඩාත් ආරක්ෂාකාරී බවට යම් මතයක් දැන් ගොඩ නැගෙමින් පවතිනවා.

පරිගණක වෙළඳපළෙන් සෑහෙන කොටසක් ඇපල් සමාගම විසින් අත්පත් කරගෙන සිටින නිසා මැල්වෙයාර් නිර්මාණය කරන්නන් ඇපල් පද්ධතියට ඇතුළු වන්නේ කෙසේදැයි උත්සාහ කරන්නට පටන් ගත්තා.
මේ මැල්වෙයාර් සාම්ප්‍රදායිකව දැක ඇති ඒවා තරම් භයානක නොවුනත් ඒවා ඇපල් පරිශීලකයන්ට වදයක් වන්නට පටන් අරන් තිබෙන බව Malwarebytes Labs ආයතනය සිය වාර්තාවක මෑතකදී සඳහන් කොට තිබුණා. 2019 වසරේ දී ඇපල් පද්ධතියට එරෙහිව මැල්වෙයාර් ක්‍රියාත්මක වූ ආකාරය 2:1 යැයි ඔවුන් පවසනවා. 2019 වසරේ දී ඇපල් පද්ධතියට එරෙහිව මැල්වෙයාර්වල තර්ජනය 400% කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය වින්ඩෝස් පරිගණක කෙරෙහි මැල්වෙයාර්වල ඇති තර්ජනය මෙන් දෙගුණයක් බවයි ඔවුන් පවසන්නේ. ඇපල් පරිගණක තුළ ස්ථාපිත කොට ඇති ආරක්ෂණ පද්ධතිය මගින් මැල්වෙයාර් සහ ඇඩ්වෙයාර් (කරදරකාරී ලෙස වෙළෙඳ දැන්වීම් දර්ශනය වීම) බිඳ දැමීමක් සිදුවන්නේ අඩු මට්ටමකින් නිසා මේවා නිර්මාණය කරන්නන් හට ඇපල් පද්ධතියට ඇතුළු වීම පහසු වී තිබෙනවා.

ඇපල් පර්ගණක තුළට මැල්වෙයාර් සහ ඇඩ්වෙයාර් ඇතුළු වන්නේ පද්ධතිය උපරිම තත්වයට පත්කරන්නට උදව්වන්නන් (system optimizers) සහ අනවශ්‍ය දෑ ඉවත් කොට පද්ධතිය පිරිසුදු කරන්නන් (junk-cleaners) ගේ ස්වරූපයෙන්. පසුගිය වසරේ දී පමණක් ඇපල් පරිගණක වෙත කඩා වැදුණු මැල්වෙයාර් ප්‍රමාණය මිලියන 25ක් පමණ බව පැවසෙනවා. මෙයින් ප්‍රමුඛතමය වූ තිබුණේ Adware.NewTab. 2019 වසරේ දී එයට ලක් වූ ඇපල් පරිගණක සංඛ්‍යාව මිලියන 30 ක්.

වින්ඩෝස් පරිගණක සඳහා විශාල වශයෙන් තර්ජනයක් වූ මැල්වෙයාර් එක වූයේ Adware.MindSpark. කෙසේ නමුත් එයට ලක් වූ වින්ඩෝස් පරිගණක සංඛ්‍යාව වූයේ මිලියන 2ක් පමණයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ මැල්වෙයාර් හසුකරගැනීමට වින්ඩෝස් පද්ධතියට ඇති හැකියාවන් දිනෙන් දින වර්ධනය වීමයි.

කෙසේ නමුත් වින්ඩෝස් පරිගණකවලට විශේෂිත පරිගණක නාශක වැඩසටහනක උදව්වක් නැතිව ස්වාධීනව ක්‍රියාත්මක වන්නට තවමත් 100% ක හැකියාවක් නැති බව ද සඳහන් කළ යුතුයි.



Tuesday, February 11, 2020

වැඩියෙන් මිරිස් කා වැඩියෙන් ජීවත් වෙන්න - Eating Chili Peppers Help You Live Longer

source - https://www.mancrates.com/blog/hot-sauce-contest-prep/


මිරිස් සහිත ආහාර පරිභෝජනයට ගැනීම මේ වන විට ලොව පුරා විලාසිතාවක් බවට පත්ව තිබේ.  මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම හෙවත් මරණයට පත් වීමේ අවදානම මිරිස් කෑමට නොගන්නා පුද්ගලයන්ට වඩා අඩු බවය.

මිරිස් ආහාරයට ගැනීම නිසා ලැබෙන සෞඛ්‍යමය වාසි සහගත තත්වයන් පිළිබඳ ඉතිහාසය මුළුල්ලේම සාධක ඕනෑ තරම් ලැබී තිබේ. මේ පිළිබඳ මෑතකදීම පර්යේෂණයක් සිදු කොට ඇත්තේ ඉතාලි ජාතික මහාචාර්යවරියක වන ලිසියා ලැකොවියෙලෝ ය. මිරිස් පිළිබඳ මෙතෙක් පර්යේෂණ පවත්වා ඇති සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ මිරිස්වලට මෙම සැර ගුණය ලබා දෙන්නා වූ රසායනය වන ‛කැප්සයිසින්’ කෙරෙහි ය. මෙතෙක් සිදුකරන ලද පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ කැප්සයිසින් නිසා හෘද ක්‍රියාකාරීත්වය සහ පරිවෘත්තීය ක්‍රියාවන් මනා ලෙස සිදුවන්නට ඉමහත් පිටිවහලක් ලැබෙන බවය. එමෙන්ම ස්නායු රෝග, ආතරයිටිස්, බඩවැල්වල රෝග සහ ඇතැම් අවස්ථාවලදී පිළිකාවලට පවා එරෙහිව සටන් කරන්නට හැකියාව මිරිස් කෑමට ගැනීම නිසා ශරීරයට ලැබෙන බව හෙළි වී තිබේ. කෙසේ නමුත් මෑතක දී බොහෝ පර්යේෂකයන්ගේ අවධානය යොමු වූයේ මිරිස් කෑමට ගැනීම නිසා මර්ත්‍යතා අවදානම අඩු වීම පිළිබඳවය.

ඉතාලියේ ‛මධ්‍යධරණීය ස්නායු ආයතනය’ (Mediterranean Neurological Institute) විසින් මේ පිළිබඳව පර්යේෂණයන් දෙකක් සිදුකොට තිබේ. ඉන් එකක් චීනයේ ද, අනෙක ඇමරිකා එක්සත් ජනපදයේ ද සිදුව තිබේ. මේ පර්යේෂණ දෙකින්ම හෙළි වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම ඉතා අඩු බවය.

ඔවුන් මේ සඳහා පිරිමි සහ කාන්තාවන් 22,811 දෙනෙක් මේ සඳහා සහභාගී කරවා ගැනුණි. ඔවුහු සිය පර්යේෂණයේ ප්‍රතිඵල ආමරිකානු හෘද රෝග වෛද්‍ය සඟරාව ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළහ.

මේ සඳහා සහභාගී කරවා ගත් සියලු දෙනා අවුරුදු 35 ට වැඩි අයවලුන් විය. ඔවුන් වසර 8 කට වැඩි කාලයක් තිස්සේ පර්යේෂකයන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබිණි. පර්යේෂණය අතරතුර දී එයට සහභාගී වූවන්ගේ 1,236 දෙනෙකු මරණයට පත් විය.

සෞඛ්‍යය කෙරෙහි බලපාන්නා වූ වෙනත් කාරණා, එනම්, ඒ ඒ පුද්ගලයන්ගේ වෛද්‍ය ඉතිහාසය, විවේක කාලයේ දී සිදු කෙරෙන ශාරීරික ක්‍රියාකාරකම්, දුම්බීම, මත්පැන් පානය සහ සමාජ ආර්ථික සාධක ආදිය ද සැලකිල්ලට ගනු ලැබිණි.

මේ පර්යේෂණයට සහභාගී කරවා ගන්නට පෙරාතුව සෑම පුද්ගලයකුටම මිරිස් කෑමට ගැනීම ඇතුළුව සිය ආහාර ගැනීමේ රටාව පිළිබඳ ප්‍රශ්නාවලියකට පිළිතුරු දෙන්නට සිදු විය.

එයට සහභාගී වූවන්ගෙන් 24.3%ක් සතියකට තුන් හතර වතාවක් මිරිස් කෑමට ගැනීමේ පුරුද්දෙන් යුක්ත විය. 33.7%ක් ඉතා කලාතුරකින් මිරිස් කෑමට ගැනීමේ පුරුද්ද තිබිණි. ඔවුන් අතර කිසිදා මිරිස් ආහාරයට නොගන්නා අය ද සිටියහ.

පර්යේෂණයයෙන් හෙළි වූ කරුණුවලට අනුව පර්යේෂකයන් පැමිණි නිගමනය වූයේ සතියකට තුන් හතර වතාවක් මිරිස් ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම 23%කින් අඩු බවය.

මිරිස් සහ හෘද සෞඛ්‍යය
හෘද රෝග පිළිබඳ සලකා බැලීමේ දී පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම එසේ නොවන පුද්ගයන්ට වඩා 34%කින් අඩු බව මෙම පර්යේෂණයෙන් හෙළි විය. එමෙන්ම පිළිකා රෝගීන් අතර ද මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානමේ යම් අඩුවක් පෙන්නුම් කළ ද එය සංඛ්‍යාත්මකව දක්වන්නට තරම් ප්‍රමාණවත් මට්ටමක නොතිබිණි. කෙසේ නමුත් පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගැනීම පොදුවේ මර්ත්‍යතා අවදානම අඩු කරන්නට හේතුවක් වන බව නම් පැහැදිලිවම සනාථ විය.

තවත් සොයා ගැනීම්
මෙම පර්යේෂණයෙන් හෙළි වූ තවත් දෙයක් වූයේ වැඩි වශයෙන්ම මිරිස් කෑමට ගන්නේ උසස් අධ්‍යාපනයක් ලද, වයසින් වැඩි පිරිමින් බවය. එමෙන්ම මිරිස් කෑමට ගන්නන් අතර  මිරිස් කෑමට නොගන්නන්ට වඩා දියවැඩියාව සහ අධ්‍යාතතිය, රුධිරයේ අධික ලිපිඩ මට්ටම සහ ඉහළ දේහ ස්කන්ධ පරිමාණයක් පවතින බව ද මෙම පර්යේෂණයෙන් හෙළි විය. මේවා සියල්ල හෘද රෝග ඇති කරන සාධක වුවත්, ඔවුන් පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගැනීම නිසා ඔවුන් සාමාන්‍යයෙන් මුහුණ දිය යුතු අවදානම් තත්වය අඩු වී ඇති බව පර්යේෂකයන්ගේ නිගමනය විය.

කෙසේ වෙතත් මිරිස් ආහාරයට ගැනීම නිසා ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ තවම ඇත්තේ සංවාදමය තත්වයකය. කැප්සයිසින් නිසා සිරුරේ බර අඩු වීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඇතැම් විද්‍යාඥයෝ මේ නිගමනය සමග සිය එකඟත්වය පළ කරති. කෙසේ නමුත් ඉතාලි පර්යේෂණ ආයතනය මගින් පවත්වන ලද පර්යේෂණයට සහභාගී වූ මිරිස් කෑමට ගන්නන් බොහොමයකගේ දේහ ස්කන්ධ පරිමාණ පැවතියේ ඉහළ මට්ටමකය.

සීමාවන් සහ අනාගතය
ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ සිදු කරන ලද මෙම පර්යේෂණ දෙක කෙරෙහි අවධානය යොමු කරන නිරීක්ෂකයන් පවසන්නේ මේ දෙකෙහිම යම් යම් සීමාවන් පවතින බවය. මෙය හුදෙක් නිරීක්ෂණ මට්ටමකින් සිදු කරන ලද්දක් වන බැවින් මෙවැනි නිගමනයකට එලැඹෙන්නට අවශ්‍ය වන කාරණා සහ හේතු පැහැදිලිව අවබෝධ කරගත නොහැකි බව ඔවුහු පවසති. අනෙක මෙවැනි තත්වයක් කෙරෙහි බලපාන්නා වූ අනෙකුත් සාධක ද මෙහිදී එතරම් සැලකිල්ලකට ගෙන නොමැත. අනෙක මෙයට සහභාගී වූ පුද්ගලයන්ගේ ආහාර ගැනීමේ රටාව පිළිබඳ තොරතුරු ලබා ගෙන තිබුණේ පර්යේෂණය ආරම්භයේ දී පමණි. මිනිසුන්ගේ පරිභෝජන රටාව කාලයත් සමග වෙනස් විය හැකි වුවත්, එය මෙහි දී සැලකිල්ලකට ලක් කොට නැත. එමෙන් දිනපතා වරක් දෙවරක් මිරිස් කෑමට ගැනීමෙන් සිදුවන බලපෑම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කොට නොමැති බව පෙනේ.

කෙසේ වෙතත්, අවසාන නිගමනය වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නන් අතර මර්ත්‍යතා අවදානම පහළ මට්ටමක පවතින බවයි. විශේෂයෙන් හෘද රෝග සම්බන්ධ මර්ත්‍යතා අවදානම ද පහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ. මිරිස් කෑමට ගැනීම සෞඛ්‍යය තත්වය ඉහළ නංවන්නක් බවට විවාදයක් නැති බව ද ඔවුන්ගේ නිගමනය විය. ඔවුන්ගේ ඊළඟ අපේක්ෂාව වන්නේ එසේ වන්නේ මන්දැයි යන්න පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමය.

Sunday, January 12, 2020

මගේ ජීව වායු ඒකකය - My Home-made Bio gas Unit



මගේ ජීව වායු ඒකකය ගැන කරපු අලුත්ම වීඩියෝ එක මෙතනින් බලන්න.



දැනට මාස කීපයකට කලින් ගෑස්  හිඟයක් ආපු වෙලාවේ මටත් හිතුණා බයෝ ගෑස් එකක්, එහෙමත් නැත්නම් ජීව වායු ඒකකයක්වත් තිබුණා නම් මේ වගේ වෙලාවකදි ප්‍රයෝජනවත් වෙයි නේද කියලා. ඉතින් මම යූටියුබ් විඩියෝ සෑහෙන ප්‍රමාණයක් බැලුවා කොහොමද බයෝ ගෑස් එකක් හදා ගන්නේ කියලා උපදෙස් ගන්න. බොහෝ යූටියුබ් වීඩියෝවල නම් ඉතා පහසුවෙන් බයෝ ගෑස් ඒකක හදලා ගැස් නිපදවා ගන්නවා පෙන්වපු නිසා මමත් වැඩේට බැස්සා. ඉතින් බයෝ ගෑස් එකක් හදා ගන්න හිතන අපේ බ්ලොග් සහෘදයන්ගේ හිත සුව පිණිස මම ලබාපු අත්දැකීම් ටික බෙදා හදා ගන්න එක හොඳයි කියලා හිතුණා.  

විශේෂයෙන් කියන්න ඕන මගේ බයෝ ගෑස් අත්දැකීම නම් යූ ටියුබ් වීඩියෝවල වගේ සුන්දර සහ ඉක්මන් එකක් නම් වුණේ නැහැ කියන එක.  

ජීව වායු ඒකකයක ආදර්ශ රූපසටහනක්




මේ අනුව බයෝ ගෑස් එකක් ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි.  
1. ජීරකය
2. ගෑස් රඳවනය

ජීරකය
ජීරකයෙන් කෙරෙන්නේ ජීර්ණය වන විවිධ දේවල් නිර්වායු, අඳුරු සහ උණුසුම් වටපිටාවක් තුළ ජීර්ණය වන්නට ඉඩහැරීමයි. බයෝ ගෑස් කියා අප හඳුන්වන මීතේන් වායුව නිපදවෙන්නේ එවැනි තත්වයකදියි.

ගෑස් රඳවනය
මෙසේ නිපදවෙන බයෝ ගෑස් හෙවත් මීතේන් වායුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කොට තබා ගත යුතුයි. ඒ සඳහා යොදා ගන්නා දෙය තමයි මේ නමින් හඳුන්වන්නේ.  



මේ වැඩ සඳහා මට මෙන්න මේ කොටස් යොදා ගන්න වුණා. මේවාත් අන්තර්ජාලයේ තිබුණු උපදෙස් මත මම දැනගත්තු දේවල්.  ගෑස් කරාම, ටී කනෙක්ටර් ආදිය ගෑස් ලිප් අලුත්වැඩියා කරන තැන්වලින් ගන්න පුළුවන්. මම නම් කොළඹ ගල්වල පැත්තේ රවුමක් ගහලා තමයි මේවා හොයා ගත්තේ. මොකද එතැන මේවා ටිකක් ගණන් අඩුයි.

ගෑස් කරාම, ටී කනේකටර්, ගෑස් කනෙක්ටර්

ලෙවල් බට


ජීරකය සඳහා මම තෝරා ගත්තේ මෙන්න මේ වගේ බැරල් එකක්. 




යූටියුබ් වීඩියෝ කිහිපයකම මේ වර්ගයේ බැරල් යොදා ගෙන තිබුණා. අපේ ගෙවල් ළඟ පරණ යකඩ එකතු කරන තැනක මේවා ගොඩ ගහලා තිබුණා. මම එයින් එකක් රුපියල් 1500 කට ගත්තා. සමහර විට ඔබට ඊට වඩා අඩුවෙන් හෝ නොමිලේ හෝ ලබා ගන්න පුළුවන් වෙයි.  

මේ බැරල් එක දැන් බයෝ ගෑස් ජීරකයක් බවට පත් කරන්න ඕන. ඒ සඳහා අප නල කිහිපයක් මෙයට සවි කර ගත යුතු වෙනවා.

1. ජීරණය වන ද්‍රව්‍ය ඇතුළු කරන නලය
2. ජීරණය වූ ද්‍රව්‍ය ඉවතට ගන්නා නලය
3. නිපදවෙන මීතෙන් වායුව වායු රඳවනය දක්වා ගෙන යන නලය









ජීරණය වන ද්‍රව්‍ය ජීරකයට ඇතුළත් කිරීමේ නලය උඩ පියන සිදුරු කොට මෙන්න මේ විදියට සවි කළා. මෙය ජීරකයේ පහළටම ගමන් කළ යුතුයි. මේ සඳහා මම අඟල් 2 පීවීසී නලයක් යොදා ගත්තා. ජීරණය වන ද්‍රව්‍ය පහසුවෙන් දැමීම සඳහා එහි විවරය තරමක් පුළුල්ව තිබිය යුතු නිසා මුදුනේ අඟල් 4 නල කොටසක් සවි කොට එන්ඩ් කැප් එකක් එහි පියන විදියට යොදා ගත්තා.

ජීව වායුව නිපදවීම සඳහා තාපය වැදගත් සාධයක් වන නිසා වැඩි තාපයක් උරා ගැනීමට පහසු වනු පිණිස බැරල් එකේ කලු තීන්ත ආලේප කළා.





ජීරණය වූ ද්‍රව්‍ය ඉවතට ගන්නා නලය මම ජීරකයේ පැත්තකින් මෙන්න විදියට සවි කළා. මම වැඩි හොඳට ජීරකයේ පිටතින් ද ඉංග්‍රීසි ‘යු‘ හැඩයෙන් යුක්තව ජල මුද්‍රකයක් ද සවි කළා.





හොඳින් මතක තබා ගත යුත දේ තමයි මේ සෑම සම්බන්ධයක්ම හොඳින් මුද්‍රා වී තිබිය යුතු බව. පීවීසී නල නම් පීවිසී ගම් එකකින් අලවා ගන්න පුළුවන්. ජීරකයට සම්බන්ධ කෙරෙන නල සම්බන්ධ වන ස්ථානයන් හොඳින් මුද්‍රා වන්නට නම් ඒවා ද හොඳින් අලවා ගත යුතුයි. මේ සඳහා හොඳම ගම් වර්ගය තමයි ‛ඇරල්ඩයිට්’ කියන්නේ. 




මෙය ටියුබ් දෙකක් විදියට තමයි මිලට ගන්න තියෙන්නේ. ටියුබ් දෙකෙන්ම එක හා සමාන කොටස් අරන් මිශ්‍ර කොට ගම් එක පිළියෙල කර ගත යුතුයි. ඕනෑම දෙයක් මිනිත්තු කිහිපයක් තුළ සවිමත්ව අලවන්න මේ ගම්වලට පුළුවන්. ඒ වගේම් මේ ආකාරයට ටියුබ් දෙකකින් මිලට ගත හැකි වෙනත් ගම් වර්ගත් තියෙනවා. ඒවා ද ඉතා ඉක්මනින් වියළෙනවා නම් ඒවා වුනත් මේ වැඩේට සුදුසුයි.  

නිපදවෙන ගෑස් රඳවනය සඳහා රැගෙන යාම සඳහා අඟල් භාගයේ පීවීසී නලයක් යොදා ගත්තා.  





යූටියුබ් විඩියෝ කිහිපයකම තිබුණු ආකාරයට මම ගෑස් රඳවනය සඳහා යොදා ගත්තේ භාවිත කොට ඉවත දැමූ වාහන ටියුබයක්. ටයර් කඩයකින් මේවා පහසුවෙන් සොයා ගන්න පුළුවන්. හැබැයි මට නම් ටයර් කඩ කීපයකම රස්තියාදු වෙන්න වුණා මේ වැඩේට. මට හොයා ගන්න පුළුවන් වුණේ කාර් ටියුබයක්. බස් එකක වගේ ටියුබයක් සොයා ගන්න පුළුවන් නම් ගෑස් වැඩි ප්‍රමාණයක් රඳවා තබා ගන්න පුළුවන්.  

මම මුලින් කාර් ටියුබ් එකක් මේ වැඩේට ගත්තත්, පස්සේ මම ටිපර් එකක පරණ ටියුබ් එකක් හොයා ගත්තා. ඒක මම ගෙයින් පිටතයි සවි කළේ. මෙන්න මේ ආකාරයට සවි කළා. පීඩනය ගන්න පරණ කාර් බැටරියක් උඩින් තියලා තියෙනවා. මෙයට සෑහෙන ප්‍රමාණයක ගෑස් ගබඩා කරගන්නට පුළුවන්. 




ගෑස් රැගෙන යන නලයේ කෙළවරට මේ කොටස සම්බන්ධ කළ යුතුයි. රඳවනය සහ බයෝ ගෑස් උඳුන කරා ගැස් රැගෙන යන නල සඳහා මේසන් බාස්ලා ලෙවල් බට සඳහා භාවිත කරන නල සුදුසුයි. සාමාන්‍ය ගෑස් බට මේ සඳහා යොදා ගැනීමේදී මට ගැටළු මතුවුණු නිසායි එසේ සඳහන් කළේ. සාමාන්‍ය ගෑස් නලවල ප්‍රමාණයට ගැළපෙන සේ මේ ලෙවල් බට තෝරා ගත යුතු වෙනවා.  



විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් දෙයක් වන්නේ ගෑස් බට සම්බන්ධ කිරීමේදී අනිවාර්යයෙන්ම ගෑස් ක්ලිප් භාවිත කළ යුතු බවයි. නැතහොත් ගෑස් කාන්දුවීමට ඉඩ තිබෙනවා. එය අනතුරුදායක විය හැකියි.

ඉන්පසු ටී කනෙක්ටරය මගින් ගෑස් රඳවන ටියුබ් එක මෙසේ සම්බන්ධ කළ යුතු වෙනවා. එහි අනෙක් පැත්තට තවත් නලයක් සවි කොට එහි කෙළවරට ගෑස් කරාමයක් සවි කළ ගත යුතුයි.  




දැන් වැඩ අවසන්. දැන් තියෙන්නේ මීතෙන් වායුව නිපදවෙන්නට අවශ්‍ය ජීරක ද්‍රව්‍ය ජීරකයට ඇතුළු කිරීමයි.  

ජීරණය වන ඕනෑම දෙයක් මේ සඳහා සුදුසු වුනත් ආරම්භයේ දී මීතේන් වායුව ඉතා ඉක්මනින් නිපදවෙන්නේ ගොම මගින්.  

මේ සඳහා මම ගොම කිලෝ විස්සක් පමණ යොදා ගත්තා. ගවයන් සිටින නිවෙස්වලින් සුළු මුදලකට හෝ නොමිලේම හෝ ගොම ලබා ගන්න පුළුවන්.

ගොම ජලය සමග හොඳින් මිශ්‍ර කළ යුතුයි. මෙහිදී මිශ්‍රණය ඉතා උකු ගතියෙන් යුක්ත වීම හෝ ඕනෑවට වඩා දියර ස්වභාවයෙන් යුක්ත වීම හෝ නොවිය යුතුයි. මේ අතරමැදි තත්වයෙන් පවතින සේ දියරය පිළයෙල කර ගැනීමට මතක තබා ගන්න.  

ගොම මිශ්‍ර කරගැනීම

ඉන් පසු මෙම දියරය ජීරකයට ඇතුළු කළ යුතුයි. මෙය තුළට ඔක්සිජන් ඇතුළු විය හැකි තැන් සොයා බලා ඒවා සියල්ල හොඳින් මුද්‍රා කොට තැබිය යුතු වෙනවා. ඔක්සිජන් ඇතුළු වුවහොත් වැඩි වශයෙන් කාබන් ඩයොක්සයිඩ් නිපදවෙනවා.  

මෙසේ මුද්‍රා තැබූ ජීරකයක් තුළ දින හතක් පමණ ගත වෙද්දී මීතෙන් වායුව නිෂ්පාදනය Methanogenic බැක්ටීරියාව ඇති වෙනවා. කෙසේ නමුත් වෙළෙඳ පළේ අළෙවියට ඇති ජීව වායු ඒකක තරම් ඉක්මනින් අපට මෙවැනි ජීරකයක නිපදවෙන වායුව ප්‍රයෝජනයට ගන්නට ලැබෙන අවස්ථාව අඩුයි. එයට හේතුව මෙවැනි ජීරකයක් තුළ මුල් දිනවලදී මීතේන්වලට වඩා නිපදවෙන්නේ කාබන්ඩයොක්සයිඩ් නිසයි. මෙය ගෑස් රඳවන ටියුබයට එකතු වුනත් දැවෙන්නේ නැහැ. දැවෙන වායුව ඇති වන තාක් මේවා ඉවත් කරමින් නැවත නැවත වායුව පුරවන්නට සිදු වෙනවා. එය කරදරයක් වුවත්, අවසන් ප්‍රතිපලය මීතෙන් වායුව නිසා එය ඉවසා සිටින්නට සිදු වෙනවා. අනෙක වාණිජ වශයෙන් අළෙවියට තබා ඇති ජීව වායු ඒකක සමග ඔවුන් ජීව වායුව නිපදවෙන උත්ප්‍රේරකයක් ලබා දෙනවා. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ කුමක්දැයි නොදන්නා මුත් අන්තර්ජාලයේ කිහිප තැනක සඳහන්ව තිබුණේ ගොම සමග දහයියා මිශ්‍ර කිරීමෙන් උත්ප්‍රේරකයක් සාදා ගත හැකි බවයි. මම එවැන්නක් අත්හදා බැලුවේ නම් නැහැ.

ටියුබයෙන් වායුව ඉවත් කරන්නට පෙර එය දැවෙනවාද කියා පරීක්ෂා කළ යුතුයි. නිපදවෙන වායුවෙන් මීතෙන් ප්‍රතිශතය අඩුම තරමේ 40%ක් වත් වන තුරු දැවීමක් සිදුවන්නේ නැහැ. 40% ක් මීතෙන් සංයුතිය ඇතිවන්නට පටන් ගත් අවස්ථාවේ සිට දුර්වල මට්ටමකින් දැවෙන්නට පටන් ගන්නවා. ටිකෙන් ටික මීතේන් සංයුතිය වැඩි වත්ම දැල්ලේ ප්‍රබල බව ද වැඩි වෙනවා.  

නිපදවෙන මීතේන්වල ගුණත්වය වැඩි නම් තද නිල්පාට ගිනි දැල්ලක් දැකිය හැකියි. එහි යම් ප්‍රමාණයකින් කාබන්ඩයොක්සයිඩ් ඇති නම් රතු පාට දැල්ලක් ද වරින් වර දැකිය හැකියි.  




ප්‍රබලව දැල්ලක් ඇති වන්නට පටන් ගත් විට බයෝ ගෑස් උදුනකට ගෑස් නලය සවි කොට ප්‍රයෝජනයට ගත හැකියි.  



ජීව වායුව එල්.පී. ගෑස් උදුන් සමග භාවිත කළ නොහැකි බව හොඳින් මතක තබා ගත යුතු වෙනවා. එයට හේතුව ජීව වායුව එල්.පී. ගෑස් තරම් පීඩනයකින් යුක්ත නොවීමයි. එල්.පී. ගෑස්වල සාමාන්‍ය පීඩනය 320 PSI වෙනවා. PSI කියන්නේ  Pounds per square inch කියන එකයි. නමුත් ජීව වායු පීඩනය 2 - 200 අතර තියෙන බව තමයි කියවෙන්නේ. මේ නිසා බයෝ ගෑස් සඳහා වෙනම නිපදවූ උදුනක් සොයා ගත යුතු වෙනවා. එසේත් නැත්නම් සාමාන්‍ය ගෑස් උදුනක් ගෙන එහි නිපල් කොටස ගලවා දැමිය යුතු වෙනවා.  ඒ වගේම බර්නර් කොටසේ ඇති සිදුරු සාමාන්‍ය උදුනකට වඩා විශාල විය යුතු වෙනවා. 

නිපල් කොටස ගලවන ආකාරය මෙහි අවසානයේ ඇති වීඩියෝවේ ඇතුළත් කොට තිබෙනවා.



එල්.පී. ගෑස් බර්නර් එකක්. එහි සිදුරු කුඩාවට සකස් කොට තිබෙනවා.


ජීව වායු බර්නර් එකක්. එහි සිදුරු විශාලව සකස් කොට තිබෙනවා.


ජීව වායු උදුනක්.



බයෝ ගෑස් උදුන් රුපියල් 6000 ක් පමණ වෙනවා. කෙසේ නමුත් කෑම කඩවල ආප්ප ඉවීම සඳහා භාවිත කරන ආප්ප උදුන් අඩු මිලකට ලබා ගත හැකියි. එවැන්නක් මිලට ගෙන නිපල් කොටස ගලවා දැමීමෙන් අපට පහසුවෙන් අඩු මුදලකට බයෝ ගෑස් උදුනක් සාදා ගන්නට පුළුවන්. 


සාමාන්‍ය LP Gas ලිපක් ජීව වායු ලිපක් බවට හරවගන්නේ මෙහෙමයි.

නිපලයේ ඇති මෙම කුඩා සිදුරෙන් ගමන් කළ හැක්කේ එල්.පී. වායුවට පමණයි. ජීව වායුවේ පීඩනය අඩු නිසා මෙය ගළවා ඉවත් කළ යුතුයි.



ආප්ප ඉවීම සඳහා ගන්නා ගෑස් උදුන. මෙය මා මිලට ගත්තේ රු. 1200 කට. මෙය ජීව වායුව සමග භාවිත කළ හැක්කේ නිපල් කොටස ගලවා ඉවත් කිරීමෙන් පසුව පමණයි. එය ඉවත් කරන ආකාරය මේ සටහන අවසානයේ ඇති වීඩියෝවේ ඇතුළත් වෙනවා. 


අවසන් බිංදුව තෙක්ම ජීව වායුව භාවිත කරන්නට නම් ටියුබය මත ලෑල්ලක් තබා එයට යම් බරක් යෙදිය යුතු වෙනවා. එවිට යම් පීඩනයකින් යුක්තව උදුන කරා වායුව ගලා ගෙන එනවා.  




හොඳින් ගෑස් නිපදවී දින කිහිපයක් ප්‍රයෝජනයට ගත්තාට පසුව පමණයි වෙනත් ද්‍රව්‍ය ජීරකයට දැමිය යුත්තේ. සීනී, ග්ලිරිසීඩියා කොළ, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය, ඉඳුල්, පිළුණු වූ බත්, වෑංජන, පාන්, කිරි ආදී බොහෝ දේවල් මෙයට ඇතුළත් කළ හැකියි. කෙසේ නමුත් තේ කුඩු, බිත්තර කටු ආදිය දැමීමෙන් වැළකී සිටිය යුතු බව කිහිප තැනකම සඳහන්ව තිබුණා.  

මෙය තුළ නිපදවුණු Methanogenic බැක්ටීරියාව මිය යා නොදී ජීවත් කරවන්නට නම් සෑහෙන තරමින් මේ අපද්‍රව්‍ය ජීරකයට ඇතුළු කළ යුතුයි. මේ බැක්ටීරියාවෙන් කරන්නේ අප දමන අපද්‍රව්‍ය ආහාරයට ගෙන මීතේන් වායුව පිට කිරීමයි. යම් විදියකින් එයට ආහාර නොලැබුනොත් බැක්ටීරියාව මිය යා හැකියි.

මා සාදන ලද ජීරකයෙන් දැවෙන තරමට මීතේන් වායුව නිපදවෙන්නට මාසයකට වඩා කාලයක් ගත වුණා. අන්තර්ජාල වීඩියෝ ආදියේ එතරම් කාලයක් ගත වන බව සඳහන් නොවුණු නිසා මෙයට හේතුව දැනගැනීම සඳහා නර්ඩ් (National Engineering Research and Development Centre – NERD) ආයතනය අමතා එයින් ද උපදෙස් ලබා ගත්තා. මේ සටහනට එයින් ලබා ගත් විස්තර ද ඇතුළත් කොට තිබෙනවා.  එහි ඉංජිනේරුවරයකු වූ සුනිල් වැලිවිට මහතා ලබාදුන් උපදෙස් මට මෙහිදී සෑහෙන්න වැදගත් වුණා. 

වෙළෙඳ පළේ අළෙවියට ඇති ජීව වායු ඒකකවල ඇත්තේ ජීරකය මත මුනින් අතට හරවන ලද ගෑස් රඳවනයක්. මේ පින්තූරවලින් දැක්වෙන්නේ එවැනි ඒවා කිහිපයක්. ලෝකයේ බොහෝ රටවල වාණිජ වශයෙන් අළෙවිය ඇත්තේ මේවායි. ඔබට එවැනි එකක් සාදා ගන්නට වුනත් හැකියාව තිබෙනවා.  


ආර්පිකෝ ජීව වායු ඒකකය



මේ ජීව වායු ඒකකවල ගෑස් එකතු වෙන්නේ ඉහළින් මුනින් අතට හරවා ඇති බඳුන තුළයි. ගෑස් නිපදවෙද්දී මේ බඳුන ඉහළට ගමන් කරනවා. ජීරකය තුළ ඇති දියරය වායු මුද්‍රාවක් ලෙස ක්‍රියාත්මක වන නිසා වායුව පිටතට කාන්දු වීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔක්සිජන් මෙයට ඇතුළු වන්නේ ද නැහැ.  


ඒ වගේම ගෑස් රඳවනය සඳහා ටියුබයක් භාවිත නොකොට මේ ආකාරයේ ඇටවුමක් මගින් ගෑස් ගබඩා කරගන්නටත් හැකියාව තිබෙනවා. 




විවිධ ආකාරයෙන් ඉදිකරන ලද ජීව වායු ඒකක





විවිධ ආකාරයෙන් සාදාන ලද ගෑස් රඳවන ද ඕනෑ තරම් තිබෙනවා. අන්තර්ජාලයේ සෙවීම් කිරීමෙන් ඔබට තවත් බොහෝ තොරතුරු මේ සම්බන්ධව ලබා ගන්නට පුළුවන්.  

ඒ වගේම කලින් සඳහන් කළ පරිදි නර්ඩ් ආයතනයත්, ප්‍රදේශීය විදාතා මධ්‍යස්ථාන නියෝජිතයන්ගෙන් ද යම් යම් මට්ටම්වලින් උපදෙස් ලබා ගන්නට පුළුවන්.  

මෙවැන්නක් ගොඩ නගා ගැනීමෙන් ඔබට එල්.පී. ගෑස් සඳහා වැය වන මුදල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉතිරි කරගන්නට පුළුවන්. වඩාත් හොඳ ඒකකයක් සාදා ගත්තොත් එල්.පී. ගෑස් සඳහා වැය වන මුදල සම්පූර්ණයෙන්ම ඉතිරි කර ගන්නටත් පුළුවන්. ඒ වගේම නිවසේ ඉතිරි වන ජීරණය වන අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ගැටළුවට විසඳුමක් ද ලැබෙනවා. ගෙවත්ත වඩාත් පිරිසුදුව තබා ගන්නට මෙය උපකාරයක් වෙනවා.  

ඒ වගේම ගෑස් නිපදවීමෙන් පසු ජීරකයෙන් පිටවන දියරය ඉතා උසස් දියර පොහොරක් ලෙස භාවිතයට ගත හැකියි. එය පොහොරක් සේම ඉතා හොඳ කෘමි නාශකයක් ද වෙනවා.





Thursday, January 2, 2020

වෝල්ට් 230 න් එල්.ඊ.ඩී. බල්බයක් දල්වමු - 230 V to an LED Bulb



අනතුරු ඇඟවීමයි


මෙම පරිපථයෙන් එල්.ඊ.ඩී. බල්බ දල්වන්නට හැකි වුව ද විදුලි සැර වැදිය හැකි නිසා විදුලියට සම්බන්ධ කිරීමෙන් පසු ස්පර්ශ කිරීමෙන් වැලකී සිටිය යුතුය. 

වෝල්ට් 230 න් එල්.ඊ.ඩී. දල්වන පරිපථ අන්තර්ජාලයේ ඕනෑ තරම් තියෙනවා. මේක මට මගේ හිතවතකුගෙන් ලැබුණු පරිපථයක්. මෙය හොඳින් ක්‍රියාත්මක වන නිසා එය බෙදා හදා ගන්න එක හොඳයි කියලා හිතුණා. 



 මේ පරිපථය ප්‍රයෝජනවත් වෙන්නේ වෙසක් කාලෙට. පාට හයේ එල්.ඊ.ඩී. බල්බ කෙලින්ම වෝල්ට් 230 න් දල්වන්න මේ සරල පරිපථයට පුළුවන්. මෙන්න මේවා තමයි ඕන වෙන්නේ. 


100uf/16v - 1 ( වෝල්ටීයතාව මීට වඩා වැඩි වුනත් ගැටළුවක් නැහැ)
MPE Capacitor 474 K - 1
680K - 1 Resistor -1/2 watt
270 Ohms - 1 Resistor -1 watt
IN 4007 - 4



මුලින්ම IN 4007 ඩයෝඩවලින් බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් සාදා ගන්න ඕන මෙන්න මේ විදියට.



දැන් 100uf/16v මෙහි + සහ - අග්‍රවලට පාස්සා ගන්න ඕන මෙන්න මේ විදියට.




ඉන් පස්සේ 230 විදුලිය සම්බන්ධ කරන එක් අග්‍රයකට MPE Capacitor 474 K සහ 680K ප්‍රතිරෝධකය සමාන්තරගත විදියට සම්බන්ධ කරගන්න ඕන. 





ඉන්පස්සේ 230 සපයන අනෙක් අග්‍රයට 270 Ohms ප්‍රතිරෝධකය පාස්සා ගන්න ඕන.





පරිපථයේ වැඩ අවසන්.



දැන් ( + ) සහ ( - ) අග්‍රවලට එල්.ඊ.ඩී. බල්බ එකක් හෝ ඕනෑ තරමක් සමාන්තරගත විදියට සම්බන්ධ කරන්න පුළුවන්. එසේ සම්බන්ධ කොට වෝල්ට් 230 සපයන්න.


වෝල්ට් 230 කින් එල්.ඊ.ඩී. බල්බයක් දැල්වීම ගැන ඇතැමුන්ට ගැටලුවක් ඇති තිබෙන බව  මෙයට වැටී ඇති කොමෙන්ටුවෙන් පෙනෙනවා. එවැනි පරිපථයක් ගොඩනගා ක්‍රියාත්මක කිරවීම මරණීය දෙයක් බව ඔවුන් සිතනවා විය හැකියි. කෙසේ නමුත් අප නිවෙස්වල දල්වන බල්බවලට පවා භාවිත කරන්නේ මෙවැනි පරිපථවල වඩාත් වැඩි දියුණු කරන ලද ඒවා බව ඇතැමුන් නොදන්නා බව පෙනෙනවා. කෙසේ නමුත් එවැනි සියලු දෙනාගේ දැක සංකා දුරු කරනු පිණිස මෙම පරිපථයෙන් එල්.ඊ.ඩී. බල්බයක් දල්වන ආකාරය දැක්වෙන වීඩියෝ එකක් මෙයට ඇතුළත් කරන්නට තීරණය කළා. මේ සඳහා යොදා  ගත්තේ මේ බ්ලොග් සටහන ලිවීම සඳහා භාවිත කළ පරිපථයම බව සලකන්න.




LED from Niranjan Karunathilake on Vimeo.





අනතුරු ඇඟවීමයි

මෙම පරිපථයෙන් එල්.ඊ.ඩී. බල්බ දල්වන්නට හැකි වුව ද විදුලි සැර වැදිය හැකි නිසා විදුලියට සම්බන්ධ කිරීමෙන් පසු ස්පර්ශ කිරීමෙන් වැලකී සිටිය යුතුය.