පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, August 10, 2014

හේමමාලී කුමරිය දළදා වහන්සේ හංගාගෙන පැමිණියේ ඇයි? - Why did Prince Hemamali hide the tooth relic in her hair?



අපේ රටේ බෞද්ධයින් වැඳුම් පිදුම් කරන ස්ථාන අතරින් අතිශය ගෞරවාදරයට පත් වුණු ස්ථාන දෙකක් තිබෙනවා. ඉන් එකක් තමයි ජය ශ්‍රී මහා බෝධන් වහන්සේ. අනෙක් තමයි ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ. මෙම සිද්ධස්ථාන හැඳින්වෙන්නේ සමස්ථ ලෝක බෞද්ධවාසීන්ගේම මුදුන් මල්කඩ නමින්. මේ පූජනීය වස්තූන් අතරින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අප රටට වැඩම කරවාගෙන පැමිණියේ සඟමිත් මහ රහත් තෙරණියයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ලංකා ගමනය කියන්නේ ඉතිහාසයේ සිදුවුණු උත්කර්ෂවත් අවස්ථාවක්. ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹකොල පටුනේ සිට අනුරාධපුරය දක්වා වැඩම කළ අවස්ථාව ගැන ඇති ඓතිහාසික ලිඛිත මූලාශ්‍රවලින් මේ බව පැහැදිලි වෙනවා. නමුත් දන්ත ධාතූන් වහන්සේගේ ලංකා ගමනය සිද්ධ වෙන්නේ මීට වඩා වෙනස් ආකාරයකට. 


දන්ත ධාතූන් වහන්සේ අපේ රටට වැඩම කරවන්නේ හේමමාළා කුමරියගේ කෙස් කළඹේ සඟවාගෙන ඉතා හොර රහසේ. ශ්‍රී මහා බෝධීන් වහ්නසේ අප රටට වැඩම කරවන අවස්ථාවේ ඒ පිළිබඳ කලින් දැන සිටි නිසා විවිධ ආගමික උත්සව රටපුරා පැවැත්වුණා. නමුත් දන්ත ධාතූන් වහන්සේ පිළිගන්නට කිසිම උත්සවයක් අපේ රටේ පැවැත්වුණේ නැහැ. එයට හේතුව දන්ත ධාතූන් වහන්සේ වැඩමවන බවට කිසිඳු ආරංචියක් නොලැබීමයි. මෙය මෙසේ සිදුවුණේ ඇයි? දන්ත ධාතූන් වහන්සේගේ ලංකා ගමනය ගමනය ගැන ඇති ඓතිහාසික තොරතුරු සොයා බැලූ කෙනෙක් නම් මේ බව දන්නවා වන්නට පුලුවන්. නමුත් බොහෝ දෙනෙක් මෙම කරුණු දන්නේ නැහැ. ඒ නිසයි අප ඒ ගැන කතා කරන්න හිතුවේ. 


පිරිනිවන්පෑමෙන් පසුව බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරනවා. නමුත් එය මුළුමන්ම දැවී යාමට පෙර වර්ෂාවක් ඇද වැටෙනවා. එහි ප්‍රතිපළයක් විදිහට උන් වහන්සේගේ ශරීරයේ අස්ථි කොටස් ගණනාවක් දැවී නොගොස් ඉතිරි වෙනවා. මේ ඉතිරි වුණු කොටස් අතුරින් සප්ත මහා ධාතූන් වශයෙන් හඳුන්වනු ලබන කොටස් 7ක් තිබෙනවා. ඒ තමයි ලලාට ධාතුව, අකු ධාතු දෙනම හා සතර දළදාව. ශ්‍රී දේහයේ අනෙක් කොටස් මුං පියළි සහ අබ ඇට තරම් කුඩා කොටස්වලට කැඩී තිබූ බවයි පැවසෙන්නේ. ඉහත සඳහන් කළ සතර දළදාව ලෙස හඳුන්වනු ලබන්නේ වර්තමානයේ අප රදනකයනුවෙන් හඳුන්වනු ලබන දන්ත විශේෂයයි. 


මෙසේ ඉතිරි වූ ධාතූන් වහන්සේලා ලබාගැනීමට දඹදිව විසූ රජවරු යම් සටනකට පිවිසෙන්නට පවා සූදානමින් සිටි බව ඉතිහාසයේ දැක්වෙනවා. මෙහිදී මැදිහත් වුණු ද්‍රෝණ නම් බමුණා දඹදිව රජ දරුවන් අතර මෙම ධාතූන් වහන්සේලා සමව බෙදා දුන් බවත් ඉතිහාසයේ දැක්වෙනවා. දළදා වංශයට අනුව ඉහත සඳහන් කළ සතර දළදා වහන්සේලා තව්තිසාව, නාග ලෝකය, ගන්ධාර දේශය හා කාලිංග දේශයට වැඩම කරවන ලද බව පැවසෙනවා. නමුත් තවත් විවිධ තැන්වල මෙයට වඩා වෙනස් අයුරින් ද මේ පිළිබඳව දැක්වෙන බව සඳහන් කළ යුතුයි. මේ සතර දළදා වහන්සේලා අතරින් අපගේ මේ කතාවට වැදගත් වන්නේ කාලිංග දේශයට වැඩම කරවන ලද දන්ත ධාතූන් වහ්නසේයි. කාලිංග දේශයට වැඩම කරවන ලද්දේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි වම් පැත්තේ යටි හනුවේ වූ රදනක දතක් බවයි බොහෝ තැන්වල සඳහන් වන්නේ. 


කාලිංග දේශයට වැඩම කරවන ලද දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් එහි රජු දළදා මන්දිරයක් තනවා වැඳුම් පිදුම් කළ බවත්, ඔහුගේ මරණයෙන් පසු රජ වූ ඔහුගේ පුත්, කසී රජු ද එම වත් පිළිවෙත් අඛණ්ඩව සිදුකරගෙන පැමිණි බවත් පැවසෙනවා. කාලිංග රජ පරපුර මේ ආකාරයට වසර 800ක් පමණ දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් පුද පූජා පැවැත්වුවා. කෙසේ නමුත් මේ රාජ පරම්පරාවේ අවසාන සමයේ ගුහසීවනම් කෙනෙකු රජකමට පත්ව තිබෙනවා. මෙතෙක් සිටි සියලු රජවරුන් ඉතා සැදැහැවත් බෞද්ධයන් වුවත් ගුහසීව රජු, නිඝන්ටයන්ගේ බසට රැවටී ජෛන ආගම ඇදහූවෙක් බවයි සඳහන් වන්නේ. ඒ නිසා ඔහු වසර 800ක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආ දළදා සිරිත් නවතා දමා තිබෙනවා. නමුත් රට වැසියන් මේ සිරිත් නතර කර දැමුවේ නැහැ. රටවැසියන්ගේ සැදැහැති බව දුටු රජු යළිත් බුදු දහම කෙරෙහි පැහැදී දළදා සිරිත් රාජ අනුග්‍රහයෙන් සිදු කරන්නට පටන් ගත්තා. 


මෙය නිඝණ්ඨයන්ට ඉවසා ගන්නට පුලුවන් වුණේ නැහැ. ඔවුන් ගුහසීව රජු නැවත තම බසට හරවා ගන්නට උත්සාහ කළා. මෙහිදී කෝපයට පත් ගුහසීව රජු නිඝණ්ඨයන්ව තම රාජධානියෙන් පන්නා දැමුවා. නිඝණ්ඨයන් මෙහිදී කෙළින්ම ගියේ පැලලුප් නුවර සිටි පණ්ඩුනම් රජු වෙතටයි. පණ්ඩු රජුට හින්දු භක්තිකයෙක්. ඔහු හමු වූ නිඝණ්ඨයන් පැවසූයේ මෙවැන්නක්. 


කාලිංගයේ සිටින ගුහසීව කියන ප්‍රාදේශීය රජු ඔබතුමා අදහන හින්දු ආගමට නිග්‍රහ කරමින් මිනී ඇටයකට වැඳුම් පිදුම් කරනවා. මෙහෙම බලා ඉඳළා හරියන්නේ නැහැ.” 


මේ අවස්ථාවේදී සිය සේනාව යවා දළදා වහන්සේ පැලලුප් නුවර ගෙන්වා ගන්නා පණ්ඩු රජු නිඝණ්ඨයන්ගේ කීම අනුව එය විනාශ කරන්නට විවිධ උපක්‍රම යොදනවා. නමුත් දන්ත ධාතූන් වහන්සේ මේ සෑම අවස්ථාවකදීම ප්‍රාතිහාර්යපාමින් උපද්‍රවයන්ගේ ගැළවෙනවා. මෙහිදී දන්ත ධාතූන් වහන්සේ ගැන පැහැදෙන පණ්ඩු රජු එය නැවත ගුහසීව රජුටම  බාර දෙනවා.  නමුත් ප්‍රශ්නය එතැනින් අවසන් වන්නේ නැහැ. 


දඹදිව සිටි ඛීරධාර නම් ප්‍රාදේශීය රජකුගේ බෑණා කෙනෙක් දන්ත ධාතූන් වහන්සේ ලබැගැනීම සඳහා යුද්ධයකට පැමිණෙනවා. මෙහිදී ගුහසීව රජු පවසන්නේ තම දිවි තිබෙන තුරු දළදාව නොදෙන බවයි. නමුත් යම් හෙයකින් යුද්ධයෙන් පරාජය වුවහොත් දළදා වහන්සේ සතුරන් අතට පත්වන බැවින් එහි ආරක්ෂාවට උපක්‍රමයක් යොදනවා. 

ගුහසීව රජුගේ දියණිය වන්නේ හේමමාළා කුමරියයි. ඇය හා විවාහ වී සිටියේ දන්ත කුමරුන් සමඟයි. යම් හෙයකින් යුද්ධයෙන් පැරදෙන බව පෙනුනොත් දළදා වහන්සේ රැගෙන සයුරෙන් එහා පිහිටි සීහලදීපයට යන්නැයි ගුහසීව රජු දන්ත කුමරුට උපදෙස් දෙනවා. එහි සිටින මහා සේන (මහසෙන්) රජු තමාගේ මිතුරකු බවත්, සීහල දේශයේ සිටින්නේ බෞද්ධයන් නිසා එහි දළදා වහන්සේට ආරක්ෂාව සැළසෙන බවත් ඔහු පවසනවා. නමුත් සතුරන් කොහි සිටී දැයි නොදන්නා නිසා දළදා වහන්සේ හේමමාළා කුමරියගේ කෙස් කළඹේ සඟවාගෙන, ආඬින් සේ වෙස් වළාගෙන යන්නැයි ද උපදෙස් දෙනවා. 


මේ අනුව දඹදිව තූත්තුකුඩිය නම් ස්ථානයෙන් නැව් නගින ඔවුන් දෙදෙනා විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් අනුරාධපුරයට පැමිණෙනවා. මේ පැමිණෙන අතරවාරයේ මහසෙන් රජු මිය යනවා. ඒ වන විට රජකම් කරන්නේ කීර්ති ශ්‍රී මේඝවර්ණ (කිත්සිරිමෙවන්) රජුයි. මෙසේ පැමිණි හේමමාළා කුමරියගේ හා දන්ත කුමරුන්ගේ පළමු නවාතැන වන්නේ ඉසුරුමුණි විහාරය බව ඇතැමෙක් පවසනවා. 


මේ කාලය වනවිට අනුරාධපුරයේ මහාවිහාරය සහ අභයගිරිය යන විහාරයන් දෙකම පවතිනවා. මේ අතුරින් මහා විහාරය දැඩි ලෙස ථේරවාදී බුදු දහම අනුගමනය කළා. ඔවුන්ගේ අවසාන අරමුණ වූයේ නිවන් මග නිසා බණ දහම් භාවනා ආදියෙන් ඔබ්බෙහි වූ වෙනත් වත් පිළිවෙත්වලට නැඹුරු වුණේ නැහැ.  එබැවින් දන්ත ධාතූන් වහන්සේගේ වැඩම කිරීම තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්නට පිහිටක් නොවන බවයි ඔවුන්ගේ අදහස වුණේ. ඒ නිසා ඔවුන්ට දළදා වහන්සේගේ වැඩමකරවීම වැදගත් දෙයක් වුණේ නැහැ. නමුත් අභයගිරි විහාරයේ භික්ෂූන් නිවන් මගට වඩා පුද පූජා චාරිත්‍ර, වත් පිළිවෙත් වැනි දේ අනුගමනය කළ පිරිසක්. ඒ නිසා දළදා වහන්සේ වැඩමකරවන ලද්දේ අභයගිරි විහාරයටයි. අනක මහසෙන් රජුගේ කාලයේ මහා විහාරයට එතරම් රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ නැහැ. ඔහු විසින් අනුග්‍රහයන් දක්වනවා වෙනුවට කළේ එයට හැකි තරම් නොපනත්කම් කිරීමයි. සියලු වරප්‍රසාද හිමිවුණේ අභයගිරි විහාරයටයි. මේ නිසා දන්ත ධාතූන් වහන්සේ අභයගිරි විහාරයට වැඩම කරවා වාර්ෂිකව පෙරහරක් ද සංවිධානය වූ බව ඉතිහායේ සඳහන් වෙනවා.

වැඩිදුර කියවීම්

දළදා වහන්සේ, දළදා පෙරහර සහ වැස්ස අතර සබැදියාවක් තිබේද?

2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න