පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, September 29, 2015

මාර්ස්මෙලෝ - හයවැනි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය - Android 6.0 Marshmallow


මේ දිනවල අලුතින් පැමිණෙන සියලුම පාහේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල පවතින්නේ එහි අලුත්ම, එසේත් නැත්නම් 5 වැනි සංස්කරණය වන ‛ලොලිපොප්’. ඒක අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවෙයි. ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙල හැටියට ඊළඟ සංස්කරණය M අකුරෙන් ආරම්භ විය යුත්තක් බව දැන සිටියා. දැන් එහි නම දැනගන්නට ලැබී තිබෙනවා. ඒ තමයි ‛මාස්මෙලෝ’. 

ඔක්තෝබර් 5 වැනිදා මුළින්ම නෙක්සස් දුරකතන සඳහා මෙය යොදා ගන්නා බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ. 

‛ඩෝස්’ (Doze) නමින් හැඳින්වෙන බැටරි බලය සුරක්ෂිත ක්‍රමවේදයක්, ඇඟිළි සළකුණු යොදා දුරකතනය ආරක්ෂාකිරීමේ උපක්‍රමයක්, මෙහි පවතිනවා. 

අමතර කියැවීමට

ඩෙනිම් ගහන ගමන් ඩෙනිම් කියවමු - Story of Denim


‛ඩෙනිම’ යනු අපූරු ඇඳුමකි. ගැහැනු සහ පිරිමි වෙනසක් නැතිව ඩෙනිම් අඳිති. නමුත් ගැහැනු හා පිරිමි යනුවෙන් වෙන වෙනම ඩෙනිම් තිබේ. වෙනත් ඇඳුමක් ඇන්දාට වඩා ඩෙනිමක් ඇඳි කල අමුතු ‛ස්මාර්ට්’ පෙනුමක් ලැබෙන්නට පටන් ගනී. නමුත් කාර්යාලයට හෝ උත්සව, විවාහ මංගල වැනි අවස්ථාවන්ට සාමාන්‍යයෙන් ඩෙනිම් ඇඳගෙන එන්නේ නැත. කෙසේ නමුත් වර්තමානයේ පවතින ‛කැෂුවල් ෆ්‍රයිඩේ’ සඳහා ඩෙනිම් අඳිනු පෙනේ. 

ඇඳුම් සෝදා ඇඳීම ගුණත්වයට  සහ සමාජ පිළිගැනීම ඉහළ දමාගැනීමට හේතු වුවත්, ඩෙනිම් නම් නොසෝදන තරමට ගුණත්වයෙන් ඉහළ යයි. වෙනත් ඇඳුම් ඉරෙන විට ඉවත දමන මුත්, ඩෙනිම් ‛ඉරෙනවාට’ වඩා තමන් විසින්ම ඉරා හෝ නව පෙනුමක් ඇතිකරගෙන අඳින්නට ඇතැමුන් පෙළඹෙති. වෙනත් ඇඳුම් ‛ඇන්දත්’ ඩෙනිම් යනු ‛අඳිනවාට’ වඩා ’ගසන්නට’ ප්‍රිය කරන ඇඳුමකි. මේ නිසා කවුරුත් පවසන්නේ ‛ඩෙනිමක් ගැහුවා’ කියාය. අලුතින්ම ඩෙනිමක් ‛ගසා ගෙන’ යමෙකු මිතුරන් අතර පැමිණි විට කවුරුත් පවසන්නේ, “අම්මද බොල! මෙන්න මේකා ඩෙනිමක් බස්සලා” යන අපූරු ප්‍රකාශනයට සමාන අදහස්ය. විශේෂයෙන් ‛ඩෙනිම බස්සනවා’ යන්න අනිවාර්යෙයන්ම සඳහන් කෙරේ. සමාජයේ ‛රස්ත ගහන පිරිස්’ සිටිති. ඔවුන් ‛ඩෙනිමක් බස්සා’ ‛රස්ත ගහන්නට’ කැමැත්තෙන් පසුවෙති. ඩෙනිම් නිතර නොසේදීම යනු එහි ගුණත්වය ඉහළ යවාගත හැකි ක්‍රමයක් බව අපි දන්නා නමුත් මුදල් දී ‛ඩෙනිම් වොෂ් කරවා ගැනීම’ නම් සිදු වේ. 

සාමාන්‍යයෙන්, ඩෙනිම් බහුල වශයෙන් නිල් සහ කලු පැහැයෙන් පවතින අතර වෙනත් වර්ණයන්ගෙන් ද  පවතී. මේ වර්ණ කාලයක් යන විට අවපැහැ ගැන්වෙන නිසා දැන් බොහෝ වෙළෙඳසල්වල ඩෙනිම්වලට දමනා ‛ඩයි’ වර්ග ද දක්නට ලැබේ. මේ සියලු කරුණුවලින් අපට වැටහෙන දෙය වන්නේ සමාජයේ සෙසු ඇඳුම්වලට නැති කුමක් හෝ දෙයක් ඩෙනිම පසුපස පවතින බවය. ඩෙනිම් යනු එක්තරා ආකාරයක සංස්කෘතික පද්ධතියක් සේ හැඳින්වීමේ වරදක් ද නැත. 

ඩෙනිම් යනු මෑත ඉතිහිසයේ බිහිවූ තවමත් එක්සේ ජනප්‍රියව පවතින ඇඳුම් වර්ග අතරින් එකකි. 19 වැනි සියවසේදී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ රත්රන් සොයා පොලොව කැණීමේ රැල්ළක් ඇතිවිණි. මෙම රන් ආකරවල සේවය කළ කම්කරුවන්ට පහසුවෙන් ඉරෙන්නේ නැති ශක්තිමත් ඇඳුමක් අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් ලෙස කපු රෙද්දෙන් නිමවන ලද ඩෙනිම් වෙළෙඳ පළට පැමිණෙන්ට පටන් ගත්තේය. ඒ වර්ෂ 1848 දීය. රන් ආකර කම්කරුවන්ට ඩෙනිම් අළෙවිකිරීමේ පුරෝගාමියකු වූයේ ලියොබ් ස්ටෝස් ය. ඒ වර්ෂ 1853 දීය. ස්ට්‍රෝස් පසුව සිය නම වූ ’ලියොබ්’ යන්න ‛ලුවී’ ලෙස වෙනස් කරගත්තේය. අද ලෝකයේ ‛ලිවයිස්’ ඩෙනිම් අතිශය ජනප්‍රියය. 

ඩෙනිම් පිළිබඳ අතීත කතාව එසේය. කලින් ද සඳහන් කළා සේ වර්තමාන ලෝකයේ පවතින ජනප්‍රියතම ඇඳුම වන්නේ ඩෙනිමය. ඒ එය වෙනත් ඇඳුම්වලට සාපේක්ෂව බොහෝ කාලයක් ‛පට්ට ගැසිය හැකි’ නිසාය. සේදීමට අවශ්‍ය නැති නිසාය. ඉස්ත්‍රික්ක කරන්නට අවශ්‍ය නැති නිසාය. සෝදන්නේ නැතත්, ඉස්ත්‍රික්ක නොකරන්නේ නැතත් ලෝකයේ අතිශය ධනවතාගේ සිට අන්ත දිළින්දා දක්වා වෙනසක් නැතිව ඩෙනිම් අඳියි. සමාජය විෂම වුවත්, විෂම වී නැති එකම දෙය මේ අනුව ‛ඩෙනිම’ විය හැකිය. 

Wednesday, September 23, 2015

වැසිකිලි වලවල් සහ මීතේන් වායුව - Latrine Pits and Methane


වැසිකිලි වලක් කඩා වැටීමෙන් පසුගිය දිනෙක ඇඹිලිපිටිය ප්‍රදේශයේ අඹු - සැමි යුවලක් මරුමුවට පත් වූ බව අසන්නට ලැබිණි. මිදුල අතුගාමින් සිටි කාන්තාව වැසිකිලි වල වැසෙන සේ තනා තිබූ කොන්ක්‍රීට් ලෑල්ල මත සිටියදී එය කඩා වැටී ඇත. එහිදී ඇය සිහි මුර්ජා තත්වයට පත්ව ඇති අතර ඇයට උදව්කිරීම සඳහා මේ අවස්ථාවේදී ඇයගේ සැමියා ද වලට බැස ඇත. නමුත් එහිදී ඔහු ද සිහි මුර්ජා තත්වයට පත්වීම නිසා පසුව අසල්වැසියන් එක්ව ඔවුන් දෙදෙනා රෝහලට රැගෙන යන්නට කටයුතු යොදා ඇති නමුත් ඒ වන විටත් ඔවුන් මිය ගොස් සිට ඇත. මෙවැනිම මරණයක් පසුගිය ජුනි මාසයේදී ද වාර්තා විණි. ඒ රඹුක්කන ප්‍රදේශයෙනි. එහිදී ද සිදුව ඇත්තේ වත්ත අතු ගාමින් සිටි කාන්තාවක් හදිසියේ වැසකිලි වලට කඩා වැටීමෙන් අනතුරට පත්වීමත්, පසුව ඇයට උදව් කරන්නට පැමිණි අසල්වැසියන් තිදෙනකු ද  අනතුරට පත්වීමය. මෙහිදී ද මේ සිව් දෙනාම මරණයට පත්ව තිබේ. 

ඉහත සිදුවීම් දෙකේදීම පුද්ගල මරණ සිදුව ඇත්තේ වැසිකිලි වලට කඩාවැටීමෙන් සිදුවූ ශාරීරික ආබාධ නිසා නොව විෂ වායු ආඝ්‍රාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. 

පොලොව අභ්‍යන්තරයේ කුහර වැනි ස්ථානවල විෂ වායු ඇති වීම සාමාන්‍ය සිදුවීමකි. බොහෝ විට මෙවැනි ස්ථානවල ඇතිවන්නේ මීතේන් නම් විෂ වායුවය. වැසිකිලි වලවල් සහ අතහැර දැමූ ළිංවල ද මේ ආකාරයට මීතේන් වායුව නිපදවෙයි. පැරණි ළිං පිරිසිදු කිරීම සඳහා ළිඳ බසින පුද්ගලයන් විෂ වායු ආඝ්‍රාණය කිරීම නිසා මරණයක් පත් වූ කතා බොහෝ ය. මෙවැනි අවදානම් තත්වයන්ගෙන් වැළකීමට ගත හැකි ක්‍රියා මාර්ග තිබුණත් බොහෝ දෙනෙක් ඒවා පිළිබඳ සැළකිලිමත් නොවීමත් මෙවැනි මරණවලට තවත් හේතුවකි. ඇතැම් පුද්ගලයන් කරන්නේ පැරණි ළිංවලට බැසීමට පෙර ඉටි පන්දමක් දල්වා එය සෙමින් ළිඳ තුළට බැස්සවීමය. එවිට මීතේන් වායුව ඇත්නම් එම වාතය දහනය වී විනාශ වී යන අතර, එහ තවදුරටත් ඔක්සිජන් නොමැති නම් ඉටිපන්දම නිවී යයි. දෝනා පතල් සෑරීමේදී ද මුල් කාලයේ ගමන් කළේ ඉටිපන්දම දැල්වෙන දුරක් දක්වා පමණි. නමුත් වර්තමානයේ යන්ත්‍රවලින් මේවාට ඔක්සිජන් සපයන නිසා මෙම තත්වය වෙනස් වී තිබේ. 

කාබන් සහ හයිඩ්‍රජන්වලින් තැනී ඇති මීතේන් මුළින්ම සොයා ගෙන ඇත්තේ 1776 දීය. පොලොව යට පිහිටි හොඳින් වැසුණු කුහරයක් වැනි ස්ථානවල මීතෙන් වායුව ඉතා ඉක්මණින් තැනෙයි. වඩාත් ඉක්මණින් කුණු වී යන ද්‍රව්‍ය මෙම කුහරය තුළට එක්වන්නේ නම් මීතේන් වායුව තැනීම වඩාත් ඉක්මණ් වෙයි. 

වැසිකිලි වලවල්වල මිනිස් අපද්‍රව්‍ය දෛනිකව එකතුවීමත්, වැසිකිලි වල තුළට බාහිරින් වාතය ගමන්කිරීම සඳහා ඉඩකඩක් නොමැති වීමත් නිසා ඒවා තුළ වඩාත් ඉක්මණින් මීතේන් වායුව හට ගනී. ඇතැම් වැසිලිකිලි වලවල්වල කොන්ක්‍රීට් වැස්ම මත නලයක් සවිකිරීමේ පුරුද්දක් දැනට කලකට පෙර පැවතිය ද වර්තමානයේ එවැන්නක් සිදුවන ආකාරයක් වැඩිපුර පෙනෙන්නේ නැත. එවැනි නලයක් ඇත්නම් වැසිකිලි වල තුළ නිපදවෙන මීතේන් වායුව පිටතට ගළා යාම ස්වභාවිකවම සිදුවේ. නමුත් එය අනෙක් අතට පාරිසරික ගැටලුවක් වෙයි. මීතෙන් යනු ‛හරිතාගාර ආචරණය’ සිදුකරන්නට දායකවන වායුවකි. ‛හරිතාගාර ආචරණය යනු කෙටියෙන් හා සරලව පවසනවා නම් අපගේ ලෝකය උණුසුම්කිරිමට දායක වන වායුවකි. අප සාමාන්‍යයෙන් සිතා සිටින්නේ ලෝකය උණුසුම් වීම සඳහා කාබන් ඩයොක්සයිඩ් වැඩි දායකත්වයක් ලබදෙන බව නමුත් මීතේන්වලින් සිදුවන හානිය කාබන්ඩයොක්සයිඩ්වලින් සිදුවන හානිය මෙන් 30 ගුණයක් යැයි පැවසේ. මේ නිසා එය වායුගෝලයට එක්වන්නට ඉඩ හැරීම පාරිසරික විනාශයකට දායක වීමකි. 

වර්තමානයේ අප මුහුණ දෙමින් යන බලශක්ති අර්බුදය නිසා මීතේන් වායුව බලශක්තියක් ලෙස යොදාගත හැකිවන පරිදි වැසිකිලි වලවල් සැළසුම්කිරීම කෙරෙහි ලොව පුරා දැඩි අවධානයක ලක්ව ඇත. එයට හේතුව මීතේන් යනු ඉතා හොඳින් දහනය වන වායුවක් වන බැවිනි. ගෘහාශ්‍රිතව ඉදිකොට ඇති ජීව වායු ඒකකවල නිපදවෙන්නේ ද මීතේන් වායුවය.  සාමාන්‍ය වැසිකිලි වලක් තනනවාට වඩා ජීව වායු ඒකක සහිත වැසිකිලි වලක්  ඉදිකිරීමට වැඩි පිරිවැයක් දැරිය යුතු නමුත් එය ආර්ථික පැත්තෙන් මෙන්ම පාරිසරික පැත්තෙන් ද වාසියකි. 


මීතෙන් වායුව සාමාන්‍ය ගෑස් ලිපකට සැපයීමෙන් ආහාර පිසීම සිදුකළ හැකිය. එමෙන්ම වර්තමානයේ වැඩිපුර දක්නට නොමැති  ‛පැට්‍රෝල්මැක්ස්’ ලාම්පුවල ඇති ‛මැන්ටල්’ කොටස ට මීතෙන් වායුව ලබාදීමෙන් එය දැල්වීමට ට හැකිය. එයින් සැළකිය යුතු තරම් ආලෝකයක් ද නිකුත් වේ. 

කෙසේ නමුත් කොන්ක්‍රීට් වලවල් කඩාවැටීමෙන් සිදුවන මරණ මේ කිසිවකින් අවම කරගත නොහැකිය. මෙහිදී නිවැසියන් සිය ආරක්ෂාව පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතු වේ. වැසිකිලි වලවල් ආවරණය කිරීම සඳහා තනනු ලබන කොන්ක්‍රීට් ලෑල්ල ප්‍රමිතියෙන් යුක්තව තිබිය යුතු අතර, වැසිකිලි වල මත ඇවිදීම ආදියෙන් වැළකී සිටිය යුතුය. කුමක් හෝ හේතුවකට මෙහි දෝෂයක් තිබුණහොත් කඩාවැටී අනතුරක් සිදුවීමේ අවදානමක් ඇත. ඇතුළත ඇත්තේ විෂ වායුවක් බැවින් රෝහල් ගත කරන්නට පෙර මරණයට පත්වන්නට ද ඉඩ ඇත. මේ නිසා එවැනි අනතුරු මග හැර, මේ විෂ වායුව ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් කටයුතු කිරීමේ වගකීම ඇත්තේ ඔබ අතය. 

Sunday, September 13, 2015

අධික රුධිර පීඩනය ගැන මේවා දන්නවාද? - Know these things about Hypertension


අධ්‍යාතතිය’ (Hypertension) හෙවත් අධික රුධිර පීඩනය’ (high blood pressure / arterial hypertension) යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ පා සිටින බරපතල නිධන්ගත සෞඛ්‍ය තත්වයකි. මෙම රෝග තත්වයන්ට ගොදුරුවීම යනු  හඳුනා නොගත් මාරයකු සමග ජීවත්වීමක් ලෙස ද ඇතැමෙක් හඳන්වති. අධික රුධිර පීඩන තත්වයන්වලදී  සිදුවන්නේ රුධිර නාල ඔස්සේ ගමන් ගන්නා රුධිරයෙහි පීඩන මට්ටම ඉහළ යාමය.  රුධිර පීඩනය හෘදයෙහි හැකිළීම’ (systolic) සහ හෘදයේ විස්තාරණය’ (diastolic) යන පීඩන මට්ටම් පදනම් කොටගන ප්‍රකාශ කෙරේ. මෙහිදී අදහස් වන්නේ රුධිර නාල පද්ධතියට සම්බන්ධ අවම සහ උපරිම පීඩනය අගයන්ය.

මේ අනුව විවේකයෙන් සිටින පුද්ගලයකුගේ සාමාන්‍ය රුධිර පීඩනය මෙසේය. හෘද හැකිළීම් පීඩනය 100 - 140 (mmHg) වන අතර හෘද විස්තාරණ පීඩනය 60 - 90 (mmHg) වේ. මෙය පිළිවෙලින් 140 සහ 90 මට්ටම්වල පවතී නම් අධික රුධිර පිඩනය පවතින්නේ යැයි පැවසේ. මෙය දරුවන් සඳහා ගණනය කරනුයේ වෙනත් ආකාරයකටය.

අධික රුධිර පීඩනය මූලිකසහ ද්වීතිකවශයෙන් වර්ග කෙරේ. රෝග සිදුවීම් 90 - 95%ක් අතර සංඛ්‍යාවක් වැටෙනුයේ ප්‍රාථමික කොටසටය.  මේවා බෝ නොවන රෝග නිසා ඇති වූ අධික රුධිර පීඩනය යනුවෙන් හඳුන්වනු ලබයි. ඉතිරි 5 - 10% අතර සංඛ්‍යාව ද්වීතික කොටසට වැටෙන අතර ඒවා නිධන්ගත වකුගඩු රෝග, මහා ධමනියේ හෝ වකුගඩු රුධිර නාලවල සිහින් වීමක් හෝ අන්තරාසර්ග රෝග ආදිය බෝ වන රෝග නිසා ඇති වූ  අධික රුධිර පීඩනය ලෙස විස්තර කෙරේ.

ආහාරපානයන්හි සහ ජීවන ශෛලියේ වෙනස්කිරීම් මගින් රුධිර පීඩන පාලනය යථා තත්වයට ගෙන හැකි අතර සෞඛ්‍ය ගැටලුවලින් ඇතිවිය හැකි අනතුරුදායක තත්වයන් අවම කරගත හැකි වේ. කෙසේ නමුත් රෝග තත්වය බරපතල වූ විට ආහාර පානයන් පාලනය කිරීම පමණක් ප්‍රමාණවත්  වන්නේ නැත.

අධික රුධිර පීඩනය පිළිබද දැන සිටිය යුතු කරුණු

 ගෝලීය වශයෙන් පුද්ගල මරණ සඳහා අංක ස්ථානයේ වැජඹෙන්නේ අධික රුධිර පීඩනයයි. අපි නොසිතුව ද අන් කිසිදු කරුණකට වඩා අධිර රුධිර පීඩන නිසා ලොව පුරා මිනිසුන් මිය යයි.

∎ 2012 වසරේදී මෙම තත්වය හේතුවෙන් මිනිසුන් මිලියන 17.5 ක් මිය ගොස් සිටි අතර එය ගෝලීය මරණවලින් 31%කි. මේ අතුරින් මිලියන 7.4ක් කිරීටක හෘද රෝග නිසා ද, මිලියන 6.7ක් ආඝාත (stroke) නිසා ද මිය ගොස් තිබේ

 ලෝක ජනගහනයෙන් හතරෙන් පංගුවක්ම මෙම රෝග තත්වයට ගොදුරුව සිටින අතර වසර 2015 වන විට මෙය ලෝක ජනගහනයෙන් 29%ක් හෙවත් බිලියන 1.56 ක් දක්වා වර්ධණය වනු ඇතැයි ගණන් බලා තිබේ.

∎ 1990 වසරේදී අධික රුධිර පීඩනය නිසා ලෝක ජනගහනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 5.8% ක් පමණක් වූ අතර වසර 2000 වන විට එය 7.2%ක් විය. මරණයට සහ පුද්ගලයන්  අකර්මණ්‍ය කරන රෝග කාරක අතරින් ප්‍රමුඛස්ථානයට පැමිණෙනු ඇත්තේ අධික රුධිර පීඩනයයි.

 අධික රුධිර පීඩන මරණවලින් තුන්කාලකටම වඩා වාර්තාවනුයේ අඩු සහ මැදි ආදායම් තත්ව පවතින රටවල්වලිනි. ශ්‍රී ලංකාව ද මෙම කාණ්ඩයට අයත්වන බව සැළකිය යුතුය.

 ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 15%කටම වගකිව යුත්තේ අධික රුධිර පීඩනයයි.

 වයස අවුරුදු 70ට වඩා අඩු සීමාවේ සිදුවූ මරණ මිලියන 16න් 82%ක් බෝ නොවන රෝග නිසා ඇති වූ අධික රුධිර පීඩනය හේතුවෙන් සිදු වූ මරණ වේ. අඩු සහ මැදි ආදායම් රටවලින් වාර්තා වන මරණවලින් 37%ක් අධික රුධිර පීඩන තත්වයන් නිසා ඇති වූ ඒවා වේ.

 බොහෝ අධික රුධිර පීඩන තත්වයන් වළක්වාගත හැකි තත්වයේ පැවති ඒවා වන අතර ඒවා දුම්කොළ භාවිතය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර, ශාරීරික වශයෙන් අක්‍රියාකාරීවීම සහ මද්‍යසාර අහිතකර මට්ටමින් භාවිතා කිරීම හේතුවෙන් ඇති වී තිබේ.

 මෑතකදි ශ්‍රී ලංකාව තුළ කළ සමීක්ෂණයකින් සොයාගත හැකි වූයේ පළාත් 4ක පුරුෂයින් අතරින් 18.9%ක් ද, කාන්තාවන් අතරින් 19.3ක් ද අධික රුධිර පීඩනයෙන් පීඩා විඳින බවය.

 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2008 සිට 2030 දක්වා ප්‍රක්ෂේපිත මර්ත්‍යතා (පුද්ගල මරණයට හේතු කාරණා) හේතූන් අතරින් ඉහළම ස්ථානයේ පසුවන්නේ අධික රුධිර පීඩනයයි. 2008 වසරේදී එය 16% - 18%ක් අතර පැවති අතර 2030 වන විට එම තත්වය 22% - 24% දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ. මරත්‍යතාවයට හේතු වන රෝග අතුරින් දෙවැනි තැනට පත්ව ඇත්තේ පිළිකා තත්වයන් වන අතර එය 2008 දී 6% - 8% ත් අතර පැවති අතර 2030 වන විට එය පසුවන්නේ යැයි ගණන් බලා ඇත්තේ 12% ය. අනෙක් සියලු භයානයක යැයි සිතෙන රෝග ඇත්තේ තවත් පහළිනි. මේ අනුව ලෝක මට්ටමින් අධික රුධිර පීඩනයෙහි බැරෑරුම් බව වටහා ගත හැකි ය.

 බෝ නොවන රෝග සඳහා ලෝක මට්ටමින් සෞඛ්‍ය සේවය දරනු ලබන වියදම් දෙස බැලීමෙන් ද අපට මෙහි බැරෑරුම් බව අවබෝධ කොට ගත හැකි වේ. ඒ අනුව මධ්‍යම පාංතිකයන් අතර ඇති වන අධික රුධිර පීඩන තත්වයන් සඳහා ලෝක මට්ටමින් සෞඛ්‍ය සේවය 2008 දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.76ක් වැය කොට ඇත. වියදම් අතින් දෙවැනි මට්ටමේ පසුවන්නේ ස්වසන රෝග වන අතර ඒ වෙනුවෙන් කොට ඇති වියදම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.59කි. පිළිකා තෙවැනි තැන පසුවන අතර ඒ සඳහා වූ වියදම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.51 කි.

මෙම කරුණු දෙස අවධානය යොමු කිරීමෙන් අධික රුධිර පීඩනය වෙනත් කිසිදු රෝග තත්වයකට වඩා මිනිස් ජීවිත කෙරෙහි බලපා ඇති බව බව පැහැදිලි වනු නිසැකය. ඇතැම් විට ඔබ මේ පිළිබඳව හරි හැටි නොදැන සිටියා වන්නටත් පුළුවන. සියල්ලටම හේතුව වන්නේ නිවැරදි සෞඛ්‍ය පුරුදු අප අතර නොමැති වීමය. සියලු දෙනා පෞද්ගලිකවම සිය සෞඛ්‍ය පිළිබඳව වඩාත් ගැඹුරින් සිතන්නේ නම් අනාගතයේ අධික රුධිර පීඩනයට ලක්වන්නන්නේ ප්‍රතිශතය මෙයට වඩා අවම මට්ටමකතට ගත හැකිය. නමුත් සියල්ල රඳා පවතින්නේ ඔබ අතේය.



Saturday, September 12, 2015

මේ ආදරයයි නාට්‍යයේ අභිමන්යූ ලෙස රඟන සුමීත් සච්දේව් - Sumeet Sachdev as abhimanyu in yeh hai mohabbatein


‛අභිමන්යු’ කියන්නේ අපේ රටේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ‛මේ ආදරයයි’ නමින් සිංහල හඬ කවා ‛සිරස’ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන ‛යේ හායි මොහාබතීන්’ නාට්‍යයේ ඉෂිතාගේ පැරණි මිතුරකු ලෙස අප හමුවට එන ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. 

‛මේ ආදරයයි’ නාට්‍යයේ ‛අභිමන්යු’ ලෙස රංගනයෙන් දායක වන්නේ ‛සුමීත් සච්දේව්’. 1976 මාර්තු 18 වැනිදා දිල්ලියේදී ඉපදී එහිම හැදී වැඩුණු ඔහු 39 හැවිරිදි වියෙහි පසු වෙනවා. තිදෙනෙකුගෙන් යුත් පවුලේ ඔහු මද්දුමයා. ඔහුට සෝනියා නමින් වැඩිමහළු සොයුරියක් වගේම සන්දීප් නමින් බාල සොයුරකුත් ඉන්නවා. ඔහුගේ බාල සොයුරු සන්දීප් ඉන්දියාවේ අධික තරබාරු අය තෝරන රියැලිටි තරගාවලියක පළමු අදියරේ ජයග්‍රාහකයෙක් ද වනවා. 

සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ රංගන ශිල්පියකු හා නිෂ්පාදකයකු ලෙස ප්‍රසිද්ධ වුණත් ඔහු වෘත්තියෙන් ගෘහනිර්මාණ ශිල්පියෙක්. අපේ රටේ ප්‍රේක්ෂකයන් ඔහු හඳුනාගන්නේ ‛අභිමන්යු’ ලෙසින් වුවත්, ඔහු ඉන්දියාවේ ජනප්‍රියත්වයට පත්වන්නේ ‛ක්‍යුන්කි සාස් භි කභි බාහු ථි’ කියන ටෙලිනාට්‍ය මාළාවේ තුල්සි විරානිගේ වැඩිමහලු පුතු වන ‛ගවුතම් ‛ගොම්සි’ විරානි ලෙසයි. එහි ඔහුගේ මව ලෙස රංගනයෙන් දායක වන ස්ම්‍රිති ඉරානි ( ඇය ගැන මෙම ලිපිද කියවන්න - සබැඳිය 1 සහ සබැඳිය 2) කියන්නේ වර්තමානයේ ඉන්දියාවේ ප්‍රකට දේශපාලන චරිතයක්. ඒ වගේම ඇය සුමීත් සච්දේව්ගේ පාසලේ එකම පංතියේ ඉගෙන ගත් ඔහුට වඩා දින පහක් ලාබාල තැන්තියක් බවත් සඳහන් කළ යුතුයි. 

සච්දේව් සිය රංගන ජීවිතය ආරම්භ කරන්නේ ඉන්දියාවේ කාර්ගිල් යුද වීරයන් සැමරීම වෙනුවෙන් ආමීර් රීසා හුසේන් නිෂ්පාදනය කළ, 2000 වසරේදී තිරගත වුණු  ‛ද ෆිෆ්ටි ඩේස් වෝර්’ නම් චිත්‍රපටයෙන්. 

ඔහු පසුව සාහිල් විරානිගේ ‛ක්‍යුන්කි සාස් භි කභි බාහු ථි’ හි රංගනයෙන් දායක වීම සඳහා වූ මූලික පරීක්ෂණයට සහභාගී වුවත් තෝරා ගැනුනේ නැහැ. නමුත් එම ටෙලිනාට්‍යයේම වෙනත් චරිතයක් සඳහා නැවත ඔහුට කැඳවීමක් ලැබෙනවා. එහිදී  ලැබෙන ‛ගොම්සි’ කියන චරිතය ඔස්සේ ඔහු ඉන්දියානු ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත්වන්නට සමත්වනවා. මෙම ටෙලිනාට්‍යය 2000 වසරේ සිට 2008 දක්වා කාලය තුළ ඉන්දියාවේ විකාශනය වුණා. 

ඔහු ඉහත නාට්‍යය වෙනුවෙන් රංගනයෙන් දායකවන කාලයේදීම ‛ක්‍යා හාඩ්සා ක්‍යා හකීකත්’ කියන ටෙලිනාට්‍ය මාළාවේ ද පෙනී සිටියා. එය 2000 වසරේ සිට 2004 දක්වා විකාශනය වුණු ටෙලි නාට්‍යයක්. කෙසේ නමුත් ඔහු එහි පෙනී සිටියේ ‛රෝහිත්’ නම් වූ දුෂ්ට චරිතයකට. ඉන්පසු ද ඔහු තවත් දුෂ්ට චරිතයක් වෙනුවෙන් රංගනයෙන් දායක වන්නට තීරණය කළා. ඒ ‛කාහින් හෝගත්’ නම් ටෙලිනාට්‍ය මාළාවේ ‛ස්වායම්’ කියන චරිතය වෙනුවෙන්. නමුත් පිටකොන්දේ ඇති වූ ආබාධයක් නිසා ඔහුට එම චරිතය ප්‍රතික්ෂේප කරන්නට සිදු වුණා. 

2007 වසරේ සිට 2008 වසර දක්වා විකාශනය වුණු ‛ඛ්වායිෂ්’ ටෙලිනාට්‍ය මාළාව වෙනුවෙන් ‛කබීර් ඛාන්’ නමින් චරිතයකට දායක වුණා. මේ නාට්‍යය ඉන්දියාවේ  මුස්ලිම් සංස්කෘතියට නැඹුරුවන සේ කළ නිෂ්පාදනය කළ මුල්ම ටෙලිනාට්‍ය මාළාවයි. මේ නාට්‍යයේ කොටස් කිහිපයක් විකාශනය වනවිට ඔහුගේ චරිතය මරණයට පත්වෙනවා. නමුත් පසුව වෙනත් චරිතයක් ඔස්සේ නැවත ඔහු එම නාට්‍යයටම දායක වෙනවා. 

එවැනි චරිතවලින් ඔහුට ලොකු ජනප්‍රියත්වයක් ලබාගන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් 2009 වසරේදී විකාශනය කෙරුණු ‛ප්‍යාර් කා බන්ධාන්’ හි ‛රොනක්’ කියන චරිතයෙන් ඔහු නැවත ප්‍රේක්ෂක ජනාදරයට පත්වෙනවා. 

ඉන්පසු වසර කිහිපයක්ම ඔහු ටෙලිනාට්‍යවල දකින්නට ලැබෙන්නේ නැහැ. 2014 විකාශනය වුණු ‛යේ හායි ආෂිකි’ ටෙලිනාට්‍ය මාළාවේ ඔහු මාහාචාර්යවරයකුගේ චරිතයකට දායක වුණත් එයින් ද ඔහුට ප්‍රෙක්ෂකයන් අතරට එන්නට හැකිවන්නේ නැහැ. කෙසේ නමුත් 2014 වසරේදීම ඉන්දියාව තුළ විකාශනය ආරම්භ කළ ‛යේ හායි මොහාබතීන්’, එහෙමත් නැත්නම් ඔබ අප කවුරුත් දන්නා හඳුන්න ‛මේ ආදරයයි’ ටෙලිනාට්‍ය මාළාව නැවත ඔහු කරා වාසනාව රැගෙන එනවා. මේ ටෙලිනාට්‍යය නිසා ඔහු ඉන්දියාවේ පමණක් නොව අප රටේ ද අතිශය ජනප්‍රිය පුද්ගලයකු බවට පත් වී අවසානයි. 

සච්දේව් ස්වභාවයෙන්ම ලජ්ජාශීලී පුද්ගලයකු ලෙස ප්‍රකටයි. ඔහු  නිවස තුළට වී ප්‍රහේළිකා පුරවන්නට දැඩි කැමැත්තක් දක්වන බව පැවසෙනවා. ලජ්ජාශීලී කතාව කුමක් වුවත් ‛ක්‍යුන්කි සාස් භි කභි බාහු ථි’ ටෙලිනාට්‍යය රූපගතකළ කාලයේ ඔහු සිය සහාය රංගන ශිල්පිනියන් වූ අශ්ලීෂා ස්වාන්ත්, කිරාන් බඩී සහ රීවා බබ්ලර් සමග එකවර පෙම් සබඳතා පැවැත්වූ බව ප්‍රකට කරුණක්. කෙසේ වෙතත් ඔහුගේ නිල පෙම්වතිය ලෙස මාධ්‍යවලින් ප්‍රකට වුණේ අම්රිතා ගුජ්රාල්. ඇය ‛ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පතේ ජාත්‍යන්තර අළෙවිකරණ ප්‍රධානියා වනවා. ඔවුන් 2009 දෙසැම්බර් 9 වැනිදා ඇයගේ උපන් ප්‍රදේශය වන චන්දිගාර්හි විවාහ වුණා. 


සච්දේව් සහ අම්රිතා

“අම්රිතා සමඟ තිබුණු වසර 6ක පෙම් සබඳතාවයක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි විවාහ වුණේ. මට ඇයව හමුවුණේ ඇගේ සොයුරිය නිසා. මේ වගේ අහිගුණ්ටික රැකියාවක් කරන මම වගේ කෙනෙක් එක්ක ඇයට ජීවිතය ගතකරන්න අමාරු බව මම දන්නවා. නමුත් ඇය එය වඩාත් හොඳින් සිදුකරනවා. ඇය කිසිම සීමා මායිමක් නැතිව මාව විශ්වාස කරනවා. මගේ ලොකුම රසිකාවිය ඇයයි. ඇය මගේ ජීවිතයට එක්වීම මට ආශීර්වාදයක්” 

සච්දේව් එසේ පවසනවා. 

Friday, September 11, 2015

ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය - Oba Nathuwa Ob ekka (With You, Without You), A Film


ඔබ නැතුව ඔබ එක්ක සිනමා පටය මේ දිනවල අප රටේ තිරගත වෙයි. මෙහි රංගනයෙන් දායක වන ඉන්දීය නිළි අංජලී පටෙල් පිළිබ කොටි ලිපියක් 2012 වසරෙදී මා පුවත්පතකට ලීවෙමි. යළි ඒ බව මතක් වූයේ මරදාන ටෙක්නිකල් හංදියේ දැන්වීම පුවරුවෙහි මේ සිනමා නිර්මාණය පිළිබ මෙම පෝස්ටරය දකින විටය. එදා පුවත්පතකට ලියන ලද එම ලිපිය අදට ගැළපෙන පරිදි සුළු වෙනස්කම් කිහිපයක් කොට බ්ලොග් පෝස්ටුවක් ලෙස මෙසේ පළ කරමි.

2012 නොවැම්බර් 30 වැනිදා යනු සිංහල සිනමාවට සුවිශේෂි දිනයක් වූයේ යැයි කිවහොත් එහි අතිශයෝක්තියක් නැත. ඒ සිංහල සිනමාවේ සම්මානනීය අධ්‍යක්ෂවරයකු වන ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඔබ නැතුව - ඔබ එක්ක’ (With You - Without You) නමැති සිනමා පටයට රංගනයෙන් දායක වූ ඉන්දීය ජාතික අංජලී පතෙල් 43වැනි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී හොම නිළියට හිමි සම්මානය දිනා ගැනීමය. 65 වසරක ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය තුළ සිංහල සිනමා පටයක රපෑ විදෙස් රංගන ශිල්පිනියකට ජාත්‍යන්තර සම්මාන උළෙලකදී සම්මානයක් ලැබුණු ප‍්‍රථම අවස්ථාවද මෙයයි.

මේ වන විට මහජන ප්‍රදර්ශනයට මුදා හැර ඇති මෙම සිනමා කෘතියට නිෂ්පාදනයෙන් දායක වී ඇත්තේ රාහුල් රෝයි, මොහොමඞ් ඇඩම් අලි යන ඉන්දීය ජාතිකයන් සමග ලසන්ත නවරත්න නම් ශ්‍රී ලාංකිකයාය.

මෙම සම්මාන උළෙලේ ජයග‍්‍රාහකයන් තෝරාගනු ලැබුයේ පස්දෙනෙකුගෙන් සමන්විත ජූරියකිනි. එහි සභාපතිත්වය දරනු ලැබුයේ ඉන්දියාවේ ගෞතම් ගෝස් වන අතර අනෙකුත් සාමාජිකයන් වූයේ රුමේනියාවේ අනමාරියා මරින්කා, බි‍්‍රතාන්‍යයේ ඩෙරික් මැල්කම් සහ ශ්‍රී ලංකාවේ මාලනී ෆොන්සේකාය.

ඔබ නැතුව - ඔබ එක්කසිනමා කතිය මෙම සම්මාන උළෙලේදී තරගකාරී අංශයෙන් මෙම සම්මානයට හිමිකම් පෑ අතර, සමස්ථ සිනමාකෘති 172කින් අවසාන වටය වෙනුවෙන් තෝරා ගැනුණු සිනමා කෘති 72ක් සමග හොම නිළි සම්මානය වෙනුවෙන් මෙය තරග වැදී තිබේ. ඔබ නැතුව - ඔබ එක්කසිනමා පටය 2012 ඔක්තෝබර් මාසයේ පවත්වනු ලැබූ 56වැනි ලන්ඩන් සිනමා උළෙලේ දී ද ප‍්‍රදර්ශනය කෙරිණි.

ප‍්‍රසන්න විතානගේ නම් සිනමාවේදියා මීට පෙර ද සිය සිනමා කෘති කිහිපයක් වෙනුවෙන්ම ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වූයේය. සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී පවුරු වළලූ සිනමා කෘතියේ නීටා ප‍්‍රනාන්දු හොම නිළිය වශයෙන් ද, පුරහ කළුවර සිනමා කෘතියේ ජෝ අබේවික‍්‍රම හොම නළුවා වශයෙන් ද, සම්මානයට පාත‍්‍ර විය. ස්පාඤ්ඤ සිනමා සම්මාන උළෙලේදී ඉර මැදියම සිනමා කෘතිය වෙනුවෙන් නිම්මි හරස්ගම හොම නිළි සම්මානයට පාත‍්‍රවූවාය. ආකාශ කුසුම් සිනමා කෘතිය වෙනුවෙන් අප රටෙහි නිළි රැජින වූ මාලනී ෆොන්සේකා 39වැනි ජාත්‍යන්තර ඉන්දීය සම්මාන උළෙලේදී රජත මයුර සම්මානයෙන්ද, ඉතාලියේ පැවැති ලෙවාන්තේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී හොම නිළියට හිමි සම්මානය ද දිනාගනු ලැබිණි.

අංජලී පතෙල් හොම නිළිය ලෙස සම්මානයට පාත‍්‍ර වූ 43 වැනි ජාත්‍යන්තර ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී හොම සිනමා කෘතිය බවට පත්වෙමින් ස්වර්ණ මයුර සම්මානය දිනාගනු ලැබුයේ ගුර්වින්දර් සිං අධ්‍යක්ෂණය කළ අන්හේ ඝෝරි ඩා ඩාන්ය.

1989 සැප්තැම්බර් 26වැනිදා උපත ලද අංජලී පටෙල් ඉන්දීය ජාතික රංගකලා විද්‍යාලයේ සිසුවියකි. අංජලී දිල්ලි රංගන පාසලේ රන් පදක්කම් ලාභිනියක් ද වන්නීය. ඇය 2011 වසරේදී Delhi in a Day නම් හිංදි සිනමා කෘතියේ රෝහිනි නම් චරිතයකින් සිනමා ක්ෂේත‍්‍රයට පිවිසියාය. පසුව එම වසරේම Green Bangles කෙටි හිංදි චිත‍්‍රපටයේ මනු නම් චරිතයකට පණ පෙව්වාය. 2012 දී පත්‍යායම්නම් තෙලිගු සිනමා කෘතියේ දුර්ගා නම් චරිතය රපෑවාය. 2012 වසරේදීම තිරගත වූ චක‍්‍රාවියුනම් හිංදි සිනමා පටයේ ජූහි නම් නැක්සලයිට් හමුදා නිලධාරිනියකගේ චරිතයට ඇය පණ දුන්නාය. කෙසේ නමුත් සිනමාවට මෙතරම් වෙළෙ පොළක් ඇති, සිනමා කෘති නොගිනිය හැකි තරමක් නිපදවෙන ඉන්දියාවේ උපන් අංජලී පතෙල් හට හොම නිළි සම්මානයක් ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලකදීම හිමිකරදෙන්නට පිහිට වූයේ ශ්‍රී ලාංකික සිනමා කෘතියක් වීම සුවිශේෂයෙන් කැපී පෙනෙන්නකි. ශ්‍රී ලාංකික සිනමා ශිල්පීන්ගේ නිර්මාණශීලි ගුණය පිළිබ අපට ජාත්‍යන්තර මට්ටමෙන් යළිත් සිතන්නට මෙය දොරටු විවර කරදෙයි. අංජලී පතෙල් සමග මෙහි රංගනයෙන් දායක වන්නේ ෂ්‍යාම් ප‍්‍රනාන්දුය.

ඔබ නැතුව - ඔබ එක්කසිනමා කෘතියේ අධ්‍යක්ෂවරයා වන ප‍්‍රසන්න විතානගේ පවසන්නේ තමා මෙම සිනමා පටය උදක්ම නිර්මාණය කරන ලද්දේ විදෙස් සිනමා වෙළෙපලට පිවිසීමේ උනන්දුව ඇතිවූ නිසා බවයි. ආකාශ කුසුම් සිනමා කෘතියෙන් පසු වඩාත් නිර්මාණශීලි කතාවක් සොයමින් සිටි ප‍්‍රසන්නට ෆියඩෝර් මිහාලොවිච්ගේ කෙටි කතාවක් වූ The Meek One හමුවිය. ගැඹුරු සබැියාවක් වටා ගෙතී ඇති සැබෑ ආදර කතාවක් වූ එය ඔහුගේ මෙම නවතම සිනමාකෘතියේ තිඹිරගෙය බවට පත්කර ගත්තේය.


භාෂා දෙකකින් යුක්තව නිර්මාණය කොට ඇති මෙම සිනමා කෘතිය සිංහල දෙමළ ජාතිකත්වය හරහා දිවයයි. ප‍්‍රසන්න පවසන්නේ තමා සිය සිනමා නිර්මාණ සහා මීට පෙර භාවිත නොකළ දර්ශන තල මෙම කෘතිය වෙනුවෙන් යොදාගත් බවයි. මෙම සිනමා පටය වෙනුවෙන් අඩකටත් වඩා වියදම දරනු ලැබුයේ ඉන්දීය ජාතිකයන් බව පවසන ඔහු ශ්‍රී ලාංකික නිෂ්පාදකවරු මෙ සහා ඉදිරිපත් වූවත් මෙහි වියදම යළි උපයා ගන්නට නොහැකි බැව් හොඳින්ම දැන සිටි තමා එම ඉදිරිපත්වීම ප‍්‍රතික්ෂේප කළ බැව් පවසයි. 












Wednesday, September 9, 2015

ඔබට ආතරයිටිස් ඇත්නම් මේ ව්‍යායාම කරන්න - Exercises for Arthritis Patients


‛ආතරයිටිස්’ කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් කතා බහ කරන රෝගී තත්වයක්. වයස්ගත අය පමණක් නොව තරුණ විය ඉක්මවා යන අයත් මේ තත්වයට මුහුණ දෙනවා. කාටිලේජ සහ හන්දිවල ඇති පටක ස්ථර ගෙවී යාම නිසා සන්ධි චලනය කිරීමට ඇති අපහසුතාවය ආතරයිටිස් නමින් හැඳින්වෙනවා. අපහසුතාවයට අමතරව වේදනාවක් ද ඇතිවෙනවා. පරිගණකයෙන් යමක් ටයිප් කරන විට වාගේම කුඩා භාජනයක් ඔසවද්දී පවා මේ වේදනාව ඇති විය හැකියි. දෑත්වල ශක්තිමත් බව අඩු වී යනවා සේ දැනෙන්නට පුළුවන්. එය එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාම සඳහා බාධාවක්. ආතරයිටිස් සඳහා ඇති වෛද්‍ය උපකාරවලට අමතරව, මේ වේදනාවන් හැකි තාක් අවම කරගෙන, හන්දිවල චලනයන් පහසුවෙන් සිදුකරගැනීමට උපකාර වන ව්‍යයාම පවතිනවා. ඔබත් ආතරයිටිස් තත්වයට ගොදුරු වී ඇත්නම් මේ ව්‍යායාම ඔබට සුදුසුයි. 

1. අත මිට මෙලවීම 



අත තද ස්වභාවයෙන් යුක්ත යැයි දැනෙන  ඕනෑම තැනකදී ඔබට මෙය කළ හැකියි. අත මිට මෙලවෙන සේ ඔබේ ඇඟිලි සෙමින් හකුළන්න. මහපටඟිල්ල පිටතට සිටින සේ නවාගන්න. අත මිට මෙළවූවාට, අත මිරිකී යන සේ තද කිරීමෙන් වළකින්න. දැන් ඇඟිලි සම්පූර්ණයෙන්ම ඍජුවන සේ සෙමින් දිගහරින්න. මෙය එක් අතකට 10 වතාවක් බැගින් අත් දෙකටම කරන්න. 

2. ඇඟිලි නැවීම 


කලින් ඉරියව්වෙන්ම මෙම ව්‍යයාමය ද ආරම්භ කරන්න. ඔබේ මහපටඟිල්ල අල්ල දෙසට සෙමින් නවන්න. තත්පර කිහිපයක් එසේ තබාගන්න. දැන්  කෙළින් කරන්න. ඉන්පසු දබරඟිල්ල සෙමින් නවන්න. දැන් තත්පර කිහිපයක් එසේ තබාගන්න. දැන් කෙළින් කරන්න. මේ ආකාරයට අත් දෙකේම සෑම ඇඟිල්ලක් සඳහාම මෙම ව්‍යයාමය කරන්න. 

3. මහපටඟිල්ල නැවීම 



මුළින්ම එක අතක් ගන්න. එහි මහපටඟිල්ල අල්ල දෙසට නවන්න. එය සුළැඟිල්ලේ පහළ කොටසේ ස්පර්ශ කරන්න. ඔබේ ආතරයිටිස් ස්වභාවය දැඩි නම් ඇතැම් විට සුළැඟිල්ලේ පහළ කොටස ස්පර්ශ කළ නොහැකි වන්නටත් ඉඩ තිබෙනවා. නමුත් ඔබට හැකි තාක් මහපටඟිල්ල දිගු කරන්න. සුළැඟිල්ලේ පහළ කොටසේ මහපටඟිල්ලේ කෙළවර තබා තත්පර කිහිපයක් ඉන්න. දැන් මහපටඟිල්ල යළිත් කෙළින් කරන්න. මේ එක් අතට 10 වතාව බැගින් අත් දෙකටම සිදුකරන්න. 

4. ඉංග්‍රීසි ‛ඕ’ අකුර සැදීම 



එක් අතක් ගෙන ඉහළ අතට හරවාගන්න. දැන් ඇඟිලි සියල්ල එකිනෙක ළංකොට ඉංග්‍රීසි ‛ඕ’ අකුර සෑදෙන සේ ඇඟිලි නවන්න. මේ ආකාරයට තත්පර කිහිපයක් තබාගන්න. දැන් ඇඟිලි දිගහරින්න. මෙය අත් දෙකටම දිනකට කිහිප වතාවක් කරන්න. ඔබගේ අත් වේදනාවට හෝ දැඩි බවට පත්වී ඇතැයි සිතෙන ඕනෑම අවස්ථාවක මෙය කළ හැකියි. 

5. මතුපිටක් මත තබා දෑත් නැවීම 



ඔබේ අතේ සුළැඟිල්ල පහළට සිටින සේ ද මහපටඟිල්ල ඉහළට එසැවී සිටින සේ ද තබාගන්න. මහපටඟිල්ල ඒ ඉරියව්වෙන්ම තබා අතේ අනෙක් ඇඟිලි අල්ල දෙසට නවන්න. දැන් ඔබගේ අල්ල ප්‍රදේශය ඉංග්‍රීසි ‛එල්’ අකුරක හැඩයට පැවතිය යුතුයි. වම් අතින් මෙය ආරම්භ කළා නම් එය පැහැදිලිව පෙනේවි. මේ ආකාරයට තත්පර කිහිපයක් අල්ලාගෙන ඉන්න. දැන් ඇඟිලි කෙළින් කරන්න. එක් අතකට දස වතාව බැගින් අත් දෙකටම මෙම ව්‍යායාමය කරන්න. 

6. ඇඟිලි එසැවීම



එක් අතක් මේසයක් මත සමතලව තබාගන්න.  දැන් ඇඟලි එකින් එක වරකට එක බැගින් සෙමින් මේසයෙන් ඉහළට ඔසවන්න. එක් ඇඟිල්ලක් තත්පර කිහිපයක් තබාගන්න. ඉන්පසු පහත් කරන්න. මේ ආකාරයට සෑම ඇඟිල්ලක් සඳහාම මෙය සිදුකරන්න. එක් අතකට ව්‍යයාම ලබාදුන් පසු අනෙක් අතට ද මෙය සිදුකරන්න. 

7. මැණික් කටුව දිගහැරීම 



ඔබේ මැණික් කටුව අමතක කරන්න එපා. එය ද ආතරයිටිස් නිසා ආබාධයට ලක්විය හැකි තවත් විශේෂ ස්ථානයක්. මුළින්ම අල්ල පහළට හරවාගන්න. ඔබ හරවාගත්තේ වම් අත නම්, දකුණු අතින් සෙමින් තද කොට මැණික් කටුවෙන් තවත් නවන්න උත්සාහ ගන්න. වේදනාවකින් තොරව උපරිම ලෙස අත නැමෙන විට නතර කරන්න. ඒ ඉරියව්වෙන් තත්පර කිහිපයක් ඉන්න. එක් අතකට 10 වතාව බැගින් අත් දෙකටම මෙය සිදු කරන්න. 

මේ ව්‍යයාම විශේෂයෙන් ආතරයිටිස් යම් තත්වයකින් හෝ තිබෙන අයට සහනයක් ලබාදීමට උපකාරී වේවි. 



Wednesday, September 2, 2015

කටුසුපාලිය බැලුවෙමි - ඔබත් බලන්න


2015 අගෝස්තු 30 වැනිදා මම ‛කටුසු පාලිය’ නැරඹුවෙමි. “ඔන්න මම පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් නාට්‍යයක් හැදුවා” කියා මා හිතවත් සුමින්ද පැවසූ බැවින් නිවසේ සියලු දෙනාම කැටිව මේ සඳහා යාමට සිටියත් ප්‍රවාහන ගැටලු නිසා අවසානයේ මා පමණක් මේ සඳහා යන්නට තීරණය කෙරිණි. 

30 වැනි ඉරිදා 6.30 මරදාන දුම්රිය පළෙන් බැස ටවර් රඟහලට යන මිනිත්තු පහේ පරක්කුවට නාට්‍යය ආරම්භ කොට තිබිණි. මා පමා වුවත් නාට්‍යය වෙලාවට පටන්ගැනීම පිළිබඳ විශේෂයෙන් ස්තූතිවන්ත විය යුත්තේ අපේ බොහෝ දෙනා වෙලාවට වැඩක් කරන්නට හිතට නොගන්නා නිසාය. 

දොරටුවෙන් ඇතුළු වී බැලූ විට මා දුටුවේ අතුරු සිදුරු නැතිව පිරුණු රඟහලකි. ඒ ගැන මට ඇතිවූයේ අමන්දානන්දයකි. ‛කටුසු පාලියේ්’ මංගල දර්ශනය හැම අතින්ම සාර්ථක යැයි මට සිතිණි. මට යාන්තම් දොරටුව ළඟින්ම අසුනක් ලැබිණි. 

නාට්‍යය ගළා යයි. අප කුඩා කල කියැවූ ඒ අපූරු කතාන්දරය දැන සජීවීව වේදිකාවක් මත දිව යයි. වේදිකාව මත අපූරු කැලෑවක් මැවී තිබේ. විටින් විට ඇසෙන කුරුළු නද නිසා වේදිකාවෙන් පහළ ප්‍රේක්ෂකාගාරයේද ‛කැලෑ ගතියක්’ දැනේ. ‛හීන් සැරය’ ළමා කෘතියක් ලෙස ප්‍රකට වුවත් එම කතාන්දරය යටින් සියුම් ලෙස දේශපාලන කතාවක් ද ගළා යන බව මේ නාට්‍යය නරඹන තෙක් දැනෙන්නේ නැත. 

වේදිකාවෙන් ඇසෙන දෙබස්වලට රඟ ශාලාව දෙසින් නිරන්තර සිනා සෙන හඬ ඇසෙයි. මට පිටුපස සියලු සාමාජිකයන් සමගින් පැමිණි පවුල් කිහිපයක්ම විය. පවුලේ සියලු දෙනා වෙනසක් නැති නාට්‍යය විඳින බව දැනුණි. තාත්තලා සමඟ දූවරු ද හඬ තලමින් සිනා සෙති. අම්මලා සමග පුංචි පුතාලා ද කොක් හඬ ලා සිනා සෙති. කලකට පෙර අප රටේ එවැනි නාට්‍ය කලාවක් තිබිණි. කුඩා කල අප නාට්‍ය නරඹන්නට ගියේ වැඩිහිටියන් සමගය. නමුත් වේදකාව මත කුණුහරුප කියමින් ප්‍රේක්ෂකයන් සිනහ ගන්වන්නට කළ නාට්‍ය නිසා අසා නුපුරුදු අලුත් නාට්‍යයක් යනු  ‛වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපටයක් යැයි සිතන්නට පෙළඹෙන වටපිටාවක් අපට තිබේ. මේ නිසා බොහෝ දෙනා නාට්‍ය නැරඹීම සඳහා රාජ්‍ය නාට්‍ය උළෙල වැනි අවස්ථා තෝරාගන්නේ ඒවා ‛ෂුවර් එකටම නාට්‍ය’ යැයි සැකහැර දන්නා නිසාය. එවැනි වටපිටාවක් තුළ  සුමින්ද සියලු දෙනාටම සිනාසෙමින් විඳිය හැකි, ඒ ආනන්දනීය හැඟීමේ කෙළවර සිතට ප්‍රඥාවක් එක්කරගත හැකි නාට්‍යයක් නිර්මාණය කොට තිබේ. 

ආපසු නිවසට ගොස් නාට්‍යය පිළිබඳ සිනහසෙමින් කිවහැකි බොහෝ දේත්, ගැඹුරින් කිව හැකි බොහෝ දේත් අවසානයේ මා සිත තුළ ඉතිරි විය. 

මීට පස්සේ මේ කැලේ පළමුවැනියොත් නෑ දෙවෙනියොත් නෑ!”
සුමින්ද අපට පවසන දේශපාලන කතාවේ සරල අදහස එයයි.

ජනකතා සාහිත්‍යය යළි ජනතාව අතරට ගෙන යමින් නාට්‍යයෙන් ඈත්වුණු ‛පවුල’ නමැති ඒකකය යලි වේදිකාවට කැන්දන්නට සුමින්ද ගත් උත්සාහය සාර්ථක වී ඇති බව මට සිතේ. නමුත් තවත් යායුතු දුරක් ඇති බැව් ද සිතේ. ඒ වෙනුවෙන් ඔහුටත් ඔහුගේ කණ්ඩායමටත් ශක්තියත් ධෛර්යයත් පැතිය යුතුය. 

අවස්ථාවක් ලදොත් ඔබ ද මෙය නරඹන්නේ නම් මැනවි යැයි මට කිව හැකිය. 

අද ද දරුවන් අතර ‛හීන් සැරය’ කෘතිය ජනප්‍රිය නිසා ඔබේ ගමනට දූ දරුවන් ද එක් කරගන්නේ නම් මැනවි යැයි මට කිව හැකිය. 

අවසාන වශයෙන් සුමින්දගෙන් එක් දෙයක් ඉල්ලා සිටිය යුතුය. 

ඒ, 

“අපේ පවුලේ හැමෝටම ප්‍රවාහන ගැටලුවක් නැතිව මේ නාට්‍යය නරඹන්නට මීගමුවටවත් අරගෙන එන්නේ නම් එය ලොකු උදව්වක්” 
කියාය. 

සුමින්ද ඔබට ජය!