පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, April 2, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 12 කොටස - New Gadgets for New World Part 12

ලේසර් කිරණෙන් මැවෙන යතුරු පුවරුව 





පරිගණකයකට, ටැබ් එකකට හෝ ස්මාර්ට් ෆෝන් එකකට බාහිරින් සවි කළ හැකි යතුරු පුවරුවක් ඇත්නම් බොහෝ අවස්ථාවලදී ප්‍රයෝජනවත් වන බව අපට දැනෙනවා. නමුත් යන යන තැන යතුරු පුවරුවක් අරගෙන යන එක  කරන්න අමාරු වැඩක්. අන්න ඒ අමාරු වැඩේ පහසු කරන්න දැන් අලුත් තාක්ෂණය උදව් වෙනවා. මේක ලේස්ර් කිරණෙන් මැවෙන යතුරු පුවරුවක්. සාක්කුවේ දාගෙන යා හැකි පුංචි උපකරණයකින් ප්‍රක්ෂේපණය කෙරෙන ලේසර් කිරණවලින් ඕනෑම සමතල මතුපිටක මේ යතුරු පුවරුව මවන්න පුළුවන්. මේ ලේස්ර් කිරණවලට අපගේ අත් චලනයන් හඳුනාගන්නට පුළුවන් ආකාරයෙනුයි සකස් කොට තිබෙන්නේ. ඒ නිසා කිසිම අපහසුවකින් තොරව යතුරු ලියන වැඩ කටයුත්ත කරගන්න පුළුවන්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 150ක් (රු. 21,600) වෙනවා. 





යූඑස්බී පංකාවක් 




යූඑස්බී කියන්නේ මේ වන විට දත්ත සම්ප්‍රේෂණ කටයුතුවලට පමණක් නෙවෙයි බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණවලට විදුලිය සපයන ක්‍රමයක් බවටත් පත් වෙලා. මුල් කාලෙය් යූඑස්බී පෝර්ට් බොහෝ විට තිබුණේ පරිගණකවල පමණක් වුණත් දැන් වෝල්ට් 5ක සරල ධාරා විදුලියක් සැපයයි හැකි ප්ල්ග් පිටකොටුවේ පදික වේදිකාවෙන් වුණත් පහසුවෙන් මිලට ගන්නට පුළුවන්. මෙවැනි අඩු විදුලියකින් ක්‍රියාත්මක කළ හැකි යූඑස්බී පංකාවක් දැන් නිපදවා තිබෙනවා. ඇත්තටම යූඑස්බී පංකා නම් වෙළෙඳපලට ඇවිත් බොහෝ කල්. නමුත් මේ පවසන උපකරණ විදුලි පංකාවක් විදිහට පමණක් නෙවෙයි වාතය පිරිසිදු කරන උපකරණයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. කෙළින්ම යූඑස්බී පෝර්ට් එකකට සවිකොට භාවිත කළ හැකිවා වාගේම මෙහි ඇති නැවත ආරෝපණය කළ හැකි බැටරිය නිසා විදුලි බලය නැති අවස්ථාවක වුණත් ප්‍රයෝජනය ගත හැකියි. අනෙක කණට නොඇසෙන තරම් හඬකින්  ක්‍රියාත්මක වන නිසා අපගේ මානසික තත්වයට බාධා කරන්නේ ද නැහැ. මෙහි මිල ඇමරිකානු ඩොලර් 49.99 (රු. 7,200) වෙනවා. 








සිහිනෙන් වාගේ ගීත අහමු 




නිදාගන්න වෙලාවට සිහින්, සිත සැනසෙන සංගීත රාවයක් ඇසෙනවා නම් බොහෝ දෙනෙකු එයට ප්‍රිය කරනවා. එය නින්දට උදව්වක් වෙනවා. නමුත් මෙය අවට අයට ඇසෙන සේ කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. හේතුව ඇතැම් අය එවැනි දේවල් ඇසෙනවාට කැමති නැහැ. කෙසේ වුණත් හෙඩ්ෆෝන් දමාගෙන සංගීතය රස විඳින්නත් අමාරුයි. නින්ද ගියාට පසු ටිකක් එහා මෙහා දඟළන විට ඒවා ගැළවී යන්නට පුළුවන්. මෙවැනි සියලු ගැටලු විසඳමින් දැන් ඩ්‍රීම්පෑඩ්’ (Dreampad™) සහ ඩ්‍රීම්පෑඩ් මිනි’ Dreampad Mini™) නමින් නව උපකරණයක් හඳුන්වා දී තිබෙනවා. මෙය කොට්ටයක පෙනුමට සමානයි. ඒ නිසා කොට්ටය මත තබාගන්නට පුළුවන්. එසේ තබාගත හැකි අන්දමට සැප පහසුවට මෙය සකසා තිබෙනවා. මෙයින් සිහින් ලෙස සංගීතයට සවන් දෙන්න පුළුවන්. එය ඇසෙන්නේ එය මත හිස තබාගෙන සිටින තැනැත්තාට පමණයි. ඒ වගේම ඔබේ හිසට සහනයක් ගෙන දෙන කම්පනවලින් සම්බාහනය කරන්නටත් මෙයට පුළුවන්. ඒ වගේම අපගේ සිරුර ඉහිල්වන අවස්ථාවන්ට සංවේදී වන ආකාරයෙන් ද සකසා තිබෙන නිසා වඩාත් ඉක්මණ් නින්දක් ගෙන එන සේ ක්‍රියාත්මක වන්නට මෙයට පුළුවන්. මේ නිසා නින්ද යාමේ ගැටලු ඇති අයට දැන් තවදුරටත් නිදි පෙති ගන්නට අවශ්‍යතාවයත් නැහැ. අනෙක මෙය කිසිඳු වයස් භේදයකින් තොරව භාවිත කරන්නටත් පුළුවන්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 170ක් (රු. 25,700) වෙනවා. 






ඉරුවාරදයට නව සහනයක්





ඉරුවාරදය කියන්නේ මේ ලෝකේ තියෙන එපා කරපුමරෝගී තත්වයක්. එය කෙතරම් පීඩාකාරිදැයි එයින් පෙළෙන්නන් දන්නවා. විවිධ ප්‍රතිකාර මේ සඳහා තිබුණත් එය සහමුළින්ම සුව වෙන්නේ නැති බව පෙනෙන්නට තිබෙනවා. මේ පීඩාවෙන් සහනයක් සඳහා දැන් සිලි’ (Cefaly) නමින් උපකරණයක් හඳුන්වා දී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලනය විසින් ද අනුමත කොට ඇති මෙයට සැළකිය යුතු මට්ටමින් ඉරුවාරදය අඩුකරන්නට හැකියාව තිබෙනව බව මේවන විට තහවුරු වී තිබෙනවා. මෙය දැනට නිර්දේශ කොට ඇත්තේ අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා පමණයි. දැනට කොට ඇති සමීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ මෙය භාවිත කිරීමෙන් 77%ක් ප්‍රමාණයකින් ඉරුවාරදය අඩුකරන්නට හැකියාව තිබෙන බවයි.  කෙසේ නමුත් වෛද්‍ය උපදෙස්වලට පිටින් මෙය භාවිත නොකළ යුතු බව පැවසෙනවා.  මෙහි මිළ ඇමරිකානු ඩොලර් 295 (රු. 42, 450ක්) වෙනවා. 






කැලරි දවන්නට අලුත් පුටුවක් 




වර්තමානයේ අප බොහෝ දෙනෙකුට තියෙන ලොකුම ගැටලුව තමයි අපේ ශරීරයේ අනවශ්‍ය කැලරි ප්‍රමාණය දවා තරබාරුව සහ වෙනත් ගෙඩ රෝගවලින් මිදෙන්නේ කොහොමද කියන එකට විසඳුම් සොයන එක. මේ සඳහා හොඳම විසඳුම නිතර ව්‍යයාම කරන එක වුණත් බොහෝ දෙනෙකුට ඒ සඳහා වෙලාව හොයාගන්න එකත් ගැටලුවක් බවට පත් වෙලා. කෙසේ නමුත් ඔබ රූපවාහිනි නරඹන අතරේ හෝ එසේත් නැත්නම් නිවසේදී පරිගණකයෙන් වැඩකටයුතු කරන අතරේ කැලරි දවාගන්නට ක්‍රමයක් තිබුණා නම් එය වඩා පහසුවක් වේවි. මෙයට සමාන උපකරණ දැනට නිපදවා තිබුණත් මේ පවසන්නට සැරසෙන දෙය එයට වඩා බොහෝ වෙනස්. මෙය පුටුවක්. මේ පුටුව හඳුන්වන්නේ ටාවෝ’ (TAO ) නමින්. මේ මුළු පුටුවම සංවේදකවලින් සමන්විතයි.    ඒ වගේම විවිධ මාංශ පේශීවලට විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන්නට මෙහි සංවේදක සමත්. නිදහසේ හිඳිමින් කැලරි දවාගන්නට හැකි උපකරණයක් ලෙසයි මෙහ හඳුන්වා දී තිබෙන්නේ. ඔබ එහි ඉඳගෙන සිටි කාලය තුළ කෙතරම් කැලරි ප්‍රමාණය දැවුණාදැයි එහි ඇති කුඩා තිරයෙන් දැකගන්නටත් පුළුවන්. මෙහි උපරිම මිල මිල ඇමරිකානු ඩොලර් 1000 (රු. 143,000) විය හැකි බවයි පැවසෙන්නේ. 





පෙර ලිපිය
අලුත් ලෝකයට අලුත් ගැජට් 11 කොටස - New Gadgets for New World Part 11

පසු ලිපිය
අලුත් ලෝකයට අලුත් ගැජට් 13 කොටස - New Gadgets for New World Part 13 

4 comments:

  1. dream pad එක නරකම නැ ඒත් ඉනින් 25000/- කියන්නේ අමිමප ඉතින්

    ReplyDelete
    Replies
    1. එක් නම් ඇත්ත. ඒ ගාණ දීලාගත්තට පස්සේ ගාණ මතක් වෙන කොට සමහර විට නින්ද යන එකක්ත් නෑ නම් තමයි.

      Delete
  2. වෙනදා වගේම අදත් පට්ට ගැජට් ටිකක්...සුපිරි බ්‍රෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බ්‍රෝ . . .

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න