පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, May 8, 2016

ටෙඩී බෙයාර්ගේ පැටිකිරිය - Story of Teddy Bear


කාන්තාවන්, විශේෂයෙන් තරුණියන් සහ කුඩා දැරියන් වඩාත් ප්‍රියකරන දේවල් අතරින් ප්‍රමුඛස්ථානයක් ලැබෙන දෙයක් තමයි ටෙඩී බෙයාර්’ (Teddy Bear), එහෙමත් නැත්නම් ටෙඩී වළසාකියන්නේ. ඔවුන්ගේ යහන් මත, මේස මත, පුටු මත ටෙඩී වලස්සු සමහර විට එකෙකුට වඩා දකින්න පුළුවන්. කුඩා ප්‍රමාණයන්ගේ සිට ජීවමාන ප්‍රමාණය ද ඉක්මවා යන ටෙඩී වලස්සු වෙළෙඳ පළේ දක්නට ලැබෙනවා. ඒත් කවුරුවත් මේ ටෙඩී වලස්සු ගැන නම් දන්න පාටක් නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා ටෙඩී වලස්සුන්ට කැමති අය මේ විස්තරේ කියවා ගත්තා කියලා අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. 


ටෙඩී බෙයාර් මේ ලෝකයට බිහි වුණේ කොහොමද කියන එක ගැන තියෙන්නේ හරි අපූරු කතාවක්. මේ වලසාට ටෙඩීකියා නමක් වැටිලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ 26 වැනි ජනපති තියොඩෝර් රූස්වෙල්ට් නිසයි. 1902 වසරේ නොවැම්බර් මාසයේ දවසක් ඔහුට මිසිසිපි ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩෲ එච්. ලොන්ගිනෝ විසින් වලස් දඩයමක් සඳහා ආරාධනාවක් ලැබුණා. මේ සඳහා තවත් වලස් දඩයම්කරුවන්ටත් ආරාධනා ලැබී තිබුණු අතර ඔවුන් වලස් දඩයම්කිරීම ගැන හොඳ පළපුරුද්දක් තිබුණු අයයි. ඇමෙරිකානු ජනපතිවරයා වලස්සු සොයමින් එහි මෙහි දිව්වත් කිසිම වලසකුව දඩයම් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ජනපතිවරයා මේ වන විට ඉතා වෙහෙසට පත්ව සිටියා. අවසානයේ මේ දඩයම් කණ්ඩායමේ හිටිය හෝල්ට් කොලියර් කියන තැනැත්තා කළේ ඇමරිකානු කලු වලහෙක්ව අල්ලා, පොලුවලින් තඩා බාලා ගසකට තියා බැඳීමයි. ඉන් පස්සේ ඔවුන් ජනපතිවරයාට කතා කොට වලසෙක් ඉන්නා බවත් ඌට වහා වෙඩි තබන ලෙසත් පැවසූවා. සෙසු දඩයම්කරුවන්ගේ ප්‍රහාරයන්ට ලක්ව ඉතා අසරණ ස්වභාවයෙන් සිටි වලසා දැක ජනපතිවරයාට ඇති වුණේ දැඩි අනුකම්පාවක්. මේ නිසා ඒ වලසාට වෙඩි තැබීම ජනපතිවරයා ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඔහු එතැන සිටි වෙනත් දඩයම්රුවකුට පැවසූයේ මේ වලසාට තවත් වේදනා නොදී මරා දමන ලෙසයි. මේ සිදුවීම එවකට ඇමරිකාවේ සිටි සුප්‍රකට දේපාලන කාටූන් චිත්‍ර ශිල්පියකු වූ ක්ලිෆර්ඩ් බෙරීමන්ට දැනගන්නට ලැබුණා. ඔහු මේ සිදුවීම 1902 නොවැම්බර් 16 වැනිදා, කාටූන් චිත්‍රයක් ලෙස වොෂිංටන් පෝස්ට්පුවත් පතේ පළ කළා. 
 
ක්ලිෆර්ඩ් බෙරීමන්ගේ කාටූනය


මේ කාටූන් එක දුටු මොරිස් මිච්ටොම් නම් ඇමරිකානු ජාතික සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදකයා ඒ කාටූනයේ සිටි වලසාගේ පෙනුමට සමාන සුරතල් වලසකු නිර්මාණය කළා. ඒ කාලේ තියොඩෝර් රූස්වෙල්ට් ජනපතිවරයා ටෙඩීකියා අනවර්ථ නාමයකින් හඳුන්වනු ලැබුවා. ජනපතිවරයාට ද මේ වර්ගයේ වලසකු තෑගි ලෙස යවා ඔහුගේ අනවර්ථ නම මේ වලසාට තැබීමට අවසර ද ඉල්ලා සිටියා. එයට අවසරය ලැබුණු අතර මේ ටෙඩී වලසාසිතුවාටත් වඩා ඉක්මණින් අළෙවි වන්නට පටන් ගත්තා. 

මොරිස් මිච්ටොම් සහ ඔහු විසින් නිර්මාණය කරන ලද මුල්ම ටෙඩී වලසා


ජර්මානු ජාතිකයකු වූ   රිච්ර්ඩ් ස්ටෙයිෆ් ද මේ කාලයේදීම සුරතල් වලසකුගේ අනුරුවක් සෙල්ලම් භාණ්ඩයක් ලෙස නිෂ්පාදනය කළා. නමුත් ඔහු ම්ච්කොම්ගේ වළස් නිර්මාණය ගැන කිසිවක් දැන සිටියේ ද නැහැ. ඔහු මෙය 1903 මාර්තු මාසයේ ජර්මනියේ පැවැත්වූ ලිප්සිග් සෙල්ලම් බඩු උළෙලේ ප්‍රදර්ශනය කළා. මෙය දුටු නිව්යෝරක් නුවර ජෝර්ජ් බෝර්ග්ෆෙල්ට් සහ සමාගමේ ගැනුම්කරුවකු වූ හර්මන් බර්ග් වලස්සු 3000ක් ඇමරිකාවට එවන මෙන් ඇණවුමක් දුන්නා. නමුත් මේ වලස්සුන්ගෙන් කිසිවක් අදට දකින්නට ඉතිරිව නැහැ.  මේ නිසා ඇතැමෙක් පවසන්නේ ඒවා ප්‍රවාහනය කළ නෞකාව මුහුදේම විනාශයට පත් වූ බවයි. ඇතැමෙක් පවසන්නේ ඒවා මේ වන තුරු තබාගන්නට තරම් කල්පවතින ලෙස නිමවා නොතිබූ බවයි. කෙසේ හෝ දෙදෙනාට දෙදෙනා නොදැන හෝ සෙල්ලම් භාණ්ඩයක් ලෙස ලෝකයට සුරතල් වලස්සු හඳුන්වාදීමේ ගෞරවය මේ අනුව මිච්කොම්ට සහ ස්ටෙයිෆ්ට හිමි වෙනවා. වැඩි ගෞරවයක්  ලැබෙන්නේ මිච්කොම්ටයි. හේතුව මොවුන්ට ටෙඩී වලසායන නම ලබා දෙන්නට මුල් වුණේ ඔහු නිසයි. 

මුල්කාලීන ජර්මානු ටෙඩී වලසෙක්



මුල් කාලේ නිෂ්පාදනය කළ ටෙඩී වලසුන් සහ සැබෑ වලසුන් අතර ස්වරූපයේ වෙනසක් තිබුණේ නැහැ. නමුත් වර්තමානය වන වට එය වෙනස් වී තිබෙනවා. වර්තමාන ටෙඩී වලසුන්ට ඇත්තේ විශාල ඇස්. නළල ද විශාලයි. කුඩා නහයක් පිහිටා තිබෙනවා. නහය කුඩාවලට නිර්මාණය කොට ඇත්තේ සුරතල් පෙනුමක් ලබාදීම සඳහායි. වර්තමානය වන විට හිම වලස්සු, දුඹුරු වලස්සු මෙන්ම පැන්ඩා වලසුන් ද සෙල්ලමු භාණ්ඩ ලෙස නිර්මාණය වී තිබෙනවා. 


සාමාන්‍යයෙන් අපේ රටේ නම් රුපියල් 500 පමණ සිට ටෙඩී වලස්සු මිලට ගන්න පුළුවන්. සමහර විට ඊටත් අඩු ඇති. දැවැන්ත ප්‍රමාණයේ ඒවා සැළකිය යුතු තරම් මිලකින් යුක්තයි. ඊබේ අන්තර්ජාල සාප්පුවෙන් සාමාන්‍ය තරුණියකගේ ප්‍රමාණයේ ටෙඩී වලසෙක් ඇමරිකානු ඩොලර් 11 (රු. 1600), 23 (රු. 3350), 119 (රු. 17,300) වැනි මිල ගණන් යටතේ මිලදී ගන්නට හැකියාව තිබෙනවා. 


සාමාන්‍යයෙන් ටෙඩී වලසකුගේ සැබෑ වටිනාකමටත් වඩා එහි අගය ඉහළ යන අවස්ථා ද තියෙනවා. එසේ පවසන්නේ එක් පුද්ගලයකු සිය නැතිවුණු ටෙඩී වලසා වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 5,000ක් (රු. 545,401) ක් තිළිණ කරන බව ඕස්ට්‍රේළියානු ජාතිකයෙක් තැන තැන අළවා තිබූ පෝස්ටරයක සදහන් කොට තිබුණ නිසයි. ඔහු පැවසූයේ එය සිය බිරිඳට මෙයට වසර 10කට පෙර මිලට ගෙන දුන්නක් බවත්, එය දැන් සිය පවුලේම සාමාජිකයෙකු බවට පත්වී ඇති නිසාත් එය කුමන මිලක් ලබාදී හෝ නැවත හිමි කරගැනීමට අවශ්‍ය බවයි. 

නැතිවූ ටෙඩියා වෙනුවෙන් ඩොලර් 5,000ක තිළිණයක්



රිචර්ඩ් ස්ටෙයිෆ් විසින් 1930 ගණන්වලදී නිර්මාණය කරන ලද ටෙඩී වලසකු 2007 වස්රේදී වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර්  53,803 කට අළෙවි වුණා. එය රුපියල් ලක්ෂ 78කටත් අධික මුදලක්. 


මහා බ්‍රිතාන්‍යයේ බොහෝ පොලිස් වාහනවල ටෙඩි වලස්සු සෑහෙන සංඛ්‍යාවක් සිටිනා බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ. ඒ ඔවුන්ගේ වාහන සරසවා ගැනීමට නම් නෙවෙයි. මහ මගදී හදිසි අනතුරුවලට ලක්වන වාහනවල සිටින කුඩා දරුවන්, ඔවුන් පත්ව සිටින කම්පන තත්වයෙන් මුදවා සනසවා ගැනීම සඳහා ඔවුන් අතට දීම සඳහායි මෙම පොලිස් නිලධාරීන් ටෙඩී වලසුන්ව රැගෙන යන්නේ. 

බ්‍රිතාන්‍ය පොලීසියේ ටෙඩී වලස්සු



මිනිසුන් පමණක් නොව සතුන් ද ටෙඩී වලසුන්ට ආදරය කරන බව කියැවෙන ප්‍රවෘත්ති ද ලෝකයෙන් ඇසෙනවා. එයින් වඩාත් සංවේදීතම ප්‍රවෘත්තිය වාර්තා වන්නේ ඇමෙරිකා එකස්ත් ජනපදයේ හූස්ටන් ප්‍රාන්තයෙන්. එයට අනුව එක් සුනඛයෙක් ස්වාමියා විසින් අවසන් වරට දකින අවස්ථාවේදී සුනඛයා සිට ඇත්තේ ටෙඩී වලසකු තුරුළු කරගෙනයි. ඔහු එය ඡායාරූප ගත කොට තිබීමෙන් එය සනාථ වෙනවා. නමුත් එයින් පසුව එම සුනඛයා අතුරුදහන් වී තිබෙනවා. 

ටෙඩියා තුරුළු කොටගෙන සිටින සුනඛයා


ඔබ ඇතැම් විට ටෙඩී වලසුන්ට ආදරය කරන දැරියක්, තරුණියක්, කාන්තාවක්, අත්තම්මා කෙනෙකු වන්නට පුළුවන්. නමුත් ඔබ මේ ආදරය කරන අජීවී නමුත් අපට නොපෙනන ප්‍රාණයක් ඇතැයි සිතෙන මේ අපූරු සත්ත්වයාපිළිබඳ මෙවැනි තොරතුරු දැන නොසිටින්නට ඇති. අදින් පසු ඔබ මේ ආදරණීය ටෙඩියාගේහිස වඩාත් ආදරයෙන් අත ගා සිප ගනු ඇති බව නම් නොඅනුමානයි.

2 comments:

  1. අපූරුයි.. මීට සමාන පෝස්ටුවක් තුශානි අක්කා ලඟදි ලියලා තිපුනා.. මේ පෝස්ටුවේ ඊට වඩා තවත් විස්තර තියනවා.. අගෙයි...

    රට රටවල ජනාදිපතිවරු, අගමැතිවරු, මුදල් වර්ග ගැන ලියපු පොස්ට් තියනවාද???
    එහෙම තියෙනවානම් ලිංක් එක දාන්න පුලුවන්ද??

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. රාජ්‍ය නායකයන් ගැන නම් පෝස්ට් මොනවත් ලියලා නැහැ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න