පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, September 27, 2016

කණ පරිස්සම් කරගෙන සිංදු අහන්න


ජංගම දුරකතනයෙන් ගීතවලට සවන් දීම හා සිනමා පට නැරඹීම වර්තමානයේ සුලභව දකින්නට ලැබෙන දෙයක් විදිහට පවසන්නට පුළුවන්. උදෑසන රැකියාවට පැමිණෙද්දී සහ සවසට නිවසට යද්දී බස්වල, දුම්රියවල, මහ මග, ඇතැම් විට කාර්යාලයේ සහ නිවසේදී පවා හෑන්ඩ්ස්ෆ්‍රී කන් දෙකේ රුවාගෙන සිටිනු දැකිය හැකියි. අන් අයට, අසල්වැසියන්ට කරදරයක් නොවී තමන්ගේ පාඩුවේ ගීයක් ඇසීම එක් අතකින් යහපත් දෙයක් වුනත් මේ පුරුද්ද පසු පස්සේ ලොකු විනාශයක් පැමිණෙන බව බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඇතැමුන් තුළ මේ ගැන යම් වැටහීමක් තිබුනත් එය එතරම් සැලකිල්ලකට ගන්නා බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා ඒ ගැන ටිකක් කතා කරන එක හොඳයි කියලා හිතුවා.

පැරණි ඉයර් ෙෆා්නයක්

මුල්ම කාලේ මේ තිබුණේ අප අද දකින විදිහේ හෑන්ඩ්ස්ෆ්‍රී නෙවෙයි. ඒ කාලේ මේවාට කිව්වේ ඉයර්ෆෝන්කියලා. එක කණට විතරයි ඒක දාගන්න පුළුවන් වුනේ. පසු කාලයේ වෝල්ක්මන් වර්ගයේ කැසට් ධාවක ජනප්‍රියවීමත් එක්ක ස්ටීරියෝ ආකාරයෙන් ගීත ඇසීමේ පහසුකම පැමිණියා. ඒ එක්කම ස්ටීරියෝ සංගීතයට සවන් දිය හැකි ආකාරයට කන් දෙකටම දමාගත හැකි ඉයර්ෆෝන් ආවා. නමුත් ඒවායේ නම වුනේ හෙඩ්ෆෝන්’. හෙඩ්ෆෝන් එක්ක ජීවත් වෙන අතරේ ජංගම දුරකතන තාක්ෂණය වේගයෙන් දියුණු වෙලා හෑන්ඩ්ස්ෆ්‍රී ආවා. මුළින්ම හෑන්ඩ්ස්ෆ්‍රී  ආවේ ගීතවලට සවන් දෙන්න නෙවෙයි. වාහනක ගමන් කරද්දි පහසුවෙන් දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීම සඳහායි. දෑත් නිදහස්කියන තේරුම තමයි හෑන්ඩ්ස්ෆ්‍රී  කියන එකේ තියෙන්නේ. වැඩි කාලයක් යන්න කලින් ජංගම දුරකතන ඔස්සේ උසස් ගුණත්වයෙන් ගීත ඇසීමේ තාක්ෂණය දියුණු වීමත් එක්ක හෑන්ඩ්ස්ෆ්‍රී  තාක්ෂණයත් දියුණු වුණා. මුල් කාලේ කනේ රඳවාගත හැකි විදිහේ හෑන්ඩ්ස්ෆ්‍රී  තිබුණත් දැන් කණ තුළට රුවාගත හැකි ආකාරයේ හෑන්ඩ්ස්ෆ්‍රී  තමයි ජනප්‍රිය. ඒ වගේම දැන් මේවා හඳුන්වන්නේ හෙඩ්සෙට්නමින්. මෙන්න මේ ආකාරයෙන් තමයි හෑන්ඩ්ස්ෆ්‍රී  නැත්නම් හෙඩ්සෙට් අපි ළගට ආවේ.

Walkman Hedaphone


මේවායෙන් ගීත අහද්දී පිට පිටස්තර පුද්ගලයකුට එයින් කරදරයක් නැති බව ඇත්ත වුනත් ඔබේ ශ්‍රවන හැකියාවට නම් එයින් සෑහෙන්න බලපෑමක් සිද්ධ වෙන බව නොකියාම බැහැ. වර්තමානයේ ජනප්‍රියතම හෙඩ්සෙට් වර්ගය වන්නේ කණ තුළට රුවා ගත හැකි අන්දමින් නිමවා ඇති මෝස්තරයයි. සාමාන්‍යයෙන් අලුතින් ජංගම දුරකතනයක් මිලදී ගන්නා විට බොහෝ විට ලැබෙන්නේ ද මේ මෝස්තරයේ හෙඩ්සෙට්. වෙනස් මෝස්තරයක් ලැබෙන්නේ ඇපල් දුරකතන සඳහා පමණයි. කණ තුළට රුවා ගත හැකි මෝස්තරයේ හෙඩ්සෙට්වලින් කණ සම්පූර්ණයෙන්ම මුද්‍රාවන ආකාරයෙන් තමයි සකසා තිබෙන්නේ. බාහිර ශබ්ද කිසිවක් නොඇසෙන නිසා ඉතා උසස් ආකාරයෙන් ගීතවලට සවන් දෙන්න පුළුවන්.

මුල් කාලයේ හෙඩ්සෙට් 


කණ තුළට රුවාගත හැකි අන්දමේ හෙඩ්සෙට් 

බොහෝ දෙනෙක් හෙඩ්සෙට් එකක් කනේ රුවාගෙන ගීත අසද්දී ගීතවල ශබ්ද මට්ටම ඉහළ දමන අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ කණ පිරෙන්න සංගීතය රස විඳීමටයි. මේ ආකාරයට ශබ්ද මට්ටම ඉහළ දමද්දී ඉතා පහසුවෙන්ම මෙම ශබ්ද මට්ටම ඩෙසිබල් 85 කියන මට්ටම පසුකරනවා. ඩෙසිබල් කියන්නේ මොකක්ද කියන එක දැන් ඇතැමුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඩෙසිබල් කියන්නේ ශබ්දයේ මට්ටම මනින ඒකකය විදිහට සරලව සඳහන් කළ හැකියි. ඩෙසිබල් 85 කියන්නේ මිනිස් කණට දරාගත හැකි ශබ්ද මට්ටමයි. හෙඩ්සෙට් එකකින් ගීතවලට සවන් දෙන බොහෝ දෙනෙකු මේ ගීත අසන්නේ ඩෙසිබල් 85 මට්ටම ඉක්මවා යන අයුරින්. පර්යේෂණවලින් හෙළිවී තිබෙන ආකාරයට බොහෝ දෙනෙකුගේ මේ මට්ටම ඩෙසිබල් 120ක් පමණ වෙනවා. මේ හෙඩ්සෙට්වලින් කණ සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබෙන නිසා ශබ්ද කණෙන් පිටවන්නට ද ඉඩක් නැහැ. ශබ්දය වැඩි කොට ගීත අසන්නට හුරුවීමේ ඊළඟ අනිටු පලය වන්නේ කාලයක් ගතවේද්දී මේ අධික ශබ්දයට කණ හුරු වී මෙම ශබ්ද මට්ටම තව තවත් ඉහළ දමා ගැනීමයි.  මෑතකදී කළ එක් පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ ඩෙසිබල් 85 ට වැඩි ශබ්දයකට කණ නිතර නතු වීම නිසා කණේ සිට මොළයට සංඥා රැගෙන යන ස්නායු හානියට පත් වෙන බවයි. ස්නායු හරහා විද්‍යුත් සංඥා ගමන් කරන්නේ ඒවා ආවරණය වී ඇති මයලින් කොපු නිසයි. ඩෙසිබල් 110 පමණ ඉක්මවූ ශබ්දවලට නිතර සවන් දීමේදී මෙම මයලින් කොපුවලට හානි සිදුවන බැව් පැවසනෙවා. එවිට මොළය කරා රැගෙන යන ශබ්ද සංඥා දුර්වල වී ශ්‍රවනය දුර්වල වන බවයි එම පර්යේෂණයෙන් වැඩිදුරටත් පැවසෙන්නේ. අනෙක මෙසේ හානියට පත් වන ස්නායු කොටස් නැවත යථා තත්වයට පත්වන්නේ ද නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂිකව බිහිරි බවට පත් වන පුද්ගලයන්ගෙන් 30%ක්ම පාහේ හෙඩ්සෙට්වලින් අධික ශබ්දයෙන් යුක්තව ගීත අසන්නන් බව පර්යේෂණ කිහිපයකින්ම හෙළිවී තිබෙනවා. අප රටේ එවැනි පර්යේෂණ සිදුව නැතත් මෙම ශෝචනීය ඉරණමට බොහෝ දෙනෙක් මේ වන විටත් ගොදුරුව සිටිනවා විය හැකියි.

ඉඳ හිට ඩෙසිබල් 85 ඉක්මවූ ශබ්දයකට කණ ලක්වීම හානිකාර දෙයක් නොවුනත් දීර්ඝ කාලයක් තිස්සේ එසේ ලක්වීම සහමුලින්ම අහිතකර දෙයක්. ඔබ ගීත අසන්නේ ඩෙසිබල් 90 මට්ටමේ යැයි මඳකට සිතන්න. ඔබ දිනපතාම පැය කිහිපයක් මේ මට්ටමින් ගීත අසනවා නම් එය තත්පර 30ක් තුළ ඩෙසිබල් 150ක ශබ්දයකට සවන්දීමට සමාන වෙනවා. ඩෙසිබල් 150ක් කියන්නේ සාමාන්‍ය තනි පතුරමක් දමා වෙඩි තැබිය හැකි තුවක්කුවක ශබ්දයටයි. ඔබ අසන ශබ්ද මොන මට්ටමේ පවතිනවාද කියා යම් අවබෝධයක් ලබාන්න පහත විස්තරය උපකාරී වෙන්න පුළුවන්.

කෙඳිරීමක් ඩෙසිබල් 20
ශීතකරණයක් ඩෙසිබල් 40
සාමාන්‍ය මට්ටමින් කතා කිරීම ඩෙසිබල් 60
නගරබද වාහන ශබ්දය ඩෙසිබල් 80
තණකොල කපන යන්ත්‍රය ඩෙසිබල් 90
දම්වැල් සහිත යාන්ත්‍රික කියත ඩෙසිබල් 110
රතිඤ්ඤා ඩෙසිබල් 140
තුවක්කුව ඩෙසිබල් 160

ශ්‍රවනයට හානි නොවී ගීත අසන්නට නම්

නවීන ස්මාර්ට් වර්ගයේ දුරකතනවල ඩෙසිබල් 85 ඉක්මවා ශබ්දය වැඩිකරන්නට සැරසන  විට එය අහිතකර බව පෙන්වන පණිවිඩයක් පෙන්නුම් කරනවා. ඔබ ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත්. බොහෝ දෙනෙක් ශබ්දය වැඩි කොට අසන්නේ බස් රථයේ හෝ දුම්රියේදී ගමන් කිරීමේදී බාහිර ශබ්ද අධික ලෙස ඇසෙන නිසයි. එබැවින් බාහිර ශබ්ද නොඇසෙන ලෙස කණ මුද්‍රාවන සේ තැනූ හෙඩ්සෙට් තිබෙනවා. අපි එවැනි හෙඩ්සෙට් ගැන මේ ලිපියේ මුලින් කතා කළා. අධික ශබ්දය කණෙන් පිටවන්නට මෙවැනි හෙඩ්සෙට්වලින් ඉඩක් නැති වුනත්, බාහිර ශබ්ද සෑහෙන දුරට වළකාලිය හැකි නිසා ගීතවල ශබ්ද මට්ටම හැකි තාක් අඩුකොට අසන්නට මෙවැනි හෙඩ්සෙට් උපකාරී වෙනවා. ඒ නිසා වැනි හෙඩ්සෙට් හිතකර අයුරින් පරිහරණය කිරීමෙන් ඔබේ ශ්‍රවනය රැකගත හැකි වෙනවා.

ශ්‍රවනයට සම්බන්ධයක් නැතත් මග තොටේදී හෙඩ්සෙට් කනේ රුවාගෙන ගමන් කිරීම අනතුරුවලට අතවනන්නක් බව ද සියලු දෙනා මතකයේ තබා ගත යුතුයි. හෙඩ්සෙට් කනේ රුවාගෙන මහ මග සහ දුම්රිය මග ගමන් කළ බොහෝ දෙනෙක් මේ වන විට සිය ජීවිතවලින් වන්දි ගෙවා තිබෙනවා. එබැවින් ඒ පිළිබඳව ද සැලකිල්ලක් දැක්විය යුතුයි.


මේ සියලු කාරණා නිසා ජීවිතය වාගේම ශ්‍රවනයට ද හානි සිදුවිය හැකි හෙඩ්සෙට් භාවිතය වඩාත් සැලකිල්ලෙන් කිරීම සෑම අතින්ම යහපත් බව අවසාන වශයෙන් කිව හැකියි. 


8 comments:

  1. අගෙයි අගෙයි. හෑන්ඩ්ස්ෆ්‍රී මගින් සින්දු අහන පිරිසට මෙය ඉතා වැදගත් ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. ඇත්තටම අද හෑන්ඩ්ස්ෆ්‍රීවලින් ගීත අහන එක හැමෝම කළත් එහි අහිතකර පැත්ත ගැන ඔවුන් සිතන්නේ නෑ. ඔවුන් ටිකක් හරි දැනුවත් වෙයි කියලා හිතනවා.

      Delete
    2. ඒ අදහසට මාත් එකඟයි. දෙයක් කරත් එහි හොඳ නරක හෝ හරි වැරැද්ද ගැන හිතන්නේ කීයෙන් කීදෙනාද ?

      ජයවේවා!!!

      Delete
  2. මම නං අහන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් සෞඛ්‍ය සම්පන්න පුරුද්දක්

      Delete
  3. මම කාලයක් හෙවිමෙටල් සංගීතයට හුරුවෙලා හිටියා
    ඒ කාලේ නිතරම වගේ හෙඩිසෙටි එක කනේ තිබුනා ගොඩක් සවුන්ඩිස් එක්ක
    ටික දවසක් යද්දි මට ලොකු වෙනසක් දැනෙන්න පටන් ගත්ත
    ඇසීමේ ඇහෙන දේ පැහැදිලි නැති ගතියක්
    බේරුනේ යන්තමි

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ක්ලැසිකල් ගීතවල නම් බොහෝ විට ශබ්දය කණට අහිතකර මට්ටමින් නහැ. ඔබ පවසනවා වාගේ හෙවිමෙටල් ඝෝෂාකාරී බවින් වැඩියි. එවැනි ගීත නිතර ඇසීම නම් කණට කොහොමත් අහිතකර වෙනවා. ඔබ වාසනාවකට එය තේරුම් අරන් කණ් දෙක පරිස්සම් කරගෙන තියෙන්නේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න