පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, January 19, 2017

ජයලලිතාගේ ඥාති දියණිය, දීපා ජයකුමාර් දේශපාලනයට - Deepa Jayakumar and Tamilnadu Politics


පසුගිය වසරේ දෙසැම්බර් 5 වැනිදා තෙක් දීපා ජයකුමාර් පිළිබඳව දැන සිටි බහුතරයක් නොසිටි තරම් යැයි කීවොත් එහි වරදක් නැත. එයට හේතුව ඒ නමින් හඳුන්වන තැනැත්තිය පිළිබඳව කතා කරන්නට කිසිවකුට හෝ ඕනෑකමක් නොතිබුණු නිසා විය හැකිය. කෙසේ නමුත් අද වන විට ඇය පිළිබඳව කතා කරන පුවත්පත් හා වෙබ් අඩවි බොහෝය. ඒ අන් කිසිවක් නිසා නොව තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ ඥාති දියණිය දීපා ජයකුමාර් වීමත්, ඇය ජයලලිතාගේ දේශපාලන පක්ෂය වන සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ වර්තමාන ලේකම්වරිය වන ශෂිකලාගේ නායකත්වයට එළිපිටම අභියෝග කරන නිසාත්ය. දීපා ජයකුමාර් යනු තම පක්ෂයේ නියම උරුමක්කාරිය යැයි පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් පවසන්නට වීම ඇගේ කරළියට පැමිණීම තවත් ඉක්මන් කොට තිබේ.

පක්ෂයට ලැදි බොහෝ දෙනෙක් පවසන්නේ ජයලලිතා ජයරාම්ගේ මරණය සැක සහිත බවත් මේ පිළිබඳව යළි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය. ජයලලිතාගේ මරණය පසුපස පක්ෂ නායකත්වය අතට ගැනීමේ ශෂිකලාගේ කුමන්ත්‍රණයක් පැවැති බවට මතයක් ද පැතිර ගියේය. ශෂිකලාගේ නායකත්වයට අභියෝගයක් වේ යැයි කල්තියාම සැක කෙරුණු බැවින් ජයලලිතාගේ ඥාති දියණිය වන දීපා ජයකුමාර්ට ජයලලිතාගේ අවමංගල්‍යයට සහභාගී වන්නට තිබු අවස්ථාවන්ට හැකි තරම් උපරිමයෙන් බාධා පමුණුවන්නට ශෂිකලා පියවර ගෙන තිබූ බව අද වන විට රහසක් නොවේ. මේ නිසා ශෂිකලාට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පළකරන්නට දීපා ජයකුමාර් ඉදිරිපත්ව සිටීමේ අරුමයක් ද නැත.

සැබවින්ම දීපා ජයකුමාර් යනු කවුද? ඇය ජයලලිතා වෙනුවෙන් ශෂිකලාට එරෙහිව අභියෝග කරන්නේ ඇයි? දීපාගේ කරළියට පැමිණීමත් සමග බොහෝ දෙනෙකු තුළ ඇතිවන ප්‍රශ්න මේවාය.

දීපාගේ පියාගේ විවාහයට ජයලලිතා පැමිණ සිටි අවස්ථාව


දීපා ජයකුමාර් යනු ජයලලිතාගේ එකම සොයුරා වන ජයකුමාර්ගේ දියණියයි. එනම් ඥාතිත්වය අනුව ඇයට සිටි එකම ඥාති දියණියයි. පෙනුමින් ද ජයලිලතාට යම් යම් සමානකම් දක්වන ඇය වෘත්තියෙන් ජනමාධ්‍යවේදිනියකි.  1974 වසරේ දිවාලි දිනට පෙර දිනයේ උපත ලද ඇයට ආලෝකයයන අරුතින් යුත් දීපායන නම තැබුවේ ජයලලිතාය. ජයලලිතා සිය ජීවිතයේ බොහෝ ප්‍රීතිමත් වූ දිනයන් අතුරින් එකක් ලෙස දීපාගේ උපන් දිනය සැලකු බව දීපා පවසන්නීය. කෙසේ වෙතත් 1995 වසරේදී සිය පියා වූ ජයකුමාර් හදිසි අනතුරකින් මිය යාමෙන් පසු ජයලලිතා සහ තම පවුල අතර වූ ඥාති සම්බන්ධතාවට යම් බලපෑමක් සිදු වූ බව දීපා පවසන්නීය. කෙසේ නමුත් සිය ඥාති සබඳතාවය පවත්වාගන්නට දීපා බොහෝ අවස්ථාවලදී උත්සාහ ගත් බව පෙනෙනු අතර ජයලලිතා හමු වී සිය ඥාති සබඳතාවය මතක් කොට දී එය අලුත් කරගන්නට උත්සාහ දැරූ බව ද රහසක් නොවේ. කෙසේ නමුත් දීපාට එය එතරම් සාර්ථක ලෙස සිදු කරගන්නට අවස්ථාවක් නොලැබුණු බව ද පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් දීපා පිළිබඳ යම් ඉවක් ශෂිකලා තුළ පැවැති බව පැවසිය හැක්කේ ජයලලිතාගේ අවමංගල්‍යය දිනයේදී දීපාට යම් යම් බාධා පමුණුවමින් ඇයට අවමංගල්‍යයට පහසුවෙන් සභභාගී වන්නට තිබූ අවස්ථාවන් නවතා දමන්නට කටයුතු කළ නිසාය. දීපා ජයලලිතාගේ සමීපතම ඥතියකු වුව ද ජයලලිතාගේ අවමංගල්‍යයට සහභාගී වන්නට ඇයට පැය ගණනක් පෝලිමේ ගත කරන්නට සිදු විය. ජයලලිතා අසනීපව ඇපලෝ රෝහලේ සිටි අවස්ථාවේදී ද ද ඇයගේ සුව දුක් බැලීමට දීපාට පැමිණෙන්නට නොහැකි ලෙස කටයුතු කරන්නට ශෂිකලා පියවර ගෙන තිබිණි. මාධ්‍යයේ ඇස දීපාට යොමු වුයේ ජයලලිතාගේ මරණයෙන් පසු වුව ද ශෂිකලාගේ ඇස දීපා දෙසට එයට බොහෝ කලකට පෙර සිටම යොමුව තිබූ බව මෙම සිදුවීම්වලින් මොනවට පැහැදිලි වේ. දීපා ජනමාධ්‍යවේදිනියක වීම ද, ජයලලිතාගේ සමීපතමට ඥාතියකු වීම ද නිසා සිය දේශපාලන ජීවිතයට ඇගෙන් යම්කිසි බලපෑමක් වනු ඇතැයි ශෂිකලා අනුමාන කරන්නට ඇත. කෙසේ වෙතත් මේ වන විට ඇය අනුමාන කළ පරිදිම දීපා ඇගේ දේශපාලන ජීවිතයට තර්ජනයක් වෙමින් පවතින බැව් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’, ‛ද නිව්ස් මිනිට්සහ ද ඉකොනොමික් ටයිම්ස්යන පුවත්පත්වලට අදහස් දක්වමින් දීපා පවසා සිටියේ තම පවුල සහ ජයලලිතා අතර ඈත්වීමක් ඇති කරන්නට ශෂිකලා හිතාමතාම කටයුතු කළ බවය. තමා කාඩිෆ් සරසවියෙන් ජාත්‍යන්තර මාධ්‍යවේදය පිළිබඳ උපාධිය ලබාගත් අවස්ථාවේදී එයට සහභාගී වන්නට ජයලලිතාට ඇරයුම් කළ ද ඇය එයට සහභාගී නොවෙන තැනට යම් වැඩ පිළිවෙලක් සිදුවූ බව දීපා පවසන්නීය. එයින් පසුව ද කිහිප අවස්ථාවකදීම දීපා හමුවන්නට ජයලලිතා කැමැත්තෙන් සිටිය ද ඒ සියලු අවස්ථා වළක්වන්නට යම්කිසි බලවේගයක් ක්‍රියාත්මක වූ බව දීපා මධ්‍ය හමුවේ පවසා සිටියාය.

සමස්ත ඉන්දීය අන්නා දවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් ශෂිකලාගේ පක්ෂ ලේකම් ධූරයට කැමැත්තක් නොදක්වන බව රහසක් නොවේ. ඔවුන් බියවී සිටින්නේ පක්ෂය පුරා සිය අණසක පතුරවමින් එය සිය පවුලේ බූදලයක් බවට පත්කර ගනු ඇතැයි යන්න පිළිබඳවය. මේ නිසා ශෂිකලාට හෝ ඇගේ සහචරයන්ට වඩා වෙනත් සුදුසු කිසිවෙක් පක්ෂයේ නායකත්වයට පත් කළ යුතු යැයි ඔවුහු අදහස් පළකරනන්ට වූ අතර ඒ සඳහා වඩාත්ම සුදුසු උරුමක්කාරිය වන්නේ දීපා ජයකුමාර් බව ඔවුහු පවසති. එසේ පැවසීමෙන් පමණක් නො නැවතුණු ඔවුහු මෑත දිනකදී ඒ වෙනුවෙන් රැළි කිහිපයක් ද පවත්වනු දක්නට ලැබිණි. මේ එක් අවස්ථාවකදී ශෂිකලාට පක්ෂව ප්‍රදර්ශනය වෙමින් පැවැති බැනර් සහ පෝස්ටර් ද ඉරා දමනු ලැබ තිබේ.


තමා කිසිදා දේශපාලනයට නොපැමිණෙන බැව් දීපා මෙයට පෙර ප්‍රකාශ කොට තිබුණ ද පක්ෂය විසින් යම් ඉල්ලීමක් කරන්නේ නම් සිය නැන්දණිය වෙනුවෙන් යුතුකම් ඉටු කොට පක්ෂය ගළවා ගන්නට සිය තීරණය වෙනස් කරන්නට වුව කැමති බවට ද ඇය ඉඟියක් ලබා දී තිබේ. තත්වය මෙසේ හෙයින් පැවසිය හැක්කේ ශෂිකලා සිතූ සේම දීපා ඇයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇති බවය. ශෂිකලාට සිතූ තරම් පහසුවෙන් පක්ෂය නතු කරගන්නට තිබූ අවස්ථාවට දැන් තර්ජන එල්ල වෙමින් පවතී. වැඩි දිනක් යන්නට පෙර යම් කිසිවක් සිදුවනු ඇති බවට මත ද පළවී තිබේ. තමිල්නාඩු දේශපාලනය යනු අප රටට ඍජුවම බලපෑමක් කරන්නක් වන බැවින් මේ සියල්ල දෙස විපරමින් බලාසිටීම වඩාත් වැදගත්ය. 



අතිරේක කියැවීම්


2 comments:

  1. හොඳ පියවරක් කියා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි බලාගෙන ඉමු මොකක්ද වෙන්නේ කියලා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න