පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, January 3, 2018

ඒකාධිපතියකුට පවා මරා දැමිය නොහැකි වූ යුරෝපයේ ඉපැරණිතම භාෂාව - යුස්කාරා - Euskara, Europe Oldest Language

බැස්කේ නාවික නගරය 

යුස්කාරායන වදන ඇතැම් විට ඔබ අසා තිබෙන්නට පුළුවන. බොහෝ විට අසා නැති වන්නට ද පුළුවන. යුස්කාරා යනු යුරෝපයේ ඉපැරණිතම භාෂාව වේ. ලෝකයේ එක් එක් රටවලට, එක් එක් කලාපවලට ආවේණික වූ ඉපැරණිතම භාෂාවන් තිබෙන මුත් යුස්කාරා බස පසුපස ඇත්තේ අපූර්ව වූ කතා පුවතකි. දැනුම සොයා යන්නවුන්ට මේ කතාව අපූර්වත්වයක අත්දැකීමක් එක් කරනු නො අනුමාන ය.

ලොවෙන් වියැකී යන්නට ආසන්නයේ ම ඇතැයි බොහෝ දෙනෙකු පවසන යුස්කාරා බස උතුරු ස්පාඤ්ඤයේ  නැවරේ  සහ උතුරු ස්පාඤ්ඤයත් නිරිත දිග ප්‍රංශය අතරේ ජීවත්වන බැස්කේ ජනයා අතර පමණක් භාවිත වන බසකි. මෙහි මූලාරම්භය පසුපස ඇත්තේ අභිරහසකි. මෙහි ආරම්භය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති අතර මෙයට පාදක වූ වෙනත් බසක් ද මේ කලාපයේ නො පවතී. වසර ගණනාවක් තිස්සේ භාෂා විද්‍යාඥයන් දුෂ්කර ගැටළුවකට පත් කළ එකම බස ද මෙය ම වේ.

උතුරු ස්පාඤ්ඤයේ ඇති නාවික නගරයක් වූ බිල්බාඕ හි පිහිටි බැස්කේ සරසවියේ බැස්කේ භාෂා ආයතනයේ මහාචාර්ය පෙලෝ සලාබුරු පවසන්නේ මෙම බස උපත ලද්දේ කොහිදැයි කිසිවකු නො දන්නා බවය. මෙය සොයා ගන්නට විද්වතුන් වසර ගණනාවක් තිස්සේ පර්යේෂණ පැවැත්වුව ද මෙතෙක් පිළිතුරක් සොයා ගැනීමට අපොහොසත් වී තිබේ.

බැස්කේ වැසියන් අතර මේ බස පිළිබඳ ව ඇත්තේ මහත් අභිමානයකි. බැස්කේ ජනගහනයෙන් ලක්ෂ හතක් පමණ, එනම් 35%ක් පමණ දෙනෙක් මෙම බස වර්තමානයේ  කතා කරති. කෙසේ නමුත් 1939 වසරේ සිට 1975 දක්වා ස්පාඤ්ඤය පාලනය කළ හමුදා ඒකාධිපතියා වූ ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ තරම් මේ බසට වෛර කළ වෙනත් පුද්ගලයකු සිටියේ නැත. ඔහු මේ බසට කෙතරම් වෛර කළේ ද යත්, මෙය කතා කිරීම සහමුලින්ම තහනම් කළේ ය.

කෙසේ නමුත් බැස්කේ වැසියන් මෙම බස අමතක කරන්නට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔවුහු මෙය හොර රහසේ කතා කළා පමණක් නොව සිය දරු මුනුබුරන්ට මෙය හොර රහසේ උගන්වා ඉදිරි පරපුර වෙනුවෙන් මෙය රැක ගන්නට ද කටයුතු කළහ. හැට සහ හැත්තෑව දශකවල කුඩා දැරියක ලෙස මෙම බස හොර රහසේ ඉගෙන ගත්, දැනට ගුරුවරියක වන කර්මෙලේ එරෙකැට්ෂෝ පවසන්නේ බිල්බාඕ හි දේවස්ථානයක් යට මාලයේ පැවැත්වූ රහස් පාසලක දී මෙම බස හැදැරූ බවය. මෙම පළාතේ ඇති සුප්‍රකට ගුගෙන්හෙයිම් කෞතුකාගාරය ඇත්තේ ද මෙම දේවස්ථානයේමය.

භාෂාව කියන්නේ යම් තැනක පවතින අනන්‍යතාවක්. යමෙක් යම් තැනකින් යම් බසක් ඉවත් කරන්නේ නම්, ඒ බස නිසැකවම මිය යනවා. එදා සිටි ඒකාධිපතියාට අවශ්‍ය වුණේ මේ බස මරා දැමීමටයි ඇය පවසන්නීය.

යුස්කාරා බස රහසේ ඉගැන්වූ ඉකස්ටෝලා පාසල 


වර්ෂ 1944 දී දෙමාපියන් පිරිසක් රහස් සංගමයක් සංවිධානය කොට ඉකස්ටෝලානමින් රහස් පාසලක් පිහිටුවා ගත්හ. 1970 වසර වන විට මෙම පාසලේ උගත් පිරිස හත්දහසකට වඩා වැඩි බව මහාචාර්ය සලාබුරු පවසයි. ඔහු ද මේ පාසලේ සිසුවකි. ඒකාධිපතිත්වය පැවැති සමයේ යුස්කාරා බස කතා කළේ හුදෙකලා නගරවල ජනයා  සහ පිරනීස් කඳු ආශ්‍රිතව ජීවත් වූ කඳුකර ජනයා පමණි. නගරබද කිසිවකු මෙම බස ප්‍රසිද්ධියේ කතා කළේ නැත. මෙම බස කතා කරන අය සිටී දැයි සොයා බැලීමට ඔත්තුකරුවන් පත් කොට තිබුණු අතර, එවැන්නකු පිළිබඳ දැන ගත් විගස ඒ බව පොලිසියට දැනුම් දෙනු ලැබිණි. එරෙකැට්ෂෝගේ මිත්තණිය ද මෙම බස කතා කිරීම නිසා පොලිසියේ අත්අඩංගුවට පත් වූ තැනැත්තියකි. ඇයව අත්අඩංගුවට ගෙන මෙම බස කතා කිරීමේ වරදට දඬුවමක් ලෙස දඩයක් ගැසුවා පමණක් නොව ඇයට නින්දා කරනු පිණිස ඇගේ හිස ද මුඩු කරනු ලැබිණි. මෙයින් බියට පත් එරෙකැට්ෂෝගේ මිත්තණිය ඉන් මතු යුස්කාරා බස කතා නො කළා පමණක් නොව එරෙකැට්ෂෝගේ පියාට එය ඉගැන්වුයේ ද නැත.

කෙසේ නමුත් මර්දනයට එරෙහි වර්ධනයක් ද මෙම වැසියන් අතර දක්නට හැකි විය. ඒකාධිපතිත්වය මෙම බස කෙතරම් මර්දනය කළ ද මෙම බස අහිමි වේ යැයි යන බිය නිසා වැඩිහිටියෝ කෙසේ හෝ හොර රහසේ මෙම බස කතා කරමින් එය රැකගන්නට හැකි සෑම උත්සාහයක්ම දැරූහ. වසර දහස් ගණනාවක් තිස්සේ සජීවීව පැවැති බසක් විනාශ කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒකාධිපතිත්වය නිමා වීමත් සමග නැවත යුස්කාරා බස කතා කිරීම වර්ධනය වන්නට පටන් ගත්තේය. මේ වන විට යුස්කාරා බසින් පුවත් පත් පවා ප්‍රකාශයට පත් වෙයි.

යුස්කාරා බසින් මුද්‍රණය වන පුවත් පත්


ස්පාඤ්ඤයේ බැස්කේ පළාතට අයත් එරෙන්ටරියා නගරයේ පිහිටි ඉපැරණි ගල් ලෙනක්, ලෙන් විද්‍යාඥයන්ගේ අවධානයට යොමු විය. මෙහි වසර 14,000 කට පෙර අඳින ලද ලෙන් සිතුවම් රැසක් ඇති ස්ථානයකි. මෙම පළාතේ ඇති වෙනත් ප්‍රාග් ඓතිහාසික ලෙන්වල මිනිසුන් වාසය කිරීම පටන් ගෙන ඇත්තේ අදින් වසර 9,000 කට පමණ පෙර යැයි පැවසේ.

ඉපැරණි ලෙන් සිතුවම් 


මේ ලෙන්වල මිනිසුන් කතා කළ බස කුමක්දැයි අප දන්නේ නැහැ. නමුත් අප දරන අදහසට පරිබාහිර වෙනත් මතයක් නොමැති නිසා යුස්කාරා බස සහ මොවුන් භාවිත කළ බස අතර යම් සබඳතාවක් ඇතැයි අනුමාන කරන්නට අපට සිදු වෙනවා.යැයි මහාචාර්ය සලාබුරු පවසයි.

යුරෝපියානු භාෂාවන් ඇති වූයේ පෙරදිග සිට යුරෝපය කරා අදින් වසර 3,500කට පමණ පෙර ජන සංක්‍රමණ සිදුවෙද්දී ඔවුන් සමග පැමිණි විවිධ භාෂාවන්ගේ ආභාෂයෙන්. නමුත් යුස්කාරා බසට ඇත්තේ මෙයට වඩා වෙනස් උපතක්. එයට පෙරදිග සමග සම්බන්ධයක් පවතින බවට කිසිදු සලකුණක් නැහැ. වෙනත් කිසිම බසකට නෑකම් නොකියන දැනට සජීවීව පවතින එකම බස වන්නේ යුස්කාරා පමණයියනුවෙන් මහාචාර්ය සලාබුරු පවසයි. 


3 comments:

  1. බාස්ක් / බැස්ක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේගේ උච්චාරණය හරියටම දන්නේ නැති නිසා මම ගූගල් translate එකෙන් තමයි ගත්තේ. මේක ස්පාඤ්ඤය නිසා මම ස්පාඤ්ඤ භාෂාව තෝරාගෙන ඒ අනුවයි උච්චාරණය ගත්තේ. එවිට කියැවෙන්නේ (Basque) බැස්කේ ලෙසින් නිසා මම එසේ යෙදුවා.

      Delete
    2. https://www.youtube.com/watch?v=s9vH8dpSav8

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න