පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 16, 2018

ජෙෆ් බෙසොස් හෙවත් ලෝකයේ ලොකුම සල්ලිකාරයා - jeff bezos , the World's Richest Man


ජෙෆ් බෙසොස්කියන්නේ කවුදැයි ඔබෙන් ඇසුවොත් එයට පිළිතුරක් දෙන්නට නොහැකි වන්නට පුළුවන්. නමුත් මේ විස්තරය කියවුවාට පසු බොහෝ දෙනෙක් මේ නම මතක තබා ගන්නා බව නො අනුමානයි. ඒ අන් කිසිවක් නිසා නොව අලුත්ම ආර්ථික සහ මූල්‍ය වාර්තාවලට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ජෙෆ් බෙසොස් වීම නිසයි. ලෝක ප්‍රකට, විශාලතම අන්තර්ජාල වෙළෙඳ සමාගම වන ඇමසන්හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධරයා වන්නේ  ඔහුයි. ඔහුගේ මුළු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 105ක් පමණ වනවා. මේ ප්‍රමාණය 153 න් වැඩි කිරීමෙන් මේ වත්කම අප රටේ මුදලින් කීයක් වනවා දැයි සොයා ගන්නට ඔබට අවශ්‍ය නම් හැකියාව තිබෙනවා. ඒ වගේම 2016 වසරේ අප රටේ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 81.32ක් යැයි කීමෙන් ඔහුගේ වත්කම්වල ප්‍රමාණය කෙතරම් දැයි යම් අවබෝධයක් ඔබට ලැබිය හැකියි. 


මෙතෙක් වසර ගණනාවක් තිස්සේම ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පළඳා සිටියේ මයික්‍රොසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස්. නමුත් පසුගිය දිනෙක ඇමසන් සමාගම කොටස් වෙළෙඳ පළේ වේගයෙන් ඉදිරියට පැමිණීම නිසා බිල් ගේට්ස්ව පරදා ජෙෆ් බෙසොස් ට ඉදිරියට එන්නට හැකියාව ලැබුණා. 



1964 ජනවාරි 12 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ දී ජෙෆ් බෙසොස් උපත ලබන විට ඔහුගේ මව වූ ජැක්ලින් ජෝර්ගෙන්සන් ට වසර විස්සක්වත් සම්පූර්ණ වී තිබුණේ නැහැ. ඔහුගේ පියා වූයේ ටෙඩ් ජෝර්ගෙන්සන්. කෙසේ නමුත්  ජෙෆ් බෙසොස් ට අවුරුදු හතරක්වත් සම්පූර්ණ වන්නට පෙර ඔහුගේ මව වෙනත් විවාහයක් කර ගත්තා. ඔහුගේ නව පියා වූයේ මෙක්සිකානු ජාතිකයකු වූ මයික් බෙසොස්. කුඩා කාලයේ සිටම අලුත් දේවල් ගැන සිහින මැවූ ජෙෆ් බෙසොස් ඇමසන් නම් වූ ලෝකයේ අති විශාල අන්තර්ජාල වෙළෙඳ සල දක්වා දිගු ගමනක් ගියේ මේ සිහිනය නිසාම බව බොහෝ ව්‍යාපාරික සඟරා පවසනවා. 


ඔහු පරිගණක විද්‍යාව සහ විදුලි කාර්මික ශිල්පය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවා. මේ නිසාම මේ ක්ෂේත්‍ර දෙකින් ඔහුට උපාධි ගැනීමටත් හැකියාව ලැබුණා. කුඩා කාලයේ දී ඔහු බොහෝ දේවල් නිර්මාණය කළේ සිය නිවසේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. තමන් සමග කාමරයේ එකට හැදුණු වැඩුණු සහෝදරයන් කාමරයෙන් පිටතට යනවා දැයි බලා ගන්නට ඔහු අපූරු අනතුරු හැඟවීමේ උපකරණයක් ද නිපදවූවේ කුඩා කාලයේදීමයි. 



ජෙෆ් බෙසොස් ලෝකයේ ලොකුම ධනවතා වුවත් යහපත් විවාහ ජීවිතයක් ගත කරන බව තමයි ව්‍යාපාරික වෙබ් අඩවි පවා සඳහන් කරන්නේ. එයට හේතුව ලෝකයේ බොහෝ ධනවතුන්ගේ විවාහ ජීවිතවල යම් යම් අසාර්ථකතාවන් තිබෙන නිසයි. ඔහු විවාහ වී සිටින්නේ මැකන්සි ටට්ල් සමගයි. ඔහුට ඇයව හමු වී ඇත්තේ ඔහු උපාධිය සඳහා ඉගෙනීම ලැබූ කාලයේ දී. 1993 වසරේ දී විවාහ වූ ඔවුන් ඇමසන් සමාගම ආරම්භ කිරීම සඳහා සියැටල් ප්‍රාන්තය කරා සංක්‍රමණය වුණා. මේ විවාහයෙන් ඔවුන්ට දරුවන් තිදෙනෙකු ලැබුණා. එයට අමතරව ඔවුන් චීන ජාතික දැරියකව සිය දරුකමකට ද හදා වඩා ගත්තා. 




ජෙෆ්,  ඇමසන් සමාගමේ මුල්ම කාර්යාලය බවට පත් කර ගත්තේ සිය නිවසේ ගරාජයයි. ඔහු තම සමාගමට ගැළපෙන විවිධ නම් ගැන සිතුවත් අවසානයේ දකුණු ඇමරිකානු ගංගාවක් වූ ඇමසන්යන්න ඒ සඳහා යොදාගැනීමට තීරණය කළා. මේ නමින් නිර්මාණය කළ ඇමසන් වෙළෙඳ ලාංඡනයේ  ඉංග්‍රීසි අකුරත් ඉසඩ්අකුරත් යාකරමින් ඊතලයක් ඇඳ තිබෙනවා. එයින් ඔහු අදහස් කළේ ඇමසන් වෙබ් අඩවියෙන් ඕනෑම දෙයක් (ඒ සිට ඉසඩ් දක්වා - A to Z) මිලට ගත හැකි බවයි. 



ඔහු ගරාජ කාර්යාලයේ සිටියදී මේසයක් ලෙස භාවිත කළේ ලීවලින් සෑදූ දොරක්. ඔහු මේ බව කිසි දිනක අමතක කළේ නෑ. තමා දවසින් දවස දියුණුව කරා පා තැබුවත් මේ මේසය ඔහු සමග ඉදිරියට ගමන් කළා. අද ද ඇමසන් කාර්යාලයේ ඇති සියලු මේස සකසා ඇත්තේ ලීවලින් තැනූ දොරක ආකෘතියක් සිහිවන ආකාරයෙනුයි. 


2003 වසරේ දී ඔහු ගමන් කළ හෙලිකොප්ටරය අනතුරකට ලක් වුණා. එයින්ඔහුට සිදු වූයේ සුළු තුවාලයක් පමණක් වුවත් ඔහු එයින් පසුව හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් යාම සහමුලින්ම නතර කළා. 


ඔබ බොහෝ දෙනෙක් ලෝක ප්‍රසිද්ධ වොෂිංටන් පෝස්ට්පුවත් පත පිළිබඳ දන්නවා විය හැකියි. 2013 වසරේ දී ජෙෆ් මෙය ඇමරිකානු ඩොලර් මිලියන 250 කට මිලට ගත්තා. 



ජෙෆ් කුඩා කාලයේ පටන්ම අභ්‍යවකාශ චාරිකා ගැන සිහින මැවූ පුද්ගලයෙක්. මේ සිහිනය ඉටු කරගන්නට ඔහු ඇමසන් ප්‍රයිම් එයාර්නමින් සමාගමක් ආරම්භ කළා. ඔහු එයින් බලාපොරොත්තු වන්නේ අභ්‍යවකාශ චාරිකා සඳහා වැයවූ මුදල් බොහෝ අඩු කොට වැඩි දෙනෙකුට එම අත්දැකීම ලබා දීමටයි. කෙසේ නමුත් ඇමරිකාවේ ෆෙඩරල් ගගන පරිපාලනය තවමත් මෙයට අනුමැතිය ලබා දී නැහැ. 


ජෙෆ් ලෝකයේ ලොකුම සල්ලිකාරයා වුනත් ඇතැම් මූල්‍ය ආයතන එය එකවර පිළිගන්නට කැමැත්තක් නැති බව පෙනෙනවා. ඇතමෙක් පවසන්නේ අද පවතින උද්ධමන අනුපාතය ආදිය පිළිබඳ සලකා බැලීමේ දී මේ තරම් වත්කමක් මෙයට වසර කිහිපයකට පෙර මයික්‍රොසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස් ට ද තිබුණු බවයි. කෙසේ නමුත් අනෙක් අය පවසන්නේ සිය ව්‍යාපාර තුළින් ඉදිරියට පැමිණ ලෝකයේ ධනවතා බවට පත්ව සිටින ජෙෆ් බෙසොස් හට එම ගෞරවය ලබා දෙන්නට කිසිවකු මැලි නොවිය යුතු බවයි.

(මේ ලිපිය ලියන කාලයේ ලෝකයේ ලොකුම සල්ලිකාරයා ජෙෆ් බෙසොස් වුවත් 2021 ආරම්භයේ දී මේ තත්වය වෙනස් වුණා. 2021 වෙද්දී ලෝකයේ ලොකුම සල්ලිකාරයා වුනේ ටෙස්ලා ආදී සමාගම් ගණනාවකට නායකත්වය දුන් එලන් මස්ක්. ඔහු ගැන ලිපියක් පහත ලින්ක් එකෙන් කියවන්න පුළුවන්.)

4 comments:

  1. හොඳ ලිපියක්.. දිගටම ලියමු..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජයම වේවා! අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete
  2. එළ කොල්ලෙක් නේ.. අර දොර පලු මේස කතාව මරු! :)

    ReplyDelete
    Replies
    1. එ්ක තමයි. මුල් අමතක නොකරපු මිනිස්සු.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න