පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, June 19, 2019

ක්‍රිකට් ලෝකයේ උගත්තු - Educated people in the Cricket World


වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වටපිටාව ගෙන බැලුවොත් පෙනෙන්නේ ඔවුන් බොහෝ දෙනෙක් කුඩා කාලයේ පටන්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම සූදානම් වෙමින් කටයුතු කරන සහ කළ අය බවයි. තවත් විදියකින් පැවසුවොත් ඔවුන් යම් දිනක ජාතික ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධවීමේ අරමුණින් සියලු කටයුතු කරමින් සිටින බව පෙනෙනවා. බොහෝ දෙනෙක් තමාගේ අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කරන්නේ ඉතා අඩු මට්ටමකින්. නමුත් අතීතයේ තත්වය එයට වඩා වෙනස්. අතීතයේ සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු යම් දිනෙක වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයන් වීම සම්බන්ධයෙන් දැඩි සිහිනවල එල්බගෙන නොසිටි බව පැහැදිලිව පෙනෙන්ට තිබෙනවා. ඔවුන් අධ්‍යාපනය පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කොට තිබෙනවා. ඒ නිසාම ඔවුන් බොහෝ දෙනෙකුට ක්‍රිකට්වලට අමතරව උසස් අධ්‍යාපනික සුදුසුකම් තිබෙන බව ද පෙනෙනවා. අතීතයේ සිටි එවැනි ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගැනයි ක්‍රිකට් වසන්තය මැද ගෙවී යන මේ සතියේ කතා කරන්නේ.


ජෝන් මයිකල් බ්‍රේලි




නියම නම ජෝන් මයිකල් බ්‍රේලි වුනත් ලෝකයේ ප්‍රසිද්ධ වෙලා හිටියේ මයික් බ්‍රේලි නමින්. 1942 වසරේ උපන් ඔහු මුල් පෙළේ පිතිකරුවෙකු සහ කඩුළු රකින්නකු ලෙස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිට ජීවිතය කැප කළත් අධ්‍යාපනය අතින් ඉහළට ගිය පුද්ගලයෙක් විදියට ඔහුව හඳුනාගන්නට පුළුවන්. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් උපාධි දෙකක් ලබා ගත් පුද්ගලයෙක්. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ දී අන්තර් විශ්ව විද්‍යාල තරග වෙනුවෙන් ක්‍රීඩා කළා. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත්වන්නට ඔහුට අවස්ථාව ලැබුණේ මේ තරගවලට සහභාගී වීම නිසයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියාට පසු ඔහු ලේඛකයකු සහ මනෝ විශ්ලේෂකයකු ලෙස සේවය කළා. ඔහු එම කාලයේ බ්‍රිතාන්‍ය මනෝවිශ්ලේෂක සංගමයේ සභාපතිවරයා ලෙස ද සේවය කළා.

ඉම්රාන් ඛාන්




පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ඉම්රාන් ඛාන් ගැන ක්‍රිකට් ලෝලීන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ක්‍රීඩාවෙන් සමුගෙන වසර ගණනාවක් ගත වුවත් ක්‍රිකට් ලෝකයේ ඔහු ඒ තරමටම ප්‍රසිද්ධයි. 1952 වසරේ උපන් ඔහු වර්තමාන පකිස්තානු අගමැතිවරයා ද වෙනවා. ඔහු සමාජ සේවකයකු සේම පරහිතකාමියකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලනවා. ඔහු ලාහෝරයේ ඒටිචිසන් විද්‍යාලයේ සහ එංගලන්තයේ රාජකීය ව්‍යාකරණ විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා. 1972 වර්ෂයේ දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අයත් කීබල් කොලේජ් හි ලියාපදිංචි වූ ඔහු එහිදී දර්ශනවේදය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව හැදෑරූ අතර 1975 වසරේ දී ගෞරව උපාධියක් සහිත ඉන් පිටවුණා. ඔහු කලක් බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද සේවය කළා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඔහු ක්‍රිකට් විස්තර විචාරකයකු  ලෙස ද කටයුතු කළා.


කුමාර් චෝක්ෂනාද සංගක්කාර




1977 වසරේ උපන් කුමාර් චෝක්ෂනාද සංගක්කාර හෙවත් කුමාර් සංගගක්කාර කියන්නේ කවුද කියා විස්තර කරන්න යන එක තේරුමක් නැති දෙයක්. ලෝකයේම ක්‍රිකට් ලෝලීන් අතර සංගායන ආදරණීය නමින් හැඳින්වෙන ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂ කඩුළු රකින්නෙක්. 2011 ජූලි 4 වැනිදා පැවැත්වූ කොලින්ස් කවුඩ්රි දේශනය නිසා ඔහු ලෝකයේ ක්‍රිකට් පරිපාලකයන් අතර මහත් අගැයීමකට ලක් වුණා. මේ නිසා ඔහු ක්‍රිකට් ලෝකයට මහත් බලපෑම් කළ ක්‍රීඩකයෙක් ලෙස ද සැලකෙනවා. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවකු වූ ඔහු 1996 වර්ෂයේ දී කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ අතර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවකුට ලැබෙන උසස්තම ගෞරවය වූ රයිඩ් රන් පදක්කම දිනා ගත්තා. එය ඔහුට පිරිනමනු ලැබුයේ සෑම අතින්ම දක්ෂ සිසුවා ලෙස ඔහු තෝරා ගත් නිසයි. සිය පියාගේ අඩිපාරේ යමින් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ නීතිය හැදෑරීම සඳහා ද ලියාපදිංචි වුණා. කෙසේ නමුත් ක්‍රිකට් සංචාරවලට දිගින් දිගටම සහභාගී වන්නට සිදු වූ නිසා ඔහුට සිය නීතිඥ වෘත්තිය සම්පූර්ණ කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.


අනිල් කුම්බ්ලේ




1970 දී උපන් අනිල් කුම්බ්ලේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව ක්‍රිකට් ලෝලීන් දන්නා දෙයක්. දකුණතින් පා දඟ පන්දු යවන්නට දස්කම් දැක්වූ ඔහු මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝර්න්ට පසුව වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙස ද වාර්තා ගත වී සිටිනවා. ඉන්දියානු පුරවැසියකුට ලැබිය හැකි ඉහළම සම්මානය වූ පද්ම ශ්‍රීසම්මානය ද ඔහු හිමිකර ගෙන සිටිනවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව සිටියත් ඔහුගේ අධ්‍යාපනික වශයෙන් ලබා ඇති සුදුසුකම් පිළිබඳ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔහු ඉන්දියාවේ රාෂ්ට්‍රීය ඉංජිනේරු විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් හිමි කර ගෙන සිටිනවා.

රාහුල් ඩ්‍රාවිඩ්



1973 උපන් රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු එහි නායකත්වය ද උසුලනු ලැබුවා. ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පිතිකරුවකු ලෙස ද ඔහු ඉතිහාස ගත වී තිබෙනවා. බැංගලෝරයේ උසස් බාලක පාසලක් වූ සාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඔහු බැංගලෝරයේ වාණිජ විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී උපාධියක් හිමිකරගෙන සිටිනවා. පසුව ඔහු ව්‍යාපාර පරිපාලන උපාධියක් සඳහා ද ලියාපදිංචි වී එය හැදෑරීම ආරම්භ කළා. ඔහුව ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගනු ලැබුයේ එම කාලයේදීයි. එසේ නොවුනේ නම් ඔහු ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධරයකු ද වනු නොඅනුමානයි.

ජොෆ් ලෝසන්




1957 වසරේ දී උපන් ජොෆ් ෆ්‍රාන්සිස් ලෝසන් කියන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. ඔහු කලක් පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලැබුවා. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ලෝකයේ ප්‍රකට වූ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔහු නිව් සවුත්වේලස් විශ්ව විද්‍යාලයේ දෘෂ්ටි පරීක්ෂාව පිළිබඳ උපාධිධරයෙක්. කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමත් සමග ඔහුට එය වෘත්තියමය වශයෙන් ඉදිරියට කරගෙන යන්නට හැකියාවක් තිබුණේ නැහැ.

සයීඩ් අන්වර්




1968 දී උපන් සයීඩ් අන්වර් පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක්. ඔහු වරෙක එම කණ්ඩායමේ එක් දින සහ ටෙස්ට් තරගවල නායකයා ලෙස ද කටයුතු කළා. ආරම්භක පිතිකරුවකු ලෙස ප්‍රකටව සිටි ඔහු යම් යම් අවස්ථාවලදී පමණක් වමතින් මද වේග පන්දු යවන්නකු ලෙස ද කටයුතු කොට තිබෙනවා. ඔහු කරච්චි හි එන්.ඊ.ඩී. ඉංජිනේරු සහ තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් 1998 වසරේ දී පරිගණක පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉහළ පෙළේ උපාධියක් ලබාගෙන තිබෙනවා.

ජවගාල් ශ්‍රීනාත්




1969 වර්ෂයේ දී උපන් ජවගාල් ශ්‍රීනාත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකයකු ලෙස කටයුතු කරමින් සිටිනවා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂතම වේග පන්දු යවන්නකු ඔහු එරට ක්‍රිකට් ක්‍රීඩකයන් අතර කඩුළු 300 ඉක්මවූ ප්‍රථම පන්දු යවන්නා ද වෙනවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ප්‍රකටව සිටියත් උසස් අධ්‍යාපනික අංශයෙන් ද ඉතා උසස් සුදුසුකම් ලද පුද්ගලයකු ලෙස සඳහන් කළ හැකියි. ඔහු, මයිසූරා හි ශ්‍රී ජයචාමරාජෙන්ද්‍ර ඉංජිනේරු විද්‍යාලයේ යාන්ත්‍රික උපකරණ සම්බන්ධ උපාධිධරයකු වෙනවා.









12 comments:

  1. සංගා අපේ තමයි! ඒත් අධ්‍යාපනය පැත්තෙන් ඔහු ලබා ඇති ජයග්‍රහන අන් අයහා ගත් කල මදි කියා සිතෙනවා. වරක් ඔහුගේ පියගෙන් මාධ්‍යවේදියෙකු "ඔබගේ පුතා ක්‍රිකට් ක්‍රීඩකයෙකු නොවුනානම් ?" යන ප්‍රශ්නයට ඔහුගේ පියා පිළිතුරු දුන්නේ "ලංකාවේ හොඳම ටෙනිස් ක්‍රීඩකයෙකු වෙයි!' කියාය.

    කොහොම උනත් මෙය අගේ ඇති ලිපියක්. මෙන්න මගේ මුද්‍රාව : එළ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා!

      Delete
  2. What about Prasad Kariyawasam?(not in international cricket though)

    ReplyDelete
    Replies
    1. Actually I am not aware of his academic background.

      Delete
    2. https://en.wikipedia.org/wiki/Prasad_Kariyawasam

      Delete
  3. මේකට සිලෝන් ටීම් එකේ (60 දශකයේ) හිටපු ඕපනින් බැට්ස්මන් උන B. D . Reid (Buddy Reid) මහතාවත් ඇතුලත් කරන්න තිබුනා. එතුමා වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වන අතර 90 දශකයෙදීත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි උප නගරයක් වන Dandenong හි ශල්‍ය වෛද්‍ය වරයෙකු (General surgeon ) වශයෙන් සේවය කළා. ඉතාම නිහතමානි, සැමවිටම ලාංකික රෝගීන්ට උදව් උපකාර කිරීමට සැදී පැහැදී සිටි බවත් කිව යුත්තේ එතුමාට උපහාරයක් හැටියටයි.

    ReplyDelete
    Replies
    1. Dr. C.H. Gunasekera, Gamini Gunasena

      Delete
    2. මේ තොරතුරුවලට ස්තූතියි. මම ඒවායේ විස්තර සොයා ඇතුළු කරන්නම්. එවිට මෙය තවත් සම්පූර්ණ වෙනවා.

      Delete
  4. අලුත් තොරතුරු නිරතුරු ;-) ස්තූතියි

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න