පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, October 16, 2021

පළමු ලෝක යුද්ධයට හේතුව මෝටර් රථයක සාපයක්ද?

මේ තියෙන්නේ ග්‍රාෆ් ඇන් ස්ටිෆ්ට් මෝටර් රථයක්. මෙය දැන් තියෙන්නේ ඔස්ට්‍රියාවේ වියානා නගරයේ ඇති යුද කෞතුකාගාරයේ. මේ විදියට කටුගෙට යන්න මේ මෝටර් රථයට සිද්ධ වුණේ සාපයක් නිසයි. මේ සාපය නිසා මිලියන 13කට අධික පිරිසක් මියගිය බව කිව්වොත් ඔබට විශ්වාස කරන්න බැරි වෙයි. ඒත් ඒ තරමටම දරුණු සාපයක් මේ මෝටර් රථය සමග බැඳී තිබුණා. ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ.





මේ මෝටර් රථය 1914 වසරේ දී ඔස්ටි්‍රයා හමුදා නිලධාරියකුට අයිතිව තිබුණා. ඔස්ටි්‍රයාවේ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයාගේ ගමන් බිමන් සඳහා මේ රථය වෙන්කොට තිබුණේ ඔහු ද හමුදා නිලධාරියෙකු නිසයි. 1914 ජූනි 28 වැනිදා ආදිපාදවරයා මේ රථයෙන් ගමන් කරමින් සිටිය දි බොස්නියානු කැරළිකරුවකු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. පසුව එදිනම මේ කැරළිකරුවකු වෙඩි තබා ආදිපාදවරයාව ඝාතනය කළා. ඒ ඝාතනයත් සමග පළමු ලෝක යුද්ධය පටන් ගත්තා. මේ 1918 වසරේ අවසන් වෙද්දි මිලියන 13ක් මිය ගියා. ආදිපාදවරයාගේ ඝාතනය නොවන්නට යුද්ධයක් ඇතිවන්නට ඉඩක් තිබුණේ නැහැ. ආදිපාදවරයා මිය ගියේ මෝටර් රථයේ සාපයක් නිසා බව කවුරුවත් සිතුවේ නැහැ.


ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයා සහ බිරිඳ


ආදිපාදවරයාගේ මරණයෙන් පසු ඔස්ටි්‍රයානු හමුදා ජෙනරල්වරයකු වූ පොටියෝරෙක් මේ වාහනය මිලට ගත්තා. ඔහු මේ මෝටර් රථය පදවාගෙන යද්දි එකපාරටම පිස්සු හැදුණා. එහෙම වුණේ කොහොමද කියලා කිසි කෙනෙකුට හිතාගන්න බැරි වුණා. පිස්සුව සනීප වුණාට පස්සේ ඔහු මෙහි ගමන් කරද්දි මෙය අනතුරු හතරකට මුහුණ දුන්නා. අවසානයේ ඔහුගේ අතක් ද අහිමි වුණා. ඉන්පසුව මෙය යුගෝස්ලාවියාවේ ආණ්ඩුකාරයෙකු මිලට ගත්තා. ඒ වෙනකොට මෙයට සාපයක් තියෙන බව දැනගත් ඔහු මෙය වෛද්‍යවරයකුට විකුණා දැම්මා. වෛද්‍යවරයා මේ රථයෙන් ගමන් කරද්දි අනතුරකට ලක්වෙලා මිය ගියා. ඉන්පසු හමුදා කපිතාන්වරයෙක් මෙය මිලට ගත්තා. පාරේ ගමන් කළ කෙනෙක් බේරන්නට ගොස් මෙය අනතුරකට ලක්වීමෙන් ඔහු මිය ගියා. 1926 වසරේදිත් මෙහි ගමන් කළ තවත් කීප දෙනෙක්ම මරණයට පත් වුණා. ඉන්පසු කිසිම කෙනෙක් මෙය මිලට ගත්තේ නැහැ. 



මේ මෝටර් රථයේ අංක තහඩුවත් පුදුමාකාරයි. එහි ඇත්තේ AIII 118 ලෙසයි. මෙය 11 11 18 ලෙස වෙන් කළ විට 1918 නොවැම්බර් 11 ලෙස තේරුම් ගන්න පුළුවන්. පළමු ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වුණේ එදිනයි. A අකුරෙන් පැහැදිලි කරන ලද්දේ Armistice යන්නයි. එහි අදහස ‘සටන් විරාමය‘ යන්නයි.

පළමු ලෝක යුද්ධය ඇතිකරන සාපය සමග මේ මෝටර් රථය පැමිණ තිබුණේ අවසන් වන දිනයත් කලින්ම පෙන්නුම් කරමින්. නමුත් මේවා සොයා ගන්නා විට සියල්ල සිදුවී හමාරයි. 

පළමු ලෝක යුද්ධයටත් මේ මෝටර් රථයේ සාපය හේතු වූ බව තේරුම්ගත් පසු අවසානයේ මෙය යුද කෞතුකාගාරයට භාරදුන්නා. 


4 comments:

  1. සැමදා වාගේම ඉතා රසවත්, පුදුම සහගත හා අප නොදන්නා පෝස්ටුවක් ගෙනත්! බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා මේ පැත්තේ ආවාට.

      Delete
  2. පිස්සු හැදෙන සීන් එකක් නේ

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් කියන්නේ

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න