Monday, June 16, 2025
Friday, June 13, 2025
Thursday, June 12, 2025
Wednesday, June 11, 2025
වාහන සමග ඇතිවන අපූරු ආධ්‍යාත්මිික බැඳීම් - The Mysterious Bond Between Man and Machine: A Sri Lankan Belief
ශ්‍රී ලාංකිකයන් වන අපගේ ජන සමාජයේ තදින් මුල් බැස ගත් විශ්වාසයන් බොහොමයක් තිබේ. ඒ ඇතැම් ඒවා ආධ්‍යාත්මික වන ඒවා වන අතර ඇතැම් ඒවා සංස්කෘතික ය. ඒ අතරේ අපගේ දෛනික ජීවිතයේ ආශ්චර්යයන් තුළින් මතු වන ඒවා ද තිබේ. ඒවා සිත්ඇදගන්නාසුළුය. විශ්වාස කරන්නට නොහැකි වුව ද විශ්වාස නොකර බැරි දේවල්ය. ඒ අතරින් එකක් සම්බන්ධ වන්නේ වාහනවලටය. එය එක්කෝ යතුරු පැදියක්, මෝටර් රථයක් හෝ ත්‍රිරෝද රථයක් හෝ විය හැකිය. ඒ වාහනයේ හිමිකරුවා සහ වාහනය අතර ගොඩනැගී ඇති ගුප්ත බැඳීම පිළිබඳවය. මේවායේ හිමිකරුවන්ට ඒවා හුදෙක් යකඩවලින් සැදි යන්ත්‍රයක් පමණක් වන්නේ නැත. ඒවා ස්වකීය ආරක්ෂකයින්, හවුල්කරුවන් හෝ නිහඬ සගයන් බවට පත් වේ.
මේ විශ්වාසයන් කිසිදු පොතක පතක හෝ ආගමික
ග්‍රන්ථයක හෝ දේශනාවක අඩංගු වන්නේ ද නැත. ඒවා විවිධ පුද්ගලයන්ගේ සංවාද, කතා සහ පුදුමාකාර සිදුවීම් සමග සමාජය තුළ
හුවමාරු වනු දක්නට ලැබේ. දීර්ඝ කාලයක් තිස්සේ වාහන පදවන ඇතැම් රියදුරන් මෙසේ පවසනු
ඇතැම් විට ඔබට ද ඇසී තිබෙනවා විය හැකිය.
“මගේ වාහනේ නම් කවදාවත් මාව අතරමං කරලා
නෑ. ඒක මාව හොඳට අඳුනනවා.”
මෙය මා ද පුද්ගලිකව අත්දැක ඇති දෙයකි.
එක්තරා අවස්ථාවක මාගේ යතුරු පැදියේ
නැගී යද්දී එහි ඉන්ධන අවසන් වී ඇති බව දැනුණි. යතුරු පැදිය ගැස්සී නතර විය. මා
සිටියේ ද හුරුපුරුදු ප්‍රදේශයක නොවේ. මගේ සිත තුළ යම් තිගැස්මක් ද ඇති වන්නට පටන්
ගැනුණි. නමුත් මොහොතකින් පුදුමයකින් වාගේ මාර්ගයේ පසෙකින් තිබුණු කුඩා සිල්ලර
වෙළෙඳ සලක් මගේ නෙත ගැටුණි. මෙවැනි ඇතැම් සිල්ලර වෙළෙඳ සල්වල ප්‍රෙටල් විකිණීමට
තිබිය හැකි බැවින් ඒ පිළිබඳ විපරම් කොට බැලීමි. සැබවින්ම එහි පෙට්‍රල් විකිණීමට
තිබිණි. මට එකවර දැනුණේ සතුටක් හා විස්මයකි. මට දැනුණේ පෙට්‍රල් ඇති තැනක් හමු වන
තුරු යතුරු පැදිය කෙසේ හෝ මා රැගෙන ආවා වැනි හැඟීමකි.
මෙය මට පමණක් සීමා වූ අත්දැකීමක් නොවේ.
වාහන පදවන බොහෝ දෙනෙකුට කියන්නට මෙවැනි කතා ඕනෑ තරම් තිබිය හැකිය. ඔවුන්ගේ වාහනය
දෝෂ සහගත වූයේ ගරාජයක් කිට්ටුව බව පවසනු ඇත. එසේත් නැත්නම් වාහනය කරදර දුන්නේ ළඟම
හිතවතකුගේ නිවසක් අසල දී බව පවසනු ඇත. ඇතැම් අවස්ථාවල දී වාහනයේ ඉන්ධන අවසන් වන්නේ
නිවසට පැමිණි පසුය. මේවා අහඹු සිදුවීම් ද? එසේ වන්නට ඕනෑ තරම් ඉඩ තිබේ. නමුත්, එවැනි අත්දැකීමක් එක්වරකට වඩා ලැබෙන්නේ නම්, සහ එවැන්නක් අවශ්‍යම මොහොතේ සිදු වේ නම්,
එහි අහඹු සිදුවීමකට වඩා වැඩි යමක් තිබෙන බැව්
විශ්වාස කරන්නට පෙළඹේ.
මේ විශ්වාසය අපගේ සංස්කෘතිය තුළ තදින්ම
මුල් බැස ගෙන තිබේ. ශ්‍රී ලාංකේය ජන සමාජයේ ජනතාව තමා දෛනිකව භාවිත කරන යම් යම් දෑ
සමග මනෝභවමය බැඳීමක් ඇති කරගන්නට හුරුපුරුදුව සිටිති. එය පණ ඇති සතකු වන්නටම ඕනෑ
නැත. බොහෝ විට නිවස, මෙවලම් සහ වාහන සමග මේ බැඳීම ගොඩ නැගෙන
බැව් පෙනේ. අපි ඒවා සමග කතා කරමු. ඒවාට නම් පවා තබන අවස්ථා තිබේ. ඒවා පණ ඇති යමක්
සේ සලකා ආදරය කරුණාව දක්වන්නෙමු. කාලයත් සමග ඒවා ද අප කෙරෙහි කාරුණිකව ප්‍රතිචාර දක්වන්නේ
යැයි හැඟෙන්නට පටන් ගනී.
මෙය පසුපස එක්තරා ආකාරයක ආධ්‍යාත්මික
තාර්කික බවක් ද පෙනෙන්නට තිබේ. පෙරදිග පවතින බොහෝ විශ්වාස පද්ධති තුළ, විශේෂයෙන් බුදු දහම සහ හින්දු දහම තුළ, සෑම
දෙයක් තුළම ශක්තියක් ඇතැයි උගන්වනු ලබයි. අප නිතර පරිහරණය කරන වස්තූන්, අපගේ අරමුණු, අපගේ ආදර සැලකිල්ල, අපගේ
මනෝභාවයක් වැනි අපගේ ශක්තිය අවශෝෂණය කර ගනියි. ඇතැම් වාහන සමග එහි හිමිකරුවා දැඩි
බැඳීමක් ගොඩ නගා ගන්නේ මන්ද යන්න මෙය ඔස්සේ විස්තර කළ හැකිය. මෙය සෑම කෙනෙක්ම
අත්නොදකිනවා විය හැකිය. නමුත් එවැන්නක් සිදු වී විට එය කිසිදා අමතක වන්නේ ද නැත.
මෙය යමක් හඳුනා ගැනීමේ රටාවක්, තවත් ආකාරයකින් පවසතොත් මනසේ ඇතිවන රැවටිලිකාරී
තත්ත්වයක් යැයි සංශයවාදීන් (යමක් සත්‍ය සේ පිළිගැනීමට නම් එයට තාර්කික පදනමක් සහ
සාක්ෂි අවශ්‍ය බව තරයේ පිළිගන්නා පිරිස) පැවසිය හැකිය. පෙට්‍රල් අළෙවියට ඇති
සිල්ලර වෙළෙඳසල් හෝ ඉන්ධන අළෙවි සල් ශ්‍රී ලංකාවේ සෑම අතම විහිදී පැතිරී තිබෙන බව
ඔවුන් ඇතැම්විට පවසනවා විය හැකිය. එවැනි ස්ථානයක් දුටු විට ඉදිරියේ දී යම් කරදරයක්
වේ යැයි යටි සිතෙන් හඳුනාගෙන කලින්ම ඒ සඳහා පියවර ගැනීමක් ලෙස ලෙස ඔවුන් පවසනවා
විය හැකිය. එහි සත්‍යයක් තිබිය හැකිය. මිනිස් මොළය සෑදී ඇත්තේ අහඹු අවස්ථාවන්ගේ පවා
රටාවන් සහ අර්ථයන් සොයා ගත හැකි වන පරිදිය. අපට සාමාන්‍ය සිදුවීම්වලට වඩා
පුදුමාකාර, අදහාගත නොහැකි දෑ පහසුවෙන් මතකයේ
රැඳෙයි.
නමුත ඒ නිසාම අප කතා කරමින් සිටි
විශ්වාසය අර්ථයක් නොමැති දෙයක් බවට පත් වන්නේද?
එනම්, ඔබේ යතුරු පැදිය කිසිදා ඔබ අතරමං නොකරන්නේ යැයි ඔබ තුළ පවතින
විශ්වාසය තුළ ඇත්තේ පාක්ෂික බවකි. එහි ඇත්තේ විශ්වාසය, කෘතඥතාව සහ මිනිසුන් සහ ඔවුන් අවට පවතින ලෝකය අතර වූ අදෘශ්‍යමාන
සබඳතාව පිළිබඳ ප්‍රකාශනයකි.
ජීවිතය යනු එකිනෙකාට, සොබා දහමට හෝ අප දෛනිකව භාවිත කරන අජීවී
වස්තූන් සමග වූ සබඳතාවන් පිළිබඳ කතාන්දරවල එකතුවක් මිස අන් කිසිවක් නොවේ.
වේගයෙන් ඉදිරියට ඇදෙමින් ඩිජිටල්කරණයට
ලක් වන ලෝකය තුළ ඇතැම්විට මෙවැනි විශ්වාසයන්ගේ වටිනාකමක් තිබෙන්නට පුළුවන්. අප
දැවැන්ත ශක්ති වියමනක කොටසක් බව අපට ඒවා මතක් කර දෙයි. අපට අයිති අජීවී දෑ ඇතුළු
අප වටා පවතින සියලු දේ ආරක්ෂා කරන්නටත් ගෞරව කරන්නටත් එවැනි විශ්වාසයක් නිසා අප
තුළ දිරිගැන්වීමක්, පෙළඹවීමක් ඇති වෙයි.
ඔබගේ වාහනය හුදෙක් ඔබව තැනින් තැනට
රැගෙන යාම සඳහා උදව් වන යන්ත්‍රයක් පමණක්ම නොවේ. එය ඔබගේ දෛනික ජීවිතයේ සාක්ෂිකරුවෙකි. ඔබගේ දෛනික
ජීවිතයේ සහකරුවෙකි. එය විද්‍යාත්මක හෝ ආත්මීය හෝ ආදරණීය හෝ දෙයක් විය හැකි අතර
ඔබත් එයත් අතර යම් බැඳීමක් පවතින බව පිළිගන්නට ඔබ හෝ මම පැකිළෙන්නේ නැත.
අනෙක් අතට අප ආදරණීය ලෙස සලකන යමක් වේ
නම්, එය අජීවී හෝ සජීවී වුවද, ඒ ආදරයම යළි පෙරළා අප වෙත නොලැබෙන්නේ යැයි කාට
පැවසිය හැකිද?