පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, April 30, 2014

ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍යය - Sri Gauthama Sambuddha Tele Drama

වේදන්ත් දත්තානි

සෑම බෞද්ධයකුගේ ලොව ආදර්ශවත්ම චරිතය ලොව්තුරු බුදුරජාණන් වහන්සේයි. ජීවිතයක් නිවැරදිව හැඩගස්වා ගැන්මට උන් වහන්සේගේ චරිතයෙන් ලැබෙන්නේ ඉමහත් ආදර්ශයක්. බුදුන් වහන්සේගේ චරිතය සිනමා නිර්මාණයකට නැගීම මුල් කාලයේ යම් යම් අභියෝගවලට ලක්වන සුළු කාර්යයක් වුණා. නමුත් පසුව විවිධ නිර්මාණකරුවන් මෙයට අතගැසුවා. අප රටේ ද මේ සම්බන්ධව සිනමා නිර්මාණයක් එළිදුටුවා. නමුත් මේ සෑම නිර්මාණයකම විවිධ අඩුපාඩු තිබුණු බව රහසක් නොවෙයි. බුදුන් වහන්සේගේ චරිතය අප හමුවේ දිගහරින නවතම ටෙලි නාට්‍ය මාලාවක් ‛ශ්‍රී ගෞතම සම්බුද්ධ’ නමින් දෙරණ රූපවාහිනියෙන් පසුගිය මාර්තු 29 දා විකාශනය ආරම්භ කළා. අපි මේ කතා කරන්නට සූදානම් වන්නේ ඒ ගැනයි.

අසිත තවුසා ලෙස - කබීර් බේඩි 

අප රටේ ‛ශ්‍රී ගෞතම සමුබුද්ධ’ යනුවෙන් විකාශනය කෙරෙන මෙය ඉන්දියානු නිෂ්පාදනයක්. එහි හින්දි නම වන්නේ ‛බුද්ධ - රාජාවොන් කා රාජා’ (බුදුන් වහන්සේ - රජුන්ගෙත් රජු) යන්නයි. මෙය 2013 සැප්තැම්බර් 6 වැනිදා ඉන්දියාවේ ‛සී ටීවී’ හා ‛දූර්දර්ශන්’ යන නාලිකා ඔස්සේ සෑම ඉරිදාවකම පෙ.ව. 11 ට විකාශනය ආරම්භ කෙරුණා. ඉන්දියාවේ මෙය විකාශනය වූයේ පැයක ධාවන කාලයක් සහිත කොටස්  52කින් යුක්තවයි.  ධර්මේෂ්ගේ අධ්‍යක්ෂණයෙන් හා බී.කේ. මෝඩිගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වුණු මෙහි පර්යේෂණ කටයුතු සහ පිටපත සකස්කිරීම සඳහා ඉන්දියාවේ සුප්‍රකට සිනමා නිර්මාණවේදීන් දෙපළක් වන් අශුතෝෂ් ගෝවාරිකාර් සහ ශේකර් කපූර් ඉහළ දායකත්වයක් ලබාදුන්නා.

සිදුහත් කුමරා ලෙස -හිමන්සු සෝනි 

ඉන්දියානුවන්ගෙන් බහුතරය හින්දු ආගම ඇදහූවත් ඔවුන් බුදුන් වහන්සේ සළකන්නේ සිය රටේ උපන් අති ශ්‍රේෂ්ඨතම ඉන්දියානු පුත්‍රයා ලෙසටයි. හින්දූන් තරම් බුදුන් වහන්සේට ගෞරව කරන බෞද්ධ නොවන වෙනත් පිරිසක් ලොව නැති තරම්. ඇතැම් හින්දු ඉගැන්වීමවල බුදුන්වහන්සේට හින්දු ආගමේ සුවිශේෂත්වයක් ද ප්‍රදානය කොට තිබෙනවා. ඒ විෂ්ණුගේ දස අවතාරවලින් නව වන අවතාරය ලෙසින්. ඒ අනුව ඔවුන් බුදුන් වහන්සේ චරිතය ටෙලි නිර්මාණයක් බවට පත් කරන්නේ එම ගෞරවය මුල්කරගෙනයි. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණ තුළ බුදුන් වහන්සේගේ චරිතයට හානිවන කිසිවක් ඇතුළත් නොකිරීමට වගබලාගෙන ඇති බවයි පැවසෙන්නේ.

මහාමායා දේවිය ලෙස - දීපිකා උපාද්‍යායි 

‛ශ්‍රී ගෞතම සම්බුද්ධ’ ටෙලි  නාට්‍යයේ අසිත තවුසා ලෙස කබීර් බේඩි රංගනයෙන් දායක වනවා. කබීර් බේඩි යනු හොලිවුඩ් චිත්‍රපටවලට පවා දායක වීමෙන් විශ්ව කීර්තියට පත් ඉන්දියානු සිනමා ශිල්පියෙක්. මහාමායාදේවියගේ චරිතය මුළින්ම නිරූපණය කරන්නට සිටියේ සෂ්මිකා සිංග් වුවත් පසුව ඒ සඳහා දීපිකා උපාද්‍යායි තෝරාගනු ලැබුවා. සිදුහත් කුමරුගේ පියාණන් වන සුද්දෝධන රජු ලෙස චරිතය නිරූපණය කරන්නේ සමීර් ධර්මාධිකාරී. ප්‍රධාන චරිතය වනසිද්ධාර්ථ චරිතය නිරූපණය කරන්නේ හිමන්සු සෝනි. සිද්ධාර්ථ කුමරුන්ගේ ළමා කාලය නිරූණය කරන්නේ වේදන්ත් දත්තානි නම් දරුවායි. ඔහුට ඒ අවස්ථාව ලැබි ඇත්තේ ‘ස්ටාර් ප්ලස්’ රියැලිටි වැඩසටහනකින් පසුවයි.2010 වසරේ ඉන්දියානු රූ රැජින තරගයේ අවසන් 10 දෙනා අතරට තේරී පත්වුණු කාජල් ජායින් යශෝධරා කුමරියගේ චරිතයට පණ දෙනවා.

සුද්දෝදන රජු ලෙස - සමීර් ධර්මාධිකාරි 

මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 100ක (ශ්‍රී ලංකා රුපියල් 213939400 - 21 කෝටියක් පමණ) පමණ මුදලක් වැය වී තිබෙනවා.

යශෝදරා ලෙස - කාජල් ජායින් 

ඇඳුම් සහ ආභරණ නිර්මාණය නිධි යාෂාගේ වන අතර දර්ශන තල සැකැස්ම වර්ෂා ජායින් විසින් සිදුකොට තිබෙනවා. පසුගිය වසරේ වෙසක් මංගල්‍යය යෙදී තිබූ සතියේ එක් දිනක් වූ  මැයි 27 වැනිදා සුබ මොහොතින් මෙහි  මුල්ම කොටස රූපගත කොට තිබෙනවා.

ප්‍රජාපතීගෝතමිය ලෙස -ගන්ගුන් උප්රාරි

ඉන්දියාවේ විකාශනය කෙරුණු මුල්ම දිනයේම නේපාලයේ කේබල් රූපවාහිනි ආයතන මෙය විකාශනය කිරීම තහනම් කළා. එයට හේතුව වූයේ බුදුන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ යනුවෙන් මෙම නාට්‍යයේ සඳහන් වීමයි.  එය බහුතරය බෞද්ධයන් වූ නේපාල වැසියන්ට දරාගත නොහැකි දෙයක් යැයි එම කේබල් රූපවාහිනි සමාගම් පවසා තිබුණා. බුදුන් වහන්සේ උපන් ලුම්බිණිය පිහිටා ඇත්තේ නේපාලයේ බැව් ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මකවත් තහවුරු වී තිබෙනවා. යුනෙස්කෝව පවා මෙය තහවුරු කොට සංස්කෘතික ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනවා. පසුව මෙම නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම මෙම වරද නිවැරදි කළා. ඔවුන් සිය නිල වෙබ් අඩවියෙන් මේ සම්බන්ධව නේපාල වැසියන්ගේ සමාව පවා ඉල්ලා තිබුණා.


දැන් ‛ශ්‍රී ගෞතම සම්බුද්ධ’ දෙරණ නාලිකාවෙන් සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 8.30ට ඔබට නරඹන්නට පුලුවන්. 

Tuesday, April 29, 2014

වැඩිපුර වතුර බොන එකත් අනතුරුදායකයි - Drinking of too much water is Dangerous


ජලය හෙවත් H2O යනු අප ජීවිතයට අත්‍යවශ්‍යම දෙයකි. ආහාර නොමැතිව සිටිය ද ජලය නොමැතිව ජීවත්වීම කළ නොහැකි දෙයකි. මිනිස් සිරුරෙන් 66%ක්ම සමන්විත වන්නේ ජලයෙනි. ජලය අපගේ රුධිරය ඔස්සේ ගමන් කරයි. සෛලවල ජීවත්වෙයි. සෑම මොහොතකම දහදිය, මළ මුත්‍ර, ප්‍රස්වාසය සහ තවත් වෙනත් ක්‍රම ඔස්සේ අප සිරුරෙන් ජලය ඉවත්වෙයි. මෙසේ ඉවත්වන ජලය සිරුරට නැවත ලබාදීම අත්‍යවශ්‍ය දෙයකි. නමුත් එය අනවශ්‍ය පිරිදි සිදුකිරීම ද හිතකර කටයුත්තක් නොවේ. මන්ද ඕනෑම යහපත් දෙයක් වුවත්, පමණ ඉක්මවා සිදුකිරීම අවසානයේදී අහිතකර වියහැකි නිසාය.

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ 28 හැවිරිදි ජෙනිෆර් ස්ට්‍රේන්ජ් නම් කාන්තාව ගුවන් විදුලි නාලිකාවක් මගින් පවත්වන ලද ‛දිය පානය කිරීමේ තරගයකට’ සහභාගිීවීමේ ප්‍රතිඵලයක් ලෙස මිය ගියාය. මරණ පරීක්ෂණයේදී පැවසුනේ අධික ලෙස ජලය පානය කිරීම මෙම මරණයට හේතුවී ඇති බවය. ඇය පැය තුනක කාලයක් ඇතුළත ජලය ලීටර් 6ක් පානය කොට තිබිණි. මුළින්ම ඇයට වමනය යන්නට වූ අතර පසුව තදබල හිසරදයක් වැළඳිණි. ඇය මිය ගියේ ‛ජලයෙන් මත්වීම’ නිසා යැයි සඳහන්ය. අධික ලෙස ජලය පානය කිරීම නිසා රුධිරය පමණ ඉක්මවා තනූක වීම හෙවත් දියාරු වීම නිසා ‛හයිපොනට්‍රිමියා’ (hyponatremia ) නම් තත්වයක් ඇතිවෙයි. මරණයට පත්වන්නට හේතුවන්නේ මෙම තත්වයයි.

‛හයිපොනට්‍රෙමියා’ ජන වචනය ගොඩනැගී ඇත්තේ ‛රුධිරයේ ලවණ හිඟතාවය’ නම් අරුතැති ලතින් හා ග්‍රීක වදන්වල සම්මිශ්‍රණයකිනි. ප්‍රමාණාත්මකව සඳහන් කළහොත් මෙයින් කියැවෙන්නේ රුධිරය ලීටරයක ඇති සෝඩියම් සාන්ද්‍රණය මිලිමෝල (millimoles  - මිලිමෝල යනු රසායන විද්‍යාවේදී භාවිතවන මිණුම් ඒකකයකි)  යනු  135 ට වඩා අඩුවීමය. එසේත් නැත්නම් ආසන්න වශයෙන් ගැලුමකට අවුන්ස 0.4කි. සාමාන්‍යයෙන් රුධිරය ලීටරයකට මිලිමෝල 135 - 145 අතර පැවතිය යුතුය. ‛හයිපොනට්‍රෙමියා’ ව වඩාත් අසාධ්‍ය වූ විට ජලය නිසා ඇතිවන මත්භාවයට හෙවත් ජල මත්භාවයට පත්විය හැකිය. මෙහිදී හිස කැක්කුම, විඩාව, වමනය, නිතර මුත්‍රාකරීමට ඇති අවශ්‍යතාවය සහ මානසික අසමබරතාවය ඇතිවේ.

මිනිස් වකුගඩුවල ඇති ලක්ෂ ගණනක් වූ නාලිකා පෙරහණයක් ලෙස ක්‍රියාකරමින් ජලය, ලවණ හා අනෙකුත් ද්‍රාව්‍යයන් වෙන්කරයි. යම්කිසි පුද්ගලයෙක් කෙටි කාලයක් ඇතුළත පමණ ඉක්මවා ජලය පානය කළහොත් එතරම් ජල ප්‍රමාණයක් ඉතා වේගයෙන් පෙරන්නට වකුගඩුවලට නොහැකි වෙයි. එවිට එම ජලය රුධිරය සමඟ මිශ්‍ර වෙයි. රුධිරය සමඟ මිශ්‍රවන ජලය අවසානයේ ගමන් කරන්නේ සෛල කරාය. අධික ජල සාන්ද්‍රණයක් ජලයෙහි ඇති බැවින් සෛල ඉදිමෙන්නට පටන්ගනී.

මේදය හා මාංශ පේශීමය ස්වභාවයක් ඇති බොහෝ සෛලවල ඇදෙන සුළුබවක් පැවතීම නිසා ඒවාට ප්‍රමාණයෙන් විශාලවීමේ හැකියාවක් පවතී. නමුත් මස්තිෂ්කයේ හෙවත් මොලයේ ඇති සෛලවලට මෙම හැකියාව නැත. මස්තිෂ්ක සෛල හිස්කබලේ දෘඩ අස්ථි තුළ ඉතා තදින් ඇසිරී පවතී. රුධිරය සහ මස්තිෂ්ක ෂුෂුම්නා දියරය පැවතිය යුත්තේද මේ ඉඩ තුළමය. මෙවැනි තත්වයක් තුළ සෛලවලට ඉදිමෙන්නට ඉඩක් නොමැති බව ඇමරිකා එක්සත් ජනපදයේ ඩියුක් සරසවියේ චිකිත්සක ස්නායු විද්‍යාඥයකු වන වොල්ෆෑන්ග් ලියඩ්ට්කේ පවසයි.

මෙවැනි තත්වයක් තුළ මස්තිෂ්කය ඉදිමීම අනතුරුදායක තත්වයක් බවට පත් වේ. සීග්‍ර හා දරුණු ‛හයිපොනට්‍රෙමියා’ තත්වයකදී මස්තිෂ්ක සෛලවලට ජලය ඇතුළුවීම මස්තිෂ්කයේ ඉදිමීමට හේතු වේ. මෙය මස්තිෂ්ක ආබාධ, කොමා, ස්වසන නැවතීම සහ අවසානයේ මරණයට ද හේතු විය හැකි යැයි ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් මහ රෝහලේ  සහ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය එම්. අමින් ආර්නෝට් පවසයි.

නමුත් අප කුඩා කල සිටම අසා ඇත්තේ හැකි තරම් ජලය පානය කිරීම නිරෝගී ජීවිතයක මගපාදන එක් සාධකයක් බවය. දිනකට ජල වීදුරු අටක්වත් පානය කළ යුතු යැයි පැවසෙන කතාවේ සත්‍යතාවය පිරික්සා බැලීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ඩාර්ට්මවුත් වෛද්‍ය විද්‍යාලයේ වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වන හේන්ස් වැලිටින් පරීක්ෂණයක් සිදු කළේය. එම පරීක්ෂණයෙන් පසු ඔහු නිගමනය කළේ දිනකට ජල වීදුරු අටක් පානය කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මගපාදන්නක් බවට තහවුරු කළ හැකි කිසිදු සාධකයක් නොමැති බවය.
‛ජලය විෂවීම’ යැයි මෙහිදී සඳහන් කළ තත්වය අධික ලෙස ජලය පානය කිරීම නිසා පමණක්ම ඇතිවන්නක් නොවේ යැයි ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ්ටවුන් සරසවි වෛද්‍ය මධ්‍යස්ථානයේ සභාපතිවරයා වන ජෝශෆ් වර්බලිස් පවසයි.    මෙය අධික ලෙස දියර ශරීරයට ලබාදීම සහ ඇන්ටිඩියුරෙටික් හෝමෝනයේ වෑස්සීම අතර සහසම්බන්ධතාවය මගින් සිදුවේ. හයිපොතැලමස මගින් නිපදවනු ලබන මෙම හෝමෝනය රුධිර ධාරාවට වෑස්සෙන අතර සිරුරේ ජලය ආරක්ෂාකරගන්නැයි එමගින් වකුගඩුවලට උපදෙස් දෙයි. ශාරීරික ආතතිමය අවස්ථාවලදීද මෙහි වෑස්සීම් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස මැරතන් ධාවන තරගයක් වැනි සිරුර අධික ලෙස වෙහෙසවන අවස්ථාවක් දැක්විය හැකිය. එවිට යම් පුද්ගලයෙක් අධික ලෙස ජලය පානය කළ ද මෙවැනි අවස්ථාවකදී සිදුවන්නේ සිරුරේ ජලය ආරක්ෂාකිරීමය.

නීරෝගී වකුගඩුවකට සාමාන්‍යයෙන් සෑම පැයකටම ජලය මිලි ලීටර් 800 - 1,000 (ගැලුම් 0.21 -  0.26) වැනි ප්‍රමාණයක් පෙරන්නට හැකියාව තිබේ. එබැවින් යම් පුද්ගලයෙක් පැයකට පානය කළ යුතු ජල ප්‍රමාණය වන්නේ ද මිලි ලීටර් 800 - 1,000 අතර ප්‍රමාණයකි. සාමාන්‍ය පුද්ගලයෙකු මැරතන් ධාවනයක් වැනි ශාරීරික ආතති අවස්ථාවකට පත්වීමේදී මෙම හෝමොන්ය වෑස්සීම ද අධිකව සිදුවෙයි. එවිට වකුගඩු සිය ජලය පෙරීමේ වේගය බොහෝ පහත හෙළයි. එය ඇතැම් විට පැයකට මිලිලීටර් 100ක් තරම් විය හැකිය.

ව්‍යයාමකිරීමේදී ඔබ පානය කරන ජලය ප්‍රමාණය ඔබෙන් පිටවන දහදිය ප්‍රමාණය අතර සම්බරතාවයකින් පවත්වාගනත යුතුවේ. ක්‍රිඩාවේදී යොදාගැනෙන විවිධ පාන වර්ග ගැනීමේදීද සැළකිලිමත් විය යුතුය. කෙසේ හෝ පැයකට ඔබෙන් දහදිය ලෙස මිලිලීටර් 500 ක් පිටවන්නේ නම් ඔබ ජලය පානය කළයුත්තේ එම ප්‍රමාණය පමණි.


නමුත් දහදිය පිටවීම මැනීම යනු පහසු කටයුත්තක් නොවේ. පානය කළ යුතු ජලය ප්‍රමාණය කුමක්දැයි ඔබ තීරණය කළ යුතුය. පිපාසය ඇතිවිට පමණක් ජලය පානය කිරීම සෑහෙන බැව් වර්බලිස් පවසයි. 

Thursday, April 24, 2014

පිය රජකුගේ හා පුත් කුමරකුගේ ආදරයට සිරවී මරණය වැළඳගත් නගරශෝභිනිය - අනර්කලී

අනර්කලී හා සලීම් කුමරුගේ ආදර කතාව පිළිබිඹු වන සිතුවමක්

මේ කතාවේ කතා නායිකාව අනර්කලී කියලා කරුණියක්. අනර්කලී නිතර සැරසී සිටියේ අද මේතරම් ජනප්‍රයත්වයට පත්ව ඇති ‛අනර්කලී’ වර්ගයේ ගවුමකින්. 

ඇය නගරශෝභිනියක්. ඒත් ඉතිහාසයේ මේ තරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නට හේතු වුණේ ඇය ඉන්දියායේ හිටි ශ්‍රේෂ්ඨ මෝගල් අධිරාජයකු වූ අක්බර් ගේ පුතු වූ සලිම් කුමරා (ඔහු පසු කාලයේ ජයන්ගිර් අධිරාජයා බවට පත්වෙනවා) සමඟ ආදරයෙන් වෙලී සිටීම නිසයි. 

අක්බාර් රජු

සලිම් කියන්නේ මුරණ්ඩු දරුවෙක්. ඒ හින්දම ඔහුට හොඳ හික්මීමක් ලබාදෙන්නට අක්බාර් රජතුමා ඔහුව හමුදාවට යවනවා. අවුරුදු 14කට පසුව ලාහෝර්වල ඇති තම පියාගේ අධිරාජය භාරගැනීමට හොඳ විනයක් සහිත සොල්දාදුවෙකු විදියට සලීම් කුමරු පැමිණෙනවා. ඒ වෙනුවෙන් නැටුම් ගැයුම්වලින් පිරුණු ලොකු උත්සවයක් පවත්වන්න අක්බාර් රජතුමා තීරණය කරනවා. මේ නැටුම වෙනුවෙන් නදීරා කියන අතිශය රූමත් තරුණියක් පැමිණෙනවා. ඇයගේ රූමත්බවට වශී වුණු අක්බාර් රජු ඇයව තමන්ගේ මාලිගාවට කැඳවාගෙන යනවා. ඔහු ඇයයව තමන්ගේ අන්තඃපුර බිසවක් බවට පත්කරගන්නවා. ඇයට ‛අන්ර්කලී’ කියන නම පටබැඳෙන්නේ ඉන් පසුවයි. 

සලීම් කුමරු

ඇයගේ රූමත්බවට වශීවුණු සලීම් කුමාරායාත් අනර්කලීට ආදරය කරන්න පටන් ගන්නවා. ඇයත් පෙරළා ඔහුට ආදරය කරනවා. ඔවුන් මේ විදියට රහසේ ආදරය කරන්න පටන්ගන්නවා. පසුව ඔහු තම පියා, ඒ කියන්නේ අක්බාර් රජතුමාට කියනවා තමන් අනර්කලීව විවාහකරගෙන තමන්ගේ බිසව බවට පත් කරගන්න කැමති බව. නමුත් අන්රකලී කියන්නේ කිසිම රාජකීය පරපුරකට අයත් තරුණියක් නෙවෙයි. ඇය නගරශෝභිනියක් විතරයි. මේ නිසා අනර්කලීව මුණගැසීම සලීම් කුමාරයාට තහනම් කරන්න අක්බාර් රජතුමා තීරණය කරනවා. අක්බාර් රජතුමා සහ සලීම් කුමාරායා අතර ගැටුමක් ඇතිවන්නේ මේ අවස්ථාවේදීයී. තත්වය තරමක් දරුණු අතට හැරෙන්න පටන් ගත් නිසා අනර්කලීව අත්අඩංගුවට අරගෙන අක්බාර් රජතුමාගේ සිරගෙයක රඳවා තබන්නට තීරණය කෙරෙනවා. 

තමන්ගේ මිතුරන්ගේ උදව්වෙන් කිහිපවරක් උත්සාහ කිරීමෙන් පසුව අනර්කලීව ඒ සිරමැඳුරෙන් ගළවාගෙන වෙනත් තැනක රඳවන්නට සලීම් කුමාරායාට හැකිවෙනවා. ඉන්පස්සේ තමන්ට පක්ෂපාතී හමුදා පිරිසක් එකතුකරගන්නා සලීම් කුමරු අක්බාර් රජුගේ නගරයට පහරදෙන්නට තීරණය කරනවා. නමුත් අක්බාර් රජුගේ හමුදාව සලීම් කුමරුගේ හමුදාවට වඩා විශාලයි. ඒ නිසා සලීම් කුමරු මේ යුද්ධයෙන් පරාජයට පත්වෙනවා. සලීම් කුමාරයාට අක්බාර් පිය රජතුමා මෙහිදී වර දෙකක් ලබාදෙනවා. එකක් තමයි අනර්කලීව තමන්ට භාර දෙන එක. එයට කැමති නැත්නම්  මරණ දඬුවමට යටත් වෙන එක. අනර්කලීට ඇති ආදරය නිසාම සලීම් කුමාරයා තෝරාගන්නේ මරණ දඬුවමයි. ඒත් තමන්ගේ ආදරවන්තයාගේ මරණය දකින්නට අකමැති අනර්කලී සැඟවී සිටි තැනින් ඇවිත් අක්බාර් රජුට බාරවෙනවා. සලීම් කුමාරායා වෙනුවට තමන්ට මරණ දඬුවම දෙන ලෙස ඇය එතැනදී ඉල්ලා සිටිනවා. අක්බාර් රජු මේ ඉල්ලීමට කැමති වෙනවා. එතැනදී අනර්කලී තවත් ඉල්ලීමක් කරනවා. ඒ එක් රැයක් පමණක් සලීම් කුමරු සමඟ ගතකරන්නට අවස්ථාවක් ලබාදෙන ලෙසයි. 

ඒ රාත්‍රිය ගතකිරීමෙන් පසුව දෙළුම් මල්වලින් පිළියෙල කළ මත්ද්‍රව්‍යයක් සලීම් කුමරායාට පානය කරන්න දෙන අනර්කලී, කුමාරයා මත්වී සිහිසුන් වුණු පසු සෙබළු සමඟ රජ මාලිගාවෙන් පිටවෙනවා. ඇයව ඉන්පසු රැගෙන යන්නේ වර්තමාන ලාහෝර් නගරයේ ‛අනර්කලී බසාර්’ නම් ප්‍රදේශයටයි. එහි යෝධ අගලක් කපන අක්බාර් රජුගේ හමුදාව ඇයව ලෑල්ලකට තබා බැඳ මේ අගලට දමනවා. ඉන් පසු අගලේ විවරය ගඩොල්වලින් බැඳ ඇයව පණපිටින් වළලා දමනවා. 

අනර්කලී ගැන කියැවෙන් එක් කතාවක් තමයි මේ. තව් කතාවක කියැවෙන්නේ ඇයට මෙම අගලෙන් මිදී පළායන්නට සලීම් කුමරු උදව් කළ බවයි. 

අනර්කලී හින්දි චිත්‍රපටය

සලීම් - අනර්කලී ප්‍රේම වෘතාන්නතය පසුබිම්කොට ගනිමින් 1953 දී ‛අනර්කලී’ නමින් හින්දි චිත්‍රපටක් නිර්මාණය වුණා. 

අනර්කලී මලයාලම් චිත්‍රපටය

පසුව 1963 දී ‛අනර්කලී’ නමින් මලයාලම් චිත්‍රපටයක් ද නිර්මාණය වුණා. 



Wednesday, April 23, 2014

අනාගත ලෝකයේ බිහිවන නැමිය හැකි ජංගම දුරකථන - Flexible Mobile Phones



ජංගම දුරකථන පිළිබඳ සලකා බැලීමේදී වර්තමානයේ වැඩි වශයෙන්ම කතාබහ කෙරෙන්නේ “ස්මාර්ට් ෆෝන්” නමින් හඳුන්වන්නා වූ දුරකථන මාදිලිය පිළිබඳවය. ඇන්ඩේ‍රායිඩ්, ඇපල් හෝ වින්ඩොස් යන මෙහෙයුම් පද්ධති ඔස්සේ ක්‍රියාත්මක වන මේවා ස්පර්ශක තිර සමගින් පැමිණෙන අතර, ඉහළ තාක්ෂණයෙන් යුක්තය. එමෙන්ම මිල ද සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමට පවතී.

තාක්ෂණයෙන් ඉහළ මට්ටමක පැවැතියද ශක්තිමත් බව පිළිබඳ සලකා බැලීමේදී මිලෙන් අඩු දුරකථනයකට වඩා වෙනසක් නැති තරම්ය. ඇතැම් ඒවායේ ස්පර්ශක තිරය යම් ශක්ති සම්පන්න තත්ත්වයකින් නිෂ්පාදනය කෙරුණද යම් හෙයකින් බිමපතිත වුවහොත් මෙවැනි දුරකථන පවා කැඩී බිඳී යන්නට පුළුවන. මේ පිළිබඳව කල්පනා කළ ජංගම දුරකථන සමාගම් කැඩී බිඳී නොයන ආකාරයේ ජංගම දුරකථන නිපදවන්නට කල්පනා කළහ.

කැඩී බිඳී නොයන සුළු, රබර් වැනි ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන බිහිකරන්නට ඕස්ට්‍රේලියාවේ සමාගමක් පර්යේෂණ පවත්වමින් සිටිනා අතර, නුදුරු අනාගතයේ එම සිහිනය සැබෑවන ලකුණු පහළ වී තිබේ. රාජකීය මෙල්බෝන් තාක්ෂණික ආයතනය  දෘඩ සිලිකන් පරිපථ නම්‍යශීලී මතුපිටකට ගැනීම සම්බන්ධව කළ පර්යේෂණ සාර්ථක වී තිබේ.
සාමාන්‍යයෙන් කුඩාවට තැනූ ඉලෙක්ටේ‍රානික උපාංගවල සංවේදනය, ශක්තිය, නිපදවීම ආදිය පාලනය කෙරෙන්නේ ඉතා කුඩාවට තැනූ විනිවිද පෙනෙන සුළු ඔක්සයිඩ් පථ ඔස්සේය. මේවා කෙතරම් කුඩාවට තනා ඇතිදැයි කිවහොත් ඒවා මිනිස් කෙස් ගසකින් සියයකින් පංගුවක් තරම් වේ. එතරම් කුඩා බැවින් ඒවා හඳුන්වනු ලබන්නේ “නැනෝ ස්ථර” යනුවෙනි.

මෙවැනි කුඩා ඉලෙක්ටේ‍රානික පථ ඒවායෙන් නිපදවන උෂ්ණත්වය නිසා ඉතා ඉක්මණින් බිඳීයන ස්වභාවයකට පත්වේ. මෙම උෂ්ණත්වය
ඇතැම් අවස්ථාවලදී සෙල්සියස් අංශක 300ක් පමණ වන අවස්ථාද තිබේ. එබැවින් ඒවා නම්‍යශීලී මතුපිටකට ගැනීමේ හැකියාවක් තිබුණේ නැත.
මෙම පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ෆිලිප් පවසන්නේ මෙවැනි පරිපථ නම්‍යශීලී මතුපිටක් මතට ගැනීමේ තාක්ෂණයක් නිපදවන්නට හැකි වූ බවය.

“මෙම තාක්ෂණය හඳුන්වන්නේ ක්ෂුද්‍ර භූකාරක ඵලය නමින්. මෙහිදී සිදුවන්නේ පෘථිවියේ භූතැටි පිහිටා ඇති ආකාරයට ඔක්සයිඩ් පරිපථ සහිත ස්ථර එක පිට එක තැබිමයි. එවිට ඒවා මත ඇතිවන පීඩනය දරාගන්නට හැකිවන අතර, සන්නයනතාවයද පවත්වාගත හැකියි. ෆිලිෆ් පවසයි.
මෙම ක්‍රමය නිසා නැවෙන සුළු මතුපිටක් ඔක්සයිඩ් පරිපථ තැන්පත් කරන්නට මතෛක් තිබූ බාධකය ඉවත්ව ගොස් තිබේ. එබැවින් අනාගතයේදී නවන්නට හැකි විවිධ ඉලෙක්ටේ‍රානික උපාංග ලොවට ඉදිරිපත් කරන්නට නිෂ්පාදකයන්ට අවස්ථාව සැලසෙනු ඇත.


මෙම පර්යේෂණ කණ්ඩායමේ සිටින ඉන්දීය ජාතික පර්යේෂිකාවක වන ආචාර්ය මධු භාෂ්කරන් පවසන්නේ මෙම කටයුත්ත සඳහා නව ද්‍රව්‍යයන් දෙකක් යොදාගත් බවය. ඒවා නම් විනිවිද පෙනෙන සුළු සන්නායක ද්‍රව්‍යයක් වන ඉන්ඩියම් ටින් ඔක්සයිඩ් සහ රබර් වැනි සිලිකන් වර්ගයකි.

Thursday, April 17, 2014

බ්‍රිතාන්‍ය රාජකීය බිළිඳුගේ මුල්ම එතෙර සංචාරය - First Overseas Tour of British Royal Baby



රජවරු, රාජ කුමාරවරු කියන්නේ නිතරම මිනිසුන්ගේ කතා බහට ලක්වන විදියේ පිරිසක්. සාමාන්‍ය අයෙකුට එක දිගට කිවිසුම් පහක් ගියොත් ඒක කාටවත් පෙනෙන්නේ නැති වුණාට රජෙකුට, රාජ කුමාරයකුට එක් කිවිසුමක්  යනවා කියන්නේ පත්තරේ දාන්න තරම් අමුතු දෙයක්. ඒ හින්දා තමයි අපි මේ කතාව කියන්න යන්නෙත්. මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ ප්‍රිය බිරිඳ වන කේට් ගේ කුළුඳුල් දරුවා වන මාස අටක් වයසැති කේම්බ්‍රිජ් හි ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී කුමරුගේ මුල්ම නිල විදේශ සංචාරය මේ දිනවල සිදුවෙනවා. ඒ නවසීලන්කයට සහ ඕස්ට්‍රේලියාවටයි. ඔවුන් දින 19ක් මේ රටවල් දෙකේ ගතකරන්නට නියමිතයි. මේ රටවල් දෙකම තවමත් පවතින්නේ බ්‍රිතාන්‍ය කිරුළ යටතේ නිසා එම රටවලට මම රාජකීයයන්ගේ පැමිණීම සැළකෙන්නේ සුවිශේෂී දෙයක් හැටියටයි. හේතුව විලියම් කුමරු වගේම ඔහුගේ පුතු ජෝර්ජ් කුමරුත් ඔටුන්න හිමි දාමයේ ඉහළම පුරුක්වල සිටින නිසයි. ඒ වගේම පසුගිය වසරේ ජූලි 22 වැනිදා රාජකීය කුමරුගේ ඉපදීමෙන් පසුව ප්‍රසිද්ධියේ මහජනතාව අතරට යන ප්‍රථම වතාවත් මෙයයි.

බීබීසී ආයතනය විසින් පළකොට තිබූ ආන්දෝලනාත්මක ඡායාරූපය

බිළිඳු කුමරු, විලියම් කුමරුත්, කේට් කුමරියත් පසුගිය 7 වැනිදා නවසීලන්තයේ වෙලිංටන් නුවරට පැමිණියා. කේට් කුමරියගේ ඇඳුම ගැන මාධ්‍ය විශේෂයෙන් කතා කළ බව පෙනෙන්නට තිබුණා. ඇය රතුපැහැ කබායකින් සැරසී සිටියා. විශේෂයෙන් ඈ සිය ඇඳුමේ පැළැඳ සිටි රිදී කටුව වැඩිදෙනෙකුගේ අවධානය යොමුවුණා. හේතුව එය බ්‍රිතාන්‍ය මහ රැජිනට අයිත් එකක් වීමයි. රැජිනගේ පෞද්ගලික ආභරණ එකතුවේ බොහෝ දේ කේට් කුමරියට දෙන්නට මහ රැජින වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. කේට් කුමරිය ගුවන් යානයෙන් බසින විට පැවති අධික සුළඟ නිසා ඇගේ ඇඳුම බොහෝ ඉහළට එසැවුණු ඡායාරූපයක් බීබීසී ආයතනය සිය නිල ෆේස්බුක් පිටුවේ පළකොට තිබුණා. බීබීසී වැනි ආයතනයක් එවැනි ඡායාරූපයක් ප්‍රසිද්ධ මාධ්‍යයක මෙසේ පළකිරීම පහත් ක්‍රියාවක් බවත්, මිනිසුන්ගේ ගෞරව පිළිබඳ මෙයට වඩා සිතිය යුතුබවත් බොහෝ දෙනෙකුගේ අදහස වුණා.

1983 වසරේ චාර්ල්ස් කුමරු සහ ඩයනා කුමරිය විලියම් කුමරු සමඟ කළ නවසීලන්ත සංචාරය


මේ රාජකීය සංචාරය අතීත සිදුවීමක් මතක් කරදෙන බව බොහෝ මාධ්‍යවලින් පවසා තිබුණා. චාර්ල්ස් කුමරු සහ ඩයනා කුමරිය  බිළිඳු විලියම් කුමරු සමඟ 1983 දී මේ ආකාරයෙන්ම නවසීලන්තයේ සංචරයකට පැමිණ තිබුණා. මේ රටවල් වැසියන්ගේ තමන්ගේ අනාගත රජ දැකගන්නට සහජයෙන්ම කැමැත්තකින් පසුවෙනවා. ඒ නිසා විලියම් කුමරු දැකගන්නටත් බොහෝ පිරිසක් පෙළගැසී සිටිනු ඇතැයි මාධ්‍යවලින් කලින්ම පවසා තිබුණා. ඒත් පසුව පැවසුනේ ඔවුනට ලැබුණේ ඇල්මැරුණ පිළිගැනීමක් බවයි. නවසීලන්තයට ඇදහැලුණු අධික වර්ෂාව නිසා බොහෝ පිරිස් බිළිඳු කුමරා පිළිගැනීමේ උත්සවයට පැමිණ තිබුණේ නැහැ.


2011 වසරේ මේ රාජකීය යුවල කැනඩාවේ සංචාරය කළ අවස්ථාවේදී ඔවුනට උදේ රාත්‍රිය දක්වා විවිධ උත්සවවලට සහභාගීවන්නට කලින්ම සැලසුම්කොට තිබුණත් මේ නවසීලන්ත හා ඕස්ට්‍රේලියා සංචාරයේ එවැනි විශේෂ උත්සව දකින්නට නැහැ. විශේෂයෙන් දිවාකාලයෙන් පසුව ඔවුන් කිසිදු උත්සවයකට සහභාගී නොවන්නට තීරණය කොට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. බිළිඳු කුමරුගේ දෙමාපියන් පවසන්නේ ඔවුනට සිය පුත්කුමරා සමඟ වැඩිකාලයක් ගතකරන්නට ඕනෑ බවයි.   කෙසේ නමුත් බිළිඳු රාකීය කුමරු සිය දෙමාපියන් සමඟ ප්‍රසිද්ධියේ බලන්නට හැකි ස්ථාන පිළිබඳව මේවන විටත් නවසීලන්ත රජය සැලසුම් සකස්කොට මහජනතාව ද දැනුවත් කොට හමාරයි. ඒ වෙනුවෙන් විශේෂ මහාමාර්ග සැලසුම් පවා සකස්කොට තිබෙනවා.

රාජකීය පවුල නවසීලන්තයට සැපැත්වීමත් සමඟ ඔවුනට ආණ්ඩුකාර මැඳුරේදී සාම්ප්‍රදායික පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. ඔවුන් සිය ගමන් බිමන් ආරම්භ කරන්නට පෙර එක් දිනක් විවේකීව ගතකරන බවයි දැනගන්නට ලැබෙන්නේ. ඔවුන් සිය ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කරන්නට බලාපොරොත්තුවන්නේ අප්‍රේල් 16 වැනිදායි.


නවසීලන්තයේ වගේම ඕස්ට්‍රේලියාවෙත් බ්‍රිතාන්‍ය රජපවුල තමන්ගේ රටේ ප්‍රධානීන් ලෙස කටයුතු කරනවාට අකැමැති පිරිස් දිනෙන් දින වැඩිවෙමින් පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ. මෑතකදී ඕස්ට්‍රේලියාවේ මේ ගැන ජනමත විචාරණයකුත් පැවැත්වුණා. එහිදී බහුතරය පවසා සිටියේ ඔවුන් තවමත් තමන්ගේ රාජ්‍යයේ ප්‍රධානියා හැටියට එලිසබෙත් මහරැජින පිළිගන්නට කැමති බවයි. නමුත් නුදුරු අනාගතයේදී මෙම තත්වය වෙනස්වන්නට ඉඩ ඇති බව පෙනෙනවා. නවසීලන්ත වැසියන්ගෙන් 41%කුත්, ඕස්ට්‍රේලියානුවන්ගේ 30%කුත් රජපවුල ප්‍රතික්ෂේප කරන බව ජනමත විචාරණවලින් හෙළිවී තිබෙනවා. ඒ නිසාම බිළිඳු ජෝර්ජ් කුමරුගේ සංචාරය ඇතුළත නවසීලනත්යේ වගේම ඕස්ටේලියාවෙත් උද්ඝෝෂණ ඇතිවන්නට ඇති ඉඩකඩ ගැන දැනටමත් අනතුරු හඟවා තිබෙනවා. විශේෂයෙන් මේ සංචාර ඇතුළත දී නවසීලන්තයේ ආදීවාසීන් වන ‛මඔරි’වරුන්ගේ රජු විලියම් කුමරු හමුවීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා. එයට හේතුව තමන්ගේ ගැටලු ගැන කතාකරන්නට ඔහුට ලබාදී ඇති මිනිත්තු 90 ක කාලය ප්‍රමාණවත් නැතැයි පැවසීමයි.

මෙය බිළිඳු කුමරුගේ මුල්ම නිල සංචාරය සේම රජපවුලේ කීර්තිය නංවාගැනීමේ උපක්‍රමයක් ලෙසත් ඇතැමුන් හඳුන්වා තිබෙනවා. රජපවුල සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් යැපෙන, රටට බරක් හැටියට පවසන් බ්‍රිතාන්‍ය වැසියන් බොහෝ දෙනෙක් සිටිනවා. නවසීලන්තයේ මේ පිරිස් මෙයට වඩා වැඩිවනවා මිස අඩුවන්නට ඉඩක් නැහැ. එවැන් රැල්ළක් පැවතීමේ රජපවුලේ කීර්තිමත් අතීතයට කැළලක් සේම අනාගතයට තර්ජනයක්. මේ සියල්ල සමනය කරගැනීමේ සංචාරයක් හැටියටත් බොහෝ දෙනෙක් මෙය හඳුන්වන්නේ ඒ නිසයි.

අපේ අවුරුද්ද ඉන්දියාවේ දෙමළ ජනතාව සමරණ හැටි - How Indian Tamils Celebrate the New Year



වසරේ මාස දොළහ අතුරින් අප්‍රේල් මාසය ඉතා සුවිශේෂීය. අප රටේ පැහැදිලි සෘතු භේදයක් නැතිමුත්, තුරු ලතා මලින් පලින් බරවී, වසන්ත කාලය උදාවන්නේ මේ මාසයේය. අස්වනු නෙළා නිවෙස් අටුකොටුවලින් පුරවන්නේ මේ මාසයේය. එබැවින් එය ‛භාග්‍යවත් මාසය’ නම් අරුතැති ‛බක් මාසය’ නමින් ද හඳුන්වනු ලබයි. එමෙන්ම අප රටේ සිංහල සහ දෙමළ ජනතාව  සිය නව වසර සමරන්නේ ද මේ මාසයේ නිසා එයට ඇති වැදගත්බව තවත් වැඩි වේ. සිය ජීවිත පුනර්ජීවයකට ලක්කරමින් නව ආරම්භයක් ලබන්නට මෙම මාසය උදාකරදෙන්නේ සුවිශේෂී අවස්ථාවකි. කෘෂිකාර්මික දිවිපැවැත්මකට හුරුපුරුදුව සිටි  පෙරදිග ජනතාව සුර්යයා කෙරෙහි දැඩි ගෞරවයකින් කටයුතු කළහ. අලුත් අවුරුද්ද සැමරීමේදී ‛සුර්ය දෙවියන්’ වෙනුවෙන් එය කැපකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයකි. එබැවින් එය ‛සූර්ය මංගල්‍යය’ ලෙසින් ද හඳුන්වනු ලබයි.

අප රටේ සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ අලුත් අවුරුද්ද සමරනු ලැබුව ද හින්දු චාරිත්‍ර වාරිත්‍ර හා විශ්වාසයන් පිළිබඳ සළකා බැලීමේදී පෙනී යන්නේ අප රටින් බැහැර සමස්ථ ලෝකය පුරා විසිරී සිටින දෙමළ ජනතාව මෙය සැමරීමේදී යම් යම් වෙනස්කම් ඇති බවය. ඒ වෙනස්කම් නම් අප රටේ සිංහල ජනතාවට හා දෙමළ ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු දිනය නියම කරන්නේ නැකැත් කමිටුව වුව ද තමිල්නාඩුවේ සහ සෙසු රටවල සිටින දෙමළ ජනතාවට මෙය සැමරීම සඳහා නිශ්චිත දිනයක් පැවතීමය. ඔවුන් එය සමරන්නේ අප්‍රේල් 14 වැනිදාය.

නිරායන ජ්‍යෝතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රෙගෝරියන් දිනදර්ශනයේ අප්‍රේල් 14 වැනිදාය. ජාත්‍යන්තර දෙමළ දිනදර්ශනයේ හා තමිල්නාඩු දිනදර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරායන මේෂ සංක්‍රාන්තිය ගණනය කරනු ලබයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීමය.

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අප්‍රේල් ය. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‛සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද මෙම මාසයේදීය. මෙම මාසය දෙමළ බසින් ‛පුත්තන්ඩු’, ‛වරුද පයිරප්පු’  හෝ ‛චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ‛පුත්තන්ඩු වාස්තුකල්’හෝ ‛ඉනිය තමිල් පුත්තන්ඩු නල්ලවාස්තුක්කල්’ යැයි පවසමින් දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී එකිනෙකාට සුබ පතති. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපුර්, මිතිලා, ඔඩිෂා, ත්‍රිපුර ආදී ප්‍රාන්තවලද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ. සිංහල ජනතාව අලුත් අවුරුද්ද සැමරීමේදී ජ්‍යෝතිෂ සිද්ධාන්ත අකුරටම පිළිපදිති. එබැවින් මෙය ‛නැකැත් කෙළිය’ නමින් ද හඳුන්වනු ලැබේ. දෙමළ ජනතාව අතර ද මෙහි වෙනසක් නැත. දෙමළ ජනතාව අතර අතීතයේ සිට පැවති සිරිතක් වන්නේ අලුත් අවුරුදු දිනයේදී පවුගේ වැඩිහිටියකු හෝ නැකැත්කරුවකු විසින් ඉදිරි මාස 12 සඳහා සිය පවුලට අයත් පලාපල කථනයක් සිදුකිරීමය.

අලුත් අවුරුදු දිනයේ අලුයමින් අවදිවන දෙමළ පවුලක මාතාව පවුලේ සාමාජිකයන්ගේ  දෑස් වසා සුබ දසුනක් ඇති ස්ථානයකට රැගෙන යාම සිදුකරනු ලබයි. ඒ බොහෝ විට නිවසේ ඇති දේව ප්‍රතිමාවන් වේ. ඊට අමතරව රන් ආභරණ, පලතුරු ආදිය ද පෙන්වනු ලබයි. කැඩපතකින් මුහුණ පෙන්වීමෙන් ද සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි.


මේ දිනයේදී දෙමළ නිවෙස්වලට ඇතුළුවන දොරටුව අසළ කාන්තාවන් විසින් ‛කෝලම්’ හෝ ‛රන්ගෝලි’ නමින් හඳුන්වනු ලබන වර්ණවත් රටාවලින් අලංකාර කරනු ලබයි. මෙම කෝලම් රටාවලට මැදින් ‛කුට්ටු විළක්කු’ නම් පහනක් තබනු ලබයි. ‛කන්නි’ නමින් හඳුන්වනු ලබන චාරිත්‍රයක් සිදුකිරීම ද මෙම දිනයේ දක්නට ලැබෙන්නකි. ‛කන්නි’ යන්නෙහි අරුත් වන්නේ ‛සුබ දසුන’ වැන්නකි. ඔවුන් මේ අවස්ථාවේදී රන් ආභරණ, පලතුරු, එළවලු, මල්, සහල් ආදිය දෙස බලති. එයින් සෞභාග්‍යය උදාවෙතැයි ඔවුහු විශ්වාස කරති. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්වා තැබේ. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි. බොහෝ දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේදී ඒ අසළින් කොහොඹ අතු තැබීම, නිවෙස් සැරසීම සඳහා ඒවා යොදාගැනීම ආදිය දක්නට ලැබේ. කොහොඹල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමග මුසුකරගැනීම මගින් ජීවිතවල යම්කිසි යථාර්ථවාදී බවක් ද දෙමළ ජනතාව අපේක්ෂා කරති. දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී ලක්ෂ්මී දෙවඟනට සහ ගන දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරති.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අලුත් අවුරුද්දේ ‛කාසි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදුකරනු ලබයි. මෙය බොහෝ විට සිදුකෙරෙන්න්ෙ අවිවාහක තරුණ තරුණයින්, විශේෂයෙන් කුඩා දරුවන් සමග වන අතර එයින් බලාපොරොත්තුවන්නේ වාසනාවන්ත බවයි. එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීම සිදු කරයි. මෙය ‛ආර්පුඩු’ නමින් හැඳින්වේ. සිංහල ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ද පුණ්‍ය කාලයක් තිබේ. එය ‛පුණ්‍ය කාලම්’ නම් වේ. එමෙන්ම දෙමළ ජනතාව ඖෂධ මිශ්‍ර ‛මරුති - නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදුකරයි. එයින් සෞඛ්‍ය සම්පන්න බව බලාපොරොත්තු වේ.


ලොව පුරා දෙමළ ජනතාව අප්‍රේල් 14 වැනිදා මෙසේ අලුත් අවුරුද්ද සැමරුවද තමිල්නාඩුවේ මෙයට පෙර බලයේ සිටි ඩී.එම්.කේ පක්ෂය පවසා සිටියේ සැබෑ දෙමළ අවුරුද්ද විය යුත්තේ තෛපොන්ගල් උත්සවය පවත්වන්නා වූ ජනවාරි මාසය බවයි. එය තමිල්නාඩු දෙමළ ජනතාවගේ අස්වනු නෙලීමේ උත්සවයයි. ඔවුහු මෙය සම්මත කරගැනීම සඳහා පණතක් ද ඉදිරිපත් කළහ. නමුත් ජයලලිතා එහි මහඇමතිනිය වූ පසු පවසා සිටියේ සැබෑ දෙමළ අලුත් අවුරුද්ද විය යුත්තේ අප්‍රේල් 14 වැනිද බවයි. එබැවින් ලොවපුරා වෙනසක් නොමැතිව දෙමළ ජනතාවද අප්‍රේල් මාසයේ සිය අලුත් අවුරුද්ද සමරති.