පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, January 18, 2015

චීන කෑම කෑවොත් හැදෙන චීන අවන්හල් සහලක්ෂණය - What is Chinese Restaurant Syndrome?




අවුරුදු දහස් ගණනකට පෙර මිනිසුන් ආහාරයක් පිළියෙල කරගන්න පුරුදු වෙලා හිටියේ ඉතාමත් සරල ආකාරයට. නමුත් පරිණාමය සමග මිනිසා ආහාර පිළියෙල කරගැනීමේ අලුත් ක්‍රම සොයාගත්තා. අද වන විට ආහාර පිළියෙල කරගැනීමේ ක්‍රම, ආහාර සංස්කෘතීන්, සිරිත් විරිත් බොහෝ ගණනක් ලෝකය පුරා පැතිර තිබෙනවා. අපේ ජන සමාජයේ ද විවිධ ආහාර සංස්කෘතීන් හා සිරිත් විරිත් තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන් විවිධ ආහාර සංස්කෘතීන් දක්නට ලැබෙනවා. මේ සංස්කෘතීන්ට අයත් ජාතීන් ද සැළකිය යුතු ප්‍රතිශතවලින් අපේ රටේ ජීවත්වෙනවා. කොහොම වුණත් සැළකිය යුතු තරම් ප්‍රතිශතයක් අපේ රටේ ජීවත් නොවුණත් මේ සඳහන් කළ ජාතීන්ට අයත් නොවන, එහෙත්, අනෙක් සියලු ආහාර සංස්කෘතියක්ම පරදවන තරමට මිනිසුන් අතර ජනප්‍රිය ආහාර සංස්කෘතියක් ද අපේ රටේ තිබෙනවා. ඒ තමයි ‛චීන ආහාර’. අපේ රටේ කුමන නගරයක් බැලුවත් සියලු දෙනා අතර මෙම චීන ආහාර චීන අවන්හල් අතිශය ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබෙනවා. ‛චයිනීස් පාරක් දාමු’ කියන තරමට මිනිසුන් මෙයට සමීපයි. මේ හැම තැනම තියෙන්නේ චීන්නු හදන විදියේ ආහාරම ද කියන එක නොදන්නවා වුණත් හැම තැනම අනුගමනය කරන්නේ නම් එකම විදියේ ආහාර පිළියෙල කිරීමේ රටාවක්. මේ චීන අවන්හල් සංස්කෘතිය ඇත්තෙන්ම අපේ රටේ පමණක් නොවෙයි මුළු ලෝකය පුරාම මේ විදිහට පැතිරිලා තියෙනවා. මේ පැතිරීමත් එක්ක තව දෙයකුත් පැතිරෙන්නට පටන් අරන්. එය හඳුන්වන්නේ ‛චීන අවන්හල් සහලක්ෂණය’ (Chinese Restaurant Syndrome) නමින්. මොකක්ද මේ චීන අවහන්හල් සහලක්ෂණය කියලා කියන්නේ? 


චීන අවහන්හල් සහලක්ෂණය කියලා කියන්නේ චීන කෑම අනුභව කළාට පසුව පෙන්නුම්කරන රෝග ලක්ෂණවලට. චීන කෑම කාපු ගමන් මේ රෝග ලක්ෂණ පහළවෙනවා කියලා මෙයින් කියැවෙන්නේ නැහැ. කොහොම වුණත් මේ කියන්නට යන විස්තරය දැනගත්තට පස්සේ ඔබටම පුළුවන් ඒ ගැන අවබෝධ කරගන්න. චීන අවන්හල් ලෝකය පුරා පැතිර යන තරම් වේගයකින් මේ රෝගයත් පැතිර ගොස් තිබෙනවා. ඇතැම් අය පවසන්නේ ඇත්තටම මෙවැනි රෝගයක් නොපවතින බවයි. විශේෂයෙන් චීන අවහන්හල් ව්‍යාපාරයේ යෙදී සිටින අය නම් මෙයට විරුද්ධව විවිධ අදහස් දක්වනවා. 



චීන අවහන්හල් සහලක්ෂණය ගැන අපට මුළින්ම අසන්නට ලැබෙන්නේ 1968 වසරේදී. ඇමරිකානු වෛද්‍ය සඟරාවක් වන ‛නිව් ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්’ සඳහා එච්.එච්. ෂොම්බර්ගන්ඩ් සහ ආර්. බික් විසින් ඉදිරිපත් කරන ලද නිබන්ධනයකින් මේ රෝගය ගැන විස්තර කොට තිබුණා. ඔවුන් සඳහන් කොට තිබුණේ විවිධ පුද්ගලයන් විවිධ මට්ටම්වලින් මෙම රෝගයට ගොදුරුවන බවයි. චීන ආහාරවලට අනිවාර්යයෙන්ම එකතු කරනු ලබන රස කාරකයක් වන ‛මොනෝසෝඩියම් ග්ලූටාමේට්’ monosodium glutamate - MSG), එසේත් නැත්නම් අප කවුරුත් දන්නා ‛අජිනොමොටෝ’ මේ රෝගය සඳහා මූලික වශයෙන්ම හේතුවන බව ඔවුන් සඳහන් කොට තිබෙනවා. මොනෝසෝඩියම් ග්ලූටාමේට් කියන්නේ පස්සවන ලද (fermented ) ලද සෝයා බෝංචි සහ චීස්වල ස්වභාවිකවම අඩංගුවන ‛ග්ලූටාමික්’ කියන අම්ලයෙන් පිළියෙලකරගන්නා රසකාරකයක්. ඇමරිකා එක්සත් ජනපදයේ මෙය අනුමත රසකාරකයක් වුණත්, කුඩා දරුවන් සඳහා මෙය නිර්දේශ කොට නැහැ. විවිධ පුද්ගලයන්ට මෙය විවිධ මට්ටම්වලින් බලපෑවත්, හිස් බඩ මෙවැනි ආහාරයක් ගැනීමෙන් මෙහි රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් පැවසෙනවා. 
 
ස්ඵටික තත්වයේ ඇති මොනෝසෝඩියම් ග්ලූටාමේට්


මොනෝසෝඩියම් ග්ලූටාමේට්, එසේත් නැත්නම් අජිනොමොටෝ අපේ රටේ ද සාමාන්‍ය වෙළෙඳ පළේ පවා අළෙවියට ඇති රසකාරකයක්. මෙය නිපදවන්නේ ජපානයේ මේ නමින්ම ඇති ආයතනයක් මගින්. මේවා ආහාරවලට එක්කරගැනීම පිළිබඳ බොහෝ කාලයක සිට අපේ රටේ කතා බහට ලක්වුවත්, ඒ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් කිසිවක් නොපවසන නිසා මෙය වෙළෙඳපළෙන් පහසුවෙන්ම මිලදීගන්නට පුලුවන්. ආහාර රසකරගැනීම සඳහා මොනෝසෝඩියම් ග්ලූටාමේට්වලට ඇත්තේ අපුරු හැකියාවක් යැයි පැවසෙනවා. මේ නිසාම මෙය චීන ආහාරවලත් අත්‍යවශ්‍යම රසකාරකයක් බවට පත්වෙලා. චීන ආහාරවලට මෙම රසකාරකය එක්කරන ප්‍රමාණයේ තරමට රෝග ලක්ෂණ ද කැපීපෙනෙන ලෙස පෙන්නුම්කරනවා. 


චීන ආහාර වේලක් ගත්තායින් පසුව කිසියම් පුද්ගලයකුට කලබලකාරී හැඟීමක්, පපුවේ කැක්කුමක්, හිස කැක්කුමක්, මුඛය හිරිවැටීමක් හෝ දැවිල්ලක් වැනි තත්වයක්, මුහුණේ මාංශ පේශීන්වල පීඩනයක්, මුහුණ ඉදිමීමක් සහ දහඩිය වැනි ලක්ෂණ පහළ වෙනවා නම් කිව යුත්තේ ඒ තැනැත්තා චීන අවන්හල් සහලක්ෂණයට ගොදුරුව ඇති බවයි. මෙය ඇත්තෙන්ම අසාත්මික තත්වයක්. මෙවැනි බොහෝ රෝග ලක්ෂණ විශේෂ ‍වෛද්‍ය ප්‍රතිකාරයකින් තොරවම වුණත් තුරන් වී යා හැකියි. ඒ වගේම අසාත්මිකතාවය සඳහා ලබාදෙන ඖෂධවලින් ද මේ සඳහා සහනයක් ලබාගන්නට පුළුවන්. නමුත් ඇතැම් අයට තරමක් දරුණු ලෙස මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකියි. ඒවා අතර හුස්ම ගැනීමේ අපහසුව සමග ඇතිවන අක්‍රමවත් හෘද ස්පන්ධනය ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. එවැනි තත්වයකදී නම් හැකි ඉක්මණින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්යයි. 


මෙම රෝගය මුළින්ම නිරීක්ෂණය කරනු ලැබුවේ චීන අවන්හල්වලින් ආහාර ලබාගත් පුද්ගලයන්ගෙන් නිසා මෙයට ‛චීන අවන්හල් සහලක්ෂණය’ යනුවෙන් නම් තැබුවත්, වර්තමානයේ චීන නොවන අවහන්හල්වල පිළියෙල කරන ආහාර නිසා ද මෙය ඇතිවන බව සොයාගෙන තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ ඒවායේ ආහාර රසකිරීම සඳහා ද මොනෝසෝඩියම් ග්ලූටාමේට් යොදාගැනීමයි. 


කෙසේ වෙතත් අධික රසයට ලොල්වීම ලෙඩරෝග රැසකට අතවනන බව නම් අපි බොහෝ කාලයක සිට දන්නා දෙයක්. චීන අවන්හල්වලින් හෝ එවැනි වෙනත් ස්ථානවලින් ආහාර ගැනීම නතරකරන්නැයි මෙයින් පැවසෙන්නේ නැහැ. නමුත් නීරෝගීකම පරම ලාභය අප සියලු දෙනා දන්නා සත්‍යයක්. අධික රසයට ලොල්වීමේ ප්‍රතිඵලයක් විදිහයට නීරෝගී බව අහිමිවනවා නම් එවැනි ආහාරවලින් හැකිතාක් ඈත්ව සිටීම නුවණට හුරු දෙයක් බවයි  සඳහන් කළ යුත්තේ.


Saturday, January 17, 2015

බයිස්කෝප් අඩවිය තහනම් කරනවාට මම විරුද්ධයි - Why I am opposing to ban www.baiscopelk.com



www.baiscopelk.com  එහෙමත් නැත්නම් බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ සිංහල නොවන වෙනත් භාෂාවන්ගෙන් ඇති සිනමා නිර්මාණ සිංහල ප්‍රේක්ෂකයන්ට පහසුවෙන් රසවිඳින්න අවස්ථාව සළසන වෙබ් අඩවියක්. ඔවුන් කරන්නේ අපගෙන් කිසිදු මුදලක් අය නොකර විදෙස් සිනමා නිර්මාණ සඳහා උපසිරැසි ලබාදීමයි. ඊට අමතරව මෙම උපසිරැසිවලට ගැළපෙන සිනමා නිර්මාණවලට අදාළ ගොනු බාගත කරගත හැකි ස්ථානවල සබැඳි අප වෙත ලබාදීම ද සිදුකරනවා. ඇත්තටම මේක මිල කළ නොහැකි සේවයක්. මෑත දවසක මේ වෙබ් අඩවියට ගිය අවස්ථාවක මේ ඉහළින් තියෙන පණිවිඩය එහි වරින් වර දිස්වන්නට පටන්ගත්තා. 

එයින් කියැවෙන්නේ ළඟදීම බයිස්කෝප් වෙබ් අඩවිය තහනම් කරන්නට සැරසෙන බවයි. ඇත්තටම මේ කතාව දැකපු වෙලාවේ නම් හරිම දුකක් දැනුණා. මේ වෙබ් අඩවියේ සේවය ලබාගන්නා දහස් ගණනක් මේ රටේ ඉන්න බව නම් විශ්වාසයි. මම මෙහෙම සටහනක් ලිව්වත් මේ වෙබ් අඩවිය කරන කිසිම කෙනෙක් මගේ හිතවතුන් නොවේ. මම ඒ කිසිකෙනෙක් මම පෞද්ගලිකව දන්නේ නැහැ. ඒත් මේ ගැන සටහනක් නොලියා ඉන්න එක හරි නෑ කියලා මට හිතුණා. 


ඇත්තටම කාටද මේ වෙබ් අඩවිය තහනම් කරන්න ඕන කියන එක ගැන මට අදහසක් නැහැ. මට තේරෙන තරමට නම් ජාතික සමගියට හානි කරන කිසිම දෙයක් මෙහි අඩංගු වෙන්නේ නෑ. මට හිතෙන හැටියට අපේ රටේ රූපවාහිනි නාලිකා හැරෙන්න මේ වෙබ් අඩවියත් එකක තරහක් ඇති කරගන්න වෙන කාටවත් ඕන කමක් නැහැ. රූපවාහිනි නාලිකා මේ වෙබ් අඩවියක් එක්ක අමනාපයක් ඇතිකරගන්න හේතුව මොකක්ද කියලා ඇහුවොත් මට ඒක පෙනෙන්නේ මෙන්න මේ විදිහට. 


අපේ රටේ රූපවාහිනි නාලිකාවලත් හින්දි, දෙමළ හා ඉංග්‍රීසි සිනමා නිර්මාණ පෙන්වනවා. හැබැයි හුඟක් වෙලාවට පෙන්නන්නේ හද්ද පරණ ඒවා. හිරු නාලිකාවේ නම් බොහෝ වෙලාවට අලුත් ඒවා පෙන්වනවා. නමුත් මොකක් හරි අලුත් චිත්‍රපටයක් ආවොත් බයිස්කෝප් අඩවියේ කට්ටිය ඒකට උපසිරැසි දෙනවා. ඉතිං ඒ සිනමා නිර්මාණ පිළුණු වෙන්න කලින් අපට නරඹන්න පුලුවන් කම ලැබෙනවා. 

අපේ රටේ රූපවාහිනි නාලිකාවලත් චිත්‍රපටි පෙන්නුවත් අපට කවදාවත් සිනමා රසවින්දනයක් ලැබෙන විදිහයට නෙවෙයි ඒවා පෙන්වන්නේ. පැය කාලක්වත් බලන්න ලැබෙන්නේ රටේ නැති වෙළෙඳ දැන්වීම් සහ ඔවුන්ගේ මළවිකාර ඒ අස්සේ අපේ මොලේට ඔබන්න හදනවා. අනෙක ඔවුන් ජවනිකා නවත්තන්නේ අපේ රස වින්දනය ගැන තඹදොයිතුවක්වත් මායිම් නොකර. චිත්‍රපටයක ධාවන කාලය පැය එකහමාරක් නම් අපට රූපවාහිනි නාලිකාවක එය නරඹන්න පැය දෙකහමාරක්වත් යනවා. අන්තිමට අපට චිත්‍රපටය බලන්න එපා වෙනවා. අයිටීඑන් හෙවත් ස්වාධීන රූපවාහිනිය කියන්නේ සවුත්තුම විදිහට තමයි චිත්‍රපටි පෙන්වන නාලිකාවක්. සෙනසුරාදා රෑට මොකක් හරි එකක් පෙන්නනවා. චිත්‍රපටය අවසන් වුණත් නැතත් මහ රෑ 12ට ඔවුන්ගේ පරණ ප්‍රවෘත්ති මඟුලක් පෙන්නන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ප්‍රමුඛත්වය දෙන්න ඕන සිනමා ප්‍රේක්ෂකයාට වුණත් ඔවුන් හවස 7ට පෙන්නපු ප්‍රවෘත්ති මඟුළ ආයේ ඒ වෙලාවට පෙන්නන්න පටන් ගන්නවා. 

මේ ජනාධිපතිවරණය වෙලාවේ ‛ගජිනි’ චිත්‍රපටය පෙන්නුවා. මම හිතන්නේ බලපු අය හිටියා නම් මතක ඇති. අන්තිමේදී චිත්‍රපටය ඉවර කළේ මැදින් කෑලි අඩුකරලා. මේ චිත්‍රපටය කලින් නරඹා තිබුණු නිසා ඒකේ කෑලි කපා දමා ඇති බව තේරුම්ගන්න පුලුවන් වුණා. මේ වගේ බොහෝ නාලිකාවල චිත්‍රපට පෙන්වන්නේ මේ විදිහට මැදින් කෑලි කපලා. ඉතිං අන්තිමේදී අසාධාරණයක් වෙන්නේ ප්‍රේක්ෂකයන්ට. මේ නාලිකාවලට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. චිත්‍රපටය කොහොම පෙන්නුවත් ඔවුන්ගේ වෙළෙඳ දැන්වීම්වලට අදාළ මුදල් ඔවුන්ට ලැබිලා ඉවරයි. 

මෙන්න මේ අසාධාරණවලට ලක්නොවී සිනමා නිර්මාණ නිදහසේ රසවිඳින්න අවශ්‍ය අය වෙනුවෙන් තමයි බයිස්කෝප් වෙබ් අඩවිය නිර්මාණය වුණේ කියලා ඔවුන් ගැන පුවත්පතක ගිය ලිපියක දකින්න ලැබුණා. ඉතිං මේ වගේ හේතු නිසා මට තේරෙන විදිහයට නම් මේ අඩවිය තහනම් කරන්න ඕන වෙලා තියෙන්නේ අපේ රටේ රූපවාහිනි නාලිකාවලටයි. 

ඉතිං, මම නම් මේ වැඩේට ඇත්තටම විරුද්ධයි. මේ පෝස්ට් එකෙන් මම මගේ විරෝධය මේ සයිබර් අවකාශයට මුදාහරිනවා. මේ වැඩේට විරුද්ධ අය ඉන්නවා නම් මේ අසාධරණ වැඩේට විරුද්ධව තමන්ගේ විරෝධය පළකරන්න කියලයි මම ඉල්ලන්නේ. එහෙම වුණොත් මම හිතන්නේ අපට මේ වැඩේ නතර කරගන්න පුළුවන් වෙයි. අනෙක් මේක යහපාලනය ගැන කතා කරන යුගයක්. එවැනි පාලනයක් යටතේ මේ වගේ ‛ගොන්පාට්’ ක්‍රියා සිදුවන්නට විදිහක් නැහැ. මොකද භාෂණයේ නිදහස තහවුරු කරන බව නව පාලකයන් පොරොන්දු වී තිබෙනවා. ජාතික ආරක්ෂාවට, ජාතීන් අතර සමගියට වගේ සමාජ විරෝධී දේ මේ වෙබ් අඩවියේ නැත්නම් රූපවාහිනි මුදලාලිලාගේ නොව බයිස්කෝප් අඩවියේ  භාෂණයේ නිදහස තහවුරු විය යුතුයි.

සූසැටබරණ හෙවත් සිව්සැටබරණ ගැන දන්නවාද? - What is Soosatabarana or Siwsatabarana, the sixty four jewelleries

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්න. ඔටුන්න තමයි සූසැටබරණවලට අයත් ප්‍රධානතම ආභරණය.

‛හැට හතර’ කියන්නේ අපේ රටේ, බොහෝ විට සිංහලයාට සුවිශේෂී අංකයක් කියා තමයි සිතෙන්නේ. මොකද හැට හතර මායම්, හැට හතරක් වූ කලාවන් වගේම හැට හතරක් වූ ආභරණ ආදියත් අපේ සංස්කෘතියේ නිතර කියැවෙන නිසා. මෙයින් මුළින් සඳහන් කළ ඒවා ගැන විස්තර තවමත් හරිහැටි හොයාගන්නට නොලැබුණත් හැටහතරක් වූ ආභරණ, එහෙමත් නැත්නම් ‛සිව්සැට ආභරණ’, සූසැටබරණ’ ගැන විස්තර ටිකක් නම් හොයාගත්තා. දැන් හදන්නේ ඒ හොයාගත්ත දෙය සයිබර් අවකාශයේ සියලු දෙනා සමඟ බෙදාහදාගන්නයි. 

අපේ රටේ ජනප්‍රිය ගායිකාවක් වන නීලා වික්‍රමසිංහගේ ගීතයක් තියෙනවා, ‛සිව්සැටබරණින් සැරසීලා - නා කපනා වැහි වැටෙන වෙලේ’ කියලා. ඒ වගේම අතීතයේදී සූසැටබරණින් සැරසුණු අය් ගැන කතා පොත්පත්වල සඳහන් වෙනවා. අද මේවා නැතත්, දැනගෙන හිටියාට අඩුපාඩුවක් වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි සූසැටබරණ කියා කියන්නේ. 

1. රන්පට
2. රුවන් තෝඩු
3. නාග වඩම
4. කාදු කාප්පු
5. මුතු වැල
6. කච්චොඩම්
7. බාහු අණ්ඩ
8. මිණි කයි වඩම්
9. ගිගිරි වළලු
10. හස්ත මුද්‍රිකා
11. හස්තාංගුලි
12. කයි පෝට්ටු
13. අංගදාභරණ
14. ඒකාවැල
15. කර්ණාවතංශ
16. ග්‍රීවාලංකාර
17. පදක්කම්
18. කර්ණ සූත්‍ර
19. මිණිබන්දි
20. හල් මුතු මාල
21. ගෙල මුතු මාල
22. මිණි මුතු මාල
23. දර්ශන මාල
24. නිල්මිණි මාල
25. රන් මුතු මාල
26. රන්පෙති මාල
27. ලිය රන් මාල
28. වට රන් මාල
29. රුවන් මාල
30. රන් මිණි මාල
31. තුන්කොන් මාල
32. සිව්කොන් මාල
33. ලැම පෝට්ටු
34. මේඛලාදාම
35. පස් රූ
36. පස් පෙරහැර
37. සත් රුවන් මාල
38. රන් හවඩි
39. රිදී හවඩි
40. මුතු හවඩි
41. සත් රුවන් හවඩි
42. රන් මිණි හවඩි
43. නිල්මිණි හවඩි
44. ඌරු බන්ධන
45. ඌරු ජාල
46. ඉණ සැදුම
47. කෙයුරාභරණ
48. මකර පට
49. නළල පට
50. පාද සංකලා
51. පාදාභරණ
52. පාද ජාලා
53. කිංකිණි ජාලා
54. පාදාංගුලි
55. පාද ජංඝා වළලු
56. රන් දම්
57. මුතු දම්
58. සක් දම්
59. රිදී දම්
60. මිණි දම්
61. මුතු හර
62. අවුල් හර
63. අලකාපට
64. ඔටුන්න 

මේවා කොහොම පැළඳගෙන හිටිය ද කියන එක ගැන නම් හොයාගන්න නැහැ. ඒත් මේවා තමයි සූසැටබරණ. 




Thursday, January 15, 2015

ලෝකයේ වැඩියෙන්ම වහින තැන හෙවත් චෙරාපුන්ජි - Cherrapunji, the wettest place on earth



පායන කාලෙට වැස්ස තරම්  වෙන කිසිම දෙයක් හොඳ  නැහැ. වැස්ස කාලෙක පායන එක තරම් කිසිම දෙයක් හොඳ නැහැ. පහුගිය කාලේ අපට පුදුම වැස්සක් වැස්සේ. දැන් පායනවා. වහින කොට වැස්සට පුදුම විදිහයට තමයි බනින්නේ. ඒ වුණත් ලෝකයේ හැමෝම  වැස්සට දොස් කියන්නේ නෑ. වැස්සට හරිම ආදරයක් දක්වන අයත් ඉන්නවා. ඔබට ඉන්දියාවට යන්න අවස්ථාවක් ලැබුණොත් මේ අයව හම්බවෙලා කතා බහ කරලා එන්න පුලුවන්. හැමෝටම එහෙම යන්න අමාරු නිසා අපි ඒ අය ගැන මෙන්න මෙහෙම කතා කරන්න හිතුවා. 




ඉන්දියාවේ නැගෙනහිර පැත්තට වෙන්න ‛මෙඝාලයා’ කියලා ප්‍රාන්තයක් තියෙනවා. මේ ප්‍රාන්තයේ නැගෙනහිර ඛාසි හිල්ස් කියන දිස්ත්‍රික්කයේ චෙරාපුන්ජි කියලා පුංචි නගරයක් තියෙනවා. සොහොරා කියන ඓතිහාසික නමින් හඳුන්වන්නෙත් මේ නගරයම තමයි. මේ නගරය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලෝකයේ තියෙන තෙත් බවින් වැඩිම ස්ථානය ලෙසටයි. මේ මේ නගරයට ඇතුළු වෙන තැනත්, නගරයේ තවත් විශේෂ ස්ථාන කිහිපයකත් මේ බව සඳහන් කරලා තියෙනවා. ඇතැම් ස්ථානවල තියෙන්නේ ලෝකයේ වැඩියෙන්ම වැසි වසින ස්ථානය ලෙසටයි. 


ලෝකයේ එක් එක් ස්ථාන සම්බන්ධව කාලයක් තිස්සේ රැස්කරන ලද කාලගුණ දත්තවලට අනුව එක් කැලැන්ඩර් මාසයක් තුළ වැඩිම වර්ෂාපතනයක් සිදුව ඇති අවස්ථා බොහෝ ගණනක් වාර්තා වන්නේ මෙම ප්‍රදේශයෙන්. ලෝකයේ තෙත් බවින් වැඩිම ස්ථානය මෙය බව පැවසෙන්නේ ඒ නිසයි. සාමාන්‍යයෙන් වාර්ෂිකව මිලි මීටර් 11,000 ඉක්මවූ වර්ෂාපතනයක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වනවා. සාමාන්‍යයෙන් චෙරාපුන්ජිවලට අවුරුද්දේ හැම දවසකම කුමන මොහොතක හෝ වැස්ස ඇද හැළෙනවා. ඒ නිසා කොහේ ගියත් කුඩයක් නිතරම අතේ තියෙන්න ඕන. 
 

බෙංගාල බොක්කට ඉතා ආසන්නයෙන් පිහිටීම සහ වැසි වළාකුළුවලට කිසිදු බාධාවකින් තොරව මෙම ප්‍රදේශයට ළඟාවන්නට ඇති හැකියාව නිසා චෙරාපුන්ජිවලට අධික වර්ෂාපතනයක් ලැබෙන බව පැවසෙනවා. මෙම වැහි වළාකුළු බෙංගාල බොක්කේ සිට මෙම ප්‍රදේශය කරා පැමිණ ඛාසි කඳු හා ගැටෙනවා. ඒ නිසා ඒ වැසි සියල්ල ඇද හැළෙන්නේ මෙම ප්‍රදේශයටයි. මෙම ප්‍රදේශයේ ඇති නොගැඹුරු නිම්න ඔස්සේ අධික වේගයෙන් හමන සුළඟ නිසා මෙසේ පැමිණෙන වැහි වළාකුළු මුළු ප්‍රදේශය පුරාම ගමන් කරනවා. අවසන් ප්‍රතිඵලය තමයි මුළු ප්‍රදේශයම නිතරම වර්ෂාවෙන් යුක්ත වීම. 



චෙරාපුන්ජි කියන්නේ ලෝකයේ සංචාරක ආකර්ෂණය ඇති එක් ස්ථානයක්. ඒ මෙය ලොව වැඩිම වර්ෂාපතනය සහිත ස්ථානය නිසා විතරක් නෙවෙයි. මෙහි නරඹන්නට තවත් බොහෝ ස්ථාන ඇති නිසයි. අධික වර්ෂාපතනය ඇති නිසා විවිධ දිය ඇලි බොහෝ ගණනක් මෙහි දකින්නට ලබෙනවා. මේවා අතුරින් නෝකලිකායි ඇල්ල, සෙවන් සිස්ටර්ස් ඇල්ල, මවුස්මායි ඇල්ල, ඩේන්ත්ලේන් ඇල්ල ආදිය විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ වාගේම ක්‍රෙම් මවුම්ලු ලෙන, නොක්රෙක් ජාතික වනෝද්‍යානය වැනි බොහෝ වෙනත් ස්ථාන ද පවතිනවා. සංචාරකයන් අතර සෑහෙන ජනප්‍රිය ස්ථානයක් වුණත්, මෙහි විශාල වශයෙන් පහසුකම් අපේකෂා කළ නොහැකියි. කෙසේ නමුත් නවාතැන් පහසුකම් සොයාගැනීම එතරම් අපහසුවන්නේ නැහැ. චෙරාපුන්ජි හොලිඩේ රිසෝට් කියන්නේ මෙය කරා යන බොහෝ සංචාරකයක් අතර ජනප්‍රිය ස්ථානයක්. ඊට අමතරව කෝනිෆරස් රිසෝට්, පාලා රිසෝට්, සාරා රෙසිඩන්සි ඇතුළු තවත් ස්ථාන කිහිපයක්ම තිබෙනවා. 


චෙරාපුන්ජි කියන්නේ ඉන්දියාවේ නාගරික ප්‍රදේශවලින් බොහෝ දුරින් පිහිටි ස්ථානයක්. ඔබ යම්කිසි අවස්ථාවක මෙහි සංචාරය කරන්නට බලාපොරොත්තුවනවා නම ඒ විස්තර දැන සිටිමත් වැදගත්. චෙරාපුන්ජි කරා ඔබට ළඟාවන්නට අවශ්‍ය නම් ඒ සඳහා වඩාත්ම උචිත මාර්ගය ඇත්තේ චෙන්නායි හරහායි. එයට හේතුව අප රටේ සිය වඩාත් ඉක්මණින් ළඟවිය හැකි ඉන්දීය ගුවන් තොටුපල වන්නෙ චෙන්නායි නිසයි. චෙන්නායි සිට චෙරාපුන්ජි දක්වා දුර කිලෝමීටර් 2,800ක් පමණ වනවා. ඒ නිසා වාහනයකින් ගමන්කිරීම සඳහා දින 2කට ආසන්න කාලයක් ගතවෙනවා. නමුත් ගුවන් යානයකින් ගමන් කරනවා නම් පැය 12කින් පමණ යා හැකියි. දුම්රිය සේවයක් මේ පළාතට නොමැතිවීම මෙය කරා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව අඩුවීමට හේතු වී තිබෙනවා. 


ඔබට මෙය කරා යාමට හැකියාව නැතත් මේ පිළිබදව දැනසිටීම ඉතා වැදගත්. එයට හේතුව චෙරාපුන්ජි ලෝකයේ වැඩියෙන්ම වර්ෂාපතනය පතිත වන ප්‍රදේශය මෙය නිසයි. ඒ නිසා ඔබ යම් විදිහකින් චෙරපුන්ජි යනවා නම් කුඩයක් අරන් යන්න නම් අමතක කරන්න එපා. 






රූපවාහිනියටත් අකුරු වරදියි - National Channel mispelled a news



සුවිශේෂී වගකීමකින් යුක්තව ජනතාව වෙත තොරතුරු ඉදිරිපත් කළ යුතු ආයතන අතුරින් එකක් වන්නේ මාධ්‍ය ආයතනයන්ය. නමුත් මෑතක සිට බොහෝ මාධ්‍ය ආයතන වෙතින් එම වගකීම ගිළිහී යමින් පවතින අයුරු විවිධ සිදුවීම් ඔස්සේ දක්නට හැකිය. එක් අවස්ථාවක සිරස ඔස්සේ ‛හදිසි නීතිය’ වෙනුවට ‛ඇඳිරි නීතිය’ යන වදන ඉදිරිපත්කිරීම නිසා එහි ප්‍රවෘත්ති විකාශනය කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබිණි. ආසියානු ගුවන් විදුලි ජාලයේ එක් ගුවන් විදුලි නාලිකාවක වෛද්‍ය ගැටළු වැඩසටහනක් සඳහා මාධ්‍ය විසින් භාවිත නොකළ යුතු අන්දමේ වදන් පරිහරණය කිරීම නිසා සමස්ත මාධ්‍ය ජාලයම තාවකාලික තහනමකට ලක්විය. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ මාධ්‍ය ඇමතිව සිටි ඒ.ජේ.රණසිංහ මහතා විසින් එක් ටෙලි නාට්‍යයක් තහනම් කළේ මාධ්‍ය ආයතන නිලධාරීන් සිය වගකීම පැහැර හරිමින් නිදන කාමරයක දර්ශන ඉදිරිපත් කළේ යැයි චෝදනා කරමිනි. මීට අමතරව අද බොහෝ පෞද්ගලික මෙන්ම ජාතික මාධ්‍ය ද සිය මාධ්‍ය වගකීම පිළිබඳ කිසිවක් නොතකමින් ක්‍රියාකරනු දැකිය හැකිය. මේ සඳහා බොහෝ උදාහරණ සොයාගත හැකි අතර මෙය එයට අවස්ථාවක් නොවේ. 





මේ පවසන්නට සැරසෙන්නේ 2015-01-15 වැනි දින ජාතික රූපවාහිනි ඔස්සේ විකාශනය වුණු එක් ප්‍රවෘත්ති විකාශනයක් අතරතුර දුටු දෙයක් පිළිබඳවය. රූපවාහිනි තිරයේ පහළින් විවිධ ප්‍රවෘත්තිය පළවෙයි. එහි එක්වරම දිස්වූයේ ‛හජ් වහන්සේ දිවයිනෙන් නික්ම යයි’ යන්නය. එය කිහිප වරක්ම දිස්විය. ‛හජ් වහන්සේ’ වැනි පුද්ගල නාමයක් මා පෞද්ගලිකව නොදන්නා අතර මෙය කියවන අයෙක් ඒ පිළිබඳ දන්නේ නම් ඒ පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි. මා සිතනා පරිදි මෙහි ‛හජ් වහන්සේ’ යැයි සඳහන් කරන්නට ඇත්තේ ‛පාප් වහන්සේ’ යන්නට විය හැකිය. එය එසේ නම් ජාතික මාධ්‍යක් තමා ඉදිරිපත් කරන තොරතුර සම්බන්ධව වගකීමක් නොදරන බැව් පැවසීමේ වරදක් නැත. යමක් අක්ෂර සංයෝජනය කළ පසු එය නිවැරදිදැයි පරීක්ෂාකිරීම සඳහා සාමාන්‍යයෙන් මාධ්‍ය ආයතනවල සෝදුපත් පරීක්ෂකවරු සිටිති. ජාතික රූපවාහිනියේ නැතැයි සිතිය නොහැකිය.  නොඑසේ නම් ඔවුන් මේවා පරීක්ෂා කරන්නේ අපරීක්ෂාකාරීව විය හැකිය. කෙසේ මුත් ජාතික මාධ්‍යයක් ජනතාවට තොරතුරු ඉදිරිපත් කිරීමේදී මෙයට වඩා පරීක්ෂාකාරී විය යුතු යැයි කිව යුතුය.

Wednesday, January 14, 2015

ෆේස්බුක් තියෙන්නේ ෆන් ගන්නද? - Does Facebook just for fun?



සාමාන්‍යයෙන්  වැඩිහිටි පරපුර සිය තරුණ දුවා දරුවන් සම්බන්ධව කටයුතු කරන්නේ අතිශය කල්පනාකාරී ආකාරයෙනි. එය ඇතැම්විට අප සංස්කෘතියත්  හා බැඳුණු දෙයක් විය හැක. නමුත් කාලයත් සමග සියලු දෙය වෙනස් වෙයි. වර්තමානයේ අප දකින්නේ මීට දශක කිහිපයකට පෙර අප දුටු තරුණ පරපුර නොවේ. එකල සිටියේ සාම්ප්‍රදායික තරුණ පරපුරකි. බොහෝ දෙනෙක් තම වැඩිහිටියන් සිතන පතන ආකාරය ඉක්මවා නොගිය තරම්ය. නමුත් වර්තමාන පරපුර එසේ නොවේ. ඔවුන් ලෝකය දකින්නේ තම වැඩිහිටියන් දුටු හෝ දකින ආකාරයට නොවේ. ඔවුනගෙන් බහුතරයක් සියලු දෙයම ඉතා සියුම්ව, විශ්ලේෂණාත්මකව දකින බැව් පැහැදිලිව පෙනෙන දෙයකි. වැඩිහිටියන්ගේ වගකීම වන්නේ ඔවුන්ගේ මෙම දැක්ම නිසි පරිදි අවබෝධ කොට ගැනීමය.

තරුණ පරපුර අන්තර්ජාලය, සමාජ වෙබ් ජාල සමග ඇති දැඩි සබඳතාවය පිළිබඳ වැඩිහිටියන් මෙන්ම දේශපාලඥයන් ද දොස් පවරනු පසුගිය කාලය පුරාම දකින්නට ලැබුණු දෙයකි. යම් යම් සමාජ වගකීම් පිළිබඳ මෙම වෙබ් අඩවි හරහා විවිධ මට්මෙන් කෙරෙන සංවාද දෙස වැඩිහිටි පරපුර බැලුවේ අවඥා සහගතවය. මෙම සමාජ ජාල වෙබ් අඩවි නතර කළයුතු බවට ද අදහස් ඉදිරිපත් විණි. නමුත් තව දුරටත් එවැනි මතයක සිටීම වලංගු නොවන බව මෙවර ජනාධිපතිවරණය මැනවින් සනාථ කළේය. මෙවර ජනපතිවරයා තෝරාගැනීම සඳහා තීරණාත්මක වූ ඡන්දදායකයන් අතර සිය කුළුඳුල් ඡන්දය පාවිච්චි කළ තරුණ තරුණියෝ බොහෝ ගණනක් වූහ. තමන්  ඡන්දය ලබාදිය යුත්තේ කුමන අපේක්ෂකයාට ද යන්න ඔවුන් අතර සංවාද ඇති කරගත්තේ බොහෝ වැඩිහිටියන්ගේ ගැරහුමට ලක්වූ සමාජ වෙබ් අඩවි ඔස්සේය. අවසානයේ සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වූ අදහස් ජනපතිවරණයට බලපෑ අයුරු පැහැදිලිවම දක්නට හැකිවිය. හිටපු ජනපතිවරයා පවා මෙම සමාජ වෙබ් අඩවි පිළිබඳව විවේචන සහිතව කතා කරනු දක්නට ලැබුණේ තරුණ පරපුරේ තීරණ ගැනීමේ සාධකයක් ලෙස මේවා සෑහෙන දායකත්වය දක්වන බව පෙනෙන්නට තිබූ නිසාවෙනි.

නමුත් තරුණ පරපුර අතර ඇති මෙම ආකල්ප අවඥාවෙන් ඉවත හෙළන ආකාරයේ මැතිවරණ දැන්වීමක් පසුගිය කාලය පුරාම දක්නට හැකිවිය. එයින් ඉස්මතු කරන්නට උත්සාහ ගත්තේ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි ඇත්තේ විනෝදාශ්වාදය උදෙසා මිස රටක අනාගතය තීරණය කිරීමට නොවන බවය. එහි එම අදහස ඉදිරිපත් කළේ “ෆේස්බුක් තියෙන්නේ ෆන් ගන්න” වැනි වදනකිනි. නමුත් එය එසේ නොවන බව තහවුරු කිරීමට ඕනෑවටත් වඩා සාධක ලැබී තිබේ.

පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා මාධ්‍යවල ආන්දෝලනයයකට ලක් වූ සිදුවීමක් මෙහිදී සඳහන් කළ හැකිය. ඒ ‛අරාබි වසන්තයයි’. මැදපෙරදිග රටවල පැවති පාලන තන්ත්‍ර බිඳ දමා නව පාලන තන්ත්‍ර ඇතිකරන්නට හේතු වූයේ මෙසේ පැන නැගුණු අරාබි වසන්තයයි. පාලන තන්ත්‍ර බිඳවැටී නව රජයයන් පත්වීමට මෙය ඉවහල් විය. මෙම අරාබි වසන්තය සඳහා මහඟු මෙහෙයක් ඉටු කළේ සමාජ ජාල වෙබ් අඩවි ය. ඒවා ඔස්සේ තරුණ හුවමාරු වූ අදහස් මෙම රටවල් දැවැන්ත අරගල සඳහා ඉමහත් දායකතක්වයක් සපයනු පෙනුණි. මෑතක් වන තුරුම අප රටේ සමාජ ජාල වෙබ් අඩවි මේ සඳහා දායකත්වයක් නොදැක්වුව ද මෙවර එය වෙනස් විය. සමාජ ජාල වෙබ් අඩවිවලින් දැක්වූ මතය අවසානයේ රටේ ජාතික මතය වන තරමට දුරදිග ගියේය. ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මිනිසුන් අතරට ගමන් නොකරන, රජයේ වංචා, දූෂණ  සිදුවීම් සීමා මායිම් නොමැතිව සමාජ වෙබ් ජාල තුළ දක්නට හැකිවිය. මේවා ඔස්සේ මෙසේ තොරතුරු හුවමාරු වීම සිය පාලන තන්ත්‍රවලට තර්ජනයක් බව පාලකයන්ම ඇතැම් අවස්ථාවල අදහස් දක්වනු පෙනුණි. මේ සියල්ල බලපෑවේ තරුණ ඡන්දවලටය. මෙවර නව ජනපතිවරයා බිහිකිරීම සඳහා මෙම තරුණ ඡන්ද දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය.

අතීතයට දෙස විපරම් කොට බැලුවහොත් අපට පැහැදිලිව පෙනෙන දෙයක් වන්නේ මැතිවරණයකදී තරුණ පරපුර බොහෝ විට හැසිරී ඇත්තේ සිය වැඩිහිටි හා ප්‍රභූ පරපුරේ මතය අනුව බවය. නමුත් වර්තමාන පරපුර එසේ නොවේ. ඔවුන් ස්වාධීනව කටයුතු කරනු දක්නට හැකිවිය. සිය වැඩිහිටියන් එක් දේශපාලන මතවාදයක් දරන විට තරුණයන් දැරුවේ ඊට ඉඳුරාම වෙනස් මතවාදයකි. ඔවුන්ට මෙසේ ස්වාධීන වන්නට මග හෙළිකළේ අන්තර්ජාලය හා සමාජ ජාල වෙබ් අඩවිවලින් ඔවුන් ලබාගත් දැනුමය. අතීතයේ පැවති වැඩවසම් මානසිකත්වයෙන් මිදෙන්නට ඔවුන්ට ඉවහල් වූ සාධකය මෙයයි.  තරුණ පරපුර කිසිවකුගේ අතකොලුවක්වීමට කැමැති නැත. ඔවුහු ස්වාධීනව සමාජයේ ඉහළ තැනකට යාමට සිහින මවති. මෙය ගෝලීය වශයෙන් පොදු ප්‍රවණතාවයක් වන අතර ඔවුන්ට ඒ සදහා ඉඩහසර ඕනෑ තරම් විවරව තිබේ. මෙය දේශපාලකයන් විසින් උදාකළ දෙයක් නොවේ. එසේ සිතීම ද අප නැවත වැඩවසම් ක්‍රමය වෙත තල්ලුකරන මානසිකත්වයක් නිර්මාණය කරයි. වැඩිහිටියන් අවබෝධකොට ගත යුත්තේ මෙම ප්‍රවණතාවයයි. එය තේරුම් නොගතහොත් සිදුවන්නේ වැඩිහිටි පරපුරට වර්තමාන සමාජය තුළ ලැබිය යුතු පැවැත්ම හා ගෞරවය නොලැබී යාමය. මෙවර මැතිවරණ ප්‍රතිඵලය තුළින් අපට ලබාදෙන එක් පණිවිඩයක් වන්නේ මෙයයි. අන්තර්ජාලය හා බැඳුණු තරුණ පරපුරේ මෙම ප්‍රවණතාවයන්ට අකුල් හෙළන්නට වැඩිහිටියන් හෝ දේශපාලඥයින් සිතනවා නම් අවසානයේ පරාජයට පත්වන්නේ වැඩිහිටියන් සහ දේශපාලඥයන්ය.



Tuesday, January 13, 2015

ජින්සෙන්ග් කියන්නේ මේවා තමයි - What is ginseng? What is ginseng used for?



ලොව වඩාත් ජනප්‍රියතම ඖෂධ පැළෑටිය කුමක්දැයි යමෙකු ඇසුවහොත් එසේ ලැබෙන පිළිතුරුවලින් එකක් වනු ඇත්තේ ‛ජින්සෙන්ග්’ (Ginseng) ය. එය එතරමටම ලොව පුරා ප්‍රචලිතය. ජින්සෙන්ග් යනු එකිනෙකට වෙනස් විශේෂ 11 කින් සමන්විත බහුවාර්ෂික පැළැටියකි. මාංශමය මුල් (අල) සහිත මෙය Panax  ගණයටත් Araliaceae කුලයටත් අයත් වේ. මෙහි මුල් හෙවත් අල ගෑරුප්පුවක අඬු ආකාරයෙන් පිහිටා තිබේ. ඒවා බොහෝ විට මිනිසුන්ගේ කකුල්වලට සමාන ස්වභාවයක් ඇත. කඳ තරමක් උස්ව වැඩෙන මෙහි ඕවාලාකාර පත්‍ර පිහිටා තිබේ. අපගේ සෞඛ්‍යය යහපත් අයුරින් පවත්වාගෙන යන්නට ජින්සෙන්ග් මහත් සේ උපකාරීවන බැව් සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. 


ජින්සෙන්ග් වැඩි වශයෙන් දැකිය හැක්කේ උතුරු අර්ධගෝලයට අයත් සීත දේශගුණයක් ඇති රටවලය. උතුරු ඇමරිකාව, කොරියාව, ඊසානදිග චීනය, භූතානය සහ නැගෙනහිර සයිබීරියාව වැනි ප්‍රදේශවල මෙය බහුලව දක්නට ලැබේ. වියට්නාමයෙන් ද ජින්සෙන්ග් වර්ගයක් හමුවී ඇති අතර වඩාත්ම දකුණට වන්නට එම පැළෑටිය හමුවූ එකම අවස්ථාව මෙය වේ. 




Ginseng යන ඉංගිරිසි වදන බිඳී ඇත්තේ ‛රෙන්සෙන්’ (rénshēn ) නම් චීන පදයෙනි. මෙහි Rén  යන්නෙහි අරුත ‛පුද්ගලයා’ වන අතර shēn යන්නෙහි අරුත ‛අලය’ වැන්නක් වේ. ගෑරුප්පු හැඩයේ අල මිනිසුන්ගේ දෙපාවලට සමානකමක් දැකිවීම මෙවැනි නමක් ඇතිවන්නට හේතුවී තිබේ. 


චීනයේ මන්චූරියා කඳු ආශ්‍රිතව මෙම පැළැටිය බහුලව වර්ධණය වේ. එම ප්‍රදේශයේ මෙය යොදාගනු ලබන්නේ වාජීකරණ ඖෂධයක් ලෙසිනි. ජින්සෙන්ග් ඖෂධයේ ප්‍රයෝජන ක්‍රි.ව. 220 - 589 අතර පැවැති ලියාන්ග් රාජවංශය සමයේ ලේඛණගත කෙරී ඇත. චීන අධිරාජයන් මෙය ඖෂධයක් ලෙස පමණක් නොව සබන් හා ක්‍රීම් වශයෙන් ද ප්‍රයෝජන ගෙන ඇති බව සඳහන්ය. 




මෙහි අලය සම්පූර්ණයෙන්ම හෝ පෙති වශයෙන් හෝ වියළාගැනීමෙන් පසු ඖෂධ වශයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. මෙහි කොල ද ඇතැම්විට අල සමග භාවිතයට ගනු ලබයි. ශක්තිජනක පානවලට ද ජින්සෙන්ග් යම් මාත්‍රාවකින් අඩංගු කරයි. රූපලාවන්‍ය ද්‍රව්‍ය නිපදවීමේදී ද ජින්සෙන් යොදාගනු ලැබුව ද එහි ප්‍රතිඵළයක් නොමැති බැව් පෙනෙන්නට තිබේ.

වසර දහස් ගණනක් තිස්සේ ජින්සෙන්ග් ඖෂධයක් ලෙස භාවිත වුව ද මෙහි ඇතැයි පැවසෙන ගුණය පිළිබඳව තවමත් නියමාකාරයෙන් පර්යේෂණයක් කෙරී නැත. එමෙන්ම කරගෙන යනු ලබන පර්යේෂණ ද තවමත් නිමාවට පත්ව නැත. එක් අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ සයිබීරියානු ජින්සෙන්ග් අල දෛනිකව පරිභෝජනයට ගැනීමෙන් සුදු රුධිරානු වර්ධණය වේගවත්වන බවය. යම් ශරීරයක් වෛරස් ආසාදනයකට ලක්ව ඇතිවිට ජින්සෙන්ග් ඖෂධයක් ලෙස ගැනීමෙන් මෙම ආක්‍රමණික වෛරස් විනාශව යන බැව් සොයාගෙන තිබේ. 




ජින්සෙන්ග් ලෝකයේ බොහෝ දෙනෙකු අතර ජනප්‍රියව ඇත්තේ වාජීකරණ ශක්තිය හෙවත් ලිංගික ශක්තිය ඇතිකරනා ඖෂධයක් ලෙසය. සියවස් ගණනාවක් තිස්සේ මෙහි ඇති ලිංගික ශක්තිය ඇතිකිරීමේ බලය, තරුණභාවය ඇතිකිරීමේ බලය පිළිබඳ බොහෝ දෙනෙකු දැන සිටියහ. ගැහැනු පිරිමි භේදයකින් තොරවම ලිංගික ශක්තිය ඉහළ දමන්නට මෙයට අපූරු හැකියාවක් ඇතැයි විශ්වාස කෙරේ. මේ හේතුව නිසාම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ජින්සෙන්ග්වලින් නිපදවන ලද ඖෂධ වර්ග සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ජින්සෙන්ග්වල සැබැවින්ම ලිංගික ශක්තිය වර්ධණයකිරීමේ ගුණයක් පවතීද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ විවිධ පර්යේෂණ සිදුවී තිබේ. සතුන් සම්බන්ධව කළ පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ ආසියානු කලාපයේ වැවෙන ජින්සෙන්ග්වලින් පිරිමි සතුන්ගේ ලිංගික අප්‍රාණිකත්වය සඳහා  සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බවය. නමුත් එය මිනිසුන් සඳහා ද මේ ආකාරයෙන්ම ක්‍රියාකරයි ද යන්න පිළිබඳ පැහැදිලි සාධක සොයාගන්නට නැත. සතුන්ගේ ලිංගිකකත්වයට වඩා මිනිසුන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වය සංකීර්ණබවින් වැඩිය. එබැවින් ජින්සෙන්ග් මගින් සතුන් කෙරෙහි ඇතිකරන බලපෑම මිනිසුන් කෙරෙහි ඇති කරන්නේදැයි යන්න පිළිබඳ ඇත්තේ සැකයකි. කොරියාවේ දී පුරුෂයින් අළලා මේ සම්බන්ධව අධ්‍යයනයක් 7ක් සිදුකෙරී ඇති අතර කොරියාවේ ඇති රතු ජින්සෙන්ග් මගින් ඇතැම් පුරුෂයින්ගේ ලිංගික අප්‍රාණිකත්වය තුරන් කිරීම සඳහා යම් පමණකට දායකත්වයක් දැක්වූ බව පෙන්නුම් කෙරිණි. නමුත් එපමණකින්ම මේ පිළිබඳව අවසන් තීන්දුවක් ලබාදීමට හැකියාවක් නැත. 




ඉන්සියුලින් මගින් ප්‍රතිකාර ගන්නා දියවැඩියා රෝගීන්හට එවැනිම ප්‍රතිඵලයක් ඇමරිකානු ජින්සෙන්ග්වලින් ලැබෙන බැව් හෙළිවී තිබේ. ආතතිය හා ශීඝ්‍ර හෘද ස්පන්ධනය ඇති රෝගීන්ට ජින්සෙන්ග්වලින් යහපත් ප්‍රතිඵල අත්වන බැව් සොයාගෙන තිබේ. ජින්සෙන්ග්වල රුධිරයේ උකුබව අඩුකරනා රසායනයක් අඩංගු බැව් සොයාගෙන ඇති හෙයින් මෙය වෛද්‍ය උපදේශයකින් තොරව ගැනීම ද සුදුසු නැත. 


සිරුරේ බර අඩුකරගැනීම සඳහා ද ජින්සෙන්ග්වලින් උපකාර ලැබිය හැකිය. ජින්සෙන්ග් ගෙඩිවලින් ලබාගන්නා සාරය තරබාරුබවට හා බර පාලනය කිරීමට මහඟු උපකාරයක්වන බැව් සොයාගෙන තිබේ. එමෙන්ම අධික ලෙස ආහාර ගැනීම පාලනය කිරීමේ ගුණයක් ද මෙය සතුය. 


ශරීර ශක්තිය වර්ධණය කරන්නට ද ජින්සෙන්ග්වල ඇත්තේ අපූරු හැකියාවක් යැයි පැවසේ. ක්‍රීඩකයන්ට ඔක්සිජන් වඩාත් ඵලදායක ලෙස යොදාගනිමින් ශක්ති මට්ටම ඉහළ නංවාගන්නට මෙයින් පිටිවහළක් ලැබේ. ක්‍රිඩාකිරීමෙන් පසු ඇතිවන ශාරීරික වෙහෙස වඩාත් ඉක්මණින් අඩුකරගැනීමට ජින්සෙන්ග් උපකාරී වෙතැයි පැවසේ. ජින්සෙන්ග් පානය කිරීමෙක් මොලයේ සෛල උත්තේජනය වී චිත්ත ඒකාග්‍රතාවය හා සිතීමේ හැකියාව ද වර්ධණය වන බැව් සොයාගෙන තිබේ. 


මාසික ඔසප්වීමේ විවිධ ගැටලු සමනය කරගන්නට ඇමරිකානු ජින්සෙන්ග් පානය යෝග්‍ය බැව් පැවසේ. මාසික ඔසප්වීම ආශ්‍රිතව ඇතිවන උදරයේ වේදනාව සමනය කිරීමට මෙම පානය ඉවහල්වන බව ප්‍රචලිත මතයකි.