පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, September 11, 2020

ප්‍රේමයට සමුදීමේ අපූරුව



නිතර ගීත රස විඳින මට නොයෙක් විදියේ ගීත හමුවෙනවා. මේවා ගැන විචාරයක් නොවුනත් මට ඒවා ගැන හිතෙන විදිය ගැන ලියන්න හිතුණු අවස්ථා බොහොමයි. එහෙම ඉන්න අතරේ තමයි මට මෙන්න මේ ගීතය අහන්න ලැබුණේ.

පි - සමුගන්නට අවසරයි

ගැ - අවසරයි අවසරයි

පි- මගේ හිත මට දෙන්නකෝ

ගැ - ඔබෙ හිත අරගන්න අවසරයි...//

 

පි - තව ලඳකට මේ හිත පුද දෙන්න -

ගැ - අවසරයි

පි - අත් හැර ඔබෙ අත් ඇගෙ අතගන්න අවසරයි -

ගැ - අවසරයි

පි - තුන් හිතකින්වත් ඔබ නොපෙනෙන්න අවසරයි -

ගැ - අවසරයි

පි - ලස්සන යුග දිවි පෙවෙතක යන්න

ගැ - අවසරයි

අවසරයි අවසරයි

 

පි - සමුගන්නට අවසරයි

ගැ - අවසරයි අවසරයි

පි- මගේ හිත මට දෙන්නකෝ

ගැ - ඔබෙ හිත අරගන්න අවසරයි

 

පි - පෙම් ලොව විසිතුරු ඇය හා විඳින්න -

ගැ - අවසරයි

පි - රන් සමනල ලෝකයකට යන්න අවසරයි -

ගැ - අවසරයි

ගැ- ඒ ලොව හිඳ මා හිත රිදවන්න  අවසරයි

ගැ - මග වැරදුණු දා මා‍ වෙත එන්න අවසරයි

 

පි - සමුගන්නට අවසරයි

ගැ - අවසරයි අවසරයි

පි- මගේ හිත මට දෙන්නකෝ

ගැ - ඔබෙ හිත අරගන්න අවසරයි...//


කාලයක් දැඩිව ආදරය කරලා ඒ ආදරයෙන් සමුගන්න පෙම්වතියගෙන් අවසර ඉල්ලන කතාවක් මේ ගීතයෙන් අහන්න ලැබෙනවා. මේ වගේ අත්දැකීම් මේ මානව සංහතිය පුරාම අහන්න ලැබුණු දෙයක් නිසා මේක අමුතු අත්දැකීමක් නෙවෙයි. ඒත් ඒ අත්දැකීම ප්‍රේමකීර්ති ද අල්විස් අතින් ලියැවිලා වික්ටර් රත්නායකයන් තනුවක් යොදලා නිරංජලා සරෝජිනී එක්ක ගායනා කරද්දි අපූරු අත්දැකීමක් ලැබෙන බව දැනෙනවා. පෙම්වතා හදන්නේ හැමදෙයක්ම අමතක කරලා, පරණ  ප්‍රේමයට ඉක්මනින් සමුදීලා අලුත් පෙම්වතියක් එක්ක යුග දිවියට යන්න. ඔහුගේ වචනවල තියෙන්නේ ඉක්මනින් සමුඅරගෙන යන්න හදිස්සියක්. නමුත් පෙම්වතිය ඉන්නේ ලොකු බරකින්. ඇයට මේ ප්‍රේමයට සමුදෙන්න ඕනකමක් නෑ. නමුත් පෙම්වතාගේ තීරණයට විරුද්ධ වෙන්නත් බෑ. ඒ නිසා පෙම්වතාට තමාව හැර ගිහින් ඔහු කැමති නිදහස විඳින්න පූර්ණ නිදහස දෙන්න ඇය කැමැති වෙනවා. ඒ විතරක් නෙවෙයි ගිහින් ඔහුට ඕන නම් තමාගේ වැරදි අඩුපාඩු ලෝකය එක්ක කියලා තමාගේ හිත රිදවන්නත් අවසර දෙනවා. පෙම්වතා තමාව හැරදාලා වෙනත් ප්‍රේමයක් හොයාගෙන ගියත් ඇය ඒ වගේ චපල හිතක් ඇති පෙම්වතියක් නොවෙන බව කියන්න ගීත රචකයා උත්සාහ දරනවා.

මග වැරදුණු දා මා‍ වෙත එන්න අවසරයි

කියා ඇය අන්තිමට කියන්නේ ඒ කතාව. ඇගේ හිත රිදවන්න අවසර දෙන ගමන් ජීවිතේ වැරදිලා ආපහු තමාව හොයාගෙන එන්න ඕන නම් එයටත් අවසර දෙන්න ඇය තුළ ඇති කැමැත්ත ගැන දැනගන්න පෙම්වතා ගොළු වෙනවා. ඔහුට ඒ ගැන කිසිවක් කියා ගන්න බැරි වෙනවා. සංගීතඥයකු විදියට වික්ටර් රත්නායකයන් පෙම්වතාගේ ගොළුවත කදිම තනුවක් ඔස්සේ අපට හඟවනවා.

කිත්සිරි නිමල් ශාන්ත ලියා,  රෝහණ වීරසිංහගේ සංගීතයට නන්දා මාලිනිය ගියන ආදරයේ වේදනාව හිතට දැනුණු යම් දවසක හුදකලාව නොතැවී යලි එන්න මා සොයා ගීතයේ පෙම්වතියත් මේ කතාවම කියනවා.

මේ ගීතයෙන් පස්සේ තවත් ගීතයක් මට ඇහුණා. ඒ කුලරත්න ආරියවංශ ලියා, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට සනත් නන්දසිරි ගායකයාණන් ගයන මෙන්න මේ ගීතය.


අනවසරයෙන් වෙන්ව යනු මැනවී

ඔබට අභිමත නම්

සපත කරවූ සදාකාලික ස්නේහයෙන්

සමු දෙමිද කෙලෙසින්

සමුගමිද කෙලෙසින්

අනවසරයෙන් වෙන්ව යනු මැනවී

 

ඉන්ද්‍රචාපය ලෙසින් ආකාසේ

පෙනී නොපෙනී සැඟව යනු මැනවී ...//

 

විරාමය දී සෙනෙහසට සිත සෙල් කුළක් කරමීන්

සමු දෙමිද කෙලෙසින්

සමුගමිද කෙලෙසින්

අනවසරයෙන් වෙන්ව යනු මැනවී

 

චන්ද්‍රිකාවිය විලස රෑ යාමේ

දැනී නොදැනී මැකී යනු මැනවී ..//

 

කඩා නටුවෙන් මලක් සුළඟට මුදාලන අයුරින්

සමු දෙමිද සිතකින්

සමුගමිද කෙලෙසින්

 

අනවසරයෙන් වෙන්ව යනු මැනවී

ඔබට අභිමත නම්

සපත කරවූ සදාකාලික ස්නේහයෙන්

සමු දෙමිද කෙලෙසින්

සමුගමිද කෙලෙසින්

අනවසරයෙන් වෙන්ව යනු මැනවී

ඒ ගීතයේ තියෙන්නෙත් ප්‍රේමයට සමුදීමක්. හැබැයි එතැනදි සමුගන්නේ පෙම්වතිය බව පේනවා. කලින් ගීතයේ පෙම්වතියගේ අවසරයෙන් (කැමැත්තෙන් නෙවෙයි) සමුගන්න පෙම්වතකේ ගැනයි කියවුණේ. නමුත් මේ ගීතයේ පෙම්වතාගේ කිසිම අවසරයක් නැතිව සමුගත්ත පෙම්වතියක් ගැනයි කියවෙන්නේ. පෙම්වතියට කැමති නම් වෙන්ව යන්න කියලා ඔහු අවසර දෙනවා. ඒත් එකපාරටම සමුදෙන්න එපා කියලා ඔහු ආයාචනා කරනවා. හිත හදාගන්න ඔහුට කාලය ඕනෑ කියලා කියනවා. කොහොම වුනත් කවදාවත් අතහැරලා යන්නේ නෑ කියලා පොරොන්දු වුණු කෙනෙක්ට මෙහෙම සමුගන්න පුළුවන්ද කියලා පෙම්වතා අහනවා.

ප්‍රේමයට සමුදුන් අත්දැකීම් ඇති සරච්චන්ද්‍රයන්ගේ මළ ගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා නවකතා දෙකත් මේ වෙලාවේ මතකයට එනවා.

ඉතින් මේක තමා ප්‍රේමයට සමුදීමේ අපූරුව.

ගව ඝාතන තහනම ගව සම්පත රැකගැනීම සඳහාමද?

 



ගව ඝාතනය තහනම් කිරීම පිළිබඳ කතිකාවතක් මේ දිනවල සමාජගතව පවතින අතර දේශපාලන වශයෙන් ද ඒ සඳහා යම් තීරණ ගැනීමට නියමිත බව පෙනෙන්ට තිබේ. කෙසේ වෙතත් අප රටේ බහුතරයක් සිටින්නේ බෞද්ධයින් වුව ද, බුදු දහමෙන් ප්‍රාණඝාතයේ ආදීනව හොඳින් පැහැදිලි කොට දී තිබුණ ද, බෞද්ධයන් ඇතුළු බොහෝ දෙනෙක් මාංශ පරිභෝජනයෙන් නම් ඈත්වී ඇති බවක් නම් නොපෙනේ. කෙසේ නමුත් අසරණ සතුන් මරා ආහාර පිණිස ගැනීම පිළිබඳ සමාජය තුළ ඇති විරෝධයේ ද අඩුවක් නැත. විශේෂයෙන් පසුගිය කාලය පුරාම ගව ඝාතනයට එරෙහි ව්‍යාපාර දිනෙන් දින වර්ධකය වෙමින් පැවතිණි. මේ ව්‍යාපාරවල බලපෑම නිසා හෝ අප නොදන්නා වෙනත් හේතුවක් නිසා හෝ අප රට තුළ ගව ඝාතනය කිරීම තහනම් කිරීමේ තීරණයකට මේ වන විට එළැඹ තිබේ.

විවිධ ආකාරයෙන් ලැබෙන සංඛ්‍යාලේඛනවලට අනුව දිනකට අවම වශයෙන් අප රටතුළ ගවයින් 5000ක් පමණ මස පිණිස මරා දැමේ. මොවුන් අතර පිරිමි සතුන් පමණක් නොව එළදෙනුන් හා පැටවුන් ද සිටින බව කවුරුත් දන්නා කරුණකි. දැනට වදර කිහිපයකට පෙර ගව ඝාතනයට එරෙහි වෙමින් සිය ජීවිතයෙන් වන්දි ගෙවූ පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන්ගේ මරණය ඇතැම් විට බොහෝ දෙනෙකුගේ මතකයෙන් බැහැරව ගොස් තිබෙන්නට ද පුළුවන.  උන් වහන්සේ මරණයත් සමග භික්ෂූන් වහන්සේලා, විවිධ කණ්ඩායම් හා ඇතැම් දේශපාලන පක්ෂ ද රජයෙන් ඉල්ළා සිටියේ අප රටේ ගව ඝාතනය තහනම් කිරීමේ පණත ක්‍රියාත්මක කරනා ලෙසය. තවත් පිරිසක් පවසන්නේ මෙය ප්‍රායෝගික ව කළ හැකි දෙයක් නොවන බවය. ඉන්දියවේ ගව ඝාතනය තහනම් කොට ඇති නිසා අප රටේ එය කරන්නට නොහැකි මන්දැයි තවත් පිරිසක් අසති.

ඉන්දියාවේ ගව ඝාතන තත්වය පිළිබඳ සලකා බැලීමේ දී පෙනී යන්නේ මුළු රටේම මෙම නීතිය එක හා සමාන අයුරින් ක්‍රියාත්මක වන්නේ නැති බවය. එහි ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මෙම තත්වය වෙනස්ය. ඇතැම් ප්‍රාන්තවල ගව ඝාතනය මුළුමනින් ම තහනම් කොට ඇති අතර ඇතැම් ඒවායේ යම් යම් සීමාවන්ට යටත්ව මස් පිණිස ගවයින් ඝාතනය කිරීමට අවසර ලබා දී තිබේ. විශේෂයෙන් කේරළ ප්‍රාන්තයේ නම් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් ය. චෙන්නායි හා මුම්බායි යන නගරවල මස් පිණිස ගවයින් මැරීම මහා පරිමාණයෙන් සිදුවේ. ඉන්දියාවේ නීත්‍යනුකූල ගව ඝාතනාගාර 3,600 ක් පමණ ඇති අතර නීති විරෝධී ඒවා තවත් බොහෝ ගණනක් තිබේ. ඒවා වසා දැමීමට මෙතෙක් ගත් උත්සාහයන් සියල්ලම පාහේ අසාර්ථක වී තිබේ.

විකිපීඩියාවේ සඳහන් වන අන්දමට 2012 වසරේ ඉන්දියාවේ ගව මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.643 කි. එයින් මෙට්‍රික් ටොන් මිලියන 1.963 ක් දේශීයව පරිභෝජනය කරනු ලැබ ඇති අතර මෙට්‍රික් ටොන් මිලියන 1.680 ක් අපනයනය කොට තිබේ. https://beef2live.com වෙබ් අඩවියට අනුව 2020 වසරේ දී ගව මස් අපනයනය අතින් ඉන්දියාව පසුවන්නේ ලෝකයේ තෙවැනි ස්ථානයේ ය. ගවයා දේවත්වයෙන් අදහන හින්දු භක්තිකයන් බහුතරයක් වෙසෙන ඉන්දියාවේ තත්වය එයයි.

අප රටේ ද සතුන් වෙනුවෙන් පණතක් පවතී. එය 1958 අංක 29 දරණ සත්ව පණත ලෙස හඳුන්වනු ලබයි. එහි මුල් වගන්තියෙන් දැක්වෙන්නේ මස් පිණිස ආනයනය කරනු ලැබූ ගවයකු හැරුණු විට වෙනත් ගවයකු, එළදෙනකු මස් පිණිස ඝාතනය තහනම් බවය. එමෙන්ම අවුරුදු 10කට නොඅඩු, සතුන් බෝ කිරීමේ හැකියාව නොමැති සහ දුර්වල සෞඛ්‍ය තත්වයෙන් යුක්ත ගවයින් ද මේ පණත යටතේ මස් පිණිස මරන්නට පුළුවන. නමුත් අද අපේ රටේ වන ගව ඝාතන රැල්ල හා මේ පණත අතර ඇත්තේ අහසට පොළොව මෙන් දුරස්ථ බවකි.

ගව ඝතනය තහනම් කිරීම පසුපස යම් යම් ක්‍රමන්ත්‍රණකාරී වැඩපිළිවෙලවල් පවතින බවට ද ඇතැමුන් චෝදනා කරනු පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් මේ තීරණය ගෙන ඇත්තේ ගව සම්පත රැකගැනීමේ අරමුණින් නම් පැවසිය හැක්කේ තහනමකින් පමණක් මෙය සිදු කළ නොහැකි බවය.

Tuesday, August 4, 2020

මනාලියගේ හිතවතා හෙවත් අල්මාරිය


අතීතයේත් වර්තමානයේත් තරුණියක් විවාහ වනවිට දෙමාපියන් විසින් දෙන දායාද අතර අනිවාර්යයෙන්ම තියෙන ගෘහ භාණ්ඩයක් තමයි අල්මාරිය කියන්නේ. මේ නිසාම තමයි මෙයට ‛මනාලියගේ හිතවතා’ කියන නම පටබැඳී තිබෙන්නෙත්.

කොහොම වුනත් අතීතයේ දී නම් අල්මාරිය භාවිත වෙලා තියෙන්නේ මනාලියගේ තනි රකින්න නොවෙයි. මුල් කාලයේ මෙය භාවිත වෙලා තියෙන්නේ යුද උපකරණ තබන්නට බව කියැවෙනවා. ‛අල්මාරිය’ කියන්නේ පෘතුගීසි වචනයක්. පෘතුගීසි භාෂාවේ දී මෙය ‛අල්මාරි’ හෝ ‛අර්මාරි’ කියන නම්වලින් හැඳින්වෙනවා. කොහොම වුනත් පෘතුගීසි භාෂාවට මේ වචනය ලැබී තිබෙන්නේ ‛ආර්මාරියුම්’ කියන ලතින් වචනයෙන්. එහි අර්ථය වන්නේ ‛යුද උපකරණ තැබීම සඳහා ඇති පෙට්ටගම’ වැනි දෙයක්. මේ පෙට්ටගමට කකුල් හතරක් සවි කොට ඉදිරියට විවෘත කළ හැකි පියන් පැමිණීමත් සමග අද අප දකින හැඩවැඩ වුණු අල්මාරිය ලොවට බිහි වූ බව කියැවෙනවා.

අල්මාරිය අප රටේ සෑම නිවසකම පාහේ තිබුණත්, මෙය අපේ රටේ බිහි වූ ගෘහ භාණ්ඩයක් නොවන බව ඉහත විස්තර තුළින් අපට අවබෝධ කරගන්නට පුළුවන්. අල්මාරිය වෙනුවට සිංහලයා අතර චිරාත් කාලයක් පැවති දෙය වූයේ ‛පෙට්ටගමයි’. සිංහල මිනිසුන් මුලින්ම පෙට්ටගම භාවිත කොට ඇත්තේ පෘතුගීසි පාලන සමයේ අගභාගයේ දී යි.


Thursday, May 21, 2020

අලුත් පැෂන් එකේ මාස්ක් මෝස්තර - Stylish Covid 19 Face Masks

අද විලාසිතා බවට පත්ව ඇති බොහෝ දේවල් මුලින්ම ලෝකයට ආවේ වෙනත් අරමුණක් ඉටුකරගැනීමට යොදා ගත් යම් යම් දේවල් විදියටයි. පතල් කම්කරුවන්ට පහසුවෙන් ඉරෙන්නේ නැති, වැඩි කාලයක් පාවිච්චි කළ හැකි සවි ශක්තියෙන් යුක්ත කලිසමක අවශ්‍යතාවක් ඇති වූ විට ලෝකයට ඩෙනිම් කලිසම් බිහි වුණා. අද එය විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. පළමු ලෝක යුද්ධ සමයේ ගැහැනුන් ද හමුදා සේවයට එක් වුණා. ඔවුන්ට එහිදී ඇඳිය හැකි පහසු ඇඳුමක් වුණේ කලිසමයි. කාන්තාවන් කලිසම් අඳින්නට හුරු වුණේ එයින් පසුව බව පැවසෙනවා. මේ වන කලිසම කියන්නේ කාන්තාවන්ගේ විලාසිතා අතර එක දෙයක් බවට පත්ව තිබෙනවා. මේ ආකාරයටම කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යත්ම සියලු දෙනාම මුඛ ආවරණ පාවිච්චි කරන්න පටන් ගත්තා. එහි අරමුණ එකිනෙකා අතර වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වාලීමයි. කොහොම වුනත් මිනිසුන්ට මේ වෛරසය සමග තවත් සෑහෙන කාලයක් ජීවත් වෙන්න සිදුවෙන බව දැනගත් විලාසිතා නිර්මාණකරුවන් දැන් මුඛ ආවරණයටත් විලාසිතා ආරෝපණය කොට ඇති බව පෙනෙනවා. මේ තියෙන්නේ එවැනි ‘අලුත් පැෂන් එකේ මාස්ක් මෝස්තර‘ ටිකක්.




























Friday, April 3, 2020

මහා ව්‍යසනයක් අභියස අවමංගල්‍ය චාරිත්‍ර වෙනුවෙන් සටන් වදින ගෝත්‍රික ආගම්

සමූහ ලෙස වළලන් කොරෝනා මළ සිරුරු

මිනිසා හැර මුළු ලෝකයම නිදහසේ කාලය ගෙවති. මෙතෙක් කල් සොබා දහම කූඩු කර දමන්නට සිය කාලය, ධනය හා ශ්‍රමය වැය කළ මිනිසා අද සිය ජීවිතවලින් වන්දි ගෙවමින් නිවසින් පිටතට  බසින්නට නොහැකිව සිටිති. කොරෝනාවට ගොදුරු වූ යම් කෙනෙක් වේද, ඔහු හෝ ඇය රෝහල් ගත වන්නේ තනිවමය. මිය යන්නේ තනිවමය. මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ මුහුණක් දැකගන්නට ඉඩක් නැත. අප රට කෙසේ වෙතත් ලොව අනෙක් රටවල අවමංගල්‍ය උත්සවයක් පවා ගැනීම තහනම්ය. 

ආදරය පෙන්වන්නට මිනිසා කළ කී සියලු දේ අද පාරාවළල්ලක් සේ අනාදරයේ මෙවලම් බවට පත්ව තිබේ. නෑ හිත මිතුරන් හමු වී කතා බහ කිරීම තවදුරටත් හිතවත් කමක් නොවේ.

ලෝකයේ තත්වය එසේය.

එසේ තිබියදී එක් අන්තවාදී කොටසක් පමණක් තම ජාතියට පමණක් විශේෂිත අවමංගල්‍ය චාරිත්‍ර ඉල්ලා සිටීම තුළ ඇත්තේ කෙතරම් සාධාරණත්වයක්ද?

මේවා ගැන දිගින් දිගට කතා කරමින් කාලය ගතකිරීමෙන් පලක් නැත.
අඥාන ඉගැන්වීම් සහිත ආගම්වලින් ලොවට සිදුවන්නේ අනර්ථයක්මය.
සොබා දහම නොබෝ දිනකින් එය ද අපට උගන්වනු ඇත.

නමුත් ඒ පාඩම අප ඉගෙන් ගන්නේ තවත් බොහෝ මිනිස් ජවිතවලින් වන්දි ගෙවිමෙන් පසුවය.

Wednesday, April 1, 2020

Covid 19 හැර මිනිසාට වින කළ තවත් වෛරස තිබේද? - Other Deadliest Viruses on Earth


Image Credit:https://cdn.arstechnica.net/wp-content/uploads/2020/02/NIGMS_HeLa_cells-CROPPED-800x465.jpg

මිනිසුන් විසින් මිනිසුන්ට එරෙහිව තැනූවක් ලෙස අයෙක් චෝදනා කළත්, ලොවට ඉබේ පහළ වූවක් වුවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව වටා මිනිසුන් බිලිගනිමින් සිය අණසක විහිදුවමින් සිටී. යම් ජාතියක්, ආගමක් ප්‍රබල වුවත්, දුබල වුවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය අතිශය දියුණු වුවත්, දුර්වල වුවත් ඒ කිසිවක් ගණනකට නොගෙන මෙය ප්‍රබල ලෙස ව්‍යාප්ත වේ. අප ගත හැකි සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කළ ද මෙහි ග්‍රහණයට නතුවන්නට අප අතින් සිදුවන එක් සුළු ප්‍රමාද දෝෂයක් වුව සෑහේ. ලොව වටා සියලු මනුෂ්‍ය වර්ගයා බිලි නොගත්ත ද අති මහත් ව්‍යසනකාරී ප්‍රතිඵල ඇති කළ එකම වෛරසය මෙය පමණක් නොවේ. මිනිස් ඉතිහාසයෙන් මෙවැනි වෛරස බොහෝ හමු වේ. මේ කතා කරන්නට සැරසෙන්නේ එයින් කිහිපයක් පිළිබඳවය.

ඉබෝලා වෛරසය
Image Credit:https://www.britannica.com/science/ebolavirus

මෙය 1976 වසරේ සිට උප සහරා - අප්‍රිකානු රටවල ජනතාව දහස් ගණනින් බිලිගත් වෛරසයකි. මෙය ආසාදිත වූ බව දැනගන්නට ලැබෙන්නේ හිසරදය, උගුර වනවීම සහ විදුරුමස්වලින් රුධිරය වහනය වන්නට පටන් ගන්නා නිසාය. නමුත් ඒ වන විට සිදුවිය යුතු සියල්ල සිදූ වී අවසන්ය. මන්ද ඒ වන විට ශරීර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ගෙන් රුධිරය වහනය වන්නට පටන් ගෙන ඇති බැවිනි. මෙයින් ආසාදිත වූවන්ගෙන් 50%ක්ම මිය ගිය වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ඉබෝලා ගඟ ආශ්‍රිත ප්‍රදේශයකින් මුලින්ම වාර්තා වූ බැවින් මෙයට මෙම නම යෙදී තිබේ. ආසාදනය වූ පුද්ගලයකුගේ ශාරීරික ශ්‍රාව ඔස්සේ පැතිරී ගිය මෙය ලොව පහළ වූ මාරාන්තික වෛරස අතරින් එකක් ලෙස හඳුන්වනු ලබයි.
මෙයට නිශ්චිත ප්‍රතිකාරයක් නැත.

මාර්බර්ග් වෛරසය
Image Credit:https://en.wikipedia.org/wiki/Marburg_virus#/media/File:Marburg_virus.jpg

පෝලියෝ රෝගය සඳහා වූ එන්නතක් පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සහ අත්හදා බැලීම සඳහා ගෙන්වන ලද අප්‍රිකානු කොල වඳුරන්ගෙන් මේ වෛරසය මිනිසුන්ට සංක්‍රමණය වූ බවට විශ්වාස කෙරේ. මුල්ම සිදුවීම් වාර්තා වූයේ 1967 වසරේ දී ජර්මනියේ මාර්බර්ග් සහ ෆ්‍රැන්ක්ෆර්ට්වලිනි. එමෙන්ම එම වසරේදීම සර්බියාවේ බෙල්ග්‍රේඞ්වලින් ද මේ හා සමාන සිදුවීමක් වාර්තා විය. උණ රෝග ලක්ෂණ සහිතව රක්තපාත තත්වයක් මෙම වෛරස ආසාදනයේ දී දැකගත හැකි විය. BSL-4 නමින් නමින් හඳුන්වනු ලැබූ මෙය ආසාදනය වූවන්ගෙන් 23% - 90 % අතර ප්‍රමාණයක් මරණයට පත් විය. මිනිසුන් අතර ඇතිවන සමීප සබඳතා නිසා පැතිරී ගිය මෙය ආසාදනය වූ බවට සැක පහළ වන්නේ හිසරදය, උණ සහ ශරීරයේ උඩු කයෙහි වූ දද තත්වයක් ඇතිවීමත් සමගිනි. මෙහිදී ශරීරයේ බොහෝ ශාරීරික ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වන අතර අභ්‍යන්තර රුධිරය වහනයවීම ද දක්නට ලැබේ. මෙයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත නොහැකි විය. 2014 වසරේ දී උගන්ඩාවෙන් ද මෙම වෛරසය සහිත රෝගියකු හමු විය. ඔහු උගන්ඩාවේ ගල් ලෙන්වල ජීවත්වන පලතුරු වවුලන් පිළිබඳ පර්යේෂණයක් පවත්වමින් සිටි ඇමරිකානු ජාතිකයකු විය.

හැන්ට් වෛරසය
Image Credit:https://cdn.mos.cms.futurecdn.net/p8PKS2eVmCafd6CiEwquS7-650-80.jpg

‘හැන්ට් වෛරස පුප්පුසීය සහලක්ෂණය’ (Hantavirus pulmonary syndrome-HPS) නමින් හඳුන්වනු ලැබූ මෙය මුලින්ම මතු වූයේ 1993 වසරේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එහි ‘ෆෝ කෝනර්ස්’ කලාපයේ ජීවත් වූ එක් පුද්ගලයකුට ඇති වූ හුස්ම ගැනීමේ දුෂ්කරතාවක් මත රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී මෙය සොයා ගනු ලැබිණි. පසුව දැනගන්නට ලැබුණේ මෙය ඔහුගේ නිවසේ ජීවත් වූ හික් මීයකුට සමාන deer mouse නම් මී වර්ගයකින් ආසාදනය වී ඇති බවයි. මෙය එක්සත් ජනපදයේ පුද්ගලයන් 600 දෙනෙකුට වඩා වැළඳුණු අතර එයන් 36% දෙනෙක් පමණ මිය ගියහ. මෙය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝ නොවුණු අතර මේ මීයන්ගේ බෙටි පෑගීමෙන් ආසාදනය විය. මෙයට පෙර 1950 දශකයේ කොරියානු යුද්ධයේ දී ද හැන්ට් වෛරසයේ තවත් එක් ප්‍රභේදයක් මතු වී ඇති අතර එය හමුදා කණ්ඩායම්වල 3000 දෙනෙකුට පමණ ආසාදනය විය. ඔවුන්ගෙන් 12%ක් පමණ මිය ගියහ.

ඩෙංගු වෛරසය
Image Credit:https://thenativeantigencompany.com/wp-content/uploads/1970/01/shutterstock_1298419780.jpg

1950 දශකයේ දී තායිලන්තයෙන් සහ පිලිපීනයෙන් හමු වූ මේ වෛරසය පසුව ලොව පුරා නිවර්තන සහ උප නිවර්තන කලාප දක්වා පැතිර ගියේය. ලෝක ජනගහනයෙන් 40%ක් වඩා ජීවත්වන්නේ මෙම කලාපයේය. මදුරුවකුගෙන් පැතිර යන වෛරසයක් බැවින් මෙය ලොව පුරා තව තවත් ව්‍යාප්ත වනු ඇති බවට අනතුරක් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට මිලියන 50 - 100 අතර පිරිසක් ඩෙංගු වෛරසයෙන් ආසාදනය වෙති. මෙම වෛරසයේ මරණ අනුපාතය 2.5%ක්, එනම් වෙනත් වෛරසවලට සාපේක්ෂව අඩු මට්ටමක පැවතියත්, මෙය උග්‍ර වීමෙන් ඉබෝලා වෛරසයේ රෝග ලක්ෂණ ඇති විය හැකිය. එහි මරණ අනුපාතය ඊට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතී.

ජලභීතිකා වෛරසය
Image Credit:https://media.sciencephoto.com/image/c0391262/800wm/C0391262-Rabies_Virus,_Illustration.jpg

ජලභීතිකාව හෙවත් පිස්සු බලු රෝගයට හේතුවන වෛසරය නිසා මොලයට හානි සිදුවේ. 1920 දශකයේ දී මෙයට එන්නතක් සොයා ගනු ලැබිණි. සංවර්ධිත රටවල් මේ රෝගය සුලභ නැතත්, ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල තවමත් මෙය සුලභය. මෙයට ප්‍රතිකාර නොකළ හොත් මරණය නිසැකය.

මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය - ඒඞ්ස් (HIV)
Image Credit:https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1a/HIV-budding-Color.jpg/800px-HIV-budding-Color.jpg

නූතන ලෝකයේ පවතින මාරකතම වෛරසය මෙය බව පිළිගැනේ. 1980 දශකයේ දී මෙය මුලින්ම සොයා ගත් දින සිට මේ දක්වා මෙයින් මිය ගිය සංඛ්‍යාව මිලියන 32 කට අධිකය. රුධිරය සහ වෙනත් මිනිස් ශ්‍රාව මගින් පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝවන මෙය සම්පූර්ණයෙන්ම සුවකිරීම සඳහා තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නැත. දැනට සොයා ගෙන ඇත්තේ වෛරසයේ බලපෑම ඉතා අවම මට්ටමක රඳවා ගනිමින් ජීවිතය රඳවා ගත හැකි හැකි ඖෂධ පමණි. මේ සඳහා සැලකිය යුතු මුදලක් ද වැය වේ. අප්‍රිකානු කලාපය තුළ වැඩිහිටියන් 25 දෙනෙකුගෙන් එක් අයකුට මෙය ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වසූරි වෛරසය
Image Credit:https://media.npr.org/assets/img/2019/09/18/smallpox-1_custom-5e208cfc7c0f5607797bdf54a0484896aa2a9373-s1100-c15.jpg

ලෝක සෞඛ්‍ය සංවිධානය 1980 දශකයේ දී නිවේදනය කළේ ලෝකය මෙම වෛරසයෙන් නිදහස් වි ඇති බවය. නමුත් එයට පෙර වසර දහස් ගණනක් තිස්සේ මිනිස්සු මේ සමග සටන් කළහ. මෙයට ආසාදනය වූවන් සෑම තිදෙනෙකුගෙන් එක් අයෙක් මිය ගියේය. යම් හෙයකින් මිය නොගියහොත් සිරුරේ ගැඹුරු කැළැල් ඉතිරි වන අතර අන්ධභාවය ද ඇති වේ. යුරෝපීය ගවේෂකයන් නිසා මේ වෛරසය වැළඳුණු ඇමරිකානු ස්වදේශිකයන්ගෙන් 90%ක්ම මිය ගිය බව ඉතිහාසඥයෝ පවසති. විසිවැනි සියවසේ දී පමණක් වසූරිය නිසා මිය ගිය සංඛ්‍යාව මිලියන 300ක් පමණ වේ.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය
Image Credit:https://cdn.mos.cms.futurecdn.net/8gX4BmDW6UzsDCdXvXV5w8-650-80.jpg

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට මේ වෛසරය නිසා ලොව පුරා වසරකට මිය යන සංඛ්‍යාව ලක්ෂ 5ක් පමණ වේ. ඇතැම් අවස්ථාවලදී මෙය වසංගතයක් ලෙස පැතිර යන අතර එවිට මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි. මිනිස් ඉතිහාසයේ මේ වෛසරය ආසාදනය වී වසංගතයක් බවට පත්වීමේ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 1918 වසරෙනි. ඒ මේ වෛරස තත්වය නිසා ඇති වූ ස්පාඤ්ඤ උණ වසංගතයයි. ඒ අවස්ථාවේ දී මිලියන 50ක් පමණ මිය ගියහ. මේ වෛරසයේ නව ප්‍රභේද වරින් වර මතුවන බැවින් මෙහි අවදානම තවම පහව නැතැයි විශේෂඥයෝ පවසති.

රොටා වෛරසය
Image Credit:https://media.npr.org/assets/img/2013/08/27/istock_000018165051medium-239e8cf7765b255d89b0a0b668812c22943bb7c3-s300-c85.jpg

මේ වෛසරය වැළඳීම නිසා බිළිඳුන් සහ කුඩා දරුවන් තුළ පාචන තත්වයක් ඇති වේ. කෙසේ නමුත් මේ වන විට මෙහි ආසාදනය වළක්වා ගැනීම සඳහා එන්නත් දෙකක් නිෂ්පාදනය කොට තිබේ. මිනිස් මළ කොටස් අංශු ආහාරයට එක්වීම නිසා මෙය ව්‍යාප්ත වෙයි. මේ වෛරසය නිසා සංවර්ධිත රටවල දරුවන් මිය නොගිය ද ප්‍රමාණවත් සජලීකරණ පහසුකම් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන් බොහොමයක් මේ නිසා මිය යයි. 2008 වසරේ දී මේ වෛරසය ආසාදනය වීමෙන් අවුරුදු 5ට අඩු දරුවන් 453,000ක් පමණ මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සාර්ස් - කොව්
සාර්ස් (SARS) හෙවත් ‘තීව්‍ර උග්‍ර ස්වසන සහලක්ෂණය (severe acute respiratory syndrome) ලෙසින් හඳුන්වනු ලබන්නේ මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට මෙය මුලින්ම සොයා ගනු ලැබුවේ 2002 වසරේ දී දකුණු චීනයේ ගුවන්ඩොන්ග් පළාතෙනි. වවුලන් තුළ ඇති වූ මේ වෛරසය පසුව නිශාචර ක්ෂීරපායි සතකු වූ උරුලෑවන්ට ව්‍යාප්ත විය. මිනිසුන් අතරට ව්‍යාප්ත වූයේ ඉන් පසුවය. චීනයෙන් ඇති වූ මෙය පසුව තවත් රටවල් 26ක් පුරා පැතිර ගියේය. මිනිසුන් 8000ක් පමණ මෙයින් ආසාදනය වූ අතර වසර දෙකක කාලයක් තුළ 770ක් පමණ මිය ගියහ. උණ, සීතල, ශරීරයේ වේදනාවන් මුලින්ම පහළවන අතර අවසන් වන්නේ නිව්මෝනියාවෙනි. මෙයට නිශ්චිත ඔසුවක් මෙතෙක් සොයා ගෙන නැතත් මෑතකදී මෙය ආසාදනය වූවන් කිසිවෙකු හමු වූයේ නැත.

මර්ස් - කොව්
Image Credit:https://en.wikipedia.org/wiki/Middle_East_respiratory_syndrome#/media/File:MERS-CoV_electron_micrograph3.jpg

Middle East respiratory syndrome හෙවත් MERS යන්න සිංහලෙන් ‘මැදපෙරදිග ස්වසන සහලක්ෂණය’ වැනි නමකින් හැඳින්විය හැකිය. 2012 වසරේදී සවුදි අරාබියෙන් ද, 2015 වසරේ දී දකුණු කොරියාවෙන් ද මතු විය. SARS-CoV සහ SARS-CoV-2 යන වෛරස් පවුලටම මෙය ද අයත් වේ. මෙය ද වවුලන් තුළින් ඇති වූ බව පැවසේ. වවුලන්ගෙන් ඔටුවන්ට ව්‍යාප්ත වී ඉන්පසු මිනිසුන් අතරට පැමිණි බවට සැක කෙරේ. උණ, කැස්ස සහ ස්වසනයේ දුෂ්කරතාව මෙහි රෝග ලක්ෂණ වේ. මෙය බොහෝ විට අවසන් වන්නේ නිව්මෝනියාවෙනි. මෙයට ද නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත.

සාර්ස් - කොව් 2
Image Credit:https://media.graytvinc.com/images/810*455/covid+19+cdc.jpg

වර්තමානයේ මිනිස් සංහතියම බියෙන් සලිත කරමින් ලොව වටා වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරසය මෙයයි. SARS-CoV සහ MERS යන වෛරස් පවුලටම මෙය ද අයත් වේ. මෙයට ‘නව කොරෝනා වෛරසය’ යන නම යෙදී ඇත්තේ එබැවිනි. කවුරුත් දන්නා පරිදි 2019 දෙසැම්බර් මාසයේ දී චීනයේ වුහාන් පළාතෙන් මෙය සොයා ගනු ලැබිණි. සාර්ස් - කොව් මෙන් මෙය ද වවුලන් තුළ ඇති වූවක් ලෙස සැලකෙන අතර පසුව වෙනත් සතකුගේ මාර්ගයෙන් මිනිසාට ආසාදනය විය. 2019 වසරේදී සොයා ගත් බැවින් කොවිඞ් - 19 නමින් හඳුන්වනු ලබයි. මේ පිළිබඳ සියලු විස්තර සෑම කෙනෙක්ම දන්නා බැවින් මෙතැන ඒ පිළිබඳ කතා කෙරෙන්නේ නැත.