පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, January 10, 2025

අපට කාන්තාවන් සමග හරියටම කළ හැක්කේ එක දෙයක් පමණි

එක් ත්‍රිරෝද රථයක් පිටුපස මෙවැන්නක් දක්නට ලැබිණි.

අපට කාන්තාවන් සමග හරියටම කළ හැක්කේ එක දෙයක් පමණි.”

මේ වැකිය අපට බොහෝ දේ සිතන්නට අවස්ථාව සලසා දෙයි. පිරිමියකුට කාන්තාවක සමග කළ හැකි බොහෝ දේවල් අතරින් මේ එකම එක දෙය කුමක්ද යන ගැටලුව එකවර සිතට නැගෙන්නට පුළුවන. අනෙක් අතට වෙන කිසිදු දෙයක් කාන්තාවක සමග පිරිමියකුට කළ නොහැකි බැවින් එයින් එක්කෝ පිරිමියාගේ දුර්වලකමක් හෝ කාන්තාවගේ දුර්වලකමක් කියවෙනවා ද යන ගැටලුව ද එකවර සිතට නැගේ. මෙය අනියමාර්ථයකින් සඳහන් කළ හැකි නම් මෙය තුළ ඇත්තේ ලිංගික සබඳතාවක් පිළිබඳ ඉඟියක් වන්නට ද පුළුවන. මෙය හුදෙක් කියවා ඉවත හෙළිය හැකි දෙයක් ලෙස නොව මේ අපට යම්කිසි විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන්නට හැකියාව තිබේ.

කාන්තාවක සහ පිරිමියකු අතර යම්කිසි ආකර්ෂණයක් ඇතිවීමේ ක්‍රියාවලියේ දී ඔවුන් අතර ඇති හැසිරීම් රටාවන් කෙමෙන් වෙනසකට බඳුන් වේ. මෙය ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන්නක් වන අතර එහි දී කාන්තාව යම්කිසි අවනතභාවයකට ලක් වන සුළු ස්වභාවයක් පෙන්නුම් කරන අතර පිරිමියා යම්කිසි දැඩි, ශක්තිමත් ස්වභාවයකට පත් වෙයි. මේ අවස්ථාවේ දී කාන්තාවගේ ඊස්ට්‍රජන් හෝමෝනය මෙන්ම පිරිමියා තුළ ලිංගිකත්වය උද්දීපනය කරන ටෙස්ටස්ටෙරෝන් ශ්‍රාවය වීම සිදු වේ. ඊට අමතරව දෙපාර්ශ්වය තුළම ඩොපමීන්, එන්ඩොපීන්, සෙරටොනින් වැනි හෝමෝනවල ක්‍රියාකාරීත්වයන් ඉස්මතු වේ. මේ සියල්ල තුළින් කාන්තාව සහ පිරිමියාගේ ශරීර සූදානම් කරවන්නේ ලිංගික කටයුත්තකට වුව ද එය තුළ ඉන් ඔබ්බට ගමන් කරන යම්කිසි දෙයක් දක්නට ලැබේ. එය ඉංග්‍රීසි බසින් Caress ලෙස හැඳින්වෙන අතර එය අපට ‘ප්‍රේමාලිංගිනය’ වැනි වදනකින් හැඳින්විය හැකිය. ප්‍රේමාලිංගන අවස්ථාවේ දී මේ හෝමෝන ශ්‍රාවය වීම තුළින් විශේෂයෙන් කාන්තාව තුළ ලිංගික එක්වීමකට අවශ්‍ය කරන සූදානම සකස් කරයි. පිරිමින්ට මෙන් ඉතා ඉක්මනින් එවැනි අවස්ථාවකට කාන්තා සිරුර සූදානම් නොමැති නිසා මේ ප්‍රේමාලිංගන කාර්යය අතිශයින් වැදගත් වේ. මෙය ඇතැම් සතුන් කෙරෙන් ද යම් යම් මට්ටම්වලින් දක්නට ලැබෙන්නක් වන නමුත් මිනිසුන් අතර පවතින මට්ටමකින් එය සිදු වන්නේ නැත. මෙහි දී පිරිමියා කෙරෙන් යම්කිසි ආක්‍රමණශීලී නමුත් ප්‍රේමනීය ස්වභාවයක් දැඩි ලෙස මතුවන නමුත් ඔහු බොහෝ විට කාන්තාවගේ අභිමතයන්ට එරෙහිව නොයා ඇය සමග යම්කිසි ඇලෙමින් ගැලෙමින් හැසිරෙන ස්වභාවයක් පෙන්නුම් කරයි.

අනෙකාගේ උරහිස, කම්මුල් ස්පර්ශ කිරීම, හිසකේ පිරිමැදීම වැනි ප්‍රේමනීය ස්පර්ශයන් බහුල වශයෙන් දක්නට ලැබෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ Institute of Technology (Caltech)  ආයතනයේ ස්නායුවේදීන් නෙදර්ලන්තයේ ග්‍රොනිගන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනෙකු සමග එක්ව මේ පිළිබඳ පර්යේෂණයක් සිදු කළේය. ගැහැනියක සහ පිරිමියකු අතර සිදු වන මේ ප්‍රේමාලිංගන ස්පර්ශයේ දී සිදු වන්නේ කුමනාකාර දෙයක් ද යන්න සොයා බැලීම මෙහි අරමුණ විය.

මේ සඳහා MRI scan යන්ත්‍රයක් භාවිත කරමින් කාන්තාවන් කෙරෙහි පමණක් ආකර්ෂණය ඇති (සමලිංගික නොවන) පිරිමින් සම්බන්ධ කර ගනු ලැබිණි. මෙහි දී පිරිමියාගේ පාද යම්කිසි ප්‍රේමනීය ස්වභාවයකින් ස්පර්ශ කරන අතරේ වීඩියෝ දර්ශන දෙකක් නරඹන්නට අවස්ථාව ලබා දෙන ලදී. එක් වීඩියෝවක තිබුණේ මේ පර්යේෂණයට සහභාගී කර ගත් පිරිමියාගේ දෙපා ස්පර්ශ කරන්නට මෙන් නැවෙන ආකර්ෂණීය කාන්තාවකගේ දර්ශනයකි. දෙවැනි වීඩියෝවේ තිබුණේ එම ක්‍රියාවම කරන්නට සූදානම් වන පිරිමියකුගේ දර්ශනයකි. මෙහි දී කාන්තාව දෙපා ස්පර්ශ කරන්නට සැරසෙන දර්ශනයේ දී පිරිමියා තුළ ලිංගික වශයෙන් මහත් ප්‍රබෝධජනක හැඟීම් පහළ වන බවත් පිරිමියා දෙපා ස්පර්ශ කරන්නට සැරසෙන වීඩියෝවේ දී එය සහමුලින්ම වෙනස් වූ බවත් දක්නට හැකි විය.

කාන්තාවකගේ ප්‍රේමාලිංගන ස්පර්ශයට සම්බන්ධව මොළයේ ක්‍රියාකාරීවන්නේ somatosensory නම් බාහිකය බව සොයා ගනු ලැබිණි. භෞතිකව සිරුරට ලැබෙන ස්පර්ශය භාවාත්මක ලෙස විශ්ලේෂණය කරනුයේ මේ කොටසේ දීය. ඒ ස්පර්ශය සතුටක් ද දුකක් ද, අපුල දනවන්නක් ද ආදිය අප තුළ ඇති කරන්නට හේතු වන්නේ මේ කොටසේ සිදු වන ක්‍රියාකාරීත්වයයි. මේ පර්යේෂණයේ විශේෂිතම දෙය වූයේ කාන්තාව සහ පිරිමියා පෙනී සිටින වීඩියෝ දර්ශන දෙකේදී ම පිරිමින්ගේ දෙපා ස්පර්ශ කරන ලද්දේ කාන්තාවක විසින්ම බව එයට සහභාගී කරගත් පිරිමින් නොදැන සිටීමය. මෙහිදී කාන්තාව පෙනී සිටින දර්ශනයේ දී පිරිමියා පෙනී සිටින දර්ශනයට වඩා ක්‍රියාකාරීත්වයක් somatosensory බාහිකය තුළ පැහැදිලිවම දක්නට ලැබිණි.

මේ ප්‍රේමාලිංගින කටයුත්ත අවසන් වන්නේ පිරිමියා සහ කාන්තාව අතර සිදු වන ලිංගික ක්‍රියාවලියෙනි. පිරිමියකු සහ ගැහැනියක අතර සිදු වන බොහෝ වැඩකටයුතු යම් යම් මට්ටම්වලින් අඩුලුහුඬුකම්වලින් යුක්ත වුව ද මේ ප්‍රේමාලිංගින ක්‍රියාවලිය තුළ එවැනි ස්වභාවයක් දක්නට ලැබීම ඉතා අවම බව ද පර්යේෂණ මගින් හෙළි වී තිබේ. එබැවින් අප මුලින්ම සඳහන් කළ ත්‍රිරෝද රථයේ රියදුරා එම වැකිය දැනුම්වත්ම හෝ එසේ නොමැති හෝ ඒ බව සඳහන් කළ ද එය තුළ  ගැඹුරු, විද්‍යාත්මක සත්‍යයක් පවතින බව පැහැදිලිය. එනම් කාන්තාව පිරිමි අතර සිදු වන අතෝරක් නොමැති ක්‍රියාවන් අතරේ පිරිමියාට කාන්තාව සමග පරිපූර්ණව කළ හැකි එකම එක දෙයක් පමණක් ඇති බවය.


Tuesday, December 24, 2024

නත්තලේ සැබෑ අරුත වෙළෙඳ ආර්ථිකයෙන් යට වුනාද?



තව පැය ගණනකින් පසුව උදාවන නත්තල් උත්සවය සමරන්නට ලොව පුරා කිතුනුවෝ මහත් උනන්දුවෙන් සූදානම් වෙති. මේ වන විටත් බලන බලන සැම අත නත්තල් සැරසිලිවලින් පිරී ගොසිනි. බොහෝ නිවෙස්වල මේ වන විටත් නත්තල් ගස් ඉදිකොට හමාරය. බඩුමිිල අහස උසට නැග තිබුණ ද, නත්තල වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගන්නට සාප්පු සවාරි යන්නවුන්ගෙන් පාරවල් පිරී ඉතිරී ගොසිනි. බොහෝ දෙනෙක් ආහාර පාන තොග ගණනින් නිවෙස් කරා රැගෙන යති. මේ, මෙවර පමණක් නොව බොහෝ කාලයක සිටම නත්තල් සමරන්නට ලොව පුරා කිතුනුවන් සූදානම් වන අන්දමය. සැබවින්ම නත්තලේ සැබෑ අරුත මෙයද? නත්තලේ සැබෑ අරුත ප්‍රේමය, ආදරය බව පැවසෙයි. ශු. බයිබලයේ යොහාන් පොතෙහි 16-17 පදවල මෙසේ සඳහන් වේ.

“16. මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

17. මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.”

දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයා ලෝකයට දෙන තරම් ලෝකයට ප්‍රේම කළ බව එයින් පැවසේ. එසේ හෙයින් නත්තලේ සැබෑ අරුත විය යුත්තේ සියල්ලන්ටම ප්‍රේමය පැතිරවීමය. නමුත් අද සිදුවන්නේ එය ද යන ගැටලුව අප සිත් තුළ ඇතිවේ. ඒ තරමටම වර්තමාන නත්තල් උත්සවය පරිභෝජනවාදයේ ගොදුරක් බවට පත්ව තිබේ. සමාජ මාධ්‍යයේ එක්තරා තැනක මෙවැනි වැකියක් නෙත ගැටුණි.

වෙළෙඳ හඬින් ලොව පිබිදෙනවා

නත්තල දොර ළඟ වැලපෙනවා”

නත්තලෙහි සැබෑ අරුත හඳුනන නමුත් වෙළෙඳ සංස්කෘතිය තුළ එයට ඉස්මතු වන්නට ඉඩක් නොමැති බව නිසා ඇති වූ සංවේගයෙන් කවුරුන් හෝ එය සඳහන් කර තිබුණි.

නත්තල සැමරීම සඳහා විවිධාකාර බඩු භාණ්ඩ මිල දී ගැනීම කාලයක් තිස්සේ සිදුවුව ද මෑත කාලයේ සිට නත්තල වෙළෙඳුන්ගේ ගොදුරයක් වීම ඉතා ශීඝ්‍රයෙන් සිදුවනු දක්නට ලැබිණි. මෑතක සිටි අප රටට ද ඇතුළු වූ ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ (Black Friday) විලාසිතාව මේ වන දැවැන්ත ලෙස ව්‍යාප්ත වී තිබේ. නොවැම්බර් මාසයේ අවසන් සිකුරාදාව ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ ලෙස නම් කොට තිබේ. මෙය මුලින්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වූ දෙයක් වන අතර මේ වන විට අප රටට ද පැමිණ තිබේ. මෙය හුදෙක්ම ව්‍යාපාරික අරමුණින් ඇති කර ගත් දෙයක් මිස නත්තලේ සැබෑ අරුත් ඉස්මතු කිරීමේ අරමුණින් ඇති කර ගන්නා ලද දෙයක් නොවේ. ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ දිනයේ දී ඉතා ඉහළ වට්ටම් සහිතව භාණ්ඩ අළෙවි කරනු දක්නට හැකිය.

බෞද්ධයන්ට අප්‍රේල් මාසය ඉතා වියදම්කාරී වනවා සේ කිතුනුවන්ට දෙසැම්බර් මාසය ඉතා වියදම්කාරීය. ඇතැමුන් වසරක් පුරා තමා ඉතිරි කරගෙන සිටි මුදල්, සීට්ටුවලින් ලද මුදල් පමණක් නොව ණයට ලබා ගත් මුදල් ද වියදම් කරමින් නත්තල වෙනුවෙන් භාණ්ඩ මිල දී ගැනීම සිදු කරති. නොඑසේ නම් ඔවුනට අන්‍යයන් සමග කරට කර සිටගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත.

නත්තල් සමයේ වෙළෙඳුන්ගේ උපක්‍රම බොහෝ දෙනෙකුට හඳුනාගන්නට හැකියාවක් නැත.

මාර වාසියි. මම මේක නත්තල් සේල් එකකින් ගත්තේ.”

යැයි පවසනු ඕනෑ තරම් ඇසිය හැකිය. වෙළෙඳුන් පාරිභෝගිකයන් රවටමින් ‘සේල්’ යන පුවරුව ඉදිරියට දමා අඩුමිලට යැයි පෙන්වමින් වැඩි මිලට භාණ්ඩ අළෙවි කරනු දැකිය හැකිය.

ජේසුස් වහන්සේ උපන්දිනය සමරනු වස් මිනිසුන් පොර කමින් තෑගි බෝග සහ බඩු භාණ්ඩ තරගයට මෙන් මිලට ගනිති. මදක් නිවි සැනසිල්ලේ කල්පනා කරන්නට හැකි නම් මේ කරන ක්‍රියාවන්ගේ අර්ථය කුමක්දැයි යමෙකුට අවබෝධ කර ගත හැකිය. ලෝකයේ සිටි සුළුතර ධනවතුන් විසින් නත්තලේ දී සිදු කරන්නේ බහුතර දිළින්දන් සූරාකෑමය. යේසුස් වහන්සේ සිය ජීවිත කාලය පුරා අරගල කළේ මෙයට එරෙහිව වුවද, කිතුනුවන් අද දැන හෝ නොදැන ධනවතුන්ගේ උගුලේ අසු වී සිටිති. දේව මාලිගය තුළ වෙළෙඳාම් කරන්නන්ට එරෙහිව ජේසුස් වහන්සේ නැගී සිටි බව කිතුනුවෝ දනිති. ඒ කිතුනුවෝම සිය දේව මාලිගය ධනවතුන් අතට පත් කොට ඇති බව පෙනේ. ලෝකයට ප්‍රේමය රැගෙන එමින් ගොඩනගන්නට උත්සාහ කළ මනුෂ්‍යත්වයට එරෙහි මෙයට වඩා වෙනත් අපරාධයක් තිබේද?

නත්තල වෙනුවෙන් ගතවී යන නිවාඩුව වෙන් කළ යුත්තේ කෘතගුණ සැළකීම, පුණ්‍ය කටයුතු සිදු කිරීම සහ මිනිස් සබඳතා වැඩි දියුණු කරගැනීම සඳහාය. නමුත් නත්තල දිනයේ දී ‘සුබ නත්තලක් වේවා!’ යැයි පැවසීම තුළින් පමණක් මේ කාරණා ඉටුවන්නේද යන ගැටලුව මතුවේ.

දරුවන් පවා හුරුපුරුදු ව සිටින්නේ තමාට නත්තලට ලැබුණු තෑගි බෝග එකිනෙකා සමග පවසමින්, සසඳමින් කාලය ගත කරන්නටය. ඒ කාලයක් තිස්සේ හුරුපුරුදු කරගෙන පැමිණි අන්දමය. එයින් අත්මිදෙන්නට නොහැකිය. මෙහිදී වැඩියෙන්ම තෑගි ලබා දුන් දෙමාපියන් හොඳ වන අතර එසේ නොවන අය ‘හොඳ නැති’ අය යැයි දරුවන් අතර මතයක් ඇති වේ. දෙමාපියන් ලෙස සලකා බැලුවහොත් මෙය කිසිදා දිනිය හැකි සටනක් නොවේ. අතමිට ඇති දෙමාපියකුට තරමට දුප්පත් දෙමාපියකුට සිය දරුවා වෙනුවෙන් නත්තලේ දී තෑගි බෝග මිල දී ගත නොහැකිය. සමාජ තත්ත්වය ඇති වන්නේ මුදල් සහ බඩුභාණ්ඩවලින්ය යන වැරදි මතය දරුවන් තුළ ඇති වන්නට මෙය බලපෑම් කරයි.

යේසුස් වහන්සේ මහත් උත්සාහයෙන් ලෝකය තුළ වගා කරන්නට උත්සාහ කළ මිනිස් ගුණාංග වර්තමාන වෙළෙඳ ලෝකය, පරිභෝජනවාදය තුළ මිනිසුන්ගෙන් ඈත්ව යන්නේ ඒ ආකාරයටය.

නත්තලේ දී විකිණී යන තවත් දෙයක් වන්නේ නත්තල් සීයා හෙවත් සැන්ටා ය. දුප්පත් දරුවන්ගේ සිත් සතුටු කරනු වස් රහසේම ඔවුන්ට තෑගි බෝග ලබාදුන් ඓතිහාසික නිකලස් නම් සාන්තුවරයාගේ චරිතය මත නත්තල් සීයා ගොඩනැගී තිබේ. ‘සේන්ට් නිකලස්’ යන්න පසුකාලයේ දී ‘සැන්ටා ක්ලෝස්’ බවට පත්ව තිබේ. මෙය සාන්තුවරයකුගේ චරිතයක් වුව ද, අද එය වන විට වාණිජකරණය නිසා කෙලෙසී ගිය චරිතයක් බවට පත්ව තිබේ. නත්තල් සමයේ සෑම වෙළෙඳ දැන්වීමක පෙනී සිටින්නේ නිකලස් සාන්තුවරයා නියෝජනය කරන කුමක් හෝ පින්තූරයකි. ඇතැමුන් යේසුස් වහන්සේට වඩා සරණ ගොස් සිටින්නේ සැන්ටාවය. මහ මග සැන්ටා ලෙස ඇඳගත් පුද්ගලයන් භාණ්ඩ අළෙවි කිරීමෙහි යෙදී සිටිනු දක්නට ලැබේ. ඉතාලිය වැනි රටවල, ශ්‍රී ලංකාව වැනි රටවලින් ගොස්  සේවය කරන පුද්ගලයන්ට සැන්ටා යනු අර්ධකාලීන ආදායමක් ලබාදෙන චරිතයකි. විවිධ පුද්ගලයන් සැන්ටා සේ සැරසී මහමග සිටිනු දකින්නට හැකිය. නමුත් නිකලස් සාන්තුවරයාගෙන් ලෝකයට ලබා දිය යුතු ආදර්ශය එය නොවේ.

මේ උදාවන්නට නියමිත නත්තල ඔබට මෙතෙක් පැමිණි ගමන් මග වෙනස් කොට වාණිජකරණයෙන් මිදුණු නත්තලක් සමරන්නට අධිෂ්ඨාන කර ගත හැකිය. ප්‍රේමය, ත්‍යාගශීලිත්වය, මනුෂ්‍යත්වය පිළිබඳ ඔබට නැවත සිතිය හැකිය. ජේසුස් වහන්සේ උපන්නේ ගවලෙනකය. ඔබට එතැනින් සියල්ල ඇරඹිය හැකිය. සරල වටපිටාවක උපන් ජේසුස් වහන්සේගේ උපත සැමරීම සඳහා වෙළෙඳුන්ගේ රැවටිලිවලට ඔබ නතු විය යුතු නොවේ. සැබෑ නත්තල ඔබට උදාවන්නේ එවිටය.


Friday, December 6, 2024

ලෝකය උණුසුම්වීමේ වේගය වැඩි වෙයි - The rate of global warming is accelerating

 


ලෝකය උණුසුම් වීමේ වේගය වැඩි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් දැනට මාස කිහිපයකට පෙර විශේෂ පණිවිඩයක් ලෙසින් ලෝකය හමුවේ අනතුරු හැඟවූයේය. ඔහු විසින් මෙය හඳුන්වනු ලැබුවේ ‘අත්‍යන්ත තාප වසංගය’ (extreme heat epidemic) නමිනි. ඔහු පැවසූයේ පසුගිය ජූලි 22 වැනි සඳුදා මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ වැඩිම මධ්‍ය උෂ්ණත්වය (global average temperature) වාර්තා වූ බවය. එය සෙල්සියස් අංශක 17.16ක් වූ අතර 2023 ජූලි 6, එනම් වසරකට පෙර මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 17.08 ක් විය.

සෙල්සියස් අංශක 17 ක් යනු සැබවින්ම ඉතා අඩු උෂ්ණත්වයක් යැයි බැලූ බැල්මටම වරදවා වැටහෙන්නට පුළුවන. එබැවින් මුලින්ම ඒ ගැටලුව විසඳාගෙන ඉදිරියට යාම සුදුසුය.

ගෝලීය උෂ්ණත්වය ගණනය කරනු ලබන්නේ ලෝකයේ මධ්‍ය උෂ්ණත්වය සැලකිල්ලට ගැනීමෙනි. මේ සඳහා ලෝකයේ විවිධ ස්ථානවලින් ගනු ලබන උෂ්ණත්වයන් සලකා බලනු ලැබේ. එහිදී ගොඩබිම් ප්‍රදේශ, සමුද්‍ර මතුපිට සහ ධ්‍රැවීය ප්‍රදේශය භාවිතයට ගැනේ. වැඩිම උෂ්ණත්වය අගයයන් වාර්තා වන්නේ ගොඩබිම් ප්‍රදේශවලින් වුවද, සාගර මතුපිට උෂ්ණත්වය එයට වඩා අඩුය. ධ්‍රැවීය ප්‍රදේශවල උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශක ඍණ අගයයන්වලිනි. මේ ආකාරයට බොහෝ ස්ථානවලින් ලබා ගන්නා උෂ්ණත්ව මට්ටම් සාමාන්‍යකරණය කළ විට ලැබෙන්නේ සාමාන්‍යයෙන් අප එදිනෙදා අත්දකින උෂ්ණත්වයට වඩා අඩු අගයකි. නමුත් ගෝලීය මතුපිට උෂ්ණත්වය පිළිබඳ අදහසක් ගනු ලබන්නේ මේ අගය මතය. කාර්මික විප්ලවය ආරම්භ කරන්නට පෙර ලොව පුරා පැවතී ඇත්තේ සාපේක්ෂව සෞම්‍ය උෂ්ණත්වයක් වූ අතර කාර්මික විප්ලවය සමයේ වාර්තා ගත වී ඇත්තේ ගෝලීය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.7 ක් ලෙසිනි. විසිවැනි සියවස අවසන් වන විට මෙය සෙල්සියස් අංශක 14.3 ක් ලෙස වාර්තා වී තිබිණි. මෑත කාලයේ එය සෙල්සියස් අංශක 17 අවට අගයයන් අතර පැවතුණි. පසුගිය වසරේ එය සෙල්සියස් අංශක 17.08 ක් විය විය. නමුත් පසුගිය පසුගිය ජූලි මාසයේ එය වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශක 17.16 ක් ලෙසිනි. එය දශම ගණනක වෙනසක් වුව ද සමස්ත ගෝලය සැලකිල්ලට ගෙන බලද්දී එය අනතුරුදායක තත්ත්වයකි. මිනිස් සංහතියම අනතුරට හෙලන තත්ත්වයකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පවසන අන්දමට ලෝකයේ ඇතැම් ගොඩබිම් ස්ථානවලින් ජලය නටන උෂ්ණත්වයෙන් අඩකට කිට්ටු උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. මේ අත්‍යන්ත තාප වසංගත තත්ත්වයට ලෝකයේ බිලියන ගණනක ජනතාවක් ගොදුරු වෙමින් සිටියි. මහලේකම්වරයා පවසන්නේ ගංවතුර, සුළි සුළං වැනි ස්වාභාවික උපද්‍රවවලට වඩා මෙය අතිශය බියකරු තත්ත්වයක් බවය. මන්ද මෙය අපගේ ඇසට නොපෙනෙන දෙයක් බැවිනි. ගංවතුරක්, සුළි සුළඟක් ඇති වන විට අවට වායුගෝලයේ සිදු වන වෙනස්කම් අපට දකින්නට පුළුවන. එවිට යම් පෙර සූදානම්වීමක් සඳහා අවස්ථාව තිබේ. නමුත් උෂ්ණත්වය වැඩිවීම අපට පෙනෙන දෙයක් නොවේ. එය නිහඬව සිදු වන දෙයකි. එය අපට දැනෙන්නට පටන් ගන්නා විට සූදානම් වන්නට කාලයක් නැත.

2000 සහ 2019 අතර කාලයේ ලෝකයේ වසරකට සිදු වූ මරණවලින් 489,000 කට වගකිව යුත්තේ මේ ‘නිහඬ මාරයා’ ය. මේ කාලය තුළ සුළි සුළං වැනි ස්වාභාවික උපද්‍රවවලින් වසරකට සිදු වූ මරණ සංඛ්‍යාව 16,000 ක් පමණක් විය.

මහලේකම්වරයා. වැඩිහිටියන්, දරුවන් සහ රෝගීන් මේ මරණවලින් ගලවා ගැනීම සඳහා ඔවුන් සිසිලට පත් කළ හැකි ක්‍රමවේද ඇති කරන්නැයි ලෝකයේ රටවල්වලින් ඉල්ලා සිටියි. අනෙක ගෝලීය උෂ්ණත්වය මේ ආකාරයට දිනෙන් දින ඉහළ යාම ලෝකයේ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි දැඩි ලෙස බලපෑම් ඇති කරන අතර මේ වන විටත් දරිද්‍රතාවයට පත්ව සිටින ජනතාව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත් වීම වළක්වා ගත නොහැකිය.

මේ අවදානමට වැඩි වශයෙන් පත්ව සිටින රටවල ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් තාප තරංග (Heat Wave) ඇති වීම පිළිබඳ අනතුරු ඇඟවීම් පද්ධති පිහිටුවීම, නාගරික සැලසුම් කිරීම්වල දී හදිසි උෂ්ණත්ව ඉහළ යාම්වල දී ජනතාවට සිසිලස ලබා ගැනීම පිණිස ක්‍රමෝපායයන් සකස් කිරීම ආදිය පිළිබඳ උනන්දු වන්නැයි මහලේකම්වරයා සිය පණිවිඩය තුළින් ඉල්ලා සිටියේය.

ලෝකයේ සෑම රටක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ අනුගමනය කරන්නට උනන්දුවන්නේ නම් වසර 2050 වන විට අඩුම තරමේ බිලියන 3.5 ක ජනතාවක් ආරක්ෂා කර ගත හැකි බව පැවසේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කොට ඇති ලෝකයේ රටවල් 57ක් තුළ උෂ්ණත්වය වැඩි වීම පිළිබඳ අනතුරු හැඟවීමේ පද්ධති ස්ථාපනය කිරීමෙන් වසරකට ජීවිත 98,314ක් මරණයෙන් ගලවා ගත හැකි වෙතැයි ගණන් බලා තිබේ.

මුහුදින් වට වූ දූපතක් වන ශ්‍රී ලංකාවට තවමත් මෙහි අවදානම දැඩි සේ දැනී නැතත්, ගෝලීය උෂ්ණත්වය තවදුරටත් වර්ධනය වීමේ දී මේ තත්ත්වයෙන් ගැල වී සිටින්නට නොහැකි තත්ත්වයක් ඇති වන්නට හැකියාව තිබේ. වියළි කාලයන්හි දී එළිමහනේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට ද ඇති වී තිබේ. ඒ සියල්ල මැද වන විනාශය, පරිසර හානි දිගින් දිගටම ඉවක් බවක් නොමැති සිදු වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උෂ්ණත්ව අනතුරු හැඟවීම් පද්ධති ස්ථාපනය කළ යුතු රටටවල් අතර ශ්‍රී ලංකාව නැතත්, අප රටේ බලධාරීන්, දේශපාලනඥයන් මේ අනාගත අනතුර අවබෝධ කර ගනිමින් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ග ගතහොත් මේ නිහඬ මාරයාට මුහුණ දෙන්නට හැකියාව ලැබෙනු ඇත.

Tuesday, November 26, 2024

අපි පාන් කන විදිය සහ පිටරටවුන් පාන් කන විදිය - Bread Eating Styles: Local vs. Foreign

නිවුඩ්ඩ සහිත පාන්


කුඩා කාලයේ සිටම අප රටේ ප්‍රධාන ආහාරය බත් යැයි පැවසුන ද මේ වන විට නිල නොලත් ප්‍රධාන ආහාරය බවට පත්ව තිබෙන්නේ පාන්ය. අදින් වසර 30ක් ආපස්සට ගොස් බලන විට ද පාන් යනු අප ජන සමාජය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකළ ආහාරයක් බව පෙනේ. එයට හේතුව එම වසරේ ජනපති තරගයට ඉදිරිපත්ව සිට, අප රටේ ප්‍රථම විධායක ජනපතිනිය බවට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  ද සිය ඡන්ද පොරොන්දුවලින් එකක් ලෙස ඉදිරිපත් කොට තිබුණේ පාන් ගෙඩියක් රුපියල් 3.50  දක්වා අඩු කරන බවය. ඒ වන විට පාන් ගෙඩිය පැවැතියේ රුපියල් 5.50 කටය.

 

ශ්‍රී ලංකාවට පාන් හඳුන්වා දුන්නේ 16 වැනි සියවසේ දී පෘතුගිසීන් විසින් යැයි පැවසෙන අතර ඔවුන් පාන් කමින් වයින් පානය කරන ආකාරය අප රටේ ස්වදේශිකයන් වාර්තා කොට තිබුණේ යැයි සඳහන් වන්නේ, ‘තිරුවාණා ගල් අනුභව කරමින් ලේ බොන පිරිසක්’ වශයෙනි. දෙවැනි ලෝක යුද්ධය සමයේ දී අප රටේ සහල් නිෂ්පාදනය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අතර කෙමෙන් පාන් ජනප්‍රිය වන්නට පටන් ගැනුණි. පසුකාලයේ දී ‘දුප්පතාගේ හිතවතා’ බවට පාන් පත් විය. කෙසේ නමුත් සාපේක්ෂව මෑත කාලයේ දී අප රටේ ජනතාව අතර පාන් පරිභෝජනය ඉතා ශීඝ්‍ර ලෙසින් වර්ධනය වී ඇති බවට වාර්තාවලින් හෙළිව තිබේ. ‘චූන් පාන්’ ව්‍යාපාරය මේ කෙරෙහි ඉතා ප්‍රබල ලෙස බලපා ඇති බව පෙනේ. කලකට පෙර පාන් ගෙඩියක් මිලදී ගැනීම සඳහා බේකරියකට හෝ වෙළෙඳ සලකට යාමට සිදුවූව ද, චූන් පාන් වාහනය මගින් නිවස අසලටම පාන් ගෙනැවිත් දෙන්නට පටන් ගැනීමත් සමග වෙනදා පාන් නොකෑ අය ද පාන් කන්නට පෙළඹුනු බව පැහැදිලිය. මේ චූන් පාන් හඬ ඇසෙද්දී ඉබේම පාන් කෑමේ කැමැත්තක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ. පාන් පරිභෝජනය මේ සා වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අතර තරබාරු බව, දියවැඩියාව ආදී විවිධ රෝග ද බහුල වෙමින් පවතින බව වෛද්‍යවරු පෙන්වා දී තිබේ.

 

පෝෂණය පිරි ආහාර සඳහා මාධ්‍යයක් ලෙස පාන් භාවිතය

පාන් යනු අප රටේ ප්‍රධාන ආහාරය යැයි නිල වශයෙන් පිළිගැනුණේ නැති වුව ද, බටහිර රටවල් බොහොමයක ප්‍රධාන ආහාරය වන්නේ පාන්ය. එම රටවල ද තරබාරු සිරුරුවලින් යුක්ත සහ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් ඕනෑතරම් දකින්නට සිටිය ද පාන් පරිභෝජනය නිසාම එවැනි තත්ත්වයකට පත් වූයේ යැයි පැවසෙන්නේ නැත. එසේ නම් අප රටේ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතුවන මුත් පාන්වලින් බටහිර රටවල ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇති නොකරන්නේ මන්ද යන ගැටලුව නිතැතින්ම මතුවේ.

 

අප පරිප්පු හොද්දක්, අල හොද්දක් හෝ වෙනයම් වෑංජනයක් සමග පාන් භාගයක් හෝ ගෙඩියක් කෑමට ගත්ත ද බටහිර ජාතිකයන්ගේ පාන් පරිභෝජනය එයට හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය පාන් වුව ද, ඔවුන් එය යොදා ගන්නේ වඩාත් පෝෂ්‍යදායී ආහාර රැසක් ශරීරයට ලබා දෙන්නා වූ මාධ්‍යයක් වශයෙනි. ඔවුහු පාන් සමග එළවළු, පලතුරු, මස්, මාළු ආදී තවත් බොහෝ දේ ආහාරයට ගනිති. පාන් ප්‍රධාන ආහාරය වුවද, ඇතැම්විට ශරීරයට ලැබෙන්නේ පාන්වලින් ලැබෙන පෝෂණයට වඩා වෙනත් පෝෂක කොටස්ය. ඊට අමතරව පාන් නිසා ඔවුන්ගේ සෞඛ්‍යය දුර්වල නොවන්නට තවත් හේතු ගණනාවක්ම බලපායි.

 

බටහිර රටවල පාන් පරිභෝජනය කරන විවිධ ආකාර


අප රටේ පාන් නිෂ්පාදනය සඳහා බහුල වශයෙන් යොදා ගන්නේ සම්පූර්ණයෙන්ම පිරිපහදු කළ තිරිඟු පිටි වුව ද බටහිර රටවල නිවුඩ්ඩ සහිත පාන්පිටිවලින් සාදන ලද පාන් මිල දී ගැනීමේ හැකියාව තිබේ. එය අප නිවුඩ්ඩ සහිත සහල් පරිභෝජනය කරනවා හා සමානය. මේ පිටි, අධික සැකසුම් ක්‍රියාවලියකට බඳුන් වී නැති බැවින් තිරිඟු පිටිවල තිබිය යුතු සියලු පෝෂක කොටස් එහි අඩංගුය. සීනි සාන්ද්‍රනය ද, අප රටේ මිලට ගන්නට ඇති පිටිවලට වඩා බෙහෙවින් අඩුය.

 

අනෙක බටහිර ජාතීන් අතර ව්‍යායාම කිරීම ද අපට වඩා බෙහෙවින් දකින්නට ලැබේ. එබැවින් යම් ආහාරයකින් ලැබෙන කැලරි, මේදය ආදිය අවම කරගන්නට ඒවා උපකාරී වේ. අපේ රටේ බොහෝ දෙනෙක් අතර ව්‍යායාම පුරුද්ද දකින්නට ලැබෙන්නේ නැත. දැඩි ලෙස පිරිපහදු කළ පිටිවලින් තනන ලද පාන් බහුල වශයෙන් පරිභෝජනය කොට ව්‍යායාම නොකර සිටීමේ ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය ගැටලු ඇති වීම කිසිසේත්ම වළක්වා ගත හැක්කක් නොවේ.

 

අනෙක බොහෝ බටහිර රටවල සිය නිවසේදීම පාන් පිළියෙල කරගනු දකින්නට ලැබේ. එවිට ඒ සඳහා ගනු ලබන පිටි වර්ගය, එයට එක් කරනු ලබන ලුණු ප්‍රමාණය, එයට එක් කළ හැකි අතිරේක පෝෂක කොටස් ප්‍රමාණය තීරණය කරන්නට හැකියාව ඔවුන්ට ලැබේ. එය සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ලබා ගැනීමට උපකාරී වේ.

 

අපේ රටේ ජනතාව පාන් පරිභෝජනය කරන ආකාරය සහ පාන් ප්‍රධාන ආහාරයක් වූ බටහිර රටවල්වල ජනතාව පාන් පරිභෝජනය කරන ආකාරය අතර ප්‍රධාන වෙනසක් පවතින බැව් ඔබට පැහැදිලි වන්නට ඇත. අප පාන් නිසා බොහෝ ලෙඩ රෝගවලට ගොදුරු වන්නේත්, බටහිර ජාතීන් එසේ නොවන්නේත් මන්දැයි දැන් පැහැදිලිය. එබැවින් චූන් පාන් රථයෙන් අප දෙපා මුලටම පාන් රැගෙන ආවත් වඩාත් කල්පනාකාරීව, සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වෙමින් පාන් පරිභෝජනය කළ හැකි නම් නීරෝගීවත්ව සිටිමින් පාන් රස විඳගන්නට අප සියලු දෙනාටම හැකියාව ඇති බව සිහිකටයුතුය.

 

 


Friday, November 22, 2024

ඔබේ ලොක්කා ද ‘මුදුනා‘ වීමේ රෝගයෙන් පෙළෙන්නෙක්ද? - What kind of boss do you have?



විවිධ ආයතනවල සේවය කරන බොහෝ දෙනෙක් නිතර නගන මැසිවිල්ලක් වන්නේ, “ලොක්ක එක්ක ඉහ ගහගෙන ඉන්න බෑ අප්පා. එපා වෙනවා.” වැන්නකි. මෙයට හේතුව ආයතන ප්‍රධානියා සෑමවිටම ‘ලොක්කා’ හෝ ‘මුදුනා’ බවට පත්වීමට ගන්නා උත්සාහයයි. එවැන්නන් බොහෝ විට සෙසු සේවකයන්ගේ අදහස් පයිසයකට හෝ මායිම් කරන්නේ නැත. සාමාන්‍යයෙන් ආයතනයක ඉදිරි වැඩ සැලසුම් කරගැනීම සඳහා රැස්වීම් පවත්වනු ලබයි. මෙහි අරමුණ වන්නේ සිදු කළ කාර්යයන්, අතපසු වූ කාර්යයන්, ඉදිරි සැලසුම් සහ නව අදහස් ඉදිරිපත් කිරීම වැනි දේවල් සාකච්ඡා කිරීමය. නමුත් මේ ‘මුදුනා’ වන්නට වලිකන ප්‍රධානීන් සිටින තැනක නම්, සෙසු සේවකයන් ඉදිරිපත් කරන නව අදහස් හා යෝජනා කිසිදු සැලකිල්ලකට ගන්නේ නැත.

ඕව කරන්න පිස්සුද? . . . ඕව හරියන වැඩ නෙවෙයි මනුස්සයෝ . . .මොනවද අයිසේ තමුසේ දන්නේ . . . ” වැනි දේ කියමින් මේවා කුණුකූඩයට දමයි.  මේ තත්ත්වය නිසා ඇතැම් සේවකයන්ට සිය රැකියාව පවා එපාවන තැනකට පත් වන අතර ඇතැමුන් රැකියාව හැර දමා යන අවස්ථාවන් ද දක්නට ලැබේ. එවැනි අවස්ථාවක දී සේවකයන්ට හැඟෙන්නේ තම අදහස් ආයතනයට වැදගත් නොවන නිසා ප්‍රධානීන් එසේ හැසිරෙන බවකි. මෙවැනි ප්‍රධානීන් ආයතනවල මෙන්ම දේශපාලන පක්ෂවල ද සිටිනු දැකිය හැකිය. කෙටියෙන් පවසතොත් ආයතන වැඩි ගණනක සිටිනේනේ මෙවැනි ප්‍රධානීන්ය.

මෙවැනි පුද්ගලයන් බිහිවීම පසුපස යම් යම් මානසික සාධක දකින්නට ලැබේ. මේ අතරින් එකක් මනෝ විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ ‘මමංකාර උද්ධමනය’ (Ego Inflation) නමිනි. ‘මමත්ව උද්ධමනය’ ලෙසින් ද මෙය හඳුන්වනු ලබයි. මෙහිදී සිදුවන්නේ යම් කිසි පුද්ගලයෙක් තමා ගැන සිතා සිටින මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ නංවා ගැනීමය. මෙවැනි මානසික තත්ත්වයකින් පසු වන පුද්ගලයා සිතන්නේ තමා තරම් බුද්ධිමත්, වැදගත්, හැකියාව ඇති වෙනත් කිසිවකු ආයතනයේ නොමැති බවය. මෙවැනි ප්‍රධානියෙකු යටතේ අවංකව වැඩකටයුතු කරන යම් සේවකයෙක් සිටී නම් එවැන්නෙකුට සේවය කිරීම දුෂ්කරය. තමා සේවය කරන ආයතනයේ දියුණුව වෙනුවෙන් තමා සතු අදහස් ඉදිරිපත් කරන්නට හැකියාවක් නොමැති නම් එවැනි සේවකයෙක් නිතැතින්ම කලකිරීමට පත් වෙයි.

මෙවැනි ආයතන ප්‍රධානීන් නිසා සිය සාර්ථකත්වය ළඟා කර ගන්නා සේවක පිරිසක් ද සිටිති. මොවුන් අවංක නැත. තමා සේවය කරන ආයතනය දියුණු වුව ද පරිහානියට පත් වුවද ඔවුන්ට ඒ පිළිබඳ වගක් නැත. මොවුන් කරන්නේ මෙවැනි ‘මුදුනා’ වීමේ මානසිකත්වය ඇති ප්‍රධානීන් පවසන සෑම අදහසක්ම,

ඔව් සර් . . . සර් කියන කතාව හරියට හරි. සර් කියන විදියට කළොත් තමයි මේක හරියන්නේ . . . සර්ට තරම් අදහස් අපට එන්නේ නෑ නේ.“

ආදී වශයෙන්  පවසමින් ‘යර්ස් බොස්’ (Yes Boss) න්‍යාය අනුගමනය කිරීමය. එම න්‍යාය අනුගමනය කිරීමෙන් ආයතනයට කුමක් වුව ද තමාගේ සුඛ විහරණය සකසා ගැනීම ඔවුන්ගේ සිරිතය. මුදුනාගේ අදහස් අනුමත කිරීම තුළින් මුදුනා තවත් ඉහළට නගින අතර මුදුනාගේ ගුණ ගායනා කළ සේවකයාගේ රැකියාවේ තත්ත්වය ද උසස් වෙයි. මෙවැනි ප්‍රධානීන්ට ‘බටර් ගෑම’ තුළින් අදාළ සේවකයන්ට ආයතන තුළ සිය රැකියාවේ මහත් දියුණුවක් අත්පත් කර ගත හැකි වේ. අනෙක එවැනි බටර් ගානා සේවකයන් අතින් සිදුවන වැරදි පවා ප්‍රධානියා විසින් යටපත් කර දමයි. සාමාන්‍ය සේවකයෙක් විසින් සිදුකරන සුළු අත්වැරැද්දක් මහමෙරක් සේ දකින මෙවැනි ප්‍රධානීන්, ආයතනයට ලක්ෂ ගණනින් පාඩු සිදුකරන තීරණ ගන්නා, ‘යර්ස් බොස්’ න්‍යාය අනුගමනය කරන සේවකයන් පිළිබඳ වදනකුදු හෝ නොදොඩා සිටියි.

එමෙන්ම අවංක සේවකයකු විසින් ඉදිරිපත් කොට ඉවත දමන අදහසක්, මෙවැනි ‘යර්ස් බොස්’ න්‍යාය අනුගමනය කරන සේවකයකු විසින් ඉදිරිපත් කළ විට එය ක්‍රියාත්මක කිරීම ද මෙවැනි ප්‍රධානීන් අතින් සිදුවේ.

මෙවැනි ප්‍රධානියකු බිහිවන්නට බලපාන තවත් මානසික තත්ත්වයක් පවතින අතර එය ‘ආත්මරාගී පුද්ගල ආබාධය’ (Narcissistic personality disorder)  නමින් හඳුන්වනු ලබයි. මේ මානසික තත්ත්වයෙන් යුක්ත පුද්ගලයන් ද හැසිරෙන්නේ යටකී මානසිකත්වයෙනි.

සාමාන්‍යයෙන් නිවසක්, ආයතනයක් වැනි තැනක සෙසු පුද්ගලයන්ගේ අදහස් විමසා ඒවාට ගරුකිරීම සිදු කළ යුතු දෙයකි. එක්තරා ආයතනයක් රියැදුරකු වශයෙන සිටි පුද්ගලයකුගේ අදහස් ක්‍රියාත්මක කොට ආයතනයේ ආදායම් කිහිප ගුණයකින් වැඩි කර ගත් අතර රියැදුරාට උසස්වීමක් ද ලබා දෙන්නට ද කළමනාකාරීත්වය කටයුතු කළේය. එවැන්නක් සිදුවූයේ එතැන ‘මුදුනා’ වෙමින් අන් අයගේ අදහස් කුණු කූඩයට දමන ප්‍රධානියකු නොසිටීමය. මුදුනා වීමේ ගති ලක්ෂණ සහිත ගෘහ මූලිකයන් සිටින නිවෙස් ද ඕනෑ තරම් දැකිය හැකිය. මෙවැනි තත්ත්වයක අවසන් ප්‍රතිඵලය වන්නේ එකී ආයතනය හෝ නිවස දියුණුවීම බාධා වීම හෝ ප්‍රමාද වීමය. යම් ආයතනයක මෙවැනි ප්‍රධානියකු සිටී නම් සේවකයන්ට ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක්ද නැත. එක්කෝ සේවකයන් ‘යර්ස් බොස්’ කියමින් නිහඬව සිටිය යුතුය. නැතහොත් රැකියාව අතහැර යායුතුය.


Wednesday, November 6, 2024

අපට හරියන ආර්ථික ක්‍රමය කුමක්ද? - What is the right economic system for us?

තව ලිබරල්වාදය ලොවට හඳුන්වා දෙන්නට මුල් තැන ගත්තේ රොනල්ඩ් රේගන් සහ මාග්‍රට් තැචර් වැනි නායකයින්ය.

අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වීමට වැඩ කටයුතු කෙරීගෙන යන බව කවුරුත් දන්නා කාරණයකි. එයින් කුමන පක්ෂය පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගත්ත ද රටක් වශයෙන් අප මුහුණ දිය යුතු මූලිකම ගැටලුව වන්නේ දැනට අප රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය තිරසාර උපක්‍රම හා සැලසුම් සකස් කිරීම ය. පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට යම්කිසි ආකාරයක සහනශීලී තත්ත්වයක රට තුළ පවතී. පසුගිය කාලයේ විදුලි බලය, ගෑස්, ඉන්ධන, ආහාරපාන වැනි ජනතාවගේ මූලික අවශ්‍යතාවන් පවා ඉටු කර ගැනීමට නොහැකිව තිබූ ආකාරය සියලු දෙනාටම මතක ය. රට පුරා පෝලිම් පැවති අතර අරගලයක් පැන නැගී හිටපු ජනපතිවරයාට ද සිය බලය අතහරින තැනට පත් වූයේ මේවායේ හිඟකම නිසා ය. පසුව එයට දේශපාලන මුහුණුවරක් ලබා දීමට උත්සාහ ගත්ත ද ජන අරගලය මුලින්ම පැන නැංගේ ජනතාව අතරින් මිසක දේශපාලන බලපෑමක් නිසා නොවේ. සැබෑ කතාව නම් දේශපාලන පක්ෂ පසුව ඊට එක් වීම පමණි. කෙසේ හෝ මේ වන විට යම් ස්ථාවර තත්ත්වයක පවතින ආර්ථිකය මේ ආකාරයට ඉදිරියට පවත්වාගෙන යනවාද, යනවා නම් ඒ කෙසේද සහ මෙවැනි ආර්ථික ක්‍රමයක් අප රටට ගැලපෙනවාද වැනි ගැටලු මතු වෙයි.

අතීතයේ මිනිසුන් ඡන්දය භාවිත කළේ තමාට ලැබෙන ප්‍රතිලාභ මොනවද යන්න මත පදනම්ව ය. නමුත් වර්තමාන සමාජය මෙන්ම ඡන්ද දායකයා ද අතීතයට වඩා දියුණු ය. ආර්ථික සහ දේශපාලන සාක්ෂරතාවය ඇති බහුතරයක් කල්පනා කරන්නේ තම ඡන්දයෙන් සමාජයීය වශයෙන් ලැබෙන්නේ කුමනාකාර ප්‍රතිලාභ ද යන්න ය. එමෙන්ම විවිධ මාර්ගයන්ගෙන් ලබා ගන්නා දේශපාලන දැනුම මත පදනම්ව දැනට පවතින දේශපාලන ක්‍රමය සහ අප රටට වඩාත් යෝග්‍ය කුමනාකාර දේශපාලන ක්‍රමයක් ද යන්න පිළිබඳවත් වැටහීමක් බොහෝ දෙනෙකුට තිබේ.

කලකට පෙර මිනිසාගේ පරම විමුක්තිය ලබා දෙන දේශපාලන ක්‍රමය ලෙස පිළිගැනීමට ලක්වූයේ සමාජවාදයයි. නමුත් සමාජවාදය යන්න මේ වන විට යල් පැන ගොස් ඇති, ප්‍රායෝගික නොවන දේශපාලන ක්‍රමයක් බවට පත්ව තිබේ. අද ලෝකයේ බොහෝ රටවල පවතින්නේ නව ලිබරල්වාදය (Neoliberalism) ආර්ථික ප්‍රතිපත්තියයි. ඒ බව අප රටේ සමාජවාදී පක්ෂ ප්‍රධානීන් ද නිල ලෙස පිළිගෙන තිබේ.

නව ලිබරල්වාදය යනු නිදහස් වෙළඳ පොළ, ධනවාදය පවතින  පෞද්ගලීකරණය සහ ආර්ථික කටයුතුවලදී රාජ්‍යය ඉතා අවම භුමිකාවක් දරන්නා වූ දේශපාලන හා ආර්ථික දෘෂ්ටිවාදයකි. එය 20 වැනි සියවසේ අග භාගයේදී, විශේෂයෙන්ම 1980 ගණන්වලදී, එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන් සහ එක්සත් රාජධානියේ මාග්‍රට් තැචර් වැනි දේශපාලන චරිතවල නායකත්වය යටතේ ඇති වූ ආර්ථික දෘෂ්ටිවාදයක් ලෙස  සැලකේ.

ආර්ථිකය තුළ අවම රාජ්‍ය මැදිහත් වීමක් සහිත නිදහස් වෙළෙඳ පොල, ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලට බාධාවක් ලෙස පවතින විවිධ නියාමනයන් ඉවත් කිරීම, රජයේ ව්‍යවසායකත්වය අවම කොට පුද්ගලික ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සුබසාධන කටයුතු සඳහා රාජ්‍ය වියදම් අවම කිරීම, ව්‍යාපාර සහ ඉහළ ආදායම් ලබන්නවුන් මත වූ බදු කප්පාදු කිරීම,  සීමා මායිම් නොමැතිව ප්‍රාග්ධනය ගලා යන ආකාරයේ ගෝලීයකරණයක් ඇති කිරීම ආදී ලක්ෂණ නව ලිබරල්වාදය තුළින් දැකිය හැකිය. 


නව ලිබරල්වාදය ලෝකයට අහිතකර බව පෙන්වන කාටූනයක්


ඉහත කාරණාවලින් පැහැදිලි වන පරිදි මේ නව ලිබරල්වාදය පිළිබඳ ලෝකයේ වැඩි විවේචන පවතින බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ තුළ සුබසාධනය, සහනාධාර ආදී කාරණාවලට ඉඩක් නොමැත. කෙසේ නමුත් නව ලිබරල්වාදය යනු ධනවාදය, සමාජවාදය මෙන් යම් ආර්ථික විද්‍යාඥයෙක්, සමාජ විද්‍යාඥයෙක් හෝ කණ්ඩායමක් විසින් ගොඩනගන ලද න්‍යායක් නොව ඉබේ ගොඩනැගුනකි. අප රටේ ද යම් ආර්ථික ප්‍රතිලාභයක් සිදුව ඇත්නම් එය පසුපස ඇත්තේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති බව පැහැදිලිය. නව ලිබරල්වාදය පිළිබඳ ඉහතින් සඳහන් කොට ඇති විස්තරයට අනුව මේ තුළ රාජ්‍ය ව්‍යවසායකත්වයට ඇති ඉඩ ඉතා අවමය. ඒ තුළ ඇත්තේ ලාබ ඉපයීමේ අරමුණ ඇති පෞද්ගලික ව්‍යවසායකත්වය පමණි.

නව ලිබරල්වාදය ආර්ථික වර්ධනය හා කාර්යක්ෂමතාවය මෙහෙයවීම සඳහා ඉවහල් වන ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස ඵලදායී වුවත් එහි සෘණාත්මක බලපෑම් ද කිහිපයක් ඇති අතර එය තිරසාර සමාජයක යහපැවැත්ම කෙරෙහි අයහපත් බලපෑමක් එල්ල කරයි.



සුඛ පරමවාදය (Hedonism) පෙන්වන සිතුවමක්

සුළු පිරිසක් අතර පමණක් ධනය සංකේන්ද්‍රණය වීම නිසා ඇතිවන විෂම ආදායම් තත්ත්වය, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සුබසාධක කටයුතු මත යොදවන රාජ්‍ය සේවාවන් අවම කිරීම නිසා ඒවා මත යැපෙන දිළිඳු ජනතාව අවදානමකට පත්වීම, ශ්‍රම වෙළෙඳපොලේ නියාමනයන් ඉවත්කිරීම සහ වෘත්තීය සමිතිවල බලය අවම කිරීම නිසා රැකියා සුරක්ෂිතතාව අඩු වී ශ්‍රම සූරෑකෑමක් ඇති වීම, ලාබය පමණක් අරමුණු කරගෙන ඇති බැවින් ස්වාභාවික සම්පත් සූරාකෑමෙන් ඇති වන පරිසර හානිය, ප්‍රජාවන් අතර බෙදීම් ඇති වී සාමූහික සමාජ අරමුණු පිළිබඳ හැඟීම තුරන්ව යාම, මූල්‍ය අර්බුද, ධනේෂ්වර ප්‍රභූන් පිරිසක් අතර පමණක් බලය කේන්ද්‍රගතවීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්වීම වැනි ඍණාත්මක ලක්ෂණ නව ලිබරල්වාදය තුළ දැකිය හැකිය.  


එමිල් ඩර්ක්හෙයිම්

මේ කාරණය නිසා නව ලිබරල්වාදය ඔස්සේ අපට රටක් ලෙස කෙතරම් දුරක් ගමන් කළ හැකි ද යන ගැටලුව නිතැතින්ම පැන නැගේ. නව ලිබරල්වාදයේ අවසානයේ ‘සුඛ පරමවාදී' (Hedonism) තත්ත්වයක් ඇති වෙයි. සුඛ පරමවාදය යනු ජීවිතයේ ඉහළතම අභිප්‍රේරණය වන්නේ සතුට බවය. මෙය කෙළවර වන්නේ ඇනෝමීය සමාජය' (anomic society) යන තත්ත්වයෙනි. එයින් අදහස් වන්නේ සාර්ධර්ම පිරිහුණු සමාජයක් යන්නය. ප්‍රංශ සමාජ විද්‍යාඥ එමිල් ඩර්ක් හෙයිම් විසින් සිය The Division of Labor in Society (1893) කෘතියෙන් ‘ඇනෝමි' යන සංකල්පය ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී. මේ කාරණාවලින් පැහැදිලි වන්නේ නව ලිබරල්වාදය සහ එයින් ලැබෙන අවසන් ප්‍රතිඵලවලට අනුව මෙය තිරසාර ක්‍රමයක් ලෙස අනුගමනය කළ හැක්කක් නොවන බවය. මේ නිසා අප යොමු විය යුත්තේ ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදය' (Social democracy) වෙතය.


සාරධර්ම බිඳ වැටුණු ඇනෝමීය සමාජය


සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු සමාජ සාධාරණත්වය සහ ආර්ථික සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමේදී රාජ්‍යයට ප්‍රබල භුමිකාවක් සමඟ ඒකාබද්ධ වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන, සමාජීය සහ ආර්ථික දෘෂ්ටිවාදයකි. එය ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යයන් හරහා සාධාරණ සමාජයක් බිහි කිරීමේ අරමුණින් සමාජ සුබ සාධනය සහ පොදු සේවාවන්හි අවශ්‍යතාවය සමඟ ධනවාදයේ මූලධර්ම තුලනය කිරීමට උත්සාහ කරයි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාවට අවබෝධයක් තිබිය යුතු බවත්, අගහිඟකම් ඇති මිනිසුන්ට උපකාර කිරීම සඳහා ධනේශ්වර ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් යන අදහස මතය.

කෙසේ නමුත් අප රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව අපට එකවර මේ ක්‍රමයට අනුගත වීමේ හැකියාවක් නැත. ඒ සඳහා අප රට ආර්ථික වශයෙන් තවත් ශක්තිමත් තැනකට පැමිණිය යුතුය. ලෝකයේ දැනට පිළිගෙන ඇති පරිදි පවතින හොඳම ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. අද ලෝකයේ හොඳම සමාජ ක්‍රම පවතින බවට විශ්වාස කෙරෙන ස්කැන්ඩිනේවියානු රටවල ක්‍රියාත්මක වන්නේ මෙයයි. අප රට නව ලිබරල්වාදය ඔස්සේ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට පැමිණි පසු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා පදනම සකස් කර ගත හැකිය. නව ලිබරල්වාදය යනු වාහනයක එංජිමක ජවය නම්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු එහි මාර්ග නීති පද්ධතිය ලෙස හැඳින්විය හැකිය. නව ලිබරල්වාදයෙන් ඇති විය හැකි අයහපත් ප්‍රතිඵල පිළිබඳ දැනුවත් බැවින් ඒ ක්‍රමය මනා කළමනාකාරිත්වයකින් යුක්තව ඉදිරියට පවත්වාගෙන ගොස් පසුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සඳහා යොමුවීමට සැලසුම් සකස් කරගැනීම අප රටට අනුගමනය කළ හැකි හොදම පියවර බව සඳහන් කළ හැකිය.