පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, January 31, 2015

සඳ මෝරන කාලෙට පිස්සු තද වෙනවද? - Relationship between Full Moon and Mental Illness


උදම් හෙවත් වඩදිය හො බාදිය යනුවෙන් හඳුන්වනු ලබන්නේ චන්ද්‍රයාගේ ඇතිවන ගුරුත්ව බලය හේතුකොට ගෙන පෘථිවියේ සාගරවල ජල මට්ටමේ සිදුවන ඉහළ හා පහළ යාම යි. ජල මට්ටම ඉහළ යාම වඩදිය වශයෙන් ද, පහළ යාම බාදිය වශයෙන් ද හඳුන්වනු ලබයි. 
 
වඩදිය ඇතිවන අවස්ථාවේදී පෘථිවියේ චන්ද්‍රයාට මුහුණ දී ඇති කොටසේ සාගර ජලය චන්ද්‍රයා වෙත ඇදීමක් සිදුවේ. එවැන්නක් සිදුවන්නේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති ගුරුත්වයට වඩා චන්ද්‍රයාගේ ගුරුත්වය වැඩි වශයෙන් සාගරයට දැනෙන බැවිනි. මෙහි ප්‍රතිපලයක් ලෙස වඩදිය ඇති වේ. චන්ද්‍රයාට පිටුපා ඇති කොටසේ ද වඩදිය ඇති වේ. එය සිදුවන්නේ වෙනත් ආකාරයකටය. චන්ද්‍රයාගේ බලපෑම නිසා පෘථිවි කේන්ද්‍රය චන්ද්‍රයා දෙසට ඇදී යයි. එය සාගරය පෘථිවිය දෙසට ඇදී පවතින ගුරුත්වයට වඩා වැඩි ය. එවිට සිදුවන්නේ පෘථිවිය සාගරය දෙසට වඩා චන්ද්‍රයා දෙසට ඇදී යාමයි. මේ ආකාරයට චන්ද්‍රයාට පිටුපා ඇති පැත්තේ ද වඩදිය ඇති වේ. 

මිනිස් සිරුරේ ද 75%ක් පමණම පවතින්නේ ජලය බැවින් චන්ද්‍රයාගේ මෙම ගුරුත්ව බලය සිරුරට ද බලපාන්නේදැයි බොහෝ දෙනා තුළ ගැටළුවක් පවතී. කෙසේ නමුත් චන්ද්‍රයාගේ ගුරුත්ව බලය මෙසේ පෘථිවිය මතට කරන බලපෑම මිනිස් සිරුර මත ද මේ ආකාරයෙන්ම සිදුවන්නේ නැත. සිරුර මත ඇතිකරන චන්ද්‍ර ගුරුත්වය ගණනය කිරීමවලට පවා හසුවන්නේ නැති තරම්ය. මෙම ගුරුත්වයට සාගර ජලය හසුවන්නේ එය මහා පරිමාණයෙන් පෘථිවිය වටා ව්‍යාප්තව පවතින බැවිනි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇති පංච මහා විල්, මහා සාගරය තරම් පැතිර නොපවතින නිසා එය මත චන්ද්‍ර ගුරුත්වය බලපැවැත්වීම නිසා වඩදිය ඇතිවන්නේ අඟල් දෙකක් තරම් ප්‍රමාණයක් පමණි. එබැවින් පංච මහා විල් වර්ගකොට ඇත්තේ වඩදිය බාදිය ඇති නොවන ස්ථානයක් ලෙසිනි. නමුත් චන්ද්‍ර බලපෑම ඒවා මත ඇති නොවේ යැයි එයින් කියැවෙන්නේ නැත. 

ගුරුත්ව බලය, දුරට සාපෙක්ෂව වෙනස් වෙයි. නමුත් යම් පමණකට හෝ පවතී. විශ්වයේ පවතින ඕනෑම දෙයක් කුමක් හෝ දෙයක් කෙරෙහි ගුරුත්ව බලයකින් බැඳී පවතීයනුවෙන් නියමයක් තිබේ. පර්යේෂකයන් විසින් ගණනය කොට ඇති පරිදි මවක විසින් දරුවකු වඩාගෙන සිටින විට දරුවා මත මව විසින් ඇති කරන ගුරුත්ව බලපෑම චන්ද්‍රයා මගින් දරුවා කෙරෙහි ඇති කරන ගුරුත්ව බලපෑමට වඩා මිලියන 12 ගුණයකින් වැඩි ය. මෙයට හේතුව වන්නේ මව, චන්ද්‍රයාට වඩා දරුවා වෙත ඇති සමීපතාවය නිසාය. 

පූර්ණ චන්ද්‍රයාගේ බලපෑම නිසා මිනිස් ජීවිතවලට යම් වෙනසක් සිදුවන්නේ දැයි සොයා බැලීම පිණිස පර්යේෂණ බොහොමයක් සිදු කොට තිබේ. නමුත් මෙය ඔප්පු කරන්නට තරම් සාධක සොයාගන්නට කිසිදු පර්යේෂණයකට හැකි වී නැත. 

2005 වසරේදී මායෝ ක්ලිනික්නම් පර්යේෂණ ආයතනය ඔවුන් විසින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල Psychiatric Services නම් වෛද්‍ය සඟරාවේ පළකොට තිබිණි. පූර්ණ චන්ද්‍රයාගේ බලපෑම මානසික රෝගීන් කෙරෙහි දැඩිව පවතින බවට අප ජනසමාජයේද විශ්වාසයක් පවතී. ඔවුනට අවශ්‍ය කළේ එය සත්‍යය ද යන්න සොයා බැලිමය. පූර්ණ චන්ද්‍රයා ඇති දිනෙක,  වඩදිය බාදිය දැඩිව සිදුවන සවස 6ත් උදේ 6ත් අතර මානසික රෝගී චිකිත්සාගාරයක් වෙත වාර්තා කරන රෝගීන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය දිනයක වාර්තා කරන රෝගීන් සංඛ්‍යාව හා සසඳා බලනු ලැබිණි. මෙය වසර ගණනාවක් පුරා සිදු කෙරිණි. නමුත් එවැනි දිනයක් හා සාමාන්‍ය දිනයක් අතර ඇති වූ සංඛ්‍යාත්මක වෙනසක් සොයාගන්නට ඔවුනට හැකි වූයේ නැත. 

මීට අමතරව උදම් ඇතිවන රාත්‍රීන්වලදී වෛද්‍යවරු වැඩි වශයෙන් රෝගීන් පරීක්ෂාකිරීම සඳහා රෝහල්වලට පැමිණෙන්නේ දැයි සොයා බලන්නට ද එක් පර්යේෂණයක් සිදුකෙරිණි. එමෙන්ම එවැනි රාත්‍රීන්වලදී ශල්‍යකර්ම කිරීමේදී වැඩි අවදානම් සහගත තත්වයන් ඇතිවන්නේදැයි සොයා බැලිණි. නමුත් ඒ කිසිවකින් හෝ එවැනි සැළකිය යුතු තත්වයන් සොයාගත නොහැකි විය. 

මෙයින් පෙනෙන්නේ මිනිස් ජීවිත කෙරෙහි සඳ බලපෑම් කරන්නේ යැයි අප විශ්වාස කරන්නේ හුදෙක් අපේ පෙර පරම්පරාව එවැන්නක් අපගේ මනසට ඇතුලුකොට ඇති නිසා මිස භෞතිකව එවැන්නක් සිදුවන නිසා නොවේ.


4 comments:

  1. හද තියෙන කොට පිස්සුව වැඩිවෙනවා කියන කාරනාව විධ්‍යාත්මකවත් ඔප්පු කරපු සනාතන සත්‍යයක් කියලා තමයි ගොඩාරියක් අේප රටේ අය හිතන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ රටේ නම් මේ ගැන පර්යේෂණ කෙරිලා නැතිව ඇති. නමුත් ලෝකයේ මේ ගැන කෙරුණු පර්යේෂණවලින් නම් ඒ බව ඔප්පු වෙලා නැහැ. මම හිතන්නේ ගෙදර, ගෙවල් අවට ඉන්න අය නිසා පිස්සු වැඩිවෙනවා ඇති සදට වඩා.

      Delete
    2. අනේ මංද අපිට නං ඉතින් හැමදාම පිස්සු

      Delete
    3. හ්ම් හ්ම් ඒකත් ඇත්ත තමයි. හඳ නැතත් පිස්සු

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න