පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, March 28, 2015

සිකුරාදාට කැෂුවල් අඳින්නේ ඇයි? - Casual Wearing on Friday or Casual Friday




සතියේ දවස් හත ගැන සැළකිල්ලට ගත්තොත් පාසල් දරුවන්ගේ සිට රැකියාවල නිරත වන වැඩිහිටියන් දක්වා බොහෝ දෙනෙක් සඳුදා දිනය ගැන දක්වන්නේ පුදුමාකාර අකැමැත්තක්. මේ අකැමැත්ත සතියේ දවස් හත ගෙවීගෙන යද්දි ටික ටික අඩුවෙනවා. ඒ වගේම සිකුරාදා කියන්නේ මේ හැමෝම කැමතිම දවස. මොකද බොහෝ දෙනෙකුට දවස් දෙකක නිවාඩුවක් ලැබෙන නිසා. මේ නිසා සිකුරාදා දිනය බොහෝ දෙනෙක් සැහැල්ලුවෙන් ගත කරන්න පෙළඹිලා තියෙනවා. මේ සැහැල්ලුවට තල්ලුවක් දෙන්න බොහෝ පෞද්ගලික මෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනත් පියවර අරන් තියෙනවා. සතියේ මුල් දින හතර පිරිමින් නම් යුරෝපීය වගේ ඇඳුමින් සැරසුනත්, කාන්තාවන් සාරිය හෝ ඔසරිය ඇන්දත් ඉහත සඳහන් කළ ආකාරයේ ආයතනවල සියලු දෙනාට වඩාත් සැහැල්ලු ඇඳුම් අඳින්න අවසර දී තිබෙනවා. බොහෝ ආයතනවල ආයතනයේ නම සදහන් ටී ෂර්ට් මෙම දිනයේදී ඇඳීම සඳහා ලබා දී තිබෙනවා. ඒ නිසා කවුරු හරි සේවය කරන්නේ මොන ආයතනයකද කියලා පහසුවෙන්ම හොයාගන්න ඕන නම් සිකුරාදාට ටිකක් විපරමින් හිටියා නම් පහසුයි. මේ විදිහට සිකුරාදා දිනයේ සැහැල්ලු ඇඳුම් අඳින එකට කියන්නේ කැෂුවල් අඳිනවාකියායි. මේක අපේ රටේ පමණක් තිබෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ලොව පුරා සිකුරාදා දිනය හඳුන්වන්නේ කැෂුවල් ෆ්‍රයිඩේ’ (Casual Friday) නමින්. 

කැෂුවල් ෆ්‍රයිඩේයන්නට අපට ඍජු සිංහල තේරුමක් ගන්න බැරි වුණත් කාගෙත් සතුටු දවස එදා නිසා සංතෝෂ සිකුරාදාවගේ නමක් ඕන නම් දාගන්නත් පුළුවන්. මොකද කැෂුවල්කියන වචනයේ තේරුම් එකක්වත් මේ වැඩේට හරියන්නේ නැහැ කියලා පෙනෙන නිසයි එහෙම යෝජනාවක් ගෙනාවේ. මේ සංතෝෂ සිකුරාදා දිනයේ අතීතය 1950 දශකය තරම් ඈතකට දිව යනවා. ඇමරිකා එක්සත් ජනපදයේ කාර්යාලවල සේවය කරන සේවකයන් මානසිකව ධෛර්යමත් කිරීම සඳහා මෙය ආරම්භ කළ බව පැවසෙනවා.  නමුත් මෙය එතරම් ජනප්‍රිය වුණේ නැහැ. එයට හේතුව වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනි දිනවල ඇඳිය යුතු ඇඳුම්වල මිල ඒ කාලයේ තරමක් ඉහළ තත්වයක පැවතීමයි. නමුත් 1970 දශකය පමණ වන විට තුන්වැනි ලෝකයේ ඇඟලුම් කම්හල්වල නිපදවන මිල අඩු ඇඳුම් අධික ලෙස ඇමරිකා එක්සත් ජනපදයට ලැබෙන්න පටන් ගත්තා. ඇමරිකානුවන් අතර මෙම මිල අඩු ඇඳුම් කෙමෙන් ජනප්‍රිය වන්නට පටන් ගත්තා. එයින් සිදුවුණේ කලක් ජනප්‍රිය නොවුණු සංතෝෂ සිකුරාදාව නැවත ටිකෙන් ටික ක්‍රියාත්මක වන්නට පටන්ගැනීමයි. අවසානයේ බොහෝ දෙනෙක් මෙය ක්‍රියාත්මක කළ යුතු දෙයක් යැයි අදහස් දක්වන්නට ද පටන් ගත්තා. ඇතැම් ආයතනවල කොට කලිසම් සහ සෙරෙප්පු පවා ඇඳ පැළැඳ පැමිණීමට අවසර දුන්නා. නමුත් පසුව මෙය වඩාත් ක්‍රමවත් වී රැකියාවේ ගෞරවයට හානි නොවන අන්දමින් ළිහිල්, පහසු ඇඳුම් අඳින්නට ක්‍රමයක් ගොඩනගාගන්නට ඔවුන් පියවර ගත්තා. 

මේ පුරුද්ද තමයි දැන් ලෝකයේ පැතිර ගොස් තිබෙන්නේ. අපේ රටේ බොහෝ පෞද්ගලික ආයතනවලටත් ඇතැම් රජයේ ආයතනවලටත් මෙය ව්‍යාප්තව තිබෙනවා. විශේෂයෙන් පෞද්ගලික හා ඇතැම් රාජ්‍ය බැංකු සේවකයන් මෙසේ සිකුරාදා දිනයේ සැහැල්ලු ඇඳුම් අඳිනවා. සැබැවින්ම එළැඹෙන නිවාඩු දින දෙක පිළිබඳ සිතමින් වඩාත් සැහැල්ලුවෙන් රාජකාරී කරන්නට මෙය උපකාරී වී තිබෙනවා. එළැඹෙන නිවාඩු දිනයන් පිළිබඳ සිතමින් රාජකාරිය අලස ලෙස සිදුකිරීමේ පුරුද්ද ද මේ නිසා අවම වී තිබෙන බවයි පැවසෙන්නේ. එයට හේතුව සේවකයන් තුළ සැහැල්ලු මානසිකත්වයක් ඇතිකිරීමට මෙය ඉවහල් වී ඇති නිසයි.

6 comments:

  1. සැහැල්ලු සිකුරාදා කියමුද?

    ReplyDelete
    Replies
    1. ෂා මරේ මරු නේ ඒ නම. ඒක නියමයි. මට නිකම්වත් එහෙම එකක් මතක් වුණේ නෑ. ඒක නියමයි.

      Delete
  2. නිරංලන්ගේ ලිපිවල තියන විශේෂත්වය තමයි ගොඩක් කරුණු එකතුකරගන ඒ හැම දෙයක්ම ගොණුකරලා ඉදිරිපත් කරන එක.ඇත්තටම ඒවගේ ලිපි වලින් අපි නොදන්න කරුණු ගොඩක් ඉගනගන්නවා.ස්තූතියි සහෝදරයා මේ කරන මෙහෙයට.
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තූතියි යාළුවා. අනෙක් අය නොදන්න හෝ වැඩි විස්තරයක් නොදන්න යැයි කියා සිතෙන දේවල් ගැන විස්තර හොයලා ලියන්න තමයි මම කැමති.

      Delete
  3. මේ සතියේ "සැහැල්ලු සිකුරාදා"අපිටත් නිවාඩු."සැහැල්ලු බ්‍රහස්පතින්දා වෙන්ට තව දවස් දෙකක්ම තියෙනවානේ..:D

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් මේ සිකුරාදා නම් පුදුම සැහැල්ලුවකින් ගත කරන්න පුළුවන් වෙයි මයෙ හිතේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න