පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, March 1, 2015

ඉස්සර කාලේ හෝටල් ගාස්තු - Hotel Rates of Good Old Days




සාමාන්‍යයෙන් අද කාලේ කඩේකින් කෑම එකක් ගන්නවා නම් කීයක් විතර වියදම් වෙයිද? නොයෙක් තැන්වල විවිධ ගණන් මිනුම් තියෙනවා. කොළඹ අලුත්කඩේ උසාවිය පැත්තේ නම් උදේ කෑම එකක් සාමාන්‍යයෙන් රුපියල් 100කට විතර සප්පායම් වෙන්න පුළුවන්. දවල් කෑම එකක් ගැන හිතුවොත් කුකුල් මස් එක්ක රුපියල් 120 ක් විතර වෙනවා. බුරියානි එකක් හෝ ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 140 - 180 විතර වියදම් කරනකොට සප්පායම් වෙන්න පුළුවන්. මේ කිව්වේ කොළඹ තරු පහේ හෝටල්වල මිල ගණන් කියා වරදවා තේරුම්ගන්න එපා. ඒවායෙන් සප්පායම් වෙන්න නම් බැංකු ණයක් ගන්නම වෙනවා. නමුත් අපට ටිකක් අතීතයට ගියොත්, ඒ කියන්නේ අවුරුදු 40ක් විතර ආපස්සට ගිහින් 1974 අවුරුද්දට ගියොත් නම් තත්වය මීට වඩා හුඟක් වෙනස්.

අද කාලයේ ශ්‍රී ලංකා හෝටල් සංස්ථාවේ තානායමක නතර වෙන්න නම් රුපියල් 10,000ක් වත් වැය කළ යුතු වෙනවා. මේ මුදලට බොහෝ විට අයත්වන්නේ උදේ ආහාරයත් එක්ක එක් රාත්‍රියක් සඳහා වන නවාතැන් සැපයීම පමණයි.  නමුත් අපි 1974ට ගියොත් එක් රාත්‍රියක් සඳහා එක් ඇඳක් සහිත කාමරයක් සඳහා වැයවී තිබෙන්නේ රුපියල් 6.00ක් පමණයි. තව ටිකක් සැප පහසු විදිහයට ඉන්න ඕන කියලා වායු සමීකරණය කළ කාමරයක් ගන්නවා නම් වැයවී තිබෙන්නේ රුපියල් 12.00ක් පමණයි. අද රුපියල් 12.00ට ප්ලේන් ටී එකක්වත් බොන්න බැහැ. 

ඒ කාලයේ අද වගේ තානායම් ගාස්තුවල නවාතැන් සැපයීමේදී  කිසිම කෑම වේලක් අයත් වුණු බවක් පෙනෙන්න නැහැ. නමුත් ගණන් මිනුම් බැලුවාම එසේ අඩංගු නොවුණා කියා ගැටලුවකුත් නැහැ. මොකද උදේට මස් හෝ මාළු සහ සම්බෝල සමග ආප්ප හරි ඉඳිආප්ප හරි ගන්නවා නම් වැයවුණේ රුපියල් 1.50ක් විතරයි. ප්ලේන් ටී එකත් මේ මිලටම ඇතුළත් වුණා. අද ප්ලේන් ආප්පයක් රුපියල් 6ක් වත් වෙනවා. එතකොට බිත්තර ආප්පයක් රුපියල් 40ක් විතර වුණත් 1974 අවුරුද්දේ වෙලා තියෙන්නේ ශත 50යි. අද ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් එකේ ජැකලින්ගේ ආප්ප කඩේ එක ආප්පයකට රුපියල් 200ක්  වියදම් කරන්න ඕන. දැන් ඒ ආප්ප කඩේ තියෙනවද කියලා නම් දන්නේ නෑ. 

ඒ කතා කළේ උදේ කෑම ගැන. දවල් කෑම ගැන බැලුවොත් මස් හෝ මාළු, එළවළු වෑංජනයක්, මැල්ලුමක්, සම්බෝලයක්, කරවල හෝ පපඩම් එක්ක හොඳට බත් එකක් කාලා අතුරුපසක් විදිහට පලතුරු ගන්න පුළුවන් වුණා රුපියල් 3.00කට. මස් මාළු කන්න අකමැති කවුරු හරි ඉන්නවා නම් ඒවා නැතිව මේ කෑම වේලම රුපියල් 2.50කට ගන්න පුළුවන් වුණා. ඒ කාලේ කවුරු හරි වාහනයකින් ගියොත් ඒ වාහනේ රියැදුරු මහත්තයටයි, කවුරු හරි සේවකයෙක් ගියා නම් ඔහුටයි රුපියල් 1.50කට මේ කෑම වේල ලබා දුන්නා. 

මීට අමතරව තෝර මාළු පීරිසියක් ගන්නවා නම් රුපියල් 2.50 යි. මස් හෝ ඉස්සෝ, පීරිසියක් ගත්තොත් රුපියලයි. අමතර එළවළුවකට ගෙවන්න ඕන වුණේ  ශත 50ක් විතරයි. පලතුරු සලාදයක් ශත 75කටත්, මුදවපු කිරි එකක් පැණිත් එක්කම රුපියලයටත් ගන්න පුළුවන්කම තිබුණා. 

මේ වගේ තානායමක නැවතිලා විවේක ගන්න අතරේ හවස තේ එකක් බොනවා නම් සැන්විඩ් එකක් රුපියල් 2.00කට ගන්න පුළුවන් වුණා. එක් අයෙකුට සරිලන තේ එකක් ශත 50කටත්, කෝපි එකක් ශත 75කටත් ගන්න පුළුවන්කම තිබුණා. 

අපි මේ කතා කළේ අපේ රටේ ආහාර ගැන විතරයි. නමුත් සල්ලිබාගේ තියෙන කෙනෙකුට පිටරට කෑම වර්ගත් මේ තානායම්වලින්ම ගන්න පුළුවන්කම තිබුණා. උදේට පලතුරක්, බිත්තර දෙකක් (කැමති ආකාරයකට), ටෝස්ට් පාන් සමඟ බටර්, මාමලේඩ් හෝ ජෑම්, තේ හෝ කෝපි සහිත කෑම වේලක් සඳහා වැයවුණේ රුපියල් 5.00යි. 

දිවා හෝ රාත්‍රී ආහාර වේලක් අපරදිග විදිහට ගන්නවා නම් මෙන්න මෙහෙමයි මිල ගණන්. 

සුප්, මාළු, බිත්තර හෝ මස් කෝප්පයක්, එළවළු, පාන් හෝ ටෝස්ට් කළ පාන් සමඟ බටර්, අතුරුපස, තේ හෝ කෝපි කියන සම්පූර්ණ ආහාර වේල සඳහා රුපියල්වලින් 7.50ක් වැය කළ යුතු වුණා. 

තව ටිකක් වැඩිපුර වියදම් කරන්න කැමති අය ඉන්නවා නම් මෙන්න තව මෙනුවක් තියෙනවා. 

මේ මෙනුවේ හැටියට සුප්, මාළු හෝ බිත්තර කෝසස් එකක්, මස් කෝසස් එකක්, එළවළු, සලාද, පාන් හෝ ටෝස්ට් කළ පාන් සමඟ බටර්, අතුරුපස, තේ හෝ කෝපි කියන සියල්ල රුපියල් 10.00 කට ගන්න පුළුවන් වුණා. 

ඊට අමතරව බිත්තර දෙකකින් පිළියෙළ කළ චීස් ඔම්ලට් එකක් රුපියල් 2.00කට ගන්න පුළුවන් වුණා. බැදපු මාළු පෙති හෝ කෑලි රුපියල් 3.75යි. බැදපු කුකුල් මස්, හැම් සහ එළවළු රුපියල් 8කට ගන්න පුළුවන් වුණා. බැදපු ඉස්සෝ රුපියල් 4.00 - 4.50 දක්වා මිල ගණන්වලට ගන්න පුළුවන්. පොකිරිස්සකුගේ රස බලන්න කැමති නම් රුපියල් 7.50ක් තිබුනාම ඇති. 

හවසට තේ එකක් බොන්න පුළුවන් රුපියල් 2.00කට. මේ තේ එකට සැන්විච් 6ක්  ලැබුණා.  තේ එක වෙනම ගන්න ඕන. ඒකට ශත 50ක් වෙනවා. කෝපි බොනවා නම් ශත 75යි. 

මේ මිල ගණන්වලට එක්කෙනෙක් ඒ කාලයේ තානායමක නතර වෙලා අපේ රටේ කෑම කෑවොත් මෙන්න මේ විදිහට වියදම් යනවා. තානායමට ගියේ හවස කියලා හිතමු. 

නිදන කාමරය    රු. 5.00
සවස තේ           රු. 3.50
රාත්‍රී කෑම          රු. 2.00
උදේ කෑම         රු. 1.50
එකතුව  රු.        රු. 12.00 

වායු සමීකරණ කළ කාමරයක නතර වුණා නම් රුපියල් 19යි වියදම් වුණේ.  4 දෙනෙක් ඉන්න පවුලක් ගියොත් මේ  මිල ගණන් වගේ 4 ගුණයක්, ඒ කියන්නේ රුපියල් 48.00 වැය වෙනවා. අද දවල් කෑම එකක් වෙනුවෙන් වියදම් කරන මුදලෙන් ඒ කාලේ තානායමක නැවතිලා දවසක් ඉඳළා හොඳට කාලා ගමන් වියදම්වලට වෙන කළාට පස්සේ තව අතේ ගාණක් ඉතිරිත් වෙනවා. 

කොහොම වුණත් 1974 කාලේ ලිපිකරු හා සමාන්තර ශ්‍රේණියේ රාජ්‍ය සේවකයකුගේ වැටුප රුපියල් 250.00ක් පමණ වුන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. ඒ 250 න් විවිධ අඩුකිරීම් වුණාට පස්සේ අතට ලැබිලා තියෙන්නේ රුපියල් 215ක් විතර. ඒ කාලයේ තානායම් හා ආහාර  මිල ගණන් අදට සාපේක්ෂව කොයි තරම් අඩුද කියලා හිතුණත් ඒ කාලේ මේ වගේ වැටුපක් ගන්න කෙනෙක් රුපියල් 50 වියදම් කරනවා කියන්නේ වැටුපෙන් හතරනේ පංගුවක් විතර ගණනක්. ඒ නිසා අද වගේම ඒ කාලෙත් තානායම්වල, හෝටල්වල නැවතිලා නිවාඩු ගත කරන්න හැමෝටමත් බැරිවෙන්න ඇති.

8 comments:

  1. ස්කෑන් එක අජූතයි නේ ලොක්කා. කෝ දකුණු අත පැත්තේ අන්තිම තීරුව කැපිලා ගිහින්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක මම ස්කෑන් කළ එකක් නෙවෙයි. ඊමේල් එකකින් ලැබුණු එකක්.

      Delete
  2. මේ බ්ලොගේ හැමදාම හොද දේවල් යනවා,කොහෙන් හරි හැමදාම එකෙක් මොකක් හරි වැරද්දක් කියනවා.

    ReplyDelete
    Replies
    1. එවැනි අදහසක් දැක්වීම ගැන ස්තූතියි. පුළුවන් තරමින් වැරදි අඩුකරගෙන මේක පවත්වාගෙන යන එක තමයි මගේ අරමුණ.

      Delete
  3. මෙහෙමයි, ඔය ගාස්තු දැන් කාලේ ගණන් එක්ක බලද්දි අඩු බව ඇත්ත, ඒත් අපි බලන්න ඕනේ ඒ කාලේ ආදායමත් එක්ක.
    අන්තිමට කියලා තියෙනවා වගේ මගේ තාත්තාගේ 1977 වැටුප රුපියල් 250. ඉතින් කියලා තියෙනවා වගේම හෝටලයක ඉන්න රුපියල් 15 විතර දවසකට වියදම් කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ කාලෙත් බැලුවාම ඒ ගණන් මිණුම් අද කාලෙ වගේම තමයි.

      Delete
  4. කාල යන්ත්‍රයක් තිබ්බනම් 2500න් කාලා ඇදලා ඉන්න තිබ්බා
    :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත. මේ ලිස්ට් එක දැකලද දන්නෙත් නැහැ ඒ කාලේ මෙහෙම කතාවක් කියන්න ඇත්තේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න