පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, March 7, 2015

ජෝසේ මුජිකා කෝර්ඩානෝ හෙවත් ලොව දුප්පත්ම ජනපති - Jose Mujica, The World's Poorest President


ලෝකයේ අනෙක් රටවල් පිළිබඳ කෙසේ වෙතත් අපේ රටේ නම් බහුතරයක් දෙනා දේශපාලනයට පිවිසෙන්නේ රටට හෝ ජනතාවට සේවය කරනවාට වඩා තමාට සහ තම පරම්පරාව සැපවත් කිරීම සඳහා ය. එය මුසාවක් නොවන බව ආසන්නතම අතීතයේ සිට ඈති අතීතය දක්වා අවධානය යොමුකළ විට පැහැදිලිවම පෙනෙන්නට තිබේ. එසේ හෙයින් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාගේ සිට රටේ ජනාධිපති දක්වා වූ සියලුදෙනාම පාහේ ධනය ඉපැයීමේ කර්තව්‍යයක් යෙදී සිටින අතර, ඒ නිසාම ඒ බොහෝ දෙනෙකු පොහොසත්තු වෙති. මෙවැනි පරිසරයක හැදුණු වැඩුණු අපේ රටේ බොහෝ දෙනෙකුට දුප්පත්ම ජනාධිපතිවරයෙක් ගැන ඇසීම පවා විශ්මයට කරුණක් වනු නිසැකය. මන්ද අප රටේ සාමාන්‍ය මන්ත්‍රීවරයකුට පවා ගුවන් යානා හිමිව පවතින විට දුප්පත් ජනාධිපතිවරයෙක් ගැන කතා කිරීම විහිළුවක් වන නිසාය. නමුත් ලංකාවේ එසේ වුවත් ඇතැම් රටවල් එසේ වෙන්නේ නැතැයි කිව හැක්කේ ලෝකයේ එවැනි දුප්පත් ජනපතිවරයෙක් සිටි නිසාය. ඔහු කෙතරම් දුප්පත් ද කිවහොත් මෑත දිනවල ලෝකයේ ජනමාධ්‍ය ඔහුගේ දුප්පත්කම පිළිබඳ බොහෝ දේ කතා කරන නිසාය. අප රටේ නම් එවැනි ‛අවාසනාවන්ත’, ‛දුප්පත්’ ජනපතිවරුන් නොමැතිය යන්න ගැන සිතමින් මේ අපූරු මිනිසා ගැන අප කතා කළ යුත්තේ එබැවිනි. 

මෙහි වම් පැත්තේ සිටින්නේ ගරිල්ලා නායකයකු වූ මුජිකාය


ඔහු ජෝසේ “පෙපී” මුජිකා කෝර්ඩානෝ ය. 1935 මැයි 29 වැනිදා උපන් ඔහු 2010 - 2015 දක්වා උරුගුවේ දේශයේ ජනපතිවරයා විය. ජනපති පදවියට පත්වන ලෝකයේ ඕනෑම පුද්ගලයකු බොහෝ විට ප්‍රසිද්ධියට පත්වන්නේ එම පදවිය නිසා පමණක් වුවත් මොහු ප්‍රසිද්ධියට පත් වූයේ ලෝකයේ දුප්පත්ම ජනාපතිවරයා ලෙසිනි. ඒ ඔහු ගත කරන්නට හුරුපුරුදුව සිටි අතිශය සරල දිවිපෙවෙත නිසාය. අතීතයේ ‛ටුපමාරොස් ජාතික විමුක්ති ව්‍යාපාරයට’ සම්බන්ධ ගරිල්ලා නායකයකු  විය. මෙහිදී එක් අවස්ථාවක ඔහුට එකවර වෙඩි හයක් වැදුණු අතර හාස්කමකට මෙන් ඔහුගේ ජීවිතය ගැලවුණි. පසුව සිරබත්වීම්, සිරෙන් පැන යාම්වලින් පිරි ජීවිතයක් ගතකරමින් සිටි ඔහුට 1985 වසරේදී උරුගුවේ රාජ්‍යය තුළ විධිමත් ලෙස ප්‍රජාත්ත්‍රවාදය ස්ථාපිතවීමෙන් අනතුරුව ක්ෂමා නීතිය යටතේ ඔහු කළ සියලු යුද වැරදිවලින් නිදොස් කොට සමාව ප්‍රදානය කරන ලදී. 

සිරභාරයට පත් වූ අවස්ථාවක ගනු ලැබූ ඡායාරූපයකි

ඉන් වසර කිහිපයකට පසුව වාමාංශික දේශපාලනයට එක්වූ ඔහු 1999 වසරේදී එහි මහ මැතිවරණයෙන් සෙනෙට් සභිකයකු බවට පත්විය. ඔහු ගරිල්ලා නායකයකුව සිටි බැවින් ඔහු කෙරෙහි දැවැන්ත ජනතා ආකර්ෂණයක් පැවතුණි. පසුව 2005 මාර්තු 1 වැනිදා එවකට සිටි ජනපති වස්කෙස් විසින් ඔහුව උරුගුවේ දේශයේ පශු, කෘෂිකාර්මික හා ධීවර ඇමතිවරයා බවට පත් කළේය. මුජිකාගේ පියා  ගොවියකු වීමත්, මුජිකාට ද ගොවිපළක් හිමිවීමත් නිසා ඔහුට මෙම ඇමතිධූරය වඩාත් සුදුසු විය. ජනපති වස්කෙස්ගෙන් පසුව පක්ෂයේ සියලු දෙනාගේ ඒකමතික තීරණයෙන් ජනපති අපෙක්ෂකයා බවට පත් වූ මුජිකා 2009 ඔක්තෝබර් මාසයේ පවත්වන ලද ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබාගනිමින් 2010 - 2015 යන වසර පහ සඳහා එරට ජනපති බවට පත්විය. ඔහුගේ උප ජනපති වූයේ සිය මැතිවරණ ව්‍යාපාරය පුරා ඔහුගේ සහායට සිටි ඩැනිලෝ ඇස්ටෝරි ය. 

ජනපති ආර්යාව ලුසියා 

ඔහුගේ විවාහ ජීවිතය ද ගරිල්ලා ජීවිතයටම සම්බන්ධ වූවකි. ටුපමාරොස් ගරිල්ලා සංවිධානයේ සාමාජිකාවක මෙන්ම වර්තමාන සෙනෙට් සභික ලුසියා ටොපොලැන්ස්කි සමග ඔහු 2005 දී විවාහ දිවියට එළැඹිණි. ඒ වසර ගණනාවක් තිස්සේ එක්ව ගත කළ ජීවිතයකින් පසුවය. විමුක්ති සටන්කරුවන් ලෙස ඔවුන් ගත කළ ජීවිතය පුරා ද ඔවුහු ආදරවන්තයන් වූහ. ඇය වරෙක පවසා තිබුණේ ඔහු සියලු විටම තමාගේ සැමියා ලෙස තමා ළඟින් සිටි බවය. ඔවුනට දරුවන් නොමැත. ඔහුත් ඇයත් මොන්ටිවිඩීයෝ නගරයේ අද්දර ගොවිපළක් පවත්වාගෙන යන අතර අළෙවිය සඳහා ඔවුහු කපුරු මල් වගා කරති. 


සුඛෝපභෝගී ජනපති මන්දිරය ප්‍රතික්ෂේප කළ ඔහු ජනපති පදවිය දැරූ සමයේ ද ජීවත් ව සිටියේ ගොවිපළේ වූ මෙම කුඩා නිවසේය. ඔහුගේ එකම ප්‍රවාහන මාධ්‍යය වූයේ පැරණි වොක්ස්වැගන් (ෆොක්ස්වැගන්) බීට්ල්  රථයකි. 2010 වසරේ දී ඇමරිකානු ඩොලර් 1,800ක (රු. 240,000ක් පමණ) වටිනාකමකින්  යුක්ත වූ මෙය එම වසරේ ඔහුගේ වාර්ෂික වත්කම් ප්‍රකාශයට ඇතුළත් වූ එකම වටිනා පෞද්ගලික දේපළ ද විය. ඔහුගේ දුප්පත් ගොවි නිවසේ ඇත්තේ එක් නිදන කාමරයක් පමණි. පසුගිය වසර 30 මුළුල්ලේම මේ යුවල ජීවත් වූයේ මේ නිවසේය. ජනපති ධුරය දැරූ සමයේ ඔහුගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් 12,000ක් (රුපියල් ලක්ෂ 16ක් පමණ) වූ අතර ඉන් 90%ක්ම වැය කරනු ලැබුයේ දිළිඳු ජනතාවගේ සුබ සිද්ධිය සඳහාය. 

ජෝසේ මුජිකාගේ සුප්‍රකට මෝටර් රථය 

ලෝකයේ බොහෝ ජනපතිවරුන්ගේ වැටුප හා සුඛෝපභෝගී ජීවිත සමඟ සැසඳීමේදී මුජිකා සිය  ජීවිතය අතිශයින්ම සරල ලෙස ගත කළේය. බොහෝ ජනපතිවරුන් මිල අධික සුරතලුන් ඇතිදැඩි කරද්දී ඔවුන්ගේ සුරතලා වූයේ උපතින්ම එක කකුලක් අහිමි ‛මැනුවෙලා’ නම් සාමාන්‍ය සුනඛයෙකි. මුජිකා තම ගමන් බිමන් බොහොමයකදී මැනුවෙලා රැගෙන යන්නට පුරුදුව සිටියේය. ජනපති පදවිය දරන සමයේ ඔහුගේ ආරක්ෂාවට සිටියේ උරුගුවේ  පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ මනුවෙලා පමණි. 

බොහෝ අවස්ථාවලදී ඔහු සිය සුරතලා වූ මනුවෙලා රැගෙන යන්නට පුරුදුව සිටියේය

ඔහු අසනීපයකට ප්‍රතිකාර සඳහා සියලුවිටම රජයේ රෝහලක් තෝරාගත්  අතර (වර්තමානයේද එසේමය) සිය ජනපති පදවිය ඉදිරියට දමා අනෙක් රෝගීන් පෝලිමේ සිටියදී තමාට ප්‍රමුඛතාවය ලබාගැනීමට කිසි විට ක්‍රියා කොට නැත. ඔහු ද සෙසු රෝගීන් මෙන්ම පෝලිමේ ගමන් කොට ප්‍රතිකාර ලබාගැනීමට පුරුදුව සිටියේය. 

ඔහු සාමාන්‍ය මිනිසුන් සමග පෝලිමේ ගොස් ප්‍රතිකාර ලබාගන්නට පුරුදුව සිටියේය


ඔහුගේ ෆොක්ස්වැගන් රථය එතරම් නොවටින්නේ නමුත් අරාබි ජාතිකයකු එය ඇමරිකානු ඩොලර් මිලියනයකට මිලදී ගත්තේ ය. ඒ ලොව සරලතම ජනපතිවරයාගේ මෝටර් රථය සන්තක කරගැනීමට එම අරාබි ජාතිකයාට තිබූ කැමැත්ත නිසාය. ඩොලර් මිලියනයක් යනු අපේ රටේ මුදලින් නම් රුපියල් දහතුන් කෝටියක්ට ආසන්න මුදලකි. නමුත් එම මුදල ලබාගෙන පොහොසතකුවීමට ඔහුට තිබූ අවස්ථාව අතහැර දැමූ ඔහු එම මුදල ද දුප්පත් අසරණයන් වෙනුවෙන් බෙදා දුන්නේය. 

ජෝසේ මුජිකාගේ ගොවිපොළ නිවස

දැන් ඔහු උරුගුවේ ජනපතිවරයා නොවේ. නව ජනපතිවරයෙක් පත්වුව ද උරුගුවේ මෙන්ම සෙසු ලෝකයා ද කතාකරන්නේ නව ජනපතිවරයා පිබඳව නොව හිටපු ජනාධිපතිවරයාය. ඒ ඔහු දූෂණ වංචා කළ නිසා නොවේ. ඔහුගේ අතිශය සරල දිවි පැවැත්ම නිසාය. ඔහු ජනපතිධුරයෙන් සමුගන්නා විට ඔහු වටා ඉමහත් ජනප්‍රසාදයක් ගොඩනැගී තිබිණි. ඒ ඔහු ජනතාවගේ පාර්ශවය ගෙන බොහෝ නීති සංශෝධන සිදු කළ බැවිනි. ඔහු නැවත ජනපති බවට පත්කරගන්නට එරට ජනතාව තුළ ඉමහත් කැමැත්තක් තිබිණි. නමුත් එයට ඔහුගේ කැමැත්තක් නොතිබූ අතර, එයට එරට ව්‍යවස්ථාවෙන්ද ඉඩක් නොතිබිණි. නමුත් ඔහුට බලය වෙනුවෙන් ව්‍යවස්ථා වෙනසක් සිදුකිරීමට අවැසි වූයේ නැත. ඔහු දැන් ඔහු කැමති, ඔහුට හුරු පුරුදු ගොවි ජීවිතයට යළිත් පිවිස සිටී. කෙසේ නමුත් ලොව දුප්පත්ම ජනපති ලෙස යමෙක්  අමතනවාට ඔහු අකමැතිය. ඔහු පවසන්නේ බොහෝ දෙනෙක් අධික ධනයක් රැස්කරගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්නටත්, එය ජීවිතය පවතින තෙක් පවත්වාගනෙ යාමටත් දිවා රෑ නොබලා වෙහෙසෙන බවය. ඔවුන්ගේ සිතේ සැනසිල්ලක් නැති බවය. තමුත් තමාට එවැනි බරක් හිතේ නොමැති බව පවසන ඔහු, සිතේ සැනසිල්ලක් නොමැති නම් කෙතරම් ධන සම්පත් තිබුණ ද පලක් නැති බව පවසයි. එසේ හෙයින් ඔහු සැනසිලිදායක බවින් ලොව ධනවත්ම ජනපති යැයි අපට පැවසිය හැකිය. අවාසනාව වන්නේ අප වැනි දිළිඳු රටවල ජනපතිවරුන් සහ ඔහුට පහළින් සිටින කිසිදු මැති ඇමතිවරයකු මේ බව තේරුම් නොගැනීමය. ඒ අන් සැපත පිණිස දළ දන්දෙන ඇතුන් අපට පහළ නොවන නිසාය. එවැන්නන් කිසිදා බණ පොතින් මෙපිටට නොවඩින නිසාය. 

5 comments:

  1. මම හිතුවේ අපේ සිරිසේන මහත්තයා ගැන ලියපු එකක් කියලා. දැන් ලෝකේ ඉන්න දුප්පත්ම ජනාධ්පති නම් අපේ සිරිසේන මහතා වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. උඹ නං මහ බූරුවෙක් බං, ලංකාව කියන රටේ හිටපු ජනාධිපති මහින්දත් එක්ක බලද්දි මෛත්‍රී පාල ජනාධිපතිතුමා මුජිකා ජනාධිපතිතුමාට සමානයි ...

      Delete
    2. මම හිතුවේ අපේ හිටපු ජනාධිපතිතුමා ගැන ලියැවුණු ඒකකි කියලා...................

      Delete
    3. සිරිසේන මහතාට මේ වාර්තාව කැඩීමට හැකි වේවා කියා අපි පතමු.

      Delete
  2. අනේ මහා කලු සිංහලයෝ............. කටෙන් ද කතා කරන්නේ .... පොඩ්ඩක් චෙක් කොරලා බලහං...........

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න