පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, June 25, 2015

කෝප්පයෙන් අනාවැකි කියමු - Predictions by Cup



යම් යම් දේ සිදුවෙන්නට කලින් දැනගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක හැම අතින්ම ප්‍රයෝජනවත් දෙයක්. ඇත්ත නැත්ත කොහොම වුණත් අපි කේන්දරය බලවගන්නේත් ඒ වගේ ඉදිරියේදී ජීවිතයට වෙන්න තියෙන්නේ මොනවද කියලා දැනගන්නයි. එවිට ඒ දේවල්වලට යම් සූදානමක් ඇතිකරගන්න පුළුවන්. නමුත් ඒ වගේ දෙයකට නම් ජ්‍යොතිෂය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. කොහොම වුණත් ජීවිතය ගැන වගේම වෙනත් දේවල් ගැනත් අනාවැකි පළ කළ හැකි ලේසි පහසු ක්‍රම තිබෙනවා. බොහෝ දෙනෙක් මේවා ගැන දන්නේ නැහැ. ඒ නිසා එවැනි ක්‍රමයක් දෙකක් ගැන කතා කරන්නයි දැන් සූදානම් වෙන්නේ. 

අපි මුළින්ම කරන්නේ තේ කෝප්පයෙන් අනාගත ජීවිතය ගැන අනාවැකි පළකරන විදිහ ගැන කතා කරන්නයි. ඇත්තටම තේ කෝප්පයෙන් අනාවැකි කියන එක අදක ඊයෙක හොයාගත්ත දෙයක් නෙවෙයි. එය වසර දහස් ගණනක් පැරණි අනාවැකි ක්‍රමයක්. මේ ක්‍රමය උපත ලබා ඇත්තේ මැදපෙරදිග සහ පෙරදිග බව පැවසෙනවා. මෙය ඉංග්‍රීසි බසින් හඳන්වනු ලබන්නේ tasseography නමින්. මේ සඳහා අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. 

තේ කොල ටිකක්, උණු වතුර, තේ කෝප්පයක් සහ පීරිසියක් අවශ්‍යයි. 

දැන් තේ කොල තේ හැන්දක් විතර අරගෙන කෝප්පයට දමන්න. දැන් උණු වතුර ටික කෝප්පයට වත්කරලා පීරිසියෙන් වහලා මිනිත්තු දෙකක් පමණ තියන්න. මේ සඳහා ඔබ යොදාගත්තේ කලු තේ නම් මිනිත්තු දෙකක් විතර ඇති. කොල තේ නම් ඊට වඩා ටිකක් වැඩි කාලයක් තියන්න. උණු වතුර කෝප්පයට වත්කරන විට හැන්දකින් සෙමින් කරකවන්නත් මතක තියාගන්න ඕන. 

දැන් තේ තේ කෝප්පයෙන් තුන් කාලක් විතර බොන්න. එවිට කෝප්පයේ ඉතිරිවන්නේ කාලක් පමණයි. ඉන් පසුව හැන්දක් අරගෙන ඉතිරි තේ ටික කවලම් කරලා කෝප්පය උඩ පීරිසිය තියලා එක්වරම අනෙක් පැත්ත හරවන්න. එවිට තේ පීරිසිය මතට ගළාගෙන යන හැටි ඔබට පෙනෙනවා. දැන් තේ කෝප්පය පීරිසිය මත තිබෙද්දීම ඔරලෝසුව කරකැවෙන අතට තුන් වතාවක් කෝප්පය කරකවන්න. තේ පීරිසියට ගළාගෙන යද්දී කෝප්පයේ ඇලී ඉතිරිවුණු තේ කොලවලින් ආසන්න වශයෙන් ඉදිරි සති දෙක ඇතුළත් ඔබට මුහුණපාන්නට සිදුවන දේවල් ගැන කියැවෙනවා. යටට වන්නට ඇති තේ කොළවලින් ඉදිරි සති හතරේ සිදුවිය හැකි දේවල් ගැනත් කියැවෙනවා. 

දැන් බලමු මේ තේ කොලවලින් හැදුණු රටාවලින් කියැවෙන්නේ මොනවද කියලා. 

වැලි තුලාව - පරෙස්සම් විය යුතු බව 
වළාකුළු - මානසික ගැටලු 
චන්ද්‍රවංකය (කුඩා සඳ පලුවක්) - අලුත් ආරම්භයක් 
මාළුවා - ධනය, සුබ ආරංචි, ආශාවන් 
මුද්ද - වගකීම්, පොරොන්දු 
සිප්පි කටුව - මූල්‍ය කටයුතු 
තරුව - වාසනාව 
ඍජු රේඛාව - විනෝදාස්වාදය ලැබෙන ගමන් බිමන්, දීර්ඝායුෂ, සාමය 
රැළි ගැසුණු රේඛාව - අහිමිවීම්, පාඩු, ඔබේ සිතට වද දෙන යමක් 
මල - වර්ධණය, සාර්ථකත්වය 
ත්‍රිකෝණය - කොනක් උඩට සිටින සේ ඇත්නම් වාසනාව, කොනක් පහළට සිටින සේ ඇත්නම් අවාසනාව 

මීට අමතරව ඔබට පෞද්ගලිකව විවිධ අර්ථ ඇති සංකේත ද මෙහි තිබේදැයි බැලිය හැකියි. 

හොඳයි අපි ඒ අනාවැකි කිව්වේ තේ කෝප්පයෙන්. ඔබේම ජීවිතය ගැනයි ඒ හැම දෙයකින්ම කියැවෙන්නේ. දැන් අපි අනාවැකි පළකරන්න යන්නේ කෝපිවලින්. නමුත් මේ කියන්නේ ජීවිතය ගැන නෙවෙයි. කාලගුණය ගැන. සාමාන්‍යයෙන් කාලගුණ අනාවැකි කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වුණත් ඔබේ සාමාන්‍ය ජීවිතයට මෙයින් කිව හැකි අනාවැකි වැදගත් වෙන බව නිසැකයි. 

මුළින්ම කෝපි එකක් පිළියෙල කරගන්න. කිරි ටිකක් දාන්න පුළුවන් නම් වැඩේ තවත් පහසුයි. එවිට කෝපිවල බුබුලු නැගෙනවා.  එම බුබුලු කාලගුණ අනාවැකි කියන්න ප්‍රයෝජනවත් වෙනවා. 

දැන් කෝපි ටික කෝප්පයකට දාන්න. එවිට නැගෙන බුබුලු දිහා විමසිලිමත්ව බලා ඉන්න. 


මේ බුබුලු ඉතා ඉක්මණින් කෝප්පයේ අයිනට ගමන් කරනවා නම් එයින් කියැවෙන්නේ ඊළඟ පැය 12 තුළ පැහැපත් කාලගුණයක් පවතින බවයි. 
මේ බුබුලු කෝප්පයේ මධ්‍යයේම පවතිනවා නම් එයින් කියැවෙන්නේ ඊළඟ පැය 12 ඇතුළත වැසි වසින බවයි. 



මේ බුබුලු සෙමින් සෙමින් කෝප්පයේ අද්දරට ගමන් කරනවා නම් එයින් කියැවෙන්නේ අඳුරු කාලගුණයක් පැවතිය හැකි නමුත් පැය කිහිපයකින් එය පැහැපත් තත්වයට හැරෙන බවයි. 

කෝප්පයේ බුබුලු නැගුනේ නැත්නම් අනාවැකි පළකරන්න බැහැ. එවිට හැන්දක් ගෙන කළවම් කොට බුබුලු නංවන්නට උත්සාහ ගන්න. 

මේ අනාවැකි ක්‍රමයට නම් විද්‍යාත්මක හේතුවක් තියෙනවා. වායුගෝලයේ පීඩනය අධික නම් බුබුලු කෝප්පයේ අද්දරට ගමන් කරනවා. අධික වායු පීඩනයෙන් කියැවෙන්නේ සන්සුන්, පැහැපත් කාලගුණයක් පවතින බවයි. අඩු වායුපීඩනයක් පවතිනවා නම් එවිට බුබුලු තල්ලු කරන්නට හැකියාවක් නැහැ. අඩු පීඩන තත්වයකදී බොහෝ විට වැසි බලාපොරොත්තු විය හැකියි. 

මේ අනාවැකි ක්‍රමය අත්හදා බලා සාර්ථක වූවක් බවත් සඳහන් කළ යුතුයි. 

4 comments:

  1. මට අනාවැකි වැඩක් නෑ. ඉස්සරහට එන දේට හොඳින් මුහුණ දෙනවා. ඒ වුණත් මේක ගොඩක් වැදගත් ලිපියක්. සුභ අනාගතයක් අයියේ..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  2. තේ කෝප්පෙන් අනාවැකි කියන එකට ලොකු ඉතිහාසයක් තියෙනවා නේද? ඒග සාර්ථක ක්‍රමයක් කියලා අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකට සෑහෙන අතීතයක් තියෙනවා වගේම ලෝකයේ බොහෝ රටවල මේ අනාවැකි ක්‍රමය අනුගමනය කරන බව ද දැනගන්නට ලැබෙනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න