පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, December 21, 2015

සිංහල ජන සාහිත්‍යයේ අපූරු කවියක්


අපේ ජන කවි සාහිත්‍යය කියන්නේ හරිම අපූරු දෙයක්. ඇතැම් විට ලෝකයේ වෙනත් සාහිත්‍යවල නැති විශේෂ අංග මෙහි තිබෙනවා. එවැනි දෙයකට එක් උදාහරණයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් අපූරු විදිහේ ජන කවියක් මට හොයාගන්න ලැබුණා. මෙහි රචකයා කවුදැයි දන්නේ නැහැ. නමුත් කවිය හරිම අපූරුයි. 

මේ කවියෙන් කියැවෙන සරල අර්ථය මෙන්න මෙහෙමයි. 

නන්දා කියන තරුණියක් ගැන එක් තරුණයෙක් ආදරයක් ඇති කරගන්නවා. ඒ තරුණයා ඇගේ ලස්සන දකිනවා. ඇයව විවාහ කරගන්නට ඔහු සිහින මවනවා. ඒ සිහිනයත් එක්ක ඔහු කවියක් ලියනවා. ඒ කවිය තමයි මේ. 

කුන්දා සරපතිසේ දිලි දළ                         දසනීය 
රන්දා හසපැටිසේ දිලි යුග                       දෙතනීය 
නන්දා සුරලියසේ දිලි මෙම                     තරුණීය 
කැන්දා ගෙනයනසේ යලි මට                   සිතුනීය 

මේ කවියේ විශේෂත්වය මොකක්ද කියලා දැන් සිතෙන්න පුළුවන්. 

මේ කවිය පටන් ගත්තේ ‛කුන්දා සරපතිසේ’ කියලයි. අපට මේ කවිය තව විදිහකට කියන්න පුළුවන්. ඒ මෙන්න මේ විදිහට 

සරපතිසේ දිලි දළ දසනීය                 කුන්දා 
හසපැටිසේ දිලි යුග   දෙතනීය           රන්දා 
සුරලියසේ දිලි මෙම  තරුණීය          නන්දා 
ගෙනයනසේ යලි මට    සිතුනීය       කැන්දා 

දෙවැනි ආකාරය පටන් ගන්නේ ‛සරපතිසේ දිලි දල දසනීය’ කියලයි. හැබැයි මේක ගායනා කරන්න පුළුවන් ආකාරය මෙතැනින් නවතින්නේ නැහැ. මෙන්න මේ විදිහටත් මෙය කියන්න පුළුවන්. 

දිලි  දළ   දසනීය    කුන්දා             සරපතිසේ 
දිලි  යුග   දෙතනීය  රන්දා           හසපැටිසේ 
දිලි  මෙම  තරුණීය  නන්දා          සුරලියසේ 
යලි  මට   සිතුනීය   කැන්දා      ගෙනයනසේ 

දැන් අපි එකම කවිය තුන් ආකාරයකට ගායනා කරන ආකාරය දැක්කා. තුන්වැනි ආකාරයේදී කවිය පටන් ගන්නේ ‛දිලි දසනීය කුන්දා’ යනුවෙන්. හැබැයි මෙය ගායනා කිරීම ආරම්භ කරන ආකාරය එතැනින් නතර වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහටත් මේ කවිය ආරම්භ කරන්න පුළුවන්. 

දළ   දසනීය    කුන්දා     සරපතිසේ           දිලී 
යුග   දෙතනීය  රන්දා    හසපැටිසේ          දිලී 
මෙම  තරුණීය  නන්දා    සුරලියසේ         දිලී 
මට   සිතුනීය   කැන්දා  ගෙනයනසේ       යලී 

දැන් බලන්න එකම කවිය හතර ආකාරයකින් ආරම්භ කරලා, එළිවැටට හානියක් නොවී අලංකාර ලෙස ගායනා කරන්න පුළුවන්. අපේ ජනකවියා කොයි තරම් නිර්මාණශීලී ද කියන එක ගැන ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ කවිය. 

(මේ කවිය ගැන වැඩි විස්තර හෝ මෙවැනි කවි ගැන හෝ  දන්නා කෙනෙක් සිටී නම් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා)

12 comments:

  1. කවි මම සාමාන්‍යයෙන් කියවන්නේ නෑ ..... එත් මේකනම් පට්ටයි මචෝ

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තූතියි. ඇත්තටම අපි නොදැන මෙවැනි කවි තව බොහෝ ගණනක් අපේ ජන සාහිත්‍යයේ ඇති. අපට හමුනොවෙන එක තමයි ගැටලුව.

      Delete
  2. http://theobsessionformulasystemreview.com/

    http://theexfactorguidebookreviews.com/
    Learning to communicate with respect to your privacy is important. Understanding that sharing too much information too soon runs the risk of pushing someone away or creating regret or embarrassment for yourself.

    ReplyDelete
  3. මේකනම් මැජික් එකක් වගේ. අතීත හෙළ ගැමියා මෙවැනි කවි නිර්මාණය කලා වගේම වර්ථමාන නවීන ශ්‍රී ලාංකිකය මෙවැනි කවියක් මෙලෙස බහුවිධකරණයට ලක් කිරීමත් ඉතාම විශිෂ්ටයි. ඒ සම්මානය හිමි ඔබටයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට බොහෝ ස්තූතියි

      Delete
  4. විශිෂ්ටයි, අති විශිෂ්ටයි. කමකට නැති පල්හෑලි ලියන බ්ලොග් 100 කට වඩා, මෙවැනි එක ලිපියක් වටිනවා. අද බොහෝවිට, කවි යන නමින් දකින සමහර වචන පේළි, ඒවා ලියපු කෙනාටවත් තේරෙනවද මන්දා. මේ කවියේ වගේ නෙවෙයි, ඒ වචන පේළි වල, විකාර අර්ථ බොහොමයි. අක්ෂරවින්‍යාසය නැහැ. රැයන්න සහ රුයන්න පටලවාගෙන. සඤ්ඤක අකුරු හඳුනන්නේ නැහැ. මෙවැනි කවි, සංරක්ෂණය කිරීම සහ අධ්‍යයනය සඳහා බාල පරපුරට ලබාදීම, හරිම වැදගත්. මෙවැනි කවි පද බඳින්නට නම්, අති විශිෂ්ට භාෂා ඥානයක් තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි. ඇත්තටම මම මේ පෝස්ටුව පළකිරීමට පෙර මෙම කවියේ මුල් පද කිහිපය ගූගල් ඔස්සේ සොයන්න උත්සාහ කළා. නමුත් එයින් ප්‍රතිඵලයක් ලැබුනේ නැහැ. එයින් අදහස් කළේ මෙය වෙන තැනක සඳහන් වී නැතැයි කියන එකයි. ඇත්තටම මෙවැනි කවියක් ලියන්න කවිය ගැනත් භාෂාව ගැනත් සෑහෙන දැනුමක් තිබිය යුතුයි. නමුත් මේ නිර්මාණකරුවා කවුද කියන එක ගැන අප දන්නේ නැහැ. තමා කවුදැයි පවසන්නට තරම් අවශ්‍යකමක් ඔහුට තිබෙන්නට නැතිව ඇති. කෙසේ හෝ මෙය අපේ ජන කවිය ගැන කතා කරන කෙනෙකුට තමාගේ උදාහරණ අතර තබා ගත යුතුම කවියක් කියන එකේ නම් සැකයක් නැහැ.

      Delete
  5. ඉතාම වටිනවා. අපේ බොහොමයක් ජනකවි අපූරු අව්‍යාජ නිර්මාණ වචන වික්‍රමයන් පමණක් නොව එකිනෙකට වෙනස් විවිධ අර්ථ දක්වන නිර්මාණ බොහොමයි. ඇෂු විගස මතකයෙ රැඳේන්නත් පැවත ආවේත් ඒවායෙ පැවති අපූරු වටිනාකම නිසයි. ඇත්තටම හිස් ප්‍රලාප වලට වඩා මේ වගේ පෝස්ටු ඉතාම වටිනවා

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම ගැන මෙන්ම ජන සාහිත්‍යයට ආදරය කරන්නකු වීම ගැනත් ඔබට බොහෝ ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න