පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, March 3, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 9 කොටස - New Gadgets for New World Part 9

කාමරයේ ආලෝකය කැමති පරිදි වෙනස් කරන බල්බයක්





වර්තමානයේ බොහෝ නිවෙස්වල ඇත්තේ එක්කෝ සීඑෆ්එල් (CFL) හෝ එල්ඊඩී (LED) බල්බ. මේවායේ ආලෝකය විහිදුවන පැහැය අනුව කොටස් දෙකකට වෙන් කර තිබෙනවා. එකක් සිසිල් ගුණය (cool ) සහ අනෙක් උණුසුම්  ගුණය (warm ) වශයෙන්. එය තමන් කැමති ආකාරයකට තෝරාගන්න පුළුවන්. නමුත් මේ කුමක් සවි කළත් හැමදාටම අපට දකින්න ලැබෙන්නේ එකම පාටක්. සවස් යාමයක ඔබේ කාමරයේ හිරු බසින විට ඇති ආලෝකයක් ඇත්නම් හොඳයි කියා සිතුනොත්, එසේත් නැත්නම් උදෑසන අවදිවී ආලෝකය දල්වද්දී සිසිල් සුදු පැහි ආලෝකයක් තිබෙනවා නම් නම් කියා සිතුනොත්, එසේත් නැත්නම් වෙනත් කුමක් හෝ පැහැයකින් කාමරය ආලෝකවත් කරන්න සිතුනොත් ඒ හැම වතාවකම බල්බ මාරු කරන්නට බැහැ. මෙන්න මේ අවස්ථාවෙදී තමයි කිව්බි’ (Qube ) බල්බය ප්‍රයෝජනවත් වෙන්නේ. මෙය වයිෆයි හෝ බ්ලූටූත්වලින් ඔබගේ ස්මාර්ට් දුරකතනය හා සම්බන්ධ කරගන්න පුළුවන්. එවිට ඔබගේ ජංගම දුරකතනයේ මෙයට අදාළ ඇප් එක ඔස්සේ කැමති වර්ණයකින් බල්බය දල්වා ගන්නට පුළුවන්. විශේෂයෙන් වයිෆයි සහ දුරකතනය අතර සම්බන්ධය පවත්වාගන්නට වයිෆයි හබ් එකක් අවශ්‍ය වෙන්නේ ද නැහැ. මිලියන 16ක වර්ණ පරාශයකින් ආලෝකය විහිදුවන්නට මෙයට හැකියාව තිබෙනවා. දැනට මිල ඇමරිකානු ඩොලර් 16ක් (රු. 2,300) ක් වෙනවා. 




කැමති පරිදි උණුසම වෙනස් කළ හැකි මෙට්ටයක් 






ඔබේ නිවසේ ඇති වැඩිපුරම කැමති ගෘහ භාණ්ඩය මොකක්ද කියා ඇසුවොත් ඒ ලැබෙන පිළිතුරු අතර ඇඳ කියා කියන බොහෝ දෙනෙක් ඉන්න පුළුවන්. ඇත්තටම ඒක තමයි හොඳම ගෘහ භාණ්ඩය. මේ හොඳම ගෘහ භාණ්ඩය තවත් සිත් ඇදගන්නා තැනක් බවට පත්කරන්නට නම් හොඳ මෙට්ටයකුත් තියෙන්න ඕන. ඒ වෙලාවට තමයි එයිට්’ (Eight ) කියන ස්මාර්ට මෙට්ටය අවශ්‍ය වෙන්නේ. මේ මෙට්ටයේ ඇති විශේෂ වාසි මොනවද කියලා දැන ඔබට සිතෙන්නට පුළුවන්. එකම ඇඳේ දෙදෙනෙකු නිදා ගන්නා විට ඇතැම් විට එක් අයෙකුට වැඩි උණුසුමකුත් අනෙක් කෙනාට අඩු උණුසුමකුත් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මෙට්ටයකට ඒ ආකාරයට දෙදෙනාට අවශ්‍ය පරිදි උණුසුම වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් එයිට් මෙට්ටයට ඒ හැකියාව තිබෙනවා. ඔබගේ ස්මාර්ට් දුරකතනය හරහා පාලනය කළ හැකි මෙම මෙට්ටයට මේ ආකාරයට දෙපැත්තේ නිදාගන්නා පුද්ගලයන් දෙදෙනාට ඔවුන්ට අවශ්‍ය පරිදි උණුසම වෙනස් කරගැනීමේ හැකියාව ලබා දෙනවා. ඒ වගේම ඔබව නියමිත වේලවට අවදිකරවීමේ හැකියාවකුත් මෙයට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ නිවසේ බොහෝ ස්වයංක්‍රී සහ දුරතකය ඔස්සේ සම්බන්ධව පවතින භාණ්ඩ පාලනය කරන්නටත් මෙයට පුළුවන්. දැනට මෙහි මිල ඇමරිකානු ඩොලර් 235ක් (33,700)ක් වෙනවා. 





නිවසට ස්මාර්ට් ජනෙල් තිර රෙදි පාලකයක් 






වර්තමානයේ අලුතින් ගොඩනංවන බොහෝ නිවෙස්වල ජනෙල් තිර රෙදි දමන්නේ පැරණි ආකාරයට නෙවෙයි. ඉතා සිත්ගන්නාසුළු ආකර්ෂණීය තිර රෙදි දැන් ලබාගන්නට පුළුවන්. මේ තිර රෙදි තවත් ස්මාර්ට් කරගන්න අලුත් ගැජට් එකක් දැන් තිබෙනවා. එය ඇක්සිස් ජියර්’ (AXIS Gear) නමින් හඳුන්වනවා. මෙයින් සිදුවන්නේ ඔබගේ තිර රෙදි වීවෘතවීම සහ වැසීම ඔබට අවශ්‍ය පරිදි හා ස්වයංක්‍රීයව පාලනය වීමයි. මෙයද ඔබේ ස්මාර්ට් දුරකතනය හරහා පාලනය කළ හැකියි. ඔබගේ නිදන කාමරයේ ජනෙල් කවුළු ඇත්තේ නැගෙනහිරට මුහුණ දී නම්, නිවාඩු දිනයක ඉර පායා එනවිටම කාමරයේ රාත්‍රී විදුලි පහන් නිවා දමා තිර රෙදි විවර කොට දවස උදා වී ඇති බව කියන්නට මේ ගැජට් එකට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අඳුර වැටෙද්දී තිර රෙදි ඉබේ වැසෙනවා. යම් ආකාරයකින් රාත්‍රියේ සඳ පායා ඇත්නම් එවැනි අවස්ථා සඳහා තිර රෙදි ඉබේම විවර වෙන සේ මෙය සකසන්නට පුළුවන්. මෙහි ඇති සංවේදකවලින් ඔබගේ නිවසේ ඇති වෙනත් ස්වයංක්‍රීය භාණ්ඩ වල ක්‍රියාකාරීත්ව ද යම් යම් ආකාරවලින් පාලනය කළ හැකියි. මෙහි මැල දැනට ඇමරිකානු ඩොලර් 95ක් (රු. 13,600) වනවා. 




ඔබේ නිවසේ වාතය පිරිසුදු කරගන්න එක දැන් ගැටලුවක් නොවෙයි 







ඔබේ නිවසේ වාතය මිනිත්තු 12ක් වැනි කෙටි කාලයක් තුළ පිරිසුදු කරගන්නට මේ අලුත් ගැජට් එක වන මි එයාර් පියුරිෆයර්’ (Mi Air Purifier) උපකරණයට පුළුවන්. වාතය මිනිත්තුවකට ලිටර් 10,000ක් වේගයකින් පිරිසිදු කරන මෙයට, එය වටා ඇති සියලු දිශාවල දුහුවිලි ඇදගන්නට හැකියාව තිබෙනවා. අලුතින් වෙළෙඳ පළට එන සියලු උපකරණ මෙන් මෙය ද ඔබේ ජංගම දුරකතනය ඔස්සේ පාලනය කළ හැකියි. වාතයේ ඇති සියලු දුහුවිලි සහ අහිතකර කොටස් තුන් ආකාරයකින් පිරිසිදු කරන්නට මෙය සමත්. සාමාන්‍යයෙන් නිවෙස්වල ඇති බුමුතුරුණු, පාපිසි, එයාර් ෆ්‍රෙෂ්නර් ආදියේ අපේ පෙනහලුවලට අහිතකර ද්‍රව්‍ය තිබෙන්නට පුළුවන්. එබැවින් මෙවැනි උපකරණයක් නිවසකට ඉතා වැදගත් වෙනවා. අඩි 28 සිට අඩි 40 පරාශයක් තුළ මෙයට වාතය පිරිසිදු කරන්නට පුළුවන්. දැනට මිල ඇමරිකානු ඩොලර් 141 (රු. 20,200ක්) වෙනවා. 




එලාම් ඔරලෝසුවක් සඳහා ස්මාර්ට් විසඳුමක්





 



බෙඩි’ (Beddi ) නමින් හඳුන්වනු ලබන මෙම එලාම් ඔරලෝසුව අලුත් පන්නයේ පුද්ගලයන් සඳහා කදිම හඳුන්වාදීමක් වනු නොඅනුමානයි. උදෑසන ඔබට අවදිවන්නට අවශ්‍ය වෙලාව කීම පමණක් නොවෙයි මෙයින් සිදු වන්නේ. ඔබේ බ්ලූටූත් ස්පීකරය හා සම්බන්ධ වී එලැබෙන්නට නියමිත දිනය ගැන වැදගත් තොරතුරු මෙය අපට පවසනවා. දවසේ කාලගුණය, මාර්ග තදබද විස්තර ආදිය මෙයින් දැනගත හැකියි. ඔබගේ ස්මාර්ට් දුරකතනය හරහා පාලනය කළ හැකි මෙය දුරකතනය සිටුවා තබන්නට අවශ්‍ය කරන ඩොක්එකක් ලෙස ද භාවිත කළ හැකියි. ඒ නිසා මෙය තිබෙන ස්ථානයේ අපහසුවකින් තොරව ඔබගේ ස්මාර්ට් දුරකතනය ද තබාගත හැකියි. ඔබ උදෑසන අවදිවන වට අසන්නට කැමති ගී ලැයිස්තුවක් ඇත්නම් ඔබ අවදි වූ පසු මෙයින් ඒවා ඉබේම වාදනය කරනවා. මේ තරම් ප්‍රයෝජනවත් මෙම අලුත් ගැජට් එකේ මිල දැනට ඇමරිකානු ඩොලර් 75 (රු. 10,745)ක් වෙනවා.


පෙර ලිපිය

අලුත් ලෝකයට අලුත් ගැජට් 8 කොටස - New Gadgets for New World Part 8 

පසු ලිපිය
අලුත් ලෝකයට අලුත් ගැජට් 10 කොටස - New Gadgets for New World Part 10 

2 comments:

  1. අර මෙට්ට්‍රස් එක නම් ගොඩක් ප්‍රයෝජනවත්.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න