පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, March 1, 2016

පාරේ විකුණන්න තියෙන ඇස් කන්නාඩි ගන්න එපා


පොත් පත් කියවන අපට එක්වරම දැනෙන්න පටන් ගත්තොත් ඉස්සර වගේ නෙවෙයි දැන් මේ පොඩි අකුරු කියවන්න අමාරුයිකියලා, එවිට අපි දැනගන්න ඕන කන්නාඩි දෙකක් ගන්න කාලය හරි කියලා. විශේෂයෙන් අකුරු කියවගන්න දුෂ්කර අවස්ථාවකදි අප ගත් යුත්තේ කියැවීම් කන්නාඩි කුට්ටමක්’ (Reading Glasses) කියන එකත් මතක තියාගන්න ඕන. මේවා බොහෝ දෙනෙක් වෙළෙඳ පළෙන් මිලදී ගන්නේ වෛද්‍ය උපදේශයකින් තොරවයි. කන්නාඩි විකුණන්න ඇති තැන්වලට ගිහින්, අමාරුවක් නැතිව අකුරු කියවන්න පුළුවන් කන්නාඩියක් ඇහැට දාලා බලලා ගන්න හුඟ දෙනෙක් පුරුදුවෙලා ඉන්නවා. ඇතැම් අය වෛද්‍ය උපදෙස් ගන්නවා. කොහොම වුණත් වෛද්‍ය උපදෙස් මත මෙන්ම එසේ නොමැතිව කියැවීම් කන්නාඩි කුට්ටම් මිලට ගන්න අය වෙනුවෙන් ද මේ ඉදිරිපත් කරන්න යන විස්තර බොහෝ වැදගත් වේවි. 

ඇතැම් කියැවීම් කන්නාඩිවල සම්පූර්ණ කාචයම කියැවීමේ කටයුත්ත වෙනුවන්ම වෙන් කරලා තිබුණත් ඇතැම් ඒවායේ තිබෙන්නේ කාචයේ පහළ කොටසේ අඩ සඳක් වැනි කොටසක් පමණයි. සම්පූර්ණ කාචයම කියැවීම සඳහා වෙන්කොට ඇති කන්නාඩි සුදුසු වන්නේ නිතර අකුරු කියැවීමේ නිරතව ඉන්න (සෝදු පත්කියැවීම වැනි) අයටයි. එවැනි කන්නාඩි කුට්ටමකින් වෙනත් ප්‍රයෝජනයක් ගන්න බැහැ. ඔබ සිටින වටපිටාව දෙස එවැනි කන්නාඩියකින් බැලුවොත් පෙනෙන්නේ සියල්ල බොඳවෙලා වගෙයි. 

කන්නාඩියේ පහළ කොටසේ අඩ සඳක් වැනි කොටස පමණක් කියැවීම සඳහා වෙන්කොට ඇති කන්නාඩි කුට්ටම මෙයට වඩා ප්‍රයෝජනවත්. ඔබ යමක් කියවන විට පහළ කොටස භාවිත කරන්න පුළුවන්. අවට බලන විට ඉහළ කොටස භාවිත කරන්න පුළුවන්. මෙයට පෙර කිසිම දවසක කන්නාඩි පාව්චිචි කරලා නැති අයට ගැළපෙන්නේ මේ ආකාරයෙන් කොටස් දෙකක් විදිහට හදපු කියැවීම් කන්නාඩියි. 

මුල් කාලයේ මහා බරපතල පෙනුමක් සහිතව මේ කියැවීම් කන්නාඩි වෙළෙඳපලට ආවත් දැන් ඉතා සිහින්ව, මුහුණේ ප්‍රමාණයට ගැළපෙන සේ නිෂ්පාදනය කළ කන්නාඩි ඕනෑ තරම් දකින්නට පුළුවන්. ඒවා පුංචි කොපුවක බහා සාක්කුවේ බෑගයේ පහසුවෙන් අරන් යන්නත් පුළුවන්. ඇතැම් ඒවා දෙකට නවා මාල පෙත්තක් වගේ බෙල්ලේ එල්ලාගෙන යන්නත් පුළුවන්. 







ඔබේ බැංකු කාඩ් පත දමන පුංචි ප්ලාස්ටික් කවරයේ බහාලන්න පුළුවන් ආකාරයේ කියැවීම් කන්නාඩි ද දැන් වෙළෙඳ පළේ දක්නට ලැබෙනවා. ඒවා ඔබේ පසුම්බියේ දමාගෙන ඉතා පහසුවෙන් රැගෙන යන්න පුළුවන් කම තිබෙනවා. 

හිරු කිරණේ ඇති පාර ජම්බුල කිරණවලින් දෑස් ආරක්ෂා කර දෙන ආලේපනයක් සහිත කියැවීම් කන්නාඩි ද දක්නට ලැබෙනවා. 

පොදුවේ සියලු දෙනාටම ගැළපෙන පරිදි නිෂ්පාදනය කොට වෙළෙඳ පලේ අළෙවියට තබා ඇති කියැවීම් කන්නාඩිවලට වඩා ඔබේ අව්‍යශයතාව පරිදි තනවා ගත් කන්නාඩි කුට්ටමක් ගන්න හැකියාව තිබෙනවා නම් එය වඩාත් සුදුසුයි. කෙසේ නමුත් ලෝකය පුරා තවමත් ජනප්‍රියව පවතින්නේ පොදුවේ නිෂ්පාදනය කළ කන්නාඩි කුට්ටම්. එයට හේතුව වෙළෙඳපලට ගිය විගස එවැන්නක් පහසුවෙන් තෝරාගන්නට තිබෙන හැකියාවයි. අනෙක පොදුවේ නිෂ්පාදනය කොට ඇති නිසා ඒවා මිලෙන් ද අඩුයි. නමුත් වෛද්‍ය උපදෙස් හෝ විශේෂඥයකුගේ උපදෙස් මත අපේ ඇස්වලට පමණක් ගැළපෙන මේ කියැවීම් කන්නාඩි කුට්ටමක් තනවා ගත්තොත් එයට සැළකිය යුතු මුදලක් වැය කරන්නට සිද්ධ වෙනවා. 

පොදුවේ සියලු දෙනා වෙනුවෙන් නිෂ්පාදනය කළ කන්නාඩි කුට්ටමක් ඇති ප්‍රධාන අඩුපාඩුවක් තමයි ඒවා එකම ප්‍රමාණයකින් යුක්ත වීම. මුහුණු එක් එක් ප්‍රමාණයෙන් පවතින නිසා වඩාත් හොඳින් ගැළපෙන්නේ ඔබේ මුහුණේ ප්‍රමාණයට, හැඩයට තැනූ කන්නාඩි කුට්ටමක්. පොදුවේ නිෂ්පාදනය කළ කන්නාඩි කුට්ටම් ඇතැම් විට ඔබේ මුහුණේ ප්‍රමාණයට හා හැඩයට ගැළපෙන්නේ නැති වුණොත් එයින් මුහුණට ලැබෙන්නේ අවලස්සනක්. අනෙක අපේ ඇස් දෙකේම ක්‍රියාකාරීත්වය ඇතැම් විට එක හා සමාන නැහැ. එක් ඇසක් අනෙක් ඇසට වඩා පෙනීම අතින් වෙනස්කම් තිබෙන්නට පුළුවන්. නමුත් පොදුවේ නිෂ්පාදනය කළ කන්නාඩි කුට්ටම්වල කාච දෙකම නිෂ්පාදනය කොට තිබෙන්නේ එකම ආකාරයකින්. එවිට ඇසේ ස්වභාවික වෙනස්කම්වලට එය සුදුසු වන්නේ නැහැ. ඔබ විශේෂඥයකුගෙක් උපදෙස් ගත්තේ නම්, ඇස් දෙකෙහි වෙනස්කම් සළකා බලා කාච දෙක එයට ගැළපෙන පරිදි නිෂ්පාදනය කරනවා. 

වෙළෙඳ පළෙන් මිලදී ගන්නේ මේ ආකාරයට පොදුවේ නිෂ්පාදනය කළ කියැවීමේ කන්නාඩි පැළැඳීමේ යම් යම් ගැටලු ද පවතින බව කිව යුතුයි. මෙම කන්නාඩිවල කාචයේ දෘෂ්ටි කේන්ද්‍රය සහ ඇසේ දෘෂ්ටි කේන්ද්‍රය අතර සමපාත වීමක් නොමැති වුවහොත් හිසේ කැක්කුම, ඇස්වල වේදනාව සහ ඇතැම් විට ඔක්කාරය වැනි තත්වයන් ද උද්ගත විය හැකියි. ඔබ වෛද්‍ය උපදෙස් නොමැතිව කියැවීමේ කන්නාඩි පැළඳීමෙන් පසුව මෙවැනි තත්වයකට මුහුණ පෑවේ නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. 

බොහෝ දෙනෙක් පහසුවට වෙනත් කෙනෙකුගේ කියැවීමේ කන්නාඩි ද භාවිත කරන අවස්ථා තිබෙනවා. වෙනත් කෙනෙකුගේ කන්නාඩියක් ඇතැම් විට තවත් කෙනෙකුට ගැළපෙන්නට හෝ නොගැළපෙන්නට ඉඩ තිබෙනවා. නොගැළපුනොත් ඉහත සඳහන් කළ ආකාරයේ ගැටලු ඇතිවිය හැකියි. 

කියැවීමේ කන්නාඩි සහ පරිගණකය භාවිත කරන කන්නාඩි යනු එකම වර්ගයක් යැයි ඇතැමුන් සිතනවා. නමුත් එය එසේ නොවේ. ඔබ කියැවීමේ කන්නාඩි කුට්ටමක් පරිගණකය භාවිතයේදී යොදා ගත්තොත් ඔබ බලාපොරොත්තුවන ප්‍රතිපල නොලැබී යන්නට පුළුවන්. මුද්‍රිත යමක් කියවන් විට පවතින දුරකෙටි බවත් පරිගණකයේ යමක් කියවන විට පවතින දුර එයට වඩා දිගු බවත් ඔබ නිතර මතක තබාගත යුතුයි. කියැවීමේ කන්නාඩි පරිගණකය භාවිතයේදී ප්‍රයෝජනවත් නොවන්නේ මේ නිසයි. මේ නිසා අනවශ්‍ය ගැටලු ඇති නොවනු පිණිස පරිගණකය භාවිතය සඳහා එය වෙනුවෙන්ම නිපදවූ කන්නාඩි කුට්ටමක් මිලදී ගැනීමට සිහියේ තබාගත යුතුයි. 

කියැවීමේ කන්නාඩි කුට්ටමක් වෙළෙඳ පළෙන්  මිලදී ගැනීමේදී එහි කාච පිළිබඳ ඔබ දැඩිව විමසිලිමත් විය යුතුයි. අඩුමිලට, අඩු ගුණත්වයෙන් නිපදවූ කියැවීමේ කන්නාඩි වෙළෙඳ පළේ බහුල නිසා ඒ පිළිබඳ සැකිලිමත් විය යුතුයි. කාචයේ බුබුලු, රැළිති හෝ වෙනත් දෝෂ සහිත බවක් දුටුවේ නම් මිලදී ගන්නට එපා. සුප්‍රකට නමක් සහිත නිෂ්පාදනයක් මිලදී ගන්නේ නම් ගැටලුවක් ඇතිවන්නට ඇති ඉඩකඩ අවමයි. ඔබේ ඇස් වෙනුවෙන්ම කන්නාඩි කුට්ටමක්  සාදවා ගත හැකි නම් කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැහැ. එයට තරමක මිලක් වැය වුවත් දිගුකාලීනව ඔබට මුහුණ දෙන්නට සිදුවන ගැටලුවලින් මිදෙන්න ඔබට පුළුවන්. 

බොහෝ දෙනෙක් තමන්ට අකුරු කියවා ගත නොහැකි යැයි දැනුණු විට අක්ෂි වෛද්‍යවරයෙක් හෝ විශේෂඥයකුගේ උපදෙස් ලබාගන්නට ඇති අකැමැත්ත නිසා තමන්ගේ හිතුමතයට වෙළෙඳපළෙන් කියැවීමේ කන්නාඩි මිලට ගන්නට පුරුදුව සිටිනවා. වයසත් සමඟ ඇස් දුර්වල වී ඇත්නම් වෙළෙඳ පළෙන් මිලදී ගන්නා කියැවීමේ කන්නාඩි කුට්ටම් ගැටලු සහගත නොවිය හැකියි. කෙසේ නමුත් වෙනත් රෝගී තත්වයක් නිසා ඇස් දුර්වල වී ඇත්නම්, එහිදී ගැටලු සහගත තත්වයක් ඇතිවන්නට ඉඩ තිබෙනවා. හේතුව එවැනි රෝගී තත්වයක් හඳුනාගත හැක්කේ වෛද්‍යවරයෙකුට පමණක් නිසයි. උදාහරණයක් විදිහට ග්ලූකෝමාවැනි රෝගී තත්වයකදී ද ඇස්වල පෙනීම දුර්වල වන්නට පුළුවන්. නමුත් එවැනි අවස්ථාවක ඔබ වෛද්‍ය උපදෙස් නොපතා වෙළෙඳ පළෙන් කියැවීමේ කන්නාඩි කුට්ටමක් මිලදී ගත්තේ නම්, ඔබේ සැබෑ රෝගී තත්ත්වය සොයාගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔබ පියවර ගන්නා විට කල්ගතවී වැඩි වෙන්නට පුළුවන්. 

අනෙක වයසත් සමග ඇස්වල විවිධ වෙනස්කම් සිදුවන නිසා අක්ෂි වෛද්‍යවරුන් සහ විශේෂඥයන් එක් කියැවීමේ කන්නාඩි කුට්ටමක් නිර්දේශ කරන්නේ වසර දෙකක් වැනි කාලයක් සඳහා පමණයි. වසර දෙකකට පසුව ඇස් නැවැත පරීක්ෂා කොට අලුත් කන්නාඩි කුට්ටමක් සාදවා ගත යුතුයි. 

මේ නිසා වෙළෙඳ පළේ ඇති කියැවීමේ කන්නාඩි කුට්ටම් හිතු මනාපයට මිලට ගන්නවාට වඩා වෛද්‍ය උපදෙස් ඇතිවම එවැන්නක් ලබාගන්නවා නම් අනාගතයේදී ඔබට මුහුණ පාන්නට වන ගැටලු බොහෝ අවම කරගත හැකි වනු ඇති බවයි අවසාන වශයෙන් සඳහන් කළ හැක්කේ.


9 comments:

  1. oka use nokarma hitiyoth mokada wenne

    ReplyDelete
    Replies
    1. කියවන්න අපහසුවක් ඇත්නම් කන්නාඩි කුට්ටමක් ඕන වෙනවා. ඒ වෙලාවට පාරෙන් ගන්නේ නැතිව වෛද්‍ය උපදෙස් මත එකක් ගත්තා නම් හරි.

      Delete
  2. හිතාළු බොරු ලියන්න එපා. පාරේ තියන කණ්නාඩි බාලයි තමා මේවා බ්‍රික් රේසර්, බොල් පොයින්ට වගේ ඩිස්පොසබ්ල් අයිටම්ස්, කැඩුනොත්, හීරුනොත් විසිකලා එකක් රුපියල් 120යි. කියවන්න ඇස් කන්නාචි ගන්න කොට ඔප්ටිෂියන්ස් ලා අපිව අන්දන අර ලේයර් මේ ලේයර් වලින් වැඩක් නෑ, අර කෑලි දෙකේ කන්නාඩි හොඳයි කළාතුරකින් යමක් කියවන අලංකාරෙට කණ්නාඩි අඳින අයට, එකෙන් සම්පූර්ණ ඩිස්ප්ලේ එක පෙන්නේ නෑනේ. ගන්නේ අව් කණ්නාඩියක් නම් ඔරිජිනල් එකක් ගන්න එක වැදගත්.

    ReplyDelete
    Replies
    1. ලිවව විදිහ හොඳ නෑ කියල හිතුන, ඒත් ලියපු හින්දා තියෙන්න ඇරියා, සමා වෙන්න.

      Delete
    2. දැනුවත්කිරීම ගැන බොහෝ ස්තූතියි

      Delete
  3. මාත් ගන්න කයල ඉන්නෙ .ස්තුතියි

    ReplyDelete
    Replies
    1. පේමන්ට් එකෙන් ගන්නවා නම් බලාගෙනයි

      Delete
  4. පේමන්ට් එකෙන් ඇනයක්වත් ගන්නේ නැහැ මම නම්.ලොකු කමට නෙමේ.ලාභ වුනත් ගන්න දේවල් වල පැවැත්මක් නැති නිසා.
    අගේ ඇති ලිපියක් නෙරංජන්.

    ReplyDelete
    Replies
    1. මම නම් එහෙමම නැහැ. සමහර දේවල් විතරක් පේමන්ට් එකෙන් ගන්න වෙලාවල් තියෙනවා. ඒත් මේ වගේ දේවල් නම් ගන්නේ නැහැ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න